මා නොවේ ඈ නුඹේ 12 කොටස

“නෑ ලොකු අයියා මේ සාරදා කියලා මගේ යාලුවෙක් ඉන්නවා. එයා හරිම හොඳයි. එක අවුලකට තියෙන්නෙ එයා ටැමිල්. මම ඒක මෙයාට කිව්වා මෙයා මේ ඒ ගැන කල්පනා කරනවා.” සහස්‍රා තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා ලොකු අයියව ශේප් කරා.

“අනේ මේ…” උදම් සහස්‍රාට ටොක්කක් ඇන්නා.

“ඇයි හොඳ නැද්ද? ඔන්න බලන්නකො ඔයා එයාව දැකපු ගමන් කැමති වෙනවා.” සහස්‍රා ඒ බොරුව දැන් විහිලුවට අරන්.

“මල්ලා… යකෝ මේ ටැමිල් කෙල්ලෙක්ව කතා කරල තියෙන්නෙ මටනෙ. උඹ මොකටද මූඩ් ගහන්නෙ?” උදම් ඇහුවෙ මියුරංගගෙ පිටට එකක් ගහලා. මියුරංග කල්පනාවක ඉඳපු නිසා ඔහුට උදම් කියපු ටිකෙන් ඇහුනෙ “කෙල්ලෙක් කතා කරල තියෙන්නෙ මටනෙ” කියන ටිකෙන් පස්සෙ. ඒ නිසා සහස්‍රා බේරුනා.

“නෑ අයියා මම හිතුවෙ මේ ඔයාගෙ හිතේ වෙන කෙනෙක් ඉන්නව කිව්ව නිසා.” මියුරංගට ඔහුගෙ හිතම පාලනය කරගන්න බෑ. ඔහු හිතුවෙ විහංසා අයියට කැමති උනොත් මොකද කරන්නෙ කියලා. ආයෙම ඔහුගෙ හිතම කිව්වා උඹට මොකද විහංසා කාව බැන්දත් උඹට යුවති ඉන්නෙ කියලා.

“හරි හරි බං. මෙයාගෙ කපුකම් මෙයාගෙ හිතේ විතරයි තියෙන්නෙ. මෙන්න මෙහෙ යමන් කන්න. බඩගිනියි.” උදම් කාමරෙන් එලියට ආවා.

කෑම මේසෙදි විශේෂ දෙයක් කතා උනේ නෑ. තුන් දෙනාම සද්දයක් නැතුවම කාලා කාමර වලට ආවා. සහස්‍රා ෆෝන් එක ගත්තෙ විහංසාට කෝල් එකක් ගන්න.

“ආහ් මැට්ටි මොකද කලේ?”

“මුකුත් නෑ හෙට අඳින්න සාරි එක හැදුවා.”

“ආහ් ඒ මොකද හෙට අපේ අයියත් නෑ. උඹ මොකටද හැඩ වෙන්නෙ?” සහස්‍රාට ඉතින් විහිලු කරන්න වෙලාවක්වත් විශේෂ හේතුවක්වත් නෑනෙ.

“විකාර.” විහංසා හිනාවෙවී කිව්වා.

“ඒ මේ අපේ ලොකු අයියා ආවා. අපි හෙටත් ශොපින් යනවා. ඔයාට මොකුත් අඩු පාඩු නෑ නේද?” සහස්‍රා ඇහුවෙ හෙට එතකොට ගන්න පුලුවන් නිසා.

“ම්ම්.. නෑ නේද? ඔයා එදා මගේ ස්වීටර් දෙකත් අරන් ගිහින්. ඒක මතක ඇතුව ගේන්න හොඳේ.” විහංසා මතක් කලා.

“හා හා මේ ඒක මතක් උනා කියන්නෙ උඹ ඇඳුම් ටික ලේස්තිත් කරාද?” සහස්‍රා ඇහුවෙ පුදුමෙන්.

“ඔව්. මට මේ ඉවසිල්ලක් නැතුව ඉන්නෙ යනකන්.” විහංසා කිව්වෙ සතුටින්.

“මේ සමහර විට උඹ මටත් වඩා සල්ලි කාරියෙක් වෙන්න ඇති බං.” සහස්‍රා එක පාරම කියද්දි විහංසා බැලුවෙ ඒ මොකද කියලා.

“ඇයි ඒ?”

“නෑ ඉතිං මම තියෙන සේරම වියදම් කරනවා අරවට මේවට. උඹ උඹේ සැලරි එකවත් දන්නෙ නෑ.”

“පිස්සු කෙල්ල.” විහංසා හිනා උනා. ඇය දන්නවා මේ සේරම විහිලු බව.

“ඇත්තටම මම අප්පච්චිගෙන් අහන්න ඕනෙ උඹේ සැලරි එක කීයද කියලා.” සහස්‍රා විහිලුවට කිව්වෙ. විහංසාටත් මේ විහිලු හොඳට පුරුදුයිනෙ.

“හරි හරි මට නිදිමතයි දැන්. තියන්නම් නේද? උඹට ඕන තරම් කතා කරන්න දැන් ඉස්සරහට දවස් හතරක්ම තියෙන්නෙ.” විහංසා කිව්වෙ හිනා වෙවී.

“ඔව් ඔව් ඒකත් ඇත්ත. ඒ උනාට මට ඒ දවස් හතරම හොඳට ගුලි වෙලා නිදියන්න ඕනෙ.” සහස්‍රා කිව්වෙ ඇසුත් පියාගෙන ගුලි වෙලා.

“අනේ මේ මට නම් හිතේ හැටියට ඇවිදින්න ඕනෙ සීතලේ.” විහංසා නම් හීනෙන් දකින්නෙත් දැනු නුවර එළියෙ යන එක.

“මේ නිදාගනින් එහෙනම්. මාත් නිදියනවා. අපේ ලොකු අයියා එක්ක ඇවිදින්න යන්නත් ආසයි අනේ. කාලෙකින්නෙ.” සහස්‍රා කියද්දි විහංසාට දුක හිතුනා. ඇයට ඉතිං ඒ වගේ පවුලක් නෑනෙ.

“බුදු සරණයි. මම තියන්නම් එහෙනම්.” විහංසා ෆෝන් එක තිව්වා.

__________________________________________________________________

විහංසා හවස ගෙදර ආවෙ වෙනදට වඩා සතුටින්. ඇය හීන මවන් ඉඳපු ගමනක් නිසා. ගෙදර එනකොට තාත්තා මොනවදෝ බඩු වගයක් පොඩි බෑග් එකකට පැක් කරනවා.

“තාත්තා මේ මොනාද?” විහංසා ඇහුවෙ බෑග් එක දිහා බලන ගමන්.

“මේ ඔයාලට හෙට යද්දි කකා යන්න බිස්කට් ඊළඟට මම මේ සපත්තු වගයක් දැකලා ගත්තා එහෙ සෙරෙප්පු දාගෙන ඇවිදිනවට වඩා හොඳයි පුතේ සපත්තු දාන එක.” උදේන කියද්දි විහංසාට දුකයි.

“තාත්තා ඔයාටත් යන්න තිබුනෙ.” විහංසා තාත්තා ලඟින් වාඩි උනා.

“මම තරුණ කාලෙ ඕන තරම් නුවර එළියෙ ගිහින් තියෙනව දරුවො. මම ආවොත් දැන් මේ තියෙන අසනීපත් එක්ක අමාරුයි. ඔයා ගිහින් එන්නකෝ.”

“හ්ම්ම්… මම වොශ් එකක් දාගෙන එන්නම්.” විහංසා එහෙම කියාගෙන කාමරේට ගියා.

“පුතේ මම අර දරුවටත් එක්ක සපත්තු කුට්ටම් දෙකක්ම ගෙනාවා.” ඇය බාත් රූම් එකට යද්දි තාත්තා කියනව ඇහුනා. විහංසාට හිනයි. මගෙ තාත්තා කොච්චර හොඳයිද. ඇය එහෙම හිතුවා.

රෑ කෑම උයන්න ඕන උනේ නෑ උදේන කෑමට කඩෙන් එග් රයිස් ගෙනත් තිබුනා.

උදේ හතරයි හතලිස් පහට කෙල්ලට ඇහැරුනේ හීනයක් දැකලා. ඇය දැක්කෙ ඇගේ හීන කුමාරයත් ඔවුන් එක්ක ට්‍රිප් එක යනවා. ඇය ඇහැරිලා කල්පනා කලේ ඇගේ හීන කුමාරයා මියුරංගද කියලා. ඒ එක්කම සහස්‍රාගෙන් කෝල් එකක් ආවා.

“ගුඩ් මෝනින් සහස්‍රෝ.” විහංසා ඇඳේ වාඩි වෙනගමන් කිව්වා.

“සොරි කෙල්ලේ මම නින්ද කැඩුවා නේද? අප්පච්චි කියනවා මේ හරියෙ ට්‍රැෆික් වැඩෙ වෙන්න කලින් යන්න ඕනෙ කියලා. අපි හය වෙද්දි එනවා කියන්න ගත්තෙ.” සහස්‍රාත් නිදා වැටෙනවා.

“හරි හරි මම ඇහැරිලා හිටියෙ. මං එහෙනම් තාත්තටත් ඇහැරවලා ලේස්ති වෙන්නම්. බුදු සරණයි.” විහංසා ඇඳෙන් පැනලා දුවගෙන ගියා තේ හදන්න වතුර එක ලිපේ තියන්න.

“දෝණි නැගිට්ටද?”

“ඔව් තාත්තා සහස්‍රාගෙ අප්පච්චි කියලා මේ ටිකේ ට්‍රැෆික් නිසා වේලාසනින් යමු කියලා.”

“මාත් ඕක කියන්න හිටියෙ. ඒ අය අපිට වඩා පාර තොට දන්න නිසා කිව්වෙ නැත්තෙ. හා හා දෝණි ගිහින් ලේස්ති වෙන්න එහෙනම්.”

“මම තේ හදලම යන්නම් තාත්තා.”

විහංසා තේ හදලා ඇගේ තේ එක නිවෙනකන් ගියා මූණ සෝදන්න. ඒත් ඇයට හිතුනා පාන්දරම නාගෙනම ලේස්ති වෙන්න. නාගෙන ලේස්ති වෙලා ඇය සාලෙට ආවෙ සහස්‍රාලගෙ වාහනේ එනකන් පාර දිහා බලන් ඉන්න තාත්තා දිහා බලමින්.

“සහස්‍රා කිට්ටුවට ආවම කෝල් එකක් දෙයි තාත්තේ.”

“හා බුදුන් වඳින්න දෝණි මම මල් කැඩුවා.” උදේන මල් වට්ටිය පෙන්නලා කාමරේට ගියා.

“දෝණි මේ පාන්දරම නෑව එකට නම් මම කැමති නෑ. දැන් ඒසී එකේ ගිහින් දවල් වෙද්දි හිසේ කැක්කුම හැදෙයි. ආ මෙන්න මේ කොලෝන් එකත් හෑන්ඩ් බෑග් එකට දාගන්න.” උදේන මේ ගමන සහස්‍රාගෙ ගෙදර අය එක්ක යන නිසා යවනවා මිස්ද්ක් විහංසා තනියම මෙහෙම දවස් ගානක් යවන්නෙ හිතේ කැමැත්තකින් නෙමෙයි ඔහුට විහංසා මලක් වගේ.

“හෑන්ඩ් බෑග් එකක් ගත්තෙ නෑ තාත්තා. මේ පොඩි සයිඩ් බෑග් එක විතරයි ගත්තේ. කෝ දෙන්න ඇඳුම් බෑග් එකේ පොකට් එකකට දාගන්නම්. මම කෝල් ගන්නවා තාත්තා ආන්සර් කරන්න හොඳද? මම ලොකු අම්මට කිව්වා උදේට පිටි එක හදන්න ඕනෙ හැටි.” විහංසා ඇත්තටම ලොකු අම්මට කෝල් කරලා ඊයෙ ඔෆිස් එකේදි උදේනට තේ දෙන හැටි කිව්වා. උදේනට හිනයි.

“පුතේ මම ඔයාගෙ තාත්තා මිසක් ඔයාගෙ දරුවෙක් නෙමෙයි.”

“හරි හරි ඒක මම දන්නවා. ඒත් මට දුකයිනෙ.”

“කවද හරි හැමදාටම ඔයා මාව මේ ගෙදර තනි කරල යනවනෙ පුතේ.” උදේන හිනාවෙවී කියද්දි කෙල්ලගෙ ඇස් වලට කඳුලුත් ආවා. කොච්චර ඒ ගැන කතා නොකරත් ඒක නුදුරු දිනකදි සිද්ද වෙන බව විහංසාට මතක් උනා.

සහස්‍රාගෙන් කෝල් එකක් ආවෙ විහංසා බුදුන් වැඳලා ඉවර වෙද්දිමයි.

“අපි කිට්ටුව කෙල්ලේ පාර ලඟට එන්න.” සහස්‍රා කිව්වා.

“හරි හරි. මිදුලෙ ඉන්නෙ.” විහංසා බෑග් එකත් අරන් මිදුලට බහින්න කලින් දණ ගහලා තාත්තට වැන්දා.

“බුදු සරණයි මගෙ දෝණිට පරිස්සමෙන් ගිහින් එන්න.” උදේන විහංසාගෙ හිස අත ගාලා නලලත් සිප ගත්තා.

“තාත්තා උදේම ලොකු තාත්තලාගෙ ගෙදර යන්න. මම කෝල් කරන්නම් මගදි.” විහංසාගෙ ඇස් දෙකේ හීනි කඳුලු පටලයක් තිබුනා.

“හරි පුතේ. කෝ ඉන්න මම ගන්නම් බෑග් එක. ඔයා යමු අන්න එනවද කොහෙද වාහනේ.” සද්දෙට ඇහුම්කන් දෙමින් එහෙම කියලා උදේන විහංසාත් එක්ක පාර අයිනට ගියා.

“ගුඩ් මෝනින් අංකල්. අපි මෙයාව මේ ගෙනියනව වගේම පරිස්සමට එක්කන් එන්නම්. බය වෙන්න එපා.” සහස්‍රා වක්කඩ කැඩුවා වාහනේ නවත්තනකොටම.

“දූ කට.” තිලකා කියද්දි සහස්‍රා කට වහගෙන විහංසාගෙ බෑග් එක ගත්තා.

“අපි එහෙනම් ගිහින් එන්නම් සෙනෙවිරත්න මහත්තයා.” ඒ සහස්‍රාගෙ අප්පච්චි.

“හොඳයි සේනාධීර මහත්තයා. බුදු සරණයි.” උදේන කියද්දි ඒ හඬේ තිබුන තාත්තා කෙනෙක්ගෙ ආදරේ උදම්ගෙයි මියුරංගගෙයි දෙන්නගෙම හිත් වලට දැනුනා.

“ගිහින් එන්නම් අංකල්. බුදු සරණයි.” සහස්‍රාත් කිව්වා.

“ගිහින් එන්නම් තාත්තා. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.” විහංසා වෙව්ලන කටහඬින් කියද්දි ඩ්‍රයිවින් සීට් එකේ ඉඳන් වාහනේට නැග්ග කෙල්ල කලුද සුදුද කියලවත් බැලුවෙ නැති උදම්ගෙ හිත සෙලවුනා.

උදේන විහංසාගෙ අතට පොඩි බෑග් එක දෙද්දි කෙල්ල තාත්තගෙ අතින් අල්ලගත්තා.

“මම පරිස්සමෙන් ඉන්නම් දෝණි. ඔයා පරිස්සමෙන් ගිහින් එන්නකො.” උදේන හිනාවෙවී කිව්වා.

“ඔයා එන්න පුතේ මගෙ ලඟට.” තිලකා විහංසාව ඇගේ ලඟට ගත්තා. විහංසායි තිලකයි අමරයි එක සීට් එකක උදම් ඩ්‍රයිව් කලේ. මියුරංග ඉස්සරහ සීට් එකේ සහස්‍රා පිටිපස්සෙ සීට් එකේ.

“අනේ විහංසා ඔයා අම්මගෙ යාලුවද මගේ යාලුවද? මේකට එන්නකො අනේ.” ටික වෙලාවක් ඉඳලා සහස්‍රා කතා කලාම විහංසා හිනාවෙලා පිටිපස්සෙ සීට් එකට ගියා. තාමත් උදම් ඇය දිහා බැලුවෙවත් නෑ.

ආයෙත් හමුවෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *