~~~ දෙව්දු ~~~~09 කොටස

‘ මොණරි…මොණරි …’
ගලපාර දිගේ ෆැකල්ටි එක පැත්තට ගිය ගමන නවත්තලා මම ආපහු හැරිලා බැලුවා ….. මට පිටිපස්සෙන් ආව අමාලි හති ඇර ඇර මගේ ලග නැවතුනා ..
‘අපෝ උබ මාර ගමනක් නේ බන් යන්නේ ….ගලහ හන්දියේ ඉදලා මම උබ අල්ලන්න දුවගෙන ආවා … ’
‘බලපන් වෙලා ගිහින් තියෙන්නේ ….. දැන් හතත් පහුවෙලා ..’
‘දැන් ඉතින් පොඩ්ඩක් පරක්කු උනාට කමක් නැහැ ….රැග් කරලා ඉවරයි නේ ..’
අපි දෙන්නා කතා කර කැම්පස් එක ඇතුලටම ගියා .. මම ඈතටම දැක්කා අක්බාර් පාලම ලග තේමිය අයියා යාළුවෝ සෙට් එකත් එක්ක ඉන්නවා …
‘සුභ උදෑසනක් ජේෂ්ඨ උත්තමයිනි … ‘’ රැග් සීසන් එකේ පුරුද්දට මම එහෙම කිව්වම එතන හිටිය කොල්ලෝ කට්ටිය මහා හයියෙන් හිනාවෙන්න ගත්තා .. තේමිය අයියත් කට කොනකින් හිනාවෙනවා ..ලැජ්ජාව නිසා මම බිම බලාගත්තා …..
‘හරි හරි දැන් රැග් කරලා ඉවරයි නේ … දැන් ඔයාලා කැමති විදිහකට අපිට කතා කරන්න පුළුවන් ..’
චායා අක්කා එහෙම කියලා කොල්ලෝ ටිකට රැවුවා …..චායා අක්කා කොල්ලෝ ටිකට රැවුව විදිහ දැක්කාම මගේ මුහුණට හිනාවක් ආවේ …
‘මේ නංගි පනාව දාන විදිහ බලපන්කො … ’ එහෙම කිව්වේ තේමිය අයියාගේ ඇගේ ගෑවෙන්න තරම් ලංවෙලා හිටිය නිදියා තමා .. නොන්ඩි විදිහට හිනාවෙවී මගේ දිහා බලාගෙන හිටපු නිදියා ගැන හිතට ආව තරහා පාලනය කරගෙන මම බිම බලාගත්තා
‘නංගි මට ඔයාට දෙයක් කියන්න තියෙනවා ..’ එක පාරටම මගේ ඉස්සරහට ආව චමත් අයියා හරිම හැගීම්බර විදිහට මගේ දිහා බැලුවා ..
‘මොකක්ද අයියේ ..’ මම එයාගේ බැරෑරුම් මුහුණ දිහා බැලුවා
‘ ඔයා වගේම නංගි කෙනෙක්ව මම දන්නවා නේ ..මම එයාට කැමැත්තෙන් හිටියා ..එයාට තියෙන්නෙත් මේ ඇස් …මේ කොන්ඩේ …මේ මුහුණ …’ චමත් අයියා මගේ වටේට ම කැරකුණේ හරිම සීරියස් පෙනුමක් මුහුණේ තියාගෙන …
‘අනේ ඉතින් …’
‘මට එයාව මතක් වෙද්දී කදුලුත් එනවා …’ එයා අඩන්න වගේ මුහුණ හදාගෙන ඉද්දි මට දුක හිතුනා ..
‘ඇයි අයියේ ඒ ..’
‘ ඒකි ගිය සතියේ මැරුණානේ …’ ඇත්තටම මගේ හිතට ආවේ දුකක් …..මෙයාට කොච්චර දුක හිතෙන්න ඇතිද එයාගේ ආදරේ නැතිවුනාම ….
‘ඒ මොක වෙලාද ඒ …’
‘මේ ලගදී දවසක් කන්නාඩියෙන් මුහුණ බලද්දී එයාගේ මුහුණ කොච්චර කැතද කියලා දැකලා ..ඒක දරාගන්න බැරිව හාක්‍රොස් පටාස් ගහලා මැරුණා නේ …. ‘’ කොච්චර සීරියස් විදිහට එයා මුහුණ හදාගෙන හිටියාද කියනවා නම් මට ටික වෙලාවක් යනකන් එයා කලේ විහිළුවක් කියලා තේරුම් ගන්න අමාරු උනා ..හිරකරගෙන හිටිය හිනාව ඉස්සරලාම පිටකරේ තේමිය අයියා …අමාලිත් එයාලාට එකතුවෙලා හිනාවෙනවා ….හිතට ආව කේන්තියට මුහුණට ලේ පිරිලා රත්වේගන එද්දී මම අමාලි දිහා බලන්නෙත් නැතිව ඉස්සරහට ඇවිදගෙන ගියා …
‘දේව් …දේව් ..නැවතියන් …’ අමාලි දුවගෙන ඇවිල්ලා මගේ අතක එල්ලෙද්දී මම එයාගේ අත ගසලා දාලා පන්තිය ඇතුලට ගිහින් ඉදගත්තා ..
කවදාවත් මට ඔය විදිහට තරහා ගිහින් නැහැ ..මට වැඩියෙන් කේන්ති ගියේ තේමිය අයියා හිනාවුණ විදිහ ගැන තමා …මගේ හිත කිව්වේ තේමිය අයියාට වටින්නේ නැහැ නිදියා ඉස්සරහා මාව හෑල්ලු කරලා ඔහොම හිනාවෙන්න කියන එකමයි ….
‘දේව්ට මොකද ඔය තරම් තරහා ගිහින් …’ හැමෝටම තිබ්බ ප්‍රශ්නේ ඒක ….
‘අර සින්නො ටික අපිව අල්ලාගෙන කෝලන් කරානේ ..’
‘ඉතින් ඒකට මොකද අපිට ඔරවන්නේ …’ රොනාෂා එහෙම අහද්දීවත් මම ඔළුව උස්සලා බැලුවේ …
මගේ හිතට මොනවා වෙලාද මන්දා …පුංචි දෙයකට ඔය තරම් තරහා යන්නේ …. ගොඩක් වෙලා යනකන් මම කාත් එක්කවත් කතා නොකරම හිටියා .. මේ හැමදෙයකටම හේතුව තේමිය අයියාද …එහෙම නම් ඇයි

*****
‘ ඊයේ රෑ හොස්ටල් එකේ කෑම කාලා බඩ දගලනවා වගේ ….’ ජනිත් නහයෙන් අඩනවා …
‘මටත් බඩගිනි ..යමුද ගෙම්බා එක පැත්තේ …’ බිනුරත් ලොකු බඩගින්නකින් වගේ ඈනුමක් එහෙමත් ඇරියා
‘ඇයි අක්බාර් කැන්ටින් එකට යමුකෝ …’ ගෙම්බා එක තිබ්බේ පොඩ්ඩක් දුරින් හින්දා මම එහෙම ඇහුවා ..
‘අපෝ මේ වෙලාවට ඕකට ගිහින් තැම්බෙන්න තමා වෙන්නේ ‘’ මලිෂ් කිව කතාව නම් ඇත්ත …මොකද ඉංජිනේරු ෆැකල්ටි එකේ ලෙක්චර්ස් වල හිල් තිබ්බේ නැති නිසා ළමයිට නිදහසේ කැන්ටින් එකකට ගිහින් කෑම කන්න වෙලාවක් තිබ්බේ නැහැ …. මුළු ෆැකල්ටි එකේම ළමයිට නිදහසක් ලැබුනේ දොළහත් එකත් අතර ටයිම් එකට විතරයි …. ඒ නිසා ඒ පැයේ අක්බාර් එක වගේම ගෙම්බා වුස් වගේ කැන්ටින් වලත් ළමයි පිරිලා යනවා …

‘ මම පෝලිමට යනවා උබලා ඉදගනිල්ලා …’ ජනිත් කැන්ටින් එකේ පෝලිමේ ඉදගද්දී අපි ගිහින් පැත්තක තිබ්බ මේසෙක වාඩිවුනා … ගෙම්බා කැන්ටින් එක ඒ හැටි ලොකු නැති උනත් මේ වෙලාව වෙද්දී ළමයි සියකට වැඩි ගානක් කැන්ටින් එක ඇතුලේ පිරිලා හිටියා
‘පානුයි පරිප්පුයි කාපල්ලා ..’ ජනිත් අත් දෙකට පාන් රාත්තලකුයි පරිප්පු දිසියකුයි අරන් ආවා
‘මොකක්ද බන් මේ හොද්ද .. මෙලෝ රහක් නැහැ …’ අමාලි පාන් කෑල්ලක් හොදි වල පොගවලා කන ගමන් මුහුණ බේරී කරගත්තා …
‘මේ වගෙන් කෑම කෑවාම අපිට ඕන ජරාවක් කන්න හැකියාවක් ලැබෙයි …’
අමාරුවෙන් පාන් කාලා අපි කැන්ටින් එකෙන් එලියට බැස්සා
‘මම කම්පියුටර් ලැබ් එක පැත්තේ යනවා උබලා එනවාද …. ’ ජනිත් එහෙම කියලා කම්පියුටර් ලැබ් එක පැත්තට යද්දී අනිත් කට්ටියත් එයාට සෙට් උනා …
‘මට බෑ මට නෝට් එකක් ලියන්න තියෙනවා මම ක්ලාස් එකට යනවා … ’ මම විතරක් ක්ලාස් එක පැත්තට එන්න ආවා …
‘මොණරි ..කොහෙද තනියම යන්නේ .. ’ මගේ ඉස්සරහාට හිටියේ තේමිය අයියයි තව යාළුවෙකුයි ..
‘මම ක්ලාස් එකට යනවා …’ මම එහෙම කියලා ඉස්සරහට ඇවිදගෙන ගියා ….
‘මාත් එක්ක තරහද ඉස්සරලා හිනා උනාට ..’ තේමිය අයියා මගේ අතකින් ඇල්ලුව පාර මගේ ඇගට කරන්ට් එක වැදුනා වගේ වුනා … කවදාවත් මට මෙහෙම වෙලා නැහැ … ඇත්තම කිවොත් මගේ කකුල් දෙක ගිටාර් ගහන්න පටන් ගත්තා ..
‘මොකද වෙව්ලන්නේ ..’ තේමිය අයියාට මගේ වෙනස දැනිලාද කොහෙද එයා අල්ලපු අත එකපාරටම අත ඇරියා .
‘ මම වෙව්ලන්නේ නැහැ ..’ එහෙම කියලා මම අඩියක් දෙකක් ඉස්සරහට ගියා…. වෙව්ලුවා කියලා එයාට කියන්න මට ඕන උනේ නැහැ …
‘ මට ඔයාව හම්බවෙන්න ඕන …’ තේමිය අයියා එකපාරම එහෙම කිවුවාම මාව හොල්මන් වෙලා වගේ ගියා …මෙයා මොකටද දෙවියනේ මාව හම්බවෙන්නේ
‘මාව හම්බවෙන්නේ මොකද .. කියන්න මොනවා හරි තියෙනවා නම් දැන් කියන්න ’ තනියම කොල්ලෙක් හම්බවෙන්න කතා කරන්න මට බයක් දැනුනේ ..
‘අපෝ මම තමුන්ව කන්නේ නැහැ … ලොකු එක දාන්න එපා මට ’
එයාට දෙන්න ඕන උත්තරේ මොකක්ද කියලා මට තේරුනේ නැහැ .. එයාට උත්තරයක් දෙන්නේ නැතිවම මම එතැනින් එන්න ආවා …
‘කෝ මට උත්තරයක් දුන්නේ නැහැ නේ ..’
තේමිය අයියා මම ටිකක් දුර යනකන් ඉදලා ආපහු එහෙම ඇහුවත් මම එයාට කිසි උත්තරයක් දුන්නේ නැහැ … මම ක්ලාස් එක ඇතුලට එද්දී එතන හිටිය අපේ බැච් එකේ නදීරා මට ගස්සාගෙන ඇතුලට යන්න ගියා …
‘ඔයා දන්නවද අර අයියා තේමිය ආව ගමන් ඒ කොල්ලව අල්ලාගන්න හදන්නේ ..’ නදීරා එහෙම කිව්වේ ඩෙස්ක් එකක් වටේට එකතු වෙලා කතා කර කර හිටිය එයාගේ යාළුවො සෙට් එක මැදට ගිහින් ..
‘හිතාගෙන ඉන්නේ නම් හරි ලස්සනයි කියලා වෙන්න ඇති පුදුම ආඩම්බරයක් තියෙන්නේ …. මොණරියක් කියලා වෙන්න ඇති හිතාන ඉන්නේ … ’ එයාට උත්තර දුන්නේ අනුත්තරා…. ඇත්තමයි මට හිතුනේ ඔය කෙල්ල ලගට ගිහින් හොම්බ තලන්න ඕන කියලා .. පුදුම අමාරුවක් නේ මේකේ ඉන්න කෙල්ලොනට මගේ ගැන තියෙන්නේ …කේන්තියටයි තරහටයි එක්කම පොත් බෑග් එකත් කරේ එල්ලගෙන මම ක්ලාස් එකෙන් එලියට බැස්සා …
ගේට්ටුවෙන් එළියට ආවාම තමා මට හිතුනේ ඔය කවුරුවත් කියන දේවල් වලට මේ විදිහට තරහා ගන්න හොද නැහැ කියලා … මේ ලගදි ඉදලා මට තරහා යනවා නම් හොදටම වැඩි ..

***
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *