09

~~~~යශෝදරාවී~~~~~~
09 කොටස
බණ්ඩාරවෙල නගරය පසුකර බදුල්ල දෙසට රිය පදවන අභීත දෙස මම හොර බැල්මක් හෙළුවෙමි… ඔහු උන්නේ කල්පනා බරවය …. යමක් අසන්න සිත් උනිද ඔහුට බාධා වෙතැයි බියෙන් මම මුව වසා ගතිමි .. මනරම් තේ වතු පසුකරගෙන වේගයෙන් පදවාගෙන ගිය රිය ප්‍රධාන පාරෙන් පටුපාරකට හැරවූ අභීත ඉන් පසු රිය පැදවුවේ වේගය මදක් බාල කරමිනි ….
‘දැන් බහින්න …’ සැතපුමක පමණ දුරක් ගමන් කල ජීප් රිය ගල්තලාවක් ආසන්නයේ නවතා අභීත රියෙන් බැස්සේ එලෙස පවසමිනි
‘මම ජීප් එකේ ඉන්නම් දරුවෝ ඔයා බලලා එන්න … මේ ශීතල නිසා මාව ආයෙමත් අසනීප වෙයි .’ සුමනා අම්මා එළියට බැසීමට අකැමැති උවේ දැඩි ශීතල නිසාවෙනි .
ජීප් රියෙන් එපිට පරිසරය බොහෝ මනස්කාන්තය.. දෑස් වශිකරණයකට ලක්වෙන්නාක් මෙන් දැනෙද්දී සොබාදහමේ විශ්මයක්වන් එම දර්ශනය දෙස මා බලා උන්නේ ඇසි පියකදු නොහෙලමිනි …
‘කොහෙද අතරමන් උනේ … යශෝධරා …’
බොහෝ වෙලා යනතුරු නිහඩවම සොබාදහම් අසිරිය තුල අතරමංව උන් මා ඉහලට ගත් හුස්ම පහලට හෙළුවේ අභිතගේ හඩිනි ..
‘පුදුම තරම් ලස්සනයි සර් … මම දැනගෙන හිටියේ නැහැ බණ්ඩාරවෙල මෙච්චර ලස්සන තැනක් තියෙනවා කියලා …මේ හරියට කියන නම මොකක්ද …’
‘ මේ තැනට කියන්නේ පොරවගල කියලා ..’
‘පොරවගල …’
‘ඔව් ….මේ පළාතේ ගම්මුන්ගේ විශ්වාසයක් තියෙනවා ….ඔය ගල් තලාව මැද්දේ පොරවක් හංගලා තියෙනවා කියලා ..ඒ නිසයි මේ තැනට පොරවගල කියන්නේ …’
අභීතගේ පසු පසින් වැටි මම ඔහු අනුව පියවර මැන්නෙමි ….ඔහු ලගදී මට දැනුනේ ආරක්ෂාකාරී බවකී.. ඒ දැනුන හැගීමට මා බෙහෙවින් ප්‍රිය කලෙමි ….
‘අර ඈත බලන්නකෝ ….’ අභීත දෑත් දිගු කල මානය දෙසට මා දෙනෙත ගෙන ගියෙමි …
නිල්වන්ව ඉහලට නැගුනු එළවළු වගාවන් මෙන්ම දුම්රිය මාර්ග බිම් ගෙවල් පවා එම ස්ථානයට දර්ශනය වන්නේ ඉතාමත් සුන්දරවය …
‘කීනිගම, හීල් ඔය වගේ පළාත්වල එළවළු වගා කරපු බිම් තමා ඔය එක පෙළට තියෙන්නේ …. ’
‘හරිම ලස්සනයි සර් …. ඔයාට කොහොම ස්තුති කරන්නද මන්දා මේවගේ ලස්සන තැනකට මාව එක්කන් ආවාට ..’
මිටියාවත සිසාරා හමා එන මදනල මගේ වරලස අවුල්කරද්දී එය හසුරුවා ගැනීමට මම අපහසු උත්සාහයක යෙදුනෙමි ..
‘මම ඉස්සර මෙතැනට එනවා …නෙත්මා එක්ක .. එයත් .. ’ කුමක්දෝ කියන්නට ගිය අභීත එය නවතා දැමුවේ මුහුණ අදුරු කරගනිමිනි …. කුමක්දැයි විමසන්න සිත්වුනිද මා එම සිතුවිල්ල සිත තුලම දිය කර හැරියේ ඔහු කෝප වෙනු ඇතැයි සිතමිනි …
‘අර තියෙන උමං ගෙවල් ඇතුලින්ද ට්‍රේන් එක යන්නේ …’ මම මෝඩ ප්‍රශ්නයක් ඇසුවේ අදුරු වූ ඔහුගේ මුවට සිනාවක් එනු ඇති බව සිතාය … එහෙත් ඉන්පසු නිකමට හෝ ඔහුගේ මුවට සිනාවක් නම් නාවේය . … පිළිතුරු නොබැදම මගෙන් පියවර කීපයක් ඈතට ගිය ඔහු ඈත පේන වගා යාය දෙස බලා උන්නේය …..
දෑස් ඔසවා ඔහු දෙස බලා උන් මට හඩාවැටීමට තරම් මනස ව්‍යාකුල වී තිබුණි .. …. ඔහු මෙහි ආවේ අනාථ දැරියක් වන මට කිසියම් සතුටක් දීමටය .. එම ගමනින් ඔහුගේ හිත රිදුනේ යැයි සිතීම මගේ හිතට ගෙන ආවේ වේදනාවකි …
‘සර් අපි යමුද …’
මෙහි රැදෙන සෑම තප්පරයකම ඔහු වේදනාවෙන් මිරිකෙද්දී මා ආපසු යෑමට හැරුනෙමි …
‘යශෝධරා මාත් එක්ක තරහද …’ ඔහු ඇසුවේ නො උවමනා පැනයකි
‘සර් මට වඩා කොච්චර ලොකුද ඉතින් මම ඔයා එක්ක තරහා වෙන්නේ කොහොමද …. මගෙන් වැරදි දෙයක් කියවුනා නම් සර් මට බනින්න ඒත් ඔය විදිහට දුකින් පැත්තකට වෙලා ඉන්න එපා . ‘’
හිතේවූ ආවේගය නිසාවෙන් මා පවසන්න ඇත්තේ උවමනා නොවූ දෑය …දුකින් බොහෝ දුකින් ඔහු දෙස බලා උන් මා දෙසට පියවර කීපයක් ලංවූ අභීත මගේ අතක් මෘදු ලෙස ස්පර්ශ කළේය .. ඒ ස්පර්ශය නිසා මගේ ගත නුහුරු හැගීම් වලින් පිරෙද්දී වහා වහා මා කලේ ඔහු වෙතින් අත ඉවතට ඇද ගැනීමය. …
‘යශෝධරා ….’ දෑස් අයා මා දෙස මද වෙලාවක් බලා උන් ඔහු දරාගත නොහැකිව මෙන් දෑස් ඉවතට ගෙන මගෙන් ඈත්ව ඉදිරියට පියවර මනින්න වූවේ කල්පනා බරවය …
ජීප් රිය ළමා නිවාසය ඉදිරියේ නවතන තුරුම යළිත් අප අතර කතාවක් නොවුනි ….
‘ සර් ඔයාට පින් …..ගොඩක් දුකින් හිටිය මගේ හිතට සතුටක් දුන්නාට …’ ජීප් රියෙන් බැස ඔහු දෙස බැලු මා ගෙල ඇලකර අවිහිංසක සිනාවකින් ඔහුට සංග්‍රහ කලෙමි ….
‘යශෝධරා මම ඔයාව මේ වගේ ගමනක් එක්කන් ගියේ පිං ගන්න බලාගෙන නම් නෙවෙයි .. ඔයාගේ හිතට වගේම මගේ හිතටත් කාලෙකට පස්සේ අද සැනසිල්ලක් ලැබුනා ..’
එලෙස පැවසු ඔහු තවත් මොහොතකදු පමා නොවී රිය පණගන්වාගෙන වේගයෙන් ඉගිල ගියේය ..
****************
ළමා නිවාසේ දැරියන් හා චාරිකාව යෑමට නොලැබීම ගැන දුකට වඩා අභීත සමගින් ගමනක් යෑමේ සතුටකි මගේ හිතට දැනුනේ ..
‘යශෝ .. සොරි කෙල්ලේ …. ඔයා නැතිව ගමනේ කිසිම විනෝදයක් නැහැ …’ ළමා නිවාසයට පැමිණි විගස මා සොයා දිව ආ සෙනුලි මගේ අතක වෙළුනාය
‘ ඔව් අනේ අපේ මේට්‍රන්ට කිසිම අනුකම්පාවක් නැහැ …. ’තරූගේ දෑසේ කදුළකි …
‘අනේ මට ගානක්වත් නැහැ ඔයාලා දුක් වෙන්න එපා ..’
මම වෙනුවෙන් දුක් වෙන ඔවුන් ලගදි මා සිනාසුනෙමි ..ඒ මා සතුටින් බව පෙන්වීමටය …
‘ ඒ උනාට මගේ හිතට හරි නැහැ …’ දැරියන් සියල්ලගේම මුහුණු වල උවේ කනගාටුවකි …
‘ඔයාලාට පිස්සු මම වෙනදාට වඩා ගොඩක් සතුටින් හිටියේ … මොකද ඔයාලා කවුරුත් නැතිව මේක පන්සලක් වගේ තිබ්බේ …’
මම උවමනාවට වඩා මහා හඩින් සිනාසුනෙමි … ඒ ඔවුන්ට මා සතුටින් බව පෙන්වීමටය .. අභීත සමගින් පිටත ඇවිදීමට ගිය බව නොපවසන්න මා පරිස්සම් උනෙමි ….
පොතක් අතට ගත්තද නාන්න ගියද කැඩපත ඉදිරියට ගියද කිසියම් වැදගත් වැඩක යෙදුණද අභිතගේ ඒ අපුරු රුව මගේ අභියස මැවේද්දී මුවට නැගෙන සිනාව මා වලක්වා ගත්තේ අපහසුවෙනි … අභීත ඔහු මගේ වයස මෙන් එක ගුණයක් වැඩි අයෙකි … මට පියෙක් උන්නා නම් ඔහු අභිතගේ වයසට ආසන්න අයෙක් වෙනු ඇත ….ඉතින් එවන් අයෙක් ගැන මා උවමනාවට වඩා හිතන්න යන්නේ ඇයි …ඒ ඔහුගෙන් මා ලද දයාව කරුණාව නිසාද ….නැති නම් වෙනත් හැගීමක් නිසාවෙන්ද … මට තේරුම් ගැනීමට අපහසු ඒ හැගීම කුමක්දැයි වටහා ගැනීමට මගේ සිතට උවමනා නොවුනි ….
කළුවර රාත්‍රියේ යහන මත වැතිරුණු මා උන්නේ ඔවැනි සිතුවිලි අතරේය …අභීත ගැන සිතුවිල්ලේ උන් මට බොහෝ වෙලා යනතුරු නිදිමතක් නොදැනුණු තරම්ය …. වෙලාව රාතී‍්‍ර එකොලහට පමණ වෙන්න ඇත … එක්වරම මට ඇසුනේ කිසිවෙකු ඉකිබිදින හඩකි .. රාත්‍රියේ ළමා නිවාසයේ ඇවිදීම තහනම් බව මට අමතකව ගියේය …. යහනෙන් බිමට බැසගත් මම සෙමින් බොහෝ සෙමින් පියවර තබා ඉකිබිදුම ආ දෙසට පිය මැන්නෙමි …. එය ඇසෙන්නේ උඩුමහලට නගින පියගැට අසලිනි ….. කළුවර නිසාවෙන් කිසිවක් නොපෙනුනද මා පසු නොබෑවෙමි …. අදුරේම පියගැටපෙළ සොයාගත් මම අත්වැට අල්ලාගෙන උඩට පියවර බැගින් තැබුවෙමි ..
තෙවන මහලේ බිත්තියකට මුවාවී මම මද වෙලාවක් බලා උන්නෙමි …. එක්වරම කොරිඩෝව කෙලවරින් ඇසුණු පියවර හඩක් මද වෙලාවකින් ඇසුනේ මට ඉතා ආසන්නයෙනි …. ධවල පැහැ දිගු ගවුමකින් සැරසී කැරලි ගැසුණු දිගු වරලස විදහාගෙන උන් සුන්දර යුවතියක් ඉකිගසමින් සක්මන් කරමින් උන්නේය … ඇය සුරදුතියක්ද නැති නම් කිසියම් ප්‍රේත ආත්මයක්ද .. මද වෙලාවකට හුස්ම නවතින්නාක් මෙන් දැනෙද්දී මා දෑස් අයා උන්නෙමි … මට වැඩිවෙලා සිතීමට උවමනා නොවුනි අර කොරිඩෝව කෙලවරින් තවත් කෙනෙක් මතුවිය ….ඇය සෝමාය …. ඇගේ අතක දිගු දම්වැලකි .. ඇගේ දුෂ්ට පෙනුම මේ මොහොතේ බොහෝ සෙයින් වැඩිවී තිබුණි … කලබලයෙන් මෙන් දිවවිත් තරුණියගේ අතකින් දැඩිව අල්ලා ගත් ඇය ගිනිගන්නා දෑසින් තරුණිය දෙස බලා උන්නේ දත්මිටි කමිනි …
‘කියලා තියෙනවා නේද ඒ කාමරෙන් එලියට එන්න එපා කියලා … උබට යහතින් ඉන්න ඕන නම් උබට හිමි තැන හිටපන් ..නැත්තම් වෙන්නේ උබටත් පරලෝකෙට යන්න …’ යක්ෂ ස්වරයකින් එලෙස පැවසූ ගැහැණිය තරුණියගේ අතකට දම්වැල දමා ඇයව ඇදගෙනම ශාලාව තුලට වැදී අතුරුදහන්ව යන්න ගියේය …
මෙය කිනම් තැනක්ද .. මහා රාත්‍රියේ පැමිණෙන අමුත්තන් …. යක්ෂ ගැහැනියක් …සුන්දර සිරකාරියක් … සියල්ල අභූතය ….අමුතුය …. මේ සිදුවන දේවල් කුමක්දැයි වටහා ගැනීමට මට බෙහෙවින් අපහසුය … අසිහියෙන් මෙන් පියගැටපෙළ බැස ගිය මට උතුර දකුණ මාරුවී ගොස් තිබුණි … අදුරේ මම ඇවිද ගියේ කොහෙද කොයි අතකද කියා මට නිනව්වක් නැත …. එක්වරම කිසියම් කෙනෙකුගේ ඇගේ වැදීම නිසා මම පසෙකට විසිව ගියෙමි …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *