10

~~~~~~යශෝධරා ~~~~~~~~
10 කොටස

මේ කවුද … මගේ හිතට දැනුණු පළමු සිතුවිල්ල එයයි … පාලිකාවද නැතහොත් වෙනත් කිසිවෙකු ද … සියුම් බියකින් මුළු ගතම අඩපණ වෙද්දී මම අදුරේම දැරියන්ගේ නිදන ශාලාව දෙසට දිව යන්න අඩියක් පෙරට තැබීමි …. එහෙත් මා පමාය.. කිසිවෙකු මගේ අතකින් අල්ලා පැත්තකට ඇද්දේය…
‘ස්ඝ්ස්ස්ස්ස්ස්ස්සස්….. ශබ්ද කරන්න එපා .’ මට සැනසුම් හුස්මක් හෙළුනේ එවිටය …මා අසල උන්නේ සෙනුලිය .. අදුර නිසා මුහුණේ හැගීම් නොපෙනුනද ඕ උන්නේ බෙහෙවින් කලබල වී බව ඇගේ කටහඩ මට සනාථ කළේය ….
‘සෙනු මොකද වෙන්නේ …’ පිටතට හඩක් නොයෙන ලෙස මා කතා කලේ සිහින් ස්වරයෙනි …
‘පස්සේ කියන්නම් ….. දැන් කෑ ගහන්න නැතිව ඉස්සරා බලාගෙන ඉන්න ..’
සෙනුලි මෙන්ම මා ද ඉදිරිය දෙස බලාගෙන උන්නෙමි … ස්වල්ප වෙලාවකින් ප්‍රධාන ශාලාව දෙසට පැමිණෙන දෙදෙනෙකුගේ පා හඩවල් ඇසුණේය … පැමිණි දෙදෙනා ශාලාව මැද නතර වෙද්දී මා ඔවුන් දැක ගැනීමට උත්සහා කලෙමි … මුළු ගතම ආවරණය වන ලෙස ශිත කබායක් දවටාගෙන උන් ගැහැණිය අන් කිසිවෙකු නොවේ ළමා නිවාසයේ
‘මිස්ටර් සෝමසිරි කෙල්ලව ඉල්ලුවා …. අපිට හොද ගානක් ලැබෙයි ….. ’ ඇය ඉදිරියේ උන් මිනිසාගේ මුහුණ පුරා වැවුන ඝන රැවුල නිසා ඔහු කවුරුදැයි හදුනාගැනීම අපහසු උවත් …ඒ කටහඩ මට හොදින් හුරුය …
‘කෙල්ලව හදාගන්නද ඉල්ලන්නේ ..’
‘ හදාගන්න කියලා තමා ඉල්ලන්නේ නම් ..’
‘හදාගන්න කියලා අරන් ගිහින් තමා රවිතා කෙල්ලව දස වද දීලා මරලා දාලා තිබ්බේ ..’
‘මොනවා උනාම මොකද අපිට . … කෙල්ල මෙහෙ හිටියා කියන ලියකියවිලි හැම එකක්ම විනාශ කරලා දාමු ‘’
‘මේවා ගස් යන වැඩ …’
‘බයවෙන්න එපා .. බන් අපි ඔය වගේ වැඩද කරලා තියෙන්නේ ..’ මදක් හඩ නගා සිනාවක් නැගු ඔහු යන්න ගියේ පාලිකාවගේ කනට රහසක් පැවසීමෙන් අනතුරුවය … අද්භූත මිනිසා නොපෙනී යනතුරු බලා උන් පාලිකාව අදුරේම කාමරය දෙසට යන්න විය …
‘දැන් යමු … ‘ සෙනුලි තදින් අල්ලා ගත් මගේ අත අතෑරියේ නිදන යහන අසලටම ගොසිනි ..
‘සෙනු ..’ මට ඇගෙන් දැනගැනීම්ට බොහෝ දේවල් විය …
‘හැමදෙයක්ම හෙට උදේ කියන්නම් .. දැන් නිදාගමු අනුෂිකා එහෙම දැක්කොත් වසලා හමාරයි ..’
පැරණි වලව්වක් වන මේ ළමා නිවාසය බෙහෙවින් අද්භූතය ….. මෙහි චංචල නිශ්චල හැමදෙයකම තැවරී ඇත්තේ කිසියම් ගුප්ත බවක් නොවේද … අර පාළු කාමරයේ ඇති මිනිස් ඇට සැකිල්ල කාගේද … උඩුමහලේ සිරකර ඇති සිරකාරියගේ කතාව කුමක්ද මට ඒ රාත්‍රියේ සිතීමට බොහෝ දේවල් විය ..
‘සෙනු මට කියපන් ඊයේ මොනවාද උනේ …’
හිතේ වූ පැනයන් සෙනුලිගෙන් විමසීමට අවස්තාවක් පැමිණියේ පසු සදුදා බාලිකාවට යන පාරේදිය ..අන් දැරියන් ඉස්සරවෙද්දී සෙනුලි සමගින් මා පසුපසට වූවෙමි ….
‘ඊට ඉස්සර වෙලා කියපන් උබට මොකද උනේ ..’ මගේ පැනයට පිළිතුරු දෙනවා වෙනුව ඈ මගෙන් පැනයක් විමසුවාය …
‘මට රෑ මැද ඇහුනා කව්ද ගැහැණු කෙනෙක් අඩන හඩක් …… මම කිසි දෙයක් හිතන්නේ නැතිව ඒ දිහාවට ගියා ….. තුන්වෙනි තට්ටුවේ කොරිඩෝ එකේ කෙල්ලක් අඩ අඩා හිටියා …ඊට පස්සේ සෝමා ඇවිත් ඒ කෙල්ලව ඇදගෙන ගියා .. දැන් කියපන් උබ කොහොමද එතෙන්ට ආවේ ’
සිදුවූ සියල්ල මම කෙටියෙන් පැහැදිලි කර ඇගෙන්පැනයක් විමසීමි ..
‘ඊයේ රෑ ගොඩක් වෙලා යනකන් මට නින්ද ගියේ නැහැ …. යාන්තම් ඇහැ පියවේගන එද්දී මට ඇහුනා කවුරු හරි කෙනෙක් එළියට යනවා කියලා …. මම ඇහැරිලා බලද්දී උබ ඇදේ නැහැ … මට හිතාගන්න බැරිවුනා උබ කොහෙද ඒ වෙලාවේ ගියේ කියන එක … දෙපාරක් හිතන්නේ නැතිව මම උබ ගිය පැත්තට ඇවිදගෙන ගියා ….ඒත් උබ පේන්න හිටියේ නැහැ …කොයි වෙලාවේ හරි උබ එන්නේ නැතැයි කියලා මම බලාගෙන හිටියා … ඒ වෙලාවේ මට ඇහුනා වාහනයක් පාරේ නවත්තන හඩක් ….. ඒත් එක්කම මේට්‍රන් කාමරෙන් එලියට ඇවිත් දොර දිහාවට ගියා … ඒ වෙලාවේ තමා උබ දුවගෙන ආවේ පහලට …තව ටිකක් පරක්කු විනාඩියක් යන්නකලින් මේට්‍රන් එතෙන්ට එන බව මම හොදටම දැනගෙන හිටියා .. ඒ නිසා මම ඉස්සරහට පැනලා ඔයාව පැත්තකට ඇදලා ගත්තා …ඔන්න ඕකයි සිද්ද උනේ ..’
හුස්මක් හෝ නොගෙන එක දිගට කියාගෙන කියාගෙන ගිය සෙනුලි මදක් කතාව නතර කර මා දෙසට බැල්මක් හෙළුවේය …ඒ දෑසේ උවේ භීතියක චායාවකි ….
‘ යශෝ මම ඉස්සර ඉදලා දැනගෙන හිටියා මේ ළමා නිවාසේ ඇතුලේ මොනවා හරි අමුතු අමුතු දේවල් වෙනවා කියලා ….ඒ උනාට මම ඒ ගැන එච්චර හිතන්න ගියේ නැහැ ..මොකද මම දැනගෙන හිටියා ඕවා හොයන්න ගියොත් මිස්ගෙන් විසුමක් නැහැ කියලා ….මම වගේම හැම කෙල්ලක්ම ගොළුවෝ වගේ ඉන්නේ අපිට තියෙන එකම පිළිසරණ මේ ළමා නිවාසය නිසා …’
‘අපි පොලිසියට මේ ගැන කියමු ..’ ‘
‘වැඩක් වෙන්නේ නැහැ යශෝ මෙහෙ ඉන්න ඒ එස් පි මේට්‍රන්ගේ හොද යාලුවෙක් …..’’
‘රවිතා කියන්නේ කව්ද සෙනු …’ මට හදිසියෙම සිහිවුවේ පෙරදා රැයේ මේට්‍රන් සහ අර මිනිසා අතර ඇතිවූ කතාබහයි ….
‘රවිතා කියන්නේ මෙහෙ හිටිය ලස්සන පුංචි කෙල්ලක් ..එයාට හැමෝම ආදරේ කළා … ඒත් දවසක් කොහේදෝ ඉදලා නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ආවා ….එදා මේට්‍රන් කිව්වා මේ තමා රවිතාගේ අලුත් අම්මයි තාත්තයි කියලා .. පුංචි කෙල්ල එයාලා එක්ක ගියේ ගොඩක් සතුටින් …අපිත් සතුටු උනා රවිතාට දෙමව්පියෝ ලැබුනා කියලා ..ඒත් ඒ පුංචි කෙල්ල දැන් මේ ලෝකේ නැහැලු ….ඒ විදින්න තියෙන හැම දුකක්ම විදලා ….’
සෙනුලිගේ දෙනෙතට කදුළු නගින්න ඒ හැටි වෙලාවක් ගෙවී නොගියේය … .
‘මෙයාලාගේ ඊලග බිල්ල කව්ද ..’
‘දෙවියෝ තමා දන්නේ …ඒත් මේ සැරේ නම් මේ දේ වෙන්න බෑ . රවිතා වගේ මැරිලා යන්න දෙන්න බෑ කාටවත් ..’ සෙනුලිගේ ඒ වචනවල තිබුනේ තද ගතියකි ……
ඉන්පසුව පාසලට යනතුරුම අප දෙදෙනා අතර හුවමාරු උවේ දුක් බැල්මන් කීපයක් පමණකි …
******
‘හෙට අළුතින් හදන ලයිබ්‍රි එක බලන්න මිස්ටර් සේනාධීර එනවා …. ’ ඒ රාත්‍රියේ පාලිකාව පැවසු වචන කීපය සවනින් ඇතුළු වෙද්දී මට දැනුනේ මුළු ගතම කිසියම් හැගීමකින් හිරි වැටෙන්නාක් මෙනි ..
‘මොකද යශෝ සුදුමැලි වෙලා ගිහින් .. ඔය බත් එක කාපන් ඇට ගණන් කරන්නේ නැතිව ’ මට එහා පසින් උන් අමිෂා මගේ වෙනස දැක වැලමිටෙන් අනින්න විය ..
‘හැමෝම සංවර විදිහට ඉන්න ඕන ….’ පාලිකාව දිගු දේශනයක් දුන්නද මට ඇසුනේ අතරින් පතර වදන් කිපයකි ……
දින කීපයක් අභීත නොදැකීම නිසා නොසංසුන්ව තිබුණු මගේ හිතට කොතරම් කිවත් ඔහු පැමිණීම ගැන බලාපොරොත්තු තබාගන්න විය … පසුදා පාසල් නිමවී පැමිණි මා වරින් වර ගේට්ටුව දෙසට බැලුම් හෙලිමි …. ඒ ඔහුගේ ප්‍රතාපවත් රුව දැක ගැනීමේ කිසියම් දොලකිනි …
‘’මිස්ටර් සේනාධිරට අද එන්න වෙන්නේ නැහැලු …’
බොහෝ බලාපොරොත්තු තබාගෙන උන් දිනයේ ඔහුගේ නොපැමිණීම පිළිබද මගේ හිතට දැනුනේ ලතැවුලකි …
‘මොකද බන් හොදට හිටිය උබට උනේ ..එකපාරම ලෙඩා දුකා වගේ පැත්තකට උනේ …’ හෝන්දු මාන්දු ගතියකින් මා පසෙකට වෙද්දී සෙනුලි ඇසුවාය
‘මොකුත් නැහැ …’
‘මොකුත් නැතිවෙන්න බැහැ …මේ හොදට හිනාවෙවී ඉදලා දැන් ඉන්නේ මිනිහා මැරිලා ඉන්න ගැහැනියක් වගේනේ උබ …’
ඔහුගේ නොපැමිණීම හිතට මේ තරම් වේදනාවක් දේ යැයි මා නොසිතුවෙමි …..හිතට දැනුනේ කාන්සියකි පාළුවකි … මට උවමනා උවේ ඒ හැගීම් අමතකකර දමා කිසිවක් කිරීමටය … පාඩම් වෙලාවෙදි මට පාඩම් කිරීමට නොවුමනා විය …
‘සෙනු …සෙනු ….’ පොත මත දෑස් තබාගෙන උන් සෙනු දෙස බලමි න් මා සෙමින් තොල් මැතිරිමි …
‘ඇයි …’ ඇය ඇසුවේ රහසිනි …
‘අපි එළියට යමු ..’
‘මේට්‍රන් දැක්කොත් බැනුම් අහන්න වෙයි ..’
‘මම ඒක බලාගන්නම් …’
අපි වචන කීපයක් හුවමාරු කරගත් පසු මම පාඩම් මේසය මත හිස හොවා ගත්තෙමි …
‘යශෝධරා ….මොකද මේ ඔළුව ගහගෙන ඉන්නේ ..’ ඒ අනුෂිකාය …
‘මගේ ඔළුව රිදෙනවා අනු අක්කි ….’
‘එහෙනම් මෙතනින් යනවා අනිත් ළමයින්ට ඩිස්ටර්බ් කරන්නේ නැතිව ….’
‘මට ඇවිදගන්න තරම් ශක්තියක් නැහැ අක්කි ..’
‘සෙනුලි සෙනුලි මේ යශෝධරා එක්ක යන්න හෝල් එකට …’
අනුෂිකා නපුරු හඩින් එසේ කියද්දී සෙනුලි නැගිට අවසන්ය …. ඇය පහතට නැවි මා අල්ලා ගද්දි අපහසු බව පෙන්වීමට මම කෙදිරි ගෑවෙමි ..
‘සෙනුලි ඔය ලෙඩ වාට්ටුව අරන් මෙතැනින් යනවා …’ අනුෂිකා ගිගුරුම් දෙද්දී හොරැහින් සෙනුලි දෙස බැලු මම ඇසක් ගැසුවෙමි … අනුෂිකාගේ දෑසට නොපෙනන දුරකට ගමන් කල මම සෙනුලිගේ අතකින් අල්ලාගෙන තෙවන මහල දක්වා දිවෙන පියගැටපෙළ වෙත ගමන් කලෙමි ..
‘යශෝ මේ අපි කොහෙද යන්නේ …’
‘අපි පොඩි සර්ච් එකක් දෙමු .. උඩ මොනවාද වෙන්නේ කියලා ..’ එඩිතර බව පෙන්වීමට මම ඉදිරි පඩියට නැග්ගෙමි ….
‘පිස්සු කරන්න එපා බන් උබ ජේම්ස් බෝන්ඩ් වෙන්නේ නැතිව වරෙන් යන්න ..’
‘…දැන් ඉස්සරහට අඩියක් තිබ්බා නේ … ඔන්න මට නම් බැහැ ආයේ ආපස්සට හැරෙන්න ..කව්රුත් දැනගන්න කලින් අපි ඉක්මනට එමු .’
මට ආපසු හැරීමට උවමනා නොවුනි ….. සෙනුලිද ඉන් පසු කිසිවක් නොකියා මා පසු පස ආවාය …උවමනා උවේ කිසියම් හෝඩුවාවක් ලබා ගැනීමටය ….

මතු සම්බන්ධයි … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *