~~ දෙව්දූ ~~~25 කොටස

තේමිය අයියාගේ ආදරේ එක්ක ජීවිතය ඉස්සරහට ගලාගෙන යද්දී දැනුනේ ජීවිතය ගොඩක් සුන්දරයි කියලා …. අනිත් හැම කෙනෙකුටම වඩා මගේ ජිවිතේ විශේෂම කෙනා වුනේ තේමිය අයියා .. කරන කියන හැම දෙයක්ම එයාගෙන් අහලා කරන එක පුරුද්දක් වෙද්දී …. කාලෙත් එක්ක අපේ බැදීම ටිකින් ටික වැඩිවුනා … ඇට මස් ලේ නහර පසාරු කරගෙන ආදරය මුළු ආත්මයම වෙලා ගද්දි මට තේමිය අයියා නැතිවම බැරි බව මම හොදටම තේරුම් ගත්තා ..
.
කැම්පස් එකේ හැම රොබරෝසියා ගහක්ම අපේ ආදරේ දැනගෙන ඉන්න ඇති ….. මහවැලිය අපේ ආදරේට සුභ පතන්න ඇති … අක්බාර් පාලම . තෙල් බැම්ම , වුෂු වල, ගෙම්බා එක වගේම මල් පාර හැම තැනකම අපේ මතක සටහන් ලියවෙන්න ඇති …. අත්වැල් බැදගෙන ආදරෙන් කොදුර කොදුර හැම හවසකම මේ තැන් වලදී නොදැක්ක කෙනෙක් අපේ ෆැකල්ටි එකේ ඉන්න නැතිව ඇති …. ආදරේ කරද්දී තැනක් නොතැනක් වෙලාවක් අවේලාවක් නැති බව දැනගෙන හිටිය හැමෝම අපිට ආශිර්වාද කරද්දී අනුත්තරා වගේ තවත් අය අපි දිහා බලාගෙන හිටියේ ගිනිගන්න ඇස් වලින් .. අපේම ලෝකයේ තනිවෙලා හිටිය අපිට නම් ඕවා පෙනුනේ නැති තරම් ….

උදේ ලෙක්චර් එක ඉවර වෙලා අපේ සෙට් එක ක්ලාස් එකෙන් එළියට බහිද්දී මම තේමිය අයියව හොයාගෙන ගියේ වසන්තා ඇන්ටි එයාට දෙන්න කියලා හදලා දුන්න ලොකු බත් එකත් උස්සගෙනමයි.. එයා වෙනදා උදේ ගැවසෙන අක්බාර් පාලම ලග බැලුවත් පේන්න හිටියේ නැති නිසා මම හැරුනේ ආපහු යන්න හිතාගෙන …

‘ආ ..මොනරි කාවද මේ හොයන්නේ ..’

මගේ ඉස්සරහා හිටියේ තේමිය අයියාගේ යාලු අයියා කෙනෙක් …

‘මේ තේමි අයියාව බැලුවේ අයියේ ..’

‘මම දැක්කා බුවා ලයිබ්‍රි එක පැත්තට යනවා …මම ඒ පැත්තට යන්නේ මං කියන්නම් ඔයා මෙතන ඉන්නවා කියලා …’

ලහිරු අයියා එහෙම කියලා යද්දී මම අක්බාර් පාලම මැදට ගිහින් හිටගත්තා .. උදේ වැඩිය කවුරුත් ගැවසෙන්නේ නැති නිසා පරිසරය හරිම නිශ්ශබ්දයි … ඈතින් පේන හන්තාන කන්ද මුදුනේ තියෙන දුරකථන කුළුන දිහා මම ඔහේ බලාගෙන හිටියා …..

‘ආ .. නංගි අද කොක්ක නැහැ වගේ නේ ..’ එතැනින් යන එන ඉංජිනේරු ෆැකල්ටි එකේ අයියලා නම් විහිළුවක් කරලා යන්න අමතක කලේ නැහැ …

‘මෙතැන තනියම ඉන්න එපා කියලා තියෙනවා නේද ..’ කොහේදෝ ඉදලා ආව තේමිය අයියා මගේ එහා පැත්තේන් හිටගෙන මගේ දිහා බැලුවේ නපුරු විදිහට

‘ඇයි එපා කියන්නේ ඉතින් … මම ඔයා එනකන් හිටියේ ’

‘එපා කියන්නේ හේතුවක් ඇතිව නේ … කියන දේ අහනවා මම සැරයක් කීවාම …. ‘’ එයා ගොඩක් සැරෙන් එහෙම කියද්දී දන්නෙම නැතිව මගේ ඇස් කකියන්න ගත්තා …. මම කොහොමත් කැමති නැහැ එයා පුංචිම දෙයක් කියලා හරි මගේ හිත රිද්දනවාට ..

‘ඔන්නමුහුණ දික් කරගත්තා …… දේව් ඔයා දන්නවා නේ ඉන්ජිනියර් ෆැකල්ටි එකේ අනිත් ෆැකල්ටි වලට වැඩිය ගොඩක් අඩුවෙන් කෙල්ලෝ ඉන්නේ කියලා ඉතින් මේකේ ඉන්න එවුන් අසික්කිත විහිලු කරනවා දකින හැම කෙල්ලෙකුටම …පුළුවන් නම් කෙල්ලව අල්ලා ගයි ………කොල්ලෙක් ඉන්නවද නැද්ද කියන එක උන්ට අදාල නැහැ …තේරුම් ගන්න දෙයක් කියද්දී ..ආදරේට කියන්නේ තරහකට නෙවේ …මම කැමැති නැහැ මගේ ආදරේ නැති කරගන්න .. තේරුනා නේද ’

එයා හඩ ගොඩක් අඩුකරලා එහෙම කිව්වේ මට දුක හිතුනා කියලා දැනිලා වෙන්න ඇති …. එයා කියන්නේ ඇත්ත තමා මේ හැම දෙයක්ම එයා කියන්නේ මට තියෙන ආදරේට නේද කියලා හිතද්දී මගේ හිතේ එයා ගැන ආදරේ තවත් වැඩිවෙනවා වගේ ..

‘තේරුනා …’ මම එහෙම කියලා හිනාවුනා හරි සැහැල්ලුවෙන් …

‘ ඔය තේරුනේ ගොනාට වගේ ..’ එයා මගේ අතින් අල්ලලා මාව එයා ලගට ලංකරගත්තේ මම පැනලා යයි කියලා හිතලාද මන්දා .
.
‘ නපුරා මට ගොනා කිව්වා …. ’ මම එයාගේ දකුණු අත නියපොතු වලින් පහුරු ගෑවා …

‘ඌයි රිදුනා …කෝ පෙන්නවා නියපොතු ටික ..’

‘කොටි දෙන වගේ …දන්නේ නැද්ද නියපොතු ටික කපා ගන්න …හෙට වෙද්දී මේවා කපාගෙන ආවේ නැත්තම් කතුරක් අරන් මම කපලා දානවා ..’

තේමිය අයියා විහිලුවෙන් කිවත් ඒ දේ නම් කරන බව මම දැනගෙන හිටියා …
****
ඉතින් ආදරය බෙහෙවින් සුන්දරය …… අපි ආදරය කරන්න පටන් ගෙන අවුරුද්දක් වෙන්න ලං වෙන්නත් ආවා …

‘ දේව් …..දන්නවද හෙට දවස මොකක්ද කියලා …’ තේමිය අයියා එහෙම කියලා උත්තරයක් දෙනකන් මගේ දිහා බලාගෙන ඉන්නවා … එයා කියන්න යන්නේ මොකක්ද කියලා එකපාරටම හිතට ආවේ නැහැ නැති නිසා මම කල්පනා කරන්න ගත්තා ..

‘ කියන්නකො ඉතින් ..මට මතක් වෙන්නේ නැහැ නේ …’

‘ඔයා මට කිසි ආදරයක් නැහැ දේව් …..වැඩක් නැහැ ඉතින් ..’ මුහුණ නරක් කරගෙන එයා එහෙම කියද්දී දුකත් හිතෙනවා ….

‘මගේ සුදු තේමි අයියා …කෝ ඉතින් කියන්නකෝ …. මොකක්ද හෙට දවසේ තියෙන විශේසේ …’

‘හෙටට අපි ආදරේ කරන්න පටන් අරන් අවුරුද්දයි … ඔයාට බැරි වුනාද ඔය දේවත් මතක තියා ගන්න ..තව ටික කාලෙකින් අහයිද දන්නේ නැහැ තේමිය කියන්නේ කවුද කියලා ..’

එයා එහෙම කියලා අමනාපෙන් අහක බලා ගද්දි මට මන් ගැනම තරහක් ආවේ
‘අනේ මගේ සුදු අයියා සොරි ….. ’

අත්දෙකින්ම එයාගේ මුහුණ අල්ලලා මගේ පැත්තට හරවාගෙන හරි ආදරෙන් මම එහෙම කියද්දී එයා හිනාවුනේ හැම තරහක්ම අමතක කරලා දාලා ..
‘ආයේ එහෙම අමතක කරන්න බැහැ…. එහෙම උනොත් නම් කිසි සමාවක් නැහැ මගෙන් …. ඒක නෙවෙයි මට මොනවාද ඔයා දෙන්නේ …’

ඇස් දෙකෙන් හිනාවේවි තේමිය අයියා මගේ දිහා බලනවා

‘ඒක රහසක් …… හෙට දෙන්නම් …’ එහෙම කිවුවාට එයාට දෙන්න ඕන මොනවාද කියලා මම හිතලා තිබ්බේ නැහැ

‘මට දැන් හෙට වෙනකන් ඉවසිල්ලක් නැහැ ඉතින් ….. මේ දේව් හෙට අපි ගමනක් යමු …’

‘එතකොට කැම්පස් එන්නේ නැහැද . …අපි කොහෙද යන්නේ ……’

‘හෙටට විතරක් ලෙක්චර්ස් කට් කරමු .. කොහෙද යන්නේ කියලා හෙට කියන්නම් ’
හැමදාම බලෙන්ම මාව ලෙක්චර් එකට යවන තේමිය අයියා එහෙම කිවුවාම මට හරිම හැපී …හෙට දවසම තේමි අයියා ලග ගෙවන එක ගැන හිතද්දීත් හිත මොන මොනවාදෝ වෙනවා වගේ …..

පහුවදා උදේ ශිතලේම ගෙදරින් එලියට බැහැලා මිදුලේ තිබ්බ රතුරෝස ගහේ පිපිලා තිබ්බ පිනි වැටිච්ච රතුරෝස මලකුත් කඩාගෙන මම හොරෙන්ම තේමිය අයියාගේ කාමරේ පැත්තට ගියා … බාගෙට වහලා තිබ්බ දොරත් තල්ලු කරගෙන කාමරේ ඇතුලට යද්දී තේමිය අයියා හොදටම නිදි …. කොල්ලා ඊයේ රෑ මැද නේ ගෙදර ආවේ … නිදාගෙන ඉන්න විදිහ දැක්කාම ඇහැරවන්නත් ලෝභයි වගේ …
‘තේමි අයියා ..’ එයාගේ කනට ලංවෙලා මම හෙමින් කතා කරත් එයාට ගානක් නැහැ …
‘ඒයි කුම්භකරණ යෝ ඇහැරෙනවා උදේ වෙලා දැන් ..’ අතේ තිබ්බ පිනි වැටිච්ච ශිතලම ශීතල රෝස මල එයාගේ කම්මුල උඩ තියද්දි එයා ගැස්සිලා වගේ ඇහැරුනේ ….නිදිමතේ බාගෙට ඇරිලා තිබ්බ ඒ ඇස් දෙක මගේ මුහුණේ නතර වෙද්දී … මම එයාගේ ඇස් වලට එබුනා ..

‘ ගෙවුණු ඊයේ දවසේ වගේම ඉස්සරහට එන හැම දවසකම මාත් එක්ක සතුටින් ඉන්න අයියා … මේ ආදරේ මට ගොඩක් වටිනවා …..මම ආදරෙයි ඔයාට ….’ මගේ මුහුණ එයාගේ මුහුණට ගොඩක් ලංවෙලා තිබ්බේ …

‘ මම බැලුවේ උදේ පාන්දර සුරංගනාවියක් ඇවිල්ලා කියලා … ඇත්තටම මේ මගේ සුරංගනාවීනේ … මට ඔයාව ඕන දේව් ඉස්සරහට එන හැම දවසකම මගේ ලගින් ඉදලා මගේ ජීවිතේට ශක්තියක් වෙන්න ..‘’

එයා ගොඩක් හෙමින් එහෙම කියලා හිටිය ඉරියව්වෙන්ම නිදාගෙන මගේ දිහා බලාගෙන හිටියා මහා ලොකු ආදරයක් ඇස් වල පුරෝගෙන

‘දැන් මම යනවා මහත්තයෝ …ඇහැරලා ලැහැස්ති වෙන්න ..’

මම එහෙම කියලා කාමරෙන් එලියට දුවන්න ලැහැස්ති වුනාම දඩිබිඩි ගාලා ඇදෙන් නැගිටලා බෙඩ් ෂිට් එකව් පැත්තකට විසිකරපු තේමිය අයියා මගේ ඉනෙන් අල්ලලා එයාගේ ලගට ඇදලා ගත්තා ..

‘ අනේ අයියා මට යන්න දෙන්න දැන් ඇන්ටි එයි ..’ එයාගේ ඇගේ උණුසුම ඇදන් හිටිය රෑ ඇදුමට පසාරු කරගෙන දැනෙද්දී මම එයාගෙන් ඈත් වෙන්න ට්‍රයි කළා

‘ එහෙම යන්න බැහැ …..යන්න දෙනවා ..බඩ්ඩක් දුන්නොත් …’ එයාගේ ඇස් දෙකේ ආදරය ආශාව එක්ක කැලතුනු හැගිමකුයි තිබ්බේ ..මාව පිච්චිලා අලුවෙලා යන තරම් දරුණු ඒ හැගීමට මම ගොඩක් බය වුනා….

‘මොනවාද ඉල්ලන්නේ දැන් …’

‘මෙතෙන්ට කිස් එකක් දුන්නොත් යන්න දෙනවා ..’
එයා තොල් දෙක උඩ ඇගිල්ලක් තියලා එහෙම කියද්දී ලැජ්ජාව නිසා මගේ මුළු ඇගම රත්වේගන ආවා

‘අනේ අයියා ….. මට ලැජ්ජයි ….. මට බෑ…’

‘ එහෙනම් අම්මා එනකන් මගේ ලග ඉන්න වෙයි …’ තේමිය අයියාගේ කිරි එක අරන් වසන්තා ඇන්ටි කාමරේට එන බව දන්න නිසා මගේ හිතට බයක් ආවේ ..

‘අනේ මගේ මෝඩයෝ දැන් ඇන්ටි ආවොත් මොනවා හිතයිද ..’

‘හිත හිත ඉන්න දෙන්නේ නැහැ … ඔයා මගේ කියලා මම කියනවා ..අම්මි නම් උඩින්ම කැමැති වෙයි ලේලි පොඩ්ඩට …’ එයා එහෙම කියලා මගේ මුහුණට එයාගේ මුහුණ ගොඩක් ලංකරා ..ඒ මුහුණේ උණුසුම මගේ මුහුණට දැනෙද්දී මගේ හිතට අකුණු ගහනවා වගේ … දැන් නම් ඉතින් බේරිලා යනවා බොරු …

‘ එහෙනම් ඇස් දෙක පියාගන්න ..’

මම එහෙම කිවුව ගමන් එයා ඇස් දෙක පියාගත්තා …මට වඩා අඩියක් විතර උස නිසා එයාගේ නළල ලංවෙන්න නම් මම ඇගිලි වලින් ඉස්සෙන්න ඕන ..

‘මම උස නැහැ අනේ …’

‘එහෙනම් මම උස්සන්නම් ..’

‘එපා ඉන්න …මම කොහොම හරි කිස් එක දෙන්නම් …’

මම කකුල් වල ඇගිලි වලින් ඉස්සිලා එයාගේ නළලට කිස් එකක් දුන්නාම එයාගේ අත් දෙක නිකන්ම මගේ ඉනෙන් ගැලවුනා … ඒ ඇස් තාමත් පියවෙලා ..එයා හිතාගෙන ඉන්නවා ඇත්තේ මම එයාට ලිප්ස් කිස් එකක් දෙයි කියලා …

‘දැන් ඉතින් හොද ළමයා වගේ ලැහැස්ති වෙන්න ….’ මම එයා ඇස් පියාගෙන ඉද්දිම අඩියක් දෙකක් පස්සට වුනේ කාමරෙන් පැන ගන්න හිතාගෙන ..

‘කපටි කෙල්ල ඉන්නවකෝ මම ඔයාව අල්ලගන්නම් …’ මුහුණ රතු කරන් එයා මගේ දිහා බලද්දී මම ඔළුව ඇලකරලා ඇහැකින් ඉගි කරලා කාමරෙන් එළියට ආවේ තව ටිකක් හිටියොත් වසන්තා ඇන්ටිට හොරේ අහුවෙන නිසා ….

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *