04

~~~සමනළ වසන්තය~~~~
04 කොටස
ඔන්න ඉතින් කොහොම කොහොම හරි ආර්ට් ඩේ එකත් ආවා …. වටේ තියෙන ඉස්කෝල හතර පහකටම ඉන්වයිට් කරලා තිබුන නිසා උදේ ඉදලා ඒ ඉස්කෝල වල ආර්ට් කරන ළමයි අපේ කොන්වන්ට් එකට එන්න පටන් ගත්තා ….. අපේ පංතියේ සෙට් එකත් පෙරහැර බලන්න වගේ පේලියට හිටගෙන ආර්ට් ඩේ එකට එන ළමයි දිහා බලාගෙන ඉන්නවා කටවලුත් ඇරගෙනම ..
‘ඒයි ….දක්ෂි කට ඇරගෙන බලාගෙන ඉන්න එපා යකෝ ….. මුන් හිතයි අපි කොල්ලෝ නැති රටක ඉන්නේ කියලා …’
තේජා එහෙම කියලා දක්ෂිගේ ඇරිලා තිබ්බ කට වැහුවා … දක්ෂි කියන්නේ මගේ අතිජාත එකම සහෝදරිගේ හොදම යාළුවා ….. දෙන්නා නිකන් ඉදිකට්ටයි නූලයි වගේ එකකට එකක් යාවෙලා වෙලා තමා හිටියේ ..
‘සදූ ….මගේ හදුන් පොත කී ගානවා බන් …උස කොල්ලෝ ..කොට කොල්ලෝ …. අනේ මගේ එක්කෙනා අදවත් හම්බවෙයිද දෙයියනේ ..’ දක්ෂි උඩ බලාගෙන එහෙම කියනවා දැකලා අපි සෙට් එකට හොදටම හිනා …
‘මේ දක්ෂි ඔයා කොල්ලෝ හොයාගත්තාට කමක් නැහැ . .. අපේ සදූට නම් කොල්ලෝ සෙට් කරලා අහුවෙන්න එපා ..’ මම විහිළුවට වගේ එහෙම කියද්දී දක්ෂිගේ මුහුණ සත පහේ කාසිය වගේ උනා ..අපේ සදුත් ඉතින් ඊට දෙවෙනි නැහැ … යාළුවාට මොකුත් කියන්න බැහැ අපේ එකිට ඩොන් යනවා ….
‘අන්න …උබේ ක්‍රෂ් එක එනෝ … බලපන්කෝ හිරූ …. ඌ තවත් ලස්සන වෙලා …. අනේ බන් ….උබ හිතේ තියෙන දේ කිව්වා නම් ..ඒ සුදු මුහුණ …. ඒ රතු තොල් …හැමදෙයක්ම උබේ නේ .. උබ පරක්කු උනා කේතකි ඉස්සර උනා ’
කොලේජ් එකේ බෝයිස්ලා විස්සක් තිහක් ගේට් එකෙන් ඇතුලට එද්දී පුජනී නිකන් පිස්සු වැටිලා වගේ ඔහේ කියවනවා …. සදූට ඇහුනොත් අම්මාගේ කනෙත් තියනවා ෂුවර් …. විහිළුවක් තේරෙනවා කියලා යෑ මගේ සහෝදරීට …
‘අනේ බන් …කට … කට …ඔය කට වහගනින් …… එයා දැන් මගේ ක්‍රස් එක නෙවෙයි …අනික මම ඔය සුදු පාට කොල්ලොන්ට කැමති නැහැ .. ඉස්සර මම එයාට කැමැත්තෙන් හිටියා තමා … බට් එයාව මගේ කරගන්න ඕන කියලා කිසිම සිතුවිල්ලක් තිබුනේ නැහැ ….’
මම එහෙම කියන ගමන්ම පුජනිවත් ඇදගෙන එතනින් පැනගත්තේ මොකද මේකිගේ හැකර කටින් තව ටිකක් මෙතැන හිටියොත් මොනවා කියවෙයිද දන්නේ නැහැ නේ …
‘හෝව් හෝව් ….තව පොඩ්ඩෙන් බලනවාකෝ මම ඉවරයි …… කුලප්පු වෙලා දුවන්නේ නැතිව හෙමිට ඇවිදිනවාකෝ …’
මලා ජෝන් කොතලාවල කිව්වාලු පුජනිවත් ඇදගෙන උඩ බලාගෙන දිව්ව පාර මම නැවතුනේ කොල්ලෙක්ගේ ඇගේ වැදිලා වැටෙන්න ගිහින් අනුනවයකුත් දශම අනුනවයෙන් වගේ තමා …මෑන්ස්ගේ අතේ තිබ්බ ෆයිල් එක බිම වැටිලා කොළ බිම හැමතැනම විසිවෙලා ….. කොහොම උනත් මගේනේ වැරැද්ද …. එහෙම හිතලා මම බිමට නැවිලා කොල ටික ඔක්කොම එකට එකතු කළා ….

‘සොරි ඈ … මම හිතලා හැප්පුනා නෙවෙයිනේ ඉතින් ….’ මම අහිංසක පාර්ට් එකක් දාලා එහෙම කියන ගමන් කොල්ලාගේ මුහුණ බැලුවා …. තලෙළු පාට දිගැටි මුහුණක් තිබුන කොල්ලාගේ මුහුණේ කිසිම හිනාවක් නැහැ … පොරට හොදටම තරහා ගිහින් කියලා මගේ පුංචි මොළේට ඒ වේලාවේ තේරුනා
‘ඔය විදිහට උඩ බලාගෙන දුවන්න එපා …..තව මිනිස්සු පාරේ ඇවිදිනවා කියලා මතක තියාගන්න ..’ මගේ අතේ තිබ්බ කොළ ටික උදුරලා වගේ අතට ගත්ත කොල්ලා මම කියන්නේ මොනවද කියලා හිතන්නවත් කලින් අපි හිටිය තැන පාස් කරලා ගියා ….
‘අනේ උලමා …. හිතාගෙන ඉන්නේ කවුරු කියලාද දන්නේ නැහැ …. උණ හපුළුවා පැටියෙක් වගේ …මුහුණේ කිසිම හිනාවක් නැහැ බුරුවා …මම දැක්කාමයි ඔය වගේ කොල්ලෙක් ’ කොල්ලා යන දිහා බලාගෙන මම කියවගෙන කියවගෙන ගියා ….
‘උබ තව ටිකක් කියෙව්වොත් නම් හිරූ සත්තු වත්තේම ඉන්න සත්තුන්ගේ නම් කියාවි … …’ පුජනී චිකිස් ගාලා පිටවෙන්න ගිය හිනාව අමාරුවෙන් නවත්තා ගත්තා
‘මහා ආඩම්බර කාරයෙක් නේ ..’
‘උබ දන්නවද ඌ කව්ද කියලා ….ඒ තමා ….කොලේජ් එකේ හෙඩ් ෆ්‍රිෆෙක්ට් ….’
ආ ඒක තමා මෙයා එච්චර පණ්ඩිත ….. හෙඩ් ෆ්‍රිපෙක්ට් හින්දා වෙන්න ඇති හිනාවක්වත් නැත්තේ ඒ උනහපුළු මුහුණේ …. කොහේදෝ යන මෝඩයෙක් ‘’ මම යටි තොල තද කරලා හපාගත්තා …
‘ඌයි යි යි යි …’ උල් දතක් යටි තොලේ වැදුන පාර මට නිකන්ම කෙදිරි ගෑවුනා …
‘හිරූ …… වරෙන් අන්න ගීතිකා මැඩම් කතා කරනවා ….ඉවෙන්ට් වලට ඉන්න ළමයි ලැහැස්ති වෙන්නළු ..’
තේජා ඇවිත් එහෙම කියද්දී තමා අපි දෙන්නාට ඉවෙන්ට් එක මතක් උනේ …. අපි දෙන්නා දුවගෙන යද්දී අපේ නාට්‍යට ඉන්න කෙල්ලෝ ටික ලැහැස්ති වෙනවා …මාත් ගිහින් .. අන්දරේගේ පාර්ට් එක කරන්න ඕන විදිහට ලක ලැහැස්ති උනා …..
‘අම්මේ උබ නම් හිරූවෝ නියම අන්දරේ …’ සරමකුයි බැනියමකුයි ඇදලා නිකටේ රැවුලක් එහෙම ගහගෙන හිටිය මම මෝඩ පහේ විදිහට හිනාවුනා….
‘පට්ට …ඈ …කට්ටියටම ….. කට්ටියට තරු පේන්න අපේ වැඩේ කරන්න ඕන ඈ …’
ඔන්න අපේ ඉවෙන්ට් ගැන අනවුන්ස් කරාට පස්සේ .. ..අපේ සෙට් එකම ස්ටේජ් එකට ගොඩ උනා … අන්දරේ සිනි කෑව හැටි තමා අපේ නාට්‍ය ……
මුළු හෝල් එකේම හිටිය ළමයි මීයට පිම්බා වගේ ස්ටේජ් එක දිහා බලාගෙන ඉන්නවා …. ඔන්න අපි පණ දාගෙන රගපානවා වැඩේ හොදටම නැගලා යනවා … හෝල් එකේ හිටිය කොල්ලෝ එක පාරටම විසිල් ගහනවා ….
‘උබේ කටෙත් පස් මගේ කටෙත් පස් ‘
මායි තේජායි drama එකේ අන්තිම හරියේදී ඔන්න බිම පෙරලි පෙරලි පස් කන සිං එක කරද්දී මට තේරූනා කෙදි වගේ දෙයක් කට ඇතුලට යනවා කියලා …… ඒත් හිරූ දෙයක් කරද්දී ඒ ගැන විතරයි නේ හිතන්නේ … ඕක ගැන හිතන්නේ නැතිව මම දිගට හරහට සීනි කෑවා ….ඔන්න එකපාරටම මගේ උගුරේ පොල් මූඩ්ඩ්ඩක් හිරවෙනවා වගේ දැනිලා බැලින්නම් මම කරපු දැගලිල්ලට රැවුල ගැලවිලා මගේ අතින් කට ඇතුලට ගිහින් ….
හෝල් එකේ හිටිය කොල්ලෝ කෙල්ලෝ මහා හයියෙන් හිනාවෙනවා …. හිනා සාගරයයි …සමහර කොල්ලෝ හූ කියනවා …විලි ලැජ්ජාවයි සන්තෝසේ බැරිවා …. හත් වලාමේ වෙච්ච දේට මක් කොරන්නද කියලා මාත් ඉතිං ස්ටේජ් එකේ පිටිපස්සට දුවලා රැවුල කටෙන් එළියට ඇදලා ගත්තා …
‘ හිරූවා මොකද මේ උනේ …’ පුජනී මගේ පිටිපස්සෙන් දුවගෙන ඇවිල්ලා බැලින්නම් ..
‘විලි ලැජ්ජාවයි පුජා … මම කොහොමද දැන් අරුන්ට මුහුණ දෙන්නේ ..’
‘ඕවාගේ දේවල් වෙනවා බන් … වරෙන් යන්න සුදු ගවුම දාගෙන …. ‘’
පුජනිගේ බලකිරීම නිසාම මම සුදු ගවුමත් දාගෙන හෝල් එකට ගියා ..වෙස් වලාගෙන drama එකේ රගපෑව නිසා පිටින් ඇවිල්ලා හිටිය කාටවත් මාව ගානක් නැහැ හොද වෙලාවට … මම පුජනි එක්ක ගිහින් හෝල් එක පිටිපස්සේ ෂිට් එකක වාඩිවෙලා ඇස් කරකවලා බැලුවේ අර ආඩම්බරකාරයා ඉන්නවාද කියලා ….. එයා ඉන්නවා ඉස්සරහම ෂිට් එකක කොල්ලෝ ගොඩක් මැද්දේ වාඩිවෙලා …
‘පුජා අපි එළියට යම්මු ….’ ටික වෙලාවකට පස්සේ මම පුජනී දිහා බැලුවා ගෑනි කිසිම හැල හොල්මනක් නැහැ ස්ටේජ් එක දිහාම බලාගෙන ඉන්නවා …
‘ටිකක් ඉදපන් මෝඩියේ …අර ගගුන්ලාගේ ස්කුල් එකේ ඉවෙන්ට් එක තිබ්බෙත් නැහැ ..’
‘අනේ එහෙනම් උබ ඉදපන් මම යනවා ..’ මම පුජනී එතැන ඉදිද්ම නැගිටලා යන්න කියලා ලැහැස්ති උනා …
‘මීලග අංගය ඔබ වෙත ගෙන එන්නේ පිරිමි විද්‍යාලයේ දිනිත හසරැල් ජයසේකර …’ යකඩ කටට කට තියාගෙන කෑ ගහන්නේ දිනිදී මම නිකමට හැරිලා බැලුවේ එන්න බැහැ කිව්ව පුජනී මගේ පස්සේ එනවාද කියලා දැනගන්න …. ම්හ්හ්හ් …… කෙල්ල කිසිම් හැල හොල්මනක් නැහැ …
ආපහු එන්න යද්දී තමා මම දැක්කේ දිනිත කියන්නේ මගේ ඇගේ හැප්පුන පිරිමි ළමයා කියලා .. හිටිය තැනම නැවතිලා මම ස්ටේජ් එක දිහා බලාගෙන හිටියා ….
‘පිතු සෙනෙහේ පිදු පිදු පියෙකු නොමැති ලොව
දූ දරුවන් හිනැහී ඇතිදෝ ….
උන්ගේ හිත රැදී තනිය මකන්නට
මව්නට කවදා හැකිවේදෝ ‘’
දිනිත ස්ටේජ් එකට නැගලා මයික් එක අතට අරන් සිංදුවක් කියනවා ….. හෝල් එක පුරාවටම ඇහුනේ දිනිතගේ කටහඩ විතරමයි … එකම ළමයෙක්වත් මීක් කියලා ශබ්දයක්වත් නැහැ …. දිනිතට මෙච්චරම ලස්සනට සින්දු කියන්න පුළුවන්ද … මම හුස්මක්වත් ගන්නේ නැතිව ඒ දිහාම බලාගෙන හිටියා … ඒ කටහඩ මගේ හිතේ පතුලේම තැම්පත් වෙනවා වගේ තමා මට දැනුනේ …

*********
‘හිරූ .. ….මගේ අල්මාරියේ එකේ තිබ්බ නිල්පාට ඩෙනිම් එක ගත්තාද …අර පෙන්සිල් කට් ඩෙනිම් එක ..’
ඒ ඉරිදා සිංහල ක්ලාස් යන්න ලැහැස්ති වෙන්න මුහුණ හෝදගෙන එහෙම සදු ආවා මාව හොයාගෙන …ඒ වේලාවේ මම හිටියේ මිදුලට වෙලා බයිසිකල් එක පදින්න පුරුදු වෙන ගමන් …
‘මම දැක්ක එකක් නැහැ හලෝ …’ සදු මම හිටිය තැනට ඇවිල්ලා නහයෙන් ඇඩුවත් මම වැඩිය ගණන් ගන්නේ නැතිව බයිසිකල් එක පැද පැදම හිටියා …
‘අනේ හිරූ මට වෙලා යනවා කියනවකො කොහෙද කියලා ..’
‘මම දැක්කේ නැහැ හලෝ ..මම කිව්වා නේද එක සැරයක් ….අනික තමුසෙගෙ ඔය හඩු ඩෙනිම මට වැඩක් නැහැ .. ‘’
මම ටිකක් සැරෙන් වගේ කියද්දී මෙන්න බොලේ සදුවා ටැප් එක ඇරියා වගේ එක පාරම අඩන්න තියාගත්තා …
‘අනේ යන්න බොරු නොකියා …. ඔයා තමා ගන්න ඇත්තේ …’
‘හරි හරි ඔය ටැප් එක වහගන්නවාකෝ …මම මතක් කරලා බලන්න ..’ මම බයිසිකල් එක නවත්තලා පේර ගහකට හේත්තු කරලා සදු ලගට ගිහින් එයාගේ කර වටේ අතක් දාගත්තා ..
‘කියනවාකෝ මතක් කරලා හරි …’ මම නිකමට වගේ සදුගේ ඩෙනිම මෙමරි එකට දාගත්තා ….ගෝඩ් දැන්නේ මෙමරි එකට වැටෙන්නේ මම පෙරේදා හවස කඩේ යන්න කියලා සදුට හොරෙන් ඩෙනිම් එක ඇදලා රෙදි හෝදන බේසමට දැම්මාට තාම ඒක හේදුවේ නැහැ නේ …
‘ම්ම්ම්ම්ම් … හරි මතාක් උනා ….’
‘හරි හරි ඉක්මන් කරලා කියනවා කොහෙද තියන්නේ …’
‘අන්න මගේ හෝදන්න තියෙන රෙදි ගොඩේ ඇති …… තරහා නැතිව ගිහින් ඒක අරගන්නවාද …. අවුලක් නැතිව අදට අදින්න පුළුවන් වෙයි …’
මම එහෙම කියලා කට ගන්න හම්බවුනේ නැහැ මෙන්න සදු අඩගාගෙන මාවත් පෙරලාගෙන ගේ ඇතුලට දුවනවා …..
‘ හිරූ ….හිරූ ..මෙහෙ එනවා …’ අම්මාගේ කටහඩේ විදිහට නම් සදු කේලම කියලා මට හිතුනා
‘මේ එනවා …’ මම කෑ ගහගෙනම ගේ ඇතුළට දුවගෙන ගියා …. අම්මාට පිටිපස්සේ හිටගෙන හිටපු සදු තාමත් හොටු පෙරාගෙන අඩනවා …
‘මොකද ඔයාට ඇදුම් නැහැ වගේ සදූගේ ඇදුම් අදින්නේ …ඔයාගේ නරක වැඩවලත් සීමාවක් තියන්න ඕන…’ ටෝන් එකේ ව්දිහට නම් අම්මාට කේන්ති ගිහින් …..
‘අම්මා මම හිතුවේ ඒක මගේ එකක් කියලා …. මම ඒක හෝදලා දෙන්නම් … ‘’
‘සදු අදට වෙන එකක් ඇදගෙන යන්න ….. ඉන්න අදම මම ඔයාට වෙන අල්මාරියක් ගෙනත් දෙන්නම් .. නැතිනම් මටයි ඉවරයක් නැතිවෙන්නේ ඔය දෙන්නාගේ මේ රණ්ඩු බේරලා …’ අම්මා අන්තිමට එහෙම කිව්වා …..
‘ඔයත් නැටිල්ල පැත්තක තියලා ඔයත් පොතක් අතට ගන්න .. ‘’ සදු ගෙදරින් එලියට බැස්සට පස්සේ අම්මා කුස්සිය පැත්තට යන ගමන් මට තරවටු කරන්න අමතක කරේ නැහැ … මාත් ඉතින් අම්මාට පේන්නත් එක්ක පොතක් අරන් ඇවිත් සාලේ පුටුවක වාඩිවුනා …..
මතු සම්බන්දයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *