~~~ දෙව්දූ ~~~~21 කොටස

‘දේව්‍ ….දුවේ …. කෝ මේ ළමයා ….’
අම්මි මාව හොයනවා ගේ පුරාම …. මම නෑහුනා වගේ ඇදට වෙලා ඇස් පියාගෙනම හිටියා ….වෙනදා වගේ ටක් ගාලා නැගිටලා අම්මි ලගට දුවලා එයාට තුරුළු වෙන්න බැරි තරම් මගේ හිත උදාසීන වෙලා ..

‘දේව් ….දේව් … ’ අම්මි මාව හොයාගෙන කාමරේටම ඇවිත් … ඇහෙන්නේ නැහැ වගේ ඇස් දෙක තද කරලා පියාගෙන හිටියත් මට දැනුනා අම්මි කාමරේ ඇතුලටම ආවා කියලා

‘මොකද දරුවෝ මේ නිදාගෙන ඉන්න ලස්සන … කෝ කෝ ඇහැරෙන්න ’ අම්මි ඇවිත් මගේ කොන්ඩේ අස්සෙන් අතක් දාලා ඔළුව අතගානවා ….. පොඩි කාලේ ඉදලා අම්මිට කියලා ඔළුව අතගාගන්න මම ගොඩක් ආසයි …. ඉතින් ඒ සුවය නිසාම මම ඇස් පියාගෙනම හිටියා …..

‘හොරට නිදාගෙන ඉන්නවා නේ…. ඇහැරෙනවා හොර කෙල්ල ..’ අම්මි එහෙම කියලා මගේ නහයෙන් අල්ලලා රිදෙන්න මිරිකුවා ….

‘ඌඌඌයි ….අම්මි ….රිදෙනවා …’ කෑ ගහගෙන මම ඇස් ඇරලා බැලුවාම අම්මි හිනාවෙනවා හරි ආදරෙන් මගේ දිහා බලලා …

‘මේ බලන්න මගේ කෙල්ල නිදාගෙන ඉන්න අපුරුව …. ඔහොම නිදාගන්නවා එහෙම නෙවේ බෝඩිමේ ඉදලා ….’ තරවටු කරන ගමන්ම කලව හරිය වෙනකන් ඉස්සිලා තිබ්බ මගේ ගවුම අම්මි පිළිවෙලට හැදුවා ….

‘මම දොර වහගෙන නිදාගන්නේ එහේ ඉද්දි …අනික එහෙ කවුරුත් නැහැ … තේ …. ‘’ මම තේමිය අයියා ගැන කියවෙන්න එද්දීම කතාව නැවැත්තුවා ….

‘හරි මම දන්නවා මගේ දේව් පරිස්සම් වෙන්න දන්නවා කියලා … කෝ ඉතින් නැගිටලා යමු ඉස්සරහට ..’

අම්මි මාවත් ඇදගෙන මිදුලට බහිද්දී … තාත්ති නංගි එක්ක එකතු වෙලා මිදුලේ තිබ්බ අඹ ගහෙන් අඹ කඩනවා … නංගිට කෙක්ක උස්ස ගන්න බැහැ හරියට ….
‘ අයියෝ පොඩ්ඩි ඔයාට කෙක්ක උස්ස ගන්න බැහැනේ හරියට …කොහොමද ඉතින් ඔයා අඹ කඩන්නේ …. හූ හූ …’ අඹ ගහට තඩි බෑවාට එකම අඹ ගෙඩියක්වත් කඩා ගන්න බැරිව නංගි මුහුණ කළු කරගෙන හිටියේ …
‘අනේ මේ ඔයාට කඩන්න පුළුවන් නේ …. එන්න එපා මට විහිළු කරන්න …. තාත්ති මේ බලන්නකෝ අක්කි …’
නංගි මට බනින ගමන් එයා හයියෙන් කෙක්ක බිමට අත ඇරියා … කෙල්ලගේ ඇස් වලට කදුලුත් ඇවිල්ලා ….. කොහොමත් එයා කැමති නැහැ මට සෙකන්ඩ් වෙන්න
‘දේව් නංගි එක්ක රණ්ඩු වෙන්න එපා …දෙන්නම එකතු වෙලා කරන දෙයක් කරන්න …’
තාත්ති සැරෙන් එහෙම කිව්වාම මම නංගි ලගට ගිහින් එයාව තුරුළු කරගත්තා …
‘ඉතින් බබෝ පොඩි එකෙක් වගේ අඩන්න එපා …. කෝ කෝ ඔහොම අඩද්දී ඔයාගේ සුදු මුහුණ කැත වෙනවා නේ …’
චුට්ටක් වෙලා එයාව හුරතල් කරාම කෙල්ල අඩන එක නැවැත්තුලා මාත් එක්ක එකතු වෙලා අඹ කඩන්න ආවා ….. අපි දෙන්නාට කවදාවත් පුළුවන් වුනේ නැහැ තරහා වෙලා ඉන්න ..

***
‘ ඔන්න රාධා දූ ඇවිත් ඉන්නවා කියලා කිව්වාම වික්‍රමසිංහලා අපේ ගෙදර එන්න ඇහුවා …’
හවස නංගිත් එක්ක එකතුවෙලා බෙන් ටෙන් කාටුන් එක බලබල ඉද්දි මට ඇහුනා තාත්ති අම්මි අතින් එහෙම කියනවා
‘ඔයා මොනවාද කිව්වේ ඉතින් …’
‘මම මොනවා කියන්නද …. එන්න කියලා කිව්වා ..’
‘මේ හදිස්සියේ කොහොමද අනේ ඩිනර් එකවත් ලැහැස්ති කරන්නේ ..’
‘මහා ලොකුවට ඕනේ නැහැ සාමන්‍ය විදිහට ඔය මොනවා හරි හදලා ගන්න .. ‘’
කතා කරේ එයාලා දෙන්නා උනාට මගේ හිත ගැහෙනවා අසුහාරදහට … ඔය වෙලාවට තමා හිතෙන්නේ වෙන දෙයක් වුනාවේ කියලා මේ දැන්ම බෝඩිමට දුවන්න …
‘මොකද අක්කි මේ හොල්මනක් දැකලා වගේ …’ මම ඇහිපිල්ලමක්වත් ගහන්නේ නැතිව බලාගෙන ඉන්නවා දැකලා නංගි මගේ ලගට ඇවිත් උරහිසෙන් අල්ලලා හොල්ලන්න ගත්තා ..
‘මොකුත් නැහැ ..’ මට කතා කරන්න මතක් වුනේ තවත් විනාඩි දෙකකට විතර පස්සේ ..
‘මොකුත් නැත්තේ කොහෙද මේ සුදුමැලි වෙලා දාඩියත් දාලා … මම අම්මිට කතා කරන්නද ..’ නංගි අම්මි ඉන්න පැත්තට දුවන්න ලැහැස්ති වෙද්දී මම එයාගේ අතින් අල්ලා ගත්තා
‘ පිස්සු ද ගිනිතියන්නේ නැතිව ඉන්නවා බොරුවට …’ මම එහෙම කිවුවාම මොනවා හරි දෙයක් තේරුනා වගේ එයා ආපහු වාඩිවුනා …
_*****
අම්මයි තාත්ති එක්ක එකතුවෙලා සුපර් මාර්කට් ගිහින් ඇවිත් බරටම වැඩ …. අල්ලපු ගෙදර දීප්ති අක්කත් ඇවිත් අම්මිගේ උදව්වට …මම කාමරේ ඇතුලට වෙලා පොතක් අල්ලාගෙන හිටියා මිසක් හවස හය විතර වෙනකන් එළියට බැස්සේ නැහැ
‘පොඩ්ඩි අක්කිට ගිහින් කියන්න හොද ඇදුමක් ඇදගන්න කියලා … දැන් අර කට්ටිය එයි …’
කෑම කාමරේ පැත්තෙන් මට අම්මිගේ කටහඩ ඇහුනා ..
‘අනේ අම්මි මට බෑ …එයා ලොකු සිං දානවා මට ..’ නංගි අදිමදි කරා
‘ඔයාට කියලා මොකුත් කරගන්න බෑ …. මේ ළමයත් කාමරේ අස්සට ගියාම එලියට එන්නේ නැහැ නේ …දීප්ති අනේ පොඩ්ඩක් මේ සලාදේ හදනවාද …මම දේව් බලලා එන්නම් …’
අම්මි කාමරේ පැත්තට එද්දී මම පොතට එබිගෙනම හිටියා …… ඇස් දෙක පොතේ තිබ්බා වුනත් මට කිසිම දෙයක් හිතට දාගන්න බැරිවුනා …

‘දේව් හොද ඇදුමක් ඇදගන්න ළමයෝ දැන් …තාම පොතේ ඇලිලා ඉන්නේ …’ අම්මි මගේ ලගටම ඇවිත්
‘අම්මි යන්න මම එන්නම් …’ කිසිම වෙනසක් නැතිව මම එහෙම කියලා දැම්මේ අම්ම්ගේ හිත රිද්දන්න බැරි නිසා …

අම්මි ගියාට පස්සේ ටවල් එකත් අතට අරන් මම කෙලින්ම ගියේ බාත්රුම් එකට … නුවර වගේ උල්පත් වලින් එන ශීතල වතුර මෙහෙ නැහැ …. ටැප් එක ඇරිය ගමන් ගලාගෙන එන්නේ පයිප්ප බට ඇතුලේ රත්වෙච්ච රස්නේ වතුර …. උණුසුම් වතුර ඔළුවෙන් පහලට රූටලා ඇවිත් නිරුවත් සිරුර සිපගද්දී මම ඇස් දෙක තද කරලා පියාගත්තා …

වැහුව ඇස් පියන් ඇතුලේ මට පෙනුනේ තේමිය අයියාගේ රූපය විතරයි ….දවස් තුනක් එක දිගට මාව දකින්නේ නැතිව තේමිය අයියා මාව හොයනවා ඇති …එයා බය වෙලා ඇති …මම කියන්නේ නැතිවම මෙහෙ ඇවිත් එයාගේ හිත රිද්දුවාවත් ද … එපා මට තේමිය අයියාව මතක් වෙන්න එපා … මම හිතට වහල් වෙලා මගේ අම්මිට තාත්තිට පිටුපාන්නේ නැහැ …අවුරුදු ගානක් දේවාල ගානේ ගිහින් පුජා භාරහාර වෙලා මාව මේ ලෝකෙට ගෙනාව අම්මි ගේ ඒ වගේම තාත්තිගේ හිතේ මම ගැන කොයි තරම් නම් සිහින බලාපොරොත්තු ඇතිද .. ඒවා බිදින්න උනොත් ආත්ම ගානක් මට ඒ පව විදවන්න වෙයි …. බෑ බෑ .. මම කවදාවත් මට කවදාවත් ආදරයක් නිසා දෙමව්පියෝ අමතක කරලා දාන්න බෑ … අන්තිමේදී හදවත පරදලා හිත ජයගත්තා …මම බාත්රූම් එකෙන් එලිය ආවේ දැඩි කරගත්ත හිතෙන්මයි ….ආයේ මගේ හිත හොල්ලන්න කාටවත් බෑ… මම එහෙමයි හිතුවේ

හරියටම හත වෙද්දී විකුම්ලාගේ කාර් එක අපේ වත්තේ නවත්තන සද්දේ මට ඇහුනා … මම කවදාවත් ගෙදර ඉද්දි ඇන්දේ නැති දිගම දිග විලුඹත් එක්ක වැහිලා යන රෝස පාට ගවුමක් ඇදලා කොන්ඩේ එකට කරලා කරලක් බැදගත්තා … කන්නාඩිය ඇතුලේ හිටියේ දගකාර දේව් වෙනුවට අහිංසක ගැමි යුවතියක් … විකුම් අවුරුදු පහළොවක් විතර පිටරට හැදුනු කොල්ලෙක් එයා සංවර කෙල්ලෙකුට වඩා සංකර කෙල්ලෙක් හොයනවා ඇති ….මගේ යටි හිත දෙයක් ඉල්ලුවා ….. මමවත් නොදැනම …
‘මනමාලි කාමරේ ඇතුලට වෙලා ඉන්නේ මොකද …. අන්න මනමාලයා ඇවිල්ලා ඉන්නවා …’
එහෙම කියාගෙන කාමරේට ආපු නංගි මාව දැකලා ඇස් ලොකු කරගත්තා
‘මොකද හලෝ මේ ගොඩේ කෙල්ලක් වගේ ඇදගෙන …අම්මි මේ ..’ නංගි කෑ ගහන්න යද්දී මම එයාගේ කට අතින් වැහුවා …
‘පණ්ඩිතයා නොවී කෑ නොගහා ඉන්නවා …කෑ ගැහුවොත් දත් ටික බඩට යවනවා .. ‘’ ඇගිල්ලක් උරුක් කරලා මම නංගිට තර්ජනය කළා
‘පොඩ්ඩි අක්කි එක්ක එන්න ඉස්සරහට …’
අම්මි එළියේ ඉදන් කතා කරද්දී මම නංගිගේ අතකින් අල්ලාගෙනම සාලේ පැත්තට ගියා …
‘අනේ කෙල්ල කෙට්ටු වෙලා ගිහින් ….. ’ විකුම්ගේ අම්මා එහෙම කිව්වේ මගේ අතකින් අල්ලා ගන්න ගමන්මයි ..
‘ඉතින් දු …. මේ දවස් වල කැම්පස් නිවාඩුද ..’
‘නැහැ අංකල් …. ’ අංකල් උත්තර දීලා මම අම්මි දිහා බැලුවා
‘මෙයාට තාත්තිව මතක්වෙලා ගෙදර දුවගෙන ඇවිත් ….’ අම්මි මගේ අපහසුතාවය තේරුම් අරන් වගේ එහෙම කිව්වේ
‘දූ කැම්පස් යන්න කැමති නැතිනම් අපි වෙඩින් එක අරගමු …’ විකුම්ගේ අම්මිට පුදුම හදිස්සියක් නේ මාව ලේලි කරගන්න …
‘අම්මා ,තව අවුරුදු හතරයි නේ ..එයා කැමති නම් ඉගෙන ගන්න දෙන්න .’
විකුම් එහෙම කියද්දී මම එයා දිහා බැලුවා … කළු පාට ඩෙනිම් එකකට ගැලපෙන සුදු පාට ටි ෂර්ට් එකක් ඇදගෙන හිටිය එයා ගොඩක් කඩවසම් විදිහට තමා පෙනුනේ …. අද තමා මම හරියටම එයාව දැක්කේ එදා මම එයා දිහා හරියට බැලුවේවත් නැහැ නේ .. ඕනෑම කෙල්ලක් දෙපාරක් හැරිලා බලන තරම් ලස්සනක් එයාට තිබ්බේ ……. ඇස් අඩවන් කරලා බලන එයා දිහා බැලුවොත් පිච්චිලා අළුවෙලා යන තරම් ඒ ඇස් දීප්තිමත් …මගේ ඇස් මටත් හොරෙන් එයා ලග නතර වෙලා තිබ්බේ … මාව නිකන් එයා ලගට ඇදලා ගන්න වගේ තමා එයා මගේ දිහා බලාගෙන හිටියේ … එකපාරටම මට තේමිය අයියාව මතක් වුනා ..එයාට ආදරේ කරන හිතින් මම කොහොමද වෙන කොල්ලෙක් ගැන හිතන්නේ මට මන් ගැනම තරහක් ආවේ
‘එහෙනම් ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ …දෙන්නා කතා කරගෙන කැමති දවසක මැරී කරන්න ..’
වික්‍රමසිංහ ඒ ව්දිහට කිව්වම තමා මම හුස්ම ගත්තේ …මේ හදිස්සියේ මැරී කරන්න මට ඕන උනේ නැහැ

‘දේව් …විකුම් අයියා එක්ක පොඩ්ඩක් එලියට ගිහින් කතා කරන්න ..’

අම්මි එහෙම කිව්වාම අකමැත්තෙන් උනත් මම විකුම් පිටිපස්සෙන් අපේ ගාර්ඩ්න් එකට ගියා …
‘කව්ද මේ මල් හදන්නේ ..’
කතා කරන්න දෙයක් හොයනවා වගේ විකුම් වට පිට බල බලා එහෙම ඇහුවේ අඹ ගහ ලග තිබ්බ ලි බංකුවේ වාඩිවෙන ගමන්මයි …
‘අම්මි තමා හැදුවේ …’ මම එයා ඉස්සරහා ඕනෑවට වඩා සංවර වෙනවද මන්දා … මම ඔය හැම මල් පැලයක් ගානෙම සාත්තු කරපු බව මම එයාට කියන්න ගියේ නැහැ
‘ඔයා මල් හදන්න කැමති නැද්ද …’
‘වෙලාවක් නැහැ … මල් හදන්න ..’ මට ඕන වුනේ එයාට මාව එපා වෙන විදිහට හැසිරෙන්න
‘වෙලාවක් හදාගන්න ඉතින් …. පොත් අස්සෙම හිරවෙලා ඉන්න එපා ..’ එයා මගේ දිහා බලාගෙන ඉන්නේ ආදරණිය බැල්මකින් …. එදා ඒ මුහුණේ තිබ්බ දුක්බර බව යටවෙලා සැහැල්ලු බවක් පිරිලා මුහුණ පුරාම
‘ඔයා ඔය ඇදුමට හරිම ලස්සනයි ….. ’ එකපාරම එයා කිව්වා දෙයින් මාව කරකලා අතඇරියා වගේ උනා … මම කිසිම හැගීමක් නැති විදිහට එයා දිහා බලන් හිටියේ
‘ මම ඇමරිකා ඉද්දි අනන්තවත් කෙල්ලේ දැකලා තිබ්බා ..ඒ හැම කෙල්ලෙක්ගේම ඇතුලේ තිබ්බේ බොරු ආටෝප විතරයි ….. කිසිම කෙල්ලෙක් ලග නැවතුනේ නැති මගේ හිත ඔයා එදා දැක්කාට පස්සේ හිරිවැටිලා ගියා …මගේ හිත කිව්වා ඔයා තමා මගේ කෙනා කියලා … ඇත්තටම දේව් මට සතුටුයි ..,..ගොඩක් ….ඔයා වගේ කෙල්ලක් මගේ ජීවිතේට එන එක ගැන ‘’
හරිම අවංක විදිහට එයා මහිතේ තිබ්බ හැම හැගිමක්ම මගේ ඉස්සරහා වචන කරද්දී මම කිසිම හැගීමක් නැති සෙල් පිළිමයක් වගේ ඔහේ අහගෙන හිටියා විතරයි ….

‘ දේව් කියන්න …. ඔයා මට කැමති නේද …ඔයාගේ අකැමැත්තෙන් මේ දේ සිද්ද වෙන්නේ නැහැ … කියන්න මට කැමතිද කියලා ..’
මම මොකුත්ම කියන්නේ නැතිව ඔහේ හිටියා මිසක් උත්තරයක් දෙන්න ගියේ නැහැ . …. ඊට පස්සේ ගෙවුණු හැම විනාඩ්යක්ම මම හිටියේ සිහියෙන් නම් නෙවෙයි …
‘ දේව්, මම හෙට එන්නද ඔයාව බලන්න …’ විකුම් යන්න ලැහැස්තිවෙලා මගේ දිහා බලාගෙන එහෙම ඇහුවේ ලස්සන හිනාවකින් මුහුණේ පුරෝගෙන
‘හෙට උදේ මම කැම්පස් යනවා ..’
මම හිතේ කොනකවත් තිබ්බේ නැති දෙයක් කියලා දැම්මේ ….මට එයාව දකින්න ඕනේ නැති උන නිසා …
‘පරිස්සමින් යන්න .. ගිහින් කෝල් එකක් දෙන්න ..’
එයා එහෙම කියලා කාර් එකට නැගලා මගේ දිහා බලලා අතවනද්දී මම හිනාවෙන්න ට්‍රයි කළා …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *