~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~ 21

21 කොටස

හිත තුල ඇතිවූ නොහොද නෝක්කාඩු ඉදිරියට ගෙනයාමට මට උවමනා වුවා නොවේ …ඉතින් මා කලේ සියලු අමනාපකම් සිත තුලම දියකර හැර පෙර මෙන් ඔහුට පෙම්කිරීමය …මන්ද මට ජීවත්වීමට ඔහුගේ ආදරය අවැසි වූ බැවිනි … ආදරය ජිවිතයම කරගත්තා නම් ඔබට වුව එය වැටහෙනු ඇත …
‘ අයියා අද එනවා නේද මාව බලන්න ….’
මට උවමනා වුවේ සෑම දිනකම ඔහුව හමුවීමටය …. .නිරන්තරයේ ඔහු මා අසලින් ඉනු දැකීමටය ..
‘අද බස් එකේ එන්නවත් සල්ලි නැහැ නිකිණි …. මට අද එන්න වෙන්නේ නැහැ ..’
ඔහු එලෙස පවසන්නේ සල්ලි අතේ නැතිම අවස්ථාවකය …එහෙත් මගේ සිත එය තේරුම් ගත්තා නොවේ …මට උවමනා වුවේ කෙලෙසක හෝ ඔහු දැකීමටය …ඉතින් මා මුරණ්ඩු වූවෙමි ….
‘ඔයා කොහොම හරි සල්ලි හොයාගෙන එන්න …මම ඔයාට සල්ලි දෙන්නම් ..’
‘නිකිණි ඔයා පොඩි බබෙක් වගේ නේ …මොනවා හරි දෙයක් කීවාම තේරුම් ගන්න ..ඔච්චර හිතුවක්කාර වෙන්න එපා …’
ඔහුගේ කටහඩේ තිබු කලකිරීම උව නොසලකා මා කලේ ඔහු සමග රණ්ඩු කිරීමය …
‘මම දන්නේ නැහැ …මට තේරුම් ගන්න ඕන නැහැ ….. ඔයා කොහොම හරි මාව බලන්න එන්න ඕන …’
සිහින අයියා ගෙන්නා ගැනීමට උවමනා නිසා මා එලෙස කියා දුරකථනය විසන්ධි කරන්නෙමි …ඉතින් ඔහු මා සොයා එන බව මා දැන උන්නෙමි …

දින ගෙවී ගියේ ඔය ලෙසටය … අප අතර තිබු බැදීම අඩුවේ යැයි අවිනිශ්චිත බිය නිසා මා එලෙස කරන්න ඇති බව අතීතය දෙස හැරි බලන කල මට වැටහේ …. මා ඔහු ලගින් තබා ගැනීමට අනෙක මුරණ්ඩු ක්‍රියා කර ඇත්තෙමි ..

‘අයියා අද පන්සල් යන්න එනවද මාත් එක්ක ..’
ඒ පෝ දින සාප්පුවේ උන් මා සිහින අයියා ඇමතුවෙමි …
‘අනේ අද බැහැ නිකිණි …. අද අපේ නෑ කෙනෙක්ගේ මල ගෙදරක් … අපි එහෙ යන්න ලැහැස්ති වෙන්නේ … ‘’
සිහින අයියා මගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරද්දී මගේ හිත හොදටම රිදුනේය …
‘මොකක්ද අයියා මම කොහේ හරි යන්න කතා කලාම හැමදාම ඔයාට මොකක් හරි වැඩක් ..’
ඔහු පැවසුවේ සාදාරණ හේතුවක් උවද මට එලෙස නොහැගිනි … මා කලේ කේන්තියෙන් දුරකථන ඇමතුම විසන්ධි කර දැමීමය ..

වෙලාවසන වැඩ නිමකල කලේ තනිව පන්සල් යෑමය … බෝදිය පැනින් දොවා බෝ මළුවේ අසුන්ගත් මා පැය ගානක් එක දිගට වන්දනා කලෙමි ..

‘නිකිණි මොකක්ද ඔයා මේ කරන පිස්සු වැඩ ..’
සිහින අයියා මා සොයා පන්සලට විත් තිබුණි …
‘ඔයා හරි මුරණ්ඩුයි නිකිණි … කියන දෙයක් අහන්නෙම නැහැ .. දන්නවද මම මළගෙදර පැත්තක තියලා ඔයා පන්සල් එක්ක යන්න දුවගෙන ආවා . … මම එද්දී ඔයා නැහැ .. දන්නවද මම ගොඩක් බය වුනා …ගොඩක් …. හොයලා හොයලා අන්තිමට පන්සලට ආවේ … ‘’

සිහින අයියා මගේ දෙවුර මත දෑතම තබා බැන වදිද්දී මා කලේ බිමට රවාගෙන සිටීමය ..

‘මම බෝඩිමට ගියා ..එහෙ අක්කලාත් බය වෙලා ….. ඔයා මේ වගේ හිතුවක්කාර වැඩ කරද්දී එයාලා මොනවා හිතයිද ඔයා ගැන .. ප්ලීස් නිකිණි පොඩ්ඩක් මුරණ්ඩු නොවී අනිත් අය ගැනත් හිතලා වැඩ කරන්න ..’

සිහින අයියා බොහෝ දේ කියා බැන වදීද්දීය මට මා කල වරදේ බරපතල කම වැටහුනේ ….
‘’සොරි අයියා …. මට ගොඩක් තරහා ගියා …’
මා සමාව ඉල්ලුවේ වැරදි කාරිය මා බව හොදින්ම දැනය …

****
සුළු සුළු අමනාපකම් සමග ආදරය බොහෝ ඉදිරියට ගලා ගියේය …. සිහින අයියා සහ මගේ ආදරයට වසර දෙකක් පිරුණේ ඔය අතරය ….

‘නිකිණි ….අපි හෙට පොඩි ගමනක් යමු …’
‘කොහෙද අයියා ..’
‘ කන්දේ විහාරේ …’
‘ෂෝයි නේ … අපි දෙන්නා විතරද …’
‘නැහැ යාළුවො වාගයකුත් යනවා …’

අපේ ආදරයට වසර දෙකක් සපිරෙන දින උදෑසන අපි චාරිකාව යෑමට සුදානම් වූවෙමු … ත්‍රි රෝද රථවල ගිය ඒ චාරිකාව සුන්දරය … සිහින අයියා මා අසලින්ම සිටි නිසා මා උන්නේ ප්‍රිතියෙනි .. කන්දේ විහාරය පුරා ඇවිද විනෝද වී ආපසු එන ගමනේ අපි බොහෝ විඩාපත්ව උන්නෙමු ….

‘බඩගිනි කාලා ඉමුද …’

‘හරි එහෙනම් කාලාම යමු ..’

සියලුම දෙනා එකග වී කඩයකට ඇතුළු වී කෑම ඇනවුම් කෙරුවෙමු …. අපි ඉදිරියේ මේසයේ උන් යුවතියන් කීප දෙනෙක් කිංකිනි හඩින් හිනා වෙමින් උන්නේය ..

‘මහන්සි අයියා..’ මම සිහින අයියාගෙන් පිළිතුරක් නැති නිසා ඔහු දෙස බැලුකල ඔහු ගේ නෙත නැවතී තිබුනේ අර යුවතියන් ලගය ….බොහෝ සැහැල්ලුවට සිනාසෙමින් උන් මගේ සිතට එකවරම දැනුනේ මහා බරකි … ඉතින් මා කලේ නිහඩවම ඉවත බලා ගැනීමය …
මේසය මත තිබු බත් පිගාන අනමින් උන්නා මිස මා එකම ඇටයක් හෝ මුවට දමා ගත්තා නොවේ .. මා අසල ඉද්දි වෙනත් යුවතියන් දෙස ඔහු බැලීම නිසා මගේ හිත තුල වූ සතුට අතුරුදහන්ව ගොස් තිබුණි … අර යුවතියන්ද සිහින දෙස බලා ඔහුගේ සිනාවට ප්‍රතිචාර දක්වද්දී මට සිතුනේ එතනින් නැගිට පැන දුවන්නය ….හිතේ ඇතිවූ කලකිරීම නිසා අනා තිබු බත් පත පසෙකට කර මා නැගී සිටීමට සුදානම් උනෙමි …

‘කොහෙද මේ දුවන්න යන්නේ බත් චුට්ටක්වත් කාලා නැහැ …දැන් බඩගිනි කිය කියා නේද හිටියේ ..’
මට නැගී සිටිමට නොදී සිහින අයියා මගේ අතින් අල්ලා ගත්තේය …
‘කන්න බෑ මට …’ මා කතා කලේ ඇඩුමක ස්වරයෙනි ….
‘පිස්සි ඉන්නව ඔතන …මම කවන්නම් ඔයාට …’ මගේ බත් පිගාන අතට ගත් සිහින අයියා මට කවන්න උවේ තාත්තා කෙනෙක් දරුවෙකුට බත් කවන්නාක් මෙනි …ඉතින් මා අර යුවතියන්ට පේන සේ ඔහු අනා මුවට ලංකර බත් කෑවෙමි … සිහින අයියා මගේය …ඉතින් මම ඔනවාට වඩා ඔහුට ලංව උන්නෙම්…
‘දැන් මේ වතුර බොන්න …’ බත් කවා වතුර පොවා අහවරව ඔහු රථයට නගින තුරුම මා මදක් හෝ ඔහුගෙන් ඈත් වුවා නොවේ ..

ඔහු මෙතරම් මට ආදරය කරද්දී සුළු සුළු දේවල් වලට මගේ හිත රිදෙන්නේ ඇයිද කියා මා නොදැන උන්නෙමි …
‘මෙකි එක්ක කෙල්ලෙකුට ලයින් පාරක්වත් දාන්න නැහැ නේ ..’
ඔහු මා ඇවිස්සීමටදෝ විහිලු කරද්දී මා ඇස් රතු කරගත්තෙමි ..
‘ඔයා මන් හැර වෙන කවුරුත්ම දිහා බලනවාට මම කැමති නැහැ අයියා ..’
‘අනේ මට මෙච්චර ලස්සන කෙල්ලක් ඉද්දි මම මොකටද වෙන කෙල්ලෝ දිහා බලන්නේ …මෝඩි බොරුවට කලබල වෙනවා ….’
මා ඔහුගේ පපුවට මුහුණ තබාගෙන ඒ සුවද විද ගත්තෙමි …. ඒ ආදරයේ සුවද දිගේ මා බොහෝ දුර ගමනක් ගියෙමි ….
‘ නැගිටින්නේ නැතිද ….. බබී …’
මා දෑස් විවර කලේ සිහින අයියාගේ හඩිනි ….
‘අපි කොහෙද ඉන්නේ අයියා ..’ මා නිදිබර දෑස් විවර කර අවට බැලුවෙමි …
‘අපි ගෙදරට ඇවිල්ලා ඉන්නේ ..’ ‘
‘අනේ මට නින්ද ගියාද …ඇයි ඔයා මට ඇහැරෙව්වේ නැත්තේ …’
‘ලෝභ හිතුනා …ඔයා නිදාගෙන ඉන්න හැටි දැක්කාම ඇහැරවන්න … ඒක නිසා ඔයාට නිදා ගන්න දුන්නා ..දන්නවද ….ඔයාගේ මුහුණේ අහිංසක කම දැකලා ..එන වෙලාවේ මට අපේ ගෙදර අරන් යන්න හිතුනා …’
‘ඉතින් අරන් යන්න තිබ්බේ …’
‘මට පුළුවන් කමක් තිබ්බා නම් මම එහෙම නොකර ඉන්නේ නැහැ නේ නංගි …මම ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නේ … ඉන්න තැනක් හරියට නැතිව ඔයාව එක්කන් ගිහි න් කොහොමද ..’

ඔහු කතා කලේ බොහෝ දුක්බරය …

‘අයියා ඔය විදිහට දුක් වෙන්න එපා …තව කොච්චර කල් ගියත් මම ඔයා වෙනුවෙන් හැමදාම බලන් ඉන්නවා ..’

මා ඔහු සැනසීමට එසේ කීවද මම සිතින් බොහෝ දුක්වුවෙමි … නළලත මත හාදුවක් තවරා ඔහු නොපෙනී යනතුරු බලා උන් මා නවාතැන තුලට ඇවිද ගියෙමි …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *