~ ආදර පාරමී ~27 කොටස

~~~ ආදර පාරමී ~~~
27 කොටස
මද්දහන උදාවුවේ වෙනදාට වඩා පමාවය … ගිනිගහන සැඩ හිරුගේ රශ්මිය නොතකා මා බලා උන්නෙමි … මට උවමනා වුවේ හිම්සර දැක මිතුරු වීමටය …සියල්ල දැනගත් පසු ඔහු මගේ අසරණ කම වටහා ගනු ඇති බව මා දනිමි … විනාඩියෙන් විනාඩිය ගෙවී ගොස් පාසැල් අවසන් වෙන වේලාව පැමිණියේය … ඉසිපතනයේ විසල් ගේට්ටුවෙන් පිටවෙන දහස් ගණන් පිරිමි ළමුන් අතර මා හිම්සරව සෙව්වෙමි … හිම්සර උන්නේය… ඒ මිතුරන් රැලක් මැදය …
පාසල් ගේට්ටුවෙන් මගට බැසි හිම්සර පසෙකට වී උන් මා නොදකින්න ඇත ….. ඔහු මග ඇරෙතැයි බිය නිසා මා මදක් හෝ ඔහුගෙන් බැල්ම වෙනස් නොකලෙමි …
‘හිම්සර ….’ කොලු රංචුවේ මැද උන් හිම්සරට මා ඇමතු හඩ නෑසෙන්න ඇත …
‘හිම්සර …. ‘’ පසු පසින් දිව ගොස් ඔහුට බොහෝ සමීපව මා නැවත අමතද්දී හිම්සර ගෙල හරවා බැලුවේය ..
‘පාරමී මේ වෙලාවේ මොනවද මෙතන කරන්නේ ..’ මදක් නැවතී මා දෙසට හැරුණු හිම්සරගේ දෑසේ වුවේ තරහකි …
‘මචං අපි ග්‍රවුන්ඩ් එකට යනවා එහෙනම් …උබ වරෙන් ඉක්මනින් ..’ හිම්සරගේ මිතුරන් ඔහුගෙන් සමුගනිද්දී කිසිත් නොකී ඔහු මා වෙතට වඩාත් ලංවිය ..
‘මට ඔයා හම්බවෙන්න ඕන හිම්සර …මට පොඩ්ඩක් කතා කරන්න ඕන ’ මම බොහෝ හැගුම්බරව කියාගෙන ගියෙමි ….
‘ඉස්සරවෙලා කියනවා තමුසේ අද ඉස්කෝලේ ගියේ නැද්ද …’
‘මට ඉස්කෝලේ යන්න හිත හදාගන්න බැරිවුනා ..’
‘මම තමුන්ට කිව්වා නේද ඉස්කොලේ යන්න කියලා … ඔයාට මම කියන දේ අහන්න බැරිද පාරමි… මට කියනවා ඒක ..’
හිම්සරගේ මුහුණේ මා නමින් කෝපයක් ලියවී තිබෙනු මා දුටුවේ පලමු වරය … ඒ හැගීම් දරාගැනීමට නොහැකිව මම බිම බැලුවෙමි …
‘මට සමාවෙන්න හිම්සර … ’
‘සමාව ..සමාව …හැමදාම වැරදි දෙයක් කරලා සමාව ඉල්ලන්න මම මොකෙක් කියලාද හිතාගෙන ඉන්නේ …මම කොන්ද පණ නැති මිනිහෙක් කියලද හිතාගෙන ඉන්නේ …’
හිම්සර දත්මිටි කෑවේය ……..
‘මම වැරදි කරන්නේ නැතිව ඉන්නම් හිම්සර ..ඔයා අකැමැති කිසිම දෙයක් නොකර ඉන්නම් .. මම ඔයා කියන ඕනෑම විදිහකට ඉන්නම් …ඒත් මගේ හිත රිද්දන්න එපා ඔය විදිහට නපුරු වෙලා … මගේ ජීවිතේට තියෙන එකම සැනසීම ඔයා …ඔයත් ඔය විදිහට නපුරුකම් කරද්දී මට ඇඩේනවා …’
ඉබේ උනන කදුළු වලක්වා නොගෙනම මා කියාගෙන ගියෙමි ….
‘මට තරහා යන්නේ නැද්ද සිද්ද වෙන දේවල් දකිද්දී …අද බලනවා අදත් ඔයා මගේ තරහා වැඩි කරා …’
‘මම මොනවාද කලේ හිම්සර ..’
‘ කොල්ලෙක් වගේ ස්කුල් කට් කරලා ටවුන් එක මැද්දේ රස්තියාදු ගහන්න ලැජ්ජා නැද්ද .. තමුසේ කවදා හරි මගේ ගෑනි වෙන්න ඉන්න කෙල්ල ….. ඒකයි මට මෙච්චර තරහා යන්නේ .. අනිත් කෙල්ලෝ වගේ නටන්න තියාගන්න එපා … තේරුනා නේද ’
හිම්සර බොහෝ දඩබ්බර වී උන්නේය . … සිත බොහෝ රිදෙමින් තිබුනද මා සියල්ල ඉවසුවෙමි ..ඒ ඔහුට මා බොහෝ පෙම් කරන බැවිනි …මේ ප්‍රේමය සහ මගේ ප්‍රේමයේ හිමිකරු අත්හැර යෑමට තිබුනා නම් හොදය ..එහෙත් මා ඔහුට බෙහෙවින් පෙම් කරමි …ඒ හදවතින්මය … ඉතින් මට ඔහුගේ ප්‍රේමය නොමැතිව බැරිය ..
‘ හරි දැන් නහයෙන් අඩන්නේ නැතිව ඉන්නවා .. ආයෙත් මම කියන විදිහට හිටියේ නැත්තම් මම මේ එෆෙයාර් එක ගැන තීරණයක් ගන්නවා … ‘’
බැනවදි අවසානයේ ඔහු මට සමාව දුන්නේ ඔවැනි දේවල් දහසක් පවසමිනි ..ඉතින් මා සිතාගතිමි මගේ පණ සරි ප්‍රේමය රැකගැනීමට ඔහු කියනා යුරින් වෙනස්විය යුතු බවට ..
‘දැන් කෙලින්ම ගෙදර යනවා …. මට දැන් ප්‍රැක්ටිස් යන්න තියෙනවා … හෙට උදේ හම්බවෙලා කතා කරමු ..’
තවත් මා පවසන කිසිවක් ඇසීමට හෝ ඔහුට උවමනා වුවා නොවේ … මා බස් රියකට නගින තුරු බලා උන් හිම්සර පිටව යද්දී මගේ හිත කඩා වදිමින් තිබුණි …
‘අම්මා මෙයාගෙන් අහන්න අද ස්කුල් එන්නේ නැතිව කොහෙද ගියේ කියලා ..’
ගෙට ගොඩ වෙද්දීම දම්සාරි ඇගට කඩාගෙන පැන්නේ එලෙස පවසමිනි … වෙනදා මෙන් සිනාවක් හෝ නොපෑ මංජු අම්මා මා දෙස බලා උන්නේ මගේ පිළිතුර ලැබෙන තුරු විය හැකිය …
‘බබී ඔයා අද ස්කුල් ගියේ නැද්ද ..’
මගෙන් පිළිතුරක් නැති තැන මංජු අම්මා කටහඩ අවදි කළාය ..
‘නැහැ …. ‘’ ඇගේ දෑස දෙස නොබලා මා ඉවත බැලීමි …
‘එතකොට කොහෙද ගියේ … ‘’
මම පිරිමි ළමයෙකු හමුවීමට පාසල් නොයා රස්තියාදු වූ බව දැනගතහොත් ඈ බොහෝ කම්පා වෙනු ඇත …අසනීපයෙන් පසුවෙන තාත්තා මේ පිළිබද දැනගතහොත් සිදුවන්නේ ඔහුගේ අසනීපය වැඩිවීමය …ඉතින් මා කලේ කිසිත් නොකියා නිහඩව කාමරය වෙත පිය මැනීමය …
‘කොහෙද ඉතින් දෙන්න උත්තරයක් තියෙනවා යෑ …බලන්නකෝ ගල් ඉබ්බ් වගේ කාමරේට යන ලස්සන …. තාත්තා මේවා දැනගත්තොත් එයාට කොච්චර දුක හිතෙයිද ..’

‘කට වහගන්න දම්සාරි .. දැන් ඕක ඇති …මම මේ දේවල් බලාගන්නම් … ඔයා කට දාන්න එපා ..’
දම්සාරිගේ නොහික්මුණු කට වැහුනේ මංජු අම්මාගේ වදන් වලටය ..

‘ආදරේ …මේ ආදරේ මහා ජරාවක් රෝසි … මගේ හිතේ ආදරයක් ඉපදෙන්නේ නැතිව තියෙන්න තිබ්බේ .. ආදරේ දුකක් රෝසි ලොකු දුකක් … හිම්සර මෙච්චර නපුරෙක් කියලා දැනගෙන හිටියා නම් මම එයාට ලන්වෙන්නේ නැහැ .. තනියම ඉන්නවා … එයා මගේ හිත ගොඩක් රිද්දනවා රෝසි …ඔයා දන්නවා නේ ඉස්සර අම්මා ගැන මිනිස්සු කතා කියද්දීවත් මට මෙහෙම දුක හිතුනේ නැහැ … ආදරේ හින්දා මම ගොඩක් විදෝනවා .. එයා මට කොච්චර නපුරුකම් කලත් මට එයාව නැතිව බැහැ ‘’
බෝනික්කිය තුරුළු කරගෙන යහනට වැටුණු මා දුක කියෙව්වෙමි ….
****
‘පාරමී අද ඉදලා ස්කුල් වෑන් එකේ යන්න ..’ මංජු අම්මා මා වෙනුවෙන් තීරණයක් ගෙන තිබුණු බව මම දැනගත්තේ පසුදා උදෑසනය …. පාසල් යෑමට සුදානම්ව උන් මා ඈ දෙස බැලුවේ විමතියෙනි …
‘මම බස් එකේ යන්නම් අම්මා .’
‘අද ඉදලා බබී යන්නේ බස් එකේ නෙවෙයි …වෑන් එකේ මගේ තීරණේ කිසිම වෙනසක් නැහැ ..’
මංජු අම්මාගේ වචනවල ස්ථිර බවකි …. මංජු අම්මාට මෙහායින් අසුන්ගෙන උන් තාත්තාගේ මුහුනේද වුවේ එය අනුමත කරන බැල්මකි
‘ඔව් බබී … ඔයාටත් ලේසියි නේ …පාරේ බස්වල බඩගාන්න ඕනේ නැහැනේ …’ තාත්තා වචනවලින්ද ඇගේ කතාවට එකග වෙද්දී ….කිසිවක් නොකියා මා ඊට එකගවීමි …
දුක හිතුනේ හිම්සර අද මා හමුවිමට පොරොන්දු දී ඇති නිසාය ….මා නොදැක ඔහු කෝපයට පත්වෙනු ඇත … සිතා සිතා අවසානයේ මගේ ඔළුව විකාර වෙන්න යන්නාක් මෙනි මට හැගුනේ …
‘අම්මා තාත්තා ගිහින් එන්නම් …’ සමච්චල් බැල්මක් මා වෙත හෙලිමින් ගේට්ටුව ලග නතර කෙරූ පාසල් වෑන්රිය වෙත දිවයන නැගණිය දම්සාරි පසුපසින් මම ඇවිද ගියෙමි ….
වෑන්රියෙහි උන් ගැහැණු ළමුන් කිසිවෙක් මා දැක සිනාවක් වුව නොපෑවේ නැගණිය මා පිළිබද කුමක් හෝ පවසා ඇති නිසා විය යුතුය …. ඔවැනි දේවල් ගැන සිතා කනගාටු වීමට මට උවමනා නොවුනි ..
පපුව තුලින් ආ දැවිල්ලක් මොලය දක්වා පැතිර ගියේ හිම්සර දෑස් අයා මාවත දෙස බලා උන් අයුරු දැකය …ඔහු ඔය බලා ඉන්නේ මා එනතුරුය .. ඉතින් මා නොදුටු විට ඔහුට කුමක් සිතෙනු ඇතිද …. ඊයේ පැවසු පරිදි ඔහු අපේ ප්‍රේමය නවතා දමනු ඇතිද .. හිතට ආවේ මහා බියකි … විශ්වාස කරන්න මට හිතුනේ වෑන් රියෙන් පිටට පැන ඔහු ලගට දිව යෑමටය …. තාත්තා පිළිබද සිතා මා සිත තුලම ඒ සිතුවිල්ල මරා දැමුවෙමි …
‘මොකක්ද පාරමී ඔය ඉලව් ලව් එක හින්දා උබ විදවන විදවිල්ල ..’
පංති කාමරයේ කොනක තනිවී දෑස්වල කදුළු පුරවාගෙන උන් මා දැක ඉඳුවරී විස්සෝප උවාය..
‘මට හිමසරව ඕන ඉංදු …එයා මගේ ජීවීතේ නැහැ කියන්නේ මම ආයෙම ඉස්සර හිටිය හිස් කෙල්ලම වෙනවා කියන එක ..’
ඉකිගසමින් හඩා වැටුණු මා ඩෙස්ක් එකේ මුව හොවා ගත්තේ මගේ ඉකිබිදුම පිටට ඇසෙයි කියා බියෙනි ..
‘ඔය ලව් එක නවත්තලා දාපන් පාරමී ..’ ඉඳුවරී පැවසුවේ මා අඩනයුරු දැකය …
‘ලේසි නැහැ එහෙම කරන්න ඉංදු ..එයා ඉන්නේ මගේ මෙන්න මෙතන …’ ලය මත දකුණත තබා ගත් මා ඇය හෙළුවේ දුක් බැල්මකි .
‘හරි දැන් මොකද ඔය විදිහට අඩන්න හේතුව කියපන්කො ..’
‘මම ඊයේ ස්කුල් නෑවිත් හිම්සර හම්බවෙන්න ගියා … මම ස්කුල් ආවේ නැහැ කියලා නංගි ගෙදර ගිහින් කියලා ඊට පස්සේ එයාලා තීරණය කරා මාව ස්කුල් වෑන් එකට දාන්න … දැන් මට හිම්සර හම්බවෙන්න විදිහක් නැහැ … එයා මන් ගැන මොනවා හිතනවද දන්නේ නැහැ ..’ සිදුවූ සියල්ල අකුරක් නෑර එක හුස්මට මා කියා දැමුවෙමි …

‘හරි ඉවසලා හිටපන් මම මොනවා හරි කරන්නම් …. දැන් ඔය ඇඩිල්ල නවත්තාපන් …කවුරුහරි කෙල්ලෙක් දැක්කොත් පංතියම ගිනි තියයි ..’
දුකක් මදක් හෝ නිවුනා නම් ඒ ඉඳුවරිට සියල්ල පැවසු හෙයිනි …. ඉදුවරී ගැන විශ්වාසය තබා ගැනීම හැර මට කිරීමට වෙනත් දෙයක් නැත . …සිදුවූ සියල්ල කොළයක සටහන් කල මා එය මිතුරිය අත තැබුවේ හිම්සර වෙත ලබාදෙන මෙන් අයදිමිනි …
‘ ඔන්න උබේ වැඩේ මම කරා …. ඊයේ හවස මම උබේ ශෝකාලාපය කොල්ලට කිවා …මෙන්න මේක දෙන්න කිව්වා උබට .. ‘’
ඉඳුවරී ලබාදුන් ලිපිය අතට ගත් මා නොඉවසිල්ල නිසාම එයත් රැගෙන කියවීමට දිවුවේ වොෂ් රූම් එකටය … උකුසු ඇස් ඇති ශිෂ්‍ය නායිකාවන්ගෙන් ගැලවී මෙවැනි දෙයක් කියවීමට ඇති හොදම ස්ථානය එතැනය ….
ආදර පාරමී
ඉඳුවරී හැමදෙයක්ම කිව්වා … බය නැතිව ඉන්න ටික දවසකින් ඕවා හරි යයි . …පුළුවන් උන ගමන් මම ඔයාව බලන්න එන්නම් ..
ඔයාගේ හිම්සර
හිම්සරගෙන් පිළිතුරු ලෙස ඉතා දිගු ලිපියක් බලාපොරොත්තු උවත් ඔහු විසින් අමුණා තිබුනේ වදන් කීපයක් පමණි …. හිත බිදුනේ මග ලිපියට පිළිතුරු ලෙස යමක් පවසා මගේ සිත නිවීමට තරම් දයාවක් ඔහු සිතෙහි නොවූ එක ගැනය … කදුළු මුහුන ශීතල ජලයෙන් දොවා ගත් මා ඉන් එලියට බැස්සේ කලකිරුණු සිතිනි …

******
එක දිගට මාස ගානක් හිම්සර නොදකිද්දී මා සිතින් බොහෝ අඩා වැටුනෙමි … කියා ලියා අවසන් කල නොහැකි දුකකින් මා පීඩිතව උන්නෙමි ….
‘මොකක්ද අක්කා බලන්නේ ..’ රූපවාහිනිය දෙස බලා උන් මගේ සිත තිබුනේ නම් එහි නොවේ ..
‘මේ ඩාන්සින් ප්‍රෝග්‍රෑම් එකක් මල්ලි ..’ මල්ලි දෙස බලා මම මද සිනාවක් පෑවෙමි …
‘රග්බි මැච් එකක් තියෙනවා බලමුද … ’
‘ඔයා බලන්න මල්ලි ..මම කම්මැලි කමට මේක බැලුවේ ..’
‘ඉසිපතනයි ට්‍රිනටි එකයි අද පට්ට මැච් එකක් තියෙන්නේ ..’
රූපවාහිනිය අසලින් යෑමට නැගී සිටි මා එහිම නැවතී ගතිමි … එසේ නම් හිම්සරද අද මේ තරගයට ක්‍රීඩා කරනවා ඇත …. උන් තැනම අසුන්ගෙන මා දෑස් අයා රූපවාහිනිය දෙස බලා උන්නෙමි ..
හිම්සර ඔහුගේ දස්කම් මදක්වත් අඩුවී නැත පෙර දිනවලටත් වඩා ඔහු හොදින් ක්‍රීඩා කරමින් උන්නේය …. නිරන්තර සිනාවෙන් අලංකාර වී තිබුණු ඒ මුවේ කිසිදු දුකක් ලියවී නැත …. එසේ නම් ප්‍රේමය නමින් දුක් විදින්නේ මා පමණක්ද මොහොතකට මගේ හිත හඩා වැටෙන්න විය ..
‘අක්කා හිම්සර නම් පට්ටයි නේද … අර බලන්නකෝ ප්ලේ කරන විදිහ …කවදා හරි මෑන් නැෂනල් ටීම් එකට සිලෙක්ට් වෙනවා සුවර් ….’
මල්ලි හිම්සර පිලිබද බොහෝ දේ කියවද්දී මා ඔහේ අසා උන්නෙමි ..
හිම්සර මා අමතක කර දමා ඇතිද …. එම සිතුවිල්ල හිත පාරද්දී හදවත අක්‍රිය වෙන්නාක් මෙනි මට හැගුනේ …
*****

මතු සම්බන්ධයි 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *