මා නොවේ ඈ නුඹේ 20 කොටස

සහස්‍රා විහංසාගෙ අතින් අල්ලගෙන එහාට ගිහින් බෙන්ච් එකක වාඩි උනා.

“සොරි සමී සුදු අයියා ලොකු අයියට කියන්න හදල තියෙන්නෙ ඔයාගෙ හීන කුමාරයා ගැන. ඒත් කොහෙද ලොකු අයියා මැද්දෙන් පැනලා වැඩේ පටලගෙනනෙ. ඒකයි ඔය. සොරි බබා.” සහස්‍රා විහංසාගෙ අත් දෙකෙන් අල්ලගෙන කිව්වෙ දුකෙන්.

“කමක් නෑ. ඒත් මම වෙන කෙනෙක් එක්ක යාලු උනත් එයාට වටිනවද මට එහෙම කතා කරන්න. කවද්ද මං එයාට බලාපොරොත්තු දුන්නෙ සහස්‍රා. මට දුක එයා කතා කරපු විදියට. අනික ඒ බෝයි ඇවිත් කතා කරාට මම වචනයක් වත් කිව්වෙත් නෑ.” විහංසා වැව දිහා බලාගෙන කිව්වා.

“හරි හරි ලමයෝ…. ඒක ඉවරයි දැන්. සුදු අයිය කියයි එයාට. දැන් හිනාවෙන්න. කෝ.” සහස්‍රා විහංසාව බදාගෙන කිව්වා.

“යමු අරහෙට. එන්නකො. ෆොටෝ එකක්වත් ගන්න.” සහස්‍රා කතා කලා.

“මට ටිකක් තනියම ඉන්න ඕනෙ සහස්‍රා.. මම ටිකකින් එන්නම්.” විහංසා හිනා උනත් ඒ හිනාව ඇතුලෙ තිබුනෙ අසරණකමක්. සහස්‍රා එහාට ගියා විහංසාට ටිකක් තනියම ඉන්න දීලා.

“අපරාදෙ සුදු අයියා. කෙල්ලගෙ හිත හොඳටම අප්සට්. මෙයත් මාර එක්කෙනෙක් තමයි. මෙයා බලාපොරොත්තු තියාගත්තට ඒ ලමයා මොනව කරන්නද. ඔයා කියපුවට මටත් දුක හිතුන එකේ සමීට කොච්චර දුකද කියල මට හිතා ගන්න පුලුවන්.” සහස්‍රා අයියල දෙන්නා ඉන්න තැනට ඇවිත් කිව්වා.

“මුගේනෙ වැරැද්ද. අනික බඩී ඔයාට හරි තිබුනා මට කියන්න. එයාගෙ හීන කුමාරයා දැක්කට තාම ඒ කොල්ලා එක්ක එහෙම සම්බන්ධයක් නෑ කියලා.” උදම් තාමත් දන්නෙ නෑ විහංසාගෙ හීන කුමාරයා තමන් බව.

“මේ දැන්වත් කියමු අනේ. බලන්නකො විහිලුවක් ගිය දුර.” සහස්‍රා මියුරංගට කිව්වා.

“ඒ කියන්නෙ උඹ කිව්ව කතාව බොරුද?” උදම් ඇහුවෙ කේන්තියෙන්.

“කවුද බොරු කිව්වෙ. මම කියපු සේරම ඇත්ත. ඔයා තමයි ඇදගෙන නෑවෙ.” මියුරංගට හිනයි.

“මොකද්ද ඇත්ත?” උදම් ඇහුවා.

“ලමයි දැන් යමු නේද? කෝ දෝණි.” අම්මා ඇවිත් ඇහුවෙ විහංසා පේන්න නැති නිසා.

“දැන්ම යනවද අම්මා?” උදම් ඇහුවෙ අප්සට් එකෙන් කෙල්ලගෙන් සමාව ගන්නවත් උනේ නැති නිසා.

“ඔව් ඔව් අර කිව්ව ඇල්ල බලන්නත් යන්න ඕනනෙ. එතන හරි ලස්සනයි පුතා. ඔයාට මතක නැතුව ඇති. අපි මෙහෙන් ගියේ සුදු පුතා ලැබෙන්න ඉද්දිනෙ.” අම්මා කියද්දි සහස්‍රා බැලුවෙ පුදුමෙන්.

“ඒ කිව්වෙ අම්මලා මෙහෙ පදිංචි වෙලා හිටියද?” එතකොටයි තිලකාට මතක් උනේ වැරදි දෙයක් කියවුන බව.

“නෑ බබා. මං කිව්වෙ මෙයා ලැබෙන්න ඉද්දි තමයි අන්තිමට සිරිනන්ද අංකල්ලගෙ ගෙදර ගියේ. ඊට පස්සෙ කාලයක් ගියාම නුවර එළියෙ ආවත් එහේ ගියේම නෑනෙ.” තිලකා තම වරද නිවැරදි කරගත්තා. ඒක තිලකා අමර සහ උදම් අතරෙ විතරක් තිබුන රහසක්.

“හරි හරි අර නංගිටත් එන්න කියලා යමු වාහනේට?” උදම් හෙමිහිට මාතෘකාව වෙනස් කරලා වාහනේ පැත්තට ගියා. මියුරංගයි සහස්‍රායි විහංසා ලඟට යද්දි විහංසා නැගිටලා එන්න හැදුවෙ.

“මම එන්න හැදුවෙ.” විහංසා හිනා වුනා.

“අපි ආවෙත් එක්කන් යන්න. යමු යන්න හදන්නෙ. දැන් ඇතිනෙ මෙතන බැලුවා.” මියුරංග අහද්දි විහංසාට හිනයි.

“අම්මෝ හොඳටම ඇති. මට කවදාවත් මෙතන අමතක වෙන එකක් නෑ.” විහංසා කියද්දි මියුරංගට දුකත් හිතුනා.

“සොරි විහංසා. මම නිසයි සේරම.”

“නෑ අහස් අයියේ. ඔයාගෙ වරදක් නෑ. හිතන්න එපා.”

“කෝ එහෙනම් හිනාවෙන්න සෙල්ෆි එකක් ගමු.” සහස්‍රා විහංසාගෙ ෆෝන් එක උදුරගෙන සෙල්ෆි එකක් ගැහුවා.

“කෝ බලමු අරන් තියෙන ෆොටෝස්.” සහස්‍රා ගැලරි එක බැලුවා.

“සමී මේ මල කොහෙද තිබුනෙ. මම දැක්කෙ නෑනෙ.” සහස්‍රා ඇහුවා.

“අපාට්මන්ට් එකේ මිදුලෙ තිබුනෙ. ඊයෙ හවස ගත්තෙ.”

“ආහ් මේ කපල් එක කොහොමද? අම්මෝ සමී වැරදිලාවත් යුවතිට නම් මේක පෙන්නන්න එපා. පපුව පැලිල මැරෙයි.” සහස්‍රා කිව්වෙ බෝට් එකේදි මියුරංග විහංසාගෙ ෆෝන් එකෙන් ගත්ත සෙල්ෆි එකක් දැකලා.

“විකාරද බං උඹට.” විහංසා සහස්‍රාගෙ අතට ගැහුවා.

“නගින්න ලමයි මොනාද බල බල ඉන්නෙ.” අප්පච්චි අහද්දි සහස්‍රාගෙ ඇස් තිබුනෙ ලඟ තිබුන කඩල කරත්තයක් ලඟ.

“අප්පච්චි කඩලයි පරිප්පු වඩෙයි තියෙනවා.” සහස්‍රා කියද්දි මියුරංග ආපහු ගිහින් කඩලයි වඩේයි අරන් ආවා හැමෝටම.

“මෙන්න පෙරේති.” මියුරංග සහස්‍රා අතට එක බෑග් එකක් දුන්නා.

“ආ නංගි.” මියුරංග තව බෑග් එකක් විහංසාටත් දුන්නම කෙල්ලට සතුටු හිතුනා. දැන් ඇයත් මේ පවුලේ කෙනෙක් වගේ ඇයට දැනුනා.

කට්ටියම සිරිනන්ද අංකල්ලගෙ ගෙදර එද්දි දහයයි තිහ විතර උනා. ඒ අය මොවුන්ව පිලිගන්න බලන් හිටියෙ හරි සතුටින්.

“එන්න එන්න අමරෙ. අම්මෝ දැන් ලමයි ලොකුයිනෙ. මේ දෙන්නගෙන් කවුද අමරෙගෙ දුව.” සිරිනන්ද ඇහුවෙ විහංසාගෙත් සහස්‍රාගෙත් දිහා මාරුවෙන් මාරුවට බලමින්.

“කවුරු කියලද හිතන්නෙ?” තිලකාත් ඇහුවා.

“අම්මෝ හරිම අමාරු වැඩක්නෙ මට කරන්න තියෙන්නෙ. මේ ඉන්නෙ උඹේ කෙල්ල. එතකොට මේ දෙවනි පුතා. මං හිතන්නෙ ලඟින්ම ඉන්නෙ එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න ඇති.” සිරිනන්ද කියද්දි උදම්ගෙ හදවත පහුරු ගානවා වගේ දැනුනා.

“නෑ නෑ එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්කන් ආවෙ නෑ. මේ ඉන්නෙ අපේ දුවෙක්.” තිලකා විහංසාගෙ අතින් අල්ලන් කිව්වා.

“අනේ සොරි දුව එහෙනම්. එන්න එන්න ගෙට යමු.” සිරිනන්ද ගෙට එක්කන් ගියා කට්ටියම.

“සුනේත්‍රා මෙහෙට එන්න ටිකක්” සිරිනන්ද කට්ටියට ඉඳගන්න කියලා ගේ ඇතුල් පැත්ත බලලා කතා කරා. සුන්දර හිනාවක් මුවේ තියාගෙන සාලෙට ආවෙ තිලකාගේ වයසෙ විතර ගැහැණු කෙනෙක්.

“අනේ මම මේ කෑම ලේස්ති කරනවා අක්කේ. කෝ මේ දෙන්නගෙන් කවුද ලොකු පුතා. ඉස්සර නම් ඇස් වලින් තමයි අඳුර ගන්නෙ. මේ දෙන්නගෙම ඇස් එක වගේමනෙ.” සුනේත්‍රා ආන්ටි කියද්දි කට්ටියටම හිනයි.

“මේ ඉන්නෙ ලොක්කා. මේ දෙවනි පුතා. මේ දුව. මේ අපේ දුවගෙ යාලුවෙක්.” අප්පච්චි කට්ටියම අඳුන්වලා දුන්නා.

“අනේ කොච්චර කාලෙකට පස්සෙද. දැන් ගොඩක් ලොකු මහත්තයෙක් කියලා අප්පච්චි ඊයෙ කිව්වා.” සුනේත්‍රා ඇවිත් උදම්ගෙ හිස අත ගාලා කිව්වා. ඒ ඇස් වල උදම් ගැන මොකක්දෝ ලෙන්ගතුකමක් විහංසාට පෙනුනා.

“මොනව හරි බීලම ඉමු නේද අයියේ. ඉන්න මම ලේස්ති කරන්නම්. අපි තුන් දෙනාම කුස්සියෙ වැඩ කර කර හිටියෙ.” සුනේතා එහෙම කියලා කුස්සියට ගියා.

විහංසා නැගිටලා එලියට ගියේ ඇතුලෙ ඉන්න එක අපහසුයි වගේ දැනුන නිසා.

“හරි සනීපයි නේද සමී මේ පැත්තෙ.” සහස්‍රාත් විහංසා එක්කම වගේ එලියට ආවා.

“ඒක තමයි. බලන බලන් තැන මල්. හරි ලස්සනයිත් එක්ක” විහංසා මිදුලෙ තිබුන මල් දිහා බලමින් කිව්වා.

“මේවා අපේ පැත්තෙ හදන්න අමාරුයි බං. නැත්නම් ගෙනියන්න තිබුනා.”

“පුලුවන් ඇති. හොඳට සාත්තු කරොත් හදන්න බැරි වෙන එකක් නෑ.” විහංසා කවදත් ධනාත්මකව හිතන කෙල්ලෙක්නෙ.

“එක්ස්කියුස් මී.. ආ බොන්න.” ලස්සන සහස්‍රාගෙ වයසෙම වගේ ටිකක් ආඩම්බර කෙල්ලෙක් ඇවිත් බීම ඇල්ලුවා.

“තෑන්ක් යූ.” විහංසයි සහස්‍රායි දෙන්නම හිනාවෙලා ගත්තා. එහෙත් ඇගෙන් ඒ තරම් සමීප හිනාවක් ප්‍රතිචාර විදියට ලැබුනෙ නෑ.

“ඔයාගෙ නම මොකද්ද?” සහස්‍රාට ඉතින් කවදත් ඉවසිල්ලක් නෑනෙ.

“හිමදි.” හිමදි ලාවට හිනාවෙලා කිව්වා.

“ආහ්… මම සහස්‍රා මේ ඉන්නෙ සමින්දි.” සහස්‍රා අඳුන්වලා දුන්නා.

“මම දන්න විදියට නම් ඔයා සේනාධීර අංකල්ගෙ දුව. එතකොට මේ ඉන්නෙ?” හිමදි ඇහුවෙ විහංසා දිහා අමුතුවට බලලා.

මේකි ටිකක් ගැම්මෙන් ඉන්න කෙල්ලෙක් වගේ. එහෙමයි සහස්‍රාට නම් හිතුනෙ.

“මගේ හොඳම යාලුවා.” සහස්‍රා කියද්දි මුලින් තිබුන හිනාව තිබුනෙ නෑ ඇගේ මූණෙ.

“යාලුවොන්ගෙ ෆැමිලි ට්‍රිප් වලට යනවද හැදිච්ච ගෑනු ලමයි” හිමදි එහෙම කියලා ගස්සගෙන ගෙට ගියා.

“දෙන්න හිතෙනවා හොම්බට දෙකක්.” සහස්‍රා කිව්වෙ තරහෙන්. විහංසාට හිනයි.

“එයා ටිකක් අමුතුයි නේද?” විහංසා කිව්වෙ හැමෝම එක වගේ නෑ කියලා හිතමින්.

“හොඳ ටික. අනේ ඇත්තට කොච්චර දේවල් හිතින් හිතුවත් කෙනෙක්ගෙ හිත රිදෙන විදියට කතා කරනවද. අප්පිරියයි.” සහස්‍රා කතා කලේ පිලිකුලෙන්.

“ගනන් ගන්න එපා. එයා මොකුත් දන්නෙ නැතුවනෙ කතා කරන්නෙ.” විහංසා සහස්‍රාගෙ උරහිසෙන් අල්ලන් කිව්වා.

“මුකුත් නොදැන යනුවෙන් ඔබ අදහස් කරන ලද්දේ කුමක්ද?” සහස්‍රා ඇහුවෙ අමුතුවට.

“මං කිව්වෙ එයා දන්නෙ නෑනෙ මම ඔයාගෙ හොඳම යාලුවා බව.” විහංසා කිව්වෙ ඇත්තටම ඒක එහෙම නිසා.

“හා හා… මේ ඒකි ශේප් කරගත්ත නම් ඔයාට මේ පැල ටිකක් ඉල්ලන් යන්න තිබුනා. කොහෙද ඒකි හරියට පරමාණු බෝම්බයක් වගේනෙ.” සහස්‍රා කිව්වා.

“එයාව ලොකු අයියට කතා කරොත් අයියට බෝම්බ නිෂ්ක්‍රීය කරන්න ඉගෙන ගන්නත් වෙයි.” විහංසා විහිලුවට කිව්වෙ.

ඒ කතාවට දෙන්නටම හයියෙන් හිනා ගියා. හිමදි එලියට එන්න ඇවිල්ලත් හිනාව ඇහිලා පිලිකුලෙන් වගේ බලලා ආයෙත් ඇතුලට ගියා. හිමදි එද්දිම හිනාව නවත්ත ගත්තත් ඇය ගස්සගෙන ගිය විදියට දෙන්නටම ආයෙත් හිනා ගියා.

“ඒකිට මල පැනලා ඉන්නෙ.” සහස්‍රා හිනාව අතරෙම කිව්වා.

ඒ එක්කම වගේ බයික් එකක් ඇවිත් ගේ ඉස්සරහා නැවැත්තුවා. හෙල්මට් එක ගලවලා ඔහු බැලුවෙ මිදුලෙ ඉන්න කෙල්ලො දෙන්නා දිහා. කෙල්ලො දෙන්නත් බයික් එකෙන් ආව කෙනා කවුද කියලා බැලුවා.

ආයෙත් හමුවෙමු.

මගේ කතා කියවන්න කැමති හැමෝම විනාඩියක් කැප කරලා මගේ වෝල් එකට ගිහින් පොඩ්ඩක් බලන්න. Sherangi Shanika මම තරඟයකට ඉදිරිපත් වෙලා ඉන්නවා. මගේ පලවෙනි තරඟය. ඔයාගෙ කාලයෙන් පුංචි ප්‍රමාණයක් කැප කරලා මගේ කතාව කියවලා ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. තරඟයේ නීති රීති කොන්දේසි වලට අනුව මට වෙන ගෲප් වලට ඒ කතාව දාන්න බෑ. ඒ නිසා කියවන්න කැමති අය මගේ වෝල් එකේ ඇති විස්තරේ. ගිහින් සාධාරණයක් කරන්න.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *