~~~~ආදර පාරමී ~~~ 26 කොටස

තාත්තා සුවවී නිවසට පැමිණියේ තවත් සතියකට පමණ පසුවය .. … ඔහුට වෙඩි ප්‍රහාරය එල්ල කලේ කවුද කුමකටද යන කරුණ හෙලිනොවූ රහසක් වෙද්දී අප නැවතත් සුපුරුදු ජිවන රටාවට හුරුවෙමින් උන්නෙමු ….. තාත්තා වෙනුවෙන් වැය කල කාලය වැඩිවෙත්ම හිම්සර ගැන සිතීමට කාලයක් පවා නොවූ තරම්ය …. ‘තාත්තා මේ සුප් එක බිලා ඉන්නකෝ …’ යහනේ වැතිරී අසරණ දෑසින් බලා ඉන්නා තාත්තා වෙත ගොස් මා ඔහු අත සුප් කෝප්පය තැබුවෙමි …. තාත්තාගේ මුහුණේ වූ අසරණ භාවයට මා අකැමැත්තෙමි …මට උවමනා වුවේ ඔහුගේ සතුට දැකීමටය … ‘බබිට මම නිසා කරදරේ …හැමවෙලේම මගේ ආවතේව කරනවා … ඔය වැඩකාරයෝ ඉන්නේ මේවා කරන්න …ඔයා පොතක් බලාගන්න …’ තාත්තා මා වෙහෙස වෙනවා දකින්න කැමති නැත … එහෙත් මට උවමනා වුවේ තාත්තා වෙනුවෙන් මගේ උපරිමයෙන් උවැටන් කිරීමය …. තාත්තාගේ සියළුම වැඩකටයුතු සොයා බලා මා කලේ ඉතා සතුටිනි … ‘තමන්ගේ දෙමවිපියන්ට අසනීප වුනාම බලාගන්න බැරි නම් …. එයාලාගේ කැතකුණු අතගාන්න බැරිනම් ඒක මහා පව්කාරකමක් …. තාත්තා ආදරෙන් බලාගන්න තාත්තාගේ දුව තරමට වැඩකාරයන්ට බැහැ ..’ ‘ඔයා පුංචි කාලේ මේ අත්දෙකට අරන් හුරතල් කරන්න බැරිවුණ පවුකාර තාත්තා කෙනෙක් මම … එහෙව් මට ඔයා මේ කරන දේවල් දරාගන්න බැහැ බබී …’ තාත්තාගේ ඇඩුවේ අතීතයේ දවස් සිහිකරමිනි … ‘ඔයා ඕවා ගැන හිතලා දුක් වුනොත් මට ඊටත් වඩා දුක හිතෙයි ….දැන් ඔය දේවල් ගැන හිතන්න එපා ….මම දන්නවා එකම දෙයක් ඒ ඔයාගේ වරදින් නෙවෙයි කියලා ….. අම්මා මාවත් අරන් ඔයාව දාලා ගියේ නැති නම් අපි හැමෝම සතුටින් නේද තාත්තා ….’ ‘අම්මට දොස් කියන්න එපා බබී එයත් වැරදි නැහැ …. මේක අපේ දෛවය වෙන්න ඇති …. ‘’ අතීතය අමිහිරි දින සිහිකිරීම තාත්තාට වේදනාවක් වෙන්න ඇත …. ‘හරි ආයේ ඕවා ගැන හිතන්නේ නැතිව ඉන්න …දැන් මගේ හොද තාත්තා වගේ මේ සුප් එක බිලා ඉන්න …’ නොබී අතේ තබාගෙන උන් තාත්තාගේ සුප් කෝප්පය ගෙන මා කලේ එය ඔහුට පෙවීමය … ‘දැන් මේ බෙහෙත් ටික බිලා මගේ හොද තාත්තා වගේ නිදාගන්න ..’ තාත්තා අසලින් මා පිටව යන්නේ බෙහෙත් පෙවීමෙන් අනතුරුවය ….. ‘බබී …’ සාලයේ උන් මංජු අම්මාගේ දෑස් නැවතී තිබුනේ මා ලගය …. කාමරයට යමින් උන් මා නැවතී ඈ දෙසට බැල්මක් හෙලිමි … මේ දින කීපයට ඈ බොහෝ ඇදී ගොසිනි …. මා මෙන්ම ඕද තාත්තා නිසාවෙන් බොහෝ කැපවීම් කරන බව මා දන්නෙමි .. ‘අම්මා ..’ ‘ඔයා මේ දවස් ටිකේම ස්කුල් ගියේ නැහැනේද …. තාත්තත් ගොඩක් දුක්වෙනවා ඔයා ඔය විදිහට දුක් වෙද්දී .. ඒ නිසා හෙට ඉදලා ආයෙම ඉස්කෝලේ යන්න ’ ‘මට තාත්තා හොදටම හොද වෙනකන් ස්කුල් යන්න බැහැ අම්මා ..’ ‘එහෙම කියලා පුළුවන්ද …දැන් සති දෙකක්ම ඔයා ස්කුල් ගියේ නැහැ නේ …තාත්තා බලාගන්න මම ඉන්නවා නේ …ඔයා හෙට ඉදලා ස්කුල් යන්න ..’ තාත්තා නමින් බොහෝ දුක්වෙන ඇයගේ සිතට තවත් දුක් දිය නොහැකි හෙයින් අවාසනයේ මා හිස සොලවා ඈ කියුවට එකග වීමි … **** ඒ සදුදා මා පාසල් යෑමට සුදානම් වුවේ හරියටම සති දෙකකට පසුවය ….. මිට සතිගානකට පෙර උන්නාට වඩා මා ඇදි ගොසිනි …. සුදු පාසල් නිල ඇදුමෙන් සැරසුණු මගේ පෙනුම බෙහෙවින් දුක්ඛිතය … ‘තාත්තා මම ඉස්කෝලේ ගිහින් එන්නම් …’ පොත් බෑගය කරේ දමාගනිමින් මා එබුනේ තාත්තාගේ කාමරයටය … ‘පරිස්සමින් ගිහින් එන්න බබී … ’ වෙනදා තාත්තාගේ මුහුණේ වූ සතුට මැකී ගොසිනි … ‘වෙලාවට බෙහෙත් ටික බිලා රෙස්ට් එකේ ඉන්න තාත්තා …. ‘’ මා නිවසින් එලියට බැස්සේ තාත්තාට බොහෝ උපදෙස් දෙමිනි …. බොහෝ දිනකට පසු මට හිම්සර හමුවිය යුතු බව සිහිවුනි ….. නුවර ගොස් ආවාට පසු තාමත් මා ඔහු දුටුවේ නැත … මා එනතුරු පසුගිය දින කීපයේම ඔහු මග බලා හිදින්න ඇත … ඔහු මා සමග අමනාපයෙන් විය යුතුය …. ‘පාරමී පහුගිය ටිකේ මොකද ස්කුල් ආවේ නැත්තේ …’ පාසලේදී ඉඳුවරි මා දෙස බලා උන්නේ පිළිතුරක් අපේක්ෂාවෙන් විය යුතුය .. ‘අපිට කරදරයක් උනා ඉංදු …’ ‘මොකක්ද ..’ ‘අපේ තාත්තාට කව්ද වෙඩි තිබ්බා …’ ‘මයි ගෝඩ් …තාත්තාට කරදරයක් නැහැ නේද …’ ‘දෙවියන්ගේ පිහිටෙන් මගේ තාත්තාට කරදරයක් නම් වුනේ නැහැ … ‘’ ‘උබට නිකමට කෝල් එකක් දෙන්න තිබ්බා නේද …අන්න අරු පහු ගිය දවස් ටිකේම මෙතැන ඇවිත් බලාගෙන හිටියා ..’ ඉඳුවරී මට දොස් නගන්න විය … ‘කියන්න තරම් සිහියක් තිබ්බේ නැහැ ඉංදු …හැමදෙයක්ම හරි ඉක්මනට උනා …හිතා ගන්න බැරි විදිහට …’ මගේ දෑසට කදුළු ඉනුවේ ඉබේටමය … ‘හ්ම්ම්ම් දැන් ඕවා ගැන හිතන්න එපා … මග ඇරුණු නෝට්ස් ටික පොටෝ කොපි කරමු … ‘’ ඉන්පසුව ඉඳුවරී ඒ පිළිබද නොවිමසා උන්නේ මා කදුළු සලන නිසාවෙන් විය යුතුය … ‘හිම්සර ඇවිත් නැහැ වගේ …. ’ පාසල නිමවෙන තුරු මා නොඉවසිල්ලෙන් උන්නේ හිම්සර දැකීමට මුත් සුපුරුදු ස්ථානයේ ඔහු උන්නේ නැත .. ‘පහුගිය දවස් ටිකේම ආවානේ …. ඌට හිතෙන්න ඇති අදත් උබ එන්නේ නැහැ කියලා ..’ ‘එයා මාත් එක්ක තරහා වෙලා ඇති ..’ ‘උබ මනස්ගාත හිතලා අවුල් වෙන්නේ නැතිව මෙන්න මෙහෙ යමන් .. පිස්සු කෙලින්නේ නැතිව ..’ බොහෝ වෙලා හිම්සර එනතුරු බලා උන් මා වෙතට හැරුණු ඉඳුවරී පවසද්දී මට ඇඩේන්න ආවේය … ‘මට හිම්සරව බලන්න ඕන ඉංදු …උබ යමන් මම එන්නම් …’ ‘පිස්සියක් වගේ කතා කරන්න එපා පාරමී ..බලපන් වෙලාවට පහටත් ලගයි …ඌ අද එනවා නම් ඇවිල්ලා … මෙන්න මෙහෙ වරෙන් යන්න ..’ මම ගල් ගැසී මෙන් හිම්සර එනතුරු බලා ඉද්දි ඉදුවරී බනිමින්ම මා ඇදගෙන ගොස් බස් රථයකට ගොඩ කළේය .. ‘පාරමී මට හිම්සරව බලන්න ඕන ..’ බස් රථයේ කෙටි ජනේලයෙන් හිස පිටත දැමු මා බස් රථය පිටවෙනතුරු බලා හිදිනා ඉන්දුවරිට පැවසුවෙමි … ‘හෙටත් බලලා අපි කොලේජ් එක ගාවට යමු .. ‘ මට සැනසුමක් දැනුනේ ඉඳුවරී එලෙස පැවසු පසුවය … ******** පසුදා මා පාසල් ගියේ කෙලෙස හෝ හිම්සර දැකීමේ අරමුණිනි … සුපුරුදු ස්ථානයේ ඔහු පෙනෙන්න නැත … ඉතින් මා තීරණයක් ගත්තෙම් .. ඒ කෙලෙස හෝ ඔහු දැකගැනීමටය … මා බස් රථයක එල්ලුනේ දෙවරක් නොසිතාය .. ඉසිපතන මාවතෙන් බසයෙන් බැසගත් මා හිම්සරගේ පාසලට මදක් මෙහායින් හිද පාසල යන ළමුන් දෙස බලා උන්නෙමි …. කිනම් හෝ මොහොත හිම්සර පාසලට යෑමට පැමිණෙනු ඇත … ‘ආ ..නංගි ඉස්කෝලේ යන්නේ නැතිව කාව බලන්නද මෙතැන හිටගෙන ඉන්නේ … ‘’ පාසල දෙසට ගිය කොලු රංචුවේ උන් දගයෙකු කෑ ගසද්දී මා බිම බලා ගත්තෙමි … ‘ අද එයා එන්නේ නැහැලු ….. ඔන්න …’ කොලු රංචුවේ උන් තවත් එකෙකු කෑ ගැසුවේත් හිම්සර ඈත පාරෙන් මතුවුවෙත් එකවරය … පාසල් නිල ඇදුමෙන් සැරසී උන් ඔහු සිටියේ බර කල්පනාවකින් විය යුතුය … ‘හිම්සර …’ මා අමතන තුරුම ඔහු මා නොදුටුවේය … මා දැක ඒ මුහුණේ සතුටක් වෙනුවට ඇදුනේ තරහවකි .. ‘කොහෙද මෙච්චර දවස් මකබෑවිලා හිටියේ …’ හිත සනසනවා වෙනුවට ඔහු මා දුටු විගස කලේ මගේ ඇගට ගොඩවිමය .. ‘මට ඔයාව හම්බවෙන්න ඕන ..’ මා කියුවේ ඔහු කියුව නොඇසුනා සේය ‘දැන් කොලේජ් එක පටන්ගන්නවා …. ‘ස්කුල් කට් කරමු …’ මා පැවසුවේ සිතා උන් දෙයක් නොවේ ‘ පිස්සු හැදිලාද …’ ‘තාම නැහැ …ඒ උනාට ඔයා ඔහොම කලොත් මට පිස්සුත් හැදෙයි …’ ‘නටන්නේ නැතිව දැන්ම ඉස්කෝලෙට යන්න …’ ‘මට බෑ …’ ‘ඔයා හිතුවක්කාරයි … ඔයාගේ හිතුමතේට වැඩ කරන්නේ …. ඉතින් ඕන නාඩගමක් නටා ගන්නවා කියන දේ අහන්නේ නැති නම් …’ ඕනෑවට එපාවට මෙන් එලෙස කියා ඔහු පාසල දෙසට යද්දී නොදැනීම දෑසට කදුළු උනා තිබුණි .. ඔහු ඔය ලෙසට හැසිරෙන්නේ මගේ හිත රිදවීමට විය යුතුය ..සිදුවූ දේවල් දන්නේ නම් ඔය ලෙසට සිත රිදවීමට ඔහු සිතන්නේ නැත .. කිසිවක් නොදැන ඔය ලෙසට මගේ සිත රිදවන හිම්සර බොහෝ වැරදිය .. ඔහු දැක මට දැනගැනීමට දහසක් දේ වුනිද ඔහුට මා ගැන කිසිදු අනුකම්පාවක් නැති හැඩය .. දෑසට උනන කදුලැලි පිසදමමින් පාර දිගේ ඉදිරියට ගිය මිස මට පාසල් යෑමට උව උවමනාවක් නොවුනි … ‘ඔය ළමයා කොහෙද මේ ඉස්කෝලේ වෙලාවේ පාරවල් ගානේ ඇවිදින්නේ ..’ මා ඉදිරියේ උන් පොලිස් නිලධාරියා මා දුටුවේ එවිටය .. ‘මම ..මම මේ .. බස් එක පරක්කු උනා …. දැන් ඉස්කෝලේ යන්න වෙලාවක් නැති හින්දා ආපහු ගෙදර යනවා ..’ මා පිළිතුරු බැන්දේ ගොත ගසමිනි .. ‘එහෙනම් කෙලින්ම ගෙදර යන්න ….පාරවල් දිගේ රස්තියාදු ගහන්නේ නැතිව …’ සැකති බැල්මක් මා දෙසට හෙලා පොලිස් නිලධාරියා පෙරට යද්දී මම සැනසුම් සුසුම් හෙළුවෙමි මට ගෙදර යෑමට උවමනාවක් නොවුනි …. මට උවමනා වුවේ පාසල් නිමවෙනතුරු හිද හිම්සර මුණගැසිමටයි …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *