16

~~~සමනල වසන්තය ~~~
16 කොටස
දිනිත.. දිනිත …දිනිත .. මගේ ඔළුව ඇතුළේ ඒ නම විතරයි තිබ්බේ …… මොනවා හිතුවත් දිනිත විතරමයි මතකෙට එන්නේ …. එයා මම ගැන හිතන්නේ නැහැ කියලා කියන්නත් බැහැ … එයා මම ගැන හිතන්නේ නැත්තම් මොකටද අර බස් එකේදී මට ටිකට් ගත්තේ …ෂුවර් එකටම එයා බය වෙන්න ඇති ෆුට් බෝර්ඩ් එකෙන් මම වැටිලා කොන්ද කඩා ගයි කියලා …
‘ඒයි අර දිලිනි මීටර් සීය දුවන්න පුරුදු වෙනවද දන්නේ නැහැ නේද …’ පුජනි මගේ අතක් කොනිත්තලා එහෙම අහනකන් මම හිටියේ දිනිතගේ ලෝකේ ….
‘මොකක්ද කිව්වේ උබ ….’ මට එකපාරටම මීටරේට වැටුනේ නැහැ පුජනි කියව්වේ මොකක්ද කියලා .
‘අර බලපං දිලිනි එක්ස්ප්‍රස් බස් එකක් වගේ එන හැටි …’ පුජනී ඇස් වලින් මට ඉස්සරහා පෙන්නුවා … පුජනී කියලා තියෙන්නේ ඇත්ත දිලිනි නිකන් මොකාද එකා වගේ පංතිය ඇතුලට එක පිම්මේ පැන්නා .
‘ ගුඩ් නිව්ස් එකක් හෑව් … ’දිලිනි පංතිය දෙක වෙන්න සතුටට කෑ ගහද්දි කෙල්ලෝ ඔක්කොම ගිහින් දිලිනිව වටකරගත්තා …
‘මොකක්ද …’ අපි එහෙම ඇහුවේ එක හඩින්මයි ..
‘හිටපන්කෝ …… මම හුස්මක් කටක් ගන්නකන් ….’ දිලිනිට කිසිම හදිස්සියක් නැහැ කාරණාව කියන්න
‘උබ පස්සේ හුස්ම ගනින් .. දැන් අපිට මොකක්ද කියපන් ඔය ගුඩ් නිව්ස් එක …’
‘අද ගීතිකා මිස් නැහැ ….’ දිලිනි කිව්ව ආරංචිය නම් කෙල්ලොන්ට සෑහෙන සුභදායක එකක් වගේ …
‘නියමයි නේ …. මම අද අර රචනාව ලිව්වෙත් නැහැ …. උබ නම් දිලිනි දෙයියෙක් නෙවෙයි දේවාලයක් ’
මම ඉස්සරහට පැනලා දිලිනිට කිස් එකක් දුන්නාම කෙල්ලෝ කට්ටියම හිනාවෙන්න තියාගත්තා ..
‘ළමයි කෑ ගහන්න එපා …අද මම තමා ඔවාලාගේ මිස් …කෝ හැමෝම තමන්ගේ ඩෙස්ක් වලට ගිහින් වාඩිවෙලා මම කියන කතාන්දරේ හොදට අහගෙන ඉන්න …’ මම එහෙම කෑ ගහද්දි කෙල්ලෝ ඔක්කොම තම තමන්ගේ ඩෙස්ක් වලට ගිහින් වාඩිවුනා …
‘ඔන්න අහගන්න …..එක කූබි සෙට් එකක් ගගකින් එගොඩ වෙන්න යනවලූ …. ටිකක් වතුරත් තියෙනවාලු …කොහොම හරි දැන් සෙට් එක පෝලිමට ගග හරහා යනවලු …..ඒ වෙලාවේ එක කුබියෙක් අතක් උස්සගෙන යනවාලු ….ආ දැන් මේ ළමයි කියන්න බලන්න ඒ මොකද කියලා …’
මම එහෙම කියද්දී කෙල්ලෝ චිකිස් චිකිස් ගාලා හිනාවෙන්න ගත්තා
‘තේජා ඔය හිනාව නවත්තලා කියනවා උත්තරේ මගෙන් ගුටි කන්නේ නැතිව …’
‘මම හිතන්නේ මිස් …. ඌගේ අතේ අමාරුවක් තියෙන්න ඇති …’ තේජා මෝඩ විදිහට උත්තරයක් දුන්නා ..

‘නෑ ..නෑ වැරදි ….. අමිෂා කියන්න උත්තරේ මොකක්ද …’
‘මිස් මට හිතාගන්න අමාරුයි …ඔයාම කියන්න බලන්න …’ එයා එහෙම කියලා අනිත් කෙල්ලෝ ටික දිහා බැලුවාම කට්ටියම උත්තරේ ඉල්ලලා කෑ ගහන්න ගත්තා …
‘කුබියාගේ වොච් එකට වතුර යයි කියලා තමා කුබියා එහෙම ගියේ …’ උත්තරේ ලැබුන ගමන් කෙල්ලෝ ටික හිනාවෙන්න ගත්තේ නැතා පංතිය දෙක වෙන්න …
‘මොකද ..මොකද මේ කෑ ගහන්නේ …’ අල්ලපු පංතියේ උගන්න උගන්න හිටපු සිල්වා මිස් අපේ පංතියට එබුනේ වේවැලක් අරගෙනමයි …
‘මොනවද දැන් තියෙන සබ්ජෙක්ට් එක ..’ අපෙන් උත්තරයක් නැතිවුනාම එයා පංතිය ඇතුළට ආවා ..
‘සිංහල මිස් ..
‘සිංහළ කරන්නේ කව්ද ..’
‘ගීතා මිස් …’
‘අද ගීතා නැහැ කියලා දන්නවානේ …. කෝ මේ පංතියේ නායිකාව ..’ අමිෂා හෙවත් අපේ පංති නායිකාව හොර පුසියෙක් වගේ සිල්වා මිස් ලගට ඇවිදගෙන ආවා ….
‘ස්ටාෆ් රූම් එකට ගිහින් ෆ්‍රී මැඩම් කෙනෙක් එක්කන් එන්න ….. නැත්තම් ඔයාලා මේ කෑ ගහන විදිහට අනිත් පංතිවල ළමයිට ඉගෙන ගන්න වෙන්නේ නම් නැහැ …’ සිල්වා මැඩම් සැරෙන් වගේ එහෙම කියද්දී අමිෂා පංතියෙන් එළියට බැහැලා ස්ටාෆ් රූම් එක පැත්තට දුවලත් ඉවරයි …
‘දැන් කෑ ගහන්නේ නැතිව පොත් පෙරලාගෙන පාඩමක් බලාගන්න ..’ මිස් එහෙම කියලා යන්න ගියාම කෙල්ලෝ හොරාට හොරාට කතා කරන්න ගත්තා …
‘මම හිටියේ අදත් උබේ පස්ස රත්වෙයි කියලා …’ පුජනී එහෙම කිව්වේ මිස් එද්දී මම පංතිය ඉස්සරහට වෙලා කෑ ගහ ගහා හිටිය නිසා වෙන්න ඕන ..
****
ඉස්කෝලේ ඇරෙන වෙලාව ලංවෙද්දි මහා හයියෙන් වැස්සක් කඩාගෙන වැටෙන්න පටන් අරන් තිබ්බත් සුපුරුදු විදිහට මම කුඩේ ගෙනත් තිබ්බේ නැහැ ….. බෑග් එක අස්සේ ඊයේ හම්බවුන කුඩේ තිබුනත් මට ඒක ඉහලගෙන යන්න තරම් හිතක් තිබ්බේ නැහැ …
‘සදු …. මාවත් ඔයාගේ කුඩේට ගන්නකො ….’ සදු එයාගේ කුඩේ ඉහලාගත්තාම මම එයා ලගට දුවගෙන ගිහින් කුඩේ යටට රිංගා ගත්තාම කෙල්ල මුහුණ පුංචි කරගත්තේ එපා කියන්න බැරි කමට වෙන්න ඕන ..
‘මොකද බුම්මා ගත්තේ මාත් එක්ක යන්න කැමති නැද්ද ..’ සදු ඉක්මන් අඩි තියද්දි මම එයාට එකතු වෙන්න ඉක්මන් අඩි තිබ්බා
‘අනේ මගේ අකැමැත්තක් නැහැ …ඉක්මනින් එනවා ගාටන්නේ …’ මෙන්න බොලේ අපේ සදුට අශ්ව කුලප්පුව හැදිලා ….
‘මොකද ඔච්චර හදිස්සි ….’ ඉස්සරහට ඇවිදගෙන යන ගමන්ම සදු හොරෙන් හොරෙන් වටපිට බලන්නේ කාව හරි හොයන්න වගේ …
‘තව ටිකකින් මේ වැස්ස වැඩි වෙයි …මේ පුංචි කුඩේ අස්සේ ගිහින් අපි දෙන්නාටම තෙමෙන්න තමා වෙන්නේ …’
‘අනේ මේ ඔයා චුට්ටක් තෙමුනා කියලා මොකුත් වෙන්නේ නැහැ හලෝ … ඔයා ඔච්චරම අකැමැති නම් මම එන්නම් තමුසේ යනවා …’ මම සදුගේ කුඩේන් එළියට පැනගත්තේ …එයාගේ කෙදිරිල්ල ඉවසන්නම බැරි උන නිසා….
‘මේ මම විහිළුවක් කලේ එනවා මෙන්න මෙහෙ …’ සදු අප්සෙට් ගියේ මම කුඩෙන් එළියට පැනලා තෙමෙන නිසා වෙන්න ඕන .. දැන් ඉතින් නාගෙන ඉන්නේ එකේ තවත් මොන කුඩද මම සදුව ගණන් ගන්නේ නැතිව වේගෙන් ඉස්සරහට ඇවිදගෙන ගියා ….
‘මේ පිස්සුද ඕයි තෙමෙන්නේ ….’ ලොකු කුඩයක් ඉහලාගෙන මගේ ඉස්සරහට ඇවිදගෙන ආවේ වෙන කවුරුත් නෙවෙයි දිනිත …. මෙයා කොහොමද එක පාරම මෙතැනින් මතුවුනේ … උණහපුලුවා වගේ බලාගෙන ඉන්න ලස්සන විතරක්
‘එනවා මෙන්න මෙහෙට …..’ හිතුවෙවත් නැති වේලාවක මගේ අතකින් තද කරලා අල්ලාගත්ත දිනිත මාව කුඩේ යටට ඇදලා ගත්තා … කරන්ට් එක වැදුනා වගේ හැගීමකුත් එක්ක මුළු ඇග පුරාම වේදනාවක් පැතිරිලා යද්දී එතැනම නතරවෙලා මම එයාගේ මුහුණට එබිලා බැලුවා … ඒ මුහුණේ තිබ්බ හැගීම් පැහැදිලිව අදුරගන්න බැරිව මම ටික වෙලාවක් යනකන් අතරමන් වෙලා වගේ බලාගෙන හිටියේ … අපි හිටියේ මහා පාර මැද කියලා අපි දෙන්නාටම ටික වෙලාවක් යනකන් අමතක වෙලා තියෙන්න ඇති …
‘මේ හලෝ …මේ මහා පාර .. ඔතැනින් අයිනකට ගිහින් කරන ලව් එකක් කරගන්නවා . …මුන්ට ලව් සික් #@@. ’ ත්‍රිවිල් එකක ගිය මිනිහෙක් තිත්ත කුණුහරුප දෙකක් අගට දාලා බැනගෙන බැනගෙන යද්දී දිනිත මාවත් ඇදගෙනම පේමට් එකට ගොඩවුනා …
‘ හිරූ ….හොදටම තෙමිලා … මේ කුඩේ ගන්න ’ බලෙන්ම කුඩේ කුරට මගේ අත තද කරලා එයා යන්න යද්දී මම ඔහේ බලාගෙන හිටියා ….
‘හිරූ ….මොකද මෙතැන කරන්නේ …මම බස් හෝල්ට් එකේ හැම තැනම ඔයාව හෙව්වා …’’ සදූ මගේ ලගට ඇවිත් උරහිසෙන් අල්ලලා හොල්ලනකන් මම හිටියේ ඇහි පිල්ලමක්වත් ගහන්නේ නැතිවයි ….
‘මම … මම ….’ මම සදූට දෙන්න උත්තරයක් හෙව්වා
‘හොල්මනක්වත් දැකලාද … ‘’ සදු මගේ අතකින් අල්ලාගෙන ඉස්සරහට යද්දී මම කිසිම දෙයක් හිතාගන්න බැරිව එයාගේ පස්සේ ඇදිලා ගියා .. දිනිත මේ පුංචි තප්පර ගානකදී මගේ මුළු ඔළුවම අවුල් කරලා ගියේ නම් හරිම අපුරු ව්දිහට තමා …..
මුළු බස් හෝල්ට් එකම පිරිලා ඉතිරිලා යන තරමට ළමයින්ගෙන් පිරිලා තිබ්බ බස් හෝල්ට් එකේ පැත්තක හිටගෙන හිටිය දිනිත යාලුවොත් එක්ක එකතු වෙලා කතා කර කර ඉන්නවා …
‘එක්ස්කියුස්මි….. මේ ඔයාගේ කුඩේ …’ සදූ බස් හෝල්ට් එකේ ඇතුළට යද්දී මම දිනිත ලගට ගිහින් මගේ අතේ තියලා ආපු කුඩේ එයා දිහාවට දික්කරා … එයා මොකුත්ම කියන්නේ නැතිව කුඩේ දිහායි මගේ දිහායි සැරෙන් සැරේ බැලුවේ ගන්නවද නැද්ද කියලා හිතනවා වගේ …
‘ කසුනා ….මුගෙන් අපි කුඩේ ඉල්ලුවාම …. අපිට නිකන්වත් කුඩේ දෙනවාද …. කෙල්ලෝ ඉල්ලන්න කලින්ම දීලාත් ඉවරයි …’ දිනිතගේ යාලුවෝ විහිළු කරනවා අපි දෙන්නව වටකරගෙන
‘ අපිත් ඉතින් ගවුමක් කාරිය ඇදලා කොන්ඩ කරලක් ගෙතුවා නම් මූ අපිටත් කුඩේ බලෙන්ම දෙයි …’ කට්ටිය එහෙම කියද්දී දිනිත බලාගෙන ඉද්දි රතුවුණා …. එයා වගේම මාත් ලැජ්ජාව නිසා රතු වෙලා හිටියේ …
‘අන්න බස් එක එනවා ….’
මගේ වෙලාව හොදයි බස් එක ඇවිත් හෝල්ට් එක ඉස්සරහා නතර කරපු නිසා කොල්ලෝ විහිලු කරන එක පැත්තක තියලා බස් එකට නගින්න දුවගෙන ගියා .. මාත් ඒ පස්සේම දුවගෙන ගියා …
‘ෆුට් බෝර්ඩ් එකේ එහෙම යනවා නෙවෙයි …’ දිනිත එහෙම කිව්වේ මම ෆුට් බෝර්ඩ් එකට නැගලා එයා දිහා හොර බැල්මක් දානවා දැක්කාමයි …

මතු සම්බන්ධයි 

2 Comments

  1. Hello there, just became alert to your blog
    through Google, and found that it is really informative.
    I am going to watch out for brussels. I’ll be grateful if you continue this in future.

    Many people will be benefited from your writing.
    Cheers! Najlepsze escape roomy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *