07

~~~යශෝධරා ~~~~~
07 කොටස
ළමා නිවාසයේ තෙවෙනි මහලට යෑමට දැරියක් බියක් දක්වන්න ඇත්තේ පැවති ගුප්ත නිහැඩියාවත් එහි භූත බලවේගයන් වාසය කරන බවට දැරියන් අතර තිබුණු එක්තරා විශ්වාසයකුත් නිසාවෙනි … ගැහැණු ළමුන් යෑමට බොහෝ බිය කළුවර කාමරයද තිබුනේද තෙවන මහලේය …. ළමා නිවාසයේ දැරියන් නොමනා කිසිවක් නොකරන්නේ එහි යෑමට තිබුණු අසීමිත බිය නිසාමය …. මෙහි පැමිණි මුල් දිනවල කළුවර කාමරය තුල හිරකෙරූ ඒ නපුරු රාත්‍රිය මා අවසන් කලේ සිහිසුන්ව බව මතකය ….
තෙවන මහලේ කොරිඩෝවේ කෙළවරක අසුන්ගෙන මා පිළිබදව උපන් ශෝකය සහ දැඩි කුස ගින්න නිසා අඩා වැළපුණු මම එය අතහැර දැමුවේ කොතරම් හඩා වැටුනත් මා සැනසීමට කිසිවෙක් මෙහි නොඑන බව වැටහුණු පසුවය ….. තවත් මෙහි ඉදීමෙන් පලක් නැති බව වැටහුණු මම පහළ මාලයට යෑමට නැගී සිටියෙමි …. එහෙත් එක්වරම කොහේදෝ කෙලවරකින් ඇසුණු කාන්තාවකගේ කෙදිරිලි හඩක් නිසාවෙන් මම ගමන නතර කර ඒ දෙසට පියවර මැන්නෙමි …
තෙවන මහලේ විසල් කාමර හයක් බව මම සිතින් ගැන්නෙමි ..එකක් අර කළුවර කාමරයයි … ලොකු ඉබි යතුරු දමා අනිත් කාමර පහම වසා දමා තිබුනේය … ආසන්න දිනයක කිසිවෙක් මෙහි ආ බවට කිසිදු සලකුණක් නැත … එක්වරම මගේ මුහුණේ වැදෙමින් ගමන් කල කිසිදෙයක් නිසා තිගැස්සුණු මා එදෙසට හැරුනෙමි … ඇරදමා තිබුණු ජනේලය දෙසට තටු ගසා දමමින් ඉගිලෙමින් උන්නේ කිරි වවුලෙකි … එසේ නම් මා බියවී ඇත්තේ කිරිවවුලකුටය …. මුව මත සිනාවක් ඇදෙද්දී මා නැවත අර කාමර දෙසට හැරී සවන්දෙන්න වීමි … කොතරම් සවන් දුන්නත් නැවත අර කාන්තාවගේ කටහඩ යලිත් නෑසුනි … විනාඩි ගානක් එකම ඉරියව්වකින් සවන් යොමු කරගෙන උන්නද පලක් නැති බැවින් කිසියම් හෝඩුවාවක් සොයා මා ඉදිරියට ගමන් කලෙමි …
කාමරයෙන් කාමරයට විමසිලි නෙතින් බලමින් ඇවිද ගිය මට තෙවෙනි කාමරයේ ඉබි යතුර දමා තිබුනද එය අගුල් දැමීමට අමතකව ගොස් ඇති බවකි වැටහුනේ … යශෝධරා ඕක ඇරලා බලපන් .. කුතුහල නිසා මගේ හිත එලෙසින් පවසද්දී මා තවත් වරක් නොසිතා අගුල් හැර කාමරයේ දොර තල්ලු කලෙමි ..චිරි චිරි හඩක් නගමින් ඇරුණු දොරෙන් ගලා ආවේ පුස් ගදකි ….. තද කලුවරක් පැතිර තිබුණු කාමරය තුලට ඇවිද ගිය මා එයින් හමාගෙන ආ අමුතුම දුර්ගන්ධයක් නිසාවෙන් නහය හකුලා ගතිමි ..
අදුරට දෑස් හුරුවීමත් සමගම මා දුටුවේ එහි එක් පසක කුඩා කව්ළුවක් ඇති බවයි ….පරිස්සමින් පියවර තබා එහි ගොස් කව්ළුව විවර කරගත් මා පිරිසිදු වාතය කාමරයට ඒම ගැන හිතේ සතුටින් කාමරය දෙසට හැරුනෙමි … කව්ළුවෙන් ගලාගෙන ආ මද ආලෝකය නිසා කාමරය තුල එකින් එක පැහැදිලිව දිස්වෙන්න විය … පැරණි පන්නයේ යුගල් යහනක් තිබු කාමරය එක පසෙක පොත් රාක්කයකි … මම ඒ දෙසට පියවර මැන්නෙමි …. මෙහි ජිවත් උන පුද්ගලයා උසස් සාහිත්‍ය දැනුමක් තිබුණු පුද්ගලයෙක් වෙන්න ඇත …පොත් රාක්කය තුල තිබුන සියල්ල ප්‍රසිද්ද ඉංග්‍රීසි කතුවරුන්ගේ පොත් පත්ය .
අදුරු වැටීගෙන එන බව වැටහෙන තුරුම මා කලේ එකින් එක පොත් අතපත ගෑමය ….. ළමා නිවාසයේ අය මා සොයනු ඇති බව මතක්වී මා පිටවීමට හැරුනෙමි … හදිසිය නිසා කාමරය තුල තිබු තදැති කිසියම් වස්තුවක පය පැටලී වැටෙන්නට ගිය මම ඒ කුමක්දැයි විමසිලිමත්ව බැලීමි …එහි තිබුනේ මිනිස් සිරුරක කොටස්ය … එයින් හමා ආ දුර්ගන්ධය මොළය දක්වා පැතිරෙද්දී මම මහා හඩින් කෑ ගසාගෙන පිටතට දිව ගියෙමි … කොතරම් දුර දිව්වාද කියා නිරවුල් මතකයක් නොවුවත් මා පය පැකිලී ඇද වැටුණු බව මට මතකය …

මට සිහිය ආවේ කළුවර කාමරයේ ගතකල රාත්‍රියේ උන් යහන මතමය … කොන්ද දෙසින් එන නොනිමි වේදනාව ඇද වැටීමේ අතුරු ප්‍රතිපල වෙන්න ඇත …. වේදනාව අමතක කර දැමු මම වට පිට බැලුවෙමි …. මා නිදාගෙන උන් යහනේ අනිත් පස යහන මත අසුන්ගෙන පාලිකාව බලා උන්නේ නපුරු බැල්මකිනි …….
‘මිස් …මට මොකද උනේ …’ ඇගේ බැල්ම මගහැර මා ඉවත බැලීමි ……
‘මොකද උනේ කියලා මට වඩා හොදට තමුන් දන්නවා ඇතිනේද ….. එක සැරයක් කියලා තියෙනවා නේද මෙහෙ දඩබ්බර වැඩ බැහැ කියලා …මේ ළමා නිවාසේ ළමයින්ට තහනම් කලාපයක් තියෙනවා ….එහෙට යන්න අවසර නැහැ කියලා දැන දැනම කොහොමද තමුන් එහෙට ගියේ … ’ ඇගේ කටහඩ ගොරහැඩ්ය …. පාලිකාව බොහෝ ඉවසන බව ඇගේ කතා විලාසයෙන් මට වැටහී ගියේය …
‘මම …මම …’ දීමට පිළිතුරක් සොයමින් මම වචන ගැට ගැසුවෙමි ..
‘ මම දන්නවා තමුන්ට දෙන්න උත්තරයක් නැති බව ….. හරි එක සැරයක් සමාව දුන්නා …දෙවෙනි සැරෙත් දුන්නා .. හැබැයි තුන්වෙනි සැරේ මගෙන් සමාවක් බලාපොරොත්තු වෙන්න එපා … තමුන්ව කෙලින්ම හිටපු තැනට ආපහු යවනවා …. තව දෙයක් අද තමුන් යම් දෙයක් දැක්කද …ඒ දේ තමුන්ගේ හිතේම තියාගත්තොත් හොදයි ……. මේ ළමයි අතරේ බොරු ප්‍රචාර යවලා මම නරක ගැහැනියක් කරගන්න එපා …’ දෑසේ තිබු නපුරු බැල්ම එලෙසින්ම තබාගෙන ඈ මට බැන වැදුනාය .. ඇගේ දෑසේ උන තර්ජනයට මගේ හිත බොහෝ ගත්තේය …
‘මම කාටවත් කියන්නේ නැහැ මිස් …මට සමාවෙන්න …’ මා වැරැද්ද බාරගත්තෙමි …..
‘අනුෂිකා ..අනුෂිකා …සෝමා එක්ක මේ කෙල්ලව ඇදට ගිහින් දානවා …’
‘හොදයි මිස් ..’ අනුෂිකා පැමිණියේ වියරු පෙනුමක් තිබුණු සෝමා නම් සේවිකාව සමගය .. මෙහි ආ දිනයේ පටන් මම සෝමා දැක ඇත්තේ තුන් හතර සැරයකි ….. ඈ කරන කාර්යය හෝ උන් තැනක් මා නොදැන උන්නෙමි …
සෝමා සමගින් එකතුවී මා ඔසවා ගත් අනුෂිකා අපහාසාත්මකව මා දෙස බලා සිනාවක් පෑවාය …සෝමා ….මා ඈ දෙස විමසිල්ලෙන් බැලීමි …අපිළිවෙලට වරලස විදහාගෙන උන් ඇගේ මුහුණේ තිබුනේ යක්ෂ පෙනුමකි …. ලොවි ගෙඩි දෙකක් මෙන් එලියට නෙරා ඇති දෑස් ඒ හැගීම් තිවුර කරද්දී මම වහා ඉව බැලුවෙමි … සෝමා මගේ අතින් අල්ලාගෙන සිටි තැන ඇගේ නිය පහර වැදීම නිසා වේදනා දෙද්දී මා දෑස් පියා ගතිමි ….
‘ඔයා කොහෙද ගියේ අපි හැමතැනම හෙව්වා …’ සෙනුලි අන් දැරියන් සමග මා වට කරගද්දී කුරිරු බැල්මක් හෙලා සෝමා යන්න ගියාය …. මා දෙවියන්ට ස්තුති කලෙමි ..ඒ කුරිරු ගැහැණිය පිටකර යැවීම සම්බන්දයෙනි ….
‘මම ඉස්කෝලේ ඇරිලා ආව ගමන් මිස් මාව අර භූත බංගලාවට යැවූවා …. ආපහු ඇවිල්ලා කන්න හොයද්දි මට කන්න නැහැ …. මම ඒ ගැන ඇහුවාම අනුෂිකා මට බැන්නා . ‘’
මම සියල්ල නොව යම් යම් දේවල් සගවමින් ඔවුන්ට සිදුවූ දේ පැහැදිලි කලෙමි …ඇට සැකිල්ල ගැන හෝ තෙවන මහලේ අද්භූත බව පිළිබද මා ඔවුන්ට කිසිවක් නොකියා උන්නෙමි ….
ඉහත සිද්දියෙන් පසු මා ළමා නිවාසය තුල තනිව සැරිසැරීම සිමා කර ගත්තෙමි …. ඒ නැවත කිසියම් වැරද්දක් සිදු උවහොත් පාලිකාව සමාව නොදෙන බව දැන උන් නිසාවෙනි .. අර ඇට සැකිල්ල බොහෝ රාත්‍රී වල මගේ සිහිනයට ආ බව සැබෑවකි … එය මා ඉදිරියේ සිටගෙන ….. කුමක් හෝ දෙයක් කීමට උත්සහා කරන බවකි මට වැටහුනේ ….. එහෙත් එය තේරුම් ගැනීමට අපහසුය ….. එම සිහිනයෙන් මිදීමට රාත්‍රී නින්දට පෙර මද වෙලාවක් භාවනා කිරීමට මම හුරු උවෙමි .. එවිට අර සිහිනය නොපෙනෙයි …සැනසිල්ලේ නින්ද යයි ….
************
ළමා නිවාසේ සිට පාසලට තිබුනේ පයින් යන දුරකි … කෙල්ලන් විසි පස් දෙනා පිටත ලෝකය දැක ගැනීමට තිබුණු එකම අවස්තාව බාලිකාවට යන විනාඩි විස්සක පමණ කාලයත් ආපහු පැමිණීමට ගතවෙන ඒ සමාන කාලයත්ය ….
එදින උදෑසන අන් දැරියන් ඉදිරියෙන් ගමන්කරද්දී මම සෙනුලි සමගින් පසුපසට උවෙමි …
‘අර … පේන මි වද තියෙනවා නේද ….ඒවාගේ ඉන්න මි මැස්සෝ ඇවිස්සුනොත් එහෙම කොහොම තියෙයිද නේද …’
එක පෙලට තුරු මුදුන් වල බැද තිබුණු මි වද දෙසට නෙත් හෙලමින් මා සෙනුලි දෙස බැලීමි ..
‘ ඔය මිමැස්සෝ නිකන් ඇවිස්සෙන්නේ නැහැ අනේ …. එයාලාට කරදරයක් කලොත් තමා උන් ඇවිස්සෙන්නේ …. ඔයා දන්නවාද කතාවක් තියෙන මි මැස්සා කියන්නේ විෂ්ණු දෙවියන්ගේ කුරුමාර අවතාරයලු .. ’
‘ඔයා මි මැස්සෝ ගැන සෑහෙන දේවල් දන්නවනේ … තව දේවල් කියන්නකෝ බලන්න මටත් ආසයි දැනගන්න …’
‘ඔය මි වදයක් ..ඒ කියන්නේ මි මැසි ජනපදයක කොටස් තුනක් ඉන්නවා …. රැජිණ ,වැඩකාර මැස්සෝ , පිරිමි මැස්සෝ ..කියන්නේ ඔය ජනපදයේ ඉන්න ප්‍රධානියා උනාට එයාට කරන්න තියෙන්නේ බිත්තර දාන එක විතරයි .. රැජින මි මැස්සට වඩා ප්‍රමාණයෙන් ලොකුයි .. ඒවාගේම තටු කෙටියි …බඩ මහතයි … ප්‍රවර්ධක අවස්ථාවේ රැජින බිත්තර 500 ත් 1200 ත් අතර ප්‍රමාණයක් දානවා … .ඒවා කොටස් දෙකයි සංසේචනය වූ සහ නොවූ …….. සංසේචනය උන බිත්තර වලින් ගැහැණු මි මැස්සියෝත් නොවූ බිත්තර පිරිමි මැස්සෝත් බිහිවෙනවා ..’
‘එතකොට වැඩකාර මැස්සියෝ එයාලා මොනවාද කරන්නේ ..’
‘ජනපදයේ වැඩිපුරම ඉන්නේ වැඩකාර මැස්සියෝ …එයාලා තමා ජනපදයේ තියෙන හැම වැඩක්ම කරන්න ඕන … ජනපදයේ උෂ්ණත්වය රැකගැනීම … කෑම සොයාගැනීම …දරුවන්ට කෑම කැවීම ..ඒවාගේම ජනපදය පිරිසිදුකිරිම … මේ හැමදෙයක්ම කරන මි මැස්සියන්ගේ ජිවිත කාලය සති තුනක් විතර වෙනවා ‘’’
‘හ්ම්ම්ම්ම් …’
‘පිරිමි මැස්සන්ට තියෙන එකම රාජකාරිය රැජින සමග පට්ටි වැටීම …මේක සිද්ද වෙන්නේ මැස්සන්ගේ ජිවිතේ එක අවස්තාවක පමණක් කියලත් මතයක් තියෙනවා …පිරිමි මැස්සා සමග ඉතාම ඉහලට පියාසර කරද්දී තමා මේ පට්ටි වැටීම සිදුවෙන්නේ …මේ එක පට්ටි වැටීමක් අවුරුදු තුනක පමණ කාලයකට සෑහෙනවා ..’
‘මි මැස්සන් දෂ්ට කරාම ගොඩක් විසයි කියන්නේ ඇත්තද ..’
‘බබරු …දෙබරු දෂ්ට කිරීම තරම් නම් මරණිය විසක් නම් මි මැස්සා දෂ්ට කිරීම නිසා ඇත්තේ නැහැ ..කොහොම උනත් දැන් කාලේ ඔය හැම විෂටම බෙහෙත් තියෙනවා ..’
‘සෙනු දන්න දේවල් ….ඔයා කොහොමද මි මැසි ජනපද ගැන ඔච්චර දේවල් දන්නේ ..’
‘මොකද අපේ තාත්තා ඒ දවස් වල මි මැසි පාලනය කරා …. අපිට හොද අතිරේක ආදායමකුත් ලැබුනා ..’
සෙනුලි දිග සුසුමක් හෙලා දෑසට නැගුනු කදුලක් පිස දැමුවාය ..
‘සෙනුලි ඇයි අඩන්නේ ..’
‘මට අම්මයි තාත්තයි මතක් උනා …’
‘ සොරි මම ඕන නැති දෙයක් ඇහුවාද ඔයාගෙන් ..’
‘ඔයා මොකුත් ඇහුවේ නැහැ මෝඩි අපි ඕවා අමතක කරමු ..’
ඉන් පසු මද දුරක් යනතුරුම අප අතර කතාවක් නොවුනි … සෙනුලි කල්පනාවක නියැලී උන් බැවින් මා ඇයට බාධා නොකර උන්නෙමි …
පිටුපසින් පැමිණි ජීප් රියක් අප පසුකර මද දුරක් ගොස් නැවත ආපස්සට විත් නැවතුනේ අප ඉදිරියේය …. මේ කව්ද ….ජීප් රියකින් විත් කතාකිරීමට තරම් අයෙක් මේ බණ්ඩාරවෙල මා මෙන්ම අන් දැරියන්ද දැන උන්නේ නැත …. රියෙන් එලියට බැස්සේ අර ප්‍රතාපවත් පුද්ගලයා …අභිතය ….. සැබවින්ම ඔහුගේ නමටම ගැලපෙන ගාම්භීර කමකි ඔහුගේ සීරුරේ උවේ .. අර අවලස්සන කැළල නොවෙන්න ඔහු බොහෝ රූමත් තරුණයෙකි ..අවාසනාවට ඔහුගේ මුහුණ වසාගෙන පැතිරුණු ඒ කැළැල ඔහුගේ කඩවසම් බව උදුරාගෙන තිබුණි ….
අප ඉදිරියේ නැවතුන අභිතගේ මුහුණ පුරා තිබුණු අභිමානය දෙස බලා හිදිනු නොහැකිව මා බිමට නෙතු හෙලිමි ..
‘ ඔය ළමයාගේ නම …’ ඔහු එය විමසන්න ඇත්තේ මගෙනි ..
‘යශෝධරා මානවි ….’ මම සෙමින් බොහෝ සෙමින් ප්‍රති උත්තර දුන්නෙමි ….. සෙනුලි බලා උන්නේ බියෙන් මෙනි … අන් දැරියන් අප පසුකර බොහෝ දුර ගොසිනි ….
‘එදා මට කරපු උදව්වට ගොඩක් ස්තුතියි… ඕනෑම දෙයක් ඕන නම් මට කියන්න .’ අභීත මගේ කෙසග සිරුර දෙස බැලුවේ අනුකම්පාවෙනි ….
‘බොහොම ස්තුතියි සර් ..’
‘හැබැයි මම කිව්ව දේ අමතක කරන්න එපා …’
‘මොකක්ද සර් …’
‘නාදුනන මිනිස්සුන්ගේ ගෙවල් වලට අනවසරයෙන් යන්න එපා …. මේ ලෝකේ ගොඩක් නරක මිනිස්සු ඉන්නවා ..’
ඔහු ස්වරයේ තිබුනේ එදා ලෙසටම තරවටුවකි ….
‘දැන් යශෝධරා යන්න ….. කොන්වන්ට් එක පටන් ගන්න තව විනාඩි පහයි …’
අත් ඔරලෝසුව දෙසට බැල්මක් හෙළු ඔහු එලෙස පවසද්දිය මට එය සිහිවුවේ
‘එහෙනම් සර් අපි යනවා ….’ මට ඔහු දෙස එක එල්ලේ බැලීමට නොහැකියාවකි ඇත්තේ …..

මගේ වයසින් හරි අඩක් පමණ වයසින් වැඩි ඔහු කෙරේ මගේ සිතට දැනුනේ ගරුත්වයකි ….. එලෙසම පැහැදීමකි … නපුරු මිනිසෙකු ලෙස සිතුවාට …. ඔහුගේ පෙනුම නපුරෙක් මෙන් උවාට …මා සිතු අයුරින් ඔහු නපුරෙකු නොවෙන්න ඇත ….

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *