20

~~~යශෝධරා ~~~
20 කොටස
‘ශබ්ද කරන්න එපා කවුරු හරි මෙහෙට එනවා …’ තරුණියගේ අතින් අල්ලා ගත් මම බිත්තියකට මුවාවිමි …. ශාලව ගිලගෙන තිබු දැඩි අදුර නිසා අප නොපෙන බව සහතික මුත් ….සිරකාරිය නැති බව දුටු විට ඔවුන් දඩයම් බල්ලන් මෙන් ගෙය පීරා අප සොයනු නිසැකය …. මගේ පපුවේ ගැස්ම වේගවත් වෙද්දී මම අතකින් මුව වසාගත්තේ මුවින් හ්ම්ම්ම්හඩක් හෝ පිටවේ යැයි බියෙනි …
පියගැටපෙළ දෙසින් ඇසුණු පියවර හඩ කොරිඩෝව ඔස්සේ ප්‍රධාන ශාලාවට බොහෝ ආසන්නව ඇසෙද්දී මට දැනුනේ මගේ දෙපා වෙව්ලන බවකි ……. මම අදුරට දෑස් දල්වාගෙන බලා උන්නෙමි ….. මොහොතකින් කීපදෙනෙක් ප්‍රධාන ශාලාවට ඇතුළු විය …. එකෙකු ලග තිබු ලන්තෑරුම් ලාම්පුව නිසාවෙන් ඔවුන් තිදෙනෙකු බව මට වැටහී යන්න විය …. තිදෙනාම හැඩි දැඩි සිරුරැති දැවැන්ත පුරුෂයන්ය …. මිනිසුන් දෙදෙනෙක් කළු පැහැති මුහුණු ආවරණ දමාගෙන උන් අතර අනිකාගේ මුහුණ ආවරණය වී නොතිබුණි …. ඝන රැවුලකින් මුහුණ ආවරණය වී තිබු ඔහු අන් කවරෙකු හෝ නොව ….මහා රාත්‍රියේ ළමා නිවාසයට කාරයට පැමිණෙන අමුත්තාය …
‘අයිසේ මර්වින් අපි මේ බෝතලේ සප්පායම් වෙලා ඉමු නේද …’
‘ඒක නම් මරු අදහස සෝමේ අයියා …. මගේ ලග හොද ගෝන මස් වාගයකුත් තියෙනවා …ඊයේ රෑ මහියංගනේ කංසා හේනේ ඉදලා එද්දී හම්බ උනේ …හොද බඩු ටික අයියා ….’
මුහුණ ආවරණය කරගෙන උන් මිනිසෙක් අත තිබු මත්පැන් බෝතලයක් ශාලාව පසෙක තිබුණු මේසය මත තබද්දී තවත් මිනිසෙක් පුටු තුනක් මේසය ලංකළේය .. .. මේසය මත ලාම්පුව තැබු පසු තිදෙනා එකිනෙකාට මුහුණලා අසුන් ගත්තේය .. සිරිල් උන්නේ හරියටම අප ඉදිරියෙනි .. සුළු හෝ හඩක් ඇසුනොත් සිදුවන්නේ කුමක්දැයි සිතීම පවා මගේ සිතට ගෙන ආවේ භීතියකි . …. මට එහා පසින් උන් තරුණිය නම් උන්නේ කිසිදු බියකින් තොරවය …ඕ මා විශ්වාස කරනවා විය යුතුය ….
‘මර්වින් මේ වැඩේ ඉවර කරලා දාන්න ඕන අදම ….. මම බලාගෙන හිටියා කල් වැඩි …’ ඒ කටහඩ මට හොදින් හුරු පුරුදුය ….එසේ නම් මේ සිරිල්ද ..
‘ සිරිල් අයියාට තිබුනේ ඒ දවස් වලම මේ ගේම් එක ක්ලෝස් කරලා දාන්න …’ මත්පැන් වලින් සප්පායම් වෙන අතර ඔවුන් කියවන්නේ මා අසල හිද දෑස් අයාගෙන උන් තරුණිය පිලිබදවයි …
‘ මම මේ කෙල්ලට අනුකම්පා කළා .. ඒකිගේ මුරණ්ඩු කම අඩුවෙන්නේ නැහැ … මම හිතුවේ මේකිව බැදලා දුරකට යනවා කියලා …ඒත් මේකි කිසිම දෙයක් අහන්නේ නැහැ ..’
‘හා හා ..හා .. සිරිල් අයියාට මාර ප්ලෑන්නේ තියෙන්නේ …. අයියා …..ගැන අපේ ඇන්ජලා මැඩම්ගේ හිතෙත් බලාපොරෝත්තුවක් තියෙනවා නේද …’
‘ ඒකි වගේද බන් අර කෙල්ල … හම්මේ … නැද්ද සිරිල් අයියා ’
‘කට …කට …. ඇන්ජලාට ඇහුවොත් ඔක්කොම ඉවරයි …’
‘දැන් කෙල්ලව අදම ඉවරයක් කරනවාද ..’

‘ඊට කලින් තව සැරයක් මම ඒකිගෙන් අහනවා මාත් එක්ක යන්න කැමතිද කියලා … ඒකි දෙන උත්තරේ අනුව ඊට පස්සේ කරන්න ඕන දේ දේ තීරණය කරනවා ..’
සිරිල් දිවෙන් දෙතොල තෙත් කලේ ගොදුරට ලොභිනි ..
‘ අයියා වගේ එකෙකුට ඒකි වගේ සුකිරි කෙල්ලක් කැමති වෙයිද ඈ ……’
‘ඇයි මගේ මොන අඩුවක්ද ..’
‘අයියා නිකන් කලවැද්දෙක් වගේ නේ ..’
‘ ඈ බොල හිපාටුවෝ තෝ මොනවාද කිව්වේ …’ එක්වරම නැගී සිටි සිරිල් පෙරට නැවි මර්වින්ගේ කොලරයෙන් අල්ලා ගත්තේය …. ඉන්පසුව ගිනිගන්නා දෑසින් ඔහු දෙස මද වෙලාවක් බලාගෙන උන්නේය ..
‘සිරිල් අයියා …මර්වින් ඕක නවත්තපල්ලා … අපි මෙහාට ආවේ වැදගත් දෙයක් කරන්න නේ ..’ සිරිල්ගේ කමිසයෙන් අල්ලා පසෙකට ඇදදැමු සෝමේ වැනෙමින්ම අසුන්ගත්තේය … මුහුණ ආවරණය වී තිබු සිරිල්ගේ දෑස දුටු මට සිහිවුවේ පෙර දිනක රාත්‍රීයේ මා දුටු සිහිනයයි … මම සිහිනෙන් දුටුවේ මේ දෑසයි … ඒ දැනුනු බිය නැවත දැනෙද්දී මගේ දෙකලව තෙත්වී යන්නාක් මෙනි මට දැනුනේ ….
‘ ඒක නෙවේ සිරිල් අයියා …ඇයි මේ වගේ තීරණයක් ගත්තේ …’
‘අපේ බොසාට මේ ළමා නිවාසේ වැඩ පිළිවෙල ගැන සැක හිතිලා තියෙන්නේ …මට හිතෙන විදිහට හෙට අනිද්දාම මේ ළමා නිවාසේ වටලයි …’
‘එහෙම උනොත් අපේ වැඩ ඔක්කොම සුන්නේ ….. ‘’
‘ඔව් අපේ බඩු ඔක්කොම මෙහෙන් පිට කරන්න ඕන පුළුවන් ඉක්මනින් ..’
‘ඔය බොසාව ඉවරයක් කරලා දැම්මා නම් ඉවරයි නේ … බොසාට ඉන්න එකම නෑයා ඇන්ජලා මැඩම් උන එකේ ඒ හැම දේපලකම අයිතිය මැඩම්ට යනවා … ඊට පස්සේ සිරිල් අයියාට මැඩම්ව කසාද බැදලා කරලා රජා වගේ ඉන්න පුළුවන් …’
‘කොයි තරම් උත්සහා කරාද . …මිනිහා මාරයා ලගට ගිහින් ආපහු ආව එකෙක් …. ඕකාට තියෙන්නේ හත්පනද කොහෙද …. මේ මිෂන් එක ඉවර කරාට පස්සේ මම කරන්නේ ඕකාව එලොව යවන්න ප්ලෑනක් ගහන එක …’
මොහු පවසන්නේ අභීත ගැන නම් …දෙවියනේ මොවුන් අභිතට යම්කිසි වරදක් කරයිද ….. මෙතැනින් කෙලෙස හෝ පලා ගොස් ඔහුට සියල්ල පැහැදිලි කර දිය යුතුය …ඔහුට කිසියම් වරදක් සිදු උවහොත් එය දරා ගැනීම නම් මට කල නොහැකි වනු ඇත …
‘සිරිල් අයියා දැන් මේක ඉවරයක් කරලා ඉමු නේද .. දැන් රෑ දොළහත් පහුවෙලා මගේ හිතේ ’
‘ඔව් ඒක හොදයි … සෝමා ..සෝමා … සෝමා … ඔය කෙල්ලව අරන් මෙහාට වරෙන් ..’
සිරිල් මදක් හඩනගා කතා කළේය ….. එහෙත් ප්‍රතිචාරයක් නැත ….
‘සෝමා ..සෝමා …. මේ ගෑනි බිරිවෙලාද …යකෝ ..මම හිටපන් එනකන් .. ‘’ සොමාගෙන් කිසිදු පිළිතුරක් නැති තැන සිරිල් වෙරිමතේම වැනෙමින් කාමරය දෙසට යන්න විය …
‘සෝමා …’ මහා හඩින් දොර විවරවී සිරිල් අතුරුදහන් වී ගියේය ….
දැන් සිරකාරිය එහි නැති බව දැක සිරිල්ට එළොව පොල් පෙනෙනු ඇත ..ඉන්පසුව ඔහු ගේ දෙවනත් කර අප සොයනු ඇත …. අපිට ශාලාවෙන් පිටවීමට ඇති එකම මග වැටි ඇත්තේ අර මිනිසුන් දෙදෙනා උන් මේසය අසලිනි …ඔවුන් සිටියදී එතැනින් පලා යෑම සියතින් ගෙල මිරිකා ගැනීමකි … මෙහි උන්නත් පලා ගියත් දෙකින්ම සිදුවන්නේ අප උගුලක වැටීමය ….
‘මර්වින් …සෝමේ …. අරකි පැනලා ගිහින් . ..සෝමා මරලා දැම්මා වගේ නිදි … ඕකි ඉන්නවා ඇත්තේ මේ හරියෙමයි …හොයපල්ලා ….. මේ හරියෙම තමා ඇත්තේ …..’
උමතු මිනිසෙකු මෙන් කාමරයෙන් පිටට දිවගෙන ආ සිරිල් ගේ දෙක වෙන්න කෑ ගසමින් අහු මුළු වලට ලාම්පුව අල්ලන්න විය …තවත් පමා විය නොහැක …තරුණියගේ අතකින් තරයේ අල්ලා ගත් මම උන් තැනින් නැගී සිට ශාලාවෙන් කොරිඩෝවට වැටෙන දොරටුව දෙසට දිව යන්න උවෙමි …
‘අන්න …අන්න ..අරකි දුවනවා …’ ඔවුන් අපව දකින්න ඇත …දැන් ඉතින් පලා යෑම පහසු නොවෙනු ඇත ..
‘එකෙක් නෙවේ දෙන්නෙක් ඉන්නවා …. අල්ලපියව් … ඔවුන් දෙන්නා ….’ පුටු මේස පෙරලගෙන ඔවුන් අප දෙසට දිව එන්න විය … ඉදිරියෙන් උන් මිනිසා දොර වෙත පැන එය ආවරණය කරද්දී …මම අනිත් පසට හැරුනෙමි .. මෙයින් පලා යෑමට ඇති එකම මගත් ඇහිරී ඇත … දැන් කල යුත්තේ කුමක්ද …. මම ඔළුව හැරුන අත දිව්වේ කොහේ හෝ ඇති මගක් ඇතිවේ යැයි සිතුවිල්ලෙනි …. එහෙත් මෙහි ප්‍රධාන දොරටුවට අමතරට පිටත පරිසරයට විවරවී ඇත්තේ සදළු තලය සහ කව්ළු කීපයයි…
‘ඔයා අහුවුනොත් එයාලා කියන දේට කැමති වගේ රගපාන්න … නැත්තම් ඔයාව මරලා දායි …’ මම තරුණියට කිව්වේ සිරිල් අප අසලටම පැමිණෙද්දී ය …
තවත් මොහොතකින් ඔහු අප දෙදෙනා අසලය …ඔහුගේ හැඩි දැඩි ගොරෝසු අතට මගේ ගෙලත් අනිත් අතට තරුණියගේ ගෙලත් ග්‍රහණය විය …ඉන් පසුව ඔහුගේ දෑගිලි උගුර දණ්ඩ හරහා තද වෙන්න විය … මට දැනුනේ මගේ හුස්ම හිරවෙන බවකි ….
‘ සෝමේ මේකිගේ මුහුණට ලාම්පුව අල්ලාපන් ….’ ලාම්පු එළියෙන් ඔහු මා දෙස ගෙල හරවා මොහොතක් බලා උන්නේය ..
‘හා ..මේ උබද …මම හිතුවා මේකි පෙරලියක් කරයි කියලා … මේ කරලා තියෙන්නේ … හා ..හා …හා ..උබ හිතුවාද මගෙන් බේරිලා මේකිත් අරන් පැනලා යන්න … උබ රහස් පොලිස්කාරියක් කියලා හිතුවද ..ඈ පුංචි කෙල්ලේ ….’ ඔහුගේ උමතු සිනාහඩ ශාලාව පුරා ගිගුම් දෙන්න විය …
‘සිරිල් අයියා මේ පොඩි කෙල්ල කව්ද ..’
‘මේ ළමා නිවාසේ ඉන්න කෙල්ලක් … පැත්තකට වෙලා ඉන්නේ නැතිව පණ්ඩිත කම් කරනවාට උබට හොද පාඩමක් උගන්වන්නම් …’ ඔහු මා මදක් ඉහලට ඔසවා අත ඇරියේය ….. සිමෙන්ති පොලවේ ගැටී කොදු නාරටිය කැඩී ගියාක් මෙන් වේදනාවක් දැනෙද්දී මම කෙදිරි ගෑවෙමි …
‘මේ කෙල්ලට මොනවද කරන්නේ සිරිල් අයියා ..’
‘මේකිව අත අරින්න බැහැ .. හෙම උනොත් ඔක්කොම ලික් වෙනවා ..අපේ බොසත් මේකිට අනුකම්පාව පානවා වැඩි …’
‘එතකොට මොනවද කරන්නේ මේකිට .’
‘ අතෙන්ට ගෙනියලා දාපන් … තව ටික දවසකින් අපේ බඩු ට්‍රාන්ස්පොර්ට් කරද්දී මේකිව අපේ වාඩියට ගෙනියලා දාපන් …. එහේ වැඩක් පලක් කරගෙන ඉන්නේ නැතැයි….’
‘මර්වින් ගිහින් දාපන් ..’
දෝතට මා ඔසවා ගත් මර්වින් නම් හැඩි දැඩි මිනිසා නැවතුනේ කළුවර කාමරයේ දොර අසලය …. මා මෙහි පැමිණි මුල් දිනවල ක්ලාන්ත වී වැටුනේ මේ කාමරය තුලය …
සාක්කුවේ තිබු යතුර ගෙන දොර විවර කරගත් මර්වින් මා යහනට අතහැර බිම අතුරා තිබු කාපට් එකක් ඉවත් කළේය … මේ කුමක්ද ….. එහි තිබුනේ භූගත කාමරයකට පිවිසිමට ඉදිකර තිබුණු දැවමය දොරටුවකි ….. එය පසෙකට තල්ලු කර විවර කෙරූ ඔහු ….. නැවත මම උන් තැනට පිවිස මා ඔසවා ගත්තේය ….
යකඩ පියගැටපෙළක්වූ එය අඩි විස්සක් පමණ ගැබුරුය …. සැහැල්ලු පුළුන් කැබැල්ලක් වැනිවූ මා ඔසවා ගැනීම ඔහුට අපහසු නොවෙන්න ඇත .. පියගැට පෙළ බැස ගිය තැන තිබුනේ අදුරු උමගකි ….. මර්වින් ඒ ඔස්සේ ඉදිරියට යද්දී මා කලේ දෑස් පියන් වසා ගැනීමය …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *