16

~~~යශෝධරා ~~~~
16 කොටස
එදින සවස් යාමයේ රෝහලෙන් නිදහස් කල මා ළමා නිවාසයට ගියේ අභීත සමගිනි …. ළමා නිවාසයට යෑමට මගේ හිතේ වුවේ පසු බෑමකි …. කිසියම් අදුරු හැගීමක් මගේ හිත පුරා භීතිය වපුරා තිබුණි ..
‘යශෝධරා තාම බයෙන්ද ඉන්නේ ….’ ජීප් රිය පදවන අභීත මා දෙස බැලුවේ විමසීමත් නෙතිනි ..
‘හ්ම්ම්ම්ම් …කොච්චර අකැමැත්තෙන් උනත් මම එතෙන්ට යන්න ඕනනේ .. ..’ ඒ මොහොතේ මගේ හිතෙවූ බිය මුහුණින් පිළිබිඹු වෙන්න ඇත
‘මම හිතන්නේ යශෝධරා යකෙකුටවත් බය නැති කෙල්ලක් කියලා … මතකද ඔයා අර උස තාප්පේ පැනලා අපේ වත්තට ආපු දවස …..එදා ඔයාගේ මුහුණේ තිබ්බේ මම කිසිදෙයකට බය නැහැ කියනවා වගේ හැගීමක් ……..ඒත් අද ඔයාගේ මුහුණේ ලොකු බයක් තියෙනවා … ඔයාට මේට්‍රන් මොනවා හරි කීවාද ….එහෙමත් නැතිනම් වෙන මොනවා දෙයක් සිද්ද උනාද …. ඕනෑම දෙයක් මට කියන්න බය වෙන්න එපා ….’
අභීත විමසන පැනයට බොහෝ දේ පැවසිය හැකි නමුදු ….. කිසියම් සාක්ෂියක් නොමැතිව මා ඒ දේවල් පැවසීම නිවැරදි නොවේ …. යමක් පැවසිය යුත්තේ හොදින් හොයා බලා එය සැබෑවක් යැයි ඔප්පු කිරීමට හැකි නම් පමණි ….. ළමා නිවාසය තුල සිදුවේ යැයි සිතෙන ඒ දේවල් මගේ හිතළුවක් පමණක් වී නම් එයින් සිදුවන්නේ නිරපරාදේ අහිංසක ජිවිත විනාස වීමකි …. එම නිසා ඒ සිදුවීම් මට පැවසිය නොහැකිය ….
‘යශෝධරා මොනවද හිතන්නේ …… ’ ජීප් රිය ඉදිරියේ නැවතූ අභීත මගේ අතකින් අල්ලා රියෙන් බැසීමට උදව් කළේය …..
‘මොකුත් නැහැ සර් …’ මම රියෙන් බසින අතරතුර දුන්නේ උදාසීන පිළිතුරකි
ඒ මොහොතේ බණ්ඩාරවෙල වසාගෙන පැතිර තිබු ශීතල මා වෙව්ලවිමට තරම් රළුවිය ….
‘ඉස්සරලාම මේක පොරවාගෙන ඉන්න ….. ’ වෙව්ලමින් උන් මගේ ගත වටා සුවදායක සළුවක් එතු අභීත මගේ අතකින් අල්ලා ගත්තේය … අප උන්නේ ගලින් නිමවී ඇති අමුතුමාකාරයේ නිර්මාණයක් වෙන ම්ලෙස්නා තේ මධ්‍යස්ථානය අසලය ….
‘සර් මට බඩගිනි නැහැ …..’ කුස ගින්නක් පෙනෙන මානයක නැති නිසාවෙන් මම එලෙස පැවසුවෙමි …
‘කන්න ඕන නැහැ හොද තේ එකක් බිලා යමු ..’ ඔහුට මගේ අකැමැත්ත පලක් නොවීය ….
‘යශෝධරාගේ දෙමව්පියන්ට මොකද උනේ …’ තේ එක රැගෙන එනතුරු අසුන්ගෙන උන් අප දෙදෙනාගෙන් මුලින්ම කතා කලේ ඔහුය …. මම ඔහුට දීමට සුදුසු පිළිතුරක් සෙව්වෙමි …
‘යශෝධරා …’
ඉතින් ඔහු ඇහුවේ මා පිළිතුරක් නොදන්නා පැනයකි …. මම සුජාත දැරියක් නොවන බව ඔහුට කීමට උවමනා උනිද මගේ මුවට කලින් දෑස් ඉක්මන් විය …
‘යශෝධරා ඇයි මේ කදුළු …’ මගේ කදුළු දැක ඔහු බොහෝ බිය ගත්තේය ..
‘සර් ඇහුව ප්‍රශ්නෙට මම දෙන්න ඕන උත්තරේ මොකක්ද කියලා කල්පනා කලේ ….’ මම තදින් හුස්මක් ගතිමි
‘යශෝදරාට දුක හිතෙනවා නම් අපි ඒ ගැන කතා නොකර ඉම්මු ..’
‘නැහැ සර් …ඔයාගෙන් හංගන්න ඕන නැහැ මට … ඇත්තටම මගේ දෙමව්පියෝ මම කවදාවත් දැකලා නැහැ …. අඩු ගානේ පින්තුරයකින්වත් …..’
‘යශෝධරා ….අපි ඔය ගැන කතා නොකර ඉමු ..’ මගේ දෑසේ නොනවතින කදුළු දැක ඔහු කම්පාවෙන් මෙන් මා දෙස බලා උන්නේය …
‘හ්ම්ම්ම් දැන් කතාව පටන්ගෙන ඉවරයි නේ මට ඉවර කරන්න දෙන්න …… මට කියලා කෙනෙක් හිටියා නම් මම දැනගෙන හිටියේ මගේ ආච්චි අම්මා විතරයි ..ඒ කියන්නේ මගේ අම්මාගේ අම්මා … එයා කියපු විදිහට අම්මා රස්සාවකට කොළඹ ගිහින් ආපහු ඇවිත් තියන්නේ මාවත් බඩේ තියාගෙන ….. ආච්චි අම්මටවත් මගේ තාත්තා කව්ද කියලා අම්මා කියලා තිබුනේ නැහැ ..කොහොම හරි මම ඉපදුනාට පස්සේ මාස තුනයි මම අම්මාගෙන් කිරි බිලා තියෙන්නේ එයා මාව දාලා හොරෙන්ම යන්න ගිහින් …එදා ඉදලා ආච්චි මාව හදන්න නොවිදිනා දුක් වින්දා …. කොච්චර දුක් වින්දත් එයා මට දුක හිතෙන්න ඉඩ දුන්නේ නැහැ …හැමදාම මගේ හිතට ශක්තියක් උනේ මගේ ආච්චි අම්මා …. එයාගේ හිතේ තිබ්බ ශක්තිය වෙන්න ඇති මට උරුම උනේ …. පොලට ගිහින් පලා විකුණුවා මගේ ආච්චි අම්මා ….. කොහොම හරි ඒ හම්බ කරගත්ත සොච්චමෙන් මාව ගමේ ඉස්කෝලෙට යැවුවා …. මම ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි ….ගුරුවරුත් මට ගොඩක් ආදරේ කරා …. මට අවුරුදු පහළොවක් ලැබුවා …. මගේ උපන්දිනේ දවසට පස්සේ දවසේ මගේ ආච්චි අම්මාට පපුවේ කැක්කුමක් හැදුනා …එයා හොද වෙන්න නම් ඔපරේෂන් එකක් කරන්න ඕනේ කියලා දොස්තර මහත්තයා කියුවා …ඒකට ලක්ෂ දහයක් ඕනේ …. ලක්ෂ දහයක් …අපි වගේ දුප්පතුන්ට හිනයක් වගේ …අපිට උදව් කරන්න කවුරුත්ම හිටියේ නැහැ …. මොනවා කරන්නද ….මම පොඩි දරුවෙක් ….. ලෙඩ වෙලා දවස් දෙකකට පස්සේ ආච්චි අම්මා මාව දාලා ගියා …. එදා ඉදන් මාව බලාගත්තේ මේරි නැන්දා ….මගේ ආච්චිගේ යාලුවෙක් ….. එයාට ළමයි පස් දෙනෙක් … එයාලාට තිබුන ප්‍රශ්නත් එක්ක මාව බලාගන්න පුළුවන් තත්වයක එයා හිටියේ නැහැ …. එයාහේ නෑයෙක් මාර්ගෙන් මාව මේ ළමා නිවාසෙට දැම්මේ මේරි නැන්දා ….’
මම හුස්මක් හෝ නොගෙන කියවාගෙන ගිය කතාව නතර කලේ දෑසේ පිරුණු කදුළු ගොඩක් සහිතවය …. අභිතගේ දෑත මගේ ශීතල දෝත තදින් අල්ලාගෙන උන්නේ මගේ දුක උකහා ගැනීමට මෙනි ….
‘යශෝධරා අඩන්න එපා … ඔයා තනිවෙලා කියලා හිතන්න එපා …මම ඔයාගෙම කෙනෙක් කියලා හිතන්න … මාත් තනිවුන මිනිහෙක් …මටත් තනිකම හොදටම දැනෙනවා … මට තේරුම් ගන්න පුළුවන් යශෝධ්රාට දැනෙන දුක ..’
‘දුක කියන්නේ අපි වගේ අනාථ කෙල්ලොන්ට උරුම දෙයක් වෙන්න ඇති … ඒත් මට හැමදාම ඕනේ උනේ සතුටින් ඉන්න ..මම අනාථ අවජාතක කෙල්ලක් කියන එක අමතක කරලා ජිවත් වෙන්න …ඒත් ඒක හරි අමාරු වැඩක් සර් … අපිට අපේ උරුම කරුම වෙනස් කරන්න බැරිව ඇති’
මම උණුසුම් කහට තේ කෝප්පය ගෙන දෙතොල මත රදවාගෙන උගුරක් පානය කලෙමි …. දිව පුළුස්සාගෙන උගුර මතින් ඇදී යන කහට තේ උගුරේ රස්නය මගේ ගත උණුසුම් කරද්දී මම ඔහු දෙස බැලීමි ….කොහේදෝ ඈතක බලා උන් ඔහුගේ මුහුණේ උවේ මා කෙදිනදු ඔහුගේ මුහුණේ දැක නැති ශෝකයකි ..
‘යශෝධරා දන්නවාද …. ඔයා වගේම මාත් ගොඩක් විදවන මිනිහෙක් …සමහර දවස් වලට මම මැරී මැරී උපදින වාර අනන්තයි …’
‘ඔයාට සල්ලි තියෙනවා …හිතුන වෙලාවක ගමන් යන්න වාහන තියෙනවා …. තමන්ගේ කියලා වැටිලා ඉන්න ගෙයක් තියෙනවා …ඉතින් දුක් වෙන්න හේතුව මොකක්ද …’
‘යාන වාහන මොන සම්පත් තිබුනත් …. හිතේ තියෙන දුක සල්ලි වලට යට කරන්න බැහැ යශෝධරා ..’ මම ඔහුගේ ගැබුරු දෑස් දෙස බැලීමි …ඒ ඇස් වල වූ දුක වේදනාව මගේ දුක පරාද කරමින් නැගෙද්දී ඔහුගේ කතාව අසා දැනගැනීමට උවමනාවකි හිත තුල ඇතිවුවේ ..
‘ඔයාට කියන්න පුළුවන් නම් මට අහගෙන ඉන්න පුළුවන් …කතාවක් තියෙනවා නේ තමන්ගේ හිතේ දුක කාටහරි කීවාම හිත සැහැල්ලු වෙනවා කියලා …බලන්න මගේ හිතත් දැන් සැහැල්ලු වෙලා තියෙන්නේ .. ‘’
‘මම කවදාවත් මගේ දුක කාගේවත් ඉදිරියේ එලිකරලා නැහැ ..සමහර මිනිස්සු මම ගල් මිනිහෙක් කියලා හිතන්නේ නේ ..කව්ද මාව ඒ තත්වෙට පත්කළේ … මේ සමාජයම තමා එහෙම කලේ …මට කියලා කොයිතරම් හීන තිබුනද …ඒ හැම හීනයක්ම දවසක බිදිලා ගියා …..මේ බණ්ඩාරවෙල අර පොරවගල මිටියාවතේදී ….ඒ හැම දෙයක්ම නිකන්ම නිකන් පුස්සක් බවට පත්වුනා … ‘
මදකට කතාව නතර කල ඔහු තදින් හුස්ම ගත්තේය …ඉන් පසු මගේ මුහුණට එබී මද වෙලාවක් උන්නේය …
‘නෙත්මා …එයා මගේ ජීවිතේට නාවා නම් අද මගේ ජිවිතේ මිට වඩා වෙනස් වෙන්න තිබුනා … හ්ම්ම්ම් ….මම ඉගෙනගත්තේ කොළඹ ආනන්දේ …… අපේ ගෙදර තිබ්බේ බණ්ඩාරවෙල .. කොළඹ පරිසරය මාව හෙම්බත් කරලා තිබ්බ නිසා මම පුදුම තරම් නොඉවසිල්ලෙන් ඉන්නේ නිවාඩුව එනකන් …ඒ නිවාඩුව ආවා …. මම බණ්ඩාරවෙලට එන්න ට්‍රෙන් එකට නැග්ගා කොටුවෙන් …. ට්‍රේන් එක යන්න ලැහැස්තිවෙද්දීම මම හිටපු කෝච්චි පෙට්ටියටම නැග්ගා කෙල්ලෝ සෙට් එකක් …. ඇස් දෙක පියාගෙන කල්පනා කර කර හිටිය මට එයාලාගේ කන්කරච්ච්ලේ නිසා තරහා ගියා … මම ඇස් ඇරියේ බනින්න කියලා ..මට මාවම අමතක උනා….. මගේ ඉස්සරා වාඩිවෙලා හිටියේ ඒන්ජල් කෙනෙක් වගේ කෙල්ලක් …එයාව දැක්කාම මට අමතක උනා මම කොහෙද ඉන්නේ කියලා …. ඒ තරම් ලස්සනක් ….දිය ඇල්ලක් තරම් සුන්දර දිග කොන්ඩේ ලතාවකට එයාගේ පපුව උඩින් පල්ලෙහාට වැටිලා තිබ්බා …රෝසම රෝස පාට කම්මුල් එයාගේ සුදු මුහුණට ගෙනාව කාන්තිය විස්තර කරන්න වචන නැහැ මම පැය ගානක් එයා දිහා බලාගෙන හිටියා ..
‘නෙත්මා උබේ මුහුණේ ෆිල්ම් එකක්ද දන්නේ නැහැ ..’ ඒ නෙත්මා ලග වාඩිවෙලා හිටිය යාලුවා
‘ඒක තමා මාත් මේ පැය ගානක ඉදලා බලාගෙන හිටියේ ..’ තවත් කෙල්ලක් උල්පන්දම් දුන්නා ..
කෝච්චියේ ගමන ඉවරවුනේ කෙල්ලන්ගේ විහිලු තහළු මැද්දේ …. කොහොමහරි බණ්ඩාරවෙලින් බහිද්දී අපි හොද යාලුවෝ වෙලා …. ආපහු හම්බ වෙන්න කතා කරගෙන තමා වෙන්වෙලා ගියේ ..නෙත්මා හිටියේ අපේ ගෙදර ලගම ගෙදරක කියලා මම දැනගත්තේ දවස් ගානක් ගියාට පස්සේ …. අද ඔයාලා ඉන්න ළමා නිවාසේ බදු අරගෙන තමා නෙත්මලා හිටියේ ..එයාගේ තාත්තා බණ්ඩාරවෙල පොලිසියේ ලොක්කෙක් …… හැමදාම හවසට මම එයාලාගේ ගෙදර ලගින් ඇවිදගෙන යනවා ….නෙත්මා තුන්වෙන් තට්ටුවේ බැල්කනි එකට වෙලා පාර දිහා බලාගෙන ඉන්නවා …අපි දෙන්නා …පැය ගානක් අපි දිහා බලාගෙන ඉන්නවා …. මට උදව් කලේ අපේ ගෙදර ඩ්‍රයිවර් සිරිල් …. මගේ ලියුම් නෙත්මාට ගිහින් දෙනවා මට එයාගෙන් උත්තර ගෙනත් දෙනවා …. දවසක් අපි හම්බවුනා ….අර පොරවගල මිටියාවත දිහා බලාගෙන මම කෑ ගහලා එයාට කිව්වා මම ආදරෙයි නෙත්මා කියලා ….දන්නවාද එයා මට කැමති උනා ..මට දැනුනේ මගේ මුළු ලෝකෙම හම්බවුනා කියලා …. මම සීමාවක් නැතිවම නෙත්මාට ආදරේ කළා …නෙත්මත් මට ආදරේ කළා … ඉස්කෝලේ නිවාඩුව ඉවරවෙලා කොලඹ ගියාට පස්සෙත් අපි සැරින් සැරේ හම්බවුනා …. කාලය ගෙවිලා ගියා …. මම හිතන්නේ අවුරුදු දෙකක් විතර ගෙවිලා ගියා ….මම ඒ දවස් වල ඇඩ්වාන්ස් ලෙවල් කරනවා …. නෙත්මා වෙනස් වෙන්න ගත්තේ එකපාරමයි ….මම හම්බවෙමු කියලා කිව්වාම නෙත්මා කිව්වේ ක්ලාස් තියෙනවා කියලා …. මට දැනුනා එයා මගෙන් ඈත්වෙන්න ට්‍රයි කරනවා කියලා …. මම තිරණය කළා එක්සෑම් එකෙන් පස්සේ තීරණයක් ගන්නවා කියලා …. ’
අභිතගේ මුහුණේ විසිරීගිය වේදනාව කලකිරීම මට හොදාකාරවම පෙනුනි … ඔහු ඒ අවස්ථාවේ බොහෝ වේදනාවන් විදින්න ඇතිවා නොඅනුමානය …

‘එක්සෑම් ඉවරවෙලා නිවාඩුවට මම බණ්ඩාරවෙල ගියා .. නෙත්මාත් ගෙදර ඇවිත් තිබුනා දවස් දෙකකට පස්සෙ ….මට ඕන උනේ …. එයාලාගේ තාත්තා එක්ක අපි ගැන කතා කරන්න … මම අපේ පප්පට කිව්වා …මම කැමති ගර්ල් කෙනෙක් ඉන්නවා …….මෙහෙමයි කියලා විස්තර ….පප්පා කිව්වේ මම කැමති නැහැ ඔය සම්බ්න්ධෙට ….උබ බදින්න ඕන මම කැමති කෙල්ල කියලා … හැමෝම විරුද්ධ වෙද්දී මම තීරණය වෙනස් කලේ නැහැ …. මම තනියම නෙත්මලාගේ ගෙදර ගියා ….ඒ වෙද්දී නෙත්මලාගේ ගෙදර මිදුලේ ජීප් එකක් නවත්තලා තිබ්බා …ඒ කියන්නේ එයාගේ තාත්තා ගෙදර ඉන්නවා කියන එක … මම දෙපාරක් හිතන්නේ නැතිව ගේ ඇතුලට ගියා … කවුරුත් පේන්න හිටියේ නැති නිසා මම ඇතුලටම ගියා …ඒ යද්දී මම දැක්කේ ඇස් අදහගන්න පුළුවන් දෙයක් නෙවෙයි ..මට ආදරේ කරපු නෙත්මා පොලිස් ඇදුම් ඇදගත්ත කොල්ලෙක්ට තුරුළු වෙලා හිටියා … මම පණ වගේ ආදරේ කරපු කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඉන්න විදිහ බලාගෙන ඉන්නේ කොහොමද මම … මම මොකුත් කියන්නේ නැතිව එළියට ගියා …ඊට පස්සේ සිරිල් අතේ පණිවිඩයක් යැවුවා නෙත්මාට මාව හම්බ වෙන්න එන්න කියලා …අපි එදා හවස හම්බවුනා ….. මම නෙත්මාගෙන් ඇහුවා මේ දේවල් ඇත්තද කියලා …එයා පිළිගත්තා …. එයාලාගේ තාත්තාගේ යාලුවෙක්ලු ඒ කොල්ලා …. දන්නෙම නැතිව ගොඩක් ලංවෙලා … කෙල්ල මගේ ඉස්සරහා වැටිලා සමාව ඉල්ලුවා …… ඒ උනාට මගේ හිතේ එයාට දෙන්න සමාවක් තිබ්බේ නැහැ ….මම වචනයක්වත් කිව්වේ නැහැ එයාට බැන්නෙත් නැහැ .. මම අසිහියෙන් ඇවිදගෙන ගිහින් අර කන්දකින් පල්ලෙහාට ලිස්සලා ලිස්සලා ගියා …. මගේ මුහුණේ මේ තියෙන කැළැල් ඒ මතක සටහන් … මට මේ කැළැල් මකා ගන්න උවමනාවක් තිබ්බේ නැහැ …. මේවා දකිද්දී මට නෙත්මා ගැන පිළිකුලක් ඇතිවෙන්නේ .. කවදාවත් මට එයා ගැන මතක් කරලා සතුටු වෙන්න ඕන නැහැ …මොකද මම එයාට වෛර කරනවා .. ..හ්ම්ම්ම්ම් ඊට සතියකට විතර පස්සේ සිරිල් මට කිව්වා … නෙත්මා අර පොලිස්කාරයා එක්ක පැනලා ගිහින් කියලා … මම බණ්ඩාරවෙල අතැරලා කොළඹ ගියා ..’

‘සර් ….ඔයා ගොඩක් දුක් විදලා …’ ඒ මුහුණේ වුවේ මෙලොව ඉහලම දුක ඔහු විදිමින් සිටින බවකි ….
‘ ඔව් මම ආපහු බණ්ඩාරවෙල ගියේ පප්පාගේ මරණෙට …එයා ඇක්සිඩන්ට් එකකින් මැරිලා තිබ්බේ …. එයා මැරෙන්න කලින් අර නෙත්මලා හිටිය ගෙදර සල්ලි වලට අරන් ළමා නිවාසයක් පටන් අරන් තිබ්බා …. මෙහෙ තිබ්බ දේපල බලාගන්න කියලා කවුරුත් හිටියේ නැහැ ..මම බණ්ඩාරවෙල නැවතුනා …. තවත් අවුරුදු දහයක් මම තනියම මගේ ගෙදර ගෙවලා දැම්මා …. තනිකම ගොඩක් දරුණුයි තමා ..ඒ උනාට මම ඒ දේට හුරු උනා ..’
‘සර්ට තිබ්බේ කාට හරි ආදරේ කරන්න ..’
‘නැහැ . … යශෝධරා මම කවදාවත් ආයේ ආදරේ කරන්නේ නැහැ …. ම්ම් ආදරේ කරපු කෙනා .. ගොඩක් විශ්වාස කරපු කෙනා මගේ විශ්වාසය බිදලා දවසක යන්න ගියා ..එන්න ඒ දවසේ ඉදලා මම ආදරේ කියන හැගීමට වෛර කරනවා … ඒ හැගීම ආයේ එපා …. මම කාටවත් ආදරේ කරන්නේ නැහැ .. මැරෙනකම් තනියම ඉන්නවා …’
ඔහුගේ කටහඩේ තිබ්බේ තිර හැගීමකි …
‘ඒත් සර් … ඔයා තාම තරුණයි ….හැම කෙල්ලම නෙත්මා වගේ නැහැ … ඔයාට ගොඩක් ආදරේ කරන කෙල්ලක් ඔයාට හම්බවෙයි …’
මම ඔහුගේ මුහුණට එබී සිහින් ස්වරයෙන් පවසද්දී කිසිවක් නොකියා ඔහු වටපිට බලන්නන විය ..
‘හොදටම රෑ වෙලා යශෝදරා …අපි දැන් යමු …. ’
ප්‍රති උත්තරයක් නොදීම අසුනින් නැගී සිටි ඔහු පිටව යද්දී මා ඔහු පසෙකින් ගමන් කලෙමි …. නැවත ගමනේදී ඔහුත් මාත් දෙදෙනාම උන්නේ අපගේම ලෝකයන්හි තනිවෙමිනි …. අතීතයේ වේදනාකාරී මතකයක් ඔහුගේ සිතට බොහෝ වද දෙන්න ඇත ….ඔහුගේ මුහුණ මත දෑස් දල්වාගෙන මා සිතන්න වුවේ ඔහු කෙතරම් වේදනාවක් විදින්න ඇතිද යනුවෙනි …

මතු සම්බන්ධයි 

2 Comments

  1. You really make it seem really easy along with your presentation but
    I find this matter to be actually one thing which I feel I might
    by no means understand. It sort of feels too complicated
    and very extensive for me. I am taking a look forward in your subsequent
    post, I will attempt to get the dangle of it! Najlepsze escape roomy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *