මා නොවේ ඈ නුඹේ 58 කොටස

මියුරංග විහංසා ලඟට ඇවිත් ඉඳගත්තා. විහංසා මියුරංග දිහා බැලුවෙ හරි අසරණ විදියට.

“ඇයි මගෙ මැණික.” මියුරංග විහංසාගෙ කර වටේ අතක් දාගෙන ආදරෙන් ඇහුවා.

“අයියේ.. තාත්තා…” විහංසා එහෙම කියාගෙන මියුරංගගෙ උරහිසට හිස තියාගත්තා.

“අපි යමු තාත්තා ලඟට. එන්නකො.” මියුරංග විහංසාත් අල්ලගෙන උදේන ඉඳපු ටේබල් එක ලඟට ගියා.

“දෝණි…” උදේන ඇස් වල කඳුලු පිහිදගෙන හිනා උනා.

“ඇයි තාත්තා මෙතන තනියම.” මියුරංග එතනින් ඉඳගෙන ඇහුවා.

“නිකන් පුතේ. මම මගේ කෙල්ලගෙ ලස්සන බලන් හිටියනෙ.” උදේන කියද්දි විහංසා අමාරුවෙන් හිර කරන් ඉඳපු කඳුලක් බිමට වැටුනා. මියුරංග ඇගේ අත තද කරලා අල්ලගත්තා.

“ලමයිනෙ කෑමට යමු නේද?” මියුරංගගෙ අම්මා ඇවිත් කතා කලා.

“අයියේ… කෑම කමු.” අම්මා උදේනටත් කතා කලා.

“ඔව් ඔව් දැන් වෙලාවත් හරිනෙ. යමු දරුවනේ.” උදේනත් නැගිට්ටා. විහංසා ටිකක් වෙලා ඉඳගෙන ඉඳලා නැගිට්ටා.

කෑම කාලා ඇවිත් පැයකට විතර පස්සෙ සහස්‍රා උදම් යුවති අනුරාධ චමත් කට්ටියම ඩාන්ස් කරන්න ගත්තා. ටිකකින් උදම් ගිහින් මියුරංගව ඇදගෙන ආවා ඩාන්ස් ෆ්ලෝ එකට. විහංසා නම් හෙලවුනේවත් නෑ.

එන්න එන්නම ලං වෙන්නෙ තාත්තගෙන් වෙන් වෙලා අලුත් ගෙදරක අලුත් පවුලකට එකතු වෙන්න යන වෙලාව කියලා විහංසාගෙ හිත ඇතුලෙ මහා පෙරළියක් ඇති වෙලා.

“මේ කෙල්ලව එදා දැකපු ගමන් මම අපේ නංගිට කිව්වා අපේ සුදු පුතාට ගැලපෙන්නෙ මේ වගේ දරුවෙක් තමයි කියලා. මට නම් හරිම සතුටුයි අද දවස ගැන.” මියුරංගගෙ ලොකු අම්මා ඇවිත් විහංසාගෙ මූණ අත ගාලා කිව්වා.

“ඒක නම් ඇත්ත අක්කී. අපි නම් හරිම ආසයි ඔයාට. ඔයා හරිම ස්වීට් අනේ.” ලොකු අම්මගෙ දුවත් ඇවිත් විහංසාගෙ එක පැත්තකින් ඉඳගත්තා.

“දූ මොකද දුකෙන්.” ලොකු අම්මා අනුකම්පාවෙන් ඇහුවේ.

“මුකුත් නෑ ලොකු අම්මා… දුකයි මම ආවට පස්සෙ තාත්තා තනියම.” විහංසාගෙ ඇසින් කඳුලක් වැටුනා. ලොකු අම්මටයි දුවටයි දුක හිතුනා.

“විහංසා ඇයි මැණික මේ.” මියුරංග දුවගෙන ආවෙ විහංසාගෙ ඇසින් කඳුලක් වැටෙද්දිමයි. ලොකු අම්මගෙ දුව ඉක්මණින් නැගිටලා මියුරංගට ඉඳගන්න ඉඩ දුන්නා. විහංසාගෙ හිතට සතුටක් දැනුනා. ඇගේ ඇස් වලට කඳුලක් ආව සැනින් මියුරංග ඇගේ ලඟට ආව නිසා.

“අනේ අපි ඇඬෙව්වෙ නෑ සුදු පුතේ. කෙල්ලට දුක ඇති. ඔයා ලඟට වෙලා ඉන්න. අරෙහෙ මෙහෙ දුවන්නෙ නැතුව.” ලොකු අම්මා එහෙම කියලා විහංසාගෙ නලලට හාදුවක් දීලා එතනින් ගියා.

දුර ඉඳන් බලාගෙන ඉඳපු උදේනගෙ හිතට ආවෙ පුදුම සැනසීමක්.

“මේ කොල්ලා තමයො හොඳම මගෙ කෙල්ලට.” උදේන හිතුවා.

“සමී එන්නකො ඩාන්ස් කරන්න.” සහස්‍රා ඇවිත් විහංසාගෙ අතින් ඇද්දා.

“අනේ මට බෑ සහස්‍රා.” විහංසාගෙ ඇස් වල කඳුලු දැක්කම සහස්‍රාගෙ හිතත් අප්සට් උනා.

“හරි හරි උඹ දැන් මේ දුකෙන් ඉන්නෙ අපේ ගෙදර එන එකටද? සුදු අයියා මෙයා එක්ක එහේම ඉන්න. මෙයාව එක්කන් අපේ ගෙදර එන්න එපා. මෙයා මෙච්චර අඬන්නෙ ඒකටනෙ.” සහස්‍රා කිව්වා. විහංසා හිනාවෙලා මියුරංගගෙ උරහිසට හිස තියාගත්තා.

“ඇති යන්තම්. උදේ දැක්කට පස්සෙ දැන් තමයි යන්තම් හිනාවක් දැක්කෙ.” සහස්‍රා විහංසාගෙ කම්මුලක් මිරිකලා කියලා ආයෙම ඩාන්ස් ෆ්ලෝ එකට ගියා.

මොහොතින් මොහොත ගෙවිලා නෑදෑයන්ට සමු දීලා මනමාල යුවල පිටත් වෙන වෙලාව ආවා. ස්තූති කතාවට ඉදිරිපත් උනේ දයාන්. යුවතිගෙ තාත්තා.

“විහංසා අපි කියන්නෙ දෝණි කියලා. ආදරේට. මට මගේ වයිෆ්ට මගේ දුව තරමටම ලඟයි. අපේ පවුලෙම කෙනෙක් විදියට තමයි දෝණි හිටියෙ. ඇත්තටම අද හරිම සතුටුයි අපේ දරුවට මේ වගේ පවුලක් ලැබුන එකට. දෝණි ගැන මට වැඩි වැඩිය වර්ණනා කරන්න දෙයක් නෑ. මම දෝණිට හදවතින්ම සුබ පතනවා ලස්සන සහ අර්ථවත් යුග දිවියක් ගත කරන්න ලැබෙන්න කියලා……..” ඔහුගෙ කතාව අවසන් වෙනකොට විහංසා හොඳටම අඬනවා.

“මැණික අනේ අඬන්නෙ නැතුව ඉන්නකො. තව ටිකකින් අපිට දුර ගමනක් යන්නත් තියෙනවා.” මියුරංග විහංසාගෙ හිස අතගගා කිව්වා.

විහංසා තාත්තගෙ දෙපා අල්ලගෙන වැඳලා ගොඩක් වෙලා දණ ගහගෙනම හිටියා. උදේන ඇගේ උරහිස් වලින් අල්ලලා නැගිට්ටවන්න උත්සාහ කලත් බැරි උනා. මියුරංග අමාරුවෙන් ඇයව නැගිට්ටව ගත්තා.

“තාත්තා…..” විහංසා එහෙම කියාගෙන උදේනගෙ උරහිසේ මූණ හංගගෙන වරුවක් ඇඬුවා. උදේන නම් හිටියෙ වෙනම ලෝකෙක.

“මගෙ පුතේ… තාත්තා ඔයා එක්ක ඉන්නවනෙ. ඔයා මේ යන ගමන සතුටින්‍ යන්න. ඔයාට දැන් අලුත් පවුලක් අලුත් නෑයො ගොඩක් ලැබෙනවා. හරිනම් ඔයා සතුටු වෙන්න ඕනෙ. හොඳ මහත්තයෙක් හොඳ පවුලක්. නේද?” උදේන හැකි තරම් විහංසාගෙ ඇඬිල්ල නවත්තන්න උත්සාහ කලා. අනිත් අය කෙසේ වෙතත් මියුරංගගෙ අම්මයි අප්පච්චියිත් අඬනවා මේ තාත්තගෙයි දුවගෙයි ආදරේ දැකලා.

“මගෙ අක්කා..” යුවති ජීවිතේ පළවෙනි වතාවට විහංසාගෙ කකුල් දෙක අල්ලලා වැන්දා. විහංසා බදාගෙන ගොඩක් වෙලා යුවතිත් ඇඬුවා. යුවතිට ඇගෙත් විහංසාගෙත් යාලුකමේ මතක සටහන් රූප පෙළක් වෙලා එක දිගට මැවි මැවී පෙනෙද්දි හිතට දැනුන වේදනාව වැඩි වැඩියෙන් දැනෙන්න ගත්තා.

“අක්කා… මට ප්‍රශ්නයක් ආවම ඔයා ලඟට දුවගෙන ඇවිත් ඔයාගෙ උකුලෙන් ඔලුව තියාගෙන වරු ගනන් මගෙ දුක කිව්වා. දැන් මට ආයෙත් එහෙම කරන්න වෙන්නෙ නෑ. අලුත් ගෙයක් අලුත් නෑදෑයො හැමෝම එක්ක අලුත් ජීවිතයක් ඔයාට ලැබෙන්නෙ. ඒකෙදි මාව අමතක කරන්න එපා.” යුවති විහංසාගෙ අත් දෙකෙන් අල්ලගෙන කියද්දි විහංසා ආයෙම යුවතිව වැළඳගත්තා.

“මගෙ පුංචි කෙල්ල කොච්චර ලොකු වෙලාද. මට මේකිව අමතක වෙනවද කවදාවත්.” විහංසා කඳුලු අතරෙම කිව්වා.

දයාන් වන්දනා දෙන්නත් ඇස් වල කඳුලු පුරවගෙන විහංසාට සමුදුන්නා. අඬලා අඬලා ඉවර වෙද්දි විහංසාගෙ මේකප් සේරම දියවෙලා ගිහින්.

මනමාල යුවල පිටත් වෙන්න ගිහින් සුපුරුදු විදියට මනමාලි මල් කළඹ විසි කලා. සහස්‍රායි යුවතියි දෙන්නම එකතු වෙලා අල්ලගත්තෙ.

“එහෙනම් ඊළඟ වෙඩින් එකට ලේස්ති වෙන්න වෙයි. හැබැයි මට පේන්නෙ ඒක එක දවසක වෙයි වගේ.” මියුරංග හිනාවෙවී කිව්වා.

කාර් එක පිටත් වෙලා ටික වෙලාවකින් එක්කෙනා දෙන්නා කාර් පාක් එකෙන් ඉවත් වෙද්දි උදේන යුවති දයාන් වන්දනා සහ විහංසාගෙ ලොකු අම්මා විතරක් ඉතුරු උනා.

“මල්ලී යමු නේද?” ලොකු අම්මා ඇවිත් කතා කරද්දි උදේන කඳුලු පිරුණු ඇස් දෙකෙන් ඇය දිහා බැලුවා.

“කෙල්ල ගියේ හොඳ පවුලකටනෙ මල්ලියෙ. මොකට දුක් වෙනවද දැන්.” ලොකු අම්මා කිව්වා.

“ඒක ඇත්ත. දෝණිට ලැබුනෙ මම දන්න හොඳම පවුල. ඒ මිනිස්සු හරිම හොඳයි.” යුවතිගෙ තාත්තා දයාන් එහෙම කියලා උදේනගෙ කරට අත දාගත්තා. වන්දනා සහ ලොකු අම්මා යුවති එක්ක ගිහින් හොටෙල් එකේ ඉතුරු වැඩ ටික බැලුවා.

ටික දුරක් යනකන් විහංසාහෙ සිහින් ඉකි බිඳුමක් විතරයි ඇහුනෙ. මියුරංග ඇයට බාධා කලේ නෑ.

කඩුගන්නාවෙදි මියුරංග කාර් එක අයිනකට කරලා නැවැත්තුවා. විහංසාට ඒකෙ ගානක් නෑ. ඇය ඇස් පියාගෙන දැනෙන වේදනාව දරා ගත්තා. මියුරංග හෙමිහිට විහංසාගෙ හිස අත ගාද්දි විහංසා ඇස් ඇරලා බැලුවා.

“ඇයි නැවැත්තුවෙ මහත්තයෝ.” විහංසා ඇහුවා.

“ඔහොම අහනකොට තව දුර යන්න බෑ වගේ.” මියුරංග විහංසාගෙ නළල මත හාදුවක් තියලා හිනාවෙවී කියද්දි විහංසාට ලැජ්ජා හිතුනා.

“රෑ වෙයි යද්දි. යමු නේද?” විහංසා ඇස් වල කඳුලු අන්තිම වතාවට මිරිකා හැරලා හිනා වෙලා ඇහුවා. දැන් මියුරංගට සැටිස්.

“ඔන්න ඔහොමනෙ ඉන්න ඕනෙ. හිනාවෙලා ඉන්න.” මියුරංග විහංසාගෙ හිස අත ගාලා කාර් එක ස්ටාර්ට් කරගත්තා.

හත හත හමාර වෙද්දි දෙන්නා හොටෙල් එකට ආවා. විහංසා සීතලේ ගැහෙමින් හිටියෙ.

“සීතලද?” මියුරංග හිනාවෙලා අහද්දි විහංසාට හිනයි.

“අපෝ නෑ මම මේ ජොලියට වගේ අත් දෙක බැඳගත්තෙ.” විහංසා හිනාවෙන්ම කිව්වා.

“හා හා ජොලිය පෙන්නන්නම්කො. යමු.” මියුරංග අනිත් පසින් ඇවිත් කාර් එකේ දොර ඇරලා විහංසාව එලියට ගත්තා.

රූම් එකට ගිහින් විහංසා එකින් එක කොණ්ඩකටු යතුරුකටු ගලවලා වොශ් රූම් එකට ගියා. විහංසා එලියට එද්දිම වගේ මියුරංගත් වොශ් එකක් දාගන්න ගියා. සීතලේ ගැහි ගැහිම විහංසා තාත්තට කෝල් එකක් ගත්තා.

“හෙලෝ….” එහා පැත්තෙන් උදේන කතා කලා.

“තාත්තා අපි ආවා.” විහංසා කිව්වා.

“මට දැන් පුතා කතා කරානෙ දෝණි. ඔයා වොශ් රූම් එකේ කිව්වා. මගෙ දෝණි මේ රෑ නෑවෙ නෑ නේද?” තාත්‍තා ඇහුවා.

“මේ ස්ප්‍රේ ජෙල් නිසා කොණ්ඩෙ ඇලෙනවා තාත්තා. ඉතිං නෑවා. සීතලක් නෑ තාත්තා ඒ තරම්.” විහංසා කිව්වා.

“හා… එහෙනම් දෝණි මේ දවස් දෙකේ නිදහසේ ඉන්න. මම තියන්නම්. බුදු සරණයි.” උදේන ෆෝන් එක තිව්වා.

විහංසා ෆෝන් එක පැත්තකින් තියලා කොණ්ඩෙ පිහිදැම්මා.

“මොකද කල්පනාව…” මියුරංග ඇවිත් පිටුපසින් විහංසාව තුරුල් කරගත්තා.

“ඔයා හරිම හොඳයි. ඇයි ඔය තරම් හොඳ උනේ?” විහංසා මියුරංගගෙ පපුවට හිස තියාගෙන ඇහුවා.

“ඇයි ඔයා ඔය තරම් හොඳ උනේ?” මියුරංග විහංසා අහපු ප්‍රශ්නෙම ආයෙම ඇගෙන් ඇහුවා. දෙන්නටම හිනයි. කෑම කාලා දෙන්නම නිදියන්න ගියේ මහන්සි නිසා.

ඒ රාත්‍රියේ විහංසා හදවතින් වගේම මුලු ආත්මයෙන්ම මියුරංගගෙ උනා. උදේ ඇහැරෙද්දි විහංසා හිටියෙ මියුරංගගෙ පපුවට හිස තියාගෙන.

“මගෙ මැණික…” මියුරංග හෙමිහිට මුමුණලා විහංසාගෙ හිස සිප ගත්තා. ඒ එක්කම විහංසාට ඇහැරුනා.

“ඇහැරුනාද? මහන්සියට නින්ද ගියානෙ. වෙලාව කීයද?” විහංසා එහෙම ඉඳගෙනම ඇහුවා.

“නවයහමාරයි.” මියුරංග හිනාවෙවී කියද්දි විහංසා ඇස් ලොකු කරන් ඇඳේ ඉඳගත්තා.

“සහස්‍රා කතා කලේ නෑ නේද? පුදුමයි.” වොශ් එකක් දාගෙන ඇවිත් මියුරංග ලඟින් ඉඳගෙන ඇහුවා.

“ගන්නෙ කොහෙද? ෆෝන් ඕෆ්නෙ.” මියුරංග හිනාවෙවී කිව්වා.

“මොකක්?” විහංසා ඇහුවෙ ඇස් නලලෙ තියාගෙන.

“ඔව්. නැත්නම් ඕකුන් පෝලිමේ එකෙක් තියද්දි එකෙක් ගන්නවා. දන්නෙ නැද්ද. අනේ ඔයා දන්නෙ නෑ පෙරේදා රෑ මට දුන්න වදයක් ඕකුන් ටික එකතු වෙලා.” මියුරංග කියද්දි විහංසාට හිනයි.

“ඇයි? මොනවද කලේ? මට ඇහුනා අයියා මොකක් හරි කිව්වා. ඒ වෙලාවෙ මම හොඳ මූඩ් එකක නෙමෙයි හිටියෙ. ඒක නිසා ඇහුනෙ නෑ.” විහංසා කිව්වා.

“කතා කර කර ඉඳලා නවයට විතර හා එහෙනම් හෙට ෆ්‍රෙෂ් පිට ඉන්න ඕනනේ දැන් නිදියන්න කියලා ගියා. හරිද. මුන් ටික ගිහින් විනාඩි පහලොවකින් විතර ආයෙම ආවා කියන්නකො. නින්ද යාගෙන එනකොටමයි ආවෙ. රෑ එක වෙනකන් ඔහොම තමයි. එකෙක් යනවා ගිහින් විනාඩි පහලොවයි අනිත් එකා එනවා.” මියුරංග තරහෙ පුපුර පුපුරා කිව්වෙ. විහංසාට හොඳටම හිනයි.

“කෝ බලන්න මූණ.” විහංසා මියුරංගගෙ මූන දෝතින්ම ඇගේ පැත්තට හරවන් ඇහුවා.

“හිනාවෙන්න එපා මතක් වෙද්දිත් කේන්තියි.” මියුරංග කිව්වා.

“හරි හරි අනේ ඒ ආදරේටනෙ.” විහංසා මියුරංගට තුරුල් වෙලා කිව්වා.

“හ්ම්ම්… අපි කොහෙ හරි ඇවිදින්න යන්නෙ නැද්ද?” මියුරංග විහංසාගෙ පිට පිරිමදිමින් ඇහුවා.

“කොහෙද? අපි හැම තැනම ගිහින් තියෙනවනෙ.” විහංසා එහෙම ඉඳගෙනම ඇහුවා.

“හා… එහෙනම් මෙහෙම ඉමු.” මියුරංග විහංසාගෙ කොණ්ඩෙ අත ගගා කිව්වා.

“හරි සනීපයි අයියේ.” විහංසා ඇස් පියාගෙන කිව්වා.

“කවුද?” මියුරංග ඇහුවෙ නළල රැලි කරලා.

“නෑ මම කිව්වෙ හරි සනීපයි මහත්තයෝ කියලා.” විහංසා හිනාව තද කරගෙන කිව්වා.

“අන්න එහෙම එන්න හරිද? දැන් කියන්න මොනවද සනීපයි කිව්වෙ?” මියුරංග ඇහුවා.

“ඔහොම කොණ්ඩෙ අත ගානකොට හරිම සනීපයි.” විහංසා ලැජ්ජාවෙ කිව්වා.

“ඇත්තට? තව මොනවද සනීප?” මියුරංග අහද්දි විහංසා එහාට උනා.

“මුකුත් නෑ. කන්නෙ නැද්ද බඩගිනියි. දැන් ෆෝන් ඔන් කරමු. අරකි ඇත්තෙ මාර අමාරුවෙන්” විහංසා ඒ කතාව මග ඇරලා හිනාවෙවී කිව්වා. කෑම ඕඩර් කරලා බැල්කනි එකට ගිහින් දෙන්නම ඈතින් පේන කඳු වැටි දිහා බලාගෙන හිටියා. ෆෝන් එක ඔන් කලා විතරයි සහස්‍රාගෙන් කෝල් එකක් ආවා විහංසාගෙ ෆෝන් එකට.

“ඔන්න මෙච්චර වෙලා ඉඳලා ඉඳලා ගන්නවා.” මියුරංග හිනාවෙවී කිව්වා.

“හෙලෝ…” විහංසා බබා වගේ කතා කලා.

“අනේ පල යන්න. උඹලා දෙන්නා ෆන් අරන් ඉවර වෙලා තමයි නේද ෆෝන් ඔන් කරන්නෙ. මහ ශික්.” සහස්‍රා ෆුල් අප්සට් එකෙන් කතා කලේ.

“ඇයි උඹට අමාරුද? හිටපන් හිටපන් මම ආව ගමන් උඹව එලවනවා. එතකොට බලමුකො එයාලා ෆෝන් ඔන් කරන් ඉන්න හැටි.” විහංසා කිව්වා.

“අපෝ අපි නම් හනිමූන් ගියාම ෆෝන් ඕෆ් කරන්නෙ නෑ.” සහස්‍රා කියද්දි මියුරංග ඔහුගෙ ෆෝන් එකෙන් ඒක රෙකෝඩ් කරගත්තා.

“හා හා ඉඳපන්කො අපි ඒක එදාට බලාගමු.”

“මොනව බලන්නද. මේ ඉතිං කියපංකො කොහොමද විස්තර. අපේ සුදු අයියා…..” සහස්‍රා අහන් ඒවට විහංසාට ලැජ්ජයි.

“අනේ තියපන් බං ෆෝන් එක. විකාර.” විහංසා කෝල් එක කට් කරා. ඒක තියලා විනාඩියක් ගියේ නෑ අපර්ණා කෝල් කරා.

“ආ නංගී මොනවද විස්තර.” අපර්ණා අහද්දි විහංසාට හිනයි.

“දැන් එතකොට ඩබල ඉන්නෙ ගෙවල් දෙකකද?” විහංසා ඇහුවෙ තරහෙන් වගේ.

“ඇයි ඒ? මොන ඩබලද?” අපර්ණා ඇහුවා.

“අර මගේ නෑණා කියන එක්කෙනයි ඔයයි.”

“ආහ් එයා මේ මගෙ ලඟමයි ඉන්නෙ. දන්නෙ නැද්ද ඉතින් අපි දෙන්නා කොහේ ගියත් එකටනෙ සමී.” අපර්ණා හිනා වෙවී කියද්දි විහංසාටත් හිනයි.

“අයියෝ අක්කා පාඩුවෙ ඉන්න දෙනවලාකො. ඕක නිසාම තමයි ෆෝන් ඕෆ් කරන් හිටියෙත්. ශික් බං උඹලා.” මියුරංග ෆෝන් එක අරන් කිව්වා.

“අපෝ මූ සේරම අහගෙනද හිටියෙ. බඩී තමුසෙ නම් ඉවරයි හොඳේ.” අපර්ණා කෝල් එකේ ඉඳන්ම සහස්‍රාට කිව්වා.

“අනේ සුදු අයියා දන්නවනෙ අපි මේ විහිලුවට කිව්වෙ. දන්නෙ නැද්ද මටත් මෙයා තමයි සේරම කියලා දුන්නෙ අහන්න කියලා.” සහස්‍රා සේරම වැරදි ටික අපර්ණාගෙ කරට දාලා ශේප් වෙන්න බැලුවෙ.

“මම ආවම අල්ලගන්නම් දෙන්නවම. ඉන්නවකො.” මියුරංග හිනාව තද කරන් කියද්දි එහා පැත්තෙන් කෝල් එක කට් උනා.

“බය උනාද කොහෙද? පව් සහස්‍රා.” විහංසා කිව්වා.

“දැන් ඒකිට නංගි කියන්න පුරුදු වෙන්න.” මියුරංග කිව්වා.

“අනේ. … එහෙනම් බබා කියන්නම්. නැත්නම් බඩී කියන්නම්. මට බෑ නංගි කියන්න.” විහංසා චුරු චුරු ගෑවා.

“හරි හරි මම විහිලුවට කිව්වෙ. අපි යමු පොඩ්ඩක් ඇවිදලා එන්න.” මියුරංග විහංසා තුරුල් කරගෙන කිව්වා. කෑම කාලා දෙන්නත් එක්ක එලියට ගියා.

දවස් දෙක ගෙවුනෙ හරිම ඉක්මණින්. දෙන්නත් එක්ක කොළඹ යන්න පිටත් උනා උදේම. විහංසා මියුරංග දෙන්නා සැලෝන් එකට යද්දි සහස්‍රායි අපර්ණායි උදම්නුයි ඇවිත් හිටියා. කපල් එක ආවට පස්සෙ උදම් අපර්ණා එක්ක ගෙදර ගියේ ගෙදර වැඩ කටයුතු බලන්න ඕනෙ නිසා. කපල් එකත් එක්ක එන්න සහස්‍රා නැවතුනා.

ආයෙත් හමුවෙමු. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *