මා නොවේ ඈ නුඹේ 70 – අවසානය කොටස

රෑ කෑමෙන් පස්සෙ කට්ටියම සුපුරුදු පරිදි කාමර වලට යන්න කලින් මියුරංග කට්ටියටම කියන්න දෙයක් තියෙනවා කිව්ව නිසා හැමෝම ගිහින් සාලෙ ඉඳගත්තා.

“කියන්න සුදු පුතා.” අප්පච්චි කිව්වා.

“ඇත්තටම මේකයි. අපි ප්ලෑන් කරා… ආ අපි කිව්වෙ මායි විහංසායි. ලබන සතියෙ පූගෙ බර්ත් ඩේ එකනෙ. ඉතිං අපි හිතුවා බර්ත් ඩේ එක දවසට ළමා නිවාසෙ පාටි එකක් දාන්න. අක්කයි අයියයි මොකද කියන්නෙ?” මියුරංග විස්තරේ කියලා ඉවර වෙලා ඇහුවා.

“මම නම් කැමතියි. අනේ මල්ලි තෑන්ක් යූ.” අපර්ණා කිව්වෙ සතුටින්.

“ආ… මේකයි මල්ලි… අප්පච්චි මම හිතුවෙ අම්පාර පැත්තෙ ආරණ්‍යයක් තියෙනවා. රදීෂ්ලා ගිය මාසෙ දානයක් දුන්නා. හරිම නිස්කලංක පැත්තකලු තියෙන්නෙ. ඒ ආරණ්‍යයෙ ඉන්න මෙහෙණිවරුන්ට දානෙ ලැබෙන්නෙ කලාතුරකින්ලු. ගොඩක් වෙලාවට පිණ්ඩපාතෙ වැඩලලු දානෙ ගන්නෙ.” උදම් කියාගෙන යද්දි කට්ටියටම හිතුනා දානයක් දෙන්න තිබුන නම් හොඳයි කියලා.

“ඉතිං මම අද අපර්ණාට කියන්න හැදුවෙ අපි දූගෙ බර්ත් ඩේ එකට එහෙට දානයක් දෙමුද කියලා.” උදම් කිව්වා.

“එහෙනම් අපි මෙහෙම කරමු. ළමා නිවාසෙට තෑගි ටික යවමු. දානයක් දෙමු ආරණ්‍යයට.” විහංසා අදහසක් කිව්වා.

“ඔව් මාත් හිතන්නෙ එහෙම හොඳයි. මම නිවාසෙට කිව්වෙ නම් නෑ. ඒත් අපි ඒ දෙකම කරමු.” මියුරංග කිව්වා.

“ඒක හොඳයි. ලොක්කා අර ආරණ්‍යයෙ විස්තර බලලා දානෙ ලේස්ති කරගන්න.” අප්පච්චි කිව්වා.
____________________________________________________________________

කට්ටියම අම්පාරෙ ගියේ බර්ත් ඩේ එකට කලින් දවසෙ. රදීෂ්ගෙ නැන්දගෙ ගෙදර තමයි එදා රෑ හිටියෙ. පහුවෙනිදා දානෙ උයාගෙන කට්ටිය ආරණ්‍යයට ගියේ හරිම භක්තියෙන්. උදේනත් ගමනට එකතු උනා. විහංසාට දයාන්ටයි වන්දනාටයි කතා කරන්න ඕනෙ උනත් එයාලට කරදර කරන්න හිතුනෙ නෑ.

හැමෝම දානෙ පූජා කරන්න සූදානම් කරලා බිම පැදුරක් දාලා ඉඳගත්තා. විනුල මිනුල විහංසාගෙ උකුලෙත් පූර්ණි අපර්ණාගෙ උකුලෙත් තියාගෙන හිටියෙ. මෙහෙණිවරු පේලියට දාන ශාලාවට වඩිද්දි හැමෝම ඉඳගෙන උන් තැනින් නැගිට්ටා. මොකද්දෝ සුපුරුදු බවක් විහංසාට දැනුනත් ඇය මෙහෙණිවරු වඩින දිහා භක්තියෙන් බලාගෙන හිටියා.

“වෙනදට නම් බුද්ධ පූජාව පූජා කරන්නෙ මම. අද අපේ විශාඛා මෙහෙණින් වහන්සේට බුද්ධ පූජාව පූජා කරන්න අවශ්‍යයිලු.” ප්‍රධාන මෙහෙණින් වහන්සේ කිව්වා.

“අවසරයි මෑණියනේ. හැමෝම නමස්කාරය කියන්න.” හුරු පුරුදු හඬකින් ඇහුනත් කාටවත් ඒක ඒ තරම් දැනුනෙ නෑ. බුද්ධ පූජාව පූජා කරද්දි හැමෝම දොහොත් මුදුන් තියලා වැඳගෙන ඉද්දි විහංසාට නම් ඒ හඬ හොඳට හුරු පුරුදු බව දැනුනා. ගාථා කියන නිසා හිස එසෙව්වෙ නෑ. දන් බෙදන්න යද්දි කවුද කියලා බලන්න හිතන් හිටියත් හැමෝම නැගිටලා එහා මෙහා යද්දි මිනුල අඬන්න පටන් ගත්ත නිසා විහංසා දං ගෙයින් එළියට ගියා.

ටිකකින් මිනූව නලවගෙන නිදි කරලා බිත්තිය අයිනට වෙන්න පැදුරෙන් තියලා විහංසා මෙහෙණිවරුන්ට දන් පිළිගන්වන්න ආවා. විහංසා කැවිලි පිළිගන්වන ගමන් දෙවනියට අසුන් ගෙන ඉඳපු මෙහෙණින් වහන්සේ දිහා බැලුවා. මෙහෙණින් වහන්සේ කිසිම හැඟීමකින් තොරව දන් වළඳනවා. එක පාරටම සලාං ගාලා සද්දයක් එක්ක විහංසා ඇදගෙන වැටෙනවා දැකපු පාර මියුරංග පැනලා අල්ලගත්තා.

“සමී…. දෝණි….” කට්ටියම කලබලෙන් විහංසාගෙ ලඟට ගියා.

“විහංසා මොකද උනේ?” මියුරංග විහංසාට සිහිය ආවම ඇහුවා. විහංසා අඬනවා විතරයි මුකුත් කිව්වෙ නෑ. අපර්ණා ටිකක් වෙලා බලන් ඉඳලා ආයෙම මෙහෙණින් වහන්සේලා ඉන්න තැනට ගියා.

“දෙයියනේ…” අපර්ණාට කියවුනා. අපර්ණා මොහොතක් සංවේගයෙන් බලන් ඉඳලා සහස්‍රා ලඟට ගියා.

“බඩී….” අපර්ණා හෙමිහිට කතා කලා. සහස්‍රා ආවෙ අපර්ණාගෙ මූණෙ තියෙන හැඟීම මොකද්ද කියලා හිතාගන්න බැරුව.

“ඇයි අක්කා.” සහස්‍රා ඇහුවා.

“යුවති….” අපර්ණාට ඉකිබිඳුනා.

“ඇයි අක්කා… මොකද? ඇයි යුවතිව මතක් උනේ? මොකක්ද… ඕහ් මයි ගෝඩ්…” සහස්‍රාට එක පාරම යමක් මතක් වෙලා ගිහින් මෙහෙණින් වහන්සේලා දන් වළඳන දිහා බැලුවා. ප්‍රධාන මෙහෙණින් වහන්සේ ලඟින්ම ඉඳගෙන ඉන්න මෙහෙණින් වහන්සේ දැකලා සහස්‍රාත් අඩියක් ආපස්සට තිව්වේ පුදුමෙන් ඇස් ලොකු කරන්.

“ඇයි එහෙම කලේ… ඇයි? මට කියන්න තිබුන නේද? එහෙනම් මෙහෙම වෙන්නෙ නෑ නේද?” විහංසා දිගටම කියව කියව අඬනවා.

“මගෙ මැණික මොකද උනේ කියන්නකෝ… ඇයි මේ එක පාරම.” මියුරංග ලඟින් ඉඳගෙන විහංසාව නවත්තන්න උත්සාහ කලා.

“අනේ මට දරාගන්න බෑ අහස්… අනේ ඇයි එහෙම දෙයක් හිතුවෙ. මම මැරිල කියල හිතුවද… මෙහෙම කරන්න කලින් එක පාරක් මාත් එක්ක කියන්න තිබුනා.” විහංසා අඬ අඬ කියවනවා විතරයි කිසිම දෙයක් මියුරංගට තේරුනේ නෑ.

“මට කියන්න ඇයි මේ කියලා. ප්ලීස්.” මියුරංග ඇස් වල කඳුලු පුරවන් ඇහුවා.

“සුදු අයියා… යුවති මහණ වෙලා.” සහස්‍රා ඇස් වල කඳුලු පුරවන් ඇවිත් කිව්වා මියුරංගටත් එක පාරම ඒක හිතා ගන්නවත් බැරි උනා.

“මොකක්?” මියුරංගට කියවුනා.

“ඔව්.. අතන දෙවනියට ඉන්නෙ. බුද්ධ පූජාව පූජා කලේ… ඒ විශාඛා මෙහෙණින් වහන්සේ.” සහස්‍රා හෙමිහිට කිව්වා.

“හ්ම්ම්…. ඒකද මේ? මැණික… දැන් දුක් වෙලා වැඩක් නෑනෙ. ඔයා මෙහෙම දුක් වෙන්න ගියොත් එයා ඒ යන්න පටන් ගත්ත ගමනෙනුත් වැඩක් නැති වෙනවනෙ. නේද? ඉවසගෙන ඉන්න ප්ලීස්. අපි හෙමිහිට හොයාගමු ඇයි එහෙම උනේ කියලා.” මියුරංග විහංසාගෙ හිස අත ගාමින් කිව්වා.

“අනේ ඒත් මොකද උනේ කියලවත්…” විහංසා කියද්දි මියුරංග ඇයව නැවැත්තුවා.

“විහංසා මම කියන දේ අහන්න හොඳට. එයා මොකක් හරි හේතුවක් නිසා අපි හැමෝගෙන්ම ඈත් වෙලා මෙහෙම තීරණයක් ගත්තා. දැන් ඔයා මෙතන අඬලා දුක් වෙලා එයා යන්න ගත්ත ගමන් මාර්ගය වෙනස් කරන්න හදන්න එපා. එහෙම උනොත් අපරාදයක් වෙන්නෙ.” මියුරංග සිද්ධ වෙලා තියෙන දේ නොදන්නවා උනත් ඔහුට තේරුන නිවැරදි දේ කිව්වා.

“ඇත්ත සමී… එයා යන්න පටන් ගත්ත ගමන යන්න දෙමු. ඔයා එයා ඉස්සරහා මෙහෙම අඬලා එයාට එයා ගත්ත තීරණය වැරදියි කියලා හිතන්න දෙන්න එපා. ප්ලීස්. හිත හදාගෙන අපි යමු.” සහස්‍රාත් විහංසාව සනසන්න උත්සාහ කලා.

“මොකද්ද ඒ දරුවට උනේ?” ප්‍රධාන මෙහෙණින් වහන්සේ දරුවටත් දානය සූදානම් කල සියලු දෙනාටත් ආශිර්වාද කරලා අවසානයේ කුටියට යන්න පෙර විශාඛා මෙහෙණින් වහන්සේගෙන් ඇහුවා.

“ලොකු මෑණියො… ඒ මගේ අක්කා.” විශාඛා මෙහෙණින් වහන්සේ හෙමිහිට කිව්වා.

“හ්ම්ම්… එහෙනම් ඒ විහංසා…” ලොකු මෙහෙණින් වහන්සේ කිව්වා.

“එහෙමයි මෑණියො.” විශාඛා මෙහෙණින් වහන්සේ බිම බලාගෙන කිව්වා.

“මෑණියනේ මට ටිකක් කතා කරන්න පුලුවන්ද?” සහස්‍රායි අපර්ණායි ඇවිත් විශාඛා මෙහෙණින් වහන්සේගෙන් අවසර ඉල්ලුවා.

“පුලුවන්. යමු එළියට.” බොහොම සංවර ගමනින් වඩින විශාඛා මෙහෙණින් වහන්සේ දිහා විහංසා කඳුලු බේරෙන ඇස් වලින් බලාගෙන හිටියා.

“කියන්න සහස්‍රා…” විශාඛා මෙහෙණින් වහන්සේ සහස්‍රා දිහාට හැරුනා.

“මෑණියො මෙහෙම තීරණයක් ගනීවි කියලා හිතුවෙ නෑ. අපි හැමදේම සමීගෙන් හංගගෙනයි හිටියෙ. ඒත් අද නොහිතපු විදියට අපි මුණගැහුන එකෙන් සමීගෙ හිතට ලොකු බලපෑමක් වෙලා.” සහස්‍රා කිව්වා.

“මට තේරෙනවා. ඒත් දැන් මට හැරෙන්න බෑ. මම මේ මාර්ගය තෝරා ගත්තෙ ගොඩක් හිතල බලලා. සහස්‍රායි අපර්ණා අක්කයි දෝණිව බලාගන්න. ඒ වගේම මෙහෙම උනේ කාගෙවත් වරදින් නොවන බව කියන්න. මට එයා එක්ක කතා කරන්න අමාරුයි. එයාගෙන් මම සමාව ඉල්ලපු බවත් කියන්න. දැන් පුංචි මෙහෙණින් වහන්සේලාට උගන්නන වෙලාව. මම දැන් කුටියට වඩින්න ඕනෙ.” විශාකා මෙහෙණින් වහන්සේ සහස්‍රාටවත් අපර්ණාටවත් තවත් යමක් නොකියන්න සියල්ලම කියලා අවසන් කලා.

“අවසරයි මෑණියනේ.” අපර්ණා විශාඛා මෙහෙණින් වහන්සේගෙ දෙපා වැන්දා. සහස්‍රා වඳිද්දි ඇගේ ඇස් වලින් කඳුලු පේලියක් බිමට වැටුනා.

“තෙරුවන් සරණයි .” විශාඛා මෙහෙණින් වහන්සේ හෙමිහිට අඩි තියමින් බොහොම සංවරව කුටියට වඩින්න උනා.

“මෑණියනේ… මෑණියනේ….” විහංසා දුවගෙන ගිහින් විශාඛා මෙහෙණින් වහන්සේ ලඟ දණ ගහගෙන අඬන්න ගත්තා.

“අනේ මට සමාවෙන්න මෑණියනේ. මේක උනේ මගේ වරදින්ද?” විහංසාගෙ කඳුලින් විශාඛා මෙහෙණින් වහන්සේගෙ දෙපා තෙමෙද්දි විශාඛා මෙහෙණින් වහන්සේ විහංසාගෙ හිස යන්තමට අත ගෑවා.

“ඔබේ වරදක් නෑ… පෙර කළ කුසල අකුසල කර්මයන් අනුව තමයි මේ භවය නිර්මාණය වෙන්නෙ. මේ මා ගෙනා කුසල අකුසල කර්මයන්. පෙර කළ කුසලයක් නිසා අද මට මේ මාර්ගය පෑදුනා. දැන් මම සතුටින්. ඔබත් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි.” විශාඛා මෙහෙණින් වහන්සේ හිනා වෙලා කුටියට වැඩියා. විහංසා එහෙම්මම ඉඳගෙන කල්පනා කලා.

“සමී… පැටියෝ අපි යමු.” අපර්ණා ඇවිත් විහංසාව නැගිට්ටව ගත්තා.

“දෝණි… දුක් වෙන්න දෙයක් නෑ. එයා තෝරගත්තෙ සුදුසුම මාර්ගය.” උදේනත් ඇවිත් විහංසාගෙ හිස අත ගෑවා.

“ඔව් දෝණි.. දුක් වෙන්න එපා. ඔයාට සතුටු වෙන්න පුලුවන් ප්‍රශ්න බාදක මැද්දෙ මේ වගේ තීරණයක් ගත්ත එක ගැන. මොකද වෙන අය ජීවිතේ නැති කරගෙන අපාගත වෙනවා. ඊට වඩා මේ තීරණේ කොච්චර හොඳයිද?” උදම් කිව්වෙ යුවති ගත් තීරණය ගැන ලොකු පැහැදීමකින්.

“ඒත් මේකට හේතුව මොකද්ද?” විහංසාට තිබුනෙ ඒ ප්‍රශ්නය විතරයි.
____________________________________________________________________

විහංසා ගෙදර ගිය ගමන් කලේ මියුරංගත් එක්ක යුවතිගෙ ගෙදර ගිය එක.

“දෝණි… අනේ කොච්චර දෙයක්ද ආව එක. පැටව් දෙන්නත් ඇවිත්. අනේ ඉස්සෙල්ලම ආව දවසෙ දරුවො දෙන්නට තෑග්ගක්වත් නෑ.” වන්දනා දුක් උනා. විහංසා බලාගෙන හිටියෙ මේ අම්මයි තාත්‍තයි කොච්චර දුක් වෙනව ඇතිද යුවතිගෙ තීරණය නිසා කියලා.

“ඇයි දෝණි… මොකද්ද ප්‍රශ්නෙ?” වන්දනා ඇහුවෙ විහංසාගෙ මූණ අමුතු නිසා. මියුරංගගෙත් කිසිම කතාවක් තිබුනෙ නෑ.

“මට ඇත්ත කියන්න අම්මා. ඔයාලා චූටිගෙ තීරණේ ගැන දැනන් හිටියද නැද්ද?” විහංසා අහද්දි වන්දනා ගැස්සිලා ගියා.

“දෝණි…” වන්දනා තුෂ්නිම්භූත වෙලා වගේ බලාගෙන හිටියෙ.

“අම්මා මම අහපු දේට උත්තරේ විතරයි ඕනෙ.” විහංසා ඇහුවා.

“ඔව් දෝණි.” වන්දනාට කියවුනා.

“ඇයි අම්මා මට ඒ ගැන නොකිව්වෙ? එයාට මට කියන්න බැරි තරම්, හැමෝම අත ඇරලා මහණ වෙන්න තරම් මොකද්ද තිබුන ප්‍රශ්නෙ? කෝ චමත්?” විහංසා ඇහුවා.

“පුතේ චමත් මැරි කරපු කෙනෙක්.” වන්දනා එක පාරටම කිව්වා. එක පාරම එෆ් බී එකේ තිබුන ෆොටෝ එක විහංසාගෙ ඇස් ඉදිරියේ මැවිලා නැති වෙලා ගියා.

“ඒ ෆොරින් ගර්ල් එයාගෙ වයිෆ්ද?” විහංසාට කියවුනා.

“ඔව්… එයා තමයි. අපිවත් දන්නෙ නෑ. චූටි අපෙන් ඈත් වෙන්න ඕන නිසා චමත්ලා එක්ක කතා කරන් තමයි මේක කරල තියෙන්නෙ. වෙඩින් එක කසාද සහතික මේ හැමදේම බොරු. එදා චූටි රට ගිහිල්ලත් නෑ. අපිත් හැමදේම දැනගත්තෙ පස්සෙ. ඔයාට කියලා ඔයාගෙ ඔලුව අවුල් කරන්න බැරි නිසයි ඔයාට හැංගුවෙ පුතේ. අපිට සමාවෙන්න.” වන්දනා අඬ අඬ කිව්වා.

“ඇයි අම්මා චූටි එහෙම තීරණයක් ගත්තෙ?” විහංසා ඇහුවා.

“එයාගෙ හිත රිදෙන දේවල් ගොඩක් උනා. චමත් මුලදි එයාට කියල තිබුනෙ නෑ මැරි කරපු බව. එයා විනෝදෙට චූටිව ආශ්‍රය කරල තියෙන්නෙ. මේක දැනගත්තොත් ඔයා ඔයාගෙ ජීවිතෙත් අවුල් කරගනීවි කියලා චූටි බය වෙලා. ඉතිං චමත්ගෙත් උදව් ඇතුව එයා අපෙන් ඈත් උනා. හැබැයි ඒකම විතරක් නෙමෙයි හේතුව.” වන්දනා කතාව නවත්තලා හයියෙන් අඬන්න ගත්තා.

“ඇයි අම්මා මේ?” විහංසා වන්දනාගෙ ලඟින් ඉඳගෙන ඇහුවා.

“චූටි දැනගත්තා මම එයාගෙ අම්මා නෙමෙයි කියලා.” වන්දනා කියද්දි විහංසාගෙ ඇස් ලොකු උනා.

“මොකද්ද අම්මා කිව්වෙ?” විහංසාට ඒක අදහ ගන්නත් බැරි උනා.

“ඔව් අපිට මැරි කරලා කාලයක් යනකන් බබාල හිටියෙ නෑ. ඉතිං අපි චූටිව අරන් හදාගත්තා. කවදාවත් එයාට ඒක ඇඟෙව්වෙ නෑ. ඒත් එයා කොහොම හරි දැනගෙන තිබුනා. අපෙන් අහද්දි මට කරන්න දෙයක් තිබුනෙ නෑ. මම හැමදේම කිව්වා. ඊට පස්සෙ තමයි එයා මේ තීරණය ගත්තෙ.” වන්දනා අඬ අඬ කියද්දි විහංසාට දැනුනෙ පුදුම වේදනාවක්.

ආයෙම කට්ටියම අම්පාරෙ ආරණ්‍යයට විනුලගෙත් මිනුලගෙත් පළවෙනි උපන්දිනේට. ඒ ගමනට වන්දනා දයාන් යුවලත් එකතු උනා. යුවති මහණ උනාට පස්සෙම ඒ දෙන්නා ආරණ්‍යයට ගියේ නෑ. ඒක ඒ දෙන්නටම ලොකු දුකක් උනා. විහංසාගෙ පෙරැත්තය නිසාම අද මේ ගමනට එකතු උනා.

“හරියටම මාස අටකට පස්සෙ.” ප්‍රධාන මෙහෙණින් වහන්සේ හිනාවෙලා කිව්වා.

“එහෙමයි මෑණියනේ. අද මගේ පුතාලා දෙන්නගෙ පළවෙනි උපන් දිනේ.” විහංසා බිම ඉඳගෙන කිව්වා.

“විශාඛා මෑණියොන්ගෙ දෙමව්පියොත් ඇවිත් තියෙන්නෙ. හොඳයි එහ්ව්ම නම්…. බුද්ධ පූජාව පූජා කරමු.” ප්‍රධාන මෙහෙණින් වහන්සේ කිව්වා.

“මෑණියනේ විශාඛා මෙහෙණින් වහන්සේ….” විහංසා දෙතුන් වතාවක්ම මෙහෙණින් වහන්සේලා දිහා බලලා ඇහුවෙ.

“විශාඛා මෙහෙණින් වහන්සේ දඹදිව වැඩලා. විහංසා මෙහෙ ආවෙ විශාඛා බලන්නද?” ප්‍රධාන මෙහෙණින් වහන්සේ ඇහුවා.

“මට තාමත් හිත හදාගන්න අපහසුයි මෑණියනේ.” විහංසා ඇස් වල කඳුලු පුරවගෙන කිව්වා.

“විශාඛා ගත්තෙ හොඳ තීරණයක්. අද කාලෙ මේ වගේ තත්වයක් ඇති උනාම ගොඩක් තරුණ ලමයි උත්සාහ කරන්නෙ ජීවිතෙන් පැනල යන්න. ඒත් ඒ අතින් විශාඛා මෙහෙණිය හරිම උසස්…. විහංසා දුවට හිත හදාගන්න පුලුවන් විශාඛා අද ඉන්න තත්වය ගැන හිතලා..” ලොකු මෑණියො විහංසාට යුවති ගත්ත තීරණයේ හොඳ පැත්ත කියලා දුන්නා. දන් පිළිගන්වලා දරුවොන්ට ආශිර්වාද අරන් ගෙදර ආවෙ මාස අටක් තිස්සෙ කාමරේට වෙලා අඬ අඬ සහ චමත්ට බැන බැන ඉඳපු විහංසා නෙමෙයි.

එදායින් පස්සෙ විහංසා ආයෙම චමත් පස්සෙ එලෙව්වෙ නෑ. හැමදේම යුවතිගෙ උවමනාවට උන දේවල් බව විහංසා තේරුම් ගත්තා. මුලදි යුවති ගැන පසු තැවීමක් තිබුනත් ලොකු මෑණියන්ගෙ කතාවත් එක්ක ඊට පස්සෙ විහංසා ආඩම්බර උනා යුවති ජීවිතෙන් පරාද නොවී මේ වගේ වැදගත් තීරණයක් ගත්ත එක ගැන.

අවසානයි.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *