05

~~~යශෝධරා ~~~
05 කොටස
‘මේ ඉන්නේ අභීත සේනාධීර මහත්තයා මෙතුමා තමා දෙමව්පියන් නැති මේ දරුවන් වෙනුවෙන් අපේ ළමා නිවාසය පවත්වාගෙන යන්න ආධාර උපකාර කරන්නේ . … හැමෝම මෙතුමාට ආචාර කරන්න ’
ගැහැණු ළමයි අත් එක්කොට අභීතට ආචාර කරද්දී කිසිම හැගීමක් නොමැති බැල්මකිනි ඔහු බලා උන්නේ … පෙරදා සිදුවූ සිද්ධීන් එකිනෙක දෑස් අභියස මැවේද්දී මම සෙනුලිටමුවා උනෙමි ..ඒ ඔහු මා දැක කුමන ප්‍රතිචාරයක් දක්වාවිදැයි යන බියෙනි … ඔහු වැනි දැවැන්ත මිනිසෙක් අභියස මා කුඩා කුහුබුවෙක් තරමටවත් නොවටින බව මට අමතකව ගොස් තිබුණි …
‘ ඇන්ජලා ළමා නිවාසේ මොනවා හරි අඩුපාඩු තියෙනවාද …’ පාලිකාව පවසන්නට සවන් දෙමින් උන් අභීත ඇගෙන් විමසිය
‘සර් , අපිට දැනට තියෙන ලොකුම අඩුව තමා ළමයිට පුස්තකාලයක් නැති එක ..’ පාලිකාව බලාපොරොත්තු සහගත බැල්මකිනි අභීත දෙස බැලුවේ
‘මෙතන ලක්ෂ පහක් තියෙනවා ….. අද හෙටම පුස්ථකාලේ හදන වැඩේ පටන් ගන්න … අඩුපාඩු උනොත් මට කියන්න ..’ චෙක් පොත අතට ගත් අභීත දෙවරක් නොසිතා චෙක් පතක් ලියා පාලිකාව අත තැබුවේය … ඇගේ මුව මත ඇදුනේ මා දැක නැති ආකාරයේ සිනාවකි …..
‘ළමයි අභීත සර්ට ස්තුති කරන්න …’
‘ස්තුතියි සර් …. ’
ගැහැණු ළමුන්ගේ හඩ ශාලාව තුල දෝංකාර දෙද්දී ඔහු දෙසටම නෙත් හෙලාගෙන උන් මා එක් දෙයක් දුටිමි …ඒ ඔහුගේ දෑස් තුල කුමක් හෝ ගැබුරු වේදනාවක් ඇති බවයි .. ගුප්ත පෙනුමක් ඇති මොහු හදවතින් බොහෝ උසස් ගතිගුණ ඇත්තෙකු බව මගේ පුංචි හිතට ඒ මොහොතේ වැටහුණි …
‘ සර් මොනවා හරි බොමුද …’
‘බැහැ ඇන්ජලා මට මිටින් එකක් තියෙනවා ….. මම දැන් යන්න ඕන …. ඔයාට මේ ළමා නිවාසේ මොනම හරි අඩුපාඩුවක් තියෙනවා නම් මට කියන්න … ලයිබ්‍රි එකේ වැඩේ ඉක්මනටම පටන්ගන්න …’
අභීත පාලිකාව සමග කතාබහ කරමින් මිදුල දෙසට ඇවිද ගියේ මගේ හිතට සැනසීමක් එක්කරමිනි …
‘අභීත සර් යෝධයෙක් වගේ නේද අනු අක්කි…’
ඔවුන් නොපෙනී ගිය පසුත් මිලාගේ දෑස් යොමුවී තිබුනේ එදෙසටය …
‘එහෙම තමා නියම පිරිමි … බලන්නකෝ අභීත සර් ලග තියෙන ගාම්භිරකම ..’
‘එයා මැරී කරලද ඉන්නේ අක්කි …’ .
‘මිස් කිව්ව විදිහට අභීත සර් බදින්න ඉදලා තියෙන්නේ මේ පළාතේ හිටිය ලස්සනම කෙල්ල ….ඒත් මොකක් හරි හේතුවක් නිසා ඒ ගර්ල් සර්ව අත ඇරලා ගිහින් … ඊට පස්සේ සර් ජිවිතේ ගැන හොදටම කලකිරිලලු ඉන්නේ ..තවමත් කසාද බැදලා නැත්තේ අර ගර්ල්ට තාමත් ආදරේ කරන නිසා වෙන්න ඇති’

ඇස් නටවමින් කට උළුක් කරගෙන දොඩන අනුෂිකා පවසන සියල්ල ….කෙල්ලන් විශ්වාස කරන්න ඇත …
*******
ඒ සදුදා උදෑසනින් පාලිකාව පසු පස වැටි මා පියමැන්නෙමි … බාලිකාව දුටු විගස මගේ සිත් ගත්තේ …..එහි වටපිටාව නිසාවෙනි … තේ වතුයාය අතරින් පිදුණු කැලෑ රෝසමල් වලින් ග්‍රහණ මේ පරිසරයට හිරු පවා පෙම් කල බවකි පෙනුනේ …
‘ වශීවෙලා වගේ බලාගෙන හිටියේ කොහෙද …’ පාලිකාව මා පාසලට භාරකාර යන්න ගිය පසු සෙනුලි මා අසලට දිව ආවාය ….
‘හිතට කොච්චර දුකක් දැනුනත් මේ වගේ ලස්සන පරිසරයක් දැක්කාම හිත මාර විදිහට නිවෙනවා ..’
දෑස් අයාගෙන ඉමක් නැති තේ යාය දෙසම බලා උන් මා සෙනුලි වෙත හැරුනෙමි … ඈ මා දෙස බලා උන්නේ සිනාමුසුවය …. ළමා නිවාසය තුලදී සිතට දැනෙන හිරකාරි බව වෙනුවට පාසලේදී මට දැනුනේ සැහැල්ලුවකි …
‘හරි ලස්සනයි නේද අනේ …’
‘හ්ම්ම්ම්ම්ම් ලස්සනයි තමා ..ඒත් …’ සෙනුලි කතාව නවතා දිගු සුසුමක් හෙළුවාය …
‘ඇයි කතාව නතර කලේ ..’
‘ඔය තේ ගස් අස්සේ දියවෙලා යන පව්කාර ජිවිත තියනවා ..’ සෙනුලිගේ දෑසට නැගුනු කදුළු නොදන්නා කතාවක් කියද්දී මා ඇගේ දෝතින්ම අල්ලා ගත්තෙමි
‘මොකද සෙනු මේ අඩන්නේ …’
‘අඩන්නේ නැහැ නිකන්ම කදුළු ආවා ..’ ගවුම් සාක්කුවේන් පිටතට ගත් ලේන්සුවෙන් දෑසේ කදුළුවල තෙත මාත්තු කල දැරිය සිනාසෙන්න උත්සහ කළා ය ….. මට මෙන්ම ඇයටද දුක්බර අතීතයක් ඇතුවා විය හැකිය …..
‘පස්සේ වෙලාවක මම ඔයාට හැමදෙයක්ම කියන්නම් … මේ කතාව කිව්වොත් ඔයාටයි මටයි දෙන්නටම අඩන්න වෙන්නේ …. දැන් අපි පංතියට යමු ..’
සෙනුලි ඉස්සර වෙද්දී මම ඇගේ අතක එල්ලුනෙමි .. මගේ වයසේම දැරියක් උන සෙනුලිගේ පංතියට මම වැටුනේ වාසනාවකටය …
‘ඔයත් ඉන්නේ ළමා නිවාසේද …’ පංති කාමරයේ උන් දැරියන් සෙනුලි සහ මා වටකරගෙන බලා උන්නේ අද්භූත ජීවියෙක් දුටුවාක් මෙනි
‘ ඔව් …ඔව් ..මෙයත් ඉන්නේ අපේ ළමා නිවාසේම තමා …ඔයාලාට තවත් ප්‍රශ්න තියෙනවාද …’ සෙනුලි මා වෙනුවෙන් කතා කිරීමට ඉදිරිපත් විය
‘අපෝ මෙන්න තෝල්කයා පැන්නා ඉස්සරහට ..’ ගැහැණු ළමුන් මුහුණු බේරී කරගෙන ඉවත්ව යන්න විය ..
‘මේ පංතියේ ඉන්නේ විකාර විදිහට හිතන කෙල්ලෝ සෙට් එකක් …ඔයා ගණන් ගන්න එපා … සමහරුන්ට සල්ලි තියෙනවා ඒ උනාට මොළේ කළදක් නැහැ … උන්ට බය උනොත් අපිව යටත් කරගන්න බලයි …ඒ නිසා කාටවත් ඔළුව නවන්න යන්න එපා …’
තැන තැන එක්වී දොඩන කෙල්ලන් දෙස හොරැහින් බලමින් සෙනුලි පැවසුවේ සත්‍ය බව වැඩි දිනක් නොයාම වැටහුනි ….
බාලිකාවේ සිසුවියන් අතර ඉගෙනුමට තිබුනේ තරගකාරිත්වයකි ….සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් සුදානම් වෙන දැරියන් උත්සහ කලේ එකෙකු අභිභවා නැගී සිටීමටය …
මට ඉගෙනීමට සදහා තිබුනේ සහජ දක්ෂතාවයකි ….යමක් එකවරක් පමණක් ඇසු පමණින් ධාරණය කරගැනීමට මට තිබුණු ශක්තිය ගැන ඒ දිනවලද ගුරුවරුන් මා අගය කළේය …. නව පාසලේදිද ගුරුවරුන් මගේ දක්ෂතාවය හදුනාගන්න වැඩි කාලයක් නොගියේය ..
‘බලන්න යශෝධරාගේ රචනාවේ ලස්සන ……අදහස් ගලපලා තියෙන විදිහ අති විශිෂ්ටයි …. ඔයාලත් මෙයාගේ රචනාව දිහා බලාගන්න ..බැරි දෙයක් තියෙනවා නම් යශෝධරාගෙන් අහන්න …’
සිංහල ගුරුවරිය දිලංකා මා අගය කරද්දී අන් දැරියන් මුහුණ හකුලා ගත්තේ මා ගැන අමනාපයෙන් මෙනි ..
‘බලන්නකෝ ශිවන්තිගේ මුහුණ පුපුරු ගහනවා තරහට … ඉස්සර මේ පංතියේ එක දාගෙන හිටියේ ශිවන්ති …දැන් මිස්ලා ඔයා ගැන හොද කියද්දී එයාට දරාගන්න බැරිව ඇති ..’ සෙනුලි පෙන්නුවේ ශිවන්තිය …. සුන්දර කුඩා දැරියක් ඌ ඇය මට වෛර කරන්න ඇත ..ඒ ඇගේ ස්ථානය මා අභිභවා ගිය බැවිනි …
‘යශෝධරා මට මේ රචනාව ලියන්න කියලා දෙන්නකෝ ..’ මුහුණ අදුරු කරගත් දැරියක් පොත ඔසවාගෙන පැමිණියේ මා ළගටය …
‘කෝ එන්න මම කියලා දෙන්නම් …’ මා සෙමින් කරුණු පහදා දෙද්දී ඇගේ මුහුණ මත විකසිත වෙන්නේ සිනාවකි
‘ඔයා හරි හොදයි අනේ …මට මේක හොදටම තේරුණා …දන්නවාද …අර ශිවන්ති ඉන්නවා නේද කවදාවත් මොකුත්ම කියලා දෙන්නේ නැහැ … එයා දන්නේ නැතිව ඇති තමන්ගේ දැනුම අනුන්ට බෙදලා දෙද්දී දැනෙන සතුට …’
‘හැමෝම එක වගේ නැහැනේ මධු … ඕනෑම දෙයක් මගෙන් අහන්න ..’
ශිවන්ති මා පිළිබද අමනාපයෙන් උන්නද මගේ සිතේ ඈ පිලිබදව කිසිම තරහක් නැත …
******

ළමා නිවාසයේදී අනුෂිකා මා දෙස බැලුවේ තරහාකාරියක් දෙස බලන්නාක් මෙනි ….කල් ගතවෙද්දී ඇගේ සිතේ මා ගැන තරහා වැඩිවෙන්න ඇත්තේ ළමා නිවාසේ දැරියන් මට දැක්වූ සෙනෙහස නිසාවෙනි …
‘ යශෝධරා අද සුමනා අම්මාට උයන්න උදව් කරන්න ..’ පාසලේ වැඩක් කරමින් උන් මා දැක අනුෂිකා එලෙස පවසයි … ආහාර පිසීම සදහා මට ලබා දී තිබුනේ අද දවස නොවේ … මට මතක අයුරින් අද ඒ සදහා යොදවා ඇත්තේ සජිනිය ..
‘ අද සජිනි නේද උයන්න ඉන්නේ …’
‘ ඔව් …එයාට අසනීප වෙලා ඉන්නේ අද ඔයා යන්න ..’
‘එයා අද හවසත් හොදට හිටියා නේ ..’
‘හොදට හිටියා තමා ඒ හවස ..දැන් එයාට ඔළුවේ කැක්කුමක් හැදිලා හාන්සි වෙලා ඉන්නේ ..’
‘මම ස්කුල් එකේ වැඩක් කර කර හිටියේ මේ රචනේ හෙට උදේ දෙන්න ඕන …’
‘ඕක ඕන වෙලාවක කරගන්නවා දැන් ගිහින් තමුන්ට දුන්න වැඩේ කරනවා ..’
ඇයත් සමග එකටෙක කියාගෙන යෑමෙන් සිදුවන්නේ ප්‍රශ්නය දුරදිග යෑමයි ..මට එලෙස වෙනවා දැකීමට නොවුමනා බැවින් තවත් කිසිවක් නොකියා මුළුතැන් ගේ දෙසට පියමැන්නෙමි ….
ආහාර පිසීමට කිසිවක් තවමත් සුදානම් කර නැත …. මම මුළුතැන්ගේ පුරාම සුමනා අම්මා සෙව්වෙමි …ඈ උන්නේ මේසයක් මත හිස තබාගෙනය ..
‘සුමනා අම්මා මොකද මේ ..’
තිගැස්සී හිස ඔසවා බැලු ඕ මා දැක මද සිනාවක් පෑවාය … ඒ මුහුණේ උවේ විඩාවකි …
‘මට උණ හැදිලා ඉන්නේ දරුවෝ …. ඇගට කිසිම පණක් නැහැ …’
‘සුමනා අම්මා බෙහෙත් ගත්තාද …’
‘මම පස් පංගුව එකක් තම්බලා බිව්වා … තව ටිකකින් උණ බැහැලා යයි …’
‘ සුමනා අම්මා ඔළුව තියාගන්න …. මම මේ ඔක්කොම බලාගන්නම් ..’ ස්තුති පුර්වක බැල්මකින් මා දෙස බලා උන් ඈ පිළිබද මගේ සිතට දැනුනේ අනුකම්පාවකි ….
පෙර දිනවල නිවසේ ගතකල දිනවලදී මම කිසිදිනක කුස්සිය දෙස හිස හරවා බැලුවේ නැත …සියල්ල සිදුකලේ ආච්චි අම්මාය ….. කොතරම් අගහිගකම් මැද උවද ආච්චි අම්මා මා හැදුවේ මලක් ලෙස නොවේද … ඉතින් මා ආහාර පිළියෙළ කිරීමට නොදැන උන්නෙමි …යන්තම් තේ එකක් තනිව පිළියෙළ කිරීමට මා උගත්තේ ළමා නිවාසෙට පැමිණි පසුවය … ළමා නිවාසේ ගැහැණු ලමුන්ට ආහාර පිසීම සදහා උදව් දීමට දිනක් වෙන්කර තිබුනි …එහිදී අප කලයුතු උනේ සුමනා අම්මාට අත් උදව් දීමය … අද මා සුදානම් වන්නේ ජිවිතයේ කිසිදිනක නොකළ දෙයක් කිරීමටය …..
බතක් උයා …. පරිප්පු හොද්දක් සමග හාල්මැස්සන් බැදුමක් සුදානම් කිරීමට මට ගතවුනේ පැයක් පමණි … මට බයක් දැනුනේ කිසිදිනක නොකළ දෙයක් කල බැව්නි …
‘බත් මේරි වෙලා … පරිප්පු හොද්ද වතුර වගේ ….මේ හාල් මැස්සෝ හරියට බැදිලත් නැහැ … සුමනා ..සුමනා කෝ මේ ගෑනි කොහෙට උනාද ..’
පළමුවෙන් කෑ ගැසුවේ මේට්‍රන්ය … සුමනා අම්මා වැනෙමින් මෙන් දුවගෙන එද්දී පාලිකාව බලා උන්නේ තරහෙනි …
‘මොකක්ද ගෑනියේ මේ හදලා තියෙන කෑම …. මෙලෝ රහක් නැහැ …..’
පාලිකාව කෑ ගැසුවේ සුමනා අම්මාටය …. ඇය අසරණය …. මේ සියල්ල පිළියෙළ කලේ මාය ..
‘මිස් සුමනා අම්මාට බනින්න එපා …’ බිම බලාගෙන උන් සුමනා අම්මා මගේ නම නොකියා උන්නත් ඇයට දොස් නැගීමට ඉඩ දීමට නොහැකිය ….
‘මොකද තමුන් මගේ කතාවලට කට දාන්නේ ..’
සුමනා අම්මා දෙසට යොමුව තිබුණු ඇස් මා ලග නැවතුනේය ..
‘ඒ මොකද මම තමා ඔය කෑම හැදුවේ …’
‘තමුන් ..කව්ද තමුන්ට කිව්වේ කෑම හදන්න කියලා ..’
‘සුමනා අම්මා ඉන්නේ ලෙඩින් මම හිතුවේ එයාට උදව්වක් කරන්න කියලා …’
‘සුමනා ලෙඩින් ඉන්නවා නම් මට කියන්න තිබුනා නේද ….මේ පොඩි කෙල්ලක්ට උයන්න දුන්නේ ඇයි ..’
‘මට සමාවෙන්න මිස් ..’ සුමනා අම්මාගේ මුහුණේ උවේ ශෝකයක් මෙන්ම අසරණ කමකි …
‘හරි තමුන්ට යන්න පුළුවන් …’
සුමනා අම්මා පිටව ගියේ බිම බලාගෙනමය …
‘මේ අහනවා අනාථ කෙල්ලේ …ආයේ කවදාවත් තමන්ට අදාල නැති වැඩ කරන්න යන්න එපා ..තමුන්ට දුන්න වැඩේ විතරක් කරනවා ….දැන් මේවා කන්න පුළුවන් අය කනවලා ..’
මහා හඩින් ගිගුරුම් දුන් ඈ යන්න යද්දී මා අනුෂිකා දෙස බැලීමි .. ඒ මුවේ සරදම් සිනාවකි …. ඈ ලගින්ම උන් සජිනි උන්නේ සිනාසලමිනි ….. ඔවුන් දෙදෙනා මෙය සිදුකරන්න ඇත්තේ හිතාමතාය …අනුෂිකා ගැන හිතේ තිබුන කලකිරීම වැඩි වෙද්දී මා කිසිවක් නොකාම එතැනින් ඉවතට ඇදුනෙමි ..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *