මා නොවේ ඈ නුඹේ 59 කොටස

“ආව් ආව් කෙල්ලගෙ මූණෙ තියෙන මනමාල කම. කෝ බලන්න… කෝ කෝ….” සහස්‍රා විහංසාව තනි කරගත්ත ගමන්ම කියවන්න ගත්තා. විහංසා හිනාවෙවී බිම බලාගත්තා.

විහංසා දෙවනි දවසෙ හැඩ වුනේ ඉන්දියන් විදියට. මූණට එළිය වැටිලා තිබුනෙ පුදුමාකාර ලස්සනක් සුන්දරත්වයක්. නැකත් තිබුනෙ හවස. මියුරංගගෙ ගෙදර උත්සවය සූදානම් කලේ ඒ නිසයි.

මනමාල යුවල විහංසාගෙ පැත්තෙ අයත් එක්ක එකතු උනේ සේනාධීර නිවසට කිලෝ මීටර් දෙකක් විතර තියෙද්දි. වෑන් එකෙන් බැහැලා දුවගෙන ආව උදේනයි ලොකු අම්මයි විහංසා බලන්න එබුනා.

“අනේ ඇස් වහක් කට වහක් නෑ නංගි වගේමයි. මට මැවිලා පේනවා එදා මල්ලි නංගිව කැන්දන් ආව හැටි. හරිම ලස්සනයි අපේ මැණික.” ලොකු අම්මා ඇස් වල කඳුලක් පිසදාගනිමින් කිව්වා. උදේන ඇස් වල කඳුලු පුරවන් හිනාවෙවී බලන් හිටියා.

“යමු නේද? ගිහින්ම මනමාලිව බලමු.” දයාන් වාහනේ ඉඳන්ම කතා කලා. දෙවනි දවස කිව්වට මහා ලොකුවට හෝම්කමින් එක ගත්තෙ නෑ. විහංසාගෙ සහ මියුරංගගෙ පවුලෙ අය විතරයි හිටියෙ. චාරිත්‍රයක් වශයෙන් පමණයි උත්සවය ගත්තෙ.

කපල් එක එද්දි අනුරාධ චමත් උදම් සහස්‍රා අපර්ණා ‍එකතු වෙලා රැග් එකක් එහෙම ලේස්ති කරන් හිටියෙ.

සහස්‍රා ගිහින් පිළිගන්වපු අම්බානකට ලුනු දාපු බීම එක බොනකොට විහංසාගෙ මූණ ඇද වෙලා ගියා. සහස්‍රා උඩ පැන පැන හිනාවෙද්දි මියුරංග රවලා බැලුවෙ.

“දැන් ඇති ලමයිනේ….” අප්පච්චි කිව්වම මනමාල යුවල ගෙට ගියා. අම්මා ආදරෙන් සුදු මල් දාපු වතුර වීදුරුවෙන් වතුර පොවලා දෙන්නව ගේ ඇතුලට ගත්තා. අම්මගෙ ඇස් වලට කඳුලක් ආවෙ දැන් ඇගේ පවුල සම්පූර්ණයි කියලා දැනුන නිසා.

හැමෝම සතුටින් ඉඳලා කට්ටිය යන්න ලේස්ති වෙද්දි අදත් විහංසාගෙ මූණ අවුල් උනා. ටික ටික රෑ වෙද්දි කෙල්ලගෙ හිත රිදෙන ප්‍රමාණය වැඩි උනා. යුවති හැම වෙලාවෙම විහංසාගෙ වටේ කැරකි කැරකි හිටියෙ ඇයට තමයි වැඩියෙන්ම දුක.

“තාත්තා….” විහංසා උදේනගෙ උරහිසට හිස තියාගෙන ඇඬුවා. හැමෝම යන්න සූදානම් උනේ ඇස් වල කඳුලු පුරවගෙන.

මනමාල යුවලට සුබ පතලා විහංසාගෙ පැත්තෙ හැමෝම රෑ නවය දහය වෙද්දි ගියා.

“හා හා යමු ඕවා ගලවන්න.” සහස්‍රා විහංසාගෙ අතින් ඇදගෙන උඩට ගියා.

“ආ ඒක නෙමෙයි අපි මොකටද? මොකද එදා ඕවා ගැලෙව්වෙ අපි ඉඳලද.. නෑනෙ. ඔහොම ඉන්න මම සුදු අයියට කතා කරන්නම්.” සහස්‍රා එහෙම කියලා ගිහින් මියුරංගව උඩට එව්වා. විහංසා දොර ලඟට වෙලා බලන් හිටියා මියුරංග එනකන්.

“යමු…” මියුරංග විහංසාගෙ කරට අතක් දාගෙන කාමරේ දොර ඇරියා. මුලු කාමරේම රතු පාට ඉටිපන්දම් පත්තු කරලා ඇඳ උඩ රෝස පෙති අතුරලා හරිම ලස්සනයි. බිම පුරාම රෝස පෙති. ඒ මදිවට බිත්ති වලත් දෙන්නගෙ ෆොටෝස් ගහලා මාර ලස්සනක් තිබුනේ. විහංසාගෙ හිතට කියාගන්න බැරි තරම් සතුටක් දැනුනා. මියුරංග කාමරේ දිහා බලාගෙන හිටියෙ වශී වෙලා වගේ.

“වාව්… ඒක නම් පට්ට.” මියුරංගට කියවුනා. විහංසා සද්ද නැතුව ඉන්නෙ මොකද කියලා මියුරංග විහංසාගෙ මූණ දිහා බැලුවා. ඒ මූනෙ පුදුමයක් ගෑවිලාවත් තිබුනෙ නෑ.

“ඔයා මේකට කැමති නැද්ද?” මියුරංග ඇහුවා.

“ඔයා කැමතිද?” විහංසා ඇහුවා.

“ඔව් ගොඩාක් කැමතියි. මොනව උනත් මේ සර්ප්‍රයිස් එකට නම් උන්ට හොඳ ට්‍රීට් එකක් දෙන්න ඕනෙ.” මියුරංග කිව්වා. ඒ එක්කම පිටිපස්සෙන් ඉඳන් කට්ටිය හිනා උනා. විහංසා ලැජ්ජාවෙ මියුරංගගෙ අතේ එල්ලුනා.

“හරිද? උඹලගෙ සර්ප්‍රයිස් ඉවරද?” මියුරංග ඇහුවේ තව මොනවා කරයිද දන්නෙ නැති නිසා.

“සුදු අයියා මේ ඕවා අපේ සර්ප්‍රයිස් නෙමෙයි හරිද? ඕවා ඔය ඔයාගෙ අතේ එල්ලිලා හුරතල් වෙන එක්කෙනාගෙ සර්ප්‍රයිස්.” සහස්‍රා කිව්වා.

“මොකක්?” මියුරංග පුදුමෙන් බැලුවෙ.

“ඇයි? හොඳ නැද්ද?” විහංසා ඇහුවේ දුකෙන්.

“නෑ… නියමයි. මගෙ කෙල්ල මෙච්චර දෙයක් කරයි කියල හිතුවෙ නෑ මම.” මියුරංග විහංසාව තුරුල් කරගෙන කිව්වා.

“මේ මේ තාම දොර ඇරලා. අපි මෙතන ඉන්නවා. හරියට වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක් බැලුවා වගේ. ශික්” සහස්‍රා කිව්වා.

“ඉතින් යනවකො. අපි ඉන්න කිව්වෙ නෑනෙ.” මියුරංග කිව්වම සහස්‍රා ගස්සගෙන ගියා. කට්ටියම දොර වහන් එළියට ගියා.

“ඇත්තටම ඔයා නම් මාරයි මැණික. මම සර්ප්‍රයිස් උනා. යාන වාහන ගේ දොර දීලා පුදුම කරනවට වඩා මේක කොච්චර දැනෙනවද. ඇත්තටම තෑන්ක් යූ.” මියුරංග විහංසාගෙ කරට අත දාගෙන කාමරේ වටේම ඇවිදිමින් ෆොටෝස් බල බල කිව්වා. විහංසාට සතුටුයි ඇය හිතුවාටත් වඩා හොඳට කට්ටිය වැඩේ කරලා තිබුනා.

“මට ඕන විදියටම වැඩේ කරලා තියෙනවා. නියමයි. හරි ලස්සනයි නේද?” විහංසා දෑත් දෙපසට විහිදලා කියද්දි මියුරංග ඇගේ මූණ දෝතට අරන් ඒ දෙතොල් මත දෙතොල් තැබුවේ උතුරා යන ආදරෙන්.

දෙන්නම වොශ් දාගෙන ඇවිත් ටික වෙලාවක් බැල්කනි එකේ ඉඳන් කතා කර කර හිටියා. මහන්සියට විහංසාට කටත් ඇරෙනවා. විහංසාට ඕනෙ කොහොමත් ඉක්මණට ඊළඟ සර්ප්‍රයිස් එකත් මියුරංගට දෙන්න.

“මහන්සිද? නිදියන්න යමු එහෙනම්. එන්න.” මියුරංග විහංසාගෙ කරවටේ අත යවලා තුරුල් කරන් කාමරේට ගියා. මියුරංග ඇඳෙන් ඉඳගනිද්දිම ජරස් ගාලා සද්දයක් ඇහුනා. විහංසා ගැස්සිලා ගියා. මියුරංගත් වාඩි උන සැණින් ආයෙම නැගිට්ටා.

“ඒ මොකද්ද?” විහංසා මියුරංගට තුරුල් වෙලා ඇහුවා. මියුරංග හෙමිහිට ඇඳ රෙද්ද එහාට කරලා බලද්දි බැදපු පපඩම් මහා ගොඩක් මුලු ඇඳේම අතුරලා. මියුරංගට යකා නැග්ගා.

“මේකත් ඔයාගෙ අයිඩියා එකක්ද?” මියුරංග ඇහුවෙ තරහෙන්.

“අනේ නෑ.” විහංසා බයෙන් කියද්දි මියුරංගට දුක හිතුනා. ඔහු ඇයව තදින් තුරුල් කරගෙන හිස සිප ගත්තා.

“මේක බෙඩ් ශීට් එක පිටින්ම අරගෙන පැත්තකින් තියලා වෙන ශීට් එකක් දාගෙන නිදියමු. මහන්සියිනෙ. සේරම ලස්සනට කරලා අරුන්ට ඕනෙ නිදියන එක පරක්කු කරන්න.” මියුරංගට දුකයි විහංසා බැල්කනි එකේ ඉඳලා ආවෙ ඉක්මණට නිදියන්න ඕන නිසානෙ.

විහංසා හිනාවෙවී කල්පනා කලේ හැමදේම හරියට කරලා මුන් මාවත් ඇන්දුවනේ කියලා.

“ඇයි හිනාවෙන්නෙ.” මියුරංග අලුත් ශීට් එකක් දාන ගමන් ඇහුවා.

“නෑ හැමදේම ප්ලෑන් කරලා දුන්නට පස්සෙ මුන් ටික ඒකත් වෙනස් කරලනෙ.” විහංසා හිනාවෙවීම කිව්වා.

“කියලා වැඩක් නෑ. එන්න නිදියන්න. නිදිමතයිනෙ.” මියුරංග හාන්සි වෙලා විහංසාටත් කතා කලා. ඒ එක්කම කාමරේ ෆෝන් එකක් රිංග් වෙනවා ඇහුනා.

“ඒ කාගෙද?” මියුරංග ඇහුවේ.

“මම දන්නෙ කොහොමද. එන්න බලන්න.” විහංසා මියුරංගත් නැගිට්ටවගෙන මුලු කාමරේම හෙව්වා.

“අනේ මට නම් තව බෑ අහස්. මට හරිම මහන්සියි.” විහංසා පුටුවක ඉඳගෙන කිව්වා.

“නිදියමු අරුන් බෝම්බ හයි කරන්නෙ නෑනෙ. එන්න.” මියුරංග කතා කලා.!

විහංසා ඇඳට නැගලා මියුරංගගෙ පපුවට හිස තියාගෙන හාන්සි උනාම මියුරංග ලයිට් එක ඕෆ් කරා. ඒ එක්කම දෙන්නගෙ ඇඟට මොනවදෝ වැස්සක් වගේ වැටෙන්න ගත්තා. විහංසාට හිනයි. ඒ එක්කම මියුරංග ආයෙම ලයිට් එක දැම්මා. රෝස පෙති වලින් දෙන්නම වැහිලා.

“ඒක නම් ශෝක් නේද?” විහංසා රෝස පෙති යට ඉඳන්ම ඇහුවා.

“ඒකත් මගේ රෝස මලේම ප්ලෑන් එකක්ද?” මියුරංග එහෙම්මම ඉඳන් ඇහුවා.

“හ්ම්ම්.. ඒක නම් මගේ…” විහංසා රෝස පෙති මූණ මතින් ඉවත් කරලා කිව්වා.

“දැන් නම් අස් කරන්න බෑ කෙල්ලේ. නිදිමතයි මට හොඳටම.” මියුරංග කිව්වා.

“මම අස් කරන්නම් ඉතින්. මගේ ප්ලෑන් නෙ.” විහංසා හිනාවෙවී මියුරංගගෙ ඇඟ උඩ තිබුන රෝස පෙති අයින් කලා. ඇගේ වැඩ ඉවර වෙද්දි මියුරංගට නින්ද ගිහින්. උදෙන් නැගිටින්න ඕනෙ නිසා විහංසාත් ලයිට් ඕෆ් කරලා නින්දට ගියා.

____________________________________________________________________

“මල්ලියේ… මේ තේ එක බිව්ව නම්.” ලොකු අම්මා උදේනට තේ එක අරන් ගියා. උදේ තේ එක බොන තැන ඉඳන්ම උදේනට එකින් එක මතක් වෙන්නෙ විහංසා ගැන.

“පිටිද? මට පිටි එපා අක්කේ. ප්ලේන්ටි එකක් හදන්න.” උදේන මිදුලට බැහැලා ඉදලත් අරන් කිව්වා. විහංසාගෙ පදමට පිටි සීනි කහට දාපු රස කිරි තේ එකට ගහන්න කාටවත් තේ හදන්න බෑ. ඒ නිසා උදේන කිරි තේ බොන එක නැවැත්තුවා.

උදේන විහංසාගෙ කාර් එක දිහා බලාගෙන මොහොතක් කල්පනා කලා. විහංසා ගියේ කාර් එක ගෙදර තියලා. තාත්‍තට පාවිච්චියට කියලා විහංසා කාර් එක දුන්නත් උදේන හිතන් ඉන්නෙ වෙලාවක ගිහින් කාර් එක දීලා එන්න. ඒක දුන්නෙ විහංසාගෙ පාවිච්චියටනෙ.

“හ්ම්ම්….” ලොකු අම්මා ටික වෙලාවක් බලාගෙන ඉඳලා හුස්මක් පහතට හෙලලා ගේ ඇතුලට ගියා.

“මේ මනුස්සයා ලෙඩෙක් වෙයි මෙහෙම ගියොත්. අනේ මන්දා.” ලොකු අම්මා එහෙම හිත හිත ප්ලේන්ටි එකක් හැදුවා. කෑම බීම හදද්දි ලොකු අම්මා ගොඩාක් පරිස්සම් උනා උදේනට විහංසා මතක් නොවෙන විදියට වැඩ කරන්න.

එලියෙ කවුද කතා කරන සද්දෙට ලොකු අම්මා ඇවිත් බැලුවා. යුවති උදේන එක්ක හිනාවෙවී කතා කර කර ඉන්නවා දැකලා ඇයට සතුටු හිතුනා.

“දැන්වත් හිත ටිකක් සැනසෙයිනෙ.” ලොකු අම්මට ලොකු තාත්තගෙ වැඩත් එක්ක උදේන එක්ක කතා කරන්න වෙලාවක් ලැබෙන්න්‍ර් නෑ. ඒ නිසයි උදේන ටික ටික තනිවෙන්න උත්සාහ කරන්නෙත්.

“අංකල් ඔයාට දෝණිව මතක් වෙන හැම වෙලාවකම මට කෝල් එකක් දෙන්න. මම ඕනම වෙලාවක ටක් ගාලා මෙහෙට එනවා.” යුවති හිනාවෙවී කිව්වා.

“චූටි දූත් ලඟදිම මැරි කරලා යයි. මම ආයෙම තනිවෙයි.” උදේන පසුතැවිල්ලෙන් කිව්වා.

“අංකල්….” යුවති උදේනගෙ අත් දෙකෙන්ම අල්ලගත්තා.

“අංකල් අපි යමු අපේ ගෙදර?” යුවති අලුත් යෝජනාවක් ගෙනාවා.

“කී දවසකටද?” උදේන හිනාවෙවී ඇහුවා.

“හැමදාටම උනත්.”

“එහෙම පුලුවන් උනා නම් මම දෝණි එක්ක එහේ ගිහින් නේ චූටි.” උදේන එහෙම කියද්දි තමයි යුවතිටත් ඒක මතක් උනේ.

“ඒකත් ඇත්ත නේද?” යුවති හිනා උනා.

“අද දෝණිලා එයි.” උදේන පාර දිහා බලාගෙන කිව්වා. ඔහු මේ පාර බලාගෙන ඉන්නෙ විහංසායි මියුරංගයි එනකන්.
____________________________________________________________________

විහංසා උදේ ඇහැරිලා පහලට ගියේ කට්ටියටම කෑම ලේස්ති කරන්න. එක්කෙනා දෙන්නා ඇහැරිලා පහළට ආවා. මියුරංග ඒත් නෑ.

“ආ… මනමාලි උදේම ඇහැරිලා උයලා. කෝ මනමාලයා.” උදම් ඇහුවෙ කෑම මේසයට ඉඳගන්න ගමන්.

“මම බලලා එන්නම්.” විහංසා හිනාවෙලා උඩට නැග්ගා. කාමරේට යද්දි මියුරංග ඇඳේ.

“සුදු මහත්තයා මොකද මේ කෝලම…” විහංසා ගිහින් මියුරංගගෙ හිස අත ගාලා කතා කලා. මියුරංග නිදි වගේ හිටියා. විහංසාට හිනයි ඇය දැක්කා මියුරංග අවදියෙන් බව.

“අපෝ මෙයාගෙ මල කෝලම්. මොකද මේ?” විහංසා මියුරංගගෙ නලලට හාදුවක් දීලා ඇහුවා. මියුරංග හෙමිහිට ඇස් ඇරියා.

“කොහෙද ගියේ ඉබ්බි උදේ පාන්දරම. මම ඇහැරෙද්දි එයා නෑ. මට ඉතින් කේන්ති ගියා.” මියුරංග බබා වගේ කියද්දි විහංසාට හයියෙන් හිනා ගියා.

“මම උයන්න ගියා. හැමෝම කෑමට ඉඳගෙන. ඔයා නැති නිසා බලන්න ආවෙ. මෙයා මෙතන බබා වෙලා.” විහංසා ආයෙමත් වතාවක් මියුරංගගෙ හිස අත ගාලා නැගිටින්න හැදුවා.

“අනිත් දවසෙ හතරට පහට ඇහැරුනත් මට ඇහැරවන්න ඕනෙ තේරුනාද?” මියුරංග විහංසාව ඇදලා අරන් ඇහුවා.

“අනේ එතකොට ඔයාගෙ නින්ද කැඩෙනවනෙ.” විහංසා දුකෙන් කිව්වෙ.

“ඒකට කමක් නෑ එහෙනම් අඩුම ගානෙ මට ඇහැරෙද්දි මට පේන්න ඉන්න. එච්චරයි. හරිද?” මියුරංග එහෙම කියලා විහංසාගෙ නළල සිප ගෙන නැගිට්ටා.

“වොශ් එකක් දාගෙන ඉක්මණට එන්න පහළට යන්න.” විහංසා මියුරංගට අඳින්න ශෝට් එකකුයි ටී ෂර්ට් එකකුයි ඇඳ උඩින් තියලා කොණ්ඩෙ පීරන්න ගත්තා.

පහළට ගියාට පස්සෙ හැමෝගෙම හොඳ හොඳ ප්‍රතිචාර ලැබුනා විහංසාගෙ කෑම වලට. හවස් වෙලා දෙන්නත් එක්ක පන්සල් ගිහින් ඊට පස්සෙ රෑ කෑමට විහංසාගෙ ගෙදර ගියා.

“තාත්තා….” විහංසා කාර් එකෙන් බැහැපු ගමන් දුවගෙන ගිහින් තාත්තව වැළඳ ගත්තා. උදේන විහංසාගෙ හිස අතගාමින් මොහොතක් හිටියා.

“තාත්තා පාලුවෙන්ද හිටියෙ.” මියුරංග උදේනගෙ දෙපා වඳිමින් ඇහුවා.

“බුදු සරණයි පුතේ. මට ඉතින් කවදාහරි පාලුවෙන් ඉන්න වෙන බව දැනගෙනනෙ මම ජීවත් උනේ. අපි කාට උනත් එහෙම තමයි පුතේ.” උදේන පුටුවකින් ඉඳගෙන කිව්වා. විහංසා කුස්සියට ගියේ ලොකු අම්මත් එක්ක එකතු වෙලා උයන්න.

“අපි කිව්වනෙ තාත්තට අපේ ගෙදර යමු කියලා.” මියුරංග ආයෙමත් උත්සාහ කලා උදේනව සේනාධීර නිවසට එක්කන් යන්න.

කෑම කාලා නවයට විතර දෙන්නත් එක්ක ගෙදර යන්න ලේස්ති උනා.

“දෝණිලාට අද මෙහෙ ඉඳලා යන්න තිබුනා.” ලොකු අම්මට වඳිද්දි ලොකු අම්මා කිව්වා.

“ගිය ගමන් එහෙම එන්න බෑනෙ අක්කේ. පස්සෙ දවසක එන්න බැරියැ ඇවිත් ඉඳල යන්න. නේද පුතා?” උදේන කිව්වා. මියුරංග හිනාවෙලා ගිහින් කාර් එකට නැග්ගා. විහංසාගෙ ඇස් වල අදත් පුංචි කඳුලක් තිබුනා.

මේ වගේ ආදරණීය දින දෙක තුන ගතවෙලා මාස හයක් ගෙවුනා. මියුරංගගෙත් විහංසාගෙත් ආදරේ දිනෙන් දින වැඩි උනා. මේ වෙද්දි උදම්ගෙයි අපර්ණාගෙයි පුංචි පවුල ලොකු වෙලා. අපර්ණාට ලැබුනෙ රෝස මලක් වගේ කෙලි පැටියෙක්.

ආයෙත් හමුවෙමු.

පෝලිමේ එන්න බලන්න මම එදා waiting for කඳුලු කිව්වම රෙදි උස්සන් විහංසාවයි මියුරංගවයි වෙන් කරන්න එපා කියලා මාව කපන්න කොටන්න ආව අය. 😂😂😂

මේ වෙඩින් එක ගන්නකන් මාත් හිටියෙ ලොකු ස්ට්‍රෙස් එකකින්. නැත්නම් හැමදාම කෑගහනවනෙ දෙන්නව වෙන් කරන්න එපා කියලා. දැන් හරිනෙ?

මාත් එක්ක මෙච්චර කාලයක් රැඳුනාට ස්තූතියි. මේ වගේ දිගටම රැඳෙන්න යාලුවනේ.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *