මා නොවේ ඈ නුඹේ 24 කොටස

විහංසා ඇස් පියාගෙන සීට් එකට හිස තියාගත්තා. සහස්‍රාටයි මියුරංගටයි දුකයි කෙල්ල ඉන්නෙ හොඳටම අප්සට් එකෙන් නිසා.

සහස්‍රා විහංසාගෙ හිස අත ගෑවා.

“අප්පච්චි පොඩ්ඩක් ඉස්සරහින් නවත්තන්න.” උදම් කිව්වා.

“ඇයි ලොක්කා?”

“නෑ මොනව හරි කන්න ගන්න ඕනෙ” උදම් කිව්වෙ විහංසා එක්ක තරහා උනත් ඇය බඩගින්නෙ ඉන්නවට අකමැති නිසා.

“ඇයි ලොකු පුතා කෑවෙ නැද්ද අරහෙන්.” අම්මා ඇහුවෙ හිනා වෙවී.

“නෑ. ඇයි අම්මා හිනා වෙන්නෙ.” උදම් අම්මා දිහා බලලා ඇහුවා.

“නෑ ඉතිං කෙල්ල ලස්සන නිසා බත් නැතත් බඩ පිරිලා ඇති කියලා හිතුනා.”

“අපෝ හිමදිගෙ මොකද්ද අම්මා ලස්සන. අපායට ගහපු පෝස්ටර් එකක් වගේනෙ.” සහස්‍රා හිමදිව කපලම දැම්මා.

“බබා… කට…” අම්මා සැර කරා. සහස්‍රා කට වහගෙන විහංසා දිහා බලද්දි විහංසාගෙ වැසුණු ඇස් වලින් කඳුලු වැටෙනවා. සහස්‍රා ඇයව ඇදලා වැළඳ ගත්තා.

“නංගී විහංසාට මොකද?” මියුරංග බැලුවෙ විහංසාගෙ කඳුලු දැක්ක නිසා.

“නෑ මම බැන්නනෙ. ඒකට දුක හිතිලා. මෙයා කොහොමත් හැම වෙලාවෙම ටැප් එක ඇර ගත්ත ගමන්නෙ.” සහස්‍රා විහිලු කලත් විහංසාට හිනා ගියේ නෑ.

වාහනේ නැවැත්තුවාම උදම් බැහැලා ගිහින් උණු උණු පරිප්පු වඩේ එක්ක ආප්ප ගෙනාවා. නුවර එළියෙ ටවුන් එකේ හැම වෙලාවෙම මේ වගේ කෑම තියෙනවානෙ.

“බඩී ආ…” උදම් පාර්සල් දෙකක් ගෙනත් එකක් සහස්‍රාට දුන්නා. සහස්‍රා ඒක අතට ගත්‍තත් අතේම තියන් හිටියා මිසක් ඇරලා බැලුවෙ වත් නෑ.

“කන්නෙ නැද්ද?” මියුරංග අහද්දි සහස්‍රා සද්ද නැතුව හිටියා.

“හා එහෙනම් ගිහින් කමු.” මියුරංග ම එහෙම කියලා සද්ද නැතුවම ඉන්න විහංසා දිහා බැලුවෙ දුකෙන්. අද දවසටම මැලවිලා කෙල්ලගෙ මූණත්. මියුරංග හිතුවෙ එහෙමයි. මියුරංගට මතක් උනේ සහස්‍රා කිව්ව කතාව.

“අපරාදෙ සමීගෙ හීන කුමාරයා ලොකු අයියා උනේ. ඔයාගෙ හීන කුමාරයා සුදු අයියා උනා නම්.” ඒක හිතද්දිත් මියුරංගගෙ හිතට සතුටක් දැනුනා.

“මොකද සුදු පුතා තනියම හිනා වෙන්නෙ” අම්මා අහද්දි තමයි මියුරංග මේ ලෝකෙට ආවෙ.

“ආ.. නෑ අම්මා මට මේ එක්කෙනෙක් කියපු කතාවක් මතක් උනා.”

“කවුද යුවතිද?” අම්මා අහද්දි තමයි මියුරංගට මතක් උනේ උදේ කතා කරාට පස්සෙ තාමත් යුවතිට කෝල් කලේ නෑ නේද කියලා.

“ඔව් ඔව් අම්මා…” මියුරංග එහෙම කියලා ෆෝන් එක අරන් බලද්දි මිස්ඩ් කෝල්ස් විසි දෙකක් තිබුනා. “මල කෙලියයි” මියුරංගට කියවුනා.

“ඇයි සුදු පුතා?” අම්මා ලඟ ඉන්න එකත් මල කරදරේ කියලා මියුරංගට හිතුනා.

“මට අමතක උනා. යුවති කෝල් එකක් ගන්න කිව්වා අම්මා. දැන් තමයි මතක් උනේ.”

“අනේ අනේ විනෝද වෙන්න ආවම ඒ කෙල්ලව අමතක උනා නේද? ඒ දරුවා හිතයි ඔයා මෙහේ වෙන කෙනෙක් හොයාගෙන කියලා. එහෙම උනොත් තමයි වැඩේ නේද අප්පච්චි.” අම්මා කියද්දි සහස්‍රාට හිනා ගියා.

“එහෙම හිතයි අපි නම්. යුවති මෙයාට පිස්සු වැටිලා ඉන්න හැටියට එයා එහෙම හිතුවොත් මම දිවි නසා ගන්නවා.” සහස්‍රා කියද්දි හැමෝම හිනා උනා.

අපාට්මන්ට් එකට ගිය ගමන් විහංසා කාමරේට ගිහින් සැහැල්ලු ඇඳුමක් ඇඳලා උඩින් ස්වීටර් එකත් ඇඳන් ඇඳට පැන්නා. කෝල් එකක් ගත්තෙ උදේ කතා කරාට පස්සෙ තාත්තට කතා කලේ නැති නිසා.

“තාත්තා… මොකද කරන්නෙ?” විහංසා සාමාන්‍ය විදියට කතා කරන්න උත්සාහ කලා. ඒත් අඬලා නහය බර ගතිය නිසා තාත්තට වෙනසක් දැනුනා.

“දෝණී ඇයි පුතේ සනීප නැද්ද?”

“නෑ තාත්තා සීතලයිනෙ. පොඩ්ඩක් නහය බරයි වගේ.”

“සිද්ධාලේප ටිකක් නහයට අල්ලන්න පුතේ. ඕක අඩු වෙයි. හුස්ම ගන්නත් බෑනෙ ඔහොම උනාම.” උදේනට කවදත් කෙල්ල අසනීප උනාම දුකයි.

“තාත්තා ලොකු තාත්තට කොහොමද?”

“ඔහෙ ඉන්නවා පුතේ. පව් නිරපරාදෙ දුක් විඳිනවා. මහ කරුම ලෙඩ මේවා.” උදේන කිව්වෙ රිදුනු හිතෙන්.

“ඒක නම් ඇත්ත තාත්තා.”

“අද කොහෙද ගියේ පුතේ? දැන් කොහෙද ඉන්නෙ?”

“දැන් නම් ගෙදර ඉන්නෙ. උදේ ග්‍රෙගරි වැව ලඟට ගියා. දවල් කෑමට සහස්‍රාගෙ අප්පච්චිගෙ ‍යාලුවෙක්ගෙ ගෙදරකට ගියා.”

“හරි පුතේ. දැන් ලොකු තාත්තට තේ පොවන්න ඕනෙ දෝණි. පරිස්සමෙන් ඉන්න එහෙනම්. ආ චූටි දුවත් කෝල් කර කර මගෙන් කෑවද බිව්වද කියලා ගොඩක් හෙව්වා දෝණි.” උදේන හදිස්සියෙම මතක් වෙලා කිව්වා.

“මාත් දැන් ගන්න ඕනෙ කෙල්ලට. වැඩිය කතා කලේ නෑ මට නම්. දවසට එක පාරයි.”

“හා මම තියන්නම් දෝණි. බුදු සරණයි.”

“බුදු සරණයි තාත්තා. ලොකු අම්මව මතක් කලා කියන්න.” විහංසා ෆෝන් එක තියලා බලද්දි උදම් දොර ළඟ හිටගෙන බලන් හිටියා. හාන්සි වෙලා ඉඳපු විහංසා ඒ ඇස් මග ඇරලා ඇඳේ වාඩි උනා.

“ලේස්ති වෙලා එන්න පාක් එකට යන්න.” උදම් දොර ළඟම ඉඳන් කියලා ඉක්මණින් කාමරෙන් එලියට ගියා.

“මේ මේවා කාලා යමු පාක් එකට අදත්. ලොකු අයියත් අප්සට් එකෙන් ඉන්නෙ සමී. ඔයා ආවෙ නැති උනොත් එයාටත් දුක හිතෙයි.” සහස්‍රා ආප්ප දෙකකුයි වඩේ වගයකුයි අරන් ඇවිත් විහංසාගෙ අත උඩින් තියලා කිව්වා.

“මම හිතලා මුකුත් කලේ නෑ සහස්‍රා. ඒත් එයා එහෙමද?” විහංසා ඇහුවෙ ඇස් වල පිරිලා තිබුනු කඳුලු කැට දෙකක් කම්මුල් දිගේ පහළට වැටෙද්දි.

“ලමයෝ එනවකො පාක් එකට යන්න. විස්තරේ කියන්නම්. ඔය ටික කාලා චේන්ජ් කරන් එන්න සමී. මම ඉන්නවනෙ හැමදේටම.” සහස්‍රා විහංසාගෙ නලලට හාදුවක් දීලා කිව්වා.

“ඔයා වගේ යාලුවෙක් මට ලැබුනෙ මගේ පෙර පිනකට සහස්‍රා.” විහංසා ඒ අත බදාගෙන කිව්වා.

“නෑ මට හිතෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. මමයි පිං කරලා තියෙන්නෙ.” සහස්‍රා කිව්වෙ හදවතින්මයි.

“මම ලේස්ති වෙන්නම්. ඉන්න.” විහංසා අකමැත්තෙන් උනත් නැගිට්ටෙ සහස්‍රාව තරහා කරගන්න බැරි නිසා.

කට්ටියම අදත් පාක් ගියා. අම්මලා ආවෙ නෑ. අම්මටයි අප්පච්චිටයි මොකද්දෝ වැඩක් තියෙනවා කියලා නැවතුනා.

“සුදු අයියා එන්නකො චුට්ටක්.” සහස්‍රා මියුරංගත් එක්ක පාක් එකේ එහාට ගියේ උදම්වයි විහංසාවයි තනි කරන්න.

“දෝණි තරහෙන් ඉන්න එපා මගෙ මැණික.” උදම් කිව්වෙ මල් ගොමු අතරෙ කඳුලු පිරුණු ඇස් රඳවගෙන ඉඳපු විහංසාගෙ හිසට අත තියලා.

“තරහක් නෑ මට.” විහංසා බිමට වැටෙන්න ගිය කඳුල පිහිදලා කිව්වා.

“ඔයාට මම ආදරෙයි දෝණි. ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ කවදාවත්. හිමදිට ගෙදරින් එලියට පනින්න උදව් කරන්න ඕනෙ නිසයි මම එයාට කැමතියි වගේ ඇක්ට් කලේ. ඒත් මම මෙහෙට ආව ගමන් අම්මටයි අප්පච්චිටයි කිව්වා විස්තරේ. එයාලත් හිමදිට ලොකු කැමැත්තක් තිබුනෙ නෑ. හිමදිට උදව් කරන්න මම ගත්ත තීරණේට එයාලගෙ විරුද්ධත්වයක් නෑ.” උදම් කියාගෙන ගිහින් බලද්දි විහංසා බලන් හිටියෙ උදම්ගෙ අත දිහා.

“මොකද අත ගලවලා අයින් කරන්නද කල්පනාව?” උදම් හිනාවෙවී අහද්දි විහංසා බැලුවෙ නපුරු ඇස් වලින්.

“නෑ…”

“එහෙනම්.”

“ඔයාට පනිෂ්මන්ට් එක සතියක් යනකන් මාව අල්ලන්න තහනම්. එහාට වෙන්න.” විහංසා එහෙම කියලා ඉඳගෙන ඉඳපු තැනින් නැගිට්ටා.

මීට කලින් ආදරේ කරලා තිබුනත් ආදරේ උදම්ට මේ වගේ ආදරේ සුන්දරව දැනිලා තිබුනෙ නෑ. පුංචි පුංචි සීතල යුද්ධ එක්ක ගෙවන කාලෙ සුන්දරයි කියලා උදම්ට දැනුනා.

“දෝණි මට එහෙම ඉන්න පුලුවන්ද?” උදම් ඇහුවෙ ඇයව අල්ලන්නෙ නැතුව.

“ඇයි මෙච්චර දවසක් මාව අල්ලගෙනද හිටියෙ ඔයා. මාව දැක්කෙ නැත්නම් එහෙමත් නැත්නම් මම මේ ට්‍රිප් එකට ආවෙ නැත්නම් ඔයා හිමදිට කැමති වෙන්නත් ඉඩ තිබුනනෙ.” විහංසා තරහෙන් කියාගෙන කියාගෙන ගියා.

“අනිත් එක අද මේ මොහොතෙ ඉඳන් ඔයා ඉන්න ඕනෙ සහස්‍රාගෙ ලොකු අයියා විදියට විතරයි. හරියටම සතියක් ගියාට පස්සෙ අද උදේ අර ඇල්ල ලඟදි හිටිය වගේ ඉන්න පුලුවන්. කොහොමත් මාව ඊයෙ දකිනකන් ඔයා මාව දන්නෙ නෑනෙ. ඒ නිසා….” විහංසාට ඉතුරු ටික කියන්න උනේ නෑ උදම් ඔහුගෙ ෆෝන් එකේ තිබුන විහංසාගෙ ෆොටෝ එක පෙන්නුවා. පන්සලේදි ගත්ත එක.

“මේක…” විහංසා ෆෝන් එක හනිකට අතට ගත්තා.

“පුදුම වෙන්න එපා. මේ දවසෙ ඉඳන් අද වෙනකන් මම ඔයාට හිතින් ආදරේ කලා. කාටවත් නොකියම. ඕක බලලත් මට කියන්නෙ තවත් ඈතින් ඉන්න කියල නම් මම යන්නම්.” උදම් ෆෝන් එකත් ඇදලා අරන් එතනින් ගියා.

විහංසා දුවගෙන ගිහින් උදම්ව පිටිපස්සෙන් තුරුලු කරගෙන හොඳටම ඇඬුවා. අර ඩබල අස්සක ඉඳන් ෆොටෝස් ගන්නවා. සහස්‍රාගෙ ප්ලෑන් එක තිබුනෙ අයියවයි විහංසාවයි සර්ප්‍රයිස් කරන්න.

“ඇයි අපි හම්බ වෙන්න මෙච්චර කල් ගියේ අයියේ.” විහංසා අඬ අඬම ඇහුවා.

“ඔන්න මම ඇල්ලුවෙ නෑ කොහෙන්වත්.” උදම් විහංසාව අල්ලන්නෙ නැතුව ඉඳලා කිව්වා. විහංසා උදම්ව අත ඇරලා උදම්ගෙ ඉස්සරහට ගියා.

“මම දන්නෙ නෑනෙ ඉතිං.” විහංසා කියද්දි උදම්ට ලෝබයි. විහංසාව ඇදලා අරන් පපුවට තුරුල් කරගෙන හිස සිප ගත්තා.

“ඒක කවදා ගත්ත ෆොටෝ එකක් ද කියලා මම දන්නෙත් නෑ. ඇත්තටම කවද්ද ඒක ගත්තෙ?”

“අවුරුදු තුනකට කලින්” උදම්
කියද්දි විහංසා හිමිහිට උදම්ගෙ පපුව සිප ගත්තා. ඒක උදම්ගෙ ආත්මයටම දැනෙද්දි දුරින් ඉඳන් බලන් ඉඳපු මියුරංගට දැනුනෙ දරාගන්න බැරි තරම් වේදනාවක්.

“මම එයාට ආදරෙයි කියල කලින් කිව්ව නම්.” කියලා මියුරංග හිතුවා. තමන්ගෙ හිතට ආත්මාර්ථකාමී හැඟීමක් හිතට ආවෙ කොහොමද කියලා මියුරංගට ම පුදුමයි. ඔහුටම ලැජ්ජ හිතුනා තමන්ගෙ අයියටම නේද මේ ඊර්ෂ්‍යා කරන්නෙ කියලා.

“සුදු අයියා ඒ තරම් ලස්සනට ආදරේ කරන්න පුලුවන්ද? අන්න ඉගෙන ගන්න ඔයත් පිස්සු හැදෙනවා බලන් ඉන්න අපිටත්.” සහස්‍රා පිස්සු හැදිලා වගේ කියවනවා. මියුරංගට පළවෙනි වතාවට සහස්‍රාගෙ කියවිල්ල හිසරදයක් වගේ දැනුනා.

“මේ වෙලාවෙ අප්සට් වෙලත් බෑ. ඒත් මට හිනා වෙන්නත් බෑ” මියුරංග හිතුවා.

“සුදු අයියා බලන්නකො.” සහස්‍රා මියුරංගගෙ අතින් ඇදලා පෙන්නද්දි මියුරංග ඇස් වල කඳුලු පුරවන් බලන් ඉන්නවා දැකපු සහස්‍රා බැලුවෙ පුදුමෙන්.

“සුදු අයියා… ඇයි පැටියෝ මේ?” සහස්‍රා මියුරංගගෙ මූණට අත තියලා ඇහුවෙ ඇත්තටම දුකෙන්.

“මුකුත් නෑ බබා..” මියුරංග එහෙම කියලා සහස්‍රාව තුරුලු කරගෙන ඇඬුවා. මහ ගොඩක් ඇඬුවා. සහස්‍රාට හිතා ගන්න බැරි උනා මේ මොකද කියලා.

“සමහර විට සුදු අයියට යුවතිව මතක් වෙන්න ඇති.” සහස්‍රා හිතුවා.

“ඔයාට යුවතිව මතක් උනාද? එයාට විහංසා තරම් රොමෑන්ටික් වෙන්න බෑ සුදු අයියා. ඒත් එයා ඔයාට ආදරේ කරයි.” සහස්‍රා කිව්වෙ දුකෙන්. මියුරංග සහස්‍රා ව අත ඇරලා කඳුලු පිහිදාගත්තා. තමන් දිහා අනුකම්පාවෙන් බලන් ඉන්න සහස්‍රා ගැන මියුරංගට දුක හිතුනා.

“බය උනාද? සොරි බබා. මම දන්නවා මම වැරදියි කියලා. ඒත් මම විහංසාට ආදරෙයි.” මියුරංග කියද්දි සහස්‍රාට දැනුනෙ කන ලඟම හෙණයක් පිපිරුවා වගේ. ඇය කටත් ඇරන් මියුරංග දිහා බලන් හිටියා.

ආයෙත් හමුවෙමු.

අනේ සමාවෙන්න යාලුවනේ. හොඳටම අසනීපයි. මේ ටික ටයිප් කරගත්තෙත් අමාරුවෙන්. කොලේක ලියලා ඒක බලාගෙන ටයිප් කරනවා වගේ නෙමෙයි මගෙ කතාව තියෙන්නෙ හිතේ. ඒ නිසයි අද කතාව පරක්කු උනේ. සමාවෙන්න ආයෙත්. සනීප උන ගමන් සුපුරුදු විදියට දිග කොටස් දෙන්නම්. එතකන් මේ වගේ තමයි කතාව දෙන්න වෙන්නෙ.

හෙටින් දේදුනු සිහින වර්ණාභිෂේකය ඉවරයි. තාමත් මගේ කතාව කියෙව්වෙ නැති අය මගේ වෝල් එකේ ලින්ක් එක ශෙයාර් කරල තියෙන්නෙ. ලින්ක් එකට ගිහින් කතාව කියවලා ලයික් එකක් දාන්න. ලයික් වලින් ජනප්‍රියම කෙටි කතාව තෝරනවා. පුලුවන් නම් ලයික් එකක් දාලා අදහසත් කියාගෙනම යන්න.

By Sherangi Shanika
තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *