මා නොවේ ඈ නුඹේ 57 කොටස

යුවතියි සහස්‍රායි ඇහැරෙද්දි විහංසා ඇහැරිලත් මූණ සෝදන්නවත් ගිහින් නෑ.

“සමී… යකෝ මළ ගෙදරක යන්න වගේ ඉන්න එපා. මේ උඹේ වෙඩින් එක.” සහස්‍රාට යකා නැග්ගා.

“මම හිටියෙ උඹලා දෙන්නා ඇහැරෙනකන්.” විහංසා එහෙම කියලා දෑස් අග තිබුන කඳුල පිහිදාගෙන ඇඳේ වාඩි උනා.

“මම සැරෙන් කතා කරාට සොරි හොඳේ. ඔයා ඉතින් අද ඉඳන් මගෙ ආදරණීය නෑණා පොඩ්ඩනෙ. ආදරෙයි.” සහස්‍රා පැනලා විහංසාව බදාගත්තා.

“ඔව් ඔව්… කෝ අත ඇරපන් බං. රිදෙනවා.” විහංසා සහස්‍රාගෙ උරහිස විකුවා.

“ආ අපි ඇල්ලුවත් මේකිට රිදෙනවා. උඹට අපේ අයියා අද රෑට රිද්දන එකක් නෑ.” සහස්‍රා එහෙම කියාගෙන හිනාවෙවී නැගිට්ටා. විහංසා ලැජ්ජාවෙ යුවති දිහා බලද්දි යුවතිත් සහස්‍රා එක්ක එකතු වෙලා විහංසාට නෝන්ඩියට හිනා උනා.

“පලයව් යන්න දෙන්නම. මුන් දෙන්නම දැන් හොඳටම පැහිලා.” විහංසා කොට්ට දෙකක් අරන් දෙන්නට ගැහුවා.

වොශ් දාගෙන එද්දිම උදම් තුන් දෙනාව සැලෝන් එකට එක්කන් යන්න ආවා. හරියටම පාන්දර එකහමාරයි. ලොකු අම්මයි විහංසායි යුවතියි සහස්‍රායි ලේස්ති වෙලා එලියට බහින්නයි හැදුවේ. උදේන නම් නිදාගත්තෙම නෑ. මුලු රෑම අවදියෙන් ඉඳන් අඬපු එක තමයි කලේ. මේ කට්ටිය යනකොට උදේන මූණ සෝදන් විහංසාගෙ ඉස්සරහට ආවා. �
“තාත්තා ඇඳුම අල්මාරියේ එල්ලලා ඇති. ෆෝන් එක අරන් එන්න. මම තේ හැදුවා. බෝතලේට දාලා ඇත්තෙ.” විහංසා අන්තිම ටික කියද්දි දෙන්නම ඇඬුවා.

“සමී අපි යමු.” සහස්‍රා විහංසාගෙ උරහිස් දෙකෙන් අල්ලලා තුරුල් කරන් වාහනේ ලඟට ගියා.

“ලොකු අයියා…. අර මනමාලයා කියන එක්කෙනා තාම නිදි ඇති නේද? ඉන්නවකෝ මම හොඳ බයිට් එකක් දෙන්න.” සහස්‍රා එහෙම කියාගෙන ඉස්සරහා සීට් එකට නැග්ගා. �
“ඌට නිදාගන්න දෙනවා. අපි නිදාගන්න දුන්නෙ නෑ ගොඩක් රෑ වෙනකන්ම.” උදම් සහස්‍රාගෙ ෆෝන් එක උදුරලා ගත්තා. ඊයෙ රෑ මියුරංග නිදාගන්නකොට දොළහත් පහුවෙලා. උදම්ට නිදාගන්න උනේම නෑ. චමත් අනුරාධ උදම් තුන් දෙනා එකතු වෙලා මියුරංගව හොඳටම බයිට් කරා. �
විහංසා සැලෝන් එකට යද්දි නම් හොඳ මූඩ් එකක හිටියා.

“ආහ් එන්න එන්න. මම බැලුවා පරක්කු ඇයි කියලා.” සැලෝන් එකේ අක්කා කිව්වා. අපර්ණාට අන්දවපු සැලෝන් එකෙන්මයි විහංසාට අන්දවන්නෙත්. අදත් මනමාලියො තුන් දෙනා හයයි තිහ වෙද්දි සූදානම් කරලා ඉවර උනා.

සියලු ආභරණ සහ හැමදේකින්ම පරිපූර්ණ උඩරට මනාලියක් ලෙස විහංසා හැඩවී සිටියා. බැලූ ඕනෑම කෙනෙක් දෙතුන් වතාවක් නැවත බලන තරම් ඇය සුන්දරව හිටියා. හැමෝම විහිලු කලේ කසාද බැඳිල්ල පැත්තක තියෙද්දි මියුරංග උදේම විහංසාව උස්සන් යයි කියලා. විහංසා ලැජ්ජාවෙන් බිම බලාගෙන හිටියා අනිත් අයට ඕන දෙයක් කියන්න දීලා.

“අද එදාටත් වඩා ලස්සනයි නේද අක්කේ?” සහස්‍රා ඇහුවා.

“නැතුව. අද මනමාලි තමයි වැඩියෙන්ම ලස්සන. මේ බලන්න.” ඇය විහංසා මැද තියලා ලස්සන ෆොටෝ එකක් ගත්තා. අම්මා අතින් කෙරෙන්න ඕනෙ හැමදේම කලේ ලොකු අම්මා. ඇගේ ඇස් වල සිහින් කඳුලු පටලයක් තිබුනා.

“ඔන්න මල්ලි මම වෙලාවට වැඩේ කම්ප්ලීට් කරා.” සැලෝන් එකේ අක්කා කිව්වෙ ස්ටූඩියෝ එකේ කට්ටිය ආවාම.

“ඔන්න මුලින්ම කියනවා සර්ප්‍රයිස් වෙලා මෙතන අඬන්න තියාගන්න එපා. හරිද?” විහංසා මුලින්ම හිනාවෙවී කිව්වා. සහස්‍රා නම් සර්ප්‍රයිස් එක මොකද්ද කියලා දන්න නිසා හිනා වෙවී හිටියා. යුවතිත් හීනෙකින්වත් මෙහෙම දෙයක් හිතුවෙ නැති නිසා ඇය හිතුවෙ සර්ප්‍රයිස් එක සහස්‍රාට කියලා.

අනුරාධ ඇවිත් ෆ්ලවර් බොකේ එක විහංසාට දුන්නා. ඊට පස්සෙ සහස්‍රාට. දැන් යුවතිගෙ වාරෙ. යුවති හිතුවෙ අඳුරන්නෙ නැති කෙනෙක් එයි කියලා. චමත්ව දැක්කාම යුවතිගෙ කටත් ඇරුනා.

“චාම්…..”යුවති අත් දෙකෙන්ම කට වහගත්‍තා. චමත් හිනාවෙවී ඇවිත් ෆ්ලවර් බොකේ එක යුවතිට දීලා දෙකොපුල් සිප ගත්තා. යුවති හිටියෙ හිතාගන්න බැරුව.

“දෝණි ඔයා…” යුවති විහංසාගෙ පැත්ත හැරෙන්න හදද්දිම චමත් යුවති ඉස්සරහා දණ ගැහුවා.

“විල් යූ මැරී මී යුවී?” චමත් හිනාවක් මූණෙ තියන් අහද්දි යුවති ඇස් ලොකු කරන් බලන් හිටියා.

“චාම්….දෝණි ඔයා මාව හොඳටම සර්ප්‍රයිස් කලා.” යුවති එහෙම කියද්දිම වන්දනා සහ දයාන් අත් පුඩි ගසමින් හිනාවෙවී ආවා. ඒ උදව්ව කලේ මියුරංග. චමත් ආව දවසට පහුවෙනිදා කට්ටියම විහංසාගෙ ගෙදර ගිය අතරෙ චමත් එක්ක මියුරංගයි උදම්නුයි යුවතිගෙ ගෙදර ගියා. චමත්ගෙ දෙමාපියො සහ චමත් ගැන තොරතුරු ඇහුවට පස්සෙ වන්දනා සහ දයාන් කැමති උනා චමත්ට.

“අම්මා?? තාත්තා??”යුවති අම්මගෙයි තාත්තගෙයි දිහා බැලුවෙ පුදුමෙන්.

“අපි කැමතියි චූටි.” දයාන් කිව්වා.

හිනාවෙවී යුවති බැලුවෙ මෙච්චර වෙලාවක් දණ ගහගෙන ඉන්න චමත් දිහා.

“මල්ලී දැන් නැගිටින්න. මෙයා කැමතියි.” විහංසා හිනාවෙවී කිව්වා. ඒ එක්කම යුවති ඇගේ අත දිගු කලා චමත්ට. චමත් අතේ තිබුන මුදුව යුවතිගෙ ඇඟිල්ලකට පැළන්දුවා. හැමෝගෙම අත්පොළසන් මැද යුවති චමත්ට තුරුල් උනා.

“ඔන්න අඬන්න එහෙම ඔට්ටු නෑ. ආයෙම මේකප් කරන්න වෙයි.” සහස්‍රා කිව්වා.

කට්ටියම සැලෝන් එකෙන් පිටත් උනා ලොකේශන් එකට.

“මගේ මැණික අද නම් මගෙන් ඈතට යවන්නෙම නෑ.” මියුරංග විහංසාව දැක්ක ගමන්ම ලඟට අරන් නලල සිපගෙන කිව්වා.

“අම්මෝ අද මට මහන්සි වෙන්න දෙයක් නෑ. ෆොටෝස් වලට ඕනෙ ඇක්ෂන්ස් නැචුරලිම ලැබෙනවා.” කැමරමන් හිනා වෙවී කිව්වේ කපල් එකේ හැම ඉරියව්වක්ම සූක්ෂම ලෙස කැමරා කාචයට හසු කරගන්නා අතරෙ.

පෝරුවේ චාර්ත්‍ර අතර තුර මව්පිය ගුණ මතක් කරන්න අෂ්ඨක කියපු සීයා විහංසාගෙ තාත්තාගෙ ගුණ වර්ණනාව සහ අම්මා ගැන මතක් කල වෙලාවෙ විහංසාගෙ ඇඬිල්ල බලන් ඉඳපු මුලු හෝල් එකේ හැමෝගෙම ඇස් තෙමුනා. මියුරංග පුලුවන් තරම් ඇයව සැනසුවා. සහස්‍රා ඇස් වල කඳුලු පුරවගෙන හිතුවෙ හවසට පිටත් වෙන වෙලාවට මොනවායින් මොනවා වෙයිද කියලා.

වෙඩින් එකට මියුරංගගෙ පොඩි නැන්දා ආවෙ නෑ. ලොකු නැන්දා නම් ඇවිත් පුපුර පුපුරා හිටියා. සහස්‍රා සැරින් සැරේට ගිහින් කණිෂ්ක ගැන විස්තර අහලා තවත් ඔරොප්පු කරනවා. උදම් අපර්ණා දෙන්නට ඒක බලන් ඉඳලා හිනයි.

“තව චුට්ටකින් ලොකු නැන්දා යනවා මෙහෙන්.” උදම් හිනාව අතරෙම කිව්වා. ඒ එක්කම ලොකු නැන්දා සහස්‍රාගෙන් වෙන් වෙල එහාට ගියේ මූණ දෙක කරගෙන.

“මොකද පාට්නර් ගියාද?” සහස්‍රා නැගිටලා අපර්ණායි උදම්නුයි ඉන්න ටේබල් එකට එද්දි අපර්ණා හිනාවෙවී ඇහුවා.

“මට හිතෙන විදියට ලොකු නැන්දා මගේ වෙඩින් එකට නම් එන්නෙ නෑ.” සහස්‍රා හිනා වෙවී කිව්වා. උදම් නැගිටලා එහාට ගියේ දැන් අපර්ණා තනියම නෙමෙයි නිසා.

“මේ උඹේ කොල්ලව අද කවුරු හරි උස්සගෙන යන එකක් නැද්ද?” අපර්ණා ඇහුවෙ කලින් වෙඩින් එක දවසෙ සහස්‍රා හොඳ අඩව්වක් ඇල්ලුවනෙ වරුණි එක්ක. ඒ නිසා.

“අනේ මේ අක්කා… මෙයාව උස්සන් යන්න ඉතින් වරුණිම එන්න ඕනෙ.” සහස්‍රා කිව්වෙ ඒ එක්කම වගේ එතෙන්ට ආව අනුරාධට ඇහෙන්න.

“ඒ කියන්නෙ මෙයාලගෙ ෆැමිලි එකේ වරුණි වගේ ම තමයි මෙයත්. ඒකනෙ මාත් එක්ක යාලු උනේ. අනේ මාත් අහු උනානෙ.” අනුරාධ කම්මුලකට අතක් තියාගෙන කිව්වා.

“මගෙන් ගුටි නොකා ඉන්නවා බූරුවා. බලනවා අද අම්මයි අප්පච්චියිත් ඇවිත් ඉන්නෙ. ඔයා මාව කේන්ති අවුස්සලා ඒ මිනිස්සු ඉස්සරහා මාව පහලට දාන්න ලේස්ති වෙන්න එපා.” සහස්‍රා එහෙම කිව්වම අනුරාධ හිනාවෙවී සහස්‍රාගෙ පිට අතගාලා සිරිනන්ද සහ සුනේත්‍රා ලඟට ගියා.

“පව් බං. ඔහොම බනින්න එපා කොල්ලොන්ට. ඌට උඹව එපා වෙයි.” අපර්ණා කියද්දි සහස්‍රාටත් හිතුනා ඒක ඇත්ත කියලා.

“ඒ උනාට අක්කා මම විහිලුවට කියන්නෙ කියලා එයා දන්නවා.” සහස්‍රා හිනාවෙලා කිව්වා.

“අරුන් දෙන්නට බයිට් එකක් දෙන්න ඕනෙ. යමුද?” සහස්‍රා ඇහුව සැණින් අපර්ණාත් නැගිට්ටා.

“මේ හෙමින් යමු හරිද. නැත්නම් ලොකු අයියා මාව කයි.” සහස්‍රා එහෙම කියලා අපර්ණාව අල්ලගෙන කපල් එක ඉන්න තැනට ගියා.

“මොකද කුරුලු ජෝඩුව කුටු කුටු ගාන්නෙ. කූඩුවෙ නෙමෙයි ඉන්නෙ. ගුලි වෙලා ඉන්නෙ මෙතනත්.” අපර්ණා එනවා දැක්ක ගමන් මියුරංග නැගිටලා අපර්ණාට ඉඳගන්න දුන්නා.

“මේ සමී මල්ලි මොනාද කියන්නෙ? දැන් ම හනිමූන් යන්න හිතෙනවලුද?” අපර්ණා අහද්දි විහංසා ලැජ්ජාවෙන් බිම බලාගත්තා.

“ඒක නෙමෙයි සුදු අයියා මේකි ඊයෙ මුලු රෑම නිදි නෑ. ඔයා ලඟ නැතුව නින්ද යන්නෙ නෑ කිව්වෙ.” මියුරංග ගානට ලිස්සලා යන්න හදද්දි සහස්‍රා මියුරංගගෙ අතේ එල්ලුනා.

“බබා මේ කට අවුස්සගන්නෙ නැතුව අතාරිනවා.” මියුරංග කිව්වෙ හිනාවෙවී.

“මල්ලා පොඩ්ඩක් එන්න.” උදම් ඒ එක්කම ඇවිත් මියුරංගව එක්කන් ගියා. අපර්ණා සහස්‍රා එක්ක එකතු වෙලා විහංසාට විහිලු කර කර ඉන්න අතරෙ වන්දනා ආවා.

“දෝණි…” වන්දනා ආවෙ විහංසා එක්ක උදේ ඉඳන් කතා කරන්න බැලුවත් හැම වෙලාවෙම කවුරු හරි කපල් එක ලඟ හිටියා. දැන් හිටියෙ පවුලෙ අය නිසයි වන්දනා එතෙන්ට ගියේ.

“අම්මා…” විහංසා වන්දනාගෙ උරහිසට හිස තියාගත්තා.

“අපි අර පැත්තට යන්නම් සමී.” අපර්ණා සහස්‍රා එක්ක එහාට ගියේ ඒ අයට කතා කරගන්න ඉඩ දීලා.

“අපේ කෙල්ල අද හරි හැඩයිනෙ.” වන්දනා විහංසාගෙ මාල හත පිළිවෙලට හදමින් කතා කලේ.

“අම්මා බලන්නකො. චූටි මනමාලියෙක් වෙන දවසට මටත් වඩා ලස්සනට ඉඳියි.” විහංසා හිනාවෙලා කිව්වා.

“මට ඔයාලා දෙන්නම එකයි දෝණි. මගෙ කෙල්ලො දෙන්නම මට වටිනවා. එක වගේම වටිනවා.” වන්දනා ඇස් වල කඳුලු පුරවගෙන කිව්වා. විහංසා වන්දනාගෙ ඇස් වල කඳුලු පිසදමමින් ඇයව තුරුල් කරගත්තා.

“මම දන්නවා අම්මා. අම්මට චූටි වගේම හැමදාටම මම ඉන්නවා.”

“මගෙ කෙල්ල අදින් පස්සෙ අපිට අයිති නෑනෙ.” වන්දනා වේලාසනින්ම ටැප් එක ඇරියා.

“අම්මා… අනේ ඇයි එහෙම කියන්නෙ. මම හැමදාටම ඔයාලා එක්ක ඉන්නවනෙ. මම ගම රට අත ඇරලා යනවා නෙමෙයිනෙ.” විහංසා හැකි තරම් ඇගේ කඳුලු වාවගෙන හිටියා.

“නංගී…” විහංසාගෙ ලොකු අම්මා ආවෙ තව වෙලාවක් වන්දනා මෙතන හිටියොත් විහංසා අඬන්න ගන්න නිසා.

“ඇයි අක්කේ?” වන්දනා ඇස් වල කඳුලු තෙත මාත්තු කරගෙන නැගිට්ටා.

“අනේ නංගියේ අර පැත්ත පොඩ්ඩක් බලන්න එන්නකො. මට තේරෙන්නෙ නෑ.” විහංසාගෙ ලොකු අම්මා එහෙම කියාගෙන වන්දනා එක්කන් එහාට ගියා.

මියුරංග ලඟට එද්දි විහංසා වට පිට බැලුවෙ තාත්තා ඉන්නෙ කොහෙද කියලා. විහංසා බලද්දි උදේන තනියම ටේබල් එකක වාඩි වෙලා විහංසා දිහාම බලාගෙන ඉන්නවා.

ආයෙත් හමුවෙමු.

දිගම දිගම දිග… කොටසක් අරන් හෙට එන්නම් වස්තුලා… 😍😍😍 අද මේ ලොකු වැඩක ඉඳන් තමයි ඔයාලට වෙඩින් එක අරන් ආවෙ. හෙටත් වෙඩින් එක තියෙනවා. ඇඳුම් ගත්තෙ නැතත් කට්ටිය වෙඩින් එකට එන්න. පරක්කු උනාට කමක් නෑ.😂😂😂😂

දිගටම රැඳෙන්න යාලුවනේ. හැමදාම කමෙන්ට් කරලා ලයික් කරලා මාත් එක්ක ඉන්නවට හැමෝටම ගොඩාක් ස්තූතියි.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *