17

17 කොටස
~~~සමනල වසන්තය~~~~
බස් එක වේගෙන් ඉස්සරහට යද්දී මම මම හොරෙන් හොරෙන් දිනිත දිහා බැලුවත් … එයා යාළුවොත් එක්ක ලොකුම ලොකු කතාවක හිටියේ …. සුපුරුදු විදිහට බස් එකෙන් බහිනකන් එයා නිකමටවත් හැරිලා මගේ දිහා බැලුවේ නැහැ …. තියෙන ආඩම්බරකම තමා ..මේ වගේ කොල්ලෙක් නම් ලොවෙත් නැහැ ලොවි ගහෙත් නෑ ලෝවැඩ සගරාවෙත් නැහැ ….
‘ගෙදර යන්නේ නැද්ද …. ’ බස් එකෙන් බැහැලා ඈතට යන බස් එක දිහා බලාගෙන හිටිය මම ගැස්සිලා ගියේ සදූ කතා කෙරුවාමයි … මෙච්චර වෙලා මට නිකමටවත් මතක තිබ්බේ නැහැ සදූ මාත් එක්ක එකම බස් එකේ ආවේ කියලා ….එයා නිකමට දැක්කා නම් මම දිනිත දිහා බලනවා අපේ අම්මාගේ කනේ තියලාම තමා නවතින්නේ …
‘යනවා යනවා …’ මම සදුට කලින් ගේට්ටුවෙන් මිදුලට පැනලා එයා දිහා බැලුවා .. ඒ මුහුණේ කිසිම වෙනසක් නැති බව දැක්කාම මම ලොකු හුස්මක් අරගෙන හිත සැහැල්ලු කරගත්තා …
‘මොකද හිරූ මේ තෙමිලා .. අද කුඩේ ගෙනියන්න බැරි උනාද ..’ නිදුකයියා එක්ක කතා කරකර හිටිය අම්මා මාව දැකලා නළල රැලි කරගද්දි නිදුකයියා රවලා මගේ දිහා බැළුවා ….එතකොට තමා මට මතක් උනේ මම බාගෙට තෙමිලා ඉන්නේ කියලා ..
‘කුඩේ ගෙනියන්න අමතක උනානේ අම්මා …’
‘ මොන පිස්සියක්ද මන්දා තමන්ට ඇදුම් එහෙම අදින්න අමතක වෙනවද දන්නේ නැහැ … ‘’ අම්මා ඉන්නවා කියලා නැහැ නිදුකයියා නෝක්කාඩු කියන්න ගත්තා …
‘ඔයාට වැඩක් නැහැනේ …. ඔයා ඉන්නකෝ කට වහගෙන අප්පොච්චා වෙන්නේ නැතිව ..’ මම කට ඇද කරලා නිදුකයියාට එකටෙක කීවා ..
‘හිරූ කට ගහගෙන එන්න එපා ….ඔයා දැන් තවත් මුරණ්ඩු වෙලා … කියන කිසිම දෙයක් අහන්නේ නැහැ …සදූ …සදූ …’ අම්මා මට බනින ගමන් සදුට කතාකරේ එයා අපිව මග ඇරලා යන්න ලැහැස්ති උන නිසා වෙන්න ඕන …
‘ඇයි අම්මා …’ සදූ ගමන නවත්තලා හරිම බයාදු විදිහට තමා කතා කලේ ….එයාට බය හිතෙන්න ඇති මම එයා නිසා තෙමුනා කියයි කියලා ..
‘ඔයා කුඩයක් ගෙනියව්වා නේද ..දන්නේ නැද්ද හිරූවත් කුඩේ යටින් එක්ක එන්න … ’ අම්මා සදූට සැරකරපු ගමන් එයා ඇස් දෙකේ කදුළු පුරවාගත්තා ….
‘ඔන්න අඩන්න තියාගත්තා …හිරූ ඔයා සැලකිල්ලක් නැතිව වැඩ කරන නිසා මේ කෙල්ලත් බොරුවට බැනුම් අහනව මගෙන් ….කෝ මගේ මැණිකනේ ඔයා නාඩා ඉන්න දැන් …’ අම්මා මට බනින ගමන් සදුව තුරුල් කරගෙන ඔළුව අතගාන්න ගත්තා හරිම ආදරෙන් …
‘මෙයා කවද්ද පුංචි අම්මා සැලකිල්ලෙන් වැඩ කරන්නේ ….මෙයා කරොත් කරන්නේ අර ළමයාත් එක්ක බැනුම් අහන වැඩක් තමා …. ‘’ නිදුකයියා අම්මාගේ තරහා වැඩිවෙන විදිහට කතා කලේ
‘ඔව් හැමදාම හිරූ කරන දේවල් වලට බැනුම් අහන්නේ සදු …මේ සැරේ නම් අප්පච්චි ආවාම මම එයාට කියනවා ගෙදර ඉදලා ඔයාව හදන්න කියලා .. කවදාහරි මෙයාව කසාද බැන්දුව දවසටත් මෙයා මෙහෙම වැඩ කරන්න ගත්තොත් අහක ඉන්න අපි තමා බැනුම් අහන්නේ හරියට කෙල්ලෝ හැදුවේ නැහැ කියලා ..’
සදුව නලවන ගමන් අම්මා මට හිටු කියලා බනිනවා …. කොහෙද නිදුකයියා කරන්නෙත් අම්මාගේ කතාවලට පොහොර දාන එක නේ …
‘මෙයා තමා අම්මා අවුස්සන්නේ .. .’ මම නිදුකයියාට රවලා ගස්සගෙන කාමරේට දුවගෙන ගියා .. හිතේ තිබ්බ තරහා නිසාම කවදාවත් නැතිව මගේ ඇස් වල කදුළු පිරුණා …
මම මොනවා කලත් අපේ අම්මාට මගේ වැරැද්දක්මයි පේන්නේ …. තෙමුනා කියලා ඔච්චර කතා කියන්න ඕනද මට … මම බෙඩ් එකේ මුණින් අතට වැටිලා කොට්ටයක් අස්සේ මුහුණ ගහගත්තා ….
‘හිරූ කෑම කන්න එන්න …’ ගොඩක් වෙලාවකට පස්සේ නිදුකයියා කාමරේට ආවා … මම මුහුණ උස්සන්නේ නැතිවම කොට්ටෙට මුහුණ තද කරගෙන හිටියා .
‘හිරූ එනවකො කෑම කන්න … මම තාම කාලා නැහැ ..කෝ ඉක්මනට එන්න …’ එයා මගේ බෙඩ් එකේ වාඩිවෙලා එක එක කතන්දර කියනවා
‘ප්ලීස් අයියා මට තනියම ඉන්න දීලා මෙතැනින් යනවාද …’ තවත් එයා මෙතැන හිටියොත් මට යක්ෂයා ආවේශ වේන බව දන්න නිසා මම එහෙම කියලා උගුර යටින් කෑ ගැහුවා …
‘අපෝ මම යන්නම් … මේයාට මාර විදිහටනේ තරහා යන්නේ ….’ නිදුකයියා මගේ ලගින් නැගිටලා දොර දිහාවට යද්දී මම එයා පස්සේ ගිහින් දඩාස් ගාලා දොර වහලා දැම්මා …
‘එනවා මෙතන මාව නලවන්න …පුළුවන් තරම් අම්මාව අවුස්සලා …හ්ම්ම් ..’ බාගෙට වෙළුණු සුදු ගවුම පිටින්ම මම ඇදට වැටිලා හිටියේ හිතේ තිබ්බ තරහටමයි ….
‘හිරූ මේ දොර අරින්න …’ අම්මා ඇවිල්ලා කතා කරද්දී මට යාන්තම් නින්ද ගිහින් තිබ්බේ …. මම නිදිමතේම ගිහින් දොර ඇරියාම අම්මා මගේ දිහා බලාගෙන ඉන්නවා ලොකු දුකකින් …
‘ඔයා තාම තෙන ගවුම මාරු කරේ නැද්ද …මේ ඔළුව පිහුවේවත් නැද්ද …’ අම්මා මම මොකුත් කියන්න කලින් ඇදුම් රැක් එක ලගට ගිහින් ටවල් එක අරන් ඇවිත් මගේ කොණ්ඩ කරල් දෙක ලිහලා කොන්ඩේ තෙත මාත්තු කළා ..
‘ මේ ගවුම ඇදගෙන ඉන්න ..’ අම්මා ගවුමක් අතේ තිබ්බාම මම පැත්තකට හැරිලා තෙත ගවුම ගලවලා දාලා පාට ගවුම කරෙන් පහලට දාගත්තා ..
‘දැන් මෙහෙට එන්න …’ අම්මා බෙඩ් එක උඩ වාඩිවෙලා මාව එයාගේ ලගට අඩගැහුවා …මම දුවලා ගිහින් එයා ලගින් බිම වාඩිවෙලා ඔඩොක්කුවේ ඔළුව තියාගත්තාම අම්මා ගොඩක් සනීපෙට මගේ ඔළුව අත ගාන්න ගත්තා
‘ හිරූ අම්මා එක්ක තරහද …’ අම්මා කතා කලේ ගොඩක් හැගීම්බර ව්දිහට … මම ඔළුව උස්සලා එයා දිහා බලද්දී අම්මාගේ ඇස් දෙකේ කදුළු ගොඩක් පිරිලා ..
‘ඇයි අම්මා මේ අඩන්නේ …මම ඔයා එක්ක තරහා නැහැනේ …’ මම දකුණු අත උස්සලා අම්මාගේ ඇස්වල තිබ්බ කදුළු අතින් පිහලා දැම්මා …
‘ඔයා හිතනවාද මම ඔයාට සැරකරන්නේ ඔයත් එක්ක තරහට කියලා ..’
‘නැහැ අම්මා මම ඔයා එක්ක තරහා වෙන්නේ කොහොමද ඔයා මගේ සුදු අම්මානේ ‘’ මම එයාගේ මුහුණ අතගෑවේ ගොඩක් ආදරෙන් …
‘ඔයා හොද ළමයෙක් වෙනවා දකින්න අම්මා ගොඩක් කැමැති මගේ දූ හිතුවක්කාර වෙද්දී අම්මාට ගොඩක් බය හිතෙනවා …. දූ හදාගන්න ඕන නිසයි අම්මා දුවට සැරකරන්නේ … ඔයයි සදුයි තමා මගේ ඇස් දෙක .. ඔයාලාට නරකක් උනොත් මට ඔයාගේ අප්පච්චිට මුහුණ දෙන්න බැරි වෙයි …. මගේ දූ අම්මාට පොරොන්දු වෙන්න ඕන හොද ළමයෙක් වෙනවා කියලා …. ඔය දැගලිල්ල පොඩ්ඩක් අඩු කරනවා කියලා ..’
‘මම පොරොන්දු වෙනවා අම්මා …හොද ළමයෙක් වෙනවා කියලා .’
අම්මා ගොඩක් දේවල් කියද්දී මම එයාගේ අත්දෙකෙන්ම අල්ලාගෙන හැමදාම වගේ එයාට පොරොන්දුවක් දුන්නා ….. මොන පොරොන්දුව දුන්නත් මම දන්නවා මට ඒ විදිහේ හොද ළමයෙක් වෙන්න බැරිබව … කවදාවත් මට සදූ වගේ සංවර කරුණාවන්ත කෙල්ලක් වෙන්න බැරි බව දැනගෙන හිටියත් අම්මාගේ හිත හදන්න මම එයාට ඒ පොරොන්දුව දුන්නා …
‘අන්න අයියා හෙට හොස්ටල් එකට යන්න යනවා …’ ගොඩක් වෙලා කතා කර කර හිටියාට පස්සේ අම්මා එහෙම කිව්වාම මම නිදුකයියා හොයාගෙන ගියා …
‘සදූ අයියාව දැක්කද …’ හොයලා හොයලා දකින්න නැතිවුනාම මම කලේ සදුගෙන් අයියා ගැන අහපු එක .
‘මම දැක්කා ඔන්න මිදුලේ ඉන්නවා ..’ සදු කියලා ඉවර කරන්නත් කලින් මම අයියාව හොයාගෙන මිදුලට බැස්සා …. ගේට්ටුව ලග හිටගෙන මිදුල දිහා බලාගෙන අයියා ලොකු කල්පනාවක ..මම හැම තරහක්ම අමතක කරලා හෙමින් හෙමින් අයියා ලගට ඇවිදගෙන ගියත් එයාට කිසිම ගානක් නැහැ .
‘කව්ද කියන්න බලන්න ….’ අයියාගේ ඇස් දෙක අත්දෙකෙන් වහන ගමන් මම කටහඩ වෙනස් කරලා කතා කළා
‘ඔයා මොන විදිහට කතා කලත් මට ඔයාව අදුර ගන්න පුළුවන් හිරු නංගි …’ නිදුකයියා මගේ අත්දෙකෙන්ම අල්ලාගෙන පල්ලෙහාට තල්ලු කරන ගමන් දුකින් වගේ එහෙම කිව්වා …ඒ මුහුණේ කිසිම හිනාවක් නැහැ ..
‘ඒ කොහොමද …’ මම ඇස් දෙකත් ලොකු කරගෙන එයා දිහා බැලුවා …
‘ඔයාගේ සුවද දැනුනා ….’
‘මගේ සුවද …මම මොනවත් ෆර්පියුම් ගාලා නැහැනේ …’ මම උරහිසක් උස්සලා නහය ලංකරලා බලන ගමන් එහෙම කියුවම අයියාගේ දුක්බර මුහුණට ලා හිනාවක් ආවා ….
‘වෙන කාටවත් දැනෙන එකක් නැහැ ..ඒ උනාට මට දැනෙනවා …ඔයාගේ ජිවන සුවද …’ අයියා හැගීම්බර විදිහට එහෙම කියන ගමන් ඇස් දෙකම පුංචි කරලා බලද්දී මගේ හිතට දැනුනේ කවදාවත්ම දැනිලා නැති නුහුරු බයක් ..ඒ ඇයි කියන්න දන්නේ නැතිවුනත් …. ඉස්සරහට එන්න තියෙන මොකක් නමුත් දෙයක් ඉවකින් වගේ මට දැනෙන්න ගත්තා ..
‘පිස්සුද කොහෙද … ‘’ මම යනවා බයිසිකල් එක පදින්න ’ මම එහෙම කියලා බයිසිකලය තියෙන පැත්තට දුවගෙන ගියා …
‘බලාගෙන වැටෙයි හොදද ..’ අයියා එහෙම කියද්දීම මම බයිසිකලේට නැගලා මිදුල පුරාම පදින්න ගත්තා ….
******
පහුවදා උදේ ඇහැරෙද්දි හෙම්බ්රිස්සාවයි ඇගට පණ නැති ගතියකුයි දැනුනත් මට ඉස්කෝලේ යන්න ඕන කියන හැගීම මහා ලොකුවට දැනුනා .. වෙනදා පුංචිම හෙම්බිරිස්සාවක් හැදුනත් ඉස්කෝලේ නොයා ඉන්න මට දිනිතව දකින්න හිතේ තිබ්බ උවමනාව නිසාම ඇගට දැනුන තෙහෙට්ටුව අසනීප ගතිය කාටවත් පෙන්නන්නේ නැතිව ඉස්කෝලේ යන්න ලැහැස්ති උනා ….
‘අයියා කොහේ යන්නද මේ ලොකුම ලොකු බෑග් එකක් අරගෙන ..’ නිදුකයියා යුනිෆෝම් එක පිටින් ට්‍රැවලින් බෑග් එකකුත් උස්සගෙන ඉස්තෝප්පුවට ආවේ මම ඉස්කෝලේ යන්න මිදුලට බහිද්දිමයි ..
‘මම හොස්ටල් එකට යන්න කියලා …. මේ දවස් ටිකේ පාඩම් කරන්නවත් බැරිවුනා ..’ අයියා යාන්තමට හිනාවෙන ගමන් එහෙම කියුවා ..වෙනදා නම් මම අයියාට යන්න එපා කියලා ගේ දෙවනත් වෙන්න කෑ ගහනවා ..ඒත් අද මට එහෙම කියන්න තරම් හිතක් ආවේ නැහැ …
‘අයියා එක්සෑම් ඉවරවෙලා අපේ ගෙදර එන්න එහෙනම් …. ගොඩක් දවස් ඉදලා යන්න ..’
මම මිදුලට බැහැලා එහෙම කියද්දී අයියා මොකුත් කියන්නේ නැතිව හිනාවුනා …එයාට පුදුම ඇති මම යන්න එපා කිව්වේ නැති එකට …
‘පුංචි අම්මා මම යනවා එහෙනම් …’ මිදුලට බැහැලා ගේ දිහා බැලුව අයියා කෑ ගහද්දී අම්මා ආවේ ලොකු පාර්සල් එකකුත් අතේ තියාගෙනමයි ….
‘පුතා යාලුවොත් එක්ක මේක බෙදාගෙන කන්න ….මම පුතා ආශා නිසා කිරි ටොෆි හැදුවා …’ අම්මා අයියා අතේ ටොෆි පාර්සල් එක තියද්දි අයියා පහත් වෙලා අම්මට වැන්දා …
‘ගිහින් එන්නම් පුංචි අම්මේ …’
‘බුදු සරණයි දරුවෝ ..’
අම්මා එහෙම කියද්දී අයියා අතත් වනලා මාත් එක්කම පාරට බැස්සා … බස් හෝල්ට් එකට ආවත් අපි දෙන්නා අතරේ කිසිම කතාවක් තිබ්බේ නැහැ … මට එයාගෙන් මොනවාවත් අහන්න බය හිතුනා …අයියා මම ගැන මොනවා හරි දෙයක් හිතනවාද ..දෙයියනේ මෙයා අම්මාගේ akkage putha .. ඒ කියන්නේ මගේ සහෝදරයෙක් …. එයා ඒ ව්දිහට මම ගැන හිතුවොත් ඒක කොයි තරම් නම් ලොකු පවක්ද …කෝකටත් එයාගෙන් පුළුවන් තරම් ඈත්වෙලා ඉන්න එක අපි දෙන්නාටම හොදයි …..
බස් එක එනකන්ම අපි දෙන්නා හිටියේ අපි දෙන්නාගේ ලෝකවල ඇතුලේ තනිවෙලා …. නිදුකයියා සැරින් සැරේ මගේ දිහා බැලුවත් මම එයාගේ බැල්ම පුළුවන් තරම් මග ඇරියා …
‘පරිස්සමෙන් නගින්න ඔයා වැටෙයි ….’ මෙලෝ සිහියක් නැතිව බස් එකට නගින්න ගියපු මම ෆුට් බෝර්ඩ් එකේ පඩි දෙකක් උඩින් අඩිය තියන්න ගිහින් එක පාරම ඇදගෙන වැටෙන්න යද්දී නිදුකයියා තද කරලා මගේ උරහිසින් අල්ලලා බස් එක ඇතුලට තල්ලු කළා …. ළමයි අස්සේ ඉස්සරහට තල්ලු වෙලා ගිය මාව වැටෙන්න යද්දී මට දැනුනා කවුරු හරි කෙනෙක් තද කරලා මගේ අතකින් අල්ලා ගන්නවා …
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *