~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~14 කොටස

ඕනෑම දෙයකට මුහුණ දීමට මා සිතට දිරිගෙන උන්නෙමි …හෙටින් පසු මා මේ නිවසින් පිටව සියල්ලන්ගෙන් ඈත් වෙන බව සිහිවෙන විට සියුම් බියක් සිත ආක්‍රමණය කරන්න විය … එහෙත් ඉදිරියට තැබූ පය පසු පසට තැබිය නොහැකිය … සිදුවන්නක් උනාවේ සිතා සුදානම් කල ගමන යා යුතුය … මා නිසා පවුලට සිදුවන අවනම්බුව මට සිහි නොවුනා නොවේ …. එහෙත් සියල්ලන් වෙනුවෙන් මගේ සතුට කැප කල නොහැකිය …

ඒ රැය පුරා එක මොහොතක් හෝ මා ඇස නොපියවා මා බලා උන්නෙමි … උදේ පාන්දර පිරිත් සජ්ඣායනාව ඈතින් ඇසෙද්දී අවදි වූ මා අතට අසුවූ ඇදුම් දෙක තුනක් බෑගයකට දමාගත්තෙමි .. තාත්තා විසින් පසු ගිය දිනවල මංගල්‍යයේ කටයුතු වලට වියදම් කිරීමට දුන් සුළු මුදලක් බෑගය තුලට දමාගත් මා සියල්ලටම රහසින් නිවසින් එලියට බැස්සෙමි …මම්මා දමා යෑමට සිතුනා නොවේ …. ඇය මා අසල උන්නේ අම්මාගෙන් මා නොලද සෙනෙහ ලබා දෙමිනි …. තාත්තාට පිටුපෑම ගැන දුක නොසිතුනා නොවේ …… ඔහුට මගේ සතුට වැදගත් නොවේ නම් මා මගේ සතුට සොයා යා යුතුය … තරිදු සමග ගොස් නිරයට වැටීමට වඩා තනිව දිවි ගෙවීම මට වටිනේ විය ..

සමාරා මා එනතුරු බස් නැවතුමේ බලා උන්නාය …..

‘ මම හිතුවේ එන්න හම්බ වෙන්නේ නැති වෙයි කියලා ..කාටවත් සැක හිතුනේ නැහැ නේද ..’
සමාරා මා හා කතා කලේ වායුසමීකරණය කල බස් රථය තුල අසුන් ගත් පසුවය …
‘ කවුරුත් හිතන්න නැතිව ඇති පහු ගිය දවස් ටිකේ මම හිටිය විදිහට මම මේ වගේ ගමනක් යයි කියලා … කාටවත් සැක හිතෙන්නේ නැති විදිහට මම හිටියේ ..’
මා සැනසුම් සුසුමක් හෙලමින් පැවසිය .. තරිදු සමග එක්වී තාත්තා රත්නපුරේ නගරය පුරා අස්සක් මුල්ලක් නෑර මා සොයන බව දනිමි … මා සොයා ඔහු බෙහෙවින් කෝපයට පත්වෙන බවද දනිමි … තාත්තා පව් කියා ආ සිතුවිල්ල මැකී ගියේ ඔහු මට කල නපුරු කම් සිහිවෙන විටය …

කොළඹට යනතුරුම මා උන්නේ සමාරාගේ අතක වෙලිය …. සැවොම අතහැර නිවසින් එලියට ආ මට තිබු එකම සැනසිල්ල ඈ පමණි …. මා සිහින අයියාට වුව නොපවසා මේ ගමන පැමිණියේ හුදෙක් සමාරා විශ්වාස කරය …
කිරිබත්ගොඩ නගරයෙන් බසයෙන් බැස ගත් අපි ත්‍රි රෝද රථයක නැගී සමාරාගේ යෙහෙළියගේ නිවසට ගියෙමු …. මදක් නගරයෙන් ඈතට වෙන්න පිහිටිය ඒ නිවස පිහිටියේ ප්‍රධාන මාර්ගයට ආසන්නයේමය .. නිවැසියන් අප පිළිගත්තේ ඉතා සුහදශිලිවය ….
‘නයනි අක්කා මම මේ කිව්වේ මගේ යාලුවෙක් ගැන එයා තමා …ටික කාලෙකට මෙහෙ නතර කරගන්නවද ලොකු උදව්වක් … ‘’

‘අනේ ඕක මොකක්ද නංගි …ඕන කාලයක් මෙහෙ ඉන්න …’ නයනි අක්කා ඉතාම කරුණාවන්ත පාටය …

සමාරා මා පිළිබද සියලු තොරතුරු යෙහෙළියට පවසා තිබු නිසා ඔවුන් වැඩි විස්තර අසන්න ආවේ නැත .. විවාහක කාන්තාවක් වූ නයනි අක්කා ජිවත් වුවේ ඇගේ සැමියා සමගම මහගෙදර ආසන්නයේම නිවසකය .. මහගෙදර ජිවත් වුවේ ඇගේ බාල සොයුරා සහ දෙම්ව්පියන්ය ..ඔවුන් මා වෙනුවෙන් ඒ නිවසේ කාමරයක් සුදානම් කර තිබුණි ……

මා ඒ නිවසේ නතර කල සමාරා පසුදා උදෑසනින් පිටව ගිය පසු සුපුරුදු පාළුව මා වටා දැවටෙන්න විය … තනිව ජිවත් වෙන්නම් කියා ආවත් ජිවත් වෙන්න මාර්ගයක් හෝ මා නොදැන උන්නෙමි .. අතේ සත්තකටම තිබුනේ රුපියල් දෙතුන් දහසකි …. එය මසක වියදමකට හෝ මදිය .. ඔවුන් කෙතරම් හිතවත් වුවද මාසය අවසානයේ කෑම බිම සහ ඉදුම් හිටුම් වෙනුවෙන් මා මොවුන්ට මුදලක් දිය යුතුය … මෙලෙස නිකමෙකු සේ ජීවත්වීමෙන් මේ කිසිවක් කල හැකි නොවේ … ඉතින් මා නයනි අක්කාට පැවසුවෙමි සුළු රැකියාවක් හෝ මා වෙනුවෙන් සොයා දෙන ලෙසට ..

‘නයනි අක්කා ඔයා මට ජොබ් එකක් බැලුවාද ..’

මම නැවත වරක් නයනි අක්කාගෙන් ඇසුවේ කුමක් හෝ පුංචි රැකියාවක් හෝ සොයාගැනීමට ඇය සහය වේ යැයි සිතාය …

‘ අර පාරෙන් එහා පැත්තේ ගාමර්ට් එකට නම් කට්ටිය ගන්නවලු ..ඒත් අපේ මහත්තයා කැමති නැහැ ඔයා වගේ ඇහැට කනට පේන කෙල්ලක් ඔතන වැඩට යනවට … අනික ඔයා තාම පුන්චිලු ජොබ් එකක් කරන්න ..’

ඔවුන් මේ ටික කාලයට මට බෙහෙවින් ආදරය කළේය ….ඒ මගේ අවිහිංසක කමට වෙන්න ඇත ..

‘අනේ අක්කා ලොකු පිනක් මට එතැන හරි කමක් නැහැ ජොබ් එකක් හොයලා දෙන්න ..මම මේ වෙලාවේ ගොඩක් අසරණ වෙලා ඉන්නේ … ‘’
මා ඇගේ දෑත් තරයේ අල්ලා ගත්තෙමි .. ඈ මගේ දෑසේ වූ ආයචනය තේරුම් ගන්න ඇත ..

‘එහෙනම් හෙට උදේම ලැහැස්ති වෙන්න ….. මම අදුරනවා ඒ ගාම්ර්ට් එකේ ලොක්කා අපි ගිහින් හම්බ වෙමු ..’

එවිටය මගේ සිතට සැනසුමක් ලැබුනේ … රැකියාවක් ලැබුනොත් මේ ප්‍රශ්න එකින් එක හෙමින් විසදා ගත හැකිය .. ඉන් පසු සිහින අයියා වුව මුණ ගැසීමට ක්‍රමයක් සොයාගත හැකිය …

‘මිස්ටර් දිනපාල මේ මගේ කසින් කෙනෙක් .. අපේ ගෙදර නැවතිලා ඉන්නේ .මෙතන ජොබ් වෙකන්සි එකකට නංගිව දාලා දෙන්න පුලුවන්ද …’
‘නයනි කියන දේ අහක දාන්නත් බැහැ ..බලමු … ‘’
මා අත තිබු සහතික පත් සහිත ෆයිල් කවරය සියතට ගත් ඔහු එය පෙරලා බැලුවේය ….

‘ම්ම්ම් මේ කෝලිපිකේෂන් වලට මට ඔයාට මහන ජොබ් එකක් දෙන්න බෑ …. අපේ කිරිබත්ගොඩ ෂෝ රූම් එකේ කැෂියර් එකට ගර්ල් කෙනෙක් ඕන ඔයා කැමති නම් මම ඔයාව එතනට දාන්නම් … ඉස්සරලාම සැලරි එක ෆිෆ්ටින් තවුසන්ඩ් විතර දෙන්නම් …පස්සේ ඔයා වැඩ කරන විදිහ බලලා අපි සැලරි එක වැඩි කරමු … ’

මගේ සුදුසුකම් බැලු කර්මාන්ත ශාලාවේ අයිතිකරු ඔහුට අයත් සාප්පුවක මට රැකියාවක් ලබා දුන්නේය … ඉතින් මා සතුටෙන් එය භාරගතිමි …. ජිවිතයේ ලැබෙන පළමු රැකියාව….. මා භාරගත්තේ සතුටෙනි .. අලුත් සිහින බලාපොරොත්තු සමග හෙට ජීවිතය භාරගැනීමට මා සුදානම් උවෙමි …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *