~~~දෙව්දූ~~~20 කොටස


ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ – පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
ආලයෙන් වෙලී සෑදී මේ ලතා – මණ්ඩපයෙන් චණ්ඩාතප ඛණ්ඩිත වේ හිරු රජිදුගේ

නාට්‍ය බලන අය මියාට පිම්බා වගේ හාවක් හූවක් නෑ …. හැමෝගෙම ඇස් නතරවෙලා තිබ්බේ වේදිකාවේ … මගේ ඇස් රංගනය ලග නැවතිලා තිබුනත් හිත නම් කිසිම හික්මීමක් නැහැ …. කවදාවත් ගැහුනේ නැති තරම් වේගයෙන් හිත ගැහෙනවා …
‘මම ඔයාට ආදරෙයි දේව් …’ තේමිය අයියා ආදරෙයි කිව්ව විදිහ මගේ කන් දෙක ඇතුලේ රැව් පිලිරැව් දෙනවා …. එයා මට ආදරේ කරනවා කියලා දැනගෙන හිටියත් මේ වෙලාවේ එයාගේ කටෙන් ඒ දේ පිටවෙයි කියලා මම හිතුවේ නැහැ …. මගේ අනිත් පැත්තේ වාඩිවෙලා හිටිය එයා හුස්ම ගන්න සද්දේ නාට්‍යයේ සද්දේට පරයලා ඇහෙනවා …. දෙවියනේ මට මේ මොනවා වෙලාද …නිකන් මොලේ විකාර වෙලා වගේ ….හොදට හිටිය මට එකපාරම මේ වුනේ මොකක්ද …
තේමිය අයියා ආදරෙයි කිව්වේ මගෙන් කිසිම උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැතිව …. නාට්‍ය ඉවරවෙනකන් එයා ආයෙමත් මගෙන් ඒ ගැන මොකුත්ම ඇහුවේ නැහැ … අපි හිටියේ අදුරන්නේ නැති දෙන්නෙක් ඉන්න වගේ …
‘මොකද මොනරි ගොළු වෙලා අද …’ නාට්‍ය බලලා ඉවරවෙලා යන ගමන් මම වචනයක්වත් කතා කෙරුවේ නැති එක හැමෝටම තිබ්බේ ප්‍රශ්නයක් ..
‘ඒක තමා … මාත් මේ ගොඩක් වෙලා ඉදන් නෝට් කළා ඒක නම් ..’ අමාලි ජනිත්ගේ කතාව ස්ථිර කලා ..
‘ ඒක නෙවේ කොහොමද දැන් අමාලියි මොනරියි ගෙවල් වලට යන්නේ ..’ එයාලාගේ කතා නිසා මම අවුල් වෙලා කියලා දැනගෙන වගේ තේමිය අයියා එහෙම ඇහුවේ
‘අපේ අප්පච්චි එනවා කිව්වා මාව ගන්න ..ඒ ගමන් මම මොනරිට ලිෆ්ට් එකක් දෙනවා ..’
අමාලි තේමිය අයියාගේ ප්‍රශ්නෙට උත්තර දුන්නා …
‘ අපි නම් ඉතින් හොස්ටල් වලට මන්ගච්චන්න එපාය ….. ‘’ හිමාය මුහුණ බෙරිකරගෙන තමා එහෙම කිව්වේ
‘මේ ඉන්නේ උබේ කොක්ක …කියපන්කො ඌට උබව එල්ලගෙන යන්න කියලා ..’ තරිදුව පෙන්නලා මලිෂ් එහෙම කිව්වා
‘අනේ කරන්න පුළුවන් දේවල් කියපන් බන් …මම දෙකට කැඩෙයි මෙයාව උස්සන් ගියොත් ..’
තරිදු එහෙම කිව්වේ හිමායා පෙන්න පෙන්න කටපුරා හිනාවෙවී
‘ එපා ..මාව උස්සන් යන්න එපා .. මම යනවා යන්න ..’ තරිදු එක්ක තරහෙන් වගේ හිමායා එයා දාලා ඉස්සරහට යන්න ගියා
‘අනේ මේ හිමෝ ගොන්පාට් දාන්නේ නැතිව මෙන්න මෙහෙ වරෙන් ….’ ගගුලි එහෙම කියලා හිනාවෙන්න ගත්තා …
කට්ටිය විහිලු තහළු කර කර ඉස්සරහට ඇවිදගෙන යද්දී මම කිසි කතාවක් නැතිව පස්සෙන් ඇවිදගෙන ගියේ විහිළු කරලා හිනාවෙන්න මුඩ් එකක් නැති නිසා
‘මොකද තනියම යන්නේ … ’ තේමිය අයියා මගේ ලගට එනකන් මට දැනුනේ වත් නැහැ …
‘ තනියක් නැහැ ..ඔය කට්ටියම ඉන්නේ …’
‘පණ්ඩිතයි නෙවෙයි හොදටම පණ්ඩිතයි …..’ එයා හෙමින් හෙමින් මුණු මුණු ගාද්දී මට හිනායන්න ආවා
‘ඇති යන්තම් හිනාවුනා ..’
‘පිස්සු …..’
‘ඔව් සමහර විට ….. ’
‘විකාර ..’
‘වෙන්න පුළුවන් ..’
‘මල සමයන් …’
‘ මගේ ඉස්සරහා ඉන්නේ මල් සමයම ..’
‘ඔයා නම් තේමිය අයියා …’
මම එයා දිහා රවලා බැලුවාම එයා හිනාවෙන්න ගත්තේ දගකාර කමක් කරලා පෙම්වතිය ලග හුරතල් වේන පෙම්වතෙක් වගේ … එයා ලග නතර වුන ඇස් දෙක ටික වෙලාවක් යනකන් එයාගෙන් ඈත් කරගන්න බැරිව මම එයා දිහා බලාගෙන හිටියේ …ඉස්සරලාම ඇස් අහකට ගත්තේ එයා … මගේ හිත ගැහෙනවා හුගක් වේගෙන් ….
‘දේව්‍ මාව දාලා දුවන්න එපා ..’ මම තේමිය අයියාව දාලා අඩියක් ඉස්සරහට යද්දී එයා මගේ අතින් තද කරලා අල්ලා ගත්තා … මම පුළුන් කෑල්ලක් වගේ ඇදිලා ගිහින් එයා ලගම නතර වුනා
‘ඔයා මොකුත්ම කියන්නේ නැත්තේ ඇයි …’ එයා මගේ ඇස් දෙක අස්සේ මොනවාද හොයනවා
‘මොනවාද කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ …’ මම එයාගේ ඇස් දෙකට බයෙන් බිම බලාගත්තා …
‘ආව්ව්ව්ව්ව් ආව්ව්ව්ව්ව්ව් ……මම බැලුවේ අපේ මොනරි කොහේ අතුරුදහන් වුනාද කියලා …. මෙන්න මෙයා පොරක් එක්ක තනිවෙලා ….’

මම නැති නිසා කට්ටියම ආපහු මාව හොයාගෙන ඇවිත් ….. තේමිය අයියා අතේ තිබ්බ මගේ අත ඇදලා අරන් මම බිම බලාගෙන හිටියේ ලැජ්ජාව නිසා …. අපි දෙන්නා ලංවෙලා හිටියා වැඩිද මන්දා
‘අන්න අපේ අප්පච්චි ඇවිත් බලාගෙන ඉන්නවා වරෙන් යන්න දැන්වත් … හෙට කියන්නෙත් දවසක් නේ ..කතාකරන්න තියෙන දේවල් ඔක්කොම හෙට කතා කරපල්ලා … ‘
අමාලි එහෙම කියද්දී මම තව සැරයක් තේමිය අයියා දිහා බලලා එයත් එක්ක යන්න ආවත් මගේ හිත මගේ ළග නැහැ වගේ ….

********
ගෙදර ඇවිත් නිදාගන්න කියලා ලැහැස්ති වෙලා ඇදට වැටුනට පස්සේ ඇහැ පියවුන්නේ නැති තරම් තේමිය අයියා හිතට ඇවිත් මගේ නින්දත් හොරකන් කරන් ගිහින් වගේ .. මට එකපාරම අම්මි තාත්ති මතක් වෙන්න ගත්තා ….තාත්ති මට කොච්චර ආදරේද …. පුංචි කාලේ ඉදලා එයා මාව බලාගත්තේ මලක් වගේ … ඒ විදිහට මාව හැදුව එයාට මම ආදරයක පැටලුනොත් දුකක් දැනෙන්නේ නැති වෙයිද …
මට දැනෙන පුංචි වේදනාවක් උනත් දරාගන්න බැරිවුනේ තාත්තිටයි .. මට අසනීපයක් හැදුනාම මට වඩා ලෙඩේ අමාරුව දැනුනේ තාත්තිට ….. ඒ තරම් මට ආදරේ කරන තාත්තිට පිටුපාන්න මට පුළුවන් ද … අවුරුදු විස්සක් පුරාම ආදරේ කරපු මගේ තාත්තිව අමතක කරලා ….අද ඊයේ හම්බ වුන කොල්ලෙක්ගේ ආදරයක් පස්සේ ගිහින් එයාලාට පිටුපාන එක හරිද .. අනික වසන්තා ඇන්ටිලා කොච්චර හිතවත් උනත් තාත්ති වික්‍රමසිංහ අංකල්ට දුන්න පොරොන්දුව කඩන්නේ නැති බව මම දන්නවා ….
මේවා හිතලාම මගේ හිත විකාර වෙලා වගේ …පහුවෙනිදා මට ඇහැරෙද්දි දහයත් පහුවෙලා …. මම ඇහැරුන ගමන් වොෂ් එකක් දාගෙන බෑග් එකත් කරේ එල්ලන් එළියට බැස්සා …
‘දේව් කොහෙද ළමයෝ මේ යන්නේ .. ‘’
‘මම ගෙදර ගිහින් එන්න කියලා ඇන්ටි ..’
‘ඔයා ගෙදර යනවා කියලා කිව්වේ නැහැ නේ ..’ වසන්තා ඇන්ටි මුහුණේ ප්‍රශ්න ගොඩක් තියාගෙන තමා කතා කලේ …
‘මට ගෙදර මතක් වෙනවා ඇන්ටි …ගොඩක් මතක් වෙනවා ..’
‘පරිස්සමින් ගිහින් එන්න දරුවෝ එහෙනම් ..’ මම කතා කලේ ගොඩක් දුකින් කියලා ඇන්ටි තේරුම් ගන්න ඇති …එයා තවත් මොකුත්ම අහන්නේ නැතිව මට අවසර දුන්නා .. වෙනදා කැම්පස් එකේ වෙන හැමදෙයක්ම එයාට කියලා දන්නා පුළුවන් වුනාට ..අද මේ ප්‍රශ්නේ එයාගේ පුතා තේමිය ගැන එකක් නිසා එයාට කියන්නත් බැහැනේ ….
සරසවි උයන ස්ටේෂන් එකෙන් ට්‍රේන් එකට නැගලා මම ගෙදර එන ගමන් කල්පනා කලේ ඉස්සරහට කරන්නේ මොනවාද කියලා …තේමිය අයියා නැති කරගන්න මගේ හිත කැමති නැහැ ..ඒ වගේම ආදරයක් නිසා අම්මිට තාත්තිට පිටුපාන්නත් මට බෑ …මම නිකන් ගිරයට අහුවුණ පුවක් ගෙඩියක් වගේ …
ඉරිදා දවසක් නිසා මම ගෙදරට ගොඩ වෙද්දී අපේ ගෙදර කට්ටියම ටීවී එක ඉස්සරහා වාඩිවෙලා ෆිල්ම් එකක් බලනවා …

‘දේව් …මොකද හදිස්සියේම ගෙදර ආවේ ..අපිට කිව්වෙත් නැහැ නේ එනවා කියලා ..’
අම්මි මාව දැක්ක ගමන් ඉස්සරහට දුවගෙන ආවා …. තාත්ති එයා පස්සෙන් ආවේ අම්මි තරමටම කලබල වෙලා
‘ මට හිතුනා ඉතින් ආවා …’ මම තාත්ති ලගට දුවගෙන ගිහින් එයාගේ පපුවේ ඔළුව තියාගත්තා ..
‘තාත්ති ….’
‘ඇයි දරුවෝ …’
‘මාව ඔයා ලගම තියා ගන්නකො …’
‘’මොකද වුනේ කැම්පස් එකේ ප්‍රශ්නයක් වුනාද ..’ තාත්ති මගේ හිත හදන්න වගේ ඔළුව අතගානවා ..
‘නැහැ …මට ගෙදර මතක් වෙනවා ගොඩක් …’ මට තාත්තිට කියන්න ඕන වුනේ ඔයාගේ දේව් කොල්ලෙක්ට ආදරේ කරනවා කියලා උනත් මම කිව්වේ වෙන දෙයක් ..
‘හරි දරුවෝ දවස් දෙක තුනක් ගෙදර නැවතිලා ඉදලා යන්න …. ‘’

දවස් දෙකක් තුනක් ගෙදර නතර වුනාම මට තේමිය අයියාව අමතක වෙනවා නම් … අද ඉදලා සදාකාලයටම ගෙදර නතර වුනත් මට තේමිය අයියා ගැන ඇතිවුන හැගීම් හිතින් මකන්න බැරි බව මට දැනුනා …
මතු සමබන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *