~~~~ආදර පාරමී ~~~~ 31 කොටස

ඒ රැය බොහෝ දිගු එකකි …. අම්මා මෙන්ම මාද ප්‍රේමය නිසාවෙන් විනාශ වී යාවි යැයි භයානක සිතුවිල්ල මුළු රැය පුරාවට මගේ නින්ද පලවා හරින්න සමත්ව තිබුණි …. අම්මා ජීවිතය වරදා ගත්තේ තමා සතු කරගත් ප්‍රේමය වෙනත් ලදකට හිමි බව වැටහුණු පසුවය … ලාබල යුවතියක් ලෙස විවාහ දිවියට එලබී ඇය තාත්තාට පුදන්න ඇත්තේතම කුලුදුල් පෙමය …. තාත්තා වෙනත් කාන්තාවකට පෙම් කරන බව දැනගත් පසු අම්මා එය දරාගත නොහැකි වුවා විය යුතුය … ඇය ජීවිතය විනාශ කරගන්න නොසිතුවේ මා නිසා වෙන්න ඇත … සියල්ල හැරදා පලා ආවත් තාත්තාට බොහෝ සමාන රූපයක් ඇති මා දකින විට අතීත මතකය ඈ බොහෝ රිදවන්න ඇත .. …අම්මා බොහෝ විට සිහියෙන් නොසිට අසිහියෙන් සිටියේ ඒ නිසා බව දැන් නම් නිසැකය … අම්මා ගැන වූ කෝපය දියවී අනුකම්පාවකි මා සිතෙහි ඇතිවුවේ …. අම්මා මෙන්ම මාද ප්‍රේමය නිසා සිත රිදවා ගත්තෙමි …. හිම්සරට බොහෝ පෙම් කල නිසාවෙන් මා වින්දේ දුකය ….. තවත් නම් ප්‍රේමය නිසාවෙන් විදවිය යුතු නොවේ … ඒ රැයේ මා තීරණයක් ගතිමි ..ඒ ප්‍රේමය ජිවිතයෙන් පලවා හැර සිත්පිත් නැත්තියක ලෙසට ජිවත් වීමටය … හිම්සර කිසිදිනක ඔහු මට අමතක කල නොහැක …. එහෙත් ඔහු අන් යුවතියකට බලාපොරොත්තු දී ඇත …. යුවතිය ඔහු වෙනුවෙන් මිය යෑමට වුව සුදානම්ය …. ඉතින් ඇගේ ආදරය නැතිකර මට සතුටු විය හැකිද ….මා හිම්සර ලංකර ගතහොත් සිදුවන්නේ ඇය ජීවිතය විනාශ කරගැනීමයි ..කොතරම් රිදුම් දුන්නත් හිම්සරගේ මතකය අතීතයට එක් කල යුතුය… ‘බබී … පොඩ්ඩක් ඇවිත් බලන්න මම ඔයාට ගෙනාවේ මොනවාද කියලා …’ යහන මත වැතිරී කල්පනා දැහැනට වැදී උන් මා දෑසට නැගුනු කදුලැල් අත්ලෙන් පිස දමාගෙන කාමරයෙන් පිටතට ඇවිද ගියෙමි ….. ‘කැමතිද මේ ගවුමට …. ’ තාත්තා අත තබාගෙන උන්නේ මා ආසම කල මෝස්තරයේ ගවුමකි …. එක්තරා ඉන්දියානු මෝස්‌තර නිරුපන ශිල්පිනියක මෙම මෝස්තරයේ ගවුමක් ඇද උන් දින පටන් මා මෙයට බොහෝ ආශා කලෙමි … ‘ බබී කැමතිද ඔය ගවුමට ඔච්චර ආශාවෙන් බලාගෙන ඉන්නේ ’ ‘ම්ම්ම් …ලස්සනයි නේ තාත්තා … මම ආසයි …. තාම ලංකාවට ඇවිත් නැහැ ඔය ඩිසයින් එක … ‘’ දිනක් අප දෙදෙනා අතර ඇතිවූ කතා බහ මට සැනෙකින් සිහිවිය … තාත්තා ගැන ඇතිවූ සෙනෙහස නිසා දෙනෙතට කදුළකි ඉනුවේ .. ඔහු මේ උත්සහා කරන්නේ මට සතුට ගෙන ඒමට නොවේද …. මට විශ්වාසය ඔහු මෙය ඉන්දියාවේ සිට ගුවන් තැපෑලෙන් ගෙන්වන්න ඇත්තේ මා සතුටු කිරීමට බව . ‘තාත්තා ඔයා මං වෙනුවෙන් මෙච්චර දේවල් කරන්න එපා … මට ගොඩක් දුක හිතෙනවා..’ තාත්තාගේ තුරුළට පැන මා අඩා වැටුනෙමි … ‘අඩන්න එපා මැණික ……..ඔයාට මගේ අතින් වෙන්න ඕන කිසි යුතුකමක් උනේ නැහැ …ඔයා ආශා තැනක එක්කන් යන්න … ඔයා එක්ක සෙල්ලම් කරන්න බැරි උන තාත්තා කෙනෙක් මම .. මේක සුළු දෙයක් ..මට බලන්න ඕන ඔයාගේ මුහුණේ හිනාව විතරයි … ’ මගේ හිස පිරිමදිමින් තාත්තා බොහෝ දේ කියෙව්වේය ….. තාත්තාට දකින්න උවමනා වුවේ මගේ සිනාවයි … ඉතින් මා තීරණය කලෙමි … ඒ තාත්තා වෙනුවෙන් සිනසිමටයි …. ‘ අද හවසට මේ ගවුමත් ඇදගෙන මායි අම්මයි එක්ක ඩිනර් අවුට් යන්න ලැහැස්ති වෙන්න ….’ තාත්තා මගේ සතුට වෙනුවෙන් බොහෝ දේ සැලසුම් කරමින් උන්නේය … ඉතින් මා කලේ හිස වනා ඔහු කියුවට එකග වීමය ..ඔහු සිතන්න ඇත්තේ ඔහුගේත් අම්මාගේත් කතාව නිසා මා බොහෝ දුකින් කියා විය යුතුය ***** සන්ධ්‍යාවේ මා පිටතට යෑමට සුදානම් වුවේ තාත්තා සතුටු කිරීමටය …. කැඩපත ඉදිරියේ සිටගෙන සුදානම් වූ මා කැඩපතින් පෙනෙන මගේ රුව දෙස බලා උන්නෙමි ……. මා ඉදිරියේ හිටගෙන කැඩපතින් මට රවන යුවතිය දෙස කිසිවෙක් නොබැලුවොත් පුදුමයකි …. තද රතු පැහැති දිගු ගවුම මගේ ඇගටම මැසූ ගවුමක් තරම් මට ගැලපුනේය … ගවුම නිසා ලස්සන වුවේ මාද නැතහොත් මා නිසා ලස්සන වුවේ ගවුමද යනුවෙන් සිතීමට මම උත්සහ කලෙමි … ‘ඔයා ලැහැස්ති වෙලා ඉවරද බබී …’ මංජු අම්මා කාමරයට එබුනේ ඔය වේලාවේය … ‘ඔව් අම්මා මම රෙඩ් …’ ‘වාව් කෙල්ලගේ හැඩ ..ඇත්තමයි මොඩ්ලර් කෙනෙක් වගේ …. ඔය කොන්ඩේ ගලවලා කොන්ඩේ පිට දිගේ දාන්න එතකොට තවත් ලස්සනයි ..’ කියවමින් මගේ අඩුපාඩු හදන මංජු අම්මා දෙස මා බැලීමි … ඇය මගේ අම්මාගේ ස්ථානය උදුරාගත් ගැහැනියයි …මට ඇයට වෛර කල නොහැක …. කිම්ද යත් ඇය බොහෝ නිරහංකාර ගැහැණියකි ..ඇය තාත්තාට පෙම් කරන්නේ හදවතිනි .. ඇය මටද සලකන්නේ ඇගේ දියණියට නොදෙවෙනි ලෙසටය .. ‘හරි දැන් බලන්න කොච්චර ලස්සනද කියලා …’ මංජු අම්මා මා දෙස බලා උන්නේ සිය ලෙයින් උපන් දියණිය දෙස බලන්නාක් මෙනි … ‘තෑන්ක්ස් අම්මා ..’ මට කියන්න සිහිවුවේ එපමණකි … ‘තෑන්ක්ස් කරන්න එපා … ….තමන්ගේ අයට තෑන්ක්ස් කරන්නේ නැහැ … ආදරය කරනවා විතරයි …’ හිස මත හාදුවක් තවරා මංජු අම්මා කාමරයෙන් පිටතට ගියේ මගේ අතින් අල්ලාගෙනය ‘මංජු බලන්නකෝ මගේ කෙල්ලගේ ලස්සන … පුංචි ඒන්ජල් කෙනෙක් වගේ …… ’ පියගැට පාමුල අපි එනතුරු මග බලා උන් තාත්තාගේ දෑසේ වුවේ කදුළකි … ‘ඇස් වහ පුච්චන්න වෙයි වගේ කෙල්ලට . ….’ ‘අනේ කිසිම කෙනෙක්ගේ ඇස් වහක් වදින්න එපා මගේ දැරිවිට …’ දුක අමතක කර මා සිනා සැලුවේමි …ඒ ඔවුන් මා නමින් සතුටු වෙන අයුරු දැක හදවතින්මය … ‘බබී ආස දේවල් තමා අද අපි කට්ටියම කන්නේ … ‘’ ඉටි පන්දම් එළියෙන් ආලෝකමත් වී තිබු ආපන ශාලාවේ කෙළවරක මේසයේ අසුන්ගෙන එකිනෙකා පෙනෙන ලෙසට අපි අසුන්ගත්තෙමු …. හෝටලය පුරා මිහිරි ඉංග්‍රීසි ගීත තනුවක් වාදනය වෙමින් තිබුණි … ‘කෝ කියන්නකෝ බබී ආසා මොනවටද කියලා …’ කිසිවක් නොකියා මා මදක් සිනා සැලුවේමි … ‘චයිනිස් රයිස් හොදයි නේ …බබී ආසයි ඒවා කන්න ..’ මංජු අම්මා මේ ටික කාලයට මා කන්න බොන්න ආස කල දෑ පටන් දැන උන්නාය …. අම්මා සහ තාත්තා ආහාර ඇනවුම් කරන තුරු මා කලේ හෝටලයෙන් එපිට පහන් කණුවක් දෙස බලා ඉදිමය … ‘හලෝ පාරමී කොහෙද ඔයා මේ …. ’ රහල් බොහෝ දිනකින් ඔහු මා අසලය …. රහල් මදකුදු වෙනස් වී නැත ….ඔහුගේ මුවේ හසරැල්ල එලෙසමය …. ඔහු අසලින් උන් පිරිමි ළමුන් දෙදෙනා ඔහුගේ මිතුරන් වෙන්න ඇත … ‘ අම්මයි තාත්තයි එක්ක ඩිනර් වලට ආවා ..’ දෑසින් මා ඉදිරියෙන් උන්නන් පෙන්වා මා සිනාසෙන්න වෙර දැරීමි ….රහල් හොද පිරිමි ළමයෙකි …. අවසන් වරට ඔහු හමුවූ දින මා ඔහුට නපුරු වුවා යන සිතුවිල්ල මගේ සිතට ගෙන ආවේ දුකකි … හමුවෙන්න එපා යැයි පැවසු නිසා ඔහු සිතාමතා කිසිදිනෙක මා ඉදිරියට ආවේ නැත … අදද මේ හමුවීම අහම්බයකි …. ‘හෙලෝ ආන්ටි ..හෙලෝ ..අංකල් …මම පාරමිගේ යාලුවෙක් .. රහල් ….රහල් මල්දෙනිය ’ තාත්තා සහ අම්මා දෙස බලා රහල් තමන්ව හදුන්වා දුන්නේය .. ‘පුතා කොහොමද අපේ බබිව අදුරන්නේ ..’ ‘ නුවර ඉද්දි අපි හිටියේ පාරමිලගේ ගෙවල් ලග …. අනික අපි දෙන්නා කාලයක් එක ඉස්කෝලේ ඉගෙන ගත්තා .. ’ ‘ පුතාලා දැන් කොහෙද යන්නේ …’ ‘අපි ඩිනර් වලට ආවේ …’ ‘පුතාලත් අපේ ටේබල් එකට එන්න .. බබිටත් සතුටු හිතෙයි පරණ යාලුවෙක් හම්බ උන නිසා ..’ ‘ තෑන්ක්ස් අංකල් ….’ තාත්තාට දෙවරක් කීමට උවමනා වුවේ නැත …රහල් මිතුරන් දෙදෙනා සමග අප අසලම අසුන්ගත්තේය … රහල් උන්නේ මට හරියටම ඉදිරියෙනි … හිස එසවූ ඔහුට කෙලින්ම මුණ ගැසෙන්න ඇත්තේ මගේ දෑසයි …. තප්පර ගානක් එක ලෙසටම බලා උන් රහල් අවසානයේ ඉවත බැලුවේ මගේ දෑසට බියවී වාගෙය …. ආහාර ගෙන නිමවෙන විට රහල් තාත්තා සමගින් බොහෝ මිතුරුව උන්නේය …. තාත්තාටද ඔහු ඉතා හොදින් හිතට අල්ලා තිබුණු බව මට හැගුණි …. ‘රහල් පුතා වෙලාවක අපේ ගෙදර එන්න …. බබිත් පාළුවෙන් ඉන්නේ …එයාට කොළඹ එච්චර යාළුවොත් නැහැනේ …’ ඔවුන්ගෙන් සමුගන්න යද්දී තාත්තා රහල්ට නිවසට පැමිණෙන්න ආරාධනා කළේය .. ‘ අපි ගිහින් එන්නම් රහල් … ‘’ මා රහල් දෙස බැලුවේ නොකියා යෑම නොමනා යැයි සිතුනු නිසාවෙනි … ඔහුගේ දෑස් රැදී තිබුනේ මා ලග බව මම දුටුවේ එවිටය …. ඔහු බලා උන්නේ කිසිම දිනක මා නොදුටු ආකාරයේ බැල්මකිනි …… හිත ගැස්සී යද්දී මම ඉවත බලා ගත්තෙමි … ‘හොද දරුවෙක් ….’ තාත්තා ආපසු යන ගමනේදී රහල් ගැන කතා කලේ බොහෝ පැහැදීමෙනි …. කිසිත් නොකියා තාත්තා කියන්න අසා උන් මගේ මනසේ වරින් වර රහල්ගේ දෑසේ වූ බැල්ම හොල්මන් කළේය …. කිසිම පිට පිරිමියෙක් මගේ ජිවිතයේ සම්පතමයෙක් කර නොගත යුතුය .. සිතා සිතා අවසානයේ මා නිගමනය කලෙමි

මතු සම්බන්ධයි 

2 Comments

  1. You really make it appear so easy together with your presentation but I to find this matter to be really something which I feel I would never understand.
    It kind of feels too complicated and extremely broad for me.
    I’m having a look ahead in your subsequent submit, I’ll try to get the hang
    of it! Lista escape roomów

Leave a Reply

Your email address will not be published. Required fields are marked *