~දෙව්දූ~~46 කොටස
~~~~~දෙව්දූ~~~~~~
46 කොටස
‘දේව් ලැහැස්ති වෙලා ඉවරද …. …’
කාමරෙන් එළියේ ඉදලා විකුම් අයියා මේ කතා කරන්නේ කි වෙනි සැරේටද කියලා මතක නැති තරම්
‘පොඩ්ඩක් ඉන්න තව ටිකයි ….’ මම හයවෙනි සැරේටත් පිළිවෙලට නවාගත්ත ඔසරි පොට කරෙන් පහලට දාලා සාරි කට්ට ගැහුවා …
‘කොයි වෙලාවේ ඉදලාද ඔයා තව ටිකයි කියන්නේ …….තාම ඇදලා ඉවර කරේ නැද්ද ..’
‘හරියට අදින්න තේරෙන්නේ නැහැ අප්පා ….. කි සැරයක් ගලව ගලවා ඇන්දාද ….දැන් නම් මට ඇතිවෙලා මේක … ‘’ නහයෙන් අඩන ගමන්ම මම ආයෙමත් සාරි පොට ගලවලා දැම්මා …
‘ දැන් මොනවාද කරන්නේ ඉතින් …..මම උදව් කරන්නද ’ විකුම් අයියා ඔය බලාගෙන ඉන්නේ මම හා කියනකන් වෙන්න ඕන … ලැජ්ජාවෙන් උනත් දැන් මට එයාගෙන් උදව් ගන්න වෙනවා …
‘එහෙනම් මට උදව් කරනවාද මේක ඇදගන්න …’ කරන්නම දෙයක් නැති කමට මම එහෙම කිව්වාට …. දැන් නම් එපා කිව්වානම් හොදයි කියලා හිතෙනවා .. විකුම් අයියා අයියාගේ සපත්තු දෙකේ උස් හඩ ලංවෙන්න ලංවෙන්න මගේ පපුව වේගෙන් ගැහෙනවා …. එයා මගේ ලග හිටගත්තත් මම ඔළුව උස්සලා බැලුවේ නැහැ ….
‘කෝ මගේ දිහා බලන්න මම ඔයාට කියලා දෙන්නම් ..’ මම ඔළුව උස්සලා හෙමින් හෙමින් ඇස් එයා පැත්තට හරවද්දී එයා මගේ දිහා බලාගෙන හිටියේ ලොකු ආදරේකින් … එයාගේ ඒ දීප්තිමත් ඇස් වල තිබ්බේ මං ගැන තිබ්බ ආදරේ විතරයි …කිසිම රාගයක් ඒ ඇස් වල තිබ්බේ නැහැ … ගැහැණියකගේ අඩක් නිරාවරණය වෙච්ච ශරීරයක් ලග සැලෙන සිත් ඇතිවෙන පිරිමි ඉන්න ලෝකයක විකුම් කියන්නේ දෙවියෙක් වගේ මිනිහෙක් කියලා මම මේ ටික දවසට දැනගෙන හිටියා ….ඒ නිසා මට කිසිම බයක් දැනුනේ නැහැ ….
‘මේ….. බලාගන්න මගේ නෝනා ඔසරිය අදින හැටි ….. ’ විකුම් අයියා සාරි එක අතට ගත්තේ මම හිතින් කොහෙද අතරමන් වෙද්දී …
‘මෙන්න මේ විදිහට සාරි එක දෙකට නමාගෙන ඔයාගේ උසට ඔසරි පොට හදාගන්න …. ඊට පස්සේ මෙන්න මෙහෙම කරෙන් පහලට ඔසරි පොට දාගෙන කට්ටක් ගහන්න හැට්ටේට අල්ලලා .. ඊට පස්සේ මෙන්න මෙහෙම වටයක් කරකලා අරන් නෙරිය හදාගන්න ..’
පියවරෙන් පියවර සාරිය අන්දන්න පටන්ගත්ත විකුම් අයියාගේ ඇගිලිවල උණුසුම මගේ ඇගට දැනෙද්දී හිතට එන උණුසුම් හැගීම් හංගා ගන්න මම හිතත් එක්ක ෆයිට් කළා …
‘ඔන්න දැන් හරි …ඔය ඉන්නේ ලස්සනට …. ’ සාරිය අන්දවලා මගේ හැඩ බල බලාම විකුම් අයියා ආඩම්බරෙන් හිනාවෙද්දි මම ලැජ්ජාවෙන් බිම බලාගෙන හිටියා ….
‘බලන්නේ නැද්ද ඔයාගේ මහත්තයාගේ වැඩ කොහොමද කියලා .. ‘’ උරහිස් වලින් අල්ලලා කන්නාඩිය පැත්තට මාව හරවපු එයා ඇස් වලින් කන්නාඩිය පෙන්නුවා .
හිතාගන්න බැරි තරම් ලස්සනට සාරිය අන්දවලා තිබ්බ හැටි මටම අදහගන්න බැහැ .. ඉස්සරහට ආපු බඩ පේන්නේ නැතිවෙන්න සාරිය උඩට වෙන්න අන්දවලා තිබ්බ නිසා බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා එච්චර පෙනුනේ නැහැ …. ඉස්සර දේව් වෙනුවට කන්නාඩිය ඇතුලේ හිටියේ සුන්දර පිරිපුන් තරුණ ගැහැනියක් …. එයාගේ මේ හැකියාවට මගේ හිතේ එයා ගැන තිබ්බ පැහැදිම වැඩිකරා …
‘කොහොමද සාරි අන්දන්න පුරුදු වුනේ …’ හිතේ තිබ්බ කුතුහලය මම වචන වලින් පිටකරා …
‘බය වෙන්න එපා මම කෙල්ලොන්ට නම් සාරි අන්දලා නැහැ .. හැබැයි අපේ අම්මා ඉස්සර සාරි අදිනවා බලන් ඉදලා තියෙනවා …. ඉතින් මම ඒ දිහා බලාගෙන ඉදලාම පුරුදු වුනා ..’
මගේ ඉස්සරහා මේ කියවන්නේ ගොඩක් නිහඩ කෙනෙක් වෙන විකුම් අයියාද කියන එක පුදුමයි .. එ
‘හරි හරි දැන්වත් ගෙදරින් එලියට යමුද … ’
එයා එහෙම අහනකන් මම එයා දිහා බලාගෙන හිටියා විතරමයි .. මගේ සතුට වෙනුවෙන් මහන්සි වෙන විකුම් අයියාගේ හිතට නම් දුකක් දෙන්නේ නැහැ මම මටම පොරොන්දු දුන්නා …
***
උදේ පාන්දරම කොළබින් පිටත්වුන අපි නවය විතර වෙද්දී පේරාදෙණියට ලංවුනා …මුළු ගමන පුරාම මහන්සිය නිසා මම තද නින්දකට වැටිලා හිටියේ ….
‘ඇහැරෙන්න දැන් අපි ඉන්නේ පේරාදෙණියේ … ’ විකුම් අයියා යුනිවර්සිටි ඔෆ් පේරාදෙණිය කියලා ගහපු බෝර්ඩ් එක ලග කාර් එක නතර කරලා මට කතා කරද්දී තමා මම නින්දෙන් ඇහැරුනේ …
‘මෙච්චර ඉක්මනට අපි ආවාද …’ මම මාස ගානකට පස්සේ දැක්ක පරිසරය දිහා බැලුවා ..
‘ඉක්මනට ආවේ නැහැ …පැය හතරකට පස්සේ ආවේ …. ගමන පටන්ගත්ත වෙලාවේ ඉදලා ඔයා දොයි ..මම ඔයාව ඇහැරෙව්වේ නැහැ … ’ විකුම් අයියා එහෙම කියද්දී තමා මම දැනගත්තේ මගේ නින්දේ තරම
‘මට දැනුනේවත් නැහැ …’ මම එහෙම කිව්වම මගේ අවුල් වෙච්ච කොන්ඩේ දිහා බැලුව විකුම් අයියා පනාවක් අතට දුන්නා
‘ඔය කොන්ඩේ පීරාගෙන ඉන්නකෝ ….ඇතුලට යන්න කලින් ..’
පිළිවෙලට කොන්ඩේ පීරාගෙන ඉවරවුනාට පස්සේ මට කාර් එකෙන් බහින්න උදව්කරන්න විකුම් අයියා ඉදිරිපත්වුනා …
‘මම යන්නම් .. ඔයා වැඩ ටික ඉවරවුනාම මට කෝල් එකක් දෙන්න ..’
විකුම් අයියා ටික වෙලාවක් කල්පනාවෙන් ඉදලා එහෙම කියද්දී මම මොකුත්ම නොකියා ජිවිතේ පලවෙනි වතාවට විකුම් අයියාගේ අතකින් අල්ලාගත්තා ….
‘ඇයි …’ එයාගේ ඇස්වල ප්‍රශ්නාර්ථයක් ලියවිලා ..
‘හැමෝම පවුල් පිටින් එද්දී මම විතරක් තනියම යන්නද …කාත් කවුරුවත් නැති කෙනෙක් විදිහට …. මට හැමෝටම පෙන්නන්න ඕන මටම කියලා කෙනෙක් ඉන්නවා කියලා …’
හිතන්නේ බලන්නේ නැතිව මම එහෙම කිවුවාම විකුම් අයියා ලොකු සතුටින් හිනාවුනා ….එයාගේ සතුට ලග මට දැනුනේ සතුටක්
‘ඔයා කියනවා නම් මම ඔයා එක්ක මැරෙන්න හරි එනවා … ‘
‘ මැරෙන්න නෙවෙයි මම කතා කරේ ….මාත් එක්ක ඉස්සරහට යන්න …. ජීවත්වෙන්න … ‘
මෙච්චර දවස් අමතක කරලා හිටිය හැමදෙයක්ම කැම්පස් එකට අඩිය තිබ්බ ගමන් අද ඊයේ උනා වගේ මැවී මැවී පෙනෙද්දී වල්මත් වෙලා තිබ්බ හිතට ශක්තියක් ගන්න මම විකුම් අයියාගේ අත තව තවත් තදකරලා අල්ලාගත්තා ….
‘මොණරි …. උබ කාටවත් නොකියා මැරී කරාද …. ‘’ මාව දැක්ක ගමන් අපේ පරණ සෙට් එකම අපිව වටකරගද්දී මම හිනාවෙලා බිම බලාගත්තා
‘උබට කොච්චර කෝල් කරාද …. උබ දුන්න නම්බර් එකෙන් කිව්වේ එහෙම කෙනෙක් මේ ගෙදර නැහැ කියලා ….පස්සේ මට හිතුනා උබට වැරදිලා දුන්න නම්බර් එකක් කියලා .. උබට මැසේජ් එකක්වත් එවාගන්න විදිහක් තිබ්බේ නැහැ කෙල්ලේ …. නිකමට හිතුනේ නැද්ද අපිට කෝල් කරන්න ඕන කියලා ’
අමාලි මගේ අතින් අල්ලාගෙන ඉස්සර තරම්ම දයාබරකමින් මගේ දිහා බලාගෙන හිටියා
‘සොරි කෙල්ලේ ලොකු කතාවක් කියන්න තියෙනවා ….. පස්සේ හෙමිට කියන්නම්කෝ ..’
එහෙම කියන ගමන් මම වටපිට බැලුවේ හිමායා පේන්න හිටියේ නැති නිසා …
‘කෝ . හිමායා ….’
‘ආර්ට් එකට ගියා යාලුවෙක් හම්බවෙලා එන්නම් කියලා …දැන් එයි …’
අපි කට්ටියගේ කතා අස්සේ මට විකුම් අයියව අමතක වෙලා ගිහින් තිබ්බේ ..ආ ගිය තොරතුරු වෙච්ච දේවල් ..වෙන්න තියෙන දේවල් ….. කැම්පස් එකේ ගෙවුව සුන්දර දවස් අපිට කතාකරන්න අනන්ත දේවල් තිබ්බා
‘ දේව් ..මම පොඩ්ඩක් කැන්ඩි ගිහින් එන්නද … … ඔයා යාළුවොත් එක්ක කතා කර ඉන්නකෝ …. කොන්වකේශන් එක පටන්ගන්න තව වෙලා තියනවා නේ ’ විකුම් අයියා එහෙම අහද්දී තමා මට එයා ඉන්නවා කියලා මතක් වුනේ ..හිතට පොඩි දුකක් එද්දී මම කලේ ඔළුව හොල්ලන එක විතරයි ..
‘බය වෙන්න එපා මම වෙලාවට එනවා …’ එයා යන්න ගියේ ඉක්මනට එනවා කියලා පොරොන්දු වෙලා
‘මහත්තයා එයි …. බයවෙන්න එපා දැන් මෙහෙ බලපන් …’
විකුම් අයියා හැරිලා යන දිහා බලාගෙන හිටිය මම ආපහු හැරුනේ හිනාවක් මුහුණට අරගෙනමයි ..
‘උබ නම් මාර දක්ෂයෙක් නේ ….කොහොම හරි මැරී කරපු ගමන් හනිමුන් බබෙක්ම හැදුවා නේද ..’
මලිෂ් එහෙම කියද්දී මම හිතට ආපු වේදනාව පේන්නේ නැතිවෙන්න හයියෙන් හිනාවුනා
‘ඒක නෙවෙයි දැන් උබලාගේ අෆෙයාර් එක නැද්ද … ‘’ මම මලිෂ් දිහායි අමාලි දිහායි මාරුවෙන් මාරුවට බැලුවා ..
‘අපි කතා කරලා වෙන්වුනා … කිසි දුකක් නැහැ අපිට ….. අපි දෙන්නා කොහොමත් බදින්න බලාගෙන නෙවෙයි නේ ආශ්‍රය කලේ ..’
අමාලි කිසිම ගානක් නැතිව කියවද්දී මලිෂ් ගානක් නැතිව හිනාවුනා …අනේ දෙවියනේ මටත් ඒ වගේ හිනාවෙලා තේමිය අයියාව අමතක කරන්න පුළුවන් උනා නම් … අද මමත් විකුම් අයියා එක්ක සතුටින් නේද
‘ඒ කියන්නේ අපේ එකෙක්ගේවත් ලව් එකක් මැරේජ් එකකින් ඉවරවුනේ නැහැනේ ..’
‘හැමෝම ෆැෂන් එකට වගේ කොකු එල්ලාගත්තට බොක්කෙන් ලව් කරන්නේ කීයෙන් කීදෙනාද බන් ..’
‘ අනිවා මචං ඕවා ඔහොම තමා ..ඒක නෙවේ කෝ හිමායා තාම නැහැනේ …යමුද පොඩ්ඩක් රවුමක් ගහලා එන්න ..’
කට්ටියම එකතු වෙලා හිමායා හොයාගෙන ගියේ මහා හයියෙන් හිනාවෙවීමයි …
‘ගුඩ් මෝර්නින් තේමිය සර් …’
‘ගුඩ් මෝර්නින් …’
තේමිය අයියාගේ කටහඩ ඇහුනේ කොහෙන්ද මන්දා මට හිතුනේ පොලවේ වළක් කපාගෙන එතනම හැංගෙන්න .. මගේ අසරණ කම එයා ඉස්සරහා පෙන්නන්න මට ඕන වුනේ නැහැ ..
‘තේමිය අයියා ගොඩක් දවසකින් …’
හැමෝම තේමිය අයියා ඉස්සරහා නවතිද්දී මම එයාට පේන්නේ නැතිවෙන්න අමාලිට මුවා උනා ..
‘ඔව් ගොඩ දවසකින් ….. අද ඔයාලාගේ කොන්වකේශන් එක නේද …’
‘ඔව් අයියා දැන් කැම්පස් එකේ ලෙක්චර්ස් දෙනවාද …’
කට්ටිය කතා කර කර ඉද්දි මම එතැනින් ඉස්සරහට දුවන්න ලැහැස්තිවුනේ තවත් ඒ කටහඩ අහගෙන එතැන ඉන්න තරම් මගේ හිත පාලනය කරගන්න බැරි බව මම දැනගෙන හිටිය නිසා …. සමහර විට මට කෑ ගහලා එයාගෙන් මෙහෙම අහන්න හිතෙයි ..තේමිය අයියා ඇයි ඔයා මට මෙහෙම කලේ …. එහෙම උනොත් මගේ වේදනාව මේ හැමෝම දැනගන්නවා ….
‘දෙව්දු මැරි කලාද ..’ එයා ලගින් ඉස්සරහට යන්න ගිය මම ඔළුව උස්සලා බැලුවේ නිරායාශයෙන්මයි …. මොහොතකින් අපේ ඇස් එකට හම්බවුනා …. ඒ ඇස් ඇතුලේ ඉස්සර තිබ්බ සැහැල්ලුව සැනසීම වෙනුවට තිබ්බේ දුකක් වේදනාවක් …
‘මොනවාටද අහන්නේ ..’ මගේ හිනාවේ එයා ගැන ද්වේශයක් ලියවිලා තියෙන්න ඇති …..
‘අහන්න තරම් මම සුදුසු නැහැ කියලා දන්නවා … මට සමාවෙන්න …’ එයාගේ ඇස් මගේ ඉස්සරහට ආපු බඩ ලග නතර වෙලා මුහුණ සුදුමැලි වෙලා විරූපී වෙලා ගියේ මේ ලෝකේ දකින්න අපහසුම දේ දැක්ක මිනිහෙක් වගේ …
‘එහෙනම් කවදාවත් මගෙන් ප්‍රශ්න අහන්න මගේ ඉස්සරහට එන්න එපා …. කිසිම කෙනෙක් නැතිව පාරක වැටිලා හිටියොත් උදව් කරන්න ඉන්න අවසානම කෙනා ඔයා නම් මම වැටිලා මැරිලා ගියත් ඔයාගෙන් උදව් ගන්න කැමති නැහැ …මම ඔය මුහුණ දකින්නවත් ආස නැහැ …වෛර කරනවා මම ඔයාට … හැමදාම ….කිසිම ආත්මයක ඔයාව මට එපා … ‘’
මගේ වචන වල දුක ශෝකය වෙනුවට තරහා විතරමයි තිබුනේ මාස නවයක් පුරාවට හිත ඇතුලේ තෙරපිලා මාව රිද්දපු ඒ නපුරු වේදනාව මම එයාගේ මුහුණෙන් දකිද්දී මගේ හිතට සතුටක් දැනුනේ ..
මතු සම්බන්ධයි