අහම්බෙන් හිමි වූ ඔයා… 28

28 කොටස

” හායි තුහින….මීට් මයි ෆියොන්සෙ…..නිශාල්….”

චූටි අයියා ශාරාන්‍යා දිහාම බලාගෙන ඉද්දි ශාරාන්‍යත් අර කොල්ලා එක්ක අපි ළඟට ආවෙ අඩියට දෙකට….

” ඕහ්…..ඔයා කලින් මැරි කරන්න හිටියෙ මෙයාව නේද බබාහ්……ඔකේ ඕකහ්…එනිවේ…..ඔයාලා කතා කර කර ඉන්න….මං ගිහින් අරන් එන්නම්….” ශාරාන්‍යා අතේ එල්ලිලා හිටපු කොල්ලා ශාරාන්‍යාට එහෙම
කියලා යන්න ගියේ ෆුඩ්සිටි එකට…..

හරියට නිකන් තමන් දිනුවා වගේ මූණක් හදාගෙන ශාරාන්‍යා මං දිහත් රවලා බලලා චූටි අයිය දිහා බලලා දැම්මෙ සමච්චල් හිනාවක්…..
චූටි අයියගෙන් ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ….ශාරාන්‍යා දිහාම බලන් ඉන්නවා…..මට දුක හිතුනෙත් ඒ නිසා…..
මං හිතන්නෙ ශාරාන්‍යා මේ විදිහට වෙන කෙනෙක් එක්ක ඉද්දි මොනවා වුණත් චූටි අයියට දුක ඇති…..

” මොකෝ තුහින……දැන් අප්සට් ද ඔයාට….” ශාරාන්‍යා කිව්වෙ තව ටිකක් සමච්චලේට හිනා වෙන ගමන්…

මං හිතුව දේ වැරදී කියලා මට තේරුණේ ශාරාන්‍යා එහෙම ඇහුවට පස්සෙ චූටි අයියා කට කොණින් හිනා වුණු විදිහෙන්…..

” නෑ මට මාර හැපි ශාරාන්‍යා…..ඔයා අරන් තියෙන්නෙ හරි තීරණයක්…..” චූටි අයියා කිව්වෙ හිනා වෙලා ඇත්තටම අවංකව…..

ඒත් එක්කම ශාරාන්‍යාගෙ මූණ කළු වෙලා ගියේ චූටි අයියගෙ ඒ වචන වලට…..
ඒ කියන්නෙ එයාට ඕන වුනේ දැන් චූටි අයියව රිද්දන්න කියන එක හොඳටම පැහැදිලී…ඒත් චූටි අයියා හැසිරුණ විදිහෙන් එයාගෙ හිතේ තිබ්බ දේ හරි ගියේ නෑ…..

” තමුසෙට මං ගැන පොඩ්ඩක්වත් දුකක් නැද්ද මට වෙච්ච දේට….” ශාරාන්‍යා ඇහුවෙ මූණ රතු කරන්…..

” තිබුනා…….ඒත් එදා මගෙ කෙල්ලට කරපු චීප් වැඩෙන් පස්සෙ මට හිතුනා හොඳ වෙලාවට මං තමුසෙව මැරි නොකලෙ කියලා…..” චූටි අයියා ශාරාන්‍යට එහෙම කිව්වෙ මාව ඔලුවෙන් පෙන්නලා…..

ශාරාන්‍යට කරගන්න දෙයක් නැති වුනේ චූටි අයියා එහෙම කිව්වම…..එදා මට පාර්ටි එකේදි ශාරාන්‍යා සැර මොනවද මන්දා පෙව්ව නිසා තව පොඩ්ඩෙන් මං අර වසවර්තියා අතින් විනාස වෙන්න තිබුනා….
ඒ දාවස මතක් කරද්දිත් මට හීන් දාඩිය දාන්නෙ ඒකමයි…..

” තුහින…ම්..ම්..මං…..”

” ඉනෆ් ශාරාන්‍යා…..ආයෙත් මගෙ වයිෆ්ට තමුසෙගෙ ඔය ඇඟිල්ලකින් හරි කරදරයක් වෙලා තිබ්බොත්…..මං නරක මිනිහා කියන්න එපා…..මං එදා උඹට මුකුත් නොකලෙ…මේ කෙල්ල එපා කිව්ව නිසා….උඹ අච්චර දෙයක් කරලත් මේ කෙල්ලට… මේ කෙල්ල මට වචනයක් කියන්න දුන්නෙ නෑ උඹට…….මං දන්නවා උඹ අරූ එක්ක කරපු ඩීල් එක………සතුටු වෙනවා ඒක මං දැනගෙනත් මෙහෙම ඉන්න එක ගැන…..” චූටි අයියා තරහෙන් කිව්වෙ ශාරාන්‍යා බයෙන් වෙව්ලද්දි…..

” චූටි අයියෙ අපි යං…..දැන් ඇති…..” මෙච්චර වෙලා වචනයක්වත් නොකියා හිටපු මං චූටි අයියගෙ අතේ එල්ලුනේ වටේ පිටේ මිනිස්සු අපි දිහා බලන් ඉන්නවා වගේ දැනිච්ච නිසා….
එයාලා මේවා දැනගත්තොත් චූටි අයියටමයි හොඳ නැත්තෙ….

” ආපහු කවදාවත්…මගේවත්…මගේ වයිෆ්ගෙවත් ඇස් වලට පේන්න එන්න එපා…..” එහෙම කියපු චූටි අයියා ඒ ගතට ළං කරන් හිටපු මාව තව ටිකක් වත්තම් කරගන්න ගමන් වාහනේට ආවෙ ශාරාන්‍යා මුකුත්ම නොකියා ගොළු වෙලා වගේ අපි දිහා බලාගෙන ඉද්දි….

ෆුඩ් සිටි එකේ කාර් පාර්ක් එකෙන් කාර් එක අරගෙන පාරට දාලා ටික දුරක් ආවත් චූටි අයියගෙ තරහා මූණෙ කිසි වෙනසක් වුනේ නෑ…
මං බලාගෙනම හිටියෙ ඒ රතු වෙලා තියන මූණ දිහා……
මං බලන් ඉන්නවා කියලා දැනිච්ච නිසාද කොහෙද චූටි අයියා වාහනේ ගෙනියන අතරතුර මං දිහා බලලා ලොකු හුස්මක් පහත දැම්මා….
හරියට නිකන් තරහා නැති කරගත්තා වගේ….

ඒත් එක්කම එක අතකින් වාහනේ අරන් යන ගමන් අනිත් අතින් මං මගෙ උකුළ උඩ තියාගෙන හිටපු මගෙ දකුණු අත තදට අල්ලගත්ත චූටි අයියා මගෙ අත අරන් ඒ දෙතොල් වලට ළං කරලා පිට අල්ල සිපගත්තෙ ඉස්සරහා බලාගෙනම….
එක පාරට මං ගැස්සුණත් මං වෙනසක් නොපෙන්වාම එයා දිහා බලන් හිටියෙ මගේ හිතේ එයා වෙනුවෙන් තියන ආදරේ එන්න එන්න වැඩි වෙද්දි…..

අපි අපේ ගෙදරට ඇවිත් වත්තට වාහනේ දාද්දිම වාහනේ සද්දෙ ඇහිලද කොහෙද අම්මයි තාත්තයි දෙන්නම දොරකඩට ආවා….
අපි ගෙදරට ගත්ත බඩු ටිකත් අරගෙනම බැහැලා ගේ ඇතුළට ආවෙ අම්මලා අපිව ගොඩක් ආදරෙන් පිළිගද්දි….
කාලෙකින් ගෙදර ආපු නිසා ලොකු සතුටක් හිතට දැනුනෙ ගෙදර කොහොමත් මට හුරුපුරුදු තැන නිසා…

” මෙච්චර බඩු මොකට උස්සන් ආවද මං අහන්නෙ…” තාත්තා කිව්වෙ චූටි අයියට…
චූටි අයියා හිනා වුනා විතරයි…..
එයාලා දෙන්නා කතා කර කර ඉද්දි මං සාලෙන් මිදිලා කුස්සියට ආවෙ අම්මට උදව් කරන්න….
අම්මා අපි එද්දිත් බාගෙට උයනවා….

” ඕක තියන්න ළමයො…..මං කරගන්නම්…..” අම්මා කිව්වෙ මං පොල් ටික අරන් මිරිකන්න ගද්දි…..

” ඇයි….අම්මට මාව දැන් පිටද….” මං අම්මගෙන් ඇහුවෙ හුරතලේට වුණත් නෝක්කාඩුවට…..

අම්මා අහිංසක විදිහට මගෙ දිහා බලන් ඉඳලා ආපහු හාල් ටික හෝදලා ලිපේ තියන්න ගත්තා…

අම්මයි මායි එකතු වෙලා එළවලු බතකුයි…චිකන් කරියකුයි…..අල හොදියී…වම්බටු මෝජුවකුයි හැදුවෙ ආගිය තොරතුරු කතා කරන ගමන්…..

කෑම හදලා ඉවර වෙලා කෑම මේසෙට ඇරියට පස්සෙ චූටි අයියටත් බත් බෙදලා දීලා තාත්තටත් බත් බෙදලා දීලා අම්මයි මායි කන්න පටන් ගත්තෙ එයාලත් එක්කම…..
චූටි අයියා නම් ආසාවෙන් අපේ අම්මට රසයි කිය කිය දෙපාරක්ම බත් බෙදාගෙන කෑවෙ මං එයා දිහා ආසාවෙන් බලන් ඉද්දි…..
ඒ රූපෙ…මගේ ඇස් සනසවනවා කියලයි මට හිතුනෙ……

අම්මටත් කුස්සිය අස් කරන්න උදව් කරලා මං මිදුලට ආවෙ තාත්තයි චූටි අයියයිත් සාලෙට වෙලා මොනවද බිස්නස් දේවල් වගයක් ගැන කතා කරද්දි…..

වෙනදට ගෙදර ඉද්දි හැමදාම රෑට ඉඳගෙන අහස දිහා බලන් ඉන්න අපේ නෙල්ලි ගහ යට තියන ලී බංකුවේ ඉඳගත්තෙ මං කාලෙකින්….
මං ටික වෙලාවක් යනකන්ම අහස දිහා බලාගෙන කල්පනා කරේ ෆුඩ් සිටි එක ළඟදි වෙච්ච දේ…….
ඒත් එක්කම මගෙ හිත ගියේ චූටි අයියව මට තීන්දු වුණ දවසට….
එදා නැන්දා මාව දැකලා මට චූටි අයියව බඳින්න කිව්වා මිසක්…
මං එදා එහේ ගියේ නැත්තන්….මේ දේවල් හාත්පසින්ම වෙනස්……
ඔව්….අහම්බෙන් තමා මං එහේ ගියේ එදා…..මං එදා ගෙදර ඉන්න හදලත් අම්මලගෙ බල කිරීමටයි නැන්දලගෙ ගෙදර ගියේ….
ඉතින් මට චූටි අයියව කසාද බඳින්න වුනේ අහම්බෙන්….
එදා ගෙදර ඇවිත් කොච්චර මං ඇඬුවද…මං හිතුවෙ මගේ ජීවිතේ එතනින් නැවතුනා කියලා……ඒත්…..මේ දැන් වෙලා තියෙන්නෙ ඊට වඩා වෙනස් දෙයක්…..
එදා අහම්බෙන් බඳින්න වෙච්ච චූටි අයියව දැන් මට නැතුවම බැරි වෙලා….
කොටින්ම කිව්වොත්….මගේ ආදරේ චූටි අයියා…..
හැමදේම සිද්ද වුනේ හොඳට වෙන්නැති…..මට එයාව ලැබෙන්න ඇත්තෙ මගෙ පිනකට වෙන්නැති…..මං එහෙම හිත හිතම බංකුවෙන් නැගිටලා ගිහින් නෙල්ලි ගහට හේත්තු වුනේ අහස දිහා බලාගෙන…

” සුදූ….” මං ගැස්සිලා වුණත් පිටිපස්ස බැලුවෙ චූටි අයියගෙ කටහඬට….

වටපිටාව කළුවර වුණත් අපේ ගෙදර දොර ළඟ දාලා තිබ්බ ලයිට් එකේ එලියෙන් මට ලාවට ඒ මූණ පෙනුනා…..

” මොනවද කල්පනා කරන්නෙ ආහ්….” එහෙම අහගෙනම චූටි අයියා බංකුවෙන් ඉඳගත්තෙ මං උත්තරයක් නැතුව ගොළු වෙද්දි….

මං බිම බලාගෙනම හිටියෙ කල්පනා කරේ එයා ගැන කියලා කියන්න ලැජ්ජ නිසා….
ඒත් එක්කම මං ඇස් උස්සලා බලද්දි දැක්කෙ මං දිහාම දීප්තිමත් ඇස් වලින් බලාගෙන ලාවට හිනා වීගෙන ඉන්න චූටි අයියව…
ආපහු මං බිම බලාගන්නත් කලින්ම එයා මගේ අතින් ඇදලා එයා ගාවට අරන් මාව ඒ උකුළෙන් ඉන්දවගත්තෙ මගේ මූණ එයාගෙ මූණෙ ගෑවී නොගෑවෙද්දි….මං ලැජ්ජාවට සීතල වෙලා යද්දි එයා මගේ නහයට එයාගෙ නහය තියලා මගේ මූණටම ළං වුනා….

” මං ගැන නේද….” චූටි අයියා ඇහුවෙ එහෙමම ඉඳන් ඇස් වලින් හිනා වෙන ගමන්…

” හ්ම්ම්ම්…” තවත් නිශ්ශබ්දව ඉන්න මට පුළුවන් කමක් තිබුනෙ නෑ…..

” මට කියන්න දෙයක් තියනවා මැණික….” තප්පර ගානක් මගේ නහයට ඒ නහය තියන් මං දිහා බලන් හිටපු චූටි අයියා කිව්වෙ මගේ මූණටම ළං වෙලා කොඳුරලා වගේ…..

” ම්ම්හ්හ්…කියන්න අයියෙ…” මගෙන් සද්දෙ පිට වුනාද කියලවත් මං දන්නෙ නෑ…..
චූටි අයියා මට ළං වෙලා මේ ඉන්න විදිහට මාව හිරිවැටිලා වගේ වෙලා…..
ඒ වුනාට මං හෙමින් වුණත් ඒ ටික කියාගත්තෙ එයත් එක්ක කතා නොකර බැරි නිසා….

” මං ගොඩක් ආදරෙයි සුදූ…..මට ඔයා ඕනෙ…හැමදාටම ඕනෙ….” මගේ ඉනෙන් අල්ලලා තව ටිකක් මාව එයාගෙ ළඟට ඇදගන්න ගමන් චූටි අයියා කොඳුරලා වගේ කිව්වෙ මගේ මූණෙන් ඒ මූණ ඉවත් නොකරම….

ඒත් එක්කම මුළු ලෝකෙම ලැබුනා වගේ සතුටක් මේ හිතට දැනෙද්දි මගේ ඇස් වලින් කඳුළු බිංදු දෙකක් එළියට පනින්න දඟලනවා වගේ මගේ ඇස් බොඳ වුනේ සතුට වැඩි කමට වෙන්නැති….
චූටි අයියගෙ උරහිසේ තිබ්බ මගේ අත් දෙක මටත් නොදැනිම ඒ බෙල්ල වටේ එතෙද්දි මං ඒ නළලට මගේ නළල තද කරගෙනම ඇස් වහගත්තෙ ඒ සතුට දරාගන්න බැරි තැන….
චූටි අයියා අන්තිමට මෙච්චර දවසක් නමක් නොදුන්න මේ අපේ බැඳීමට නමක් දුන්නා…මට දැනුනෙ එහෙමයි…..

මෙච්චර ආදරයක් චූටි අයියා වෙනුවෙන් මගේ හිතේ පිරිලා තියනවා කියලා මට තේරුනේ මගේ ඇස් වලට කඳුළු එකතු වෙද්දි…..
මං තරමට මගෙ අයියත් මට ආදරේ ඇති…..මට ඒක විශ්වාසයි……

” මගෙ දිහා බලන්න සුදූ….” මගේ මූණෙන් ඒ මූණ මෑත් කරලා චූටි අයියා මගෙ නිකටෙන් අල්ලලා මං පහත් කරන් හිටපු මූණ එයාගෙ ඇස් මට්ටමට ගත්තෙ මං වහන් හිටපු ඇස් දෙක එයාගෙ වචන වලින් නිකන්ම ඇරෙද්දි….
මං ඒ ඇස් දිහාම බැලුවෙ ඒ එක්කමයි……ඒ ඇස් වල මං වෙනුවෙන් කියාගන්න බැරි ආදරයක් පිරිලා…..මට එයාව දැනෙනවා දැන්…..ඔව්…ඒ ආදරේ මං වෙනුවෙන්ම තමයි…..

” එදා….වෙඩින් එකට කලින් දවසෙ….අම්මා ඇවිල්ලා මට කිව්වම ඔයාව මැරි කරන්න කියලා….මං ඒකට පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ…..දන්නවද…..” චූටි අයියා ලොකු කතාවකට මුල පුරන්න වගේ කිව්වම මට දුකක් නොදැනුනාම නෙවෙයි….

” මං හිතුවෙ ඒක ඔයාට කරන අසාධාරණයක් කියලා…..මගෙ මැණික මාත් එක්ක වචනයක්වත් කතා කරලා නෑ එතකොට…..මං දැනන් හිටියා ඔයා කැමති වුනේ මගෙ අම්මට බෑ කියන්න බැරි කමට කියලා……ඒත්…..මගෙ මැණික මගේ කොෆී එකත් අරන් හා පැටියෙක් වගේ බයෙන් බයෙන් එදාම මගේ රූම් එකට ආපු වෙලාවෙ…….මට හිතුනා මේ චූටි කෙල්ලව මට අයිති කරගන්නම ඕනෙ කියලා…..මේ ලස්සන චූටි ඇස්….ඔය අහිංසකකම…..හැමතිස්සෙම බිම බලාගෙනම ඉන්න ඔය මූණ…..මට මේ හැමදේම ඕන වුනා සුදූ……මං දන්නවා….ඔයා එතකොටත් දුකින්…..මං සෙල්ෆිශ් වුනා….ඔයා ඇවිල්ලා මට මේ මැරේජ් එකට කැමති වෙන්න එපා කියලා ඉල්ලුවත්…..මං ඒ තරමට සෙල්ෆිශ් වුනා…..මං ගැන විතරයි හිතුවෙ….මට ඒ තරමට ඔයා ඕන වුනා…..ඔයා දුකින් ඉද්දි මං සතුටු වුනා ඔයා ලැබෙනවා කියලා හිතලා…..අයිම් සොරි මැණික…..”

චූටි අයියා මගේ මූණ එක අතකට අරන් මහපට ඇඟිල්ලෙන් මගෙ කම්මුලක් පිරිමදින ගමන් කියද්දි මගේ කඳුළු හැමදේටම කලින් ඉස්සර වෙලා කම්මුල් දිගේ පහළට බේරුනේ චූටි අයියා මං දිහා බලන් ඉද්දිම….
ඒත්…..ඒ දුකකට නෙවෙයි කියන්න මගෙ හිතට විශ්වාසයි….
ඔයා මාව බලෙන් අයිති කරගත්තා…ආත්මාර්ථකාමී වුනා කියලා කියද්දිත්….මට දැනුනෙ ඔය හිතේ මං ගැන තියන ආදරේම විතරයි මගෙ අයියෙ…. මගේ ජීවිතේ මේ වෙනකන් මං වැඩි පුරම සතුටු වුණ දවස අද වෙන්නැති….
ඒ තරම් චූටි අයියගෙ ආදරේ මගේ හිත පුරවලා…..

” මං ආදරෙයි මැණික…..මට වෙන කියන්න තේරෙන්නෙ නෑ…..මගෙන් ඈතට යන්නෙ නෑ කියලා විතරක් කියන්න……ප්ලීස්…..ඔයාගෙ චූටි අයියා ගාවටම වෙලා ඉන්න හැමදාම…..ඉන්නවා නේද……”

චූටි අයියා කිව්වෙ හයියෙන් හුස්ම උඩට පහළට ගන්න ගමන්…මගේ මූණටම ළං වෙලා…ඒ වේගවත් හුස්ම මගේ මූණට වැදෙන තරම් එයා මට ළං වෙලා….
මං ඔලුව උඩට පහළට කලේ මට කියාගන්න වචන නොඑද්දි ඔව් කියලා කියන්න

ඒත් එක්කම මුළු ලෝකෙම ලැබුනා වගේ සතුටින් හිනාවීගෙන මගේ මූණ දෝතට අරන් ඉමක් නැතුව මගේ මුළු මූණම චූටි අයියා සිපගද්දි මං ඇස් වහගෙනම ඒ පහසට ඉඩ දුන්නෙ මගෙ මුළු හිතම චූටි අයියා වෙනුවෙන් වෙන් වෙද්දි….
ඒ හිතට ඉස්පාසුවක් නෑ වගේ මගෙ මුළු මූණම අතොරක් නැතුව සිපගත්තෙ වටපිටාව ගැනවත් අවධානයක් නැතිව….මං ඇස් වහගෙනම ඒ දෙතොල් වලට ඉඩදුන්නා…..

” සුදු දූ…කොහෙද අනේ මේ ළමයි දෙන්නා…” අම්මා එහෙම කියාගෙන මේ පැත්තට එන සද්දෙට අපි දෙන්නම ගැස්සුනා….
ඒත් එක්කම මං කරන්ට් එක වැදුනා වගේ චූටි අයියගෙ උකුළෙන් නැගිටිද්දි චූටි අයියත් ඉඳන් හිටපු ලී බංකුවෙන් නැගිටලා දොර පැත්තට ඇදුනෙ මාත් එක්කම…..

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

ඔන්න දැම්මා…..කතාව අහලා එවලා තිබ්බා ගොඩක් දෙනෙක්…..ස්තූතීයි හැමදේටම…..
ඒ වගේම මං නොදැනුවත්ව කාගෙහරි හිත රිද්දලා තියනවා නම් සමාවෙන්න….ඒ මං කතා කරන විදිහ…..තරහා වෙන්න එපා ඔයාලා….
ඒ වගේම කියන්න කැමතී…මේක මගේ අවසාන කතාව වෙයි…..ඊට පස්සෙ ඉතින් වැඩ වැඩී….කතාවක් පටන් අරගෙන මඟදි නවත්තලා ඔයාලව බලන් ඉන්න සලස්වන්න ඕන නෑ මට…..
තව දෙයක්….පාඨකයන් එකසිය ගානකින් පළවෙනි කොටස පටන් අරගෙන මේ වෙද්දි දාහක් විතර මගෙ කතාව කියවනවා….සතුටුයි…..ගිහින් එන්නම්….

මතුසම්බන්ධයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *