සුරඟනක් කඳුළක් සලා 47

47 කොටස

අඩනවා නම් සාගරය පරදවා අඩා වැලපිය හැකිය .. .. මම රැයේ කව්ලුවෙන් පෙනෙන අහස දෙස බලා උන්නෙමි එකම තරුවකදු නැති රෑ අහසත් අද මගේ හිත වගේම අදුරු වෙලා කියලා මට හිතුනා …කවිශ් ඔබ මාගේ ආත්මය සරිය …. නමුදු දැන් මා භාවනාට පොරොන්දුවක් දී හමාරය …. තාමත් මේ ලොව නොදුටු අර ලේ කැටිය වෙනුවෙන් හෝ මා මගේ ආදරය අමතක කල යුතුය … කවිශ් මගේ අයියේ ඔබටද මා නොමැති දිවියක් නොමැති බව දනිමි … නමුදු අපි අපිට අහිමි නිසා අපි අපේ හිත දැන්වත් හදාගත යුතුය ..

මට මිලාන් සිහිවිය …ඔහු මා හට පෙම් කලේ මා අහිමි බව දැන දැනමය… ඔහුට මා පිළිබද ආත්මාර්ථයක් නොවිය … හැමවිටම ඔහු සිතුවේ මගේ සතුට ගැන පමණි …. මගේ පෙම ලද නොහැකි බව දැන දැනම ඔහු මගේ ලගින් උන්නේය … මටම පෙම් කළේය … ඔහු ගේ සිතේ මා පිළිබද තිබුනේ උත්තරීතර පෙමකි …. මට ලබා ගත නොහැකි උයේ ඒ ආදරයයි … මම කවිශ් වෙතම පෙම් කොට ඔහු ගැනම සිතුවා විනා අන් කෙනෙකු ගැන සිහිනයෙන් හෝ නොසිතුවෙමි ..ඉතින් වැරදුනේ මා හටම නොවේද ..

ඊට පසු දින මා ඉවසිය නොහැකි හිස රුදාවකින් පෙලුනෙමි ….. මම අම්මිට කියා හිසේ බාම් ආලේප කර ගත්තෙමි … අම්මි මා දෙස බලන්නේ දුකෙනි …

‘ සුදු දු ….’ මම අම්මිගේ ඔඩොක්කුවේ හිස තබාගෙන උන්නෙමි … අම්මි හෙමින් මගේ හිස අත ගාමින් උන්නාය …

‘ කියන්න මගේ අම්මි …’

‘ දුට දැන් විස්ස ඉවරයි …දැන් ඉතින් තව ටික කාලෙකින් ඔයාව හොද දරුවෙක් හොයලා කසාද බන්දලා දෙන්න ඕන …’ අම්මි පවසන්නේ මහා බරක් හිස මත තිබෙන්නාක් මෙනි

‘ මම කවදාවත් බදින්නේ නැහැ … මට බලකරන්න එපා අම්මි …’

‘ ඔයා හොදට ඉගෙන ගෙන කැම්පස් යනකන් අපි කොච්චර ආසාවෙන්ද බලාගෙන හිටියේ .. ඒත් ඔයා අපේ ඒ හැම හීනයක්ම බින්දා අප්පච්චි වත් මමවත් ඔයාට මොකුත් කිවේ නැහැ …. ඉගෙන ගත්තේ නැති උනාට ඔයාව හොද උගත් කොල්ලෙක්ට බන්දලා දෙන්නම් කියලයි හිතුවේ.. දැන් ඔයා ඒකටත් අකැමතිද..’ අම්මිගේ කතාවේ තිබ්බේ මන් ගැන කලකිරීමක්

‘ ප්ලීස් අම්මි ඔය කතාව නවත්වන්න මාව ඔයත් අවුල් කරනවා නේ …’ මම තරහෙන් කෑ ගැහුවා

‘ දු ඔයා නෙවෙයි තරහා ගන්න ඕන අපි … ඔයා කොල්ලෙක් පස්සේ ගිහින් ජිවිතේ විනාශ කරගත්තා ..දැන් ඒ කොල්ලා බැදලා ….ඔයා විතරයි හිත රවට්ට ගන්නේ … ඔයා අපි හොයලා දෙන කෙනෙක්ට කැමති නැත්තම් ඔයා කැමති කෙනෙක් හරි හොයා ගන්න … අපි හිගන්නෙක්ට හරි ඔයාව බන්දලා දෙන්නම් … ඒත් ඔයා ඔයාගේ ලස්සන ජිවිතේ විනාශ කරගන්න එපා …. ’

මම සියලු දෙනාට දුක් දෙන්නම විතරක්ම ඉපදුනාද … මගේ රත්තරන් දෙමව්පියන් මම නිසා විදින දුක හොදාකාරව දැන දැනම මා ඔවුනට හැමදාම තිලින කලේ දුක පමණක්ම නේද ….
තව දුරටත් අම්මි කියන දේවල් මට අහගෙන ඉන්න බැරි නිසා මම එතනින් නැගිටලා සාලෙට ගිහිල්ලා රුපවාහිනීය ක්‍රියාත්මක කළා … තිරය මත ලස්සන හින්දි සිනමා පටයක් දිග ඇරිලා …දිල්වාලේ දුල්වානියා ලේජාඉගේ …. හදවත් ඇත්තෝ මනාලිය රැගෙන යයි …. පුදුමාකාර ලස්සන ඒ කතාව ඇතුලේ මම අතරමන් උනා … ඉතින් අවසානයේ චිත්‍රපටියේ පෙම්වතා තම මනාලිය රැගෙන යන්න යයි .. එලෙසට මා රැගෙන යාමට ඔහු මවෙත පැමිණේ නම් දනිමි මා රැගෙන යෑමට නම් ඔහු කිසි දිනෙක නොඑනා බව නම් ….

මම හීනියට නෙත මත රගනා කදුලක් වැටෙන්නට පෙර අත්ලෙන් පිසදා ගත්තෙමි . …. මම බරට හුස්මක් ගෙන නැගිට්ටා පමණි දුරකථනය නාද වෙන්න පටන් ගත්තේය …. මම සෙමින් ගොස් දුරකථනය එසවුවෙමි …

‘ හෙලෝ සුරංගනා ..’ එහා බසින් ඇහුනු සුපුරුදු හඩ මිලාන්ගේ ය …

‘ අනේ මිලාන් ඔයා ….මම හිතාගෙන හිටියේ කෝල් එකක් ගන්න කියලත් …’ මම බොරුවක් ගෙතුවෙමි

‘ කියලා වැඩක් නැහැ ඉතින් … අපි කතා කරනකන් මතක නැහැ ..දැන් කියනවා කතා කරන්නලු හිටියේ .. බොරු කියන්නත් පුරුදු වෙලා ගැහැණු ළමයා …’ එසේ කියා ඔහු මහා හඩින් සිනාසේ

‘අනේ සොරි මිලාන් අමතක වෙලා නෙවේ ඔයාට වදයක් වෙන්න කැමැති නැහැ ..’ මම පැවසුවේ සැබෑවකි … ඔහු මා නිසා විදවූ සියලු දුක් මා දනිමි … තවත් මා නමින් ඔහුට විදවිමට දිය නොහැකිය

‘ සුරංගනා …’

‘ම්ම්ම්ම්ම්ම් …’

‘ මට ඔයාව හම්බ වෙන්න ඕනි … ’ පළමු වරට ඔහු නමින් මගේ හද ගැහුනේය …

‘ ම්ම්ම් හදිස්සියේ …’ මම හිත ගැහෙද්දි විමසුවෙමි

‘ හදිස්සියේ නෙවේ …. ගොඩක් දවස් ඉදලා ඔයාව බලන්න එන්න හිටියේ .. මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා ..’ දෙවියනේ ඔහුට මා වෙත කියන්න ඇත්තේ මොනාද .. තාම මට පෙම් කරන බවද … මගේ හදවත ගැහුනේ අමුතු රිද්මයකටය

‘ ඉතින් දැන් කියන්න තියෙන දේ කියන්න … ’ මට ඔහු කියන්න ඔහුගෙන් අසා දැනගැනීමට උවමනා විය

‘ බෑ මම හවස් වෙලා එන්නම් … මෙහෙම ෆෝන් එකෙන් කියන්න බැහැ … මම පොඩි වැඩක ඉන්නේ සුරංගනා මම තියන්නම් පරිස්සමට ඉන්න . … බුදු සරණයි .. ’ ඔහුගේ වදන් පෙර දිනක මෙන් තාමත් දයාබරය .. ඒ තරම් සෙනෙහසක් දිය හැකි කෙනෙක් මට ආයේ සොයාගනු නොහැකි වනු ඇත .. ඉතින් මා අද හෙටම විවාහ විය යුතු නම් ඒ ඔහුම විය යුතුය මා ඉතින් එය තීරණය කලෙමි ..
************
ඉතින් ඒ හවස සිතලම සිතල දියෙන් ගත දොවා ගත්තෙමි … කවිශ් අයියාට පසු හිතේ තැනක් දෙනවා නම් ඒ මිලාන් විය යුතුමය … මා ආසම කල සුදු පසු බිමේ රෝස මල් ඉහිරුණු ගවුමකින් සැරසී වරලස මුදා ගත්තෙමි .. කැඩපත තුල සිට මට සිනාසුනේ …ඉස්සර සිටි දගකාර යුවතියයි .. ඉතින් යලිත් මා මට ආදරය කලෙමි … ටිකින් ටික කවිශ් අයියා අමතක කිරීමට මිලාන් මට සවියක් වෙනු ඇත … අම්මි මා දෙස වරක් දෙවරක් බැලුවේ විමතියෙන් උවද මාගෙන් කිසිවක් විමසුවේ වත් මා කිසිවක් ඇයට පැවසුවේ වත් නැත …මට අවශ්‍ය උනේ ඇය පුදුමයට පත්කිරිමටය …

මම වරක් දෙවරක් නොව දහවරක් පමණ ඔරලෝසුව දෙස බැලුවෙමි … වෙනදා වේගයෙන් යන වෙලාව අද යන්නේ ඉබි ගමනින්ද මන්දා …. අවසානයේ ඔහු එනවා කියූ වෙලාවද පසුවී පැය භාගයකට පමණ පසුව වාහනයක් නිවාස ඉදිරිපි නැවතුවේය …. මම සිනාවකින් මුව සරසාගෙන පෙර මග බැලුවෙමි …. මිලාන් පැමිණියේය … නමුත් තනිව නොව….

මාගේ හොදම යෙහෙළිය දිනිති ඔහුගේ එක අතක වේලි සිටියේය … මා තැනු සිහින මාලිගය මගේ පය පාමුල බිදී විසිරි ගියේ කොයි තරම් සුළු මොහොතකින්ද ….. කදුලක් ඇහැට උනා ආවේය … මම කාටත් හොරෙන් එය පිස දමා ගත්තෙමි …

‘ කෙල්ල ලස්සන වෙලා නේද මිලාන් බලන්නකෝ මෙකි කොළඹ ගියාට පස්සේ තවත් ලස්සන වෙලා … ’ දිනිති මිලාන් අතහැර පැමිණ මා වැළද ගත්තා

‘ වාඩිවෙන්න …. ’ මම වෙනසක් නොපෙන්වන්නට වෙර දැරුවා උව සිනාවක් මුවගට නොආවේය ..

‘ ඔන්න දිනිතිට ඔයාව පුදුම කරන්න ඕනි කිවා …. ඔයාම කියන්නකෝ දිනිති ’ මිලාන් දිනිති දෙස බලා නෙත් වලින් සිනාසුනේය

‘ ඔන්න කෙල්ලේ සුභ ආරංචියක් කියන්න අපි ආවේ … අපි මැරී කරන්න තීරණය කළා …. ’ දිනිති මිලාන් දෙස බැලුවේ අනුපමේය ආදරයකින්

‘පහු ගිය අවුරුද්දේ මම ගොඩක් වැටිලා හිටියේ හිතින් …ඒ වෙලාවේ දිනිති තමා මගේ ලගින්ම හිටියේ … එයා හින්දා තමා මගේ හිත මේ තරම් හැදුවේ … ඉතින් එයා මගේ හිතට මාත් දන්නේ නැතිව ලංවෙලා … මට ආයේ දිනිති තරම් හොද කෙල්ලක් හම්බ වෙන්නේ නැහැ … අපේ ගෙවල් වලිනුත් කැමති … අපි ඉතින් ලබන මාසේ මැරී කරනවා ….. හැමදේම ඉක්මන් කරන්න තීරණය කලේ … මම ශිෂ්‍යත්වයක් ලැබුනා ඇමරිකා යන්න … අපි මැරී කරලා දෙන්නම යනවා එහෙ කැම්පස් එකකට ඇප්ලයි කළා දිනිති .. ඒකත් හරි යයි . ..’

‘ මට ගොඩක් සතුටුයි … මිලාන් කියන්නේ ගොඩක් හොද කොල්ලෙක් ..එයාව ඔයාට ලැබුන එකට ගොඩක් සතුටුයි … ’ මම දුක සගවා ඔවුන්ට සුභ පැතුවේ හදවතින්මය ….

‘ ඔයා තමා මගේ බ්‍රයිඩ් මේඩ් බෑ කියන්න බෑ හරිද …’ මම සිනාසුනෙමි …දිනිති ඇය කාටත් වඩා මගේ හිත හදුනන්නිය ඇය මා වෙනුවෙන් කල සියලු දේ අමතක කල නොහැක … ඉතින් මට ඇගේ ඉල්ලීම ඉවත ලිය නොහැක ..

ඉතින් ඔවුන් බොහෝ දේ කිවේය … මා ඔහේ අසා උන්නා මිස හිතට ගත්තා නොව කිසිවක්ම … ඔවුන් පිටව යන්නට සුදානම් උවේ රාත්‍රී ආහාරයෙන්ද පසුවය … අප්පච්චි අම්මි සේම මල්ලිද මිලාන්ගේ මේ සම්බන්දයට සතුටු උවේ ය

‘ සතුටින් ඉන්න සුරංගනා …. ’ යන්නට ගොස් ආපසු මා වෙත හැරුණු මිලාන් කිවේය … ඔහුගේ ඇස්වල නොකී කතා බොහොමයක් ලියවී තිබුනේය …. හැඩුවා කියා ලැබෙන දෙයක් නැත . …මම හිත්පිත් නැත්තියක සේ හිත හදාගත්තෙමි … සැබවින්ම මා පව්කාරියකි …. මා ඉල්ලු කිසිවක් අද වනතුරු දෙවියන් මා හට ලබා දී නැත …. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *