අහම්බෙන් හිමි වූ ඔයා… 33

33 කොටස

මගේ හිස උඩ හෙන හත අටක් පිපුරුවා වගේ දැනෙද්දි මං එතනම නැවතිලා ආපහු කාමරේ පැත්තට හැරුනේ මගේ පපුව මහා ලොකු බයකින් වේගෙන් ගැහෙද්දි…

” මල්ලි මං කියන දේ…”

” අක්කෙ….මං දන්නවා එදා අපේ ටියානා මැරි කරන්න පුළුවන් වයසක හිටියා නම්…අනිවාරෙන් ටියානව තමා ඔයා තුහිනට මැරි කරවන්නෙ කියලා….එදා කෙනෙක් නැති කමට අර හිඟන කෙල්ලව තුහිනට මැරි කෙරෙව්වට දැන් ටියානගෙ වයස හරි අක්කෙ….අපිට නෙක්ස් ඉයර් වලින් පස්සෙ තුහිනවයි ටියානවයි මැරි කරවන්න පුළුවන් මේ කෙල්ලව දැම්ම අයින් කරලා දැම්මොත්…” බාප්පා නැන්දට තව තවත් කියද්දි මට හිටගෙන ඉන්නවත් පණක් තිබ්බෙ නෑ….

මගේ අත් වෙව්ලලා අතේ තිබ්බ බෙහෙත් ටිකයි වතුර වීදුරුවයි ට්‍රේ එකත් එක්කම බිමට වැටිලා වතුර වීදුරුව බිඳිලා ගියේ මේ වෙලාවෙ මගේ හිත වගේ…
මං ඒත් එක්කම කාමරේ පැත්ත හැරුනෙ නැන්දලා වීදුරුව බිඳුණ සද්දෙට කලබල වෙලා එළියට එද්දි….
ඒත් එක්කම කලබලෙන් එහාට මෙහාට වෙන්න ගියපු මගේ යටි පතුල බිඳුණු වීදුරුවෙ කටුවක් පෑගිලා පසාරු වීගෙන යනවා දැනෙද්දි මං එතනම නැවතුනේ මගේ කකුලෙන් දැනුන වේදනාවට….
නැන්දලා කාමරෙන් එළියට කලබලෙන් ඇවිත් මං දිහා ගැස්සිලා බලන් ඉද්දි මං දැක්කෙ ටයිල් පොළව දිගේ මගේ යටිපතුලෙ ඉඳන් තද රතු පාටට ලේ ගලනවා….
වේදනාවක් කකුළෙන් දැනුණත් මගේ හිතේ වේදනව ඊටත් වඩා මහ ගොඩක් වැඩී කියලයි මට හිතුනෙ….
මගේ චූටි අයියව මගෙන් ඈත් කරන්න යනවා මේ මිනිස්සු එකතු වෙලා…
මං කොහොමද දෙයියනේ ඉවසන්නෙ…..කකුළෙ වේදනාව ගානක් නැති වුණත් මගේ ඉකිය මහා ලොකුවට මගේ මුවින් පිට වුනේ බාප්පා නැන්දට කියපු වචන ආයෙ ආයෙ මතක් වෙද්දි…..
සද්දෙ මොකද්ද බලන්න අක්කයි….ටියානයි…තව කීප දෙනෙකුයි උඩ තට්ටුවට එද්දි මං ඇවිදගන්නවත් බැරුව එතනම බිමට වාරු වුනේ කකුළ් පණ නැති වීගෙන වගේ එද්දි…

” අදිති…..” නැන්දා බය වෙලා මං ළඟට ආවත් බාප්පා හිටියෙ තාමත් මාව දැකපු පාරට ගැස්සිලා….

” සුදූ….” ඒත් එක්කම චූටි අයියා කලබලෙන් කෑගහගෙන මං ළඟට දුවන් ආවෙ එයත් මේ කලබලේ මොකද්ද බලන්න උඩට ආපු පාර මාව දැකලා….
මං මුකුත්ම නොකියා ඉකිය විතරක් මගේ මුවින් පිට වෙද්දි චූටි අයියා මාව හරහට අරගෙන එක්කන් ගිහින් තිබ්බෙ සෝෆා එකේ…..

” අනේහ් අක්කා….ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්න….” චූටි අයියා හොඳටම බය වෙලා….
ඒ ඇස් මගේ වේදනාව දරාගන්න බෑ වගේ බොඳ වෙලා…..
ඒත් එක්කම අශිකා අක්කට එහෙම කියපු චූටි අයියා සෝෆා එක ළඟ පහලින් ඉඳගෙන මගේ තාමත් කකුළ ඇතුලට පසාරු වෙලා ලේ ගලන වීදුරු කටුව තියන කකුළ ඒ දණහිස උඩින් තියාගත්තා…..
මට නම් වේදනාවක් දැනුනෙ නැති තරම්….මං හිටියෙ තාමත් බාප්පගෙ වචන වල සිහියෙන්….

” මල්ලි….ඩොක්ටර් එයි දැන්……ඒත් අපිට ඔය වීදුරු කටුව අයින් කරන්න වෙනවා….තවත් කෙල්ලට රිදෙනවා නැත්තන්….ඔයා නංගිව අල්ලගන්න…මං ගන්න බලන්නම්….” එහෙම කියපු ගමන් චූටි අයියා මගේ ළඟින් ඉඳගෙන මාව ඒ ඇඟට වත්තම් කරගද්දි අශිකා අක්කා මගේ කකුළෙන් වීදුරු කට්ට ඇදලා ගත්තෙ කකුලෙන් තවත් ලේ ගලද්දි….
මං බැලුවෙ චූටි අයියා දිහා…ඒ ඇස් වල කඳුළු….මං වෙනුවෙන් නේද ඒ…..මට වඩා එයාට රිදෙනවා කියන්න මං දන්නවා…. ඇයි දෙයියනේ අපි දෙන්නගෙ මේ ආදරේ මේ මිනිස්සු නැති කරලා දාන්න හදන්නෙ…
ඇයි මේ මිනිස්සු මේ තරම් අමානුෂික….

මං දැක්කෙ පැත්තකට වෙලා මං දිහා තරහෙන් බලාගෙන ඉන්න ටියානා….ඒ හිතේ මං ගැන තියන තරහට හේතුව මට දැන් කවුරුත් පැහැදිලි කරන්න ඕන නෑ….
මට ඒත් එක්කම දැනුනෙ ලොකු වේදනාවක්….අපි සාමාන්‍ය මිනිස්සු නිසාද මෙච්චර අසාධාරණයක් කරන්න හදන්නෙ….

ඩොක්ටර් ඇවිත් මගේ කකුළ බලලා බෙහෙත් දාලා වෙලුම් පටි වලින් බැඳලා ගියේ කට්ටිය ඔක්කොම බලන් ඉද්දි…චූටි අයියා තප්පරේකටවත් මං ළඟින් හෙල්ලුනේ නෑ….ඒ අත් දෙකෙන් මාව ඒ ගතට වත්තම් කරගෙනම මගේ මූණ අතගානවා….
මෙච්චර ආදරයක් මට නැති වෙන්න යනවා කියලා දැනෙද්දි මගේ කඳුළු අලුත් වෙලා කම්මුල් දිගේ පහළට ගලාගෙන ගියා…..

” රිදෙනවද මැණික….” ඒ මුවෙන් ඇසී නොඇසෙන ගානට ඒ වචන ටික මගෙන් අහද්දි මං නෑ කියන්න ඔලුව දෙපැත්තට කලේ කකුළෙන් වේදනාවක් ගෙන දුන්නත් ඊටත් වඩා මගේ හිත වේදනා නිසා….
ඒත් චූටි අයියට කොහොමද මං මේ වේදනාවට හේතුව කියන්නෙ…එයා විශ්වාස කරයිද…..
එයා වැඩිහිටියො කියන දේට පිටින් යන්න බැරි කමට මාව……
නෑ කවදාවත් නෑ….මට පව් පිරෙයි මගේ මහත්තයා ගැන එහෙම හිතුවත්….ඒ හිතේ මට තියන ආදරේ එයා අත් හැරලා දාන්නෙ නෑ කියන්න මං දන්නවා…ඒත්…මගේ බය නැති වුනේ නෑ….මට මේ ආදරේ…මගේ චූටි අයියා නැති වෙයි කියලා ලොකු බයකින් දැන් මේ හිත පිරවිලා…
මං ඒ පපුවට තුරුල් වුනා….කට්ටිය හැමෝම ආපහු සාමකාමී වුණු නිසා අපි දෙන්නා විතරක් තනි වුනේ ටියානගෙ පාර්ටි එක ඉවර නැති නිසා…..මං ඒ පපුවට තුරුල් වීගෙනම ඉද්දි චූටි අයියත් මගේ හිසට ඒ තොල් පෙති තදකරගෙන බරට සුසුම් හෙළනවා….

” අදිති දුව…..” මං චූටි අයියගෙ පපුවෙන් මෑත් වුනේ පිටිපස්සෙන් ඇහුණු නැන්දගෙ කටහඬට…

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

චුට්ටයි ද….ඔව් චුට්ටයි තමයි…සමාවෙන්න…මේ දවස් වල පාසලේ බාහිර වැඩ වගේකට සහභාගි වෙන නිසා නිදහසක් ඇත්තෙම නෑ….ඒත් කොහොම හරි දානවා…මෙහෙම හරි…

මතුසම්බන්ධයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *