සුරඟනක් කඳුළක් සලා 46
46 කොටස
ඒ මම හැමදාම හොයපු උණුසුම ආදරේ රැකවරණය මගේ අම්මිගේ .. මට අදුරේදී උනත් එයාගේ උණුහුම අදුරගන්න පුළුවන් .. ඒ තරම් ආදරයක් අම්මිගේ හිත ඇතුලේ තියෙන්නේ . … මම එක අතකින් එයාගේ අතක් අල්ලා ගත්තා .. අනිත් අතින් එයාගේ මුහුණ අතගෑවා …
‘ මගේ අම්මි ..’ එයා මගේ ඇස් වලින් අත් දෙක අහකට ගත්තා … මගේ ඇස් ඉස්සරහා අප්පච්චි මල්ලි අම්මි බාප්පා පුංචි ඔක්කොම හිටගෙන ඉන්නවා ..
‘ සුභ උපන්දිනයක් මගේ දුට …’ අම්මි මට සුභ පැතුවේ නළලේ හාදුවක් තවරලා .. එයාලාව මම දකින්නේ අවුරුද්දකට විතර පස්සේ ඒ ආදරේ නැතිව මම හිටියේ කොහොමද කියලා මට හිතාගන්න බෑ …
‘සුභ උපන්දිනයක් වේවා දු ’ අප්පච්චි එහෙම කියද්දී මම එයාගේ තුරුලට පැනලා එයාගේ පපුවේ ඔලුව තියාගත්තා … අප්පච්චි හෙමින් මගේ ඔළුව අතගෑවා … කවිශ් අයියා නිසා ඊයේ රෑ ඉදලා විදපු දුක මට මොහොතකට අමතක වෙලා ගියා
‘ ඔයාලා නැතිව මම පාලුවෙන් හිටියේ අප්පච්චි … ගොඩක් ගොඩාරියක් ….’ මම කිවේ අසරණ විදිහට
‘ මම දන්නවා මැණික …. අපිත් ඔයා නොබලා නොදැක හිටියේ හරි අමාරුවෙන් ….. ඔයාව බලන්න ආවේ නැති උනාට ….අපේ හිත් වල ඔයා ලගින්ම හිටියා .. ..’ අප්පච්චිගේ ගේ මුහුණේ තිබුනේ සංවේගයකි..මම අප්පච්චි ලගින් මෑත් වෙලා මල්ලි දිහාව බැලුවා … එයා දුකෙන් වගේ මගේ දිහා බලන් ඉන්නවා
‘ කෝ කෝ බලන්න මගේ මල්ලි පැටියා …’ මම මල්ලි දිහා බැලුවා … මල්ලි නෝක්කාඩු බැල්මක් මගේ දිහාවට හෙලුවා
‘ මොකෝ රවන්නේ …’ මම මල්ලියාට විරිත්තුවා
‘ මාව අමතකයි හැමෝටම … මම කොච්චර වෙලා මෙතන බලන් ඉන්නවද …’ මම මල්ලිව අතින් අල්ලලා ලගට අරගෙන මගේ ලගින්ම ඉන්දවා ගත්තා
‘ මගේ මල්ලි මට අමතක වෙනවද එහෙම …. කෝ අක්කිට ගෙනාවේ මොනාද උපන්දිනේට …’
‘ ගෙදර ගියාම දෙන්නම් … ’
‘ මම ගෙදර යනවද …’ මම විමතියෙන් කෑ ගහලා අම්මි දිහා බැලුවා
‘ ඔයාගේ කම්පියුටර් ඩිප්ලෝමා එක්සෑම් එකෙන් පස්සේ ඔයාව ගෙදර එක්ක යමු කියලා අප්පච්චි කිවා …. ඉස්සර වෙලා එක්සෑම් එක හරියට කරන්නකෝ … ’ අම්මි ඒ කතාව ඇත්ත බවට ස්ථිර කරා . ..
මට මේ කොලඹ කොන්ක්‍රීට් වනන්තරේ ගෙවපු අවුරුද්ද කල්පයක් වගේ තමා දැනුනේ … ඉතින් තමන්ගේ උපන් ගෙදර තරම් සැනසීමක් වෙන කොහේවත් නොමැති බව මට ඒ වනවිට තේරුම් ගොස් තිබුණි .. ගෙදර යනවා යන සිතුවිල්ල පවා මසිතට ගෙන ආවේ සැනසීමකි ..
‘ ඔය ඇත්තමද අම්මි …. ’
‘ ඔව් දු දැන් පුංචිට බබා හම්බ වෙන්නත් තව මාස දෙකයිනේ … පුංචි බබා හම්බවෙන්න අම්මලාගේ යන්න ඕනෑ .. එයාට තනියම දැන් වැඩ ටික උනත් කරගන්න අමාරුයි නේ ..’ අම්මි කිවේ පුංචි දිහා බලාගෙන
‘අනේ අක්කේ මේ කෙල්ල ඉතින් අපි ලග හිටියා කියලා අපි උස්සගෙන ඉන්න එකක් යෑ ..එයා එයාගේ පාඩුවේ ඉන්නවා … ඉතින් මාත් එක්ක අපේ ගෙදර ඉන්න පුළුවන් දුට … ’ පුංචිගේ හිතේ මාව යවන්න කැමැත්තක් තිබ්බේ නැහැ .. එයා මට ගොඩක් ආදරේ කළා අපි අතර වයස පරතරය අවුරුදු දහයක් වගේ උන නිසා එයාට මාව එයාගේ යෙහෙලියක් වගේ තමා
‘එහෙම බෑනේ නංගියේ ..දුලාගේ අප්පච්චි ඔය හිටියට මහා හිතේ ගින්දරකින් ඉන්නේ දු නැති නිසා .. ’ අම්මි කියන්නේ ඇත්ත කියලා එයාගේ ඇස් වල කදුළු සාක්ෂි කිවා ..
’කෙල්ල ගියාම මට තම පාලු ..’
ඉතින් ඊට පසු දින අම්මි අප්පච්චි ආපසු නිවස බලා ගියේ විභාගෙන් පසු මා ගෙදර ගෙන්නා ගන්නා පොරොන්දුව පිටය .. විභාගයට තිබුනේ හරියටම සතියකි … මම සියලු දේ හිතින් බැහැර කර පාඩම් වැඩ වලට හිත යෙදවුවේමි … කවිශ් අයියා මතක් නොවුනා නොවේ ….
*******
‘ එක්සෑම් කොහොමද කෙල්ලේ …’ මහිමා විමසුවේ විභාගය අවසන්ව කෙටි පියගැටපෙළ බැසගෙන යන අවස්ථාවේය
‘ අමාරුවක් නැහැ උගන්නපු දේවල් මතක තිබ්බා නේ හොදට … ඉතින් මට සුවර් මට ගොඩ යන්න පුළුවන් කියලා ..’ මම දැඩි අධිෂ්ඨානයෙන් කීවෙමි …
‘ අනේ මන්දා මට නම් පේපර් එක අතට ගත්තාම අන්ඩර දෙමල වගේ …. ’ මහිමා හිටියේ මුහුණ රතු කරගගෙන
‘ ඕක තමා මම හැම වෙලේම කියන්නේ උගන්වන වෙලාවට මොබයිල් එකෙන් එෆ් බි යන්න එපා කියලා ’
‘ ඔව් බන් මට විනාඩි පහෙන් පහට එෆ් බි ලොග් වෙලා බැලුවේ නැත්තම් පික්සු වගේ බන් …’
‘ ඔව් ඉතින් වෙලාවකට එෆ් බි එකත් කොපි කඩේ වගේ නේ … කරන කියන හැමදේම ස්ටේටස් එකක් විදිහට දානවා නේ සමහරු .. ඔයාටත් ඉතින් ඕපාදුප හොයන්නේ නැතිව බැහැනේ .’ මම කිවේ මහිමාට විරිත්තන ගමන් …
‘ඒක නම් ඇත්ත බන් …’
‘ මේ මහි මම හෙට ගෙදර යනවා …’ අවුරුද්ක් තිස්සේ මගේ දුකට සැපට හිටිය මිතුරුරිය දිහා මම බැලුවා … මම කිව දේ අහලා එයාගේ මුහුණ කළුවර උනා
‘ ඔයා අපේ ගෙදර එනවා කීවාට ආවේ නැහැ නේ … දැන් කියනවා හෙට නුවර යනවාලු ..’ එයා අමනාපෙන් වගේ මගේ දිහා බැලුවා …
‘ තරහා වෙන්න එපා කෙල්ලේ … අප්පච්චි ඊයේ රෑ කෝල් කරලා කිවා අද රෑ එනවා කියලා … ‘’
‘එහෙනම් පරිස්සමට පලයන් කෙල්ලේ මට කවදාවත් උබව අමතක වෙන්නේ නැහැ … උබ අපේ ගෙදර ආවේ නැතිවට ඔන්න මම නුවර ආව හැටිය උබගේ ගෙදර තමා දුවලා එන්නේ ..’ මහිමා සමුගත්තේ ඇස් රතුකරගන
ඉතින් මා කොළඹ අතහැර යන්නට සුදානම් වීමි … අප්පච්චි ඒ රැයේ මා ආපසු නිවසට කැදවාගෙන යාමට පැමිණියේය . නුවර අතහැර එනදා හිත පෙලූ දුක තනිකම දැනුනේ නැත … ආපසු නුවර ගිය පසු මොන දේ සිදු උනත් හිතේ සවියෙන් මුහුණ දෙමි යන සිතුවිල්ලෙන් මා සිටියෙමි …
පුජා පුංචි සහ බාප්පා දමා යෑමේ මහා දුකක් හිතට දැනුනේය .. පුංච් සේම බාප්පාද මා නිවස අතහැර යාම කිසිම කැමත්තක් දැක්කුවේ නැත ..
‘ ගෙදර පාලුවට යනවා …’ කි බාප්පා අඩන පුංචිද රැගෙන කාමරයට ගියේ .. මා යන හැටි බලා සිටිමද ඔවුනට දුකක් උන නිසා විය යුතුය
*********
ඉතින් මා අවුරුද්දකට පසු මගේ නිවසේ මගේ කාමරයේ සිට හුස්මක් ගෙන ලය පුරෝ ගතිමි … එදා මා යනවිට තිබු පරිදිම කාමරය තිබුනේය … අංශු මාත්‍රයකුදු කාමරය තුල වෙනසක් සිදු කර නොතිබුනේය .. මා ගිය පසු කිසිවෙකු කාමරයේ දොර හෝ විවර කර නොතිබුනේය … මම සුපුරුදු යහනේ වැතිරී දෑස් පියා ගතිමි .. මට නින්ද ගොස් තිබුණි …
‘ සුදු දු එන්න තේ බොන්න ..’ අම්මි කතා කරන හඩින් මා අවදි වීමි ..මම දෑස් ඇර බැලීමි …. දවල් දොළහේ සිට පහ පමණ වනතුරු මට නින්ද ගොස් තිබුනේය .
‘ හම්මේ මම කොච්චර වෙලා නිදාගෙනද … ඇදට වැටුනා විතරයි නින්ද ගිහින් ..’
‘ මම කතා කරන්නත් ගිහින් දුට හොදටම නින්ද ගිහින් හින්දා කතා කරේ නැහැ ….’ අම්මි ආදරෙන් මගේ දෙස බලයි
ඉතින් මේ ආදරය සෙනෙහස නැතිව ගෙදරින් පිටවී සිටි මා ගැනම මට පුදුමය …
************
‘අක්කි යමුද රවුමක් …’ සුදු අරලිය ගහමුල බංකුවේ ඉදගෙන පොතක් කියවමින් සිටි මා දෙස බලමින් මල්ලි අසයි … සාමාන්‍ය පෙළ විභායේ ප්‍රතිපල එනතුරු නිවසේ ගෙවන මල්ලි ට නිවසේ සිටීම වදයක් වෙන්නට ඇත
‘ හා හා මටත් කම්මැලි .. යමු … ’ මම එකග වීමි
‘ හැබැයි බයික් එකේ හරිද ….’ මල්ලි පවසන්නේ මම බයික් වල ගමන් යාමට අකැමැති හෙයිනි …
‘මොකේ හරි කමක් නැහැ හලෝ මට කම්මැලි ගෙදර ඉදලාම යමු ..’
‘ එහෙනම් ඉක්මනට එනවා ඇදගෙන …’ මම නිවස තුලට ගොස් ඩෙනිමකින් හා ටි ෂර්ට් එකකින් සැරසි ආවෙමි …. මල්ලි බයික් එකට නැග බයික් එක පනගන්වා ගෙන බලාගෙන සිටි ..
‘ අම්මි අපි පොඩ්ඩක් එලියට යනවා … ’ මම කුස්සියට එබී අම්මිගෙන් අවසරය ලැබෙන්න පෙරම එලියට පැනගත්තෙමි
‘ පරිස්සමට දරුවෝ … ඔය බයික් එකේ යද්දී ….’ අම්මි කෑ ගහද්දීම මල්ලි බයික් එක පාරට දැම්මේය
‘ හරි හරි අම්මි බය වෙන්න එපා …. ’ මල්ලි කෑ ගසා ප්‍රති උත්තර දී බයික් එක පාරට දැම්මේය …
නුවර ටවුන් එක පුරාවට යාන්තමට අදුර පැතිරී ඇත ….. වේගයෙන් කුණාටු හුලගක් හමා ආවේ වැස්සක් ලග එන බවට ලකුණු කියමිනි … එක පාරටම වැස්සක් ඇදහැලෙන්න ගත්තේ නොසිතු මොහොතකය …
‘ෂිට් බලනවාකෝ අක්කි … කොහේදෝ නැති වැස්සක් ආවානේ … ’ මල්ලි වැස්සත් එක්ක අමනාපෙන් මෙන් කියවයි
‘ඕක ඔතනින් නවත්වනවා කෝ .. කේ එෆ් සි එකට ගිහින් මොනා හරි කමු .. ’ මල්ලි බයික් එක අයිනකට වන්නට නතර කෙරුවේය …
කේ එෆ් සි එක තුල වෙනදාට වඩා සෙනගක් ඇත … වැස්ස නිසා වන්නට ඇත … වැස්ස නිසා අසරණ වෙන පෙම්වතුන් කේ එෆ් සි එකට විත් යමක් අනුභව කරමින් දොඩමලු වෙන්නේ වැස්සේ ගොස් අතරමන් විය නොහැකි නිසාම වෙන්න ඇත ..
‘ මොනාද කන්නේ …. ’ මම මල්ලි දෙස බැලුවෙමි
‘ දැන් කන්න බැහැ කොකා කෝලා එකක් ඇති …’
‘ආ සල්ලි මටත් කන්න බෑ ඔයා ගන්න දෙයක් මටත් එක්ක ගේන්න …’ මම මල්ලිට මුදල් දී පසෙක තිබු හිස් මේසයක් වෙත ගියෙමි ..මම අවට බැලුවෙමි .. අසල තිබු මේසයක උන් පෙම්වතුන් යුවලක් කොදුරමින් සිටිනු දැක මගේ නෙතු ඒ යුවල ලග නැවතිණි … මට සිහි උනේ කවිෂ් අයියාය … ඔහුට තිබුනේද කවිෂ් අයියා වැනි දෑසකි ..
‘ ආ අක්කි ගන්නවකෝ මේක …කොහෙද අතරමන් වෙලා හිටියේ .. ’මම ගැස්සී මල්ලි දෙස බැලුවෙමි …. මල්ලි සිනාසෙමින් කොකා කෝලා එක මා අත තැබුවේය
මල්ලි සහ මම කියවමින් අවන්හල තුල උන්නේ වැස්ස පායනතුරුය … මේ වැස්ස පායන පාටක් නැත .. මම හිතින් වැස්සට බැන්නෙමි …
‘අක්කි මගේ යාලුවෙක් ඉන්නවා කතා කරලා එන්නද …’ මල්ලි අසල මේසයක සිටි තරුණයෙක් පෙන්වා මගෙන් ඇසුවේය ..මම හිස සොලවා හා කීවෙමි
මම වීදුරුවෙන් එපිට පාර දෙස බලාගෙන උන්නෙමි … මේ වැස්ස කොයි වෙලාවක පායයිද මන්දා … මම එපිට පාරේ කුඩ ඉසලාගෙන යන මිනිසුන් දෙස බලා උන්නෙමි …
‘ සුරංගනා …’ හුරු පුරුදු කටහඩ ඇසුනේ කොයින්ද කියා මම හිස ඔසවා බැලුවෙමි
‘භාවනා …’ මම අසුන්ගෙන සිටි තැනින් නැගිට්ටා නොව ඉබේම නැගිටුනේය …
ඇය උන්නේ කුසක් දරාගෙනය … ගැබිණි මව්වරු අදින ගවුමකින් සැරසී සිටි භාවනා …. වෙනදාටත් වඩා සුන්දරය … ඇය මද සිනාවකින් මුව සරසාගෙන මා ඉදිරියේ අසුන් ගත්තේය …. මම ඇය දෙස බැලුවෙමි … ඇගේ දෑස් තුල කිසියම් වේදනාවක් තිබුනේය .. දෙවියනේ මගේ කවිශ් අයියාගේ දරුවා … මම රවුම් හැඩයට ඇති කුස දෙස නෙතු රදවා ගත්තා මිස මට අසුන්ගන්න පවා අමතක වී තිබුනි
‘සුරංගනා වාඩි වෙන්න …. ’ ඇය කතා කරන්නේ පෙර දිනවල තිබු නපුරු කමින් තොරවය … මම රූකඩයක් මෙන් ඔහේ වාඩි උනෙමි … මම කතා නොකර ඔහේ බලා උන්නෙමි …. මා සිටිය යුතු තැන අද සිටින්නේ ඇයයි …හිත ඊර්ශ්‍යා වකින් පිරි ගියේ මටවත් නොදැනිය .. මගේ මුහුණේ හැගිම්ද ඒ අවස්ථාවේ වෙනස් වී ගියා වෙන්න ඇත … ඇය සතුටු වෙනවා ඇත ..මා පරාජය කර දිනුම ඇය සතුකර ගැනීම පිලිබදව
‘සුරංගනා පහුගිය කාලේ නුවර හිටියේ නැහැලු නේද …’ පළමුවෙන් කතා කලේ භාවනාය
‘ ඔව් මම කොලඹ බාප්පලාගේ ගෙදර නැවතිලා ඩිප්ලෝමා එකක් කළා .. කෝස් එක ඉවර කරලා ආපහු ගෙදර ආවේ ගිය සතියේ .. ’ මම කවිශ් නිසා ප්‍රේමය මා විනාශ කල නිසා නුවර හැරගිය බව ඇයට නොකීවෙමි
ඇය තම කුස වමතින් අතගෑවේ ..මේ දරුවා කවිශ්ගෙයි මගෙයි දරුවා කියන්නාක් මෙනි .. මම යමක් අසන්න පෙර ඇය නැවත කතා කළේය …
‘ මෙයා ඇවිල්ලා මාස හතයි … බලන්නකෝ හරියට වද දෙනවා මට .. හරිම දගයෙක් තමා බලන්නකෝ හැම වෙලේම අම්මිට පයින් ගහනවා … තාත්තා වගේම නැතා පුතත් …’ ඇය කුස පිරිමදිමින් පවසයි … ඇය මේ සියල්ල පවසන්නේ කවිශ් අයියාගේ අයිතිය තහවුරු කරගැනීමට විය යුතුය … නීතියෙන් තමා සතු කරගත් ඔහුට දාව දරුවෙක් බිහි කිරීමට හැකිවීම ඇය ලද ජයග්‍රහනයක් බව පෙන්වීමට මෙන් ඇය සිනාසුනේය ….
තව දුරටත් ඇය කියන දේවල් මට අසාගෙන සිටිය නොහැකිය .. එසේ අසා සිටියහොත් මේ දෙනෝදාහක් මැද මට හයියෙන් ඇඩේනු නියතය …මට මෙතනින් පිටවී ගොස් කොහේ හෝ මුල්ලක ගුලි ගැහි ඇඩිමට උවමනා විය ..
‘ භාවනා මම යන්නද … දැන් වැස්සත් පොඩ්ඩක් අඩු උනා නේ … ’ මම එතනින් පිටව යෑමට ඇගෙන් අවසර ඉල්ලුවෙමි .. මොනවා උනත් ඇය අම්මා කෙනෙක් වෙන්නට යන ගැහැනියකි … අම්මා යන පදවිය ලැබීමට යන ගැහැණියක රිදවා මට සැනසිය නොහේ … මම ඇය හා කියන්නට ප්‍රථම එතනින් නැගිටියෙමි ..
‘ සුරංගනා ..’ ඉදිරියට තැබූ පය පිටුපසට නොතබා මම ගෙල හරවා ඇය දෙස බැලුවෙමි
‘ ඔයා ආයෙම අපේ ජිවිත වලට එන්න එපා සුරංගනා .. මගේ පැටියාට තාත්තා කෙනෙක් ඕනා සුරංගනා .. මම ඉල්ලන්නේ මගේ දරුවාගේ අයිතිය උදුරාගන්න එපා කියලා විතරමයි …. මට වෙන මොකුත් එපා … ’ ඇගේ දෑස් අග දිදුලන කදුළු ගොඩක් කම්මුල් දිගේ පෙලට ගලා ගියේය .. ඇය කරන ඉල්ලීම ඉවතලිය නොහේ
‘සත්තයි භාවනා කවදාවත් මම ඔයාලාගේ ලෝකෙට එන්නේ නැහැ … මම ඔයාට පොරොන්දු වෙනවා …දළදා හාමුදුරුවෝ සත්තයි … මම ආයෙම කවිෂ් අයියා දිහා බලන්නේවත් නැහැ …’ මම ඇයගේ හිස මත අත තබා පොරොන්දුවක් දුන්නෙමි … තාම මේ ලෝකය නොදුටු ඒ කිරි කැටියා වෙනුවෙන් හෝ මා කවිශ් අයියා අමතක කල යුතුමය ..අමතක නොකලත් ඔහු ආයෙම මගේ ලෝකයට නොගත යුතුය …හිතට දම් වැල් දමා හෝ මේ ආදරය සිරකරගත යුතුය ..
තවත් කොටසක් බලාපොරොත්තු වෙන්න