17

~~~යශෝධරා ~~~~
17 කොටස
ප්‍රේමය අභිතට බොහෝ වේදනා ගෙන දෙන්න ඇත … ගෙවෙන හැම දිනකම කැඩපතින් මුහුණ බලන අභිතට ඒ වේදනාකාරී මතකයන් ආවර්ජනය වෙන්න ඇත …..ප්‍රේමය මෙතරම් වටිනා දිවියකට කල හදියක් …. ළමා නිවාසය ලගින් රථයෙන් බසින තුරුම මට කල්පනා උවේ ඔවැනි දේවල්ය ..
‘යශෝධරා ….බෙහෙත් බිලා කෑම කන්න ඕන … ’ අභීත මා වෙත සිනාවක් පෑවේ මම ජීප් රියෙන් බැසගත් පසුවය …. මම පෙරලා දුක් සිනාවක් පෑමි ..
‘හොදයි සර් … ඔයා දුක් වෙන්න එපා ….. ’ කීමට බොහෝ දේ තිබුණද මට පැවසිය හැකි උවේ එපමණකි …
‘මම දුක්වෙන්නේ නැහැ යශෝධරා …..මම ඒ අතීතේ ගැන හිතලා තවත් දුක් වෙන්නේ නැහැ ..’
‘සර්ගෙන් මම දෙයක් අහන්නද …’ මා ඔහු දෙස එක එල්ලේ මොහොතක් බලා උන්නෙමි ..
‘යශෝධරාට පුළුවන් මගෙන් ඕන දෙයක් අහන්න ..’
‘එහෙනම් මට කියන්න …. ඔයාගේ ජීවිතේට වෙන කෙල්ලෙකුට ඉඩක් ඇත්තෙම නැතිද ..’
‘නැහැ යශෝධරා ….. මට වෙන කෙල්ලක් ගැන ආදරයක් හිතිලා නැහැ …හිතෙන්නෙත් නැතිවෙයි ..’ ඔහුගේ පිළිතුර මගේ හිතට එක්කළේ කනස්සල්ලකි…
‘කවදාහරි නෙත්මා ආයේ ඔයාගේ ඉස්සරහට ආවොත් ඔයා එයාව පිළිගන්නවාද …’ මගේ පැනය ඔහුව බොහෝ අපහසුතාවයට පත්කරන්න ඇත …ඒ මුහුණේ එක්වර පැතිර ගියේ අතරමන් උන බවකි ..
‘මම හිතන්නේ නැහැ කවදාවත් නෙත්මා මගේ ඉස්සරහට එයි කියලා …ඒ ආවත් මට එයා ගැන ඉස්සර තරම් ආදරයක් ඇතිවෙන්නේ නැති වෙයි …’
‘ ඒ උත්තරේ නම් ඔයා ප්‍රශ්නෙන් පැනලා යන්න දුන්න එකක් ..’ මා ඔහු දෙසට එල්ල කලේ තියුණු බැල්මකි …මගේ බැල්ම දරාගත නොහැකිවා සේ ඔහු කිසිවක් නොකියා රියෙන් බැසගත්තේය ….
‘යශෝධරා දැන් යන්න …මම මේට්‍රන් හම්බවෙලා යන්නම් ..’ රියදුරු අසුනින් බැසගත් අභීත කාර්යාලය දෙසට යද්දී මම සෙමින් සෙමින් ළමා නිවාසය තුලට පිවිසියෙමි … ඒ අභීත ගැන කල්පනා කරමිනි …
‘යශෝ ….අපි හිතුවේ අද ටිකට් කපන එකක් නැහැ කියලා …’ මා දැක ඉදිරියට විත් සෙනුලි මගේ අතකින් අල්ලා ගද්දි මම අභීත පිළිබද සිතුවිලි යටකරගත්තෙමි …
‘උණ බැස්ස නිසා ටිකට් කැපුවා …. දවස් දෙක තුනක් රෙස්ට් කරන්න කිව්වා .. ’
‘එහෙනම් ඇදට වෙලා ඉන්න . …මොනවා හරි ඕන නම් අපිට කියන්න ..’
දැරියන් මට උවැටන් කිරීමට ඉදිරිපත් උවේ ස්ව කැමැත්තෙන්මය ….. යහනෙන් බැස යෑමට හෝ මට ඔවුන්ගෙන් ඉඩක් නොවුනි ….. ඔවුන්ගේ සත්කාර හමුවේ මට දැනුනේ සැනසිල්ලකි ….
ඒ රාත්‍රියේ බෙහෙත් පානයෙන් පසු මගේ දෑසට නින්ද ලගා උනේ සිහිනයකට හෝ ඉඩක් නොතබමිනි … රාත්‍රිය ඉතාම සාමකාමිව ගෙවී ගියේ බෙහෙත්වල බලයෙනි …
පසුදින මා අවදිවද්දී අන් දැරියන් පාසල් ගොසිනි …. මම යහනෙන් නොනැගිට මද වෙලාවක් එලෙසම දෑස් පියා උන්නෙමි …
‘මේ කෙල්ල තාම ඇහැරිලා නැද්ද …’ මා අසලින්ම ඇසුනේ පාලිකාව ගේ කටහඩයි ..
‘ඒ වගේ … මොනවද මිස් කරන්නේ දැන් …’ ඒ අනුශිකාය ..
‘මම අද ටවුන් එකට යන්නම ඕන අනුෂිකා ….අර මිනිස්සු කොළඹ ඉදලා එන්නේ ….ඔයා දන්නවාගේ අභීත ඊයෙත් ඇවිල්ලා ෆයිල් වාගයක් අරන් ගියා …මේවා අහුවුනොත් වසලා හමාරයි … ‘’
‘සුමනා අම්මා ඉන්නවා නේ ..එයාට මේයාව බලන්න කියලා අපි යමු …’
තවත් මද වෙලාවකින් දෙදෙනා පිටව යන ඇසුණු බැවි මා දෑස් විවර කලෙමි …එසේ නම් ඔවුන් සැරසෙන්නේ සිදුවූ වැරදි වැසීමට මගක් සෙවීමද ….. පසුගිය කාල වකවානුවේදී මේ ළමා නිවාසය තුල බොහෝ අබිරහස් දෑ සිදුවෙන්න ඇති බව මගේ සිත මට කියද්දී සෙම්න් යහනෙන් බිමට බැසගත් මම කව්ළුව අසලට ගියෙමි ….. මද වේලාවකින් කැබ් රියක නැගුනු පාලිකාව සහ අනුෂිකා පිටව යන්න ගියේය …

‘දරුවෝ … මේ සුප් එක බිලා බෙහෙත් බොන්න …’ සුප් කෝප්පයක් පිළියෙළ කරගත් සුමනා අම්මා මා අසලට පැමිණෙන තුරුම මම උන්නේ කව්ළුවෙන් එපිට බලාගෙනය ….
‘සුමනා අම්මා සුප් හැදුවාද …’ සුප් කෝප්පය අතට ගමින් මා ඈ දෙස බලද්දී ඒ මුහුණේ උවේ අවිහිංසක සිනාවකි ..
‘ඊයේ පොඩි මහත්තයා කියලා ගිහින් ඔය දරුවාට මේවා හදලා දෙන්න කියලා ….උදේ මේට්‍රන් කිව්වා ඔය සුප් එකක් හදලා දෙන්න කියලා ..’
අභීත ඔහු මා වෙනුවෙන් මේ දේවල් කරන්නේ මන්දැයි නොදැන උන්නත් …. මගේ හිතේ ඔහු පිළිබද උවේ මහා පැහැදීමකි …
‘සුමනා අම්මා අභීත සර්ව අදුරන්නේ ගොඩක් කල් ඉදලාද …’
‘ මේ ළමා නිවාසේ පටන්ගත්තාට පස්සේ තමා මම මෙහෙට ආවේ … මට මතක හැටියට අභීත පොඩි මහත්තයාගේ තාත්තා තමා මේ ළමා නිවාසේ පටන්ගත්තේ … ළමා නිවාසේ පටන් අරන් මාස ගානකට පස්සේ ඒ මහත්තයා ඇක්සිඩන්ට් වෙලා මැරුනා . …ඊට පස්සේ අභීත මහත්තයා මෙහෙ ආවා … පොඩි මහත්තයා ළමා නිවාසේ වගකීම ඇන්ජලා නෝනේටම භාරදුන්නා …මේ පැත්තට වැඩිය ආවේ ගියේ නැහැ හොයලා බැලුවෙත් නැහැ …..’
‘මේ මේට්‍රන් අභීත සර්ලා අදුරන කෙනෙක්ද …’
‘ඔව් …. මම හිතන්නේ අභීත මහත්තයාගේ නැන්දාගේ දුවක් වෙනවා ….. ’
‘එයා කොහොම කෙනෙක්ද සුමනා අම්මා ..’
‘අනේ මම දන්නේ නැහැ දරුවෝ …. ඕවා කතා කරලා කාටවත් ඇහුනොත් මට මේ රස්සාව නැතිවෙලා යයි ….’ තවක් මොහොතක් හෝ නොරැදී හදිසි යමක් මතක් වුවා සේ ඇය යන්න ගියාය …
මෙහෙ ඉන්න මිනිස්සු හරි වෙනස් …හරිම ගුප්තයි ..මට හිතෙන්නේ මෙතන මොකක් හරි ලොකු අභිරහසක් තියෙනවා …. මම මේ ගැන හොයලා බලන්න ඕන . .. හිත එලෙස පවසද්දී සුප් කෝප්පය පසෙක තැබූ මම තෙවන මහල දක්වා දිවෙන පියගැටපෙළ අසලට ගමන් කලෙමි …. තෙවන මහලට යම්ද නොයම්ද … මද වේලාවක් මම ඒ පිළිබද සිතන්න වීමි … මෙවැනි අවස්ථාවක් නැවත නොඑලබෙනු ඇත ….ඉතින් මා කලේ තවත් නොසිතා පියගැට පෙළ නැගීමට …
තෙවන මහලේ කොරිඩෝව පසුකල මම ප්‍රධාන ශාලාවට පැමිණියෙමි …. ආලෝකය වැටීම නිසා සියල්ල ඉතාම පැහැදිලිව දර්ශනය වෙමින් පැවතිනි …… මම මද වෙලාවක් එහි ඒ මේ අත සක්මන් කලෙමි ….. කාලයකදී මෙම ශාලාව විසිත්ත කාමරයක් ලෙස බොහෝ අලංකාර ලෙස දර්ශනය වෙන්න ඇත …. පෙර දිනවල නෙත්මා අභීත පිළිබද සිහින මවන්න ඇත්තේ මෙහි සිටය …. සදළු තලයට වී දෑස් රිදෙන තුරු ඈ ඔහු එන මග බලාගෙන ඉන්න ඇත … ඔවුන් දෙදෙනා පැය ගානක් ඔවුනොවුන් දෙස බලාගෙන ඇස් වලින් කතා කරන්න ඇත …මගේ හිතේ නෙත්මා කෙරෙහි ඇතිවුවේ ඉර්ශ්‍යාවකි … ඒ මන්දැයි වටහා ගැනීමට නොහැකි උවත් මට දැනුනේ මම ඇයට ඊර්ෂ්‍යා කරන බවකි …
මගේ කල්පනා දැහැන බිද වැටුනේ කිසිවෙකු කහින හඩකිනි …. චිරි චිරි හඩින් විවර උන දොරකින් පිටතට ආවේ සෝමාට … ඇය දැකීමට පෙර මම බිත්තියකට මුවාවිමි …. සෝමා උගුර පාදමින් පියගැටපෙළ බැස යද්දී මුවාවී උන් තැනින් පිටතට පැමිණි මම අඩක් විවර කර ඇති කාමරය දෙසට ගියෙමි … මට සිතන්න උවමනා නොවුනි ….හිතේ වූ කුහුල නිසාම මම කාමරයට එබුනෙමි …. යහන මත යදම්වලින් බැද උන්නේ අර තරුණියයි … ඇගේ මුහුණේ තිබුනේ අසරණ බවකි …
එක්වරම කාමරයට පිවිසි මා දුටු සිරකාරිය කෑ ගැසීමට මුව විවර කරද්දී දෙතොල මත ඇගිල්ලක් රදවා නිහඩ වන ලෙසට මම ඇයට සන් කලෙමි …
‘ඔයා කව්ද ….’ ඈ කතා කලේ උගුරෙනි …
‘මම මේ ළමා නිවාසේ ඉන්නේ …. මම ඔයාව බේරාගන්නම් …’’
‘ …මාව බේරගන්න නංගි …අර ගෑණි මාව මරලා දායි නැත්තම් ..’ ඇගේ දෙතොල සැලුණේ භීතියකිනි
‘ඔයා බයවෙන්න එපා අක්කි ….මම ඔයා ට පැනලා යන්න උදව් කරන්නම් ….’
‘මම මොනවද කරන්න ඕන ..’
‘ මම රෑට එන්නම් ඔයා ලැහැස්ති වෙලා ඉන්න ….. සෝමා නිදාගත්තාට පස්සේ මම එයාගෙන් යතුර අරන් ඔයාගේ මේ දම්වැල් ටික ගලවලා දාන්නම් … ඊට පස්සේ ඔයා මෙහෙන් පැනලා යන්න ..’ මගේ සැලසුම අසා උන් ඇගේ දෑස් දිලිසෙන්න උවේ නැවුම් බලාපොරොත්තුවකිනි
‘මම ඔයා කියන විදිහට කරන්නම් ..’
‘සෝමා නිදාගන්න කීයටද …’
‘’සෝමාට රෑට නින්ද යන්නේ නැහැ ..පුංචි ශබ්දයක් ඇහුනත් ඇහැරෙනවා ..’
කෙසේ හෝ සෝමා නිදිකරවිය යුතුය ….එය කරන්නේ කෙලෙසද …මට සිහිවුවේ සාක්කුවේ දමාගෙන උන් බෙහෙත් පෙති කීපයයි ….. පෙරදා රැයේ මට නින්ද ගියේ මේවාගේ පිහිටෙනි …සෝමාට නින්ද ගෙන දීමට මින් පෙත්තක් සෑහේ ….
‘ඔයාගේ මේ දම්වැල් ගලවන්නේම නැද්ද …’
‘කෑම කද්දී ගලවනවා … ‘’
‘එහෙනම් ඔයා කෑම කන වේලාවට සෝමාගේ අවදානය වෙනස් කරලා …එයාගේ වතුර එකට මේ පෙත්ත දාන්න ….ඊට පස්සේ එයාව ඇහැරවන්න කාටවත් බැරි වෙයි ..’
‘හොදයි මම ඒ වැඩේ කරන්නම් …’
අප දෙදෙනා සැලසුම පිළිබද සාකච්චා කළෙමු …එක්වරම ශාලාව දෙසින් පැමිණියේ සෝමා කහින හඩයි …
‘දැන් මොනවද කරන්නේ ….අන්න සෝමා එනවා …’
කලයුත්තේ කුමක්ද …..දැන් කුමක් සිදුවෙයිද …සිතමින් කල් ගෙවීමට කාලයක් නොවුනි ..තවත් සුළු මොහොතකින් ඇය මෙහි පෙනී සිටිනු ඇත ….
‘ඔයා ගිහින් අර තිරය අස්සේ හැංගෙන්න …..’ කාමරයේ ජනෙල් තිරය පෙන්වූ තරුණියගේ දෙතොල් වෙව්ළුවේය … කල යුත්තේ දැනට ඇගෙන් සැගවීමය ..පසුව මෙයින් මිදී පලායා හැකිය … මම සිතන්න පමා නොවී තිරය පසු පසට ගොස් සැගවුනෙමි ….

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *