~දෙව්දූ~~45 කොටස

~~~~~දෙව්දූ~~~~~~
45 කොටස
කුසේ කළලය දවසින් දවස මොරද්දී ඇගට දැනෙන අපහසුකම් නම් අඩුවක් නැතිවම මට දැනුනා … විකුම් අයියා මන් ගැන හොයලා බැලුවේ ආදරණිය සැමියෙකුගේ හැම වගකිමක්ම එයාගේ ඔළුවට අරන් …. තාත්තෙක් නැතිව ඉපදෙන්න ගිය දරුවෙකුට තාත්තෙක් වෙන්න හදන එයා ගැන මගේ හිතට දැනුනේ ගෞරවයක් ..
‘මොකද කෙල්ල තාම ගුලි ගැහිලා නිදි …ඇහැරෙන්න ..ඇහැරෙන්න කම්මැලි නොවී …මට ඔෆිස් යන්නත් පරක්කු වෙනවා . ’ ඔෆිස් යන්න කලින් විකුම් අයියා මට කෑම කවලා යන පුරුද්දක් කරගත්තේ …තනියම ඉද්දි මම නොකා නොබී ඉන්නවා කියලා එයා දැනගත්ත දවසේ ඉදලා …
‘මගේ කකුල් ඉදිමිලා තියෙන්නේ ..බලන්නකෝ මේ …මට නම් බෑ නැගිටින්න …අද දවසම ඇදට වෙලා ඉන්නවා …’
ඇස් භාගෙට ඇරගෙන මම මුරණ්ඩු වෙද්දී වචනයක්වත් කතා කරන්නේ නැතිව විකුම් අයියා මාව එයාගේ අත්දෙකට ගත්තා …
‘ මම වැටෙයි තියන්න බිම ….’ කකුල් ගසලා දාන ගමන් මම එයාගේ අත්දෙකෙන් බිමට බහින්න ට්‍රයි කළා
‘මෝඩි වට්ටන්න නම් වඩාගන්නේ නැහැ නේ මම …’ විකුම් අයියා මාව බිමින් තිබ්බේ නාන කාමරේ ඇතුලෙදි …
‘දැන් දත් මැදලා මුහුණ හෝදාගෙන එන්න ..’
උදේ පාන්දරම ශීතල වතුරින් මුහුණ කට හෝදන්න කම්මැලි හිතුනත් විකුම් අයියාගේ බලකිරීමට ඔය දේවල් නොකර ඉන්නවා නම් බොරුවක් ….. ඇද පැළදගෙන ඉවරවෙලා මම කෑම කාමරයට යද්දී විකුම් අයියා ඔෆිස් යන්න ලැහැස්තිවෙලා මම එනකන් බලාගෙන ඉන්නවා ….
‘දැන බබාටත් එක්ක බබාගේ අම්මි කෑම කන්න ඕන … ’ විකුම් අයියා ලොකු කිරි වීදුරුවක් මගේ අතේ තියලා බින්දුවක්වත් ඉතිරි වෙන් නැතිවෙන්නම බොනකන්ම මගේ දිහා බලාගෙන ඉන්නේ මම එයාට හොරෙන් තේ එක ඉතිරි කරයි කියලා හිතලා වෙන්න ඕන ….
‘දැන් මේ ෆ්රුට් ටික කන්න ….’ තේ එක බිලා හුස්මක් ගන්න කලින් පලතුරු දීසියක් මගේ ඉස්සරහා
‘මම පස්සේ කන්නම් … කිරි බිලා බඩ පිරිලා හොදටම ..’
‘පස්සේ කන විදිහ මම දන්නවා නේ …. මොකුත්ම කියන්න එපා ….මේ ටික ඔක්කොම කන්න ..’ විකුම් අයියාගේ ඇස් වලින් බේරෙන්න බැරි නිසාම මම බෑ නොකියාම පළතුරු කන්න ගත්තා ….
‘ඔයා නම් අපේ තාත්ති වගේ …. තාත්තිත් ඉස්සර ඔහොමයි …. මොනවා හරි ගෙනාවාම අපි කනකන් ලගටම වෙලා ඉන්නවා … අපි කන්න බෑ කිවොත් බලකර කර කෑම කවනවා ..’
තාත්ති මතක් වෙද්දී මගේ පපුව හෝස් ගාලා පිච්චෙද්දී මම අතේ තිබ්බ ඇපල් කෑල්ල ආපහු පිගානට දැම්මා …
‘තාත්තාගේ තරහ නිවෙන්න ඇරලා අපි ගෙදර යමු …. උමායා නංගි හම්බවුන වෙලාවෙත් කිව්වා දැන් තාත්ති ඉස්සර තරම් තරහෙන් ඔයා ගැන කතා කරන්නේ නැහැලු…. බබාවත් අරන් ගෙදර ගියාම ඔය තරහා මරහා ඔක්කොම ඉවරයි … දැන් හොද කෙල්ල වගේ මේ ටික කන්න ….’
‘මට කෑවා ඇති වගේ …’ ගෙදර මතක් වුනාම කන්න තිබ්බ පුංචිම ආසාවත් නැතිවෙලා ගිය නිසා මම කන එක ප්‍රතික්ෂේප කළා
‘එහෙම කියලා බෑ මේ ඇපල් කෑල්ල විතරක් හරි කන්න …. පලතුරු කෑවාම බබාලා ගොඩක් ලස්සන වෙනවාලු … ‘’
විකුම් අයියා උවමනාවට වඩා දරුවා ගැන සැලකිලීමත් වෙද්දී මට එයා කියන දේවල් නොසලකා ඉන්නත් බැහැ …. එයා මම ගැන කොච්චර හිතනවාද …
‘කමලා …. නෝනාව හොදට බලා ගන්න ඕන … බෙහෙත් ටික වෙලාවට දීපන් …’ ඔෆිස් යන්න කලින් විකුම් අයියා සර්වන්ට්ට උපදෙස් ගොඩක් දීලා තමා එළියට බැස්සේ … විකුම් අයියා ගෙදරින් එලියට යනකන් දොර ලගට වෙලා බලාගෙන ඉන්න මම උදේ වරුවම ඇද උඩට වෙලා හාන්සිවෙලා හිටියා
‘ නෝනා කෝල් එකක් …’ හරියටම දොළහා පහුවෙද්දී එන කෝල් එක විකුම් අයියාගෙන් බව දන්න නිසා මම ඉක්මනට ෆෝන් එක ලගට ගියා
‘දේව් ..කෑම කෑවාද …’
‘ඇගට අමාරුයි …කන්නත් අප්පිරියයි ..ඔක්කාරෙට එනවා ..’
‘එහෙනම් මම දැන්ම ගෙදර එන්නම් .. අපි ඩොක්ටර් කෙනෙක් චැනල් කරමු .’
‘ඕන නැහැ …. තව ටිකකින් හරි යයි …. මම කමලාට කියලා සුප් එකක් හදාගෙන බොන්නම් ….’ ‘
‘කෑවේ නැත්තම් හවසට බලාගන්නම්කෝ .. ’
‘ මම කන්නම් බය වෙන්න එපා …ඔයා ඔයාගේ වැඩ ටික කරගන්න …මම ගැන හිතන්නේ නැතිව …’
‘මම ඔයා ගැන හිතන්නේ නැතිව …කවුරු ගැන හිතන්නද … බඩුවක් කියන්න තියෙනවා …’ විකුම් අයියාගේ කටහඩේ තිබ්බේ ලොකු සතුටක් ….
‘මොකක්ද ඒ …’
‘ගෙදර ඇවිල්ලම කියන්නම්කෝ …. ‘ විකුම් අයියා ෆෝන් එක තිබ්බේ මගේ හිතේ කුතුහලයක් ඇති කරලා …
ඊට පස්සේ ගෙවුණු විනාඩියකම මගේ ඇස් තිබ්බේ ඔරලෝසුව ලග … ඒ විකුම් අයියා ගෙදර එනකන් තිබුන හදිස්සිය නිසා .. හවස පහ වෙද්දී විකුම් අයියාගේ කාර් එක ගේට්ටුවෙන් ඇතුලට දාද්දි කොන්දට දැනුන අමාරුව අමතක කරලා මම මිදුලට බැස්සා
‘ඉවසිල්ලක් ඇත්තෙම නැහැ නේද …’ විකුම් අයියා හිනාවෙද්දී මම එයා ඉස්සරහට ගිහින් අතේ තිබ්බ පලතුරු බෑග් එක අතට ගත්තා ..
‘ හ්ම්ම්ම් ..මම කොච්චර වෙලා මග බලාගෙන හිටියාද …කියන්නකෝ මොකක්ද ඔය ආරංචිය කියලා ..’
‘මේක බලන්නකෝ … ‘
විකුම් අයියා මගේ අතේ තිබ්බේ යුනිවර්සිටි ඔෆ් පේරාදෙණිය කියලා නම ගහපු ලියාපදිංචි තැපෑලෙන් ආපු ලියුමක් …
‘මොකක්ද මේ ..’
‘ උමායා නංගි උදේම ඔෆිස් එකට ආවා … මේ ලියුම ඔයාට දෙන්න කියලා කිවුවා ..’
‘ඔයා කැඩුවේ නැතිද …’
‘මේක ඔයාට ආපු ලියුමක් … ඉතින් මම කොහොමද ඒක කඩන්නේ …’
‘මගේ දේවල් වලට ඔයාටත් අයිතියක් තියෙනවා ..’
‘හරි පණ්ඩිත ආච්චි දැන් ඔය ලියුම කඩලා බලන්නකෝ …’
ලියුම ඇතුලේ තිබ්බේ උපාධි ප්‍රධාන උත්සවයට කරපු ඉන්විටේෂන් එකක් .. මට මේ විදිහට කැම්පස් එකට යන්න බැරි බව මතක්වුනාම මම ලියුම පැත්තකට විසිකරලා දැම්මා …. බඩකුත් එක්ක මාව දැක්කාම මගේ යාළුවො මම ගැන මොනවා හිතයිද … මගේ හිතම පිච්චෙනවා වගේ මට දැනුනේ
‘මොකද මේ අප්සට් ගියේ …’
‘මට යන්න බැහැ කොන්වකේෂන් එකට …’
‘බැහැ කියලා බැහැ ඔයා යන්නම ඕන ..හරිද … අනික ඔයා යන්නේ මාත් එක්ක ..’
විකුම් අයියා මගේ අකැමැත්ත ගණන් ගන්නේ නැතිව එයාගේ තීරණය දීලා වොෂ් රූම් එක පැත්තට යද්දී මම කාමරේ ඇතුලට යන්න හැරුනා ….. මම ඇදට වැටිලා කල්පනා කරේ විකුම් අයියාගේ තීරණය වෙනස් කරන්නේ කොහොමද කියන එක …
විකුම් අයියා කාමරේට එනවා ඇහුනත් මම ඔළුව උස්සලා එයා දිහා බලන්න උනන්දු වුනේ නැහැ …. මට දැනුනා එයා මගේ ලගටම ඇවිල්ලා ඉන්නේ කියලා …
‘මොකද මේ මුහුන කළුකරගෙන ඉන්නේ …..’ ඇදේ වාඩිවුන විකුම් අයියා උවමනාවට වඩා මගේ පැත්තට බර වුනා …
‘මට යන්න බැහැ … මම කැමැති නැහැ කැම්පස් එකට යන්න … ඔයා මට බලකරන්න නම් එපා ‘’ මම නපුරු විදිහට එහෙම කිව්වත් විකුම් අයියා මගේ තරහා ගණන් ගත්තේ නැහැ
‘මේ බලන්න …කෝ මගේ දිහා බලන්න ..’ කොච්චර කිව්වත් මම එයා දිහා බලන්න උනන්දු වුනේ නැහැ
‘දේව් දන්නවාද දෙයක් …ඔයා මේ විදිහට මුහුණ දික්කරගෙන ඉද්දි මට හිතෙනවා මේ මුහුණ බිම ගෑවෙයි කියලා …’ එයා එක එක විකාර කියවන්නේ මාව හිනාගස්සන්න ඕන වුනාම තමා
‘අනේ යන්න …’
‘හරි මම යන්නම් … හැබැයි ඔයා හිනාවෙලා කොන්වකේෂන් එකට යනවා කියල ප්‍රොමිස් උනොත් ..’
මම වෙනුවෙන් මෙච්චර කැපවීමක් කරපු විකුම් අයියාගේ ඉල්ලීම අහක දාන්න හොද නැති බව මගේ හිතට තෙරෙද්දී මම එයාට එකග වේන්න ඔළුව දෙපැත්තට වැනුවා
‘හරි යන්නම් .. හැබැයි ඔයා එක්ක යන්නේ ..’
‘ඔන්න ඔහොම ඉන්නකෝ ….. කොහොමත් ඉතින් මගේ වස්තුව මම කවදාවත් තනියම යවන්නේ නැහැ … ’
විකුම් අයියා ආදරය පිරුණු බැල්ම දරාගන්න බැරිව මම අහක බැලුවා …. අපි දෙන්නා ගොඩක් වෙලා යනකන් කතා කරේ නැහැ …පාළුව දරාගන්න බැරිම වෙලාවේ විකුම් අයියා ගිටාර් එක අතට අරන් ප්ලේ කරන්න පටන්ගත්තා …
බඩ ඇතුලේ ඉන්න පුංචි එකා හෙමින් හෙමින් කකුල් හොල්ලද්දී දැනෙන වේදනව නිසා මම හෙමින් කෙදිරි ගෑවා ….
‘රිදෙනවාද …’
විකුම් අයියා ගිටාර් එක පැත්තක තියලා මගේ දිහා බලාගෙන හිටියේ ගොඩක් දුක හිතෙන විදිහට
‘හ්ම්ම්ම්ම්ම් බබා දගලනවා වගේ …’ බඩ අතගාන ගමන් මම හෙමින් කෙදිරි ගෑවා .. ඒ එක්කම මගේ හිතට ආවේ තරහක් ….. වෙන ගැහැනියකට අම්මා කෙනෙක් වෙන්න යද්දී දැනෙන සතුට මගේ හිත අහලකවත් තිබ්බේ නැහැ …
‘ඔයා මොකද මුහුණ නපුරු කරගත්තේ …’ විකුම් අයියාට මගේ ඉරියව් හොදට තේරෙනවා
‘මට මේකාව එපා …… ඇයි දෙයියනේ …. මම මේ තරම් අවාසනාවන්ත …’ මම හෙමින් තොල් මතුරද්දී විකුම් අයියා මුහුණ කළු කරගෙන මගේ දිහා බලාගෙන හිටියේ
‘දේව් මගෙන් ඔයාට වැරද්දක් උනාද ..’
‘නැහැ ….’
‘ඇයි ඔයා හැමවෙලේම ඔය දරුවට ශාප කරන්නේ .. ඒ අසරණය වැරදි නැහැ වෙච්ච එක දෙයකටවත් …. ප්ලීස් දේව් මට ඇහෙන්න ආයෙම ඔය කටින් දරුවා ගැන නරකක් කියන්න එපා . ..’
‘මේකා මොනවද මට දුන්නේ දුක විතරයි … මට මාවත් නැති කරපු දරුවෙකුට මම ආදරේ කරන්නේ කොහොමද …. මගේ හිත ඇතුලේ තරහා පිරිලා ගිහින් තියෙන්නේ …’
‘දේව් බබෙක් හම්බවෙන්න ඉද්දි නරක සිතුවිලි හිතට ගන්න එපා … අනික මේ ලේ කැටියකට වෛර කරලා ඔයාට ලැබෙන සැනසීම මොකක්ද … වෙලාවකට ඔයාගේ ඔය නපුරු කම මට දරාගන්න අමාරුයි …..’
විකුම් අයියා ගිටාර් එක අතට අරන් බැල්කනි එකට ගියේ තවත් මම කියන දේවල් අහගෙන ඉන්න බැරිව වගේ … විකුම් අයියා තමන්ගේ නොවෙන දරුවෙකුට මේ විදිහට ආදරේ කරද්දී ඒ දරුවාට වෛර කරන මං ගැන මගේ හිතට දැනුනේ කලිකිරීමක් …
******
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *