සුරඟනක් කඳුළක් සලා 26

26 කොටස

‘සුරංගනා මේ මොනවද කරගත්තේ … ’ පසුදා උදෑසනම මා බැලීමට මිලාන් ඇවිත් තිබුනා … එයාගේ ඇස් දෙකේ මා වෙනුවෙන් කලකිරීමක් ඉපදී තියෙනවා මම දැක්කා …මම එයා දිහා බලලා හිනා උනේ අඩන්න බැරි කමටයි …

‘ ලොකු හපන්කමක් කළා වගේ හිනා වෙන ලස්සන …ඔයාට පුන්ච්ම දෙයක් හරි උනා නම් අනිත් අය විදවනවා කියලාවත් මතක් උනේ නැද්ද ’ ඔහුගේ කට හඩ වෙව්ලනවා කතා කරද්දී ..

‘ ඉතින් මේ මම ඉන්නේ ..’ මම ඔළුව ඇල කරලා හිනා උනා …

‘ ඉන්නවා තමා මෙතන තියෙන්නේ ඔයාගේ ශරීරය විතරයි … ඔයාගේ ආත්මය ඔයා නැති කරගෙන ඉන්නේ සුරංගනා ..’ එයා කතා කරද්දී එයාගේ කටහඩ වෙව්ලනවා

‘ අපි මේ කතාව නතර කරමු ..අද එක්සෑම් නැද්ද කියන්නකෝ ..’ මම කතාව වෙන අතකට හරවන්න උත්සහ කළා

‘අද එක්සෑම් නැහැ .’ ඔහු මොහොතකට කතාව නැවැත්තුවා

‘ සුරංගනා ඔයාට කතා කරන්න ඕනි මට .. ’ එයා මගේ දිහා බැලුවා .. මුළු ලෝකෙම නැති කරගත්ත කෙනෙක් වගේ එයාගේ මුහුණ අසරණ වෙලා තිබුනා

‘ඉතින් කියන්න මේ අහගෙන ඉන්නේ ….’ මම විහිළුවට බර වෙලා කතා කරන්න උත්සහ කලේ එයාගේ ඒ අසරණකම මම දකින්න කැමති නැති නිසාමයි ..

‘ මේ අහන්න … සුරංගනා …. ඔයා දන්නවද …. ඔයාව මම ඉස්සරලාම දැක්කේ ඔයා යාලුවොත් එක්ක දළදා මාලිගාවට ඇවිත් හිටිය දවසක ..එදා මම හිතුවේ මම දකින්නේ හීනයක් කියලා …ඔයා ඒ තරම් ලස්සනට මට පෙනුනේ දන්නවද මගේ හීන වල මම දැක්ක සුරංගනාවිය ඔයා .. මගේ හිතේ මම ඇදගෙන කවදා හරි මටම කියලා අයිති කරගන්න හිතාගෙන හිටපු රූපෙ ඔයාගේ ඇතුලේ මම දැක්කා …මගේ හිතේ ඇදගත්ත චිත්‍රයක් මගේ ඉස්සරහින් යනවා … මට හිතා ගන්න බැරි උනා … මේ ඇත්තක්ද කියලා .. මගේ ලග හිටිය යාළුවො ටිකවත් පෙනුනේ නැහැ මට … දන්නවද මම ඔයා යන යන තැන ගියා .. ඔයා ඉන්න තැන හොයාගත්තා .. ඔයා යන ඉස්කෝලේ මේ හැම දේම මම හොයා ගත්තා …’
ඔහු කතාව මොහොතකට නතර කර මගේ ඇස් වලට එබුණේය .. මගේ ඇහැකින් එලියට පනින්න දගලන කදුළු කැටයක් එයා දකින්න ඇති … එයා එයාගේ දබරගිල්ලට ඒ කදුළ අරන් ඒ කදුළු කැටය දිහා බලන් ඉදලා බරට හුස්මක් පිට කළා …ඊට පස්සේ එයා ආයෙම කතා කරන්න පටන් ගත්තා

‘ දන්නවද ඉස්සර දවස් වල ඔයා ඉස්කෝලේ යද්දී ක්ලාස් යද්දී මම කොහේ හරි ඉදලා ඔයා දිහා බලා ඉන්නවා … ඔයාව නොදැක්ක දවසට මට නිදාගන්නවත් බැහැ .. ඒ තරමට මට ඔයාට මම ආදරේ කළා .. එදා ඔයාලගේ ස්පෝර්ට් මිට් එක දවසේ ඔයා මට කැමති කිව වෙලාවේ මට හිතුනේ .. මගේ හින වල හිටිය සුරංගනාවි මගේම උනා කියලා …මම ඒ හීන දිගේ ගොඩක් දුර ගියා සුරංගනා … දන්නවද මට ඔයා ගැන හිතන්නේ නැතිව තප්පරයක්වත් ඉන්න බැරි උනා .. ඒ තරම් ආදරේ කරපු මට ඔයා එක පාරට කිවම ආදරේ නැහැ කිවාම හිතන්න මම මොන වගේ තත්වයකට පත් උනාද කියලා …. මම අසරණ උනා සුරංගනා … ඔයාට තේරෙන්නේ නැහැ කෙල්ලෙක්ට අඩලා කදුළු වලින් දුක හෝදන්න පුළුවන් උනාට කොල්ලෙක්ට එහෙම බැහැ කොල්ලෙක්ගේ ඇස් වලින් කදුළු පිට කරේ නැතිවට ඒ පපුව ඇතුලේ පුදුමාකාර විදිහේ ගින්නක් ඇවිලෙන්නේ … මම පණ පිටින් අපායකට වැටුනා වගේ සුරංගනා … මම විදෙව්වා …විදෙව්වා .. ඒ උනාට මම ජීවිතෙන් පලි ගත්තේ නැහැ … මොකද මම දන්නවා මට ආදරේ කරන අයට මම නැතිව ජිවිතයක් නැහැ කියලා .. ’ ඔහුගේ පිරිමි සිතේ කොතරම් දුකක් ඇතිද ඔහුගේ මුහුණ අන්ත අසරණ වී ඇත … අනේ ඒ පපුවේ කොච්චර දුකක් මම නිසා ඇතිද … මේ තරම් ආදරයක් මට ලැබෙන්න මම පින් කරලා නැහැ මිලාන් මම හිතෙන් එයාට කිවා

‘ මිලාන් දැන් අපි ඔය කතාව නවත්වමු … පරණ තුවාල අලුත් කරගෙන වේදනා විදින්න එපා මිලාන් … ’

‘ මට මේ දේවල් කියනන් ඉඩ දෙන්න සුරංගනා .. ප්ලීස් අද මාව නවත්වන්න නම් එපා … ’ මම ඔහේ අහගෙන උන්නෙමි

‘ සුරංගනා … ඔයා වෙන කෙනෙක් රිද්දන්න මට ලංවුනා … කොහොම හරි ඒ ආදරේ ලබාගත්තා ..ඒ ලංවෙලා ඔයා සතුටින් හිටියා නම් මට හිත හදාගන්න පුලුවන් සුරංගනා .. ඒ ආදරේ නිසා ඔයා විදවද්දී මම කොහොමද ඉවසාගෙන ඉන්නේ … ඔයා එයා නිසා විදවනවා නම් මට කොහෙත්ම බලන් ඉන්න බැහැ රත්තරන් .. . එයාව අමතක කරන්නම බැරිද …’ එයා ප්‍රති උත්තරයක් බලාපොරොත්තුවෙන් වගේ මගේ දිහාම බලන් ඉන්නවා ..

‘ මම කොහොමද එහෙම කරන්නේ … මට එයාව අමතක කරන්න බැරි වෙයි මගේ හුස්ම ටික මේ පපුවේ තියෙනකම් ..’ මම එහෙම කිවා එයාගේ ලස්සනට් තිබ්බ මුහුණ විරූපී උනේ මම බලාන ඉද්දීමයි … ඒ තරම් ආදරණිය හිතක් ඒ වගේ රිද්දන්න වීම ගැන නම් මට තිබුනේ පුදුමාකාර දුකක් .. ඒත් එයාගේ හිතට ආයෙම බලාපොරොත්තු දීලා ඒ බලාපොරොත්තු බිදින්න උනොත් මටවත් මට සමාව දෙන්න බැරි වෙයි ..

මිලාන් ඔහු පිටව ගියේ තිබුනාටත් වඩා හිත රිදෝගෙනය .. මට පව් කියා සිතුනේය .. නමුත් ඔහු වෙනුවෙන් මට කල හැකි දෙයක් නොවිණි … මිලාන් නොඑයි කියා සිතුවද .. ඔහු යලි යලි මා සොයා පැමිණියේය .. මගේ දුක සැප විමසුවේය … පෙර දින කතාව ඔහු අමතක කෙරුවා සේ උන්නත් මම හොදාකාරව දනිමි .. ඔහු විදවනවා ඇති මහා ගොඩක් .. මට අනන්තවත් ඔහු පව් කියා සිතුනේය .. වරෙක මා සිනා ගස්සන්න විකාර දේවල් කියවන ඔහු තවත් විටක මට සත්කාර කරන්නේ පියෙක් තම කුඩා දියණියට කරන සේය … දුක් වෙන්න කියා තිබුනේ කවිශ් අයියාගේ මතකය පමණක්මය … නිවසේ අයද පෙර සිදු උන දේවල් මා හට අමතක කිරීමට මෙන් වැඩ කරයි …. රෝහලේ ගතකල සතියක් වැනි කාලය මගේ ජිවිතයේ අමිහිරිම දවස් ලෙස අතීතයට එකතු විය ..

‘ආයේ එහෙම ඔය වගේ දේවල් කරලා අහුවෙන්න එපා හරිද … ’ මිලාන් පැවසුවේ රෝහලේ සිට මා ගෙදර පැමිණ ඔහු සමග කතා කරමින් සිටින වෙලාවකය .. මම මෝඩ සිනාවක් පෑවෙමි ..

‘ හරි ආයේ එහෙම දෙයක් කරගන්නවා නම් ඔයාට කියන්නම්කො ..’ ඔහු කතා නොකරම නැගිට යන්නට තැත් කළේය .. මම ඔහුගේ අතකින් අල්ලා නතර කෙරුවෙමි .. මොහොතක් එක එල්ලේ මා දෙස බලා සිටි ඔහු නැවත මා ඉදිරිපිට තිබු අසුනේ වාඩි විය .. ඔහුගේ මුහුණ රතුවී තිබුනේ තරහා ගොස් නිසා විය යුතුය

‘ අයියෝ විහිලු තේරෙන්නේ නැහැ නේ මෙයාට ..’ මම දිව ඇද කෙරුවෙමි … ඔහුට හිනා ගියේ මගේ දගකාර කමට විය යුතුය .. මගේ කනින් අල්ලා රිදෙන්නට මිරිකු ඔහු ..

‘ ඇද්ද මැට්ටි ’ කියා හිනා උනේ පුංචි දරුවෙක් වගේය ….

‘මිලාන් එක්සෑම් ලේසිද …’ මම ඇහුවේ අහන්න අමතක උන දෙයකි

‘ලේසි අවුලක් නැහැ පාඩම් කරපු ඒවාම තමා ආවේ …’ මේ සැරේ එක්සෑම් කරලා කැම්පස් යන්න මම කොච්චර ආසාවෙන්ද හිටියේ ඒක මතක් වෙලා මට ගොඩක් දුක හිතුනා ..මගේ මුහුණ දුකින් පිරෙනවා මිලාන් දකින්න ඇති

‘ ඔයා දුක් වෙන්න එපා ඊලග සැරේ හොදට පාඩම් කරලා එක්සෑම් කරමු ..’ මම හිස වැනුවෙමි .. අම්මි තේ එකක් රැගෙන විත් මිලාන්ට සංග්‍රහ කළාය

දුරකතය නාද වෙන්නේ නොනවත්වාය …

‘ අම්මි ෆෝන් එක ගන්නකො …’ මම අම්මිට කිවේ ඉදගෙන හිටිය තැනින් නැගිටලා යන්න තිබුණු කම්මැලි කමටය

‘ සුදු දු ඔයාට ’

‘ කව්ද අම්මි ’

‘ ස්කුල් එකේ යාලුවෙක් ලු ..ඇවිත් බලන්නකෝ පොඩ්ඩක් ..’ මම නැගිටලා දුරකථනය ලගට ගියේ මේ වෙලාවේ කව්ද කතා කරන කෙනා කියලා හිතන ගමන්

‘ හෙලෝ …’

‘හෙලෝ සුරංගනා … භාවානා කතා කරන්නේ ..’ එහා පැත්තෙන් ආවේ භාවනගේ කට හඩ… මම මොකුත්ම කියන්නේ නැතිව එයා කියන දේවල් අහගෙන හිටියා

‘ඔයා වහ බිවාලු නේ … තාම ජිවත් වෙනවා නේද … ’ මට හිතුනේ අර අහිංසක භාවනාද මේ ඉන්නේ කියලා ඒ තරම් එයාගේ කට හඩේ නපුරු කම පිරිලා ගිහින් … මම මොකුත්ම කිවේ නැති නිසාද කොහෙද එයා ආයෙම කතා කරන්න ගත්තා

‘ ඔයා පාඩුවේ ඉන්නේ නැතිව ආයෙම ඔය තරම් වීරකමක් කලේ මගේ කවිශ් අයියා ඔයා ලගට ගෙන්නා ගන්න ද .. තමුන් නිසා ආයෙම එයා මගෙන් ඈත් වෙලා ද.. මාව බලන්න ආවේත් නැහැ …. පහු ගිය දවස් ටිකේම ගෙදර ආවේ නැහැ කියලා කවිශ් ගේ අම්මා කෝල් කරලා කිවා .. මම කැම්පස් එකට ගිහින් බැලුවාම කැම්පස් ගිහිනුත් නැහැ … යාලුවෙක් කිවා යාලුවෙක්ගෙ බෝඩිමකට වෙලා ඉන්නවා කියලා …. මම හොයාගෙන ගිහින් බලද්දී දන්නවද එයා හිටියා … බිලා බිලා සිහිය නැතිවෙන්නම බිලා පිස්සෙක් වගේ ඔහේ වැටිලා හිටියා … මම ගිහින් කතා කරද්දී දන්නවද ඇහුවේ මොකක්ද කියලා සුරංගනා ඔයා ආවාද කියලා …මේ ඔක්කොම තමුන් නිසා උනේ … ඔයා දන්නවද මගේ කවිශ් අයියා කොච්චර ලස්සනට හිටිය කෙනෙක්ද කියලා …. ඇයි ඔයා ඇවිල්ලා එයාගේ ලස්සනට ජිවිතේ විනාශ කලේ …’

තව දුරටත් වචනයක් හෝ අසා සිටීමට නොහැකිය … මගේ අතින් දුරකතනය ගිලිහි ගියේ කොයි මොහොතකද කියා නොදනිමි .. හිත උමතු වීගෙන එනවා වගේ දැනුනේය … අනේ මගේ කවිශ් අයියා කියා මම කෑ ගැසුවත් මතකය … මුළු ලෝකයම ග්‍රමනය වී … කකුල් දෙක වෙව්ලා මා ඇදගෙන වැටුනේ ය .. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *