~~~සමනළ වසන්තය ~~~~02 කොටස

ගිරවාගේ කේස් එකෙන් පස්සේ කෝකටත් කියලා ටික දවසකට හිරූ හොද ළමයෙක් උනා … කිසිම කලබලයක් නැතිව හරි අහිංසක විදිහට තමා මම හිටියේ …. මොකද මම දන්නවානේ ආපහු දග වැඩක් කරලා අහුවුනොත් දඩුවම සැරයි කියලා …. ඒත් ඉතින් බලු වලිගේ ඇද අරින්න බැහැ කියනවා නේ උණ පුරුකේ දැම්මත් … ඔන්න දෙයියනේ කියලා සතියක් විතර ගෙවුනාට පස්සේ මම ආපහු පරණ පුරුදු හිරූම උනා ….
මම ඉස්කෝලේ යන්න ඉස්සර වෙලා අල්මාරිය ඇරලා මගේ ප්ලාස්ටික් ගෙම්බා අරගෙන සුදු ගවුමේ සාක්කුවේ දාගත්තේ සදූ කාමරේ නැති වෙලාවක් බලලා … මට ඕන උනේ මොකක් හරි දගකාර කමක් කරන්න ..
‘මොකක්ද හොරෙන් හොරෙන් සාක්කුවේ දාගත්තේ …’ වෙලාව කියන්නේ එතකොටම කොහේදෝ ඉදලා සදූ කාමරේට ඔළුව දැම්මා …
‘මේ ඕන දේටයි එපා දේටයි ඔක්කොටම කට දාන්න එන්න එපා හරිද ….’ මම සදූට කඩාගෙන පැන්නේ හොරේ මාට්ටු වෙන්න ආව නිසා ..
‘අපෝ මෙයාගේ තියෙන නපුරු කම …. මම යනවා තමුසේ එනවා නම් එනවා …’ කාමරේට ඇවිත් පොත් බෑග් එක කරේ එල්ලාගත්ත කෙල්ල මට ගස්සාගෙනම කාමරෙන් එළියට බැස්සා …
මම ටික වෙලාවකට පස්සේ කාමරෙන් එළියට බහිද්දී සදූ අම්මාට කියලා බත් කවාගන්නවා ..
‘හිරූ ඔයත් එන්න .. බත් කටක් කන්න … ‘ සුපුරුදු පරිදි අම්මා මට ලගට කතා කළා … මුහුණත් බේරී කරගෙන එයා ලගට යද්දී සදූ පැත්තක ඉදලා විරිත්තනවා …..
‘අනේ අම්මා …. මට බත් කන්න බෑ ..’ මම නහයෙන් අඩ අඩම අම්මා අනලා කැවුව බත් කටවල් දෙක තුන කාලා දැම්මා …..
‘හිරූ ඔයා කෑම කන්න හරිම හොරයි …ඔන්න අප්පච්චි එනවා කිව්වා ඉරිදාට … මට නම් උත්තර දෙන්න බැහැ එයා අහන දේවල් වලට ඔන්න …. අප්පච්චි අහයි මම ඔයාලාට කන්න දුන්නේ නැද්ද කියලා ..’
අම්මා කිව්ව දේවල් වලින් මගේ කනට වැටුනේ අප්පච්චි එනවා කියන සුභ ආරංචිය විතරයි …. මම වගේම සදුත් කැමති කොහොමත් එයා ගෙදර එනවාට ….අපි දෙන්නාම දන්නවානේ එයා ආවහම අපිට ගොඩක් තැන්වල ඇවිදින්න යන්න පුළුවන් අපි ආස කරන දේවල් අරන් දෙනවා කියලා ..
‘ඇත්තමද අම්මා අප්පච්චි එනවාද ….. අනේ ෂෝයි …’ මට දැනුන සතුට නිසා උඩ පැන්නා ..
‘ඔව් ..ඔව් ..දැන් ඔය නැටුවා ඇති දැන් ඉස්කෝලේ යන්න ….. ‘’
අම්මා එහෙම කිව්වට පස්සේ මම හිතේ තිබ්බ සතුටත් එහෙමම තියාගෙන සදුවත් ඇදගෙන ගෙදරින් එලියට බැස්සා ….

******
එදා දවසටම පුංචිම විවේකයක්වත් තිබුනේ නැහැ … කොච්චර ට්‍රයි කලත් සිංහල සමිතිය වේලාව වෙනකන්ම මට දග වැඩක් කරන්න චාන්ස් එකක් ආවේ නැහැ ..
‘පුජනී …..පුජනී …’ සමිතිය වෙලාවේදී මම පුජනිට කතා කලේ කෙල්ලවත් මගේ වැඩේට හවුල් කරගන්න හිතාගෙන …. පන්හය සියක් කෙල්ලෝ පිරිච්ච ශාලාවේ අපි හිටියේ අන්තිම පේළියේ ….කොහොමත් මම හැමදාම අන්තිම පේළියට ඉන්න තමා ආස උනේ …
‘මොකද බන් කෑ ගහන්නේ …’ පුජනි හෙමින් හෙමින් එහෙම ඇහුවේ කාටහරි ඇහෙයි කියලා බයෙන් වටපිට බලන ගමන්මයි
‘මේන් …..’ මම ගවුම් සාක්කුවෙන් ගෙම්බාගේ ඔළුව එළියට දැම්මා … ගෙම්බාව දැක්ක පාර පුජනීගේ මුහුණ දෙල් වෙලා ඇද වෙලා ගියා …
‘අනේ උබ ඔච්චර වෙලා ඔය ගෙම්බාව සාක්කුවේ දාගෙනද හිටියේ …’ එයා බයෙන් වගේ මගෙන් පොඩ්ඩක් ඈත්වූනා …
‘ඔව් සාක්කුවේ තමා හිටියේ …’
‘ හිරූ මම ඉස්සරහා පේළියට යනවා ….’ එකපාරටම පුජනී ගාල කඩාගත්ත මොකාද එකා වගේ දුවන්න කියලා ලැහැස්ති උනා ….
‘මෙහෙ හිටපන් …. මේකා ප්ලාස්ටික් …..’ මම එහෙම කිව්ව පාර ලේ හිදිලා තිබ්බ කෙල්ලගේ මුහුණ මලක් වගේ පිපිලා ආවා …
‘උබ නම් කලොත් කරන්නේ ඔය වගේ පිංගුත්තර වැඩක් තමා …’ ඉස්සරහා රැස්වීම කරගෙන යද්දී අපි දෙන්නා අපේ කතාව කරගෙන ගියා ….
‘මේ ….පුජනී ….. ‘’ මම ආපහු පුජනීට කතා කළා … එයා ඇස් කොනින් බැලුවේ ඇයි අහන්න වගේ …
‘පොඩ් වැඩක් කරමුද …. ‘’
‘මොකක්ද ….’
‘කේතකිව බය කරමු …’ මම එකපාරම එහෙම කිව්වාම පුජනී ඇස් කරකවලා මගේ දිහා බැලුවා …
‘පිස්සු නැතිව හිටපන් …. ’ පුජනී එහෙම කිව්වත් මට නම් දැන් ඉවසගෙන ඉන්න බැහැ ..ඉස්සරහා පේලියේ වාඩිවෙලා හිටපු කේතකිලා හෙලවෙන්නේවත් නැතිව බලාගෙන ඉන්නේ ස්ටේජ් ඒකේ සින්දු කියන කෙල්ල දිහා …. මට දෙපාරක් හිතන්න ඕන උනේ නැහැ ….. සාක්කුවට අත දාලා ගත්ත ගෙම්බාව ගුවන්ගත කල කළා …… හරියටම ඌ වැටුනේ කේතකිගේ කකුල් දෙක ලග …
‘ගෙම්බෙක් ගෙම්බෙක් ..’ කේතකි එහෙම කියාගෙන පුටුව උඩට නැගගත්තා ….අනිත් කෙල්ලෝ හෝල් එක පුරාම දුවන්නයි කෑ ගහන්නයි ගත්තා … එකම ජංජාලයයි … …. ඉස්සරහා හිටිය මිස්ලා ගල් ගැහිලා වගේ බලාගෙන ඉන්නවා වෙච්ච දේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරිව … මම පිටට එන්න හැදුව හිනාව අමාරුවෙන් පාලනය කරගෙන පිස්සු හැදිලා වගේ දුවන කෙල්ලෝ දිහා බලාගෙන හිටියා …
‘මොකක්ද කේතකි උනේ …’ ස්ටේජ් එකේ හිටිය ගීතිකා මැඩම් දුවගෙන වගේ කේතකි ගේ පුටුව ලගට ආවා …..
‘මිස් ගෙම්බෙක් …ගෙම්බෙක් …’ කේතකි ඇස් දෙකත් ලොකු කරගෙන මිස්ට ගෙම්බාව පෙන්නනවා …මිස් පාත්වෙලා ගෙම්බාව අතට අරන් පශ්චාත් මරණ පරීක්ෂණය කරන්න වගේ එහෙටයි මෙහෙටයි හරවා හරවා බලනවා …ටික වෙලාවකින් මිස්ගේ මුහුණ කළු වෙලා ගියා ….
‘මේක මේ ප්ලාස්ටික් එකක් නේ …. කේතකි බහින්න පුටුවෙන් බිමට ….’ මිස් එහෙම කියලා ගෙම්බාවත් අරන් ස්ටේජ් එකට යද්දී කේතකි අඩාගෙනම පුටුවෙන් බිමට බැස්සේ සිද්ද වෙච්ච අකරතැබ්බ ගැන ලැජ්ජාවෙන් ….
ස්ටේජ් එකේ පැත්තක හිටිය දීප්ති මිස් ලගට ගිය ගීතිකා මිස් ගෙම්බාව එයාගේ අතේ තියලා මොන මොනවාද කියෙව්වා ….
‘මට බයයි හිරූ ….’ .. මට එහා පැත්තේ හිටිය පුජනි ඩක ඩක ගාලා ගැහෙනවා ….
‘කව්ද මේ බුරු වැඩේ කරපු බුරුවා’ … විනය භාර මිස් මුළු හෝල් එක පුරාම බැලුවේ කෙල්ලන්ගේ මුහුණු වලින් හොරෙ අල්ලා ගන්න වගේ … ….. පුජනී ගැහෙනවා මහා හයියෙන් …
‘පුජනී …පුජනී …. තමුන්ද මේ වැඩේ කරේ …. ‘ විනය භාර මිස්ට පුජනී නිසා වැඩේ අතේ මාට්ටු වෙන්න යන්නේ …. පුජනී බයටම ඔළුව උස්සන්නේවත් නැතිව ඉන්නවා … මම නිසා පුජනිව අමාරුවේ දාන්නත් බැහැ …… මුළු ශාලාවේම හිටිය එක කෙල්ලෙක්වත් පුංචිම ශබ්දයක්වත් කරන්නේ නැතිව බලාගෙන ඉන්නේ මොනවා වෙයිද කියලා වෙන්න ඕන .. පුජනිට ඇඩේන්න වගේ ….
‘මම තමා ඒ වැඩේ කලේ …’ ඉස්සරහට යන්න ගිය පුජනිව පස්සට ඇදලා දාලා මම ඉස්සරහට ගියේ මද්දුම බණ්ඩාර වර්ෂන් එකෙන් …..
‘මෙහෙ එනවා ….’ දීප්ති මැඩම් උගුර යටින් කෑ ගහද්දි මම සිල් ගත්ත උපාසිකාවක් වගේ ඉස්සරහට ඇවිදගෙන ගිහින් වේදිකාවට ගොඩ උනා …තව ටිකකින් මේ සභාව මැද්දේ මට ගුණ වරුණාවක් අහන්න වෙනවා කියලා මම දැනගෙන හිටියා ….
‘ඔය ළමයාට කි සැරයක් කියලා තියෙනවාද සංවර විදිහට ඉන්න කියලා …… කෝ ඔය අත ඉස්සරහට කරනවා ….. ආයේ එහෙම මේ වගේ දෙයක් කරලා අහුවෙන්න එපා ..’ චටාස් පටාස් එක දිගට පාරවල් දෙක තුනක් මගේ අතට වැදුනා …… මම සදු දිහා බැලුවා කෙල්ල බලාගෙන ඉන්න විදිහට නම් අද දෙක තුන කරලා වෙච්ච දේ අම්මාට කියනවා … අතට දැනුන රිදුමට වඩා මට ලැජ්ජා හිතුනේ සදු ඉස්සරහා ගුටි කන්න උන එක ….
මම වේදිකාවෙන් බැහැලා එන්න කියලා ආපහු හැරුනා …..
‘කොහෙද යන්නේ ඔහේ ඉන්නවා …..සමිතිය ඉවරවෙනකන් මෙතෙන්ට වෙලා මේ ගෙම්බාව අල්ලාගෙන ඉන්නවා …’ ඉවරයි කියලා හිතුවාට ඒකෙත් ඉවරයක්ම නැහැ ….. හිටිය තැනම නැවතිලා ගෙම්බාවත් අතේ තියාගෙන සැරින් සැරේ මට විරිත්තන කෙල්ලොන්ට රව රවා පැයක් ඉන්න සිද්ද වෙන එක කොයිතරම් අමාරු වැඩක්ද දෙවියනේ ..

********

‘ හිරූ …හිරූ’ මම විවේක සුවයෙන් ඉන්න කියලා බෙඩ් එකට පැන්නා විතරයි ඔන්න අපේ අම්මා මගේ නම කටපාඩම් කරන්න පටන් ගත්තා …
‘ඇයි අම්මා මේ එනෝ …’ මම එයා හිටිය තැනට දුවගෙන යද්දී අම්මා සදූව අල්ලාගෙන එයාගේ කොන්ඩේ පීරනවා …. ෂුවර් එකට මෙයා එක දෙක නෙවේ තුන හතර කරලා අම්මාගේ කනේ තියලා ඇති උන දේවල් …..
‘ඇත්තද ඔයා ඉස්කෝලේ ඇතුලේ පෙරලි කරනවා කියලා කියන්නේ …’ අම්මා එහෙම කියද්දී මම මොකුත් නොදන්න තොත්ත බබා වගේ එයා ලගට ගිහින් පපුවට තුරුළු උනා
‘අම්මාට කව්ද මයේ අම්මා ඔය බොරු කේලම් කිව්වේ …. ඔයා දන්නවා නේ ඔයාගේ හිරූ කවදාවත් පෙරලි කරන්නේ නැහැ කියලා ….’ මම බබා පාර්ට් එක දාන ගමන් සදූව පැත්තකට තල්ලු කළා …
‘අම්මා මෙන්න මෙයා මාව තල්ලු කළා …. ‘ සදු නහයෙන් අඩන්න ගත්තා
‘මොකක්ද හිරූ ඔයාට වෙලා තියෙන්නේ … හැමවෙලේම ඔයා කරන්නේ මේ කෙල්ලව අඩවන එක…’ අම්මා මාව පැත්තකට තල්ලු කරලා දැම්මේ දෙහි කපන ගමන්මයි …. මමත් ඉතින් හැමවේලේම කරන්නේ ඇදගෙන නාගන්න එක නේ …
‘ඔයා නාඩා ඉන්න මගේ පණ …. ඔයා දන්නවා නේ එයාට පිස්සු කියලා …’ අම්මා සදූව නලවනවා පුංචි බබෙක් වගේ …
‘අම්මා මට ආදරේ නැහැ නේ …… ‘’ මම බොරු තරහක් පෙන්නලා කාමරේ දිහාවට දිව්වේ අම්මා තවත් ඇහුවොත් ඉස්කෝලේ උන දේවල් මගේ කටින්ම කියන්න සිද්ද වෙයි කියලා හිතුන නිසා
සදු නම් පොඩි බබෙක් වගේ මගේ කසින් කියන්නත් ලැජ්ජයි අප්පා …. මම ඇදට වෙලා කල්පනා කර කර හිටියා විකාර දේවල් …..
‘හිරූ ….හිරූ …’ අම්මා බෙඩ් එක ලගට ඇවිත් මට කතා කරත් මම නිදි වගේ ඇස් පියාගෙන හිටියා ..
‘අම්මා එක්ක තරහා වෙලාද හොර පුසී වගේ නිදාගෙන ඉන්නේ …කෝ ඇස් අරින්න හොද බබා වගේ …. ‘’’ අම්මා මගේ ලගටම ඇවිත් මගේ ඔළුව උස්සලා එයාගේ ඔඩොක්කුවේ තියාගත්තා …
‘කෝ ඉතින් ඇස් ඇරලා අම්මා දිහා බලන්න …’ අම්මාගේ හිත රිදෙයි කියන බයට මම හෙමින් ඇස් ඇරලා බැලුවා … අම්මාගේ ඇස්වල ලොකු ආදරයක් තිබුනා ..මම දැනගෙන හිටියා … එයා මටයි සදුටයි කියලා ආදරේ බෙදලා වෙන්කරේ නැහැ කියලා …. එයාගේ හිතේ අපි දෙන්නාටම තිබුනේ එකම ආකාරයක ආදරයක් ..
‘අම්මා එක්ක තරහද …’ අම්මා මගේ නළලට කිස් එකක් දීලා එහෙම අහද්දී මම උත්තර දුන්නේ එයාගේ බෙල්ල බදාගෙන කම්මුලට කිස් එකක් දීලා …
‘නැහැ අම්මා …මම ආදරේ ඔයාට ..’
‘අම්මා ඔය දෙන්නාට ගොඩක් ආදරේ මගේ පුංචි කෙල්ලේ …… අම්මලාගේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ ..’
‘මම දන්නවා මගේ අම්මා ….. ඔයා එක්ක මම මෙන්න මෙච්චර චුට්ටක්වත් තරහා නැහැ … ‘ මම ඇගිලි පුරුකක් පෙන්නලා එහෙම කියද්දී අම්මාට හිනා ගියත් ආපහු මුහුණ බැරෑරුම් කරගත්තා …
‘හිරු …ඔයාට දග කරන්න එපා කියනවා නෙවෙයි …… ඒ උනාට ඔයා දැන් ලොකුයි ඒ නිසා හොද ළමයෙක් වෙන්න ‘
අම්මා එහෙම කිව්වම මම කිසිම උත්තරයක් දෙන්න ගියේ නැහැ..මොකද මම දැනගෙන හිටියා හොද ළමයෙක් වෙන්න හිතන තරම් ලේසි නැති බව ..
‘අම්මේ නිදිමතයි …..’ සදු ඇස් දෙකත් පොඩි කර කර එතකොටම කාමරේට ආපු නිසා අම්මාට ඊට එහා දෙයක් කියන්න හම්බ උනේ නැහැ ……
‘එහෙනම් දැන් නිදා ගන්න …..’ අම්මා අපි දෙන්නා නිදාගත්තාට පස්සේ අපිට බෙඩ් ෂිට් පොරවලා නළලට කිස් එක ගානේ දීලා කාමරෙන් එලියට යන්න ගියා ….
ගෙදර කොච්චර කාමර තිබ්බත් සදුටයි මටයි වෙන්කරලා දීලා තිබුනේ එකම කාමරයක් … මොකද අම්මා වගේම අප්පච්චි හිතුවෙත් අපි දෙන්නා එකම කාමරයක හිටියොත් තනියක් පාළුවක් දැනෙන්නේ නැතිවෙයි කියලා ….සදුටයි මටයි එකම විදිහේ ඇදුම් එකම විදිහේ සපත්තු තමයි හැමදාම හම්බවුනේ … අම්මලා හිතුවේ එහෙම උනොත් අපි දෙන්නාගේ බැදීම වැඩිවෙයි කියලා ….
*****
ඒ සෙනසුරාදා උදේ ඉදලා අම්ම බලාගෙන හිටියේ අප්පච්චී එනවා කියලා කෝල් කරලා තිබ්බ නිසා …උදේ ඉදන්ම අම්මාගේ වැඩේ අප්පච්චි කැමති කෑම වර්ග හදන එක …… ගොඩක් රෑ වෙනකන් අප්පච්චි ආවේ නැති නිසා සදුයි මායි නිදාගන්න යැව්වත් අම්මා අප්පච්චි කොයි වෙලාවේ හරි එයි කියලා බලාගෙන හිටියා …
‘මගේ දරුවෝ …..’ එකපාරටම මහා රෑ මැද අප්පච්චි කතා කෙරුවාම මමයි සදුයි දෙන්නාම ඇහැරුනා ……
‘අප්පච්චි ආවාද …’ හමුදා නිළ ඇදුම පිටින් හිටිය අප්පච්චී ලගට දුවගෙන ගිහිල්ලා මම එයාට තුරුළු වෙද්දී සදුත් එක පිම්මට අප්පච්චි ලගට පැන්නා ….ඒ උණුසුමට සදුයි මායි ගොඩක් ආස උනා ….. අප්පච්චි ලගදි දැනෙන සැනසීම කා ලගවත් දැනෙන්නේ නැතිබව අපි දෙන්නාම දැනගෙන හිටියා …
‘ අප්පච්චි දැම්ම යන්නේ නැහැ නේද …’ සදූ සතුට දරාගන්න බැරිව අඩනවා ….. සමහර දවස් වල අපි නිදාගෙන හිටිය වෙලාවට හිනෙන් වගේ අප්පච්චි ඇවිත් ගිය අවස්ථා ගොඩක් තිබුන නිසා තමා සදූ එහෙම ඇහුවේ ….
‘නැහැ මගේ පැන්චියේ … මම සතියක් නිවාඩුයි …
‘මගේ හොද අප්පච්චි ….’
‘දැන් නිදාගන්න මගේ කෙල්ලෝ දෙන්නා …හෙට අපි කතා කරමුකෝ ..’
අපි දෙන්නාට ඕන උනේ මුළු රෑම ඇහැරලා ඉන්න උනත් එයා කිව්ව දේ අහන්නේ නැතිව ඉන්න අපි බයඋනා … අප්පච්චි අපිට නිදාගන්න කියලා ගියාත් ඊට පස්සේ අපි දෙන්නාට නින්ද ගියේ නැති තරම් …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *