දෙව්දූ ~34 කොටස

~~දෙව්දූ ~~~
34 කොටස
‘දේව් මොකද වුනේ …ඇයි අර තේමිය අයියා ඔයාට කෑ ගහලා ගියේ ..’ අපේ සෙට් එකේ උනුයි වට පිටාවේ හිටිය ළමයි ටිකයි ඔක්කොම ඇවිත් මාව වට කරගත්තා … මම ඉකිගගා ඇඩුවා මිසක් උත්තරයක් දෙන්න ගියේ නැහැ …
‘හිටපන් මම තේමිය අයියාව ඇදගෙන එන්නම් ..’ තරිදු එහෙම කියලා තේමිය අයියා ගිය දිහාවට යන්න ලැහැස්ති වුනා
‘තරිදු එපා ….’ තේමිය අයියා තවත් රිද්දන එකේ තේරුමක් නැහැ … අනික හැමෝම එයාගෙන් ප්‍රශ්න කරන්න ගියොත් එයාට තරහා යයි තවත් …
‘මම යන්නේ නැහැ කියපන් …මොන #@$##$ උනේ කියලා …’ තරිදු එහෙම ඇහුවේ තරහෙන්
‘කියපන් මොණරි …මොන දෙයක් උනත් අපි හැමෝම උබේ පැත්තේ ඉන්නේ …’ හැමෝම මගෙන් එක එක ප්‍රශ්න අහනවා …එයාලාට කියලා පහදලා දෙන්න පුළුවන් තත්වයක නෙවෙයි මම හිටියේ .. වැටිලා හිටිය තැනින් නැගිටලා මම ඉස්සරහට ගියේ කාටවත්ම උත්තර බදින්නේ නැති ව … මට තේමිය අයියා නැතිව ජීවත්වෙන්න බැහැ කියන එක විතරමයි මගේ හිතේ තිබ්බේ
‘දේව් …. මොකක්ද උනේ කියලා කියන්න බැරි තරම් උබට අපිව විශ්වාස කරන්න බැරිද …’
දුවගෙන ඇවිල්ලා මට එකතු උන හිමායා මගේ ඇස් වලට එබිලා බැලුවා ..
‘ මට තාම විශ්වාස නැහැ දේව් උබේ ඇස් වලට කදුළු ආවා කියලා .. ඒකත් මේ කොල්ලෙක් නිසා .. මම උබට කිව්වා මේක ඇතුලෙදි කොල්ලෝ විශ්වාස කරන්න එපා කියලා …උන් මේක ඇතුලේ ආතල් කොකු දාගන්නේ උන්ට ටයිම් පාස් කරන්න .. කැම්පස් එකෙන් අස් වුනාට පස්සේ උන්ට මතක නැහැ මේක ඇතුලේ ආදරේ කරපු කෙල්ල ගැන ..’
මට මතකයි තේමිය අයියා එක්ක එෆෙයාර් එකක් පටන් ගන්න ඉස්සර වෙලා හිමායා මට ලොකු දේශනයක් දුන්නා …එදා එයා කියන එක අහලා මම තේමිය අයියා ගැන තිබ්බ හැගීම් හිත ඇතුලෙම වළලා ගත්තා නම් මේ තරම් දුකක් අද මට නැහැ නේද කියන එක මට ඒ මොහොතේදී හිතුනා ..
‘උබ ..තරිදු එක්ක ෆන් එකටද එතකොට යාලු වෙලා ඉන්නේ ..’
‘ මට තරිදු ගැන ආදරයක් නැහැ කියන්නේ නැහැ …ඒ උනාට මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් නැහැ මට ඌ මැරී කරන්න පුළුවන් වෙයි කියලා …. ඒ හින්දා මම ආදරේ කරන්නේ ඕනෑම දෙයකට මුහුණ දෙන්න හිත හදාගෙන …’
මටත් හිමායා වගේ හිතන්න පුළුවන් වුනා නම් … එහෙමනම් තේමිය අයියාව අමතක කරලා දාන්න ලේසි වෙයි …. ඒත් මම තේමිය අයියා ට ආදරේ කලේ කවදාවත් ඈත්වෙන්න හිතාගෙන නෙවෙයි …මොන සටනක් කරලා හරි එයාව මගේම කරගන්නවා කියන බලාපොරොත්තුව මගේ හිතේ තිබ්බා ..
‘හිමා මම තේමිය අයියාට ගොඩක් ආදරේ … ඒත් දැන් එයා හිතන්නේ මම එයාව රැවට්ටුවා …මම එයාට වංචා කළා කියලා …’ මම ගොඩක් අසරණ විදිහට එහෙම කියද්දී හිමා මගේ දිහා බැලුවේ මහා දුකකින් ..
‘හේතුව ..’
‘මට සමාවෙයන් හිමා …. මේ දේවල් මම අද උබට කියන්නේ උබ මගේ හොදම යාලුවෙක් නිසා … තේමිය අයියා කියන්නේ මම නැවතිලා ඉන්න ගෙදර වසන්තා ඇන්ටි ගේ ලොකු පුතා …එයාලා අපේ ෆැමිලි එකේ යාළුවො …… ඒත් එයාලාවත් නොදන්න රහසක් තිබ්බා … ගෙදරින් මට ප්‍රපොස් කරපු කොල්ලෙක් ඉන්නවා … තේමිය අයියාට මම ඇත්තටම ආදරය කරපු හින්දා මගේ හිතේ විකුම් ගැන කිසිම හැගීමක් තිබ්බේ නැහැ … හදිස්සියේම තේමිය අයියා දැනගෙන මාව බන්දන්න තීරණය කරපු කොල්ලෙක් ඉන්නවා කියලා ..දැන් එයාට මාව විශ්වාස නැහැ … එයා හිතන්නේ මම එයාව රැවට්ටුවා කියලා ..’
මම එදා ඉදන් සිද්ද වෙච්ච හැමදෙයක්ම අකුරක් නෑර හිමයාට පැහැදිලි කළා …
‘ උබ වැරදි නැහැ දේව් ….තේමිය අයියා වැරදිත් නැහැ … ඒත් දැන් ඔය එෆෙයාර් එක නවත්තලා දාපන් .. හිත හදාගන්න ලේසි නෑ කියලා දන්නවා … උබ ඔය විදිහට ඌ පස්සේ ගියොත් තේමිය අයියා එක්සෑම් උනත් අනාගන්න පුළුවන් … දේව් ආදරය කියන්නේ ලබා ගැනීමක් නෙවෙයි පරිත්‍යාගයක් .. තේමිය අයියා උබට ලැබෙන්න තියෙවනවා නම් උබ මොන ලෝකේ හිටියත් ලැබෙයි ..දැන් දෙන්නම ස්ටඩිස් කරපල්ලා ඇන ගන්නේ නැතිව …’
හිමායා කිව කතාව ඇත්ත …. මම නිසා තේමිය අයියා ස්ටඩිස් අවුල් කරගත්තොත් ඒක ගෙවාගන්න බැරි පාපයක් වෙයි …. කරන්න තියෙන හොදම දේ මේ ආදරේ හිත ඇතුලේ තියාගෙන ඈතින් ඉදන් තේමිය අයියාට ආදරේ කරන එක … ආදරේ නිසා ජිවිතය අවුල් කරගත්තොත් අපිට විතරක් නෙවෙයි අපි හැදුව වැදුව දෙමව්පියන්ටත් ඒක ලොකු දුකක් වෙයි …
මම කැම්පස් එකෙන් එලියට බැස්සේ හිත ගොඩක් දුරට හදාගෙන … අමාලි නොහිටින්න අද මම මොනවා කරයිද කියලා මමවත් දන්නේ නැහැ … ඒ තරම් මම හිතින් ගොඩක් වැටිලා හිටියේ … කොහොම හරි මම හිත හදාගත්තේ මගේ ආදරේ ඇත්ත කියලා දැනගත්ත දවසක තේමිය අයියා මගේ ලගට එයි කියලා හිතාගෙන …

****
බැචාලා බැචිලා කට්ටියම ෆෙෂාලා ෆෙශිලා පිළිගන්න ලැහැස්ති වුනේ ලොකු උනන්දුවකින් … .. අපේ සමහර බැචාලා නම් මග බලාගෙන හිටියේ අලුතින් එන බැච් එකෙන්වත් කෙල්ලක් සෙට් කරගන්න ඕන කියලා …
කට්ටිය වෙනදට වඩා උදෙන් ඇවිත් බලාගෙන හිටියේ ගොදුරක් veහැගන්න අවස්ථාව එනකන් …… එක එක ජාතියේ ළමයි විශ්වව්ද්‍යාල බිමට ආවේ අම්මලා තාත්තලාගේ අත්වල එල්ලිලා … සමහර මුහුණුවල තිබ්බ බයක් වගේ හැගීමක් … පේරා කියන ලංකාවේ ලස්සනම විශ්වව්ද්‍යාලයට එන්න ලැබීම ගැන සමහරු ආඩම්බරෙන් වගේ හිටියේ ..අපේ කට්ටිය බලෙන්ම ගිහින් කට්ටියට යන්න ඕන තැන්වල පාරවල් කියලා දෙනවා ….
‘දේව් අර ෆෙෂි බලපන්කො ….පුදුම අහිංසක කමක් නේද තියෙන්නේ ….දැක්ක ගමන් මගේ හිත ගියා බන් … ’ සිතුප පෙන්නපු දිහා අපි ඔක්කොම බැලුවා තාත්තාගේ අතක එල්ලිලා අපු කෙල්ලක් ලග තමා සිතුපගේ ඇස් නැවතිලා තිබ්බේ
අපේ සෙට් එකේ අලුත්ම සාමාජිකයා සිතුප ගිය සැරේ නැවෙන් ආපු බැචෙක් …. ඌ අපිට සෙට් උනේ මලිෂ් ගේ රූමා වෙච්ච නිසා …කොහොම හරි කොල්ලා එල බුවෙක් කියලා අපේ සෙට් එකම දැනගෙන හිටියා …
‘ ඔන්න ඒකි මගේ …’ පොර කෙල්ල එන්නත් ඉස්සර වෙලා අයිතිවාසිකම් කියන්න පටන් අරන් ..
‘අනේ අපිට එපා උබම තියා ගනින් ..’
අලුත් බැච් එකේ ජුන්නෝ ටික පිළිඅරගෙන උන්ට සත්කාර කරලා ඉවර වෙද්දී ජෙෂ්ටයන්ගේ කරුණාව ගැන ජුන්නෝ පුදුම වෙන්න ඇති මොකද උන් දන්නේ නැහැ නේ හෙට ඉදලා උන් ජෙෂ්ට උත්තමයන්ගෙන් රැග් වෙනවා කියලා …
රැග් සීසන් එක කියන්නේ ජිවිතේ අමතක නොවෙන මතකයන් ගොඩක් එකතු වෙන කාලයක් කවුරු හරි ඒ කාලේ මග අරිනවා නම් ඒක කැම්පස් ජිවිතේ කරන ලොකුම මෝඩකම .. හැමදෙයක්ම අමතක කරලා මාත් අපේ සෙට් එක එක්ක එකතු වෙලා ඒ වැඩ වලට සම්මාදන් වුනේ ..කැම්පස් ජිවිතේ තියෙන හැම රසවත් දෙයක්ම බිංදුවක් නෑරම උරා ගන්න හිතේ තිබ්බ ආශාව නිසා ..
‘ අර එන ඩබල අල්ලාගෙන රැග්‍ එකක් දෙමුද ..’
නමෝ විත්තියෙන් රැග් කරන්න කියලා අපි තෝරා ගත්තේ ෆ්‍රෙශිලා දෙන්නෙක්ව …
‘ඒයි ….ඒයි …’ තරිදු කෙල්ලෝ දෙන්නාට කතා කළාම උන් ඇහුනේ නැහැ වගේ ඉස්සරහට ඇවිදගෙන ගියා …
‘තොපිට ඇහෙන්නේ නැද්ද …. මේ උබලා දෙන්නාට කතා කරේ …කහ පාට ගවුම . ’ මලිෂ් එහෙම කියලා කෑ ගහද්දි තමා උන් දෙන්නා දැනගත්තේ කතා කරේ උන් දෙන්නාට කියලා ..
‘අපිටද අයියේ කතා කලේ ..’
කෙල්ලෝ දෙන්නා ගැහි ගැහි වගේ කතා කලේ ..
‘ අයියේ …අයියේ ගාන්න මම තොපේ අයියාද … ..ජේෂ්ට උත්තමයා කියලා කතා කරපියව් .. මම දැන් කතා කරේ තොපිට තමා …’
මලිෂ් කවදාවත් නැති අයියා පාර්ට් එකෙන් කතා කරද්දී අර කෙල්ලෝ දෙන්නා බයටම වෙව්ලනවා
‘මොකක්ද තොපි ආව අණ්ඩර කඩේ …’
කෙල්ලෝ දෙන්නා මුහුණින් මුහුණ බලාගත්තේ මේ කියන අන්ඩර දෙමල තේරුම් ගන්න බැහැ වගේ ..
‘යකෝ තොපි අණ්ඩර කඩේ නම දන්නේ නැද්ද …. අවුරුදු දහතුනක් තොපි බඩගෑවා අණ්ඩර කඩේ ගැන යකෝ අහන්නේ ..’
‘ ස්වරණමාලි බාලිකා විද්‍යාලය …’ කෙල්ලෝ දෙන්නාට දාඩියත් දාලා ඒ වෙද්දී
‘ හරි දැන් උබ සින්දුවක් කියපන් …. එතකොට උබ ඒකට නටපන් ….’
එක කෙල්ලක් ඇබරෙන ගමන් සිංදුවක් කියද්දී අනිත් කෙල්ල තාලෙට නටන්න ගත්තා …
‘හරි …දැන් දෙන්නාම ඔය පාර දිගට තියෙන කොළ ටිකත් අහුලාගෙන පලයල්ලා ..’ කෙල්ලෝ දෙන්නා එතැනින් යන්න ගියේ ලොකු සතුටකින් .. පාර දිගට වැටිලා තියෙන කොළ ටිකත් අහුලගෙනමයි …
‘අපිට දුන්න රැග්‍ වල හැටියට මුන්ට මේවා හොද වැඩි ….’ අමාලි එහෙම කිව්වේ තව ටිකක් කෙල්ලෝ ටික චාටර් කරන්න බැරි වීම ගැන දුකෙන් වගේ …
‘ඔය පටන් ගත්තා විතරයි සහෝදරි ..හොද හොද සෙල්ලම් …ඉදිරියට බලාපොරොත්තුවෙන්න …’
බිනුර එහෙම කිව්වේ අමාලිගේ හිත හදන්න වගේ …

*****
ලෙක්චර්ස් ඉවර වෙලා කට්ටියම එලියට බැස්සේ ඉස්සරහට ළමයි රැග්‍ කරන විදිහ සැලසුම් කරකරමයි …
‘සුභ සන්ධ්‍යාවක් ජෙෂ්ට උත්තමයිනි ..’
‘සුභ උදෑසනක් ..’
අපි ඉස්සරහට හම්බ වෙන ජුන්නෝ ඔළුව පාත්කරලා අපිට විශ් කරද්දී අපිත් උන්ට විශ් කරලා කැන්ටින් එක පැත්තට ගියා ..මේ වෙලාවට අක්බාර් එකේ සෙනග වැඩි නිසා අපි ගියේ ගෙම්බා එකට ..
කැන්ටින් එක ඇතුලේ තේමිය අයියලා ඉන්නවා දැක්කත් මම වැඩිය ගණන් ගන්න ගියේ නැහැ … අපි වාඩිවුනේ තේමිය අයියලා හිටපු ටේබල් එක ලගම ටේබල් එකේ … තේමිය අයියා අපිව දැකලා අහක බලාගන්නවා මම ඇස් කොනින් දැක්කා …..අපේ සෙට් එකේ මොකක්ද හේතුව කියලා නොදැන හිටියත් එදා කේස් එකෙන් පස්සේ තේමිය අයියලා එක්ක වැඩි භජනෙකට ගියේ නැහැ …
‘කට්ටියටම ප්ලේන්ටියි …ගල් බනිසුයි ගේනවා ඔන්න ..’ සිතුප තරිදු එක්ක කැන්ටින් එකේ පෝලිමට යද්දී මගේ ඇස් ඉබේම ඇදිලා යන්නේ තේමිය අයියා දිහාවට … සුදු මුහුණ පුරාම භාගෙට රැවුල වැවිලා ….. කොන්ඩෙත් හොදටම අවුල් වෙලා ගිහින් ..දෙවියනේ තේමිය අයියා දුක් විදිනවාවත්ද …ඒ තප්පරේ මගේ හිත පිච්චිලා යනවා වගේ මට දැනුනේ … දුවලා ගිහින් එයාගේ ඔළුව ඔඩොක්කුවේ තියාගෙන දුක ඉවරවෙනකන් අතගාන්න තියෙනවා නම් …… මට ඒ තප්පරේට සිය දහස් වාරයක් හිතුනා … ඇස් දෙක කකියනවා වගේ … මට අඩන්න ඕන උනත් යාළුවො ඉස්සරහා මම හිත ෆිට් කරගෙන හිටියා ..
‘හායි තේමිය අයියා …. ’ තේමිය අයියා ඉන්න පැත්තෙන් ඇහුන හුරු පුරුදු කටහඩක් නිසා ඇස් කොනින් මම ඒ දිහාව බැලුවා ….අනුත්තරා එයාගේ යාලුවා සචිනි එක්ක තේමිය අයියා හිටිය ටේබල් එක ලග හිටගෙන ඉන්නවා …..
‘හායි අනු … ’ තේමිය අයියා හරි සුහදශීලි විදිහට තමා කතා කරේ
‘ අපි මෙතැන වාඩිවුනාට කමක් නැද්ද …’
‘ශුවර් …’
තේමිය අයියලාගේ ටේබල් එක ලගට පුටු දෙකක් ඇදගෙන අනුයි සචිනියි වාඩිවුනා ..
‘තේමිය අයියා ඔයා ෆ්‍රී වෙලාවක මට අමාරු පාඩම් වාගයක් තියනවා පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද …’ අනුත්තරා තේමිය අයියා ඉස්සරහා කතා කලේ හරිම හුරතල් විදිහට
‘පුළුවන් …. බැරි කමක් නැහැ ..’
තේමිය අයියා බෑ කියයි කියලා හිතුවත් එයා එහෙම කිව්වේ නැති එක ගැන හිතට ආවේ දුකක් …

‘මේ බනිස් හපන්න ගිහින් මගේ දත්සෙට් එක කැඩෙනවා වෙලාවක ’ හිමායා මුහුණත් ඇබුල් කරගෙන බනිස් ගෙඩිය හපන්න ට්‍රයි කරනවා
‘ එහෙනම් තරිදුට දීලා හපා ගනින් ..’ මම එහෙම කියලා හේතුවක් නැතිව මහා හයියෙන් හිනාවෙද්දි අපේ උන් ටික කටවල් එහෙම ඇරගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා …. පස්සේ තමා මට තේරුනේ මම හිනාවුණා වැඩි කියලා … ඒත් මට හිනාව නවත්තගන්න ඕන වුනේ නැහැ…. වල්පල් කියව කියවා මම පිස්සියක් වගේ ඔහේ හිනාවුනා … අහල පහල ටේබල් වල හිටිය උනුත් හැරී හැරී බලනවා …
‘මම යනවා අනු …’
මගේ හිනාව නැවතුනේ තේමිය අයියලා නැගිටලා යන්න ගියාට පස්සේ …. හිනාවෙලා හිනාවෙලා අන්තිමට මගේ ඇස් වලට කදුළු එන්න වැඩිවෙලාවක් ගියේ නැහැ …
‘දවසක් ඉබ්බෙකුටත් ඔහොම උනාලු …කොක්කු දෙන්නෙක් එක්ක ඉගිල්ලෙන්න ගිහිල්ලා .. ’ අනුත්තරා ඇනුම්පද කියනවා අපි ඉන්න පැත්ත බල බලා
‘අන්තිමේට බිම වැටිලා කෑලි ටික විතරයි ඉතිරි වුනේ කියලා මම අහලා තියෙන්නේ ..’ සචිනිත් උල්පන්දම් දෙනවා
දුවගෙන ගිහිල්ලා අනුත්තරාගේ බෙල්ලෙන් අල්ලාගෙන හොල්ලගෙන හොල්ලගෙන යන්න හිතුනත් මම දත්මිටි කාගෙන ඒ හැගීම නතර කරගත්තා
‘හිටපන් මම ගිහින් ඔකිගේ දත්සෙට් එක බඩට ඇරලා එන්න …’ සිතුප මෙසේ උඩින් පැනලා අනුත්තරාලා හිටිය පැත්තට යන්න ලැහැස්ති වෙද්දී මම සිතුපගේ අතින් අල්ලලා නතර කරගත්තා … එයා අනුත්තරලාට රවාගෙනම මගේ ලගින් වාඩිවුනා …
‘එපා …බන් ..ඇති ඕන දෙයක් කියපු දෙන් ..’ මම එහෙම කිව්වේ මම නිසා මගේ යාළුවො හුටපට වලට පැටලෙනවා දකින්න කැමති වුනේ නැති නිසා
‘පට්ට #&&##@ ඕකි හිතාගෙන ඉන්නේ කෑල්ල කියලා වෙන්න ඇති ..’ මලිෂ්ටත් හොදටම තරහා ගිහින්
‘ දැන්වත් අනු උබගේ ක්‍රෂ් එක පරිස්සම් කරගනින් … නැති නම් ආයෙත් හැට හතරෙන් එකක් දාලා අල්ලා ගයි …’ අනුත්තරා සචිනි එක්ක යන්න ගියේ ඇනුම්පද ගොඩක් කියාගෙනමයි මගේ ඇස් ඇස්වලින් ගැලුව කදුළු බිංදු ගොඩක් ප්ලේන්ටි එකට වැටෙද්දී මම බෑග් එක කරේ දාගත්තේ බෝඩිමට යන්න හිතාගෙන …අද දවසේ තවත් ලෙක්චර් එකකට ඇහුම්කන් දෙන්න තරම් මගේ හිත එක තැනක තිබ්බේ නැහැ …. මට ඕන වුනේ කොහේ හරි මුල්ලකට වෙලා හිතේ දුක අඩුවෙනකන් අඩන්න විතරයි …
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *