07

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~
07 කොටස

සිහින අයියාට කතා නොකර ගෙවුණු දින කීපය මට දැනුනේ මහා කාලයක් ලෙසය …. ඉතින් මා ජිවත් වුනේ ඕනෑවට එපාවට මෙනි …. නිවසේ ගතවෙන හැම තප්පරයකම මට හැගුනේ හුස්ම හිරවී මැරෙන්න ආසන්නව යන්නාක් මෙනි .. මගේ නිහඩ බව දැක මම්මා කම්මුලක අතක් තබාගෙන කම්පා වුවාය … විටෙක වියරු වැටි යාමට ආසන්න වන සිත මා සන්සුන් කරගත්තේ බොහෝ අපහසුවෙනි …

‘ අම්මා … අවුරුදු පහුවෙලා නිකිණිව බලන්න මනමාලයෙක් එනවා … එයාට කියන්න ඒකට ලැහැස්ති වෙන්න කියලා …’
දිනක් තාත්තා පැවසුවේ අකුණක සරයෙනි … කෑ ගසා අඩන්න ඕනෑ උනිද කදුළු වියළි ගොස් තිබුණි …. මා කළේ කිසිදු හඩක් නොනගා ඔහේ බලාගෙන හිදිම පමණි ….

‘මෙච්ච්ර ඉක්මනට ….. තාම නිකිණි ට අවුරුදු විස්සයි ….’
මම්මා තාත්තාට එරෙහිව යමක් පැවසුවාය …..
‘තව කාලයක් මෙයාව ගෙදර තියා ගන්න තිබ්බා ….මෙයා අපි කියන විදිහට හිටියා නම් …. ඒත් මෙයා කරන්නේ එයා කැමති දේවල් …තව ටික කාලයක් මෙයාව ගෙදර තියා ගත්තොත් අපේ පවුලේ දැලි ගාලා තමා මෙයා යන්නේ …. අච්චර එපා කියලත් නැවැත්තුවාද අරු එක්ක තියෙන සම්බන්ධෙ ..’
තාත්තා මා විෂයේ දැඩි තීරණයක් ගෙන ඇත …අම්මා මුත්තා කීවත් ඔහුගේ තීරණය වෙනස් නොවෙන බව මා දැන උන්නෙමි ..

‘අනේ මන් දන්නේ නැහැ ඔයාට හොදයි කියලා හිතෙන දෙයක් කරන්න … ’
මම්මාට උව තාත්තාට බලපෑම් කල නොහැකිය …මා වෙනුවෙන් සටන්කිරීමට හෝ ඉන් පසුව ඈ උත්සහ නොකළාය ..

***
ඉන් පසුව එළබි දින කීපය මා ගත කලේ මරණයට කැපවූ මිනිසෙකු මෙනි …. කෑම බීම පවා මා ප්‍රතික්ෂේප කලෙමි …. මට උවමනා වුවේ සිහින අයියා නම්න් දිවි ගෙවා මියැදිමටය ….

‘බබී මල් ටිකක් කඩාගෙන එනවාද …’
මම්මා ඔය සුදානම් වෙන්නේ …. බුදුන් වන්දනා කිරීමටය …… ඉතින් මා මිදුල පාමුල තිබු වතුසුදු ගසෙන් මල් නෙලා විත් ඇයට දුන්නෙමි … ඇය බුදුන් වැදීමට වන් කල පැයකට මෙහා එය අවසන් නොවෙන බව මා දැන උන්නෙමි ….

නිවසේ තිබු දුරකතනය විසන්ධි කර තිබු බැවින් මම්මා විසින් අලුතෙන් මිලදීගත් ජංගම දුරකථනය මේසය මත ඇති බව දුටු මා ඒ වෙත ඇදුනේ නිරායාශයෙනි …. මම්මා බුදුන් වැද නිමවීමට තවත් පැයක් පමණ ගතවෙනු ඇත ….ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මා මේසය මත තිබු ඈගේ දුරකථනය ගෙන හොර පුසියක මෙන් කාමරය වෙත ඇදුනෙමි ….

සිහින අයියාගේ දුරකථන අංකය තිරය මත සටහන් කරද්දී මගේ පපුව ගැහුනේ ඉතා වේගවත්ය … වරක් දෙවරක් නාද වූ පසු ඔහු එහා ඉමෙන් දුරකථනය එසවුවේය …

‘හෙලෝ ..’ එහා ඉමෙන් ඇසුණු ඔහුගේ කටහඩ මා මේ අසන්නේ සති ගාණකට පසුවය ….
‘හෙලෝ අයියා …’ මා කතා කලේ ඉකිබිදුම් ස්වරයෙනි …
‘ නිකිණි මොකද උනේ මැණික …. මම කොච්චර දුකෙන්ද හිටියේ … ‘’
ඔහු සැනසුම් සුසුමක් හෙලන හඩ මට ඇසුනේය …
‘ අයියා …. එදා ඔයා එකක් කථා කර කර ඉද්දි තාත්තා ආවා ….. ෆෝන් එක උදුරාගෙන පොලවේ ගහලා දැම්මා …මම දැන් මේ ගෙදර ඇතුලේ හිරවෙලා ඉන්නේ ’
මා සිදුවූ සියල්ල කෙටියෙන් ඔහුට පහදා දුනෙමි ….

‘මේ තරම් දුකක් ඔයාට විදින්න උනේ මට ආදරේ කරපු නිසා නේද … සහන් මල්ලිත් මාත් එක්ක තරහා වුනා …එදා මාව හොයාගෙන ඇවිල්ලා හරියට දොස් කිව්වා …. එයාට නෑදෑයෝ නැති වුනා කියලා ..’

‘ මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ අයියා …. මේ දේවල් ගැන හිතලා මගේ ඔළුව පැලෙන්න වගේ රිදෙනවා …’

‘හ්ම්ම්ම් මොනවා කරන්නද මැණික අපි …. දැන් කාගේද ඔය ෆෝන් එක …’

‘ මේක මම්මාගේ ෆෝන් එක එයා පහන තියන්න ගියා …මම ෆෝන් එක හොරෙන් අරගෙන ඔයාට කෝල් කළා … ’
‘අම්මේ දැන් මගේ රෝසි ….හොර වැඩ කරන්නත් පුරුදු වෙලා නේ … හේ හේ …
මා කල හපන්කම ගැන සිහින අයියා සිනාසෙද්දී ….දින ගානකට පසු මා සතුටින් සිනාසුනෙමි ..
‘අයියා මම තියන්නම් …මම්මා ආවොත් ලෙඩේ …’
‘ බුදුසරණයි මැණික …… පරිස්සමට ඉන්න …’
‘මොන දේවල් උනත් මම ඔයාට ආදරෙයි අයියා ඒක මතක තියා ගන්න ..’
මා කතා බහෙන් පසුව දුරකතනය තැබුවේ මහා සැනසිල්ලකිනි…මොන දේ වුනත් මේ ආදරය අහිමිකරගෙන බැරිය …. මා බැලීමට මනාලයෙකු පැමිණෙන බව හෝ මා සිහින අයියාට නොකිව්වේ ඔහුගේ සිතට එය වේදනාවක් ගෙන දෙවි යැයි සිතාය ..

එදායින් පසුව මා කලේ මම්මාගේ දුරකථනයෙන් රහසින් සිහින අයියාව ඇමතීමය …. සිරකාරියක ලෙස දිවි ගෙවූ මට දිවියේ ඇති එකම සැනසීම වුවේ ඔහු හා දොඩන ඒ වචන කීපයයි …

***

කොවුල් නද පරිසරය පුරා පැතිරෙද්දී ..එරබදු මල් පොකුරු වත්ත පහල ගස්වල පිපෙද්දී …මට සිහිවුවේ සිහින අයියාගේ සහ මගේ ආදරයට වසරක් පිරීමට නියමිත දිනය අත ලග බවයි …

‘පුතා මම බබී එක්ක කොළඹ ගිහිල්ලා එන්න කියලා හිතුවේ ..’
මම්මා ලක ලැහැස්ති වුවේ අවුරුද්දට නෑයන් බැලීමට යෑමට සුදානම් වීමටය ….
‘එහෙනම් ගිහින් ඉක්මනට එන්න .. ‘’
තාත්තා එරෙහි නොවෙන්න ඇත්තේ මම්මාගේ හිත රිදේවි කියා විය යුතුය …. තාත්තාගේ අවසරය මගේ සිතටද ගෙනාවේ සතුටකි …. ඒ නිවසට කොටු වී ගත කරන දිවිය මට එපාවී තිබුණු බැවිනි … සමහර විට මේ ගමනේදී සිහින අයියාවද මට දැකීමට හැකි වනු ඇත … සිහින අයියාගේ නිවස ඇත්තේ බාප්පලාගේ නිවසට ආසන්නයේ බව මා දැන උන්නෙමි …

කොළඹ යන දිනය දක්වා මා උන්නේ ඇගිලි ගනිමිනි .. මගේ මුහුණේ සතුට පිටතට නොපෙන්වීමට මා වග බලා ගත්තෙමි …
‘අනේ මෙන්න මෙයාලාට අපිව මතක් වෙලා …. අපි හිතුවේ මේ සැරේ මෙහෙ එන්නේ නැති වෙයි කියලා ..’
දුර ගමනකින් පසු බාප්පලාගේ නිවසට පැමිණි අපව බාප්පා ඇතුළු පිරිස පිළිගත්තේ සිනා මුවෙනි ….
‘නෑවිත් කොහොමද … ’

සැප දුක් විමසමින් ඔවුන් ආ ගිය තොරතුරු කතා කරද්දී මා සහන් මල්ලි සොයා ගියෙමි …. කාමරය තුලටම වී උන් ඔහු හිස ඔසවා උව මා දෙස බැලුවා නොවේ ..
‘මල්ලෝ මොකද මේ බුකවා ගෙන ඉන්නේ ..’
මා ඔහු වෙත ගොස් ඒ මුහුණ දෙස බැලුවෙමි ..

‘එහෙම දෙයක් නැහැ හලෝ …’
එලෙස පැවසුවත් ඔහුගේ අමනාපය මා හැදුනුවෙමි …
‘තාම මාත් එක්ක තරහයිද ..’
‘තමුසේ හින්දා මට මගේ යාලුවත් නැති උනත් නෑයොත් නැති වුනා …’
එලෙස පැවසු ඔහු මා කාමරයේ රැදී සිටිද්දීම කාමරයෙන් පිටවෙද්දී …සිතට දැනුනේ වේදනාවකි ….
******

නිවසේ උන් සියලු දෙනා සතුටු සාමිචියේ යෙදෙද්දී මා කලේ මහන්සි බව පවසා කමරයට යෑමය …. මේසය මත තබා තිබු මම්මාගේ දුරකථනය අතට ගත්තෙමි …

‘අයියා මම ඉන්නේ සහන් මල්ලිලාගේ ගෙදර ..’
මා එලෙස පවසා සිහින අයියාට කෙටි පණිවුඩයක් යැවුවෙමි
‘කොයි වේලාවේද ආවේ ….ගොඩක් මහන්සිද මැණික ..’
‘ හවස හය විතර වෙද්දී ආවා ….මහන්සියක් නැහැ අයියා …. අයියා ….. ඔයාව බලන්න ඕන මට ..’
‘මේ වෙලාවේ කොහොමද නිකිණි මම එන්නේ … කවුරු හරි දැක්කොත් ..’
‘ඔයා බය වෙන්න එපා ..කට්ටියම ටීවී බලනවා ….. ඔයා බැම්මෙන් පැනලා වත්තට එන්න … මම එන්නම් ..’
‘ නිකිණි මේක සෙල්ලමක් නෙවෙයි ..’
‘ අනේ අයියා …මට ඔයාව බලන්න ඕන .ප්ලීස් ..’
‘හරි එහෙනම් තව විනාඩි දහයකින් ඔයා බැම්ම ලගට එන්න ..පරිස්සමට එන්න .’

ඔහු දුරකථනය තැබු පසු මා කලේ රහසේම කුස්සිය දෙසින් එළියට බැසීමය ….. හිත බියෙන් ගැහුනා සැබෑවී …… එහෙත් මා සිත සවිමත් කරගෙන අදුරේම තාප්පය දෙසට ඇදුනෙමි…

‘සිහින අයියා …’ ඒ විනාඩි ගානට ඔහු මා සොයාවිත් තිබුණි … ඔහුගේ මුහුණ දුටු විගස මා සිත තුල තිබු බිය පහවී ගියේ හිරු දුටු පිනිබිදු මෙනි …

‘කොච්චර ආසාවෙන්ද හිටියේ ඔයාගේ මේ සුදු මුහුණ බලන්න …’

මා ඒ මුහුණ දෙස බොහෝ වෙලා බලා උන්නෙමි ….. කතා කරන්නාක් මෙන් වූ ඒ දෑස් ඔහුගේ සිතේ තිබු දේවල් පවසන්නක් මෙනි මට දැනුනේ … සිත තුල තිබු සතුට පහව ගොස් එක්වරම කදුලක් දෑසට නැගුනේ මා බැලීමට මනාලයෙකු පැමිණෙන බව සිහිවීම නිසාය ….

‘මොකද මේ අඩලා ලස්සන මුහුණ කැත කරගන්නේ ….’
‘අයියා මම දෙයක් කියන්නද …’
‘මොකක්ද ..’
‘මාව බලන්න මනමාලයෙක් එනවාලු …’
සිනාවෙන් පිරි තිබු ඒ මුහුණ අදුරුවී යෑමට වැඩිවෙලා ගත වුවා නොවේ ….. හිසට පහරක් වැදුනා මෙන් ඔහු එකවරම තාප්පයට හේත්තු වූ ඔහු අදහා ගැනීමට නොහැකිවා මෙන් මා දෙස බලා උන්නේය ..
‘මට බෑ අයියා ඒ විදිහට වෙන කොල්ලෙක් ඉස්සරහට යන්න …..’ ‘මා ඔහු ඉදිරියේ හඩා වැටුනේ කුඩා දැරියක විලසය …
‘බය වෙන්න එපා නිකිණි අපි මේ ප්‍රශ්නෙට මුහුණ දෙමු කොහොම හරි .. ‘’ ඔහු බෙහෙවින් අසරණව උන්නත් මා සැනසීමට වෙර දැරුවේය ..
‘සත්තයි අයියා මම නම් යන්නේ නැහැ ඔය මනමාලයෝ ඉස්සරහට ..’
‘කලබල ඇති කරගන්න එපා නිකිණි ….. ඔයා කොල්ලට කෙලින්ම කියන්න ඔයා කැමති නැහැ කියලා ..ඔයාව බලෙන්ම බන්දලා දෙන්න බැහැ නේ …. ‘’
ඔහු මගේ හිස අතගා මගේ හිත හැදුවේ බොහෝ නිවුණු ස්වරයෙනි …

‘මාව බලෙන් බන්දලා දුන්නොත් සත්තයි මම මැරෙනවා අයියා ..’

‘බය වෙන්න එපා ..එහෙම කලොත් මම බලාගන්නම් .. ..ඔයා මනමාලයාට කියන්න ඔයා කැමති නැහැ කියලා … ‘’
සිහින අයියා යන්න ගියේ බොහෝ දේ කියා මා සිත සැනසීමෙන් අනතුරුවය … සිනා මුහුණක් පෙන්නුවද ඒ සිනාව පිටුපස සැගවුණු මහා දුකක් විය …..
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *