~~~ආදර පාරමී ~~~~~ 07 කොටස

‘බබී ඇහැරෙන්න ඉස්කෝලේ යන්න තියෙනවා ..’ ඒ උදෑසන මා අවදිවුවේ අම්මාගේ කටහඩටය … වැඩට යෑමට සුදානම් වෙමින් උන් ඈ පමා වෙන්න ඇත්තේ මා අලුත් පාසලට භාරදීමට පැමිණෙන නිසා වියයුතුය … කඩිමුඩියේ අවදිව මුහුණ කට සෝදාගෙන අලුත්ම සුදු ගවුම ඇගලා ගත් මා ටයි පටිය ගැටගසාගෙන කැඩපතට එබුනෙමි … එහි උන්නේ උදාසීන පෙනුමැති ගැහැණු ළමයෙකි … ‘බබී මට වැඩට යන්නත් තියෙනවා … ඉක්මනට එනවාද …’ අම්මා ගෙදරින් එලියට බැස කතා කරනතුරුම මා උන්නේ කැඩපත ඉදිරියේ හැඩවෙමිනි … ‘මේ එනවා අම්මා … ’ ‘මොකද ළමයෝ ඔච්චර වෙලා කලේ … බලන්න හතටත් ලගයි වෙලාව …’ නෝක්කාඩු පවසමින් අම්මා ඉස්සර වෙද්දී කිසිවක්ම නොකියු මා ඈ පසුපස වැටුනෙමි … රහල්ගේ නිවස අසලින් ගමන් කරද්දී නිකමට මෙන් එදෙස බැලු මට හිල්ලුනේ ඉබේටමය .. රහල් නොකියාම ගියත් මගේ හිතේ ඔහු වෙනුවෙන් කිසිම තරහක් නැත …. රහසෙන්ම ජිවිත වලට පැමිණෙන අය රහසේම පිටව යන බව සත්‍ය යැයි මා උගත්තේ ඔබගෙනි …. ‘ බබී …. බස් එකෙන් බහින්න ළමයෝ ….මොන ලෝකේ ඉන්නවාද දන්නේ නැහැනේ මේ කෙල්ල ..’ බසයෙන් බසින තුරුම මා උන්නේ ඔවැනි කල්පනාවක වෙලෙමිනි … ‘බබී කාත් එක්කවත් ප්‍රශ්න දාගන්නවා එහෙම නෙවෙයි හරිද ….මට බෑ ආයේ ඔයාට ඉස්කෝල හොයන්න ..’ බාලිකාවේ විසල් ගේට්ටුවෙන් ඇතුල්වෙමින් අම්මා මට උපදෙස් දෙන්න වුවාය ….අම්මා කියුවක් අසාගෙන උන්නා මිස ඇයට විරුද්ධව යමක් කීමට මට උවමනා නොවිය … ‘මිසිස් ඉරුගල්බණ්ඩාර මම මේ ළමයාව ගන්නේ මිස්ට දෙණිපිටියගේ කීම අහක දාන්න බැරිනිසා … ’ උසමහත පෙනුමක් ඇති විදුහල්පතිනිය උපැස් යුවලට යටින් මා සහ අම්මා දෙස වරින්වර බැලුවාය .. ‘ලොකු උදව්වක් මැඩම් මේ කලේ …. ’ අම්මා විදුහල්පතියට මුවපුරා තුති පිදුවාය … ‘තරුෂි …මේ ළමයාව 12 බි ආර්ට් ක්ලාස් එකට එක්ක ගිහින් … ඉලංගකෝන් මැඩම්ට මේක දෙන්න ’ කාර්යාලය තුළට ශිෂ්‍ය නායිකාවක් කැදවා උපදෙස් දුන් විදුහල්පතිනිය යමක් ලියු කොලයක් ඈ අත තැබුවාය ‘ අම්මා මම යනවා ….’ ‘මම කිව්ව දේවල් මතක තියාගෙන ඉගෙන ගන්න ..’ අම්මා නැවත වරක් පවසද්දී හිසවැනු මා තරුශිට එකතු උනෙමි .. ‘මේක තමා ඔයාගේ අලුත් පන්තිය …’ තරුෂි සිනා මුවෙන් මා දෙස බලා පංති කාමරයට ඇතුල්වෙද්දී මාද ඈ අනුව පංතියට ඇතුළු උනෙමි … ‘එක්ස්කියුස් මි මැඩම් ….ප්‍රින්සිපල් මැඩම් මේක දෙන්න කිව්වා …’ පාඩමක් උගන්වමින් උන් ගුරුවරිය අප දෙසට හැරෙද්දී තරුෂි විදුහල්පතිනිය ලබාදුන් ලිපිය ඈ අත තැබුවාය .. ‘මම එහෙනම් යනවා …’ මද සිනාවක් පා තරුෂි පිටව යද්දී මා පංති කාමරය සිසාරා බැල්මක් හෙළුවෙමි… පංතියේ උන් හැම කෙල්ලකගේම ඇස් නතර වී තිබුනේ මගේ ලගය … ‘ළමයි …මේ ඉන්නේ පාරමී ඉරුගල්බණ්ඩාර ….අද ඉදලා ඔයාලාගේ සහෝදරියක් වගේ මෙයාට සලකන්න ඕන … ’ ‘හොදයි මැඩම් ..’ මුහුණින් විකාර ඉරියව් පාමින් උන් බාලිකාවන් එකවර මහා හඩින් කෑ ගසන්න වුවෝය .. ‘හරි .. දැන් ඔය කෑ ගැහිල්ල නතර කරනවලා .. පාරමී ඔයා ගිහින් නෙතුලි ලග වාඩිවෙන්න … ’ පංති කාමරය ගිය මම ගුරුවරිය පෙන්වූ ස්ථානයේ අසුන්ගත්තෙමි … එහා පසින් උන් දැරිය මුවේ දෙතිස් දතම පෙන්වා සිනාසෙද්දී මම ගුරුවරිය දෙස බැලුවෙමි .. ඇය නැවත පාඩම කියා දෙමින් උන්නාය ‘කොහොමද පාරමී ..’ නෙතුලි කුටු කුටු ගාද්දී මා ඈ දෙස බලා සිහින් සිනාවක් පෑවෙමි ..කිසිදිනක මටම කියා මිතුරියක් නොසිටි නිසා කිසිවෙකු හා මිතුරු වෙන්නේ කෙලෙසද කියා මා නොදැන උන්නෙමි … ‘හොදයි ….ඔයා කව්ද …’ අකීකරු බොකුටු වරලස එක්කොට වරලස ගොතා තිබුනද එහෙන් මෙහෙන් අවුල් වී තිබු හෙයින් ඇගේ පෙනුම බෙහෙවින් දගකාර විය … සිනාසෙන විට සිහින් වෙන දෑස් ඇගේ මුහුණේ දීප්තිය දෙගුණ තෙගුණ කළේය ,, ‘මම නෙතුලි ….නෙතුලි ඒකනායක …’ මා කතා කලේ බොහෝ රහසෙනි … කතා නොකර උන්නොත් ඇය සිතනු ඇත්තේ මා ආඩම්බරකාරියක ලෙසටය …. ‘ඔයා හරි කියුට් අනේ …. ’ ‘තැන්ක්ස් …’ ‘මේ ඒක නෙවෙයි ඔයාට අයියලා එහෙම නැද්ද …’ ‘නැහැ මම විතරයි ඉන්නේ ..’ නෙතුලි කතාව නවත්වන පාටක් නැත ….. එක් පැනයක් නිමවන්නට පෙර තවත් පැනයක් අසන ඇයට පිළිතුරු නොදී මගහැරිය නොහැකි නිසාම මා ඇයට ප්‍රති උත්තර දුන්නෙමි …. ‘නෙතුලි මොකක්ද ඔය අළුත් ළමයා ආව වෙලාවේ ඉදලා කුටු කුටු ගාන්නේ …’ ගුරුවරියට නෙතුලිගේ හැසිරීම ඇසගැටී තිබුණි ‘මැඩම් ….මම මේ …මේ ..පාරමිගෙන් ඇහුවේ උදේට කාලද ආවේ කියලා …. ’ ගොත ගහන ගමන්ම නෙතුලි ගුරුවරියට දෙන්න උත්තරයක් හොයාගත්තා ‘ඇයි දැන් එහෙම අහන්නේ .. තමුන්ගේ කෑම එක මේ ළමයාට කවන්නද … ඉන්ටර්වල් එකේදී කයිවාරු ගහනවා ….දැන් ඔය ළමයාට පාඩම අහගන්න දෙනවා …. ආයේ එහෙම කතා කරලා අහුවුනොත් පන්තියෙන් එලියට දානවා …..’ ගුරුවරියගේ දැඩි හඩ පංති කාමරය පුරාම පැතිර යද්දී බාලිකාවෝ ශු කියන්න ගත්තෝය … ඝෝෂාව අනිත් පංති වලටත් ඇහෙන්න තරමට වැඩිවෙද්දී ගුරුවරිය කලේ වේවැල අතකට ගැනීමයි … ‘ කෙල්ලෝ කීවාට මුන් නම් කෙල්ලෝ නෙවෙයි කොල්ලෝ වගේ … එකෙක් හරි කෑ ගහලා අහුවෙන්න එපා ආයේ මට …. කට්ටියත් එක්කම පංතියෙන් එලියට දානවා ’ බාලිකාවන්ගේ ඝෝෂාව යටකරගෙන ගුරුවරියගේ උස් කටහඩ ඉස්මතුවෙද්දී බාලිකාවෝ පොතේ ඇස් තියාගත්තේ පංතියෙන් එළියට යන්න වෙයි කියන බයටම වෙන්න ඇති …… ‘අපෝ ඇති යන්නත් මිස් කච කචේ ගියා … නිවන් ගියා වගේ බන් ඒ කටහඩ ඇහෙන්නේ නැතිවුනාම …’ ගුරුවරිය පංතියෙන් පිටවූ විගස බාලිකාවෝ එක රොත්තට මහා හඩින් කෑ ගසන්න වුවෝය … ‘ මචි , උබේ ඉස්සරලා ගිය ස්කුල් එක මොකක්ද …’ කෙල්ලෝ දෙතුන් දෙනෙක් මගේ ලගට ඇවිත් ඩෙස්ක් එක වට කරගත්තා ‘රාහුල ..’ ‘මොකද අස්වුනේ ඒ ඉස්කෝලෙන් …’ ඔවුන්ට දීමට නිසිපිළිතුරක් මා උවේ නැත … මගේ අම්මාට අපහස කරන ළමුන් ට මුහුණ දීමට නොහැකි නිසා මා පාසලෙන් අස්වූ බව ඔවුන්ට කිව නොහැකිය ….. ‘මිස් කේන්තිලතා එනවා ….ඉදගනිල්ලා ඉක්මනට …’ පංති කාමරයේ පිවිසුම් දොරටුවේ උන් දැරියක් කෑ ගසද්දී විසිර ගිය බාලිකාවන් නිමේෂයකින් තම තමන්ගේ ඩේස්ක් වලට ගොස් අසුන්ගත්තේ දහයට ගණන් කිරීමටදු නොහැකි අයවලුන් ලෙසටය … ගුරුවරිය පැමිණියේ නියම වෙලාවටය ….නැතිනම් සිදුවන්නේ බාලිකාවන් ඉදිරියේ පිළිතුරු දීමට නොහැකිව මා අසරණව යෑමය … මා ගුරුවරිය දෙස බැලුවේ හිතින් දෙවියන්ට පින්දෙමිනි . ඉන්පසු විවේකය වෙන තුරුම කිසිවෙකුට හෙලවිමටදු ඉඩක් නොලැබුණි …. මිස් කේන්ති ලතා හෙවත් ලතා මැඩම් බෙහෙවින් තරහා යන සුළු අයෙකු වූ බැවින් බාලිකාවන් ඇයට දැක්වුවේ බියක් බවත් ඇගේ නමට කලින් කේන්ති යනුවෙන් එක්කර කෙල්ලන් විසින් ඇගේ නම අර්ථවත් කල බවත් පසුකලෙක මට දැනගන්න ලැබුනේ නෙතුලිගෙන්ය … ‘ඔයා ලන්ච් ගෙනාවද …’ දිවා ආහාර වෙලාවේදී නෙතුලි මා දෙස බලද්දි මා හිස සොලවා නැති බව පැවසුවෙමි .. ‘එහෙනම් මගේ එකෙන් කමු …’ හා කියන්නත් කලින් මගේ අතින් අල්ලාගත් නෙතුලි මාවත් ඇදගෙනම ජල කරාමය වෙත ගොස් අත සෝදන්න වුවාය .. නෙතුලි ගෙනැවිත් තිබුනේ දසදෙනෙකුට කෑ හැකි කෑම පාර්සලයකි … කෑම පාර්සලය විවර කල සැනින් අනාරාධිතව කෑම පාර්සලය වටා රැස්වූ කෙල්ලන් දහයකගේ පමණ අත්වලින් කෑම එක වැසිගියේය ‘පාරමී …ඔයත් කන්නකෝ ….පැත්තකට වෙලා හිටියොත් කන්න හම්බවෙන්නේ නැහැ .. පොරකාලා තමා මුන් එක්ක කන්න ඕන … නැති නම් කන්න වෙන්නේ හුලං තමා ..’ මලිති මා දෙස බලා එලෙස පවසද්දී මද සිනා පෑ මා බත් කටක් ගෙන මුවේ රුවා ගතිමි …මලිතිද බෙහෙවින් දගකාරියකි …එමෙන්ම කටකාරියකි … තලෙළු පැහැති සමක් තිබු ඇය පියකරුය .. නිතබට පහලින් වැටි තිබුණු වරලස නිසා ඇයට ලැබී තිබුනේ සුන්දරත්වයකි ….. පෙරදී නම් පංතියේ උන් දැරියන්ගෙන් මට ලැබුනේ අපහාසයන් සහ අවමන්ය ..නමුත් අද … නව බාලිකාවට පැමිණි මුල් දිනයේදීම සම වයස් බාලිකාවන්ගෙන් ලැබුනේ කෙදිනවත් මා නොලැබූ මිතුදමයි … අළුත් පන්තියේ උන් එකියක් දෙන්නෙක් නොවෙන්න අන් සියල්ලෝම මා සමග මිතුරු වීමට ඒ හැටි කාලයක් නොගියේය …ඉතින් මා උන්නේ බෙහෙවින් සතුටෙනි …සැහැල්ලුවෙනි …. මගේ එකම පැතුම උවේ මේ සතුට මැකී නොයේවයි කියාය …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *