18

~~~~යශෝධරා ~~~~~
18 කොටස
දඩාස් හඩින් විවර උන දොරෙන් කාමරය තුළට පිවිසියේ සෝමාය .. විපරම් සහගතව කාමරය සිසාරා බැල්මක් හෙළු ගැහැණිය යහන අසලම තබා තිබු හාන්සි පුටුවේ අසුන් ගත්තාය ..
‘මොකක් හරි පෙරලෙන ශබ්දයක් ඇහුනා නේද ..’ සෝමා තරුණිය දෙස බැලුවේ විමසිලි නෙතිනි
‘ පුසෙක් මොනවා හරි පෙරලන්න ඇති ’ තරුණිය පිළිතුරු දුන්නේ උමනවාට එපාවටය ..
‘හ්ම්ම්ම්ම් … හ්ම්ම්ම්ම් …එහෙම වෙන්න ඇති එහෙනම් … කොහේ ඉදලා එන පුස් තඩියොද දන්නේ නැහැ ’ තමාටම එසේ කියාගත් ගැහැණිය පුටුවේ හාන්සි වුවාය ….
ඝන තිර රෙද්දට මුවාවී උන් මා සෙලවුනා හෝ නොවේ ….. මෙහි තුන්වැන්නෙක් සිටින බව නිකමට හෝ මැයට සැකයක් ඇතිවුනි නම් මටද අත්වෙන්නේ අර තරුණියගේ ඉරණමය …
පැයක් දෙකක් ගෙවී ගියේ නිශ්ශබ්දතාවය මැදය… දැන් සුමනා අම්මා මා නැති බව දැක සොයනවා විය යුතුය …. තවත් පමාවිය යුතු නොවේ .. තිර රෙද්ද මදක් මෑත් කර මම සෝමා උන් දිසාවට නෙත් හෙලිමි … දෑස් පියාගෙන උන් ඇය සෙමින් හුස්ම ඉහල පහල හෙළුවේ තද නින්දකට වැටි උන් නිසාවෙන් විය යුතුය … මෙතනින් පලා යෑමට සුදුසුම අවස්ථාව මෙයයි …
සිරකාරියගේ සුදුමැලි වී තිබුණු මුහුණ කියා පෑවේ ඈ බොහෝ බියට පත්ව ඇති බවකි …… සෝමා අවදිවුවොත් දෙදෙනාටම එකම දඩුවම විදීමට සිදුවෙනු ඇත ….. මා කාමරයෙන් නික්මෙන බව ඉගියෙකින් ඇයට පවසා පාදයක් පෙරට තැබීමි ….
සෙමින් පියවර තැබූ මම පිවිසුම් දොර දෙසට පිය මැන්නේ කිසිදු හඩක් නොනැගෙන ලෙසටය …සුළු හෝ ශබ්දයක් ඇසුනොත් සෝමා අවදිවෙනු ඇත .. මගේ වෙලාව හොදය කාමරයේ දොර මදක් විවරව තිබුණි … සිරකාරිය ට යදම් දමා තිබු නිසා කිසිදු බියකින් තොරව ඈ දොර විවර කර තබන්න ඇත …. ශබ්දයක් නොනැගෙන ලෙසට දොරටුව විවර කරගත් මම කාමරයෙන් එලියට බැස්සේ මහා සැනසිල්ලකිනි ……
එක හුස්මට දිව ගිය මම නැවතුනේ නිදන යහන ලගය …කිසිවක් සිදු නොවුනා සේ යහනට නැග ඉහින් කනින් පොරවා ගත් මම තදින් හුස්ම ගතිමි … මට වීරවරියක් වීමට උවමනා නොවේ … නමුදු අර සිරකාරිය බේරාගන්නා ලෙසට මගේ හිත කියන්න නොකර සිටීමට නොහැකිය ….
‘දරුවෝ බෙහෙත් බිලා ඉන්න ..’ සුමනා අම්මා දිවා බෙහෙත් වේල බිමට කතා කරන තුරුම මම යහනෙන් නොබැස උන්නෙමි ….
‘සුමනා අම්මා මිස්ලා ආවේ නැද්ද තාම ..’ බෙහෙත් පෙති කීපය අතට ගෙන මා ඈ දෙස බැලීමි …
‘තාම ආවේ නැහැ …තව ටිකකින් එයි දරුවෝ …’
බෙහෙත් පානය කිරීමෙන් පසුව මා තද නින්දකට වැටුනෙමි ….. නැවත මා අවදි වෙන විට සවස හතරට පමණ වෙන්න ඇත …..පෙර ගතට දැනුනු සියළු අපහසුකම් යටව ජීවි බවක් දැනෙද්දී මම යහනෙන් බිමට බැස අන් දැරියන් සෙව්වෙමි ….ඔවුන් කිසිවෙකු පේන්න නොසිටින්නේ පාලිකාව දැරියන් කැදවා රැස්වීමක් පවත්වන නිසාවෙන්ද …
මම සෙමින් සෙමින් රැස්වීම් ශාලාව දෙසට ගමන් කලෙමි …. අනුෂිකා දැරියන් සියල්ල වටකරගෙන කිසියම් වැදගත් කාරණයක් පවසමින් උන්නාය …. මම එදෙසට නොයා මිදුලට බැස්සෙමි …රාත්‍රියේ කිරීමට ඇත්තේ බරපතල කාර්යකි … එය වැරදුනොත් අත්වෙන ඉරණම භයානකය .. තුරු සෙවනේ එහා මෙහා යමින් මම කළයුත්ත කල්පනා කලෙමි …
මගේ කල්පනාව බිද වැටුනේ ළමා නිවාසයේ මිදුල හරහා පැමිණි පුද්ගලයෙක් නිසාය …. මද වේලාවකින් ඔහු සිරිල් බව වැටහෙද්දී මම ගසකට මුවාවීමි …මේ වේලාවේ මොහු මෙහි පැමිණෙන්නේ කුමකටද .. මුහුණේ තිබුණු බරපතල පෙනුම හා ගමනේ කඩිසර කම නිසාවෙන් මට සිතුනේ කුමක් හෝ විශේෂ දෙයක් සිදුවී ඇති බවකි …එසේ නම් ඒ කුමක්ද ..එය දැනගැනීම මට වැදගත්ය ….
සිරිල් කෙලින්ම ගියේ පාලිකාවගේ කාර්යාලය තුලටය ….. මද වෙලාවක් නොසෙල්වී උන් මා කාර්යාලය දෙසට පියවර මැන්නෙමි …. කාර්යාලය වටෙන් ගොස් ජනේලය ඇති තැනට ලංවූ මම කාමරය තුල සිදුවන කතාබහට සවන් දුන්නෙමි …
‘සිරිල් මේ හදිස්සියේ ආවේ …’ ඒ පාලිකාවගේ කටහඩයි …
‘ මේක හදිස්සි කාරණයක් …මම දැක්කා ලොක්කා අද අර ෆයිල් වල තොරතුරු කියවලා ඒ හැමතැනටම කතා කරනවා ..අපි කලින් මේ දේවල් සුදානම් කරපු නිසා අවුලක් උනේ නැහැ…. ඒ උනත් මෑන් සැකෙන් ඉන්නේ … මට හිතෙනවා ඉක්මනටම මිනිහා හෝඩුවාවක් හොයා ගයි කියලා ..’
‘දැන් මොනවාද අපි කරන්නේ .. ’ පාලිකාව ගේ කටහඩ සැලුනේ කිසියම් විපත්තියක් අත ලග එනබව දැනගෙන විය යුතුය ..
‘මොනවා කරන්නත් කලින් අර කෙල්ලව මෙහෙන් අයින් කරලා ඉන්න ඕන ..’
‘ඒ කෙල්ලව මේ හදිස්සියේ කොහෙද ගෙනියන්නේ ..’
‘ගෙනියන්නේ නැහැ ඉවරයක් කරලා දාමු …’
‘අනේ මම දන්නේ නැහැ සිරිල් මේවා කොහෙන් කෙළවරක් වෙයිද කියලා ..’
‘මැඩම් බයවෙන්න එපා …ලගදීම මම හැමෝගෙම ෆයිල් ක්ලෝස් කරලා දානවා …ඊට පස්සේ අපිට බාධා කරන්න කවුරුත්ම නැහැ ….’ සිරිල්ගේ සිනාව වියරු එකකි ..
‘කරන දෙයක් පරිස්සමින් ….පොඩ්ඩක් හරි ගැස්සුනොත් අපි දෙන්නා අවුරුදු පහළොවක් ගැහුව හැම ෆ්ලෑනක්ම වතුරේ …… මම කැමති නැහැ සිරිල් අපේ මහන්සියට වටිනාකමක් නැති වෙනවාට ’
‘බයවෙන්න එපා ….මම ඔයාව මේ කරදර වලින් ඉක්මනට නිදහස් කරගන්නවා …. මම දැන් යන්නම් …. රෑවෙලා මම එන්නම් …ඔයා හැමදෙයක්ම සුදානම් කරලා තියන්න …’
‘හොදයි …එහෙනම් සිරිල් දැන් යන්න ..’
හෙමි හෙමින් තව මොනවාදෝ කියවූ සිරිල් කාමරයෙන් පිටතට බහින හඩ එනතුරුම මම උන්නේ කොලයක් හෝ නොපෑගෙන ලෙසය ….ඔවුන්ට කිසියම් සැකයක් ඇති උවහොත් සිදුවන්නේ සියල්ල මා පිටින් යාමය … මොවුන් ඉවරයක් කරන්න යන්නේ කවුරුන්ද …ඒ අර සිරකාරියවත්ද ……..එයට කෙසේවත් ඉඩදිය නොහැකිය …

*****
ඒ හවස අභීත ළමා නිවාසයට පැමිණියේ මගේ සුවදුක් විමසීමටය …. මා වෙනුවෙන් ඔහුගේ වටිනා කාලය කැපකිරීමට තරම් අභිතට මා කෙරෙහි ඇති බැදීම කුමක්ද ….. මට ඔහුගෙන් අසා දැනගැනීමට දෑ අපමණය …. ඔහු සමග දෙඩීමට කිසිවෙකුගෙන් බාධාවක් නැත ..
‘යශෝධරාට දැන් උණ අඩුයි නේද ..’ ඔහු මා දෙසට හෙලන්නේ දයාබර බැල්මකි
‘මට උණ අඩුයි සර් …. මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා ..’
‘මොකක්ද යශෝධරා …’
‘ඇයි සර් ඔයා මම ගැන මේ තරම්ම හොයන්නේ බලන්නේ …’
‘මම දන්නේ නැහැ යශෝධරා ….මට හැම වෙලේම හිතෙනවා ඔයා ගැන හොයලා බලන්න ඕන කියලා … ඔයා හොදින්ද කියලා දැනගත්තේ නැත්තම් මගේ හිතට හරි නැහැ වගේ ..’
‘ ඇයි ඇයි සර් ඔයාට එහෙම හිතෙන්නේ ..’
‘මම දන්නේ නැහැ ළමයෝ … මට දැනෙනවා ඔයා මගේම කෙනෙක් කියලා ..සමහර විට ඔයත් මම වගේම කාත් කවුරුවත් නැති කෙනෙක් නිසා වෙන්න ඇති …’
‘එහෙනම් සර් ….. මේ ළමා නිවාසේ අනිත් ළමයින්ටත් කාත් කව්රුත් නැහැ නේ … ඔයා ඒ අය ගැන හොයන්නේ නැහැනේ …’
‘ඔයත් ලෝයර් කෙනෙක් වගේ …. ප්‍රශ්න අහලා කොහේ හරි මාව හිරකරනවා …’
‘සර් මගේ ප්‍රශ්නේ මග අරින්න යන්නේ ..’
‘මට ඒ ප්‍රශ්නෙට උත්තර නැහැ යශෝධරා ….. මගේ හිතේ ඔයා ගැන තියෙන්නේ ලොකු අනුකම්පාවක් …. ඔයා මම පලවෙනියට දැක්ක දවසේ මන්දපෝෂණය හැදුනු දරුවෙක් වගේ හිටියේ ….. මම ඔයාට ඒ වෙලාවේ කෑ ගැහුවාට … මගේ හිතට ලොකු දුකක් දැනුනේ … එදා ඒ දැනුනු දුක මහා ලොකු වෘක්ෂයක් වගේ මගේ හිත ඇතුලේ වැඩුනා … මම හිතන්නේ මගේ හිතේ ඔයා ගැන තියෙන්නේ ඒ අනුකම්පාව විතරයි …’
සැබවින්ම ඔහු මා කෙරේ දක්වන ඒ හැගීම අනුකම්පාවද ….
‘ හොදයි ..සර් මම දැන් උත්තරේ දන්නවා ….බොහොම ස්තුතියි ඔයා මම වගේ අනාථ කෙල්ලෙකුට මේ විදිහට අනුකම්පා කරනවාට …..ඔයාගේ අනුකම්පාවත් අපි වගේ කෙල්ලන්ට මහා හුගක් වටිනවා … ‘’
මගේ දෑසට කදුළක් ඉනුවේ ඉබේටමය … මා ඔහුගෙන් බලාපොරොත්තු උනේ ආදරයද එසේත් නැතිනම් අනුකම්පාවද … කුඩා කාලයේ පටන් මම ආදරය සෙව්වද ….. බොහෝ දෙනා මට අනුකම්පා කළා පමණි … සැබවින්ම මම අද ඔහුගෙන් සොයන්නේ කුමක්ද …මම මගේ සිතින්ම විමසිමි …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *