මා නොවේ ඈ නුඹේ 67 කොටස

“නර්ස්… පේශන්ට කොහොමද?” උදම් ඇහුවෙ සේරටම කලින්. කාටත් දැනගන්න ඕනත් ඒකනෙ.

“පේශන්ගෙ හස්බන්ඩ් කවුද?” නර්ස් ඇහුවා.

“ම..මම… එයාට කොහොමද?” මියුරංග සැලෙන කටහඬින් ඇහුවා.

“එයා හොඳින් ඉන්නවා. ඒත් මිසිස් අඬනවා ඔයාව බලන්න. ලොකු ඩොක්ටර් කිව්වා ඔයාව ඇතුලට එක්ක එන්න කියලා.” නර්ස් කිව්වා.

“මල්ලා බය නැතුව යන්න.” උදම් මියුරංගගෙ උරහිස අතින් තද කරලා කිව්වා. හැමෝම ඇස් වල කඳුලු පුරවන් බලන් හිටියෙ. මියුරංග ඇතුලට ගියා.

“මැණික… ඇයි රත්තරං… ඔයාට අමාරුයි නේද? අනේ මට සමාවෙන්න.” මියුරංග විහංසාගෙ අත සිප ගනිමින් කිව්වා. මේ වචන ටිකත් එක්ක ඔහු දහ දොළොස් වතාවක්ම විහංසාගෙ අත සිපගත්තා. විහංසා ආදරේ උතුරන ඇස් වලින් බලන් හිටියා.

“මම ආදරෙයි ගොඩක් මගෙ අහස්.” විහංසා කැඩි කැඩී මේ ටික අමාරුවෙන් ගලප ගත්තා.

“ඔන්න දැන් හරිනෙ මිසිස් සේනාධීර. දැන් හස්බන්ඩ් ලඟ ඉන්නවා. බය වෙන්න දෙයක් නෑ. තව ටිකකින් හැමදේම හරි.” ලොකු ඩොක්ටර් එහෙම කිව්වා. විහංසා මියුරංගගෙ අත තදින් අල්ලගෙන හිටියෙ. පුංචි දරුවෙක්ගෙ ඇඬිල්ල ඇහෙනවත් එක්කම මියුරංගගෙ අත විහංසාගෙන් අතෑරුනා. ඉබේම විහංසාගෙ ඇස් පියවුනා.

“මැණික මගෙ රත්තරං….” මියුරංග ගොඩක් ඈතින් වගේ ඉඳන් කතා කරනවා විහංසාට ඇහුනා. ඇය වටපිට බැලුවත් ඔහු පේන්න හිටියෙ නෑ.

“මහත්තයෝ… මට පේන්නෙ නෑ කෝ ඔයා..” විහංසා පුලුවන් තරම් හයියෙන් කතා කලත් ඇගේ හඬ පිට වෙන්නෙ නැති බව ඇයට දැනුනා. මීට මොහොතකට පෙර ගතේ තිබුන වේදනාව ක්ෂණයකින් නැති වෙලා ගිහින් තිබුනා. ඉබේටම විහංසාගෙ අත ගියේ ඇගෙ කුස දෙසට.

“සුදු මහත්තයෝ…. මගෙ දරුවා..” විහංසා කතා කරා. ඇගේ හඬ පිට වෙනකන් ඇය කතා කරා. ඒත් ඇගේ හඬ පිට වුනේම නෑ.

“විහංසා මගෙ මැණික.. මේ බලන්න අපිට පැටව් දෙන්නෙක්. කොල්ලො දෙන්නෙක්. ඇස් අරින්න.” මියුරංග තියටර් එක දෙක වෙන්න කෑගැහුවා. හැමෝම එළියෙ ඉඳන් අහන් හිටියෙ දරාගන්න බැරි වේදනාවකින් හැම හිතක්ම කීරි ගැහෙද්දි. විහංසාට ලාවට වගේ මියුරංගගෙ හඬ ඇහුනා.

“දෙන්නෙක්. අනේ… මට ඇහෙනවා රත්තරං. මට ඇහෙනවා. මේ මම ඇස් ඇරන් ඉන්නෙ. අහස්… ඔයාට ඇහෙනවද?” විහංසා වටපිට බලමින් කෑගැහුවා. ඒත් මියුරංගගෙ ඇඬිල්ල නැවතුනෙ නෑ.

“විහංසා මගෙ රත්තරං අනේ ඇස් අරින්නකෝ.” මියුරංග විහංසාව බදාගෙන ඇඬුවා.

“දෝණි…” විහංසාට ඇහුනෙ කාලෙක ඉඳන් අහන්න ආසාවෙන් ඉඳපු ඒත් ආයෙ කවදාවත් අහන්න ලැබෙයි කියලා නොහිතපු හඬක්. විහංසා හෙමිහිට හැරිලා බැලුවා.

“අම්මා… මගෙ අම්මා.” විහංසා දුවගෙන ගිහින් අම්මව තුරුල් කරගත්තා.

“අම්මට මම කියන දේවල් ඇහෙනවද?” විහංසා ඇහුවා.

“ඇහෙන්නෙ නෑ දෝණි අම්මට ඔයාව දැනෙනවා.” අම්මා විහංසාගෙ කඳුලු පිසදැම්මා.

“අම්මා මගෙ පැටව් දෙන්නා.. අහස් මගේ පණ. මට එයාලව පේන්නෙ නෑ අම්මා. එයාට මම කියන දේ ඇහෙන්නෙ නෑ. ඇයි අම්මා.” විහංසා අඬමින් ඇහුවා.

“අපි ඉන්නෙ එයාලගෙන් දුර දෝණි.” අම්ම විහංසාගෙ හිස සිඹිමින් කිව්වා.

“විහංසා අනේ ඇස් අරින්න රත්තරනේ. මට මෙහෙම දුක් දෙන්න එපා…” මියුරංග අඬන හඬ ඇහුනා.

“අම්මා මට එන්න බෑ අම්මා. මට එයා ලඟට යන්න ඕනෙ අම්මා. ප්ලීස් අම්මා. මට අහස් ලඟට යන්න ඕනෙ. මගෙ පැටව් මාව හොයනවා. මට බෑ අම්මා.” විහංසා අම්මගෙ තුරුලෙන් මිදිලා ආපස්සට දිව්වා.
____________________________________________________________________

“විහංසා අපි හැමෝමව බය කරා නේද?” විහංසා වෝඩ් එකට දාලා ඇයව බලන්න ආවාම ඩොක්ටර් ඇහුවා.

“අනේ මන්දා මට මොනව උනාද කියලා ඩොක්ටර්.” විහංසා අමාරුවෙන් කිව්වා. මියුරංග තාමත් විහංසාගෙ අතින් අල්ලගෙන ඉන්නෙ. ඔහු එක තත්පරයකටවත් ඇගේ අත අතෑරියේ නෑ.

“විහංසා හරිම ලකී. හස්බන්ඩ් ලඟින් හෙලවුනේ නෑ. අන්තිමට තව ටිකෙන් මම ගුටිත් කනවා.” ඩොක්ටර් හිනාවෙවී කියද්දි විහංසා මියුරංගගෙ කම්මුලක් පිරිමැද්දා.

“එහෙනම් මම යනවා. දවසක් විතර ඉන්න වෙයි ඔයාට. දැන් ගෙදර අයට ඔයාව බලන්න පුලුවන්. තව ටිකකින් සිස්ටර් බබාලව අරන් එයි. හැබැයි දඟලන්න බෑ. තාම ඔයාට සුව නෑ. ටේක් කෙයාර්.” ඩොක්ටර් විහංසාගෙ හිස අත ගාලා ගියා.

“තෑන්ක් යූ..” විහංසා මියුරංගට කිව්වා.

“කොහොමද මාව ඒ තරම් බය කලේ මැණික. මම හිතුවෙ මම මැරුණා කියලා.” මියුරංග කියද්දි විහංසාගෙ ඇස් වලින් කඳුලක් වැටුනා.

“දන්නෙ නෑ… මමත් බය උනා හොඳටම. පාවෙනවා වගේ දැනුනෙ.” විහංසා අම්මා ගැන කියන්න ගිහිල්ලත් ආයෙ සද්ද නැතුව හිටියා නිකන් මියුරංග බය වෙන නිසා.

“සමී….” අපර්ණා දුවගෙන ඇවිත් විහංසාව තුරුල් කරගත්තා.

“අම්මෝ මගෙ ඇඟේ ලේ වතුර වෙලා තිබුනෙ. මෙයාගෙ ඇඬිල්ල විතරයි ඇහෙන්නෙ නර්ස්ලා මුකුත් කියන්නෙත් නෑ. ඔයාට සිහිය ආවා කිව්වමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. හිනාවෙවී ඉඳලා අපිව හොඳටම බය කරා නේද?” අපර්ණා ඇස් වලින් කඳුලු බේරෙද්දි කිව්වා.

“අක්කා… තාත්තට එන්න කියන්න.” මියුරංග කිව්වෙ උදේන ගැන.

“මාත් කිව්වෙ මුලින්ම අංකල්ට එන්න කියලා එයා අඬනවා අඬනවා නවතින්නෙ නෑ. දැන් එයි. උදම් ගියා මූණ සෝදවන් එන්න.” අපර්ණා කිව්වා.

“දෝණි…” උදේන ආවා. විහංසා උදේනට තුරුල් වෙලා ටික වෙලාවක් ඇඬුවා. අම්මා ගැන කියන්න මේක සුදුසු වෙලාව නෙමෙයිනෙ. විහංසා ඒ නිසා තාත්තට තුරුල් වෙලා මොහොතක් හිටියා.

“අපි හොඳටම බය උනා දෝණි. දෙවියන්ගෙ පිහිටෙන් අපෙ කෙල්ලට කරදරයක් නෑ.” අම්මත් ඇවිත් හිස අත ගෑවා. අප්පච්චි එහාට වෙලා ඇස් වල කඳුලු පුරවගෙන බලන් හිටියා.

මියුරංග තත්පරේකටවත් විහංසාගෙන් ඈත් උනේ නෑ. නර්ස්ලා ඇවිත් හිනාවෙලා විහිලු කර කර යනවා. සහස්‍රායි මියුරංගයි විහංසා එක්ක නවතිද්දි අනිත් හැමෝම ගෙදර ගියා. අනුරාධගෙ කාර් එක මියුරංගට තියලා උදම්ගෙ වාහනේ අපර්ණා උදම් අනුරාධ තුන් දෙනා නැග්ගා. අප්පච්චියි අම්මයි උදේනයි වෙනම.

“අම්මෝ මම පරාණ බයේ හිටියෙ. කෝ එන්න මගෙ මැණික.” අපර්ණා දරුවා වඩා ගත්තා. මෙච්චර වෙලාවක් අනුරාධ අතේ නිදාගෙන ඉඳපු කෙල්ල අපර්ණා වඩා ගනිද්දි ඇහැරුනා.

“මාමට හොඳ දඬුවම නේද?” උදම් කියද්දි අනුරාධට හිනා ගියා.

“ආහ් මොන දඬුවමක්ද. මෙයත් දැන් පුරුදු වෙන්න එපැයි.” අපර්ණා කියද්දි අනුරාධ ලොකු කල්පනාවකට වැටුනා.

“මල්ලි… මල්ලි…” අපර්ණා දෙතුන් සැරයක්ම කතා කලාමයි අනුරාධ මේ සිහියට ආවෙ.

“අක්කේ..” අනුරාධ කතා කලා.

“මොන ලෝකෙද ඉන්නෙ? අපි මේ කිව්වෙ ඊළඟට ඔයාටත් දරු සුරතල් බලන්න ලේස්ති වෙන්න වෙයි කියලා.” අපර්ණා කිව්වා.

“දැන් සමීට ටුවින්ස්ලානෙ. සහස්‍රා තව අවුරුදු හතරකටබත් බබෙක් ගැන කතා කරන එකක් නෑ.” අනුරාධ දුකෙන් කතා කලේ.

“ඒ මොකද බං ඒ?” උදම් ඇහුවෙ පුදුමෙන්.

“සමී ප්‍රෙග්නන්ට් කිව්ව ගමන් කිව්වා අවුරුදු දෙකකටවත් බබාලා ගැන කියන්න එපා කියලා.” අනුරාධ කියද්දි උදම්ටයි අපර්ණාටයි හිනයි හොඳටම.

අපර්ණාලා ගෙදර ගිහින් ටිකක් වෙලා යනකන් අප්පච්චිලා ආවෙ නෑ. උදේනව ගෙදරට දාලා එනවා ඇති කියලා හිතන් අපර්ණා දරුවව ඇඳෙන් තියලා තේ හදන්න ගියා.

“දැන් ඉතින් නින්ද යන්නෙත් නෑනෙ. තේ බොමු.” අපර්ණා තේ අරන් ආවා. එතකොටම අම්මලත් ආවා.

“ඒක නම් ඇත්ත දූ. මගෙ හුස්ම ටිකත් නැවතිලා තිබුනෙ කෙල්ලගෙ සද්දයක් නැති උනාම.” අම්මා කිව්වෙ තාමත් හිත ගැහෙද්දි.

“ඔව්. සුද්දගෙ ඇඬිල්ල ඇහුනම මට නම් කිසිම දෙයක් කල්පනා උනේ නෑ. පිස්සු නොහැදුනා ඇති.” උදම් කිව්වෙත් දුකෙන්.

“ඒ කොහොම උනත් මේ සතුට දරා ගන්න පුලුවන්ද? කොල්ලොම දෙන්නෙක්. උදේන කියනවා විහංසා ඉපදුනු දවසෙවත් නොදැනුන සතුටක් අද දැනෙනවලු.” අප්පච්චි කිව්වා.

“දරුවො දෙන්නව බලන්න හෙට උදේම යමු අප්පච්චි.” අපර්ණා කිව්වෙ සතුටින්.

“පූ කොහෙද?” අම්මා ඇහුවා.

“ඇඳේ.. පව් කෙල්ල නිදිමතේ අනුරාධගෙ පපුවට හේත්තු වෙලා බලාගෙන ඉද්දි නින්ද ගිහින්. ආයෙම මම ගන්නකොට ඇහැරුනේ.” අපර්ණා කිව්වා.

“හා.. මෙලෝ සිහියක් නැතුව කෙල්ලත් දාලයි දුවල තිබුනෙ.” අම්මා කිව්වෙ හිනාවෙවී.

“ඇත්තටම කල්පනා උනේ නෑ අම්මා. සමීට දාඩිය දාලා තිබුන හැටි දැක්කම මට වඩාගෙන දුවන්න හිතුනා.” අපර්ණා මතක් වෙද්දිත් ඇඟ හිරිවැටෙද්දි ගොඩක් දුකෙන් කිව්වෙ.

“වෙලාවට උදේනට හාර්ට් ඇටෑක් නැති උනේ. එහෙම උනා නම් සුදු පුතාගෙ කෑගැහිල්ලට ඒ මනුස්සයට හාර්ට් ඇටෑක් හැදිලා.” අම්මත් කිව්වෙ උදේන අඬපු හැටි මතක් කරමින්.

____________________________________________________________________

“ආ මෙන්න අම්මටයි තාත්තටයි දෙන්නට මාරුවෙන් මාරුවට වඩාගන්න පුලුවන්.” නර්ස්ලා දෙන්නෙක් බබාලා දෙන්නව අරන් ආවා. සහස්‍රා හිටියෙ සතුටට උඩ පැන පැන.

“අනේ මට දෙන්නකෝ.” සහස්‍රා අත පෑවා.

“ආ මේ පුංචිද? විහංසාගෙ නංගිද මේ?” නර්ස් කෙනෙක් එක බබෙක්ව සහස්‍රා අතට දෙන ගමන් ඇහුවා.

“නෑ මම මෙයාලගෙ නැන්දා.” සහස්‍රා ආඩම්බරෙන් කිව්වෙ.

“ආ එහෙනම් තාත්තට මෙයාව.” අනිත් බබාව මියුරංගට දුන්නා.

“අනේ සමී… මේ මෙයා නම් සුදු අයියා වගේමයි. මේ බලන්න සුදු අයියා.. ඔයාගෙ වගේ බර්ත් මාක් එකකුත් තියෙනවා නළලෙ. ඒ ඔයාගෙ තියෙන තැනමයි.” සහස්‍රා මියුරංගට බබාව පෙන්නලා කිව්වා.

“ඒ බබා මෙයාගෙත් තියෙනවා එතනම.” මියුරංග හිනාවෙවී කිව්වා. සතුට දෝරෙ යන තරම් මියුරංගට නම්.

“කෝ….” සහස්‍රා ඒ බබාගෙ පැත්තටත් එබුනා.

“දැන් දෙන්නත් එක්ක බබාලගෙ සමානකම් වෙනස්කම් බලන්නෙ මට දෙන්නෙ නැද්ද මගෙ කොල්ලො දෙන්නව.” විහංසා අහද්දි සහස්‍රායි මියුරංගයි හිනාවෙවී බබාලා දෙන්නව දුන්නා. විහංසා අත් දෙකට දරුවො දෙන්නව වඩාගනිද්දි සහස්‍රා එක පැත්තකිනුත් මියුරංග අනිත් පැත්තෙනුත් අල්ලගෙන හිටියා.

“මම වගේ මොනාද තියෙන්නෙ දෙන්නගෙම….” විහංසා හොඳට බැලුවා දෙන්නගෙම මූණු. මාරුවෙන් මාරුවට.

“හොර ගෙඩියො දෙන්නා… අම්මා වගේ නැද්ද?” විහංසා ඇහුවා.

“තියෙනවා…” සහස්‍රා එක පාරම කිව්වා.

“මොකද්ද?” මියුරංගයි විහංසායි දෙන්නම එකට ඇහුවෙ.

“මේ බලන්න කොණ්ඩෙ ඔයාගෙ වගේ. මේ නහයත් ඔයාගෙ වගේ.” සහස්‍රා කිව්වා.

“දැන් මේ දෙන්නව හොයාගන්නෙ කොහොමද මහත්තයෝ.” විහංසාට තිබුන දැවෙන ප්‍රශ්නය ඒක. දෙන්නගෙම කිසිම වෙනසක් දකින්න තිබුනෙ නෑ. එකම වගේ දෙන්නම.

“අම්මෝ මගෙන් අහන්න එපා.. අපි හෙමිහිට වෙනස්කමක් හොයාගමු.” මියුරංග කිව්වා.
____________________________________________________________________

පහුවෙනිදා උදේම කට්ටියම හොස්පිට්ල් ගියා. උදේනට නම් මුලු රෑම ඇහැ පියවුනේ නෑ.

“දෝණි… දැන් කොහොමද මගෙ දෝණිට.” උදේන ඇවිත් හිස අත ගාද්දියි විහංසාට ඇහැරුනේ.

“තාත්තා. මට දැන් හොඳයි. තාත්තා දැක්කද පුතාලා දෙන්නව.” විහංසා ඇහුවා.

“කෝ බලන්න.” උදේන ගිහින් පුංචි කොට් එකේ තියලා තිබුන බබාල දෙන්නව බැලුවා.

“අනේ මගෙ පැටව් දෙන්නා.” උදේන එක්කෙනෙක් වඩාගත්තා.

“ආහ් සීයා වඩාගත්තෙ මගේ පුතාව.” සහස්‍රා උඩපැන්නා.

“මෙයාට ලියල දීලනෙ තාත්තා. නර්ස් ඇවිත් මෙයාගෙ අතට එක්කෙනෙක් දුන්නෙ.” මියුරංග පුදුමෙන් බලන් ඉන්න උදේන ලඟට ගිහින් කිව්වා. එතකොටයි උදේනට හිනා ගියේ.

ඒ එක්කම වගේ වන්දනා දයාන් දෙන්නත් ආවා.

“දෝණි කොහොමද මගෙ දූ.” වන්දනා විහංසාගෙ නළල සිපගෙන ඇහුවා. දයාන් නම් කෙලින්ම ගියේ කොට් එක ලඟට.

“අයියා කිව්ව ගමන්මයි ලේස්ති වෙලා ආවෙ. අපෙ පැටව් දෙන්නා බලන්න.” දයාන් අනිත් බබාව වඩා ගත්තා. විහංසා බලන් හිටියෙ සතුටින්.

“අංකල්… චූටිව හම්බුනාම කියන්න එයා දැන් පුතාලා දෙන්නෙක්ගෙම පුංචි කියලා.” විහංසා ඇස් අගට උනපු කඳුලක් පිහිදාගෙන කිව්වා.

“ඔව් දෝණි… මායි අම්මයි හෙට යනවා චූටිව බලන්න. අනිවාරෙන්ම කියන්නම් අපි එයාට.” දයාන් කිව්වෙ නෑ ඒ දෙන්නා මේ එන්නෙත් යුවති ලඟ ඉඳල කියලා.

“එයා ගොඩක් සතුටු වෙයි.” වන්දනා විහංසාගෙ හිස අත ගෑවා.

“අම්මේ කට්ටියම මෙහේනෙ. මම ඒත් ගෙදර ගිහින් එන්නත් හදලා මෙහෙටම ආවා.” ලොකු අම්මා එහෙම කියාගෙන විහංසාගෙ ලඟට ආවා.

“ලොකු අම්මා…” විහංසා ලොකු අම්මගෙ අත අල්ලගෙන කතා කලා.

“මගෙ දෝණි කාලද? මම පොලොස් ඇඹුලක් එක්ක බත් එකක් බැඳන් ආවා.” ලොකු අම්මා කිව්වා.

“ඒක හොඳයි.. මාත් බඩගින්නෙ හිටියෙ.” විහංසා හිනාවෙලා කිව්වා. ඒ එක්කම අපර්ණා උදම් අනුරාධ අම්මා අප්පච්චි කට්ටියම ආවා.

“කෝ බලන්න අපේ පැටව් දෙන්නා.” කට්ටියම බබාලගෙ ලඟට යද්දි අපර්ණා විතරක් විහංසා ලඟට ආවා.

“දැන් කොහොමද කෙල්ල?” අපර්ණා විහංසාගෙ හිස සිපගෙන ඇහුවා.

“හොඳයි අක්කා.” විහංසා හිනාවුනා.

“කාටවත් දැන් මාව මතක නෑනෙ. මගෙ අක්කට විතරයි මාව මතක් උනේ.” විහංසා මූණ එල්ලන් කිව්වා.

“අනේ මැණික ඉතින් අලුත් අයව බලන්නත් එපැයි.” අම්මා එහෙම කිය කිය එක දරුවෙක් වඩාගෙන ආවා.

“කෝ බලන්න අම්මා..” අපර්ණා බබාව වඩා ගත්තා.

“ඒ මල්ලි වගේමයි. සමීගෙ ඇස් දෙක නේද? මුගේ බර්ත් මාර්ක් එකක් හරියටම එතන තියෙනවා.” අපර්ණා දරුවගෙ මූණ දිහා බලාගෙන කියනවා.

“අක්කා ඔයාට කියන්න මේ දෙන්නගෙ කිසිම වෙනස්කමක් නෑ හලෝ. එකම වගේ.” සහස්‍රා මූණ එල්ලන් කිව්වෙ.

“කෝ බලන්න.” අපර්ණා උදම් ලඟට ගියා දැන් අනිත් බබා උදම්ගෙ අතේ නිසා.

“අප්පා ඔව්මයිනෙ බං. සමී උඹට මරු. එකාටම කිරි දෙයි දෙපාරක්.” අපර්ණා හිනාවෙවී කියද්දි කට්ටියටම හිනයි.

ආයෙත් හමුවෙමු.

හැමෝගෙම ඉල්ලීම නිසා දුන්නෙ. හැබැයි ආයෙම හෙට හවසට. 😊😊😊 විහංසා මරන්න එපා කියලා ගොඩක් අය කිව්වා. විහංසා මරන්න තරම් මට හයියක් නෑ. 😔😔මොකද මේ කතාවෙ හැමෝම මගේ හිතේ ජීවමානයි. ඉතින් මට එයාලව මරන්න බෑ.

යුවතිගෙ රහස ඉක්මණටම කියනවා. එතකන් ඉවසන්න. දිගටම රැඳෙන්න යාලුවනේ. ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *