~දෙව්දූ ~~42 කොටස

~~~~~දෙව්දූ ~~~~~~
42 කොටස
නුවර ගමනින් පස්සේ මට හිතුනේ ආයේ නම් කවදාවත් තේමිය අයියා ඉස්සරහට යන්නේ නැහැ කියන එක විතරයි … මුලදී මට ආදරේ කරපු තේමිය අයියා පස්සේ මට ලන්වුනේ පළිගන්න කියන එක ෂුවර් .. එයා මගේ ජිවිතේම විනාශ කරලා මාව මග අරින්න තරම් නපුරු උනා කියන එක මගේ හිතට තේරුම් කරලා දෙන්න ගොඩක් අමාරු උනා …
තවත් ටික දවසකින් බාහිරව මගේ ශරීරය වෙනස්වෙන්න පටන්ගයි ….ඊට පස්සේ ලෝකෙම දැනගයි මම අම්මා කෙනෙක් වෙන්න යන්නේ කියලා …. ඊටත් පස්සේ දෙවියනේ …. ඊටත් පස්සේ …….. වෙන දේ ගැන මට හිතා ගන්නවත් බැහැ … මගේ පුංචි දුකක්වත් බලාගෙන ඉන්න බැරි අම්මි …එයාට …. එයාගේ දේව් ගැන මොනවා නොහිතෙයිද …. අච්චර විශ්වාස කරපු දේව්‍ චරිතේ කෙලෙසගත්ත බව දැනගත්තොත් පපුව පැලිලා යයි මගේ අම්මිගේ ….. ඔව් ……මම තීරණයක් ගන්නවා …. හැමෝම වෙනුවෙන් මම එක තීරණයක් ගන්නවා …. ඔයාව මට එපා පුතේ …. ඔයාට මේ ලෝකෙට ආවොත් අපහස විදින්න වෙයි ….ඔයාගේ අම්මි ගොඩක් අසරණයි මගේ පුතේ …. මට සමාවෙයන් …..
‘දේව් …. මොකක්ද මේ ළමයාට වෙලා තියෙන්නේ ….. දොර ජනේලුත් වහගෙන … .කන්නේ නැද්ද …’ අම්මි කාමරේට ඇවිත් ජනෙල් ඇරලා දාන ගමන් තාමත් ඇද උඩ ගුලි ගැහිලා ඉන්න මගේ දිහා බැලුවා
‘මොකද මේ ඇස් වල කදුළු පුරෝගෙන ඉන්නේ …’ අම්මි මගේ ලගට ඇවිත් මගේ ලගින්ම වාඩිවෙලා මං දිහා බැලුවා
‘ මොකුත් නැහැ අම්මි .. ’ මම කදුළු පිහදාගෙන හිනාවෙන්න ට්‍රයි කලේ මම දුකින් කියලා දැනගයි කියලා ..
‘ජොබ් එකක් කරන්න එපා කියලා කිව්ව නිසාද මේ .. මම ඒත් හිතුවා නොකා නොබී කාමරේ ඇතුලටම වෙලා ඉද්දි ඕකට තරහා වෙලා කියලා …….ඔයා දුකින් ඉන්නවට කැමති නැති නිසා මම තාත්ති එක්ක කතා කළා ….එයා කිව්වේ ඔයා කැමති නම් ටික කාලයක් ජොබ් එකක් කරගන්න දෙමු කියලා .. ‘’
අම්මි එහෙම කිව්වම මට දැනුනේ සතුටක් වෙනුවට මහා දුකක් …..මම වෙනුවෙන් මගේ සතුට වෙනුවෙන් මෙච්චර දේවල් කරන අම්මිලාට කොච්චර ලොකු දුකක්ද මම මේ දුන්නේ …. අනේ මට සමාවෙන්න මගේ රත්තරන් අම්මි … මම හිතින් එහෙම කිව්වා දහස්වතාවක් විතර ..
‘කෝ ඉතින් තාම අඩනවා නේ …දැන් අඩන්නේ නැතිව ඉන්න …කෝ …හිනාවෙන්න බලමු .. ‘
මගේ නිකටින් අල්ලලා උස්සලා අම්මි මගේ ඇස්වල තිබ්බ කදුළු පිහලා දැම්මත් නැවතිල්ලක් නැතිව ගලන කදුළු ඉවරයක් නැහැ …
‘මට සමාවෙන්න අම්මි …’ එයාගේ උණුසුම් පපුවට මුහුණ තියාගෙන මම හෙමිට කෙදිරුවා ..අම්මි ආදරෙන් මගේ හිසකෙස් අස්සෙන් අත යවලා මගේ ඔළුව අතගෑවා ….
හැමෝම රවට්ටලා මම ලබන සැනසීම මොකක්ද …..තවත් ඉවසන්න බැහැ මට නම් … ඔව් අවසාන තීරණය මම ගත්තා …
‘එන්න අපි කෑම කමු ..’ අම්මි මාවත් ඇදගෙන කෑම කාමරේට යද්දී නංගියි තාත්තයි අපි එනකන් බලාගෙන ඉන්නවා …
‘මට බඩගිනි එනවකො … මෝඩියේ කෑම කන්න …’ නංගි මට නෝක්කාඩු කියන ගමන් බත් බෙදන්න පටන්ගත්තා …
‘මට කන්න බෑ වගේ අම්මි ….’ දැන් නම් කෑම දැක්කත් ඔක්කාරෙට එනවා …මට ඕන උනේ ඉක්මනින් මෙතනින් යන්න …
‘බෑ කියලා කොහොමද ..බලන්න ඔයාගේ ඇගේ හැටි …. එන්න එන්නම කෙට්ටු වෙනවා ’ අම්මි බත් කටවල් දෙක තුනක්ම කැවුවම අප්පිරියාව පැත්තක තියලා මම ගිලලා දැම්මේ එයාලාට සැක හිතෙයි කියලා ….
‘මට ඇති …. කන්න බෑ …’ තවත් කෑවොත් මෙතනම මට වමනේ යයි කියලා හිතුන නිසා මම වතුර වීදුරුවක් අතට අරන් කෑම මේසෙන් නැගිට්ටා ..
‘දේව් තාත්ති රස කෑමක් ගෙනල්ලා තියෙනවා …. ’ මම කාමරේ දිහාට යන්න ලැහැස්ති වුනාම අම්මි මාව නතර කරගත්තා …
‘මොනවාද අම්මි …’
‘ඔයා ආසම කෑමක් …’ අම්මි කුස්සිය පැත්තට ගිහින් දුරියන් ගෙඩියකුත් අරන් ආපහු කෑම කාමරේට ආවේ …. වෙනදා නම් දුරියන් දැක්ක ගමන් කුලප්පු වෙලා වගේ ඉස්සරහට පැනලා දුරියන් ගෙඩිය අතට ගන්නේ මම … ඒ තරම් දුරියන් කන්න පෙරේතියක් උන මට අද කිසිම ආසාවක් ආවේ නැහැ …
‘මොකද අද දුරියන් ගෙඩිය දිහා බලාගෙන භාවනා කරනවද …ඔය දුරියන් ….. කපලා ගන්නවා කන්න ..’ නංගි පුදුමෙන් වගේ මගේ දිහා බලාගෙන එහෙම කියද්දී මම දුරියන් ගෙඩිය අතට ගත්තා
දුරියන් ගෙඩිය කපද්දී ආපු සුවදට මට දැනුනේ කාපු බීපු හැමදෙයක් එළියට ඇදිලා එනවා වගේ හැගීමක් ….. තවත් මෙතන හිටියොත් වෙන්නේ මෙතැන වමනේ යන එක ….
‘මොකද දේව් මුහුණ ඇබුල් කරගෙන ඉන්නේ …’
‘මොකුත් …. නෑ….’ ඒ වාක්‍ය කියලා ඉවර කරන්නත් කලින් කටට කෙල උනලා බඩ කැලැත්තිලා උගුර දිගේ ආපු දේවල් ගොඩක් නහයෙන් කටින් පිටවෙන්න යද්දී දුරියන් ගෙඩිය එතැනම අතඇරලා කට වහගෙන මම බාත්රූම් එකට දිව්වා ….
‘මොකද දේව් උනේ … ‘’ අම්මි මගේ පස්සෙන් දුවගෙන ඇවිල්ලා බයවෙලා වගේ මගේ දිහා බලාගෙන හිටියේ
‘අවුලක් නැහැ අම්මි …’ මම එහෙම කියලා කට ගන්න කලින් ආයෙම වමනේ යන්න පටන් ගත්තා ….
‘රාධා ලැහැස්ති කරන්න ළමයාව බෙහෙත් ගේන්න එක්කන් යන්න …’ තාත්ති හොදම බයවෙලා වගේ එහෙම කිව්වේ ..
‘මට බෙහෙත් ඕන නැහැ …. දැන් හොදයි …’
‘එහෙම කියලා කොහොමද …. අපි බෙහෙත් ටිකක් ගමු ..’ මම කරන්න දෙයක් නැති නිසාම බෙහෙත් ගන්න යන්න ලැහැස්ති උනත් මගේ හිතට දැනුනේ බයක් …

‘මොකද එකපාරටම දේව්ට හැදුන අසනීපෙ …’ අපේ ෆැමිලි ඩොක්ටර් මාව චෙක් කරලා බැලුවේ හරිම පරික්ෂාකාරී විදිහට
‘මේ දරුවා හෝන්දු මාන්දු වෙලා ඉන්නේ ඩොක්ටර් … කිසිම කෑමක් කන්නෙත් නැහැ …. කාමරේට වෙලා වැටිලා ඉන්නවා .. අද කෑව වෙලේ ඉදලා වමනේ කරනවා ..’ අම්මි ඩොක්ටර්ට උන හැමදෙයක්ම පැහැදිලි කළා .. ඩොක්ටර් බෙහෙත් වාගයක් ලියලා දුන්නට පස්සේ අපි එතැනනින් එලියට එන්න නැගිට්ටා
‘ මිස්ටර් රණබාහු …..පොඩ්ඩක් නවතිනවාද …. ’ අපි එලියට එද්දී තාත්ති ආපහු ඩොක්ටර් ලගට ගියා
මට බබෙක් හම්බවෙන්න කියලා තාත්ති දැනගත්තොත් මොකක්ද වෙන්නේ …ගෙවුණු හැම විනාඩියකම මට එහෙම හිතුනේ …. තවත් විනාඩි ගානකට පස්සේ තාත්ති එළියට ආවේ ඔළුව බිමට හරවාගෙන … අපිව නොදැක්ක අපි ලගින් ගිය තාත්ති දිහා අම්ම් බලාගෙන හිටියේ බය වෙලා වගේ …
‘එයා මොකද ඔය විදිහට යන්නේ …’
තාත්ති මොකුත්ම නොකියා වාහනේ ඩ්‍රයිව් කරද්දී අම්මි සැරින් සැරේ එයා දිහා බලලා කතා කරන්න ලැහැස්ති උනත් ආයෙම නිහඩ උනා ….
‘දේව් නැවතියන් ….’ ගෙට ගොඩවෙලා කාමරේ දිහාට යන්න ගිය මම හිටිය තැනම නැවතුනේ හෙන ගහනවා වගේ සැරෙන් තාත්ති කතා කරපු නිසා …කවදාවත් මේ තරම් සැරෙන් එයා මට කතා කරලා නැහැ
‘වරෙන් මගේ ලගට …’
‘තාත්ති ….’ අම්මි වගේම නංගිත් ඈතින් ඉදලා අපි දිහා බලාගෙන හිටියේ බය වෙලා වගේ
‘ කවුද ඒකා ….කවුද … ‘’ නැවතිල්ලක් නැතිව මගේ කකුල් දෙක වෙව්ලනවා …
‘ කවුරු ගැනද තාත්ති අහන්නේ ….’ මම හිතට ශක්තිය අරන් කතා කලේ
‘උබේ බඩේ ඉන්න එකාගේ තාත්තා ගැන අහන්නේ .. ’ දැන් ඉතින් මොනවා කියන්නද ….ඇත්ත කිවොත් එයා කොහොම හැසිරෙයිද …
‘ මොනවාද රණේ ඔයා මේ කියන්නේ …’
අම්මි ඇවිත් තාත්තිගේ අතක එල්ලුනා ….
‘දන්නවද ඔයාගේ හුරතලි දඩාවතේ ගිහිල්ලා බඩක් හදාගෙන කියලා …අහන්න මෙකිගෙන් කවුද ඌ කියලා ..’
‘අනේ ඒක වෙන්න බෑ … කියන්න මගේ දුවේ ඔයා වැරදි නැහැ කියලා කියන්න …’ අම්මි ගේ මුහුණේ තාමත් මං ගැන විශ්වාසයක් තිබ්බේ
‘ ඔයා තමා මේකට වැරදි … මම කොච්චර කිව්වද කැම්පස් යවන්නේ නැතිව ගෙදර තියාගමු කියලා .. ඒත් ඔයා ඇහුවද මම කියන කිසි දෙයක් … අහන්න ඔයාගේ හුරතලිගෙන් කව්ද මේකට වැරදි කියලා ..’
තාත්ති අම්මිටත් බනිනවා ..
‘මට සමාවෙන්න තාත්ති …මම ලොකු වැරද්දක් කළා …’
‘කොච්චර ආදරේ කලාද මම .. දෙවියෝ මට දුන්න තෑග්ගක් කියලා මම මෙකි ගැන හිතුවේ . …ඒත් මගේ මුහුණේ දැලි ගෑවා මේකි ….. මම උබට කවදාවත් සමාව දෙන්නේ නැහැ … කවදාවත් නැහැ ..මම කොහොමද අර මිනිස්සුන්ගේ මුහුණ බලන්නේ දැන් … මම මොනවාද කියන්නේ …’
පපුවට ගහගෙන අඩන තාත්ති දිහා බලාගෙන ඉන්න බැරිව මම හිටිය තැනම බිම වාඩිවුනා දරාගන්න බැරි වේදනාවකින් ….
‘මට සමාවෙන්න තාත්ති ….’
‘මම ආඩම්බරෙන් උබ ගැන කියෙව්වේ ….කොල්ලෙක් නැති මගේ ගෙදර ගැන දුක හිතුනේ නෑ මට . මට හිතුනේ කොල්ලොන්ට වඩා මගේ කෙල්ලෝ දෙන්නා වටිනවා කියලා … ඒත් අද මට දුකයි ….දුවලා දෙන්නෙක්ගේ තාත්තෙක් උන එක ගැන මට දුකයි ..’
තාත්ති එයාටම දොස් කියාගන්නවා
‘ බෑ උබව මට මේ ගෙදර තියාගන්න බෑ ….. තවත් මේ ගෙදර දොර උබට ඇරෙන්නේ නැහැ .. උබ කැමති මිනිහෙක් එක්ක පලයන් ’ පිස්සුවෙන් වගේ මගේ කාමරේට දුවගෙන ගිය තාත්ති මල්ලක් ගෙනල්ලා මගේ ලගට විසිකලා …
‘දැන් මෙහෙන් පලයන් …. මෙතන බැංකු පොතේ සල්ලි තියෙනවා මේවා ඔක්කොම තියා ගනින් …. උබ නිසා උබේ නංගිගේ ජිවිතේ විනාශ කරන්න බෑ මට … දැන් පලයන් ..මාව මරාගන්නේ නැතිව ..’
‘මට මොකුත් එපා තාත්ති ….කවදාවත් ඔයාලාට ආයෙම දුකක් දෙන්නේ නැහැ …ජාති ජාතිත් මට සමාවෙන්න … මම යනවා ….’
මම තාත්තිගේ කකුල් දෙක ලග වැටිලා අඩද්දී හිතක් පපුවක් නැති කෙනෙක් වගේ තාත්ති බලාගෙන හිටියා …
‘අම්මි ඔයාවත් මට සමාව දෙනවාද …. ’ මම අම්මි ලගට ගිහින් එයාගේ මුහුණ ට එබෙද්දි අම්මි අහක බලාගත්තා ….
‘නංගි කවදාවත් අම්මිගෙයි තාත්තිගෙයි හිත්වලට දුක් දීලා මම වගේ පව්කාරියක් වෙන්න එපා …ඇස් දෙක වගේ මේ දෙන්නාව බලාගන්න ..’ මම අඩ අඩ නංගි දිහා බලද්දී එයා මොකුත්ම කියන්නේ නැතිව කාමරේට දුවලා ගියේ අඩාගෙන
තවත් මේ ගෙදර මට අයිතියක් නැහැ …. රත්තරන් දෙමව්පියන්ගේ හිත්වලට දුකක් දෙන්න තවත් මේ ගෙදර ඉන්න එකේ තේරුමකුත් නැහැ …අම්මි මහා හයියෙන් අඩද්දී තාත්ති ගහක් ගලක් වගේ බලාගෙන ඉද්දි ….ඇදගෙන හිටිය ගවුම විතරක් පිටින් මම ගෙදරි න් එලියට බැස්සා …අද ඉදලා මගේ ජීවිතය මොන පැත්තකට යයිද දන්නේ නැහැ … ඒත් මම දැනගෙන හිටියා මැරෙනවාට වැඩිය ජීවත්වෙලා ඉන්න එක තමා කරන්න තියෙන එකම දේ කියන එක …..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *