19

~~~යශෝධරා ~~~~
19 කොටස
ඈත ෆයිනස් කැලෑවට ඉහලින් පැතිරුණු මිදුම් සළුව මතින් ඇද හැලෙන පොද වැස්ස තවත් සුළු මොහොතකින් මුළු බණ්ඩාරවෙල නගරම වසාගනු ඇත …..
‘යශෝධරා දැන් ඇතුලට යන්න …. වැස්සක් එන්න යන්නේ ’ සොදුරු පොද වැස්ස දෙස බලා උන් මා පියවි සිහියට එළබියේ අභිතගේ හඩිනි …
‘එහෙනම් මම ඇතුලට යන්නම් සර් ..’
සමහරවිට අදින් පසුව යලිත් අපි හමු නොවෙනු ඇත …අද මා සිදුකිරීමට යන කාර්යය දැනගත්තානම් අභීතද එයට සහය වන බව දැන උන්නත් මට ඔහුගෙන් උදව් ඉල්ලීමට නොසිතුනි ….
‘ බෙහෙත් ටික වේලාවට බොන්න …’ අඩියක් දෙකක් පෙරට ගිය මම ගෙල හරවා ඔහු දෙස බලා සිනාවක් පෑම්… ඒ මුහුණේ උන හැගීම් මට තේරුම් ගැනීමට උවමනා උවා නොවේ …
මට උවමනා ඔහුගේ අනුකම්පාවට එහා ගිය කිසිවකි .. එහෙත් මට එය කියා ලියා පහදා දිය නොහැකි කරුණකි ……
නිදන ශාලාවේ කව්ළුව අසලට වී මම පිටත පරිසරය දෙස බලා උන්නෙමි …. පොද වැස්සක්ව ආරම්භ උන වැස්ස දැන් මහා වැහි කුණාටුවක් බවට පත්ව ඇත … මේ මහා වැස්සේ ඝන මිදුම අතරින් අභීත වාහනය පදවාගෙන පරිස්සමට නිවසට යන්න ඇතිද …
‘ හුළං වැස්සට තෙමෙනවා නේද යශෝ …. ඔය ජනේලේ වහලා දාලා මෙන්න මෙහාට වරෙන් …’
සෙනුලි ඇවටිලි කල පසුවය මම එතැනින් මෑත් උවේ …
‘ ඔය මම කිව්වේ බොරුද … බාගෙට තෙමිලා ඉන්නේ ….. ආයේ උණ වැඩිවෙනවා ශීතලේ හිටියොත් ගිහින් ඇදුම් මාරු කරගනින් …’
සෙනුලි මගේම සොයුරියක මෙනි …. හැමවිටම මා පිළිබද සොයා බැලීම ඇයට සතුටක් උවා මෙනි
උණුසුම් ඇදුමකින් සැරසුණු මම යහනට ආවේ ඉවසිය නොහැකි ශීතල නිසාවෙන් දෑත් එක්කොට බැදගෙනය …
‘මෙන්න මේ බ්ලැන්කට් එක දාගනින් ….’ ඇය මා වෙත දිගු කලේ ඇගේ බ්ලැන්කට් එකය …
‘මට එපා ……මට දුන්නාම ඔයා ශීතලේනේ ..’
‘ මට මේ ශීතල ගානක් නැහැ යශෝ … මම ඕන තරම් ශීතලේ ඉදලා තියෙනවා …..ඔයානේ අසනීප වෙලා ඉන්නේ ඉතින් මේ වෙලාවේ මේක ඔයාට තමා ඕන වෙන්නේ … ’
යමක් පැවසීමට මුව විවර කල සෙනුලි නැවත මුව වසාගත්තේ දෑසට කදුළක් නගා ගනිමිනි …
‘ ඇයි සෙනු මේ අඩන්නේ ….’
‘මට නංගිව මතක් උනා ….’ ඒ සෙනුලි නොකියූ කතාවකි .
‘ඔයාගේ නංගි දැන් කොහෙද ඉන්නේ …’
‘මගේ අම්මයි තාත්තයි නැතිවුනාම නංගිව හදාගන්න පුංචිට භාරදුන්නා … මාව මේ ළමා නිවාසෙට භාරදුන්නා ..’ ඕ බොහෝ වේදනාවෙන් සුසුම් හෙලන්න උවාය
‘ ඔයාගේ අම්මටයි තාත්තටයි මොකද උනේ ..’
‘අපි ජිවත් උනේ නුවර එළියේ ….. මගේ අම්මයි තාත්තයි තේ වත්තක වැඩට ගියා …ඊට අමතරව මීමැසි පාලනය කරලා අතිරේක ආදායමක් ලැබුවා … අපි ඕනෑවට වඩා සතුටින් හිටියේ ….. කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැහැ අපිට ….. අපේ පුංචි පවුලට මොන ඇස් වහක් වැදුනාද මන්දා …. ‘’
මද වෙලාවක් ඇය දෙතොල සපාගෙන උන්නේ ඇඩුම පාලනය කරගන්න මෙනි …
‘කියන්න සෙනු එයාලාට මොකද උනේ ..’
‘මට තාම මතකයි එදා මහා හයියෙන් වැස්සා …… ඒත් අම්මයි තාත්තයි උදේ වැඩට ගියා …. හවස අපිට ආරංචි උනා තේ වත්තේ පස් කණ්ඩියක් ඒ දෙන්නාගේ උඩට කඩාගෙන වැටුනා කියලා එයාලා හොයාගද්දී පණ ගිහින් ….දෙන්නා අත් අල්ලාගෙන තමා මැරිලා හිටියේ … එයාලා කොච්චර දුක් විදින්න ඇතිද දෙයියනේ ….. ’
බොහෝ ඉවසාගෙන උන් ඇය අවසානයේ අඩා වැළපෙන්න උවාය .. …. මා කලේ ඈ තුරුළු කරගෙන හිස අත ගෑමය …අඩන්න එපා යැයි කිමට උවමනා උනිද මම කිසිවක් නොකියා උන්නෙමි ….
ඉන්පසු රාත්‍රී නින්දට යනතුරුම අපි අතර කතාවක් බහක් නොවිය ….ඈ එක් පසෙකත් මා අනිත් පසත් හිද උන් තැන්වල නාදුනන්නන් ලෙස උන්නෙමු …..

*******************
රාත්‍රිය එළබෙත්ම මට සිහිවුවේ කිරීමට ඇති බරපතල කර්තව්‍යයයි … කුමක් සිදු උනත් වන ඕනෑම දෙයකට මුහුණ දීමට මා සුදානම්ය … මගේ ජීවිතය කිසිවෙකුට නොවටින එකකි …මා මලත් දුක්වීමට කිසිවෙකු මෙහි නැත ….ඉතින් මට දුකකින් තොරව සියල්ලට මුහුණ දිය හැකිය ….
මම බලා උන්නේ දැරියන් නින්දට වැටෙන තුරුය ….. රාත්‍රී නවය පසුවෙද්දිම කෙල්ලන් නින්දට වැටි අවසානය …ඊටත් පැයකට පසු මම යහනෙන් බැස ගත්තෙමි ….. වසා තිබුණු ජනෙල් කව්ළුව මදක් විවර කර බැලු මා දුටුවේ මුරුගසන් වර්ශාවකි ….මේ වර්ෂාව නිමා නොවෙන එකක් මෙනි …. එය නම් අපුරුය මන්ද වර්ෂාවේ ශබ්දය නිසාවෙන් කිසිවෙකුට මා සිදුකරන්න යන දෙය නෑසිමය …
ඇද උන් රාත්‍රී කමිසයේ සාක්කුවට අත දැමු මම ගිනි පෙට්ටියක් ඉටිපන්දමක් සහ කුඩා දඩයම් පිහියක් පරිස්සමට එහි තැන්පත් කර ගතිමි ….. පිහිය මාගේ ආත්මාරක්ෂාවටය …. කිසිවෙකු මට පහර දුන්නොත් ප්‍රති ප්‍රහාරයක් එල්ල කිරීමට මම කිසිවිටෙක පසුබට නොවමි ….
මම දැන් ඉක්මන් විය යුතුය .. ඒ අද උදෑසන සිරිල් පැවසු පරිදි මධ්‍යම රාත්‍රියේ සිරකාරියගේ අවසාන හෝරාව එළබෙන බැවිනි …… හොර බැළලියක ලෙස සෙමින් පියවර තැබූ මම ඉහල මාලයට නැග්ගෙමි ….
මදක් විවර කර තිබුණු සිරකාරියගේ කුටිය අසල නතරවී මම ඒ තුලට කන්දිමි ….. එහි කිසිදු ශබ්දයක් බද්දයක් නැත …. මා පැමිණීමට පෙර අර පුද්ගලයා පැමිණ ඇය රැගෙන ගියාද … මද වෙලාවක් කාමරය තුලට සවන් යොමා උන් මට ඇහුනේ කිසිවෙකු සුසුම් හෙලන හඩයි … මට සැනසුම් සුසුමක් හෙළුනේ එවිටය …
දැන් වෙලාව පැමිණ ඇත …. තවත් කිසිවක් නොසිතා මම කාමරය තුලට එබුනෙමි ….සිරකාරිය දෑස් දල්වාගෙන බලා උන්නේ මා පැමිණේ යැයි බලාපොරොත්තුවෙනි …. කාමරයේ වසාගෙන පැවති අදුර මැකී ගොස් තිබුනේ එකම එක ඉටි පන්දමකිනි ..
‘ඔයා කිසිදේකට බයවෙන්න එපා ..ගෑනිට හොදටම නින්ද ගිහින් …’ සිරකාරියගේ මුවේ උවේ පලා යෑමට ලැබීමට පිලිබදව ප්‍රීතියකි .. තද නින්දකට වැටි උන් සෝමා ගොරවමින් උන්නාය …
‘කොහෙද යතුරු ටික තියෙන්නේ …’
‘ඔය ඉනේ ගහගෙන ඉන්නේ ’ දෑසින් සෝමා පෙන්වූ ඈ එය ගන්නා ලෙස මට කියද්දී මම සෝමා වෙත ලංවීමි … බරැති යතුරු කැරැල්ලෙන් නියමිත යතුර තෝරාගත් මම සිරකාරියගේ යදම් බිද හෙලිමි …
‘පුදුම නිදහසක් … දැනෙන්නේ …’ නිදහස ලැබීම ගැන උදම් අනන තරුණිය දෙස බලා මම ඇයට නිහඩ වන ලෙස සන් කලෙමි …. තවත් මොහොතකින් ඇගේ මාරයා පැමිණීමට නියමිත බව දැන උන්නා නම් ඇය මෙලෙස හැසිරෙනු නැත ……
‘දැන් මෙයා ඇහැරෙන්න කලින් ….. අපි මෙතනින් පැනගමු ….. ’ නපුරු ගැහැණිය දෑසින් පෙන්වමින් මම එලෙස පැවසීමි …..
‘හරි මම ලැහැස්ති ….’ අප දෙදෙනා කාමරයෙන් එළියට අඩියක් තබත්ම ඇසුනේ පියගැටපෙළ නැග එන කිපදෙනේක්ගේ පා ගැටෙන හඩය
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *