සුරඟනක් කඳුළක් සලා 43

43 කොටස

ඒ උදේ පාන්දරම මම අවදිවුනේ කොළඹ ගමනට ලැහැස්ති වෙන්න ඕනා නිසා … ඊයේ රෑ කොළඹ බාප්පයි පුංචියි දෙන්නා ආවේ උදේම මාව එක්කන් යන්න …. මම ඉස්සරලා දවසේ බඩු ටික ලැහැස්ති කරගෙන හිටිය නිසා මට විශේෂ දෙයක් කරන්න තිබ්බේ නැහැ … මම මගේ පොත් ගොඩෙන් එක පොතක් අරගෙන කොලයක් කඩාගත්තා …… කව්ශ් අයියා මුණනොගැසි ගියත් එයාට කියන්න ඕනෑ දේවල් ගොඩක් මගේ හිතේ පිරිලා තිබ්බා .. මගේ ඇහැකින් කදුළක් ගලාගෙන ඇවිත් කොළය උඩට වැටුනා .. මම කවිශ් අයියාට කියන්න ඕනෑ කියලා හිතපු හැම දෙයක්ම ඒ කොලේ පුරාවටම ලීවා …

කවිශ් මගේ අයියේ ….,
හැරයන්න පෙර ඔබව දැකගන්න නාවට
දකිනවා හැම තැනම ඔබේ රුවම රත්තරන්
මග ඇරුණු ජිවිතේ ඔබ නැතිව අද දිනේ
දුකයි කදුලයි පමණි මා හිතට තනි රැක්කේ

අද මම මේ නුවර අතෑරලා යන්න යනවා … අම්මි අප්පච්චි මල්ලි එයාලා මට දෙන ආදරේ නැතිව මට ජිවත් වෙන්න්න අමාරුයි තමයි අයියේ … ඒත් මට මගේ හිත හදාගන්න නම් එයාලාව දාලා යන්න වෙනවා .. අප්පච්චි බාප්පලාගේ ගෙදර යන්න ලැහැස්ති වෙන්න කියද්දී මම වචනයක්වත් කතා කරේ නැතිව එයා කියන දේට එකග උනා … එයාලා මම නිසා හුගක් දුක් විදිනවා අයියේ එයාලා තවත් මම නිසා දුක් විදිනවා බලන්න මට බෑ … ඒක නිසා මම හිත හදාගෙන යනවා ….
මේ නුවර හැම තැනකම ඔයාගේ සුවද තියෙනවා අයියේ … ඒ සුවද හොයාගෙන එන්න හදන මගේ හිත මට කීකරු නැහැ මගේ අයියේ .. ඔයා වෙන කෙනෙක්ට අයිති කියලා මම මගේ හිත හදාගත්තාට … කොයි තරම් කාලයක් මට මගේ හිත පාලනය කරගන්න පුළුවන් වෙයිද කියලා මම දන්නේ නැහැ … ඔයාගේ පවුල් ජිවිතේ අවුල් කරලා පවුල ඉහිරවලා මට ලබන ආත්මෙත් ඔයාව නැති කරගන්න බැහැ මගේ රත්තරන් අයියේ … ඉතින් මට ඔයාගේ සුවද දැනෙන් නැති මානේකට යන්න යනවා .. ආපහු දවසක ඔයා හම්බ වෙද්දී ඔයා පුංචි පැටියෙක්ගෙ අතින් අල්ලගෙන මගේ ඉස්සරහට ආවොත් මගේ ඇහැකට කදුලක් එයි අයියේ … ඒ අපේ හීන මතක් වෙලා මගේ අයියේ … මට භාවනාට කවදාවත් වෛරකරන්න බැහැ රත්තරන් අයියේ … එයාගේ හිත ඇතුලේ ඉන්න අහිංසක කෙල්ල ඔයාට හම්බ උන දවසට මම දන්නවා ඔයා තරම් වාසනාවන්තයෙක් නැති වෙයි මේ ලෝකේ … ඔයා භාවනා එක්ක සතුටින් ඉන්න එයා නරක කෙල්ලක් නෙවෙයි … එයාට මම ඔයාව දීලා යනවා මේ ආත්මෙට විතරක් … හැබැයි ලබන ආත්මේ ඔයා මගේ වෙන්න ඕනෑ හරිද … ඒ ආත්මෙදි ඔයා කාටත් කලින් මම අයිති කරගන්නවා .. ඊට පස්සේ ආත්ම හතක් ඔයා මගේ … මගේම විතරයි….

සුරංගනා

මම ලියුම ලියලා හතරට නැමුවා …ඊට පස්සේ ලියුම අතේ ගුලි කරගෙනම මම කාමරෙන් එලියට ගියා … ගෙදර අය ඔක්කොම එතන … මම දැක්කා මිලානුත් ඇවිල්ලා ඉන්නවා …එයාලා හැමෝගෙම මුහුණුවල තිබ්බේ දුකක් කනගාටුවක් … මට අඩලා එයාලා තවත් දුකට පත් කරන්න ඕනේ උනේ නැති නිසා මං හිනාවෙලා එයාලා ලගට ගියා …

‘ මොකෝ මේ හැමෝම මුහුණු කළුකරගෙන ඉන්නේ … ’ මම අම්මි ලගට ගිහින් එයාට තුරුළු උනා

‘ ඔව් ඒකනේ මාත් කිවේ පිට තැනකට යනවා යෑ. … අපි ලගට අක්කේ දු එන්නේ … ඔයාට ඕන වෙලාවක ඇවිත් බලලා යන්න පුළුවන් නේ …’ බාප්පා එහෙම කිවේ අඩන්න හදන අම්මිව සනසවන්න වෙන්න ඕනි
‘ ඔව් අම්මි පුජා පුංචිත් ඉන්නවා නේ … අනික මට කිසිම පාළුවක් නැති වෙයි .. ඔයා හැමදාම මට කෝල් කරන්නකෝ ලග ඉන්නවා වගේ තියේවි …’ මම කිව්වේ අම්මිගේ හිත සැහැල්ලු කරන්න කියලා හිතලා

‘කිසිම අම්මා කෙනෙක් කැමති නැහැ තමන්ගේ දුව කාත් කවුරුත් නැති විදිහට ගෙදරින් පිටත් කරන්න .. ’ අම්මි එහෙම කියලා කාමරේ ට දුවලා ගියේ දුක ඉවසන්න බැරි නිසා වෙන්න ඇති … මාත් අම්මි පස්සේ ගියා .. එයා ඇදේ වැතිරිලා පුංචි දැරියක් වගේ අඩනවා ..

‘මේ අහන්නකො අම්මි ඔයාගේ සුදු දු ගොඩක් අසාවෙන් නේ යන්නේ අනික ටික දවසකට නේ හැමදාටම නෙවෙයි නේ … කෝ මයේ අම්මි හිනා උනේ නැති නම් මම යන්නේ නැහැ .. කෝ කෝ හිනා වෙන්න ..’ මම අම්මිගේ කම්මුලකට හාදුවක් දුන්නා ..

‘ මගේ පැටික්කි සතුටින් ඉන්නවා කියලා පොරොන්දු වෙන්න ….’ මම අම්මි ලග දනින් වැටිලා එයාට පොරොන්දු උනා සතුටින් ඉන්නවා කියලා ..ඊට පස්සේ එයාවත් එක්කන් ඉස්සරහට ගියා . මොකක්දෝ කතාවක උන්නු කට්ටිය මාව දැකලා කතාව නතර කළා …

මම අප්පච්චි ලගට ගිහින් එයාට දනගහලා වැන්දා මම දැක්කා එයාගේ ඇස්වල කදුළු ගොඩක් පිරිලා තියෙනවා ..

‘ මගේ දු සතුටින් ඉන්න හැමදේම හරියයි ….’ එයා ඊට වඩා එක වචනයක් වත් කිවේ නැහැ … ඒ එයාට ඉකිගැහෙයි කියලා වෙන්න ඇති
මම මල්ලි කොහෙද කියලා බැලුවා එයා පුටුවක වාඩිවෙලා අඩනවා මම එයා ලගට ගිහින් එයා ලග තිබ්බ පුටුවක වාඩිඋනා

‘ මගේ මල්ලි බබා දැන් ලොකු වෙලා බලාංනකෝ මේ සැරේ ඕලෙවල් කරනවා … මගේ මල්ලි පොරොන්දු වෙන්න අක්කි නැති උනාට අම්මි අප්පච්චි බලාගන්නවා කියලා … ’ මම මල්ලිගේ ඔලුව අතගෑවා

‘ අක්කි ඔයා යන්න එපා … අම්මි අප්පච්චි ඔයා නැතිව ඉන්නේ කොහොමද … එයාලා හැමදාම අඩනවා ඔයා ගැන කියෝ කියෝ … අනේ අක්කි ඔයා කොහොමද අපිව දාලා යන්නේ …’

‘ ඔන්න මගේ මල්ලියා අඩනවා මගේ මල්ලි දැන් අර ඉස්සර හිටිය බටු ඇටේ නෙවෙයි .බලන්නකෝ අක්කිට වඩා උසයි දැන් …. හරියට මගේ අයියා වගේ … ඉතින් පොඩි එකෙක් වගේ අඩන්නේපා … මම හැමදාටම නෙවෙයි නේ යන්නේ… අක්කිව බලන්න මල්ලියාට එන්න පුළුවන් නේ අම්මි අප්පච්චි එක්කලා …’ මම පුළුවන් විදිහට එයාගේ හිත ඇඩුවා …

අඩනවා නම් මට අඩන්න ඕනෑ තරම් හේතු තිබ්බත් මම හිත ගල් කරගෙන හිටියේ …ඒ මම ඇඩුවාම එයාලා තවත් හිත රිදෝ ගන්නවා කියලා මම දැනන් උන්න නිසා .. මම මිලාන් හෙව්වා …එය මිදුලේ සුදු අරලිය ගහ ලග බන්කුවේ වාඩිවෙලා බිමට රවාගෙන ඉන්නවා … මම හෙමිට එයා ඉන්න දිහාවට ගියා …

‘මිලාන් ….’ මම ගිහින් එයාගේ අනිත් පැත්තෙන් ඉදගත්තා

‘ කෝ ඉතින් ඔයාත් මේ මුහුණ මොකදෝ කරගෙන ඉන්නේ ඇයි …. ඔයාවත් හිනාවෙන්නකෝ …’ මම එයා දිහා බලලා හිනා උනා

‘අඩන්න ඉන්න මිනිහාගේ ඇහැට ඇගිල්ලෙන් අනිනවා වගේ කතා කියන්න එපා සුරංගනා …’ එයා මුහුණ රතු කරගෙන අහක බලා ගත්තා

‘ කෝ ඉතින් ඔයා තරහා ගන්නවා නේ …’ මම ඕනෑවටත් වඩා හයියෙන් හිනා උනාද මන්දා මිලාන් මගේ දිහා බැලුවා ඇස් දෙක ලොකු කරගෙන

‘ ඔහොම හිනාවෙන්නේ කොහොමද සුරංගනා මෙච්චර දුකක් හිතේ තියෙද්දී .. ’ එයා හයියෙන් හුස්මක් හෙලුවා ඒ සුසුමෙන් මහා දුකක් එයා පිට කරා

‘ මට දැන් අඩලා එපා වෙලා තියෙන්නේ මිලාන් … මට ආසයි හිනාවෙන්න … මම අඩලා අඩලා හිනාවෙන්න අමතක වෙලා තිබ්බේ .. ’

‘ මම තරම් ඔයා හිනාවෙනවට ආස කෙනෙක් මේ ලෝකේ නැතිව ඇති …. සුරංගනා .. හැබැයි ඒ ඔයා හදවතින්ම හිනාවෙනවා නම් තමා මම ආසා …’

‘ මිලාන් මම හෙමින් හෙමින් හිත හදාගන්නම් … මම පොරොන්දු වෙනවා … මම ආයෙම හිනා වෙනවා කියලා … මට පොරොන්දු වෙන්න මගේ කවිශ් අයියාව බලාගන්නවා කියලා …’ මම මිලාන් ගේ ඇස් දිහා බලන් ඒ ඉල්ලීම කරද්දී ඒ ඇස් අස්සේ ලොකු දුකක් තිබ්බා … එයා බංකුව උඩ තිබ්බ මගේ අත උඩ එයාගේ අත තිබ්බා

‘ සත්තයි සුරංගනා මම කවිශ් ගැන හොයලා බලන්නම් … කවිශ් හොද කොල්ලෙක් … මොනවා කරන්නද ඕවා කතා කරලා ආයෙම හිත කඩන්න මට ඕනෑ නෑ ..දැන් යමු අන්න බාප්පා එහෙම එලියට ආවා .. එයා එහෙම කියලා එතනින් නැගිට්ටා ..

‘ මිලාන් මට තව එකම එක උදව්වක් කරන්න ..මම ආයෙම ඔයාට කිසිම වදයක් දෙන්නේ නැහැ .. ’ මිලාන් ඉස්සරහට තිබ්බ කකුලක් පිටිපස්සට තියලා ආයෙම මගේ දිහා බැලුවා … එයාගේ ඇස් වල ප්‍රශ්නාර්ථයක් තිබ්බා

‘ මේ ලියුම කවිශ් අයියාට දෙනවාද …’ මම අතේ ගුලිකරගෙන උන්න ලියුම එයා දිහාවට දිගු කරා ..එයා එක එල්ලේම මගේ දිහා මොහොතක් බලාගෙන උන්නා … ඒ වෙලාවේ එයාගේ මුහුණේ දාහක් හැගීම් ඇතිවෙලා නැතිවෙලා යනවා මම දැක්කා … ඊට පස්සේ කිසිම හිනාවක් පාන්නේ නැතිව එයා ඒ ලියුම අතට අරන් අම්මිලා ඉන්න දිහාවට යන්න ගියා .. මාත් එයා පිටි පස්සේ අම්මිලා ඉන්න දිහාවට ගියා …

හැමෝගෙම ඇස් වල තිබ්බ කදුළු එයාලාගේ හිතේ මම ගැන තියෙන ආදරේ සලකුණු වගේ .. මම බාප්පාගේ වෑන් එකට නැගලා තවත් එකසැරයක් ගේ දිහාව බැලුවා … පුජා පුංචි මගේ ලගින්ම වාඩිවෙලා මගේ ඔලුවෙන් අතගෑවා … මගේ ඇස් වලට එකම කදුලක් වත් ආවේ නැහැ …. අම්මි අප්පච්චි මල්ලි පෙලට හිටගෙන හිටියා … එයාලාගේ ඇස්වල නොවියලුනු කදුළු සලකුණු මම දැක්කා ..මට අඩන්න ඕනා උනත් මගේ ඇස් වලට කදුළු ඉනුවේ නැහැ පුදුමයි …මම වියලි හිනාවක් එයාලාට පාලා අත වැනුවා … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *