මා නොවේ ඈ නුඹේ 52 කොටස

විහංසා පන්සලට ගියේ හිතට දැනෙන මේ වරදකාරී හැඟීමෙන් මිදෙන්න ඕනෙ නිසා.

“බුදු හාමුදුරුවනේ මට මේක පහදල දෙන්න. චූටි අහස් අයියගෙන් ඈත් වෙලා ගිහින් තියෙන්නෙ මම නිසා කියලා මට හිතෙනවා. අහස් අයියා මගෙ ගැන හිතන බව චූටි දැනගත්තෙ නැත්නම් අදටත් චූටි සතුටින්. එහෙම උනා නම් මේ වෙද්දි අහස් අයියා චූටිට ආදරේ කරයි. එයා දුකෙන් ඉන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නෙ මම. චූටිගෙ සතුට වෙනුවෙන්ම කැප උන මට මේක දරාගන්න බෑ.” විහංසා බෝධීන් වහන්සේ ලඟ බිම ඉඳගෙන හිතේ දුක කිය කිය ඇඬුවා.

සහස්‍රා පන්සලට ආවෙ විහංසා හොයාගෙන. උදේනගෙන් විස්තරේ අහගෙනයි සහස්‍රා මේ ආවෙ. හෙමිහිට අඩි තියලා යද්දි බෝධීන් වහන්සේ ලඟ විහංසා වැලහින්නක් වගේ අඬ අඬ ඉන්නවා දැකපු සහස්‍රාට දැනුනෙ ලොකු දුකක්. ඒ එක්කම සහස්‍රාගෙ ෆෝන් එක රිංග් උනා.

“හෙලෝ සුදු අයියා…” සහස්‍රා ඉස්සරහට තියපු අඩිය ආයෙම පස්සට තිව්වා.

“මොකද උනේ බබා. කෝ ඉන්නවද?” මියුරංග ඇහුවා.

“පන්සල් ඇවිත්. මම මේ පන්සලට ආවා.” සහස්‍රා හෙමිහිට කිව්වා:

“මොකද්ද ප්‍රශ්නෙ බබා?” මියුරංගට මේක ලොකු ප්‍රශ්නයක්. එක්කො විහංසා කියන්න ඕනෙ. මියුරංගට තරහත් ගියා.

“මේ චමත් කියපු එකක් මේ මැට්ටි වැරදියට තේරුම් අරන්. ඔයා ඉන්නකො බය නැතුව මම ශේප් කරන්නම්.” සහස්‍රා කිව්වා.

“හ්ම්ම්.. පරිස්සමට ගෙදර එක්කන් යන්න. මම හවසට එන්නම් කිව්වා කියන්න.” මියුරංග එහෙම කියලා කෝල් එක කට් කලා.

“සමී….” සහස්‍රා ඇවිත් විහංසාගෙ උරහිසට අතක් තියලා කතා කලා. විහංසා කඳුලු පිරුණු දෑසින් සහස්‍රාගෙ මූණ දිහා බලද්දි සහස්‍රාට දරා ගන්න බැරි දුකක් දැනුනා.

“මගේ කෙල්ල මොකද මේ අඬන්නෙ? කෝ නැගිටින්න. අපි යමු. වෙන කොහෙට හරි ගිහින් කතා කරමු. එන්නකෝ.” සහස්‍රා විහංසාව නැගිට්ටවගෙන කාර් එක ලඟට එක්කන් ගියා.

“සහස්‍රා…” විහංසා සහස්‍රාගෙ උරහිසට බර උනේ ආයෙමත් අඬාගෙන.

“මේ අහපං කෙල්ලේ. උඹට ඔය තරම් අඬන්න වැලපෙන්න දෙයක් වෙලා නෑනෙ. දැන් නගින්නකෝ. අපි යමු.” සහස්‍රා කාර් එකේ දොර ඇරලා විහංසාව වාඩි කරලා ඩ්‍රයිවින් සීට් එකට නැග්ගා. විහංසා කිසිවක් නොකියා බලාගෙන හිටියා.

“සමී… මට හරියට කියපං උනේ මොකද්ද කියලා. සුදු අයියා දන්නෙවත් නෑ මොකද්ද ප්‍රශ්නෙ කියලා.” සහස්‍රා කාර් එක බීච් එක අයිනෙ නවත්තලා බහින්නෙ නැතුවම ඇහුවා.

“චූටි චමත්ට ලං වෙලා තියෙන්නෙ අහස් අයියා මට ආදරේ බව දැනගත්තට පස්සෙ. දැන් චූටි ඉන්නෙ දුකෙන්. චමත් එයා එක්ක කතා කරන්නෙවත් නෑ.” විහංසා ආයෙමත් අඬන්න ගත්තා.

“හරි ඔය ඔක්කොම හරියි කියමුකො. මට කියන්න එහෙනම් චමත් යුවතිට ආදරේ නැද්ද?” සහස්‍රා ඇහුවා.

“ආදරෙයිලු. ඒත් චූටි මුලදි එයාට කියලනෙ අහස් අයියට ආදරෙයි කියලා. ඒ නිසා චමත් දැන් කාලෙකින් කතා කරල නෑ චූටිට. චූටි දුකෙන් ඉන්නෙ. මේකට මුල මම නේද?” විහංසා ඇහුවා.

“උඹ මහ හොල්මනක්නෙ. ඒක ඒ දෙන්නගෙ ප්‍රශ්නයක්. ආදරෙයි නම් මොකද්ද බං දුක් විඳිනවා කියන්නෙ. ඒ කොල්ලා මෙයාට ආදරෙයි නම් ප්‍රශ්නෙ ඉවරයිනෙ බං.” සහස්‍රා කිව්වා.

“ඒ උනාට චූටි දැන් දුකෙන්.” විහංසා මෝඩියෙක් වගේ කතා කරද්දි සහස්‍රාට නම් කේන්තිය උපරිමේටම වැඩි උනා.

“උඹට පිස්සුද? ආදරෙයි කියලා හිතාගෙන කසාද බැඳලා ආදරයක් නැතුව ජීවත් වෙන්නෙ කොහොමද? උඹ කියනවා යුවති සුදු අයියට ආදරේ කරා කියලා. එහෙනම් කොහොමද මේ එක පාරටම එදාම ආව චමත්ට ලං උනේ? උඹම මතක් කරලා බලපං. උඹ අපේ ලොකු අයියාට ආදරෙයි කියලා හිතුවා. ඒත් ඒක එහෙම නෑ කියලා දැනගත්තට පස්සෙත් කොච්චර කල් ගියාද උඹට හිත හදාගන්න. ඒ උඹ ලොකු අයියට ආදරේ නොකර. දැන් ඔය යුවති සුදු අයියට ආදරේ කලා නම් කොහොමද එක දවසින් චමත්ගෙ පස්සෙන් වැටුනෙ? මට හොඳට මතකයි යුවති උඹට අඬ අඬ චමත්ව ඕනෙ කිව්ව කියලා උඹ මට කියපු හැටි. මතක් කරලා බලපන්. මෝඩියෙක් නොවී.” සහස්‍රා කතා කලේ තරහින්.

“ඒත් සහස්‍රා …. ” විහංසා කතා කරන්න ගිහිල්ලත් ආයෙම කල්පනාවට වැටුනා.

“මට උඹේ ෆෝන් එක දීපං.” සහස්‍රා විහංසාගෙ ෆෝන් එක උදුරගෙන පවර් ඔන් කරලා ඩේටා ඔන් කරා. වයිබර් එකට ආවෙ ෆොටෝස් ගොඩක්. යුවති චමත් එක්ක චැට් කරපුවා. සහස්‍රා උඩට උඩට ගිහින් චමත් එවපු මැසේජස් බැලුවා.

“සොරි අක්කා… මම කිව්වෙ මියුරංග අයියගෙ වරදක් නෙමෙයි. එයා එහෙම කරපු එක හොඳයි. ඇත්තටම එහෙම නොවුනා නම් අපි හතර දෙනෙක්ම දුක් විඳින්න ඕනෙ. මේ බලන්න යුවති මට එවපු මැසේජස්. මම ඒ සේරම එවන්නම්. ඔයා කලබල නොවී බලන්න. ප්ලීස්.” චමත් දිග මැසේජ් එකක් එවලා තිබුනා.

සහස්‍රා එකින් එක යුවතිගෙත් චමත්ගෙත් මැසේජස් බැලුවා. සහස්‍රාට ඒවා දැකලා හිනයි. බොරුවට බය වෙලා ඉන්න මේ කෙල්ල ගැන සහස්‍රාට අනුකම්පා හිතුනා.

“මෝඩි. මේ බලපං අර කොල්ලා එවපු මැසේජස්.” සහස්‍රා විහංසාගෙ අතට ෆෝන් එක දුන්නා. විහංසා කඳුලු පිහිදගෙන මැසේජ් එකින් එක බැලුවා.

“චූටි මගේ කවි පොතත් දැකලද?” විහංසා අන්තිම මැසේජ් එකත් කියවලා හෙමිහිට මිමිණුවා.

“ඔව්… හොඳ වෙලාවට ඕවා පොතකවත් ලිව්වෙ. නැත්නම් ජීවිත කාලෙම හරකියෙක් වගේ අඬ අඬ ඉඳියි. දැන් හරිද ප්‍රශ්නෙ?” සහස්‍රා ඇහුවෙ විහංසාගෙ හිස අත ගාලා.

“තාම නෑ..” විහංසා කිව්වා.

“ඇයි?” සහස්‍රා පුදුමෙන් බැලුවෙ.

“අහස් අයියගෙන් සමාව ගන්න ඕනෙ.” විහංසා ඇස් වල කඳුලු පුරවන් කිව්වා.

“ඒ මොකටද?”

“මම එයා ගැන තරහෙන් හිතුවා. එයාව එපා කියලා හිතලා ෆෝන් එක ඕෆ් කරන් හිටියා.” විහංසා ආයෙම අඬනවා. සහස්‍රාට මේක බලන් ඉඳලම ඇති වෙලා.

“මොකද්ද බං මේකෙ තේරුම. හැම වෙලාවෙම ටැප් එක ඇරගෙන. මෙන්න මේ ටිෂූ එකෙන් ඔය කඳුලු පිහිදාගෙන යමං.” සහස්‍රා හිනාවෙවී ටිෂූ එකක් විහංසාගෙ අතට දුන්නා.

“උඹට හිතෙන්නෙ නැද්ද මෙතෙන්දි මම වැරදියි කියලා?” විහංසා ඇහුවා.

“ආයෙම පටන් ගන්න එපා විකාර කියවන්න.” සහස්‍රා වාහනේ ස්ටාර්ට් කරගෙන කිව්වා. විහංසා ෆෝන් එක අරන් මියුරංගට කෝල් එකක් ගත්තා.

“හෙලෝ…” මියුරංග එහා පැත්තෙන් තරහෙන් වගේ කතා කලේ.

“අනේ මට සමාවෙන්න අයියේ.” විහංසාට ඇඬුනා. සහස්‍රා විහංසාට රව රව ඩ්‍රයිව් කලේ.

“ඇයි?” මියුරංග තරහින්.

“මම ඔයා එක්ක තරහා උනා. ෆෝන් එකත් ඕෆ් කරන් හිටියේ.” විහංසා අඬ අඬ කිව්වා.

“හිතුනම පැත්තකට දාන්නයි හිතුනම ලඟට එන්නයි මම කවුරු කියලද හිතන් ඉන්නෙ විහංසා? ඔයාට මම ආදරෙන් ඉද්දි මාව මග ඇරියෙ මට රිද්දන්නද?” මියුරංග තරහෙන්මයි ඇහුවෙ.

“ඒත් අයියේ..” විහංසාට කතා කරගන්න බැරි උනා.

“ඒත් මේත් නෙමෙයි. මම ඉන්ටර්වීව් කෝල් කලා. හෙට අලුතෙන් කෙනෙක් ගන්නවා මගේ ඇසිස්ටන්ට් විදියට. තමුන්ට හෙට ඉඳන් පරණ ජොබ් එකට එන්න පුලුවන්.” මියුරංග එහෙම කියලා කෝල් එක කට් කරා. විහංසා ෆෝන් එක කනේ තියාගෙනම ආයෙමත් අඬන්න ගත්තා. සහස්‍රා හයියෙන් බ්‍රේක් එක පාගලා පාර මැදම කාර් එක නැවැත්තුවා.

“මොකද්ද බං මේකෙ තේරුම. වෙඩින් එකට සතියක්වත් නෑ. බොරු ප්‍රශ්න දෙන්නගෙ අතරට ගෙනත් දෙන්නට දෙන්නා රණ්ඩු වෙනවා.” සහස්‍රා තරහෙන් ස්ටීයරින් වීල් එකට ගහලා කිව්වා.

“මම යනවා සහස්‍රා.” විහංසා එහෙම කියල දොර ඇරන් පාර මැදම වාහනෙන් බහින්න හැදුවෙ. වෙලාවට දොර ලොක් කරලා තිබුනෙ.

“මොලේ හොඳ නැද්ද මැට්ටී. යමං ගෙදර.” සහස්‍රා වාහනේ ස්ටාර්ට් කරගත්තෙ විහංසාගෙ හිස අත ගාලා.

“උඹ මේ පිස්සු වැඩ කරන්නෙ මොකද? අපේ සුදු අයියා බැන්නද?” සහස්‍රා ඇහුවා. විහංසා මුකුත් නොකියා ඇස් පියාගෙන සීට් එකට හිස හේත්තු කරගත්තා.

“නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නෙ පැණි වරකෙට හෙණ ගසා ඇති බවයි. අනේ මැට්ටී.” සහස්‍රා හිනාවෙවී විහංසාගෙ හිසට ඇඟිල්ලකින් ඇන්නා.

“උඹට විහිලු. අයියට හොඳටම කේන්ති ගිහින් ඉන්නෙ.” විහංසා කඳුලු පිහිදාගෙන කිව්වා.

“අපි එහෙනම් ප්ලෑන් එකක් ගහමු.” සහස්‍රා යෝජනාවක් ගෙනාවා.

“මොකද්ද?” විහංසා ඇහුවෙ කලබලෙන්.

“අපි දැන් ගෙදර ගිහින් ලේස්ති වෙලා අපේ ගෙදර යමු. එයා එද්දි අපි එයාව සර්ප්‍රයිස් කරමු.” සහස්‍රා කිව්වෙ විහංසාගෙ හිත හැදෙන්නත් එක්ක කරන්න තියෙන හොඳම වැඩේ ඒක නිසා.

“හා… එහෙම කරමු. කොහොම හරි එයාව යාලු කරගන්න ඕනෙ සහස්‍රා. එයා තරහා වෙලා ඉන්නකොට මට ඉන්න බෑ.” විහංසා මූණත් එල්ලන් කියද්දි සහස්‍රාට හිනයි.

“අනේ නිකන් පලයන් යන්න. දැන් මේ වෙනකන් හිටියෙ තරහෙන් නෙමෙයිද?” සහස්‍රා ඇහුවා.

“ඒ ඉතිං මමනෙ. එයා තරහ උනාම මට දුකයි.” විහංසා බිම බලන් කිව්වේ ලැජ්ජාවෙන්.

“අපෝ මේකිගෙ ලැජ්ජාව. හරි හරි අපි මොකක් හරි කරමුකො. අපර්ණා අක්කත් ඉන්නවනෙ.” සහස්‍රා කිව්වා.

කෙලින්ම ගියේ විහංසාගෙ ගෙදරට. යද්දි මීට කලින් දැකලා නැති වාහනයක් මිදුලෙ තියෙනවා දැකලා විහංසා කල්පනා කලා ඒ කාගෙද කියලා.

“ඒ කවුද?” විහංසාට කියවුනා. සහස්‍රාට නම් නිකමට හිතුනා මේ විහංසාට අයියා ගත්තු වාහනේ වෙන්න ඇති කියලා.

“යමං බලන්න.” සහස්‍රා බැස්සා. විහංසා හෙමිහිට දොර ඇරන් එලියට බැස්සා. මිදුලෙ කවුරුවත් පේන්න හිටියෙත් නෑ.

“තාත්තා… කවුද ආවෙ?” විහංසා ගෙට ගිහින් ඇහුවා. උදේන සාමාන්‍ය විදියට ඔහුගේ කාමරේ ඉඳලා එළියට බැස්සා.

“ඇයි දෝණි?” උදේන ඇහුවා.

“අර එළියෙ කාර් එකක් තියෙන්නෙ. කාගෙද?” විහංසා ඇහුවා.

“කෝ බලන්න. මට ඇහුනෙ නෑනෙ වාහනයක් එනවා.” උදේන එහෙම කියලා එළියට බැස්සා.

සහස්‍රා මිදුලෙ ඉඳන් වාහනේ අත ගගා බලනවා.

“ආ අංකල්. කාර් එකක් ගත්තද? මාර ගති.” සහස්‍රා හිනාව හංගගෙන කිව්වා.

“උඹට පිස්සුද බං. අපිට කොහෙන්ද කාර් ගන්න සල්ලි.” විහංසා සහස්‍රාට එකක් ගහලා කිව්වා.

“අනේ පලයන් යන්න. දැන් උඹ දන්නවද උඹේ පොතේ තියෙන ගාන?” සහස්‍රා අහද්දි විහංසා බිම බලාගත්තෙ ඇත්තටම ඇය දන්නෙ නැති නිසා.

“ඇත්තටම අංකල් කාගෙද මේ. කවුද ආවෙ?” සහස්‍රා උදේනගෙන් ඇහුවා.

“මම දන්නෙ නෑ දූ.” උදේනත් එහෙම කියලා කාර් එක අත ගගා බැලුවා.

“ගෙදර ඉඳලත් තාත්තා දන්නෙ නැද්ද කවුරු හරි ආවනම්. පුදුම වැඩක්නෙ මේක.” විහංසා එහෙම කියලා තරහෙන් ගෙට ගියා.

ආයෙත් හමුවෙමු.

කතාව පරක්කු උනා යාලුවනේ. මම තරඟෙකට කෙටි කතාවක් ලිව්වා. ඒකෙ වැඩ නිසා මේක ලියාගන්න බැරි උනා. දැනුයි ඉවර උනේ. පුලුවන් නම් වෙලාවක් තියෙන යාලුවො විතරක් මගේ වෝල් එකේ දාලා තියෙනවා ලින්ක් එක. ඒකට ගිහින් මගේ කතාව කියවලා ලයික් එකක් දාලා උදව්වක් කරන්න.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *