~~දෙව්දූ~~49 කොටස

~~~~දෙව්දූ~~~~
49 කොටස

පුංචි පුතු පැටියා සේවිකාවට භාර කරපු විකුම් අයියා අයියා විලාප දී දී අඩ අඩ හිටිය මාවත් අරන් හොස්පිටල් එකට යනකන් මම දෙවියන්ට කන්නලව් කරේ මගේ තාත්තිට නම් කිසිම කරදරයක් වෙන්න එපා කියන එකයි …
‘දේව් …නංගි …ඔයා කලබල කරන්න එපා …ඔයා තමා හැමදෙයක්ම දැන් බලාගන්න ඕන .. ’
මගේ අතින් අල්ලාගෙන හොස්පිටල් එකේ කොරිඩෝ එක දිගේ ඇවිදගෙන යන ගමන් විකුම් අයියා මට උපදෙස් දුන්නත් ඒවා පිළිගන්න මානසික මට්ටමක් මට තිබුනේ නැහැ … අම්මියි නංගියි දැක්ක ගමන් මම විකුම් අයියාගෙන් අත ගලවාගෙන එයාලා ලගට දුවගෙන ගියා … අම්මි මේ දවස් ටිකට ඕනෑවටත් වඩා දුක් විදලාද කොහෙද …එයාගේ කෙස් සුදු වෙලා ඇගත් කෙට්ටු වෙලා …මාව දැක්ක ගමන් එයාගේ ඇස් වලින් සට සට ගාලා කදුළු වැටෙන්න ගත්තා …
‘අම්මි මගේ තාත්තිට මොකද උනේ ….’ මම එයා ලග නැවතිලා මහා හයියෙන් හුස්ම ගත්තා …
‘එයා අද උදේ ඉදලා පපුව රිදෙනවා කිය කිය හිටියේ … හයට විතර රාධා රාධා කියලා කතා කරනවා ඇහිලා මම කාමරේට එබිලා බලද්දී පපුවත් අල්ලාගෙන ඇද උඩ වැටිලා හිටියා ….මුළු ඇගම දාඩියෙන් නෑවිලා … මට කරන්න ඕන දෙයක් සිහියට ආවේ නැහැ … පස්සේ සමීර පුතාට කතා කරලා හොස්පිටල් එකට අරන් ආවා .’
අම්මි කතාව නවත්තලා මාව එයා ලගට අරන් තුරුළු කරගත්තා ..
‘මේ දවස් ටිකේම ඔයා ගැනමයි කියෙව්වේ …. ඔයාට පුතෙක් හම්බවුනා කියලා ආරංචි උන දවසේ එයාගේ ඇස් වලට කදුළු ආවා ….. ’ අම්මි එහෙම කියද්දී මම ඇඩුවේ තාත්ති මට කොච්චර ආදරේ කරාද කියලා මම හොදටම දැනගෙන හිටිය නිසා
‘රාධා මගේ කෙල්ල අම්මා කෙනෙක් වෙලා …. ඒත් මට නම් දැනෙන්නේ දේව් එදා ඔයා මගේ අතට දුන්න පුංචි කෙල්ල කියලා … මට මගේ පුංචි කෙල්ල බලන්න ඕන … එයා හැම වෙලේම එහෙම කිව්වා …. එයා ලැජ්ජාවෙන් හිටියේ ඔයාට මුහුණ දෙන්න … එයා ඔයාට ගොඩක් ආදරෙයි දේව් …ඔයාගේ තාත්තිට සමාව දෙන්න …. ඔයාව ගෙදරින් එලෙව්වාට …. එදා ඉදලා එයා හිතින් මැරී මැරී ජිවත් උනේ …ඒ ගැන ඔයාගේ අම්මි තරම් වෙන කවුරුත්ම දන්නේ නැහැ … ’
‘අනේ තාත්ති ඔයා එකම එක සැරයක් එක කෝල් එකක් දුන්නා නම් ඔයාගේ දේව් එනවා නේද ඔයාව බලන්න … ඇයි අම්මි තාත්ති මාව මේ තරම් අසරණ කලේ .. ගොඩක් ආදරේ කරපු මම ගැන හිතලාම ඔයා ලේඩ උනා කියන එක මට දරාගන්න අමාරුයි මගේ අම්මි …. ‘’
දරාගන්න බැරි දුකින් මම අඩා වැටුනා ..
‘දේව් ඔයාට ඔහොම අඩන්න හොද නැහැ … තාත්තිට දැන් බයිපාස් එකක් කරාලු … එයාට කරදරයක් වෙන්නේ නැහැ .. තව ටිකකින් සිහිය එයි කියලා ඩොක්ටර් කිව්වා ’
විකුම් අයියා සමීර මල්ලි එක්ක ඩොක්ටර් හම්බවෙලා එනකන්ම මගේ ඇස් වලින් ගැලුව කදුළු නැවතුනේ නැහැ …
‘එයාට මොකුත් වෙන්නේ නැහැ නේද විකුම් අයියා ..’ මම විකුම් දිහා බැලුවේ කදුළු නිසා බොදවෙච්ච ඇස් වලින්මයි …
‘එයාට මොකුත්ම වෙන්නේ නැහැ ..සිහිය ආවම වෝඩ් එකට දායි … තාත්තිගේ වෙලාව හොදයි …. ඉන්දියන් හාර්ට් ස්පෙෂලිෂ් කෙනෙක් හොස්පිටල් එකේ ඉදලා අද ..එයා තමා සර්චරි එක කරලා තියෙන්නේ …’
විකුම් අයියාගේ වචන මගේ හිතට ලොකු සහනයක් උනත් තාත්තිව දකිනකන් මගේ හිතේ ගින්න නම් නිවෙන්නේ නැහැ ….
‘දේව් ගෙදර යන්න බබාට කිරි දෙන්න ඕනනේ ….. ’
‘මට තාත්ති බලන්නේ නැතිව ගෙදර යන්න බැහැ අම්මි …’
‘අපි ඉන්නවා නේ …ඔයා ගෙදර යන්න … තාත්තිව වෝඩ් එකට දැම්ම ගමන් අපි කෝල් කරන්නම් …’
අම්මියි නංගියි කොච්චර කිවත් මට තාත්තිව බලන්නේ නැතිව ගෙදර යන්න තරම් මානසික මට්ටිමක් තිබ්බේ නැහැ
‘දේව් …කමලා කෝල් කරා …බබා අඩනවාලු …. අපි පොඩ්ඩක් ගෙදර ගිහින් බලලා එමු ..’
විකුම් අයියා සැරෙන් සැරේ එහෙම කිව්වත් මම හිත ගලක් කරගෙන අහගෙන හිටියා මිසක් වාඩිවෙලා හිටිය තැනින් එක අඩියක්වත් ඉස්සරහට තිබ්බේ නැහැ …
‘දේව් ඔයාගේ ඔය මුරණ්ඩු කම් තමා මේ හැමදෙයකටම හේතුව …ඔයා කවුරුත් කියන කිසිම දෙයක් අහන්නේ නැහැ නේ … ඔයා හරියට හිටියා නම් අද තාත්ති උනත් මෙතැන නැහැ ….’
මගේ මුරණ්ඩුකම බලාගෙන ඉන්න බැරිම තැන අම්මි එහෙම කියද්දී තවත් එතැන ඉන්න තරම් ශක්තියක් මට තිබ්බේ නැහැ …
*****
ගෙදරට යනකන්ම මම විකුම් අයියා එක්ක කතා කරන්න ගියේ නැහැ … ගෙදරට ගොඩවුණු ගමන්ම පුංචි පුතු අහස් මගේ තුරුලට පැන්නේ අඩාගෙනමයි … පුතු පැටියා තුරුළු කරගෙනම කාමරේට ගිය මං කිරි පොවද්දී පුංචි පුතු හිනාවෙන්න ගත්තේ ලොකු සතුටකින් … මට සමාවෙන්න පුතේ …. මට මං ගැන ඇතිවුනේ කලකිරීමක්….. මගේ වැරදි වලට මේ අසරණයා මොනවා කරන්නද ….
‘ පුතු නිදිද …’ කිරි බිලා නින්දට වැටුණු පුතු ඇදේ තියද්දීම විකුම් අයියා කාමරේට එබුනා …
‘ඔව් … අම්මි කෝල් කරාද ..’
‘.ආආආආ …ඔව් … තාත්තිට සිහිය ඇවිල්ලා වෝඩ් එකට දාලා … ‘’
‘අපි යමු දැන් …මට තාත්ති බලන්න ඕන … ‘ මම කාමරෙන් එලියට බැස්සේ එහෙම කියන ගමන්මයි
‘කමලා බබාව බලාගන්න …අපි හොස්පිට්ල් ගිහින් එන්නම් …’
මම කාර් එකට නැග්ගට පස්සේ විකුම් අයියා කමලාට උපදෙස් දෙනවා මට ඇහුනා.. ඊට පස්සේ හොස්පිට්ල් එකට යනකන්ම අපි දෙන්නා අපි දෙන්නාගේ ලෝකවල තනිවෙලා හිටියා මිසක් මොකුත්ම කතා කලේ නැහැ …
හොස්පිටල් එකේ ඇදක් උඩට වෙලා ඉන්න තාත්ති දැක්ක ගමන් මගේ හිත ආයෙම වේදනාවකින් පිරිලා යද්දී මම හෙමින් හෙමින් එයා හිටිය ඇද ලගට ඇවිදගෙන ගියා ….
‘තාත්ති මගේ තාත්ති ….’ ඇදේ හාන්සිවෙලා හිටිය තාත්තිගේ ඇස් මගේ ලග නතර වෙලා විනාඩියක් යන්න කලින් කදුළු වලින් පිරිලා ගියා
‘ඔයා අඩන්නේ ඇයි තාත්ති …දැන් අඩන්න තහනම් හරිද …මේ දේව් ආයෙම ඔයා එපා කියන කිසිම දෙයක් කරන්නේ නැහැ …. දන්නවාද ඔයාට පුංචි මුනුපුරෙක් ඉන්නවා …එයා හරිම ලස්සනයි …ඔයාට ආදරේ හිතෙයි එයාව දැක්කම ’
මම කියවද්දී .. තාත්ති ඔළුවෙන් මට ලගට කතා කළා ….
‘මම කොච්චර ආසාවෙන්ද හිටියේ ඔයාව බලන්න … දැන් තමා මගේ හිතට සැනසීමක් ලැබුනේ … ඔයා දැක්කට පස්සේ මැරිලා ගියත් කමක් නැහැ ..’
‘තාත්ති එහෙම කියන්න එපා …ඔයා ජිවත් වෙන්න ඕන …. ගොඩක් කල් ජීවත්වෙන්න ඕන …ඔයාගේ මුණුපුරාට සෙල්ලම් කරන්න එයාගේ සීයා ඕන .. ’
‘බලන්න රාධා ඔයාගේ දුව දැන් අම්මා කෙනෙක් … එයාගේ දරුවා එක්ක මට සෙල්ලම් කරන්නලු …දන්නවා ද මට ගොඩක් සතුටුයි රාධා …මගේ කෙල්ල අද සතුටින් ඉන්නවා …විකුම් වගේ හොද හස්බන්ඩ් කෙනෙක් එයාට හම්බවුන නිසා …’
තාත්තිගේ සතුට ලග හැමෝම හිනාවුනා හදවතින්ම ඒ ගොඩක් කාලෙකට පස්සේ ..ඉතින් ආයේ නම් අපේ ජිවිත වලට දුක එන්න එපා .. මම හිතින් ලොකු පැතුමක් පැතුවා …
************************************************
වසර පහකට පසු
*************************************************
හරි ඉක්මනට කාලය ගෙවිලා ගියා ….පුංචි පුතු අහස්ට දැන් අවුරුදු පහයි …. අපි දෙන්නාගේම ලෝකය වුනේ නැවතිලා තිබ්බේ පුංචි පුතු ලග …. විකුම් අයියයි මායි අතර තිබ්බ බැදීම මොකක් ද කියන එක මට තේරුම් ගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ ….සමහර විට අපි දෙන්නාගේ බැදීම දරුවා නිසා රැදීලා තිබුනා වෙන්න පුළුවන් …… මම විකුම් අයියාට ආදරේ කරනවාද කියන එක මගේ හිතින් අහන්න මම බය වුනා … ඒ මගේ හිත දෙන උත්තරේ මාව අවුල් කරලා දායි කියලා හිතුන නිසා
ගෙවුණු අවුරුදු පහේදීම විකුම් අයියා බිරිදකගෙන් බලාපොරොත්තු වෙන කිසිම දෙයක් මගෙන් ඉල්ලුවේ නැහැ … එකම ඇදක දෙපැත්තකට වෙලා අපි දෙන්නා පහන් කරපු හැම රැයකම රෑ පුරාම විකුම් අයියාගේ සුසුම් හඩ ඇහුනත් ..මම මොනවත්ම අහන්න ගියේ නැත්තේ … අපි ඕනෑවට වඩා ලංවෙයි කියන බය නිසා …..
‘අම්මි ..අම්මි … තාත්ති අලහේ බලන්න යමු …’ ලොකු කල්පනාවක අතරමන් වෙලා හිටිය මම පුතුගේ හුරතල් හඩින් ගැස්සිලා බැලුවා … තේමිය අයියාගේ හැඩරුව තියෙන පුතුව දැක්කම මාව අතීත මතකයන් තුලට ආපහු ඇදිලා යනවා …පුංචි පුතු ඔය දගලන්නේ විකුම් අයියා එනවා බලන්න යන්න …
‘තාත්ති එන්න වෙලා තියෙනවා පැටියෝ …. ’
‘අම්මි …කෝල් …ගමු …’ පුතු එහෙම කියද්දී ෆෝන් එක අතට ගත්ත මම විකුම් අයියාගේ නම්බර් එක ඩයල් කළා ….
‘හෙලෝ ….තාත්ති මෙන්න පුතුගෙන් කෝල් එකක් ..’
ෆෝන් එක පුතු අතේ තිබ්බ මම විකුම් අයියාට එහෙම කිවා .. .ඊට පස්සේ දෙන්නාගේ නොනවතින කතාව තවත් විනාඩි දහයක් විතර යනකන් …
‘තාත්ති මට චෝකෝ ගේනවාද …’
අන්තිමට පුතු ෆෝන් එක තියෙන්නේ සුපුරුදු ඉල්ලීම කරන ගමන්මයි
‘විකුම් අයියා ඔයා හැමදාම චෝකේ ගෙනත් දීලා …පුතුගේ දත් ටික නරක් කරනවා…’
තවත් පැයකට විතර පස්සේ විකුම් අයියා ගෙට ගොඩ උනේ ලොකු චොකලට් එකක් පුතුගේ අතේ තියාගෙනමයි …
‘අන්න පුතු අම්මි තාත්තිට බනිනවා …’
‘තාත්ති පව් …. පුතුට ආදරෙයි ..අම්මි පුතුට ආදරේ නැහැ …චෝකෝ කන්න දෙන්නෙත් නැහැ ..’ ඇස් නලවා නලවා කතා කරන පුතු දිහා බලාගෙන විකුම් අයියා විරිත්තද්දී මම එයාට රැවුවා
‘දත් ටික නරක් උනොත් පුතුගේ තාත්තිව තමා මම අල්ලගන්නේ …’
මම බොරුවට තරහක් පෙන්නලා ගස්සලා කුස්සිය පැත්තට ගියේ විකුම් අයියාට තේ එකක් හදන්න හිතාගෙනමයි …
තේමිය අයියාට ජාතකව මට ඉපදුන දරුවාට විකුම් අයියා තමන්ගේ දරුවෙක් වගේ සලකද්දී මට එයා ඇති වෙන්නේ පුදුමාකාර ගරුත්වයක් … හිත ඉල්ලන්නේ මොනවා උනත් මම ජිවිතේ පුරාවට විකුම් අයියා ලගම ඉන්න තීරණය කරලා ඉවරයි
‘දේව් ….’
විකුම් අයියා වොෂ් එකක් දාගෙන කුස්සියට එනකන් මම හිටියේ බර කල්පනාවක …
‘ විකුම් අයියා ….’
‘ ඔයා සතුටින් නේද ..’ විකුම් අයියා එකපාරටම ඇහුව ප්‍රශ්නේ නිසා මම එයා දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන
‘ඇයි එක පාරම එහෙම ඇහුවේ … මම ගොඩක් සතුටින් ඉන්නේ .’
‘ මට වෙලාවක ඉන්නවා …මම ඔයාව හිරකරගෙන ඉන්නවාද කියලා ..’
‘ඔයා මට කොච්චර හොදට සලකනවාද ….මට කිසිම අඩුවක් නැහැ ….ඔයා ඔහොම හිතුවොත් මට ගොඩක් දුක හිතෙයි …’
‘ඇයි ..දේව් …ඔයාට තාමත් මට ආදරේ කරන්න බැරි… ‘’ විකුම් අයියා ඇහුව ප්‍රශ්නේ එයා ගොඩක් දවස් හිතේ හිරකරගෙන හිටිය ප්‍රශ්නයක් වෙන්න ඇති …
‘ඇයි ..ඇයි ….ඔයා එහෙම ඇහුවේ …’ මම වචන ගොත ගැහුවා …
‘ඔයාගේ ඇස් දෙකේ කිසිම සතුටක් නැහැ දේව් ….. සමහර වෙලාවට ඔයා පුංච් පුතු දිහා බලාගෙන හුල්ලනවා … මට දරාගන්න බැහැ දේව් …කියන්න තාමත් ඔයා පරණ දේවල් ගැන හිතනවාද …’
මගේ උරහිස් වලින් අල්ලලා ….විකුම් අයියා ඕනෑවට වඩා මට ලංවුනා …
‘මම …මම .. මේ ..මේ . ‘’ මම ගොත ගැහුවා
‘අම්මි …අම්මි …ටීවී එක දාලා දෙන්නකෝ ….’
තවත් මොකුත්ම කියන්නේ කියන්නේ නැතිව මම සාලෙට දිව්වේ විකුම් අයියාට දෙන්න උත්තරයක් මගේ ලග තිබ්බේ නැති නිසා …
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *