21

~~~~සමනල වසන්තය~~~~
21 කොටස
එදා හවසත් ඉස්කෝලේ ඇරිලා යද්දීත් දිනිත මගේ ඉස්සරහට ආවේ නැහැ … ඇයි කියලා දන්නේ නැතිවුනත් මගේ හිත ඕනෑවට වඩා රිදිලයි තිබ්බේ ….. ගෙදර ගියාට පස්සෙත් මගේ හිතට ආවේ දිනිත අද බස් එකේ ආවේ නැත්තේ ඇයි කියන එකයි …. හිතලා හිතලා හිත අවුල් උනාට පස්සේ මම ගේට් එක ලගට දුවගෙන ගිහිල්ලා ගේට්ටුවේ එල්ලුනා …
‘කවුරු එනකන්ද හලෝ ඔය තරම් පාර බලන්නේ ….’ පැය ගානක් ගේට්ටුවේ එල්ලීගෙන බලාගෙන ඉද්දි සදූ මාව හොයාගෙන ආවා …
‘බලනවකො මගේ බයිසිකල් එක ගෙනත් දෙන්නම් කිවා අර බෝයි ඊයේ ….අද දවසත් ගෙවිලා ඉවරයි තාම එන පාටක් නැහැ ..’ මම එහෙම කියන ගමන් ගේට්ටුවෙන් බෙල්ල එළියට දාගෙන හිටියේ කොයි වෙලේ හරි බයිසිකලෙත් අරන් දිනිත මාව බලන්න එයි කියන බලාපොරොත්තුවෙන්
‘අපෝ ඔය ලදරම අරන් එයි බයවෙන්න එපා …. ඔච්චර බලාගෙන ඉන්න දෙයක් නැහැ …’ සදූ ඔලොක්කුවට වගේ එහෙම කියලා ගේ දිහාවට දිව්වේ මගෙන් පාරක් කන්න වෙන බව ෂුවර් එකටම දැනගෙන ……
‘මේ එන්න එපා මගේ බයිසිකල් එකට ලදරම කියන්න … අහුවෙනවකෝ මට …’ මම එහෙම කියන ගමන් ආයෙත් බෙල්ල දැම්මා ගේට් එකෙන් එළියට … මගේ හිතට සතුටක් ආවේ ඈත වංගුවෙන් බයිසිකල් දෙකක නැගලා කොල්ලෝ දෙන්නෙක් අපේ ගෙදර දිහාවට එනවා දැක්කාමයි … ඒ සතුට නැතිවෙලා යන්න ඒ හැටි වේලාවක් ගියේ නැහැ ….
‘ නංගි දිනිත කිව්වා මේ බයිසිකල් එක ඔයාට දෙන්න කියලා ..’ බයික් එක අරන් ඇවිත් තිබ්බේ කසුන් කියන දිනිතගේ යාළුවා …. දිනිත එයි කියලා හිතේ තිබ්බ බලාපොරොත්තුව දියවෙලා ගිහින් හිස් බවක් තමා මට ඒ වේලාවේ දැනුනේ …
‘ තෑන්ක්ස් අයියා …. දිනිත අයියාට කියන්න තෑන්ක්ස් කරා කියලා ..’ බයිසිකල් එක ගේට් එකෙන් ඇතුලට ගන්න ගමන් මම එයාලා දිහා බලලා යාන්තමට හිනාවුනා ..
‘ කියන්නම් … අපි එහෙනම් ගිහින් එන්නම් …’ දිනිතගේ යාළුවො දෙන්නා එහෙම කියලා යන්න ආපහු හැරුනා . දිනිත ගැන අහන්න උවමනා උනත් මාගේ උගුර අස්සේ වචන හිරවෙලා වගේ … කිසිම දෙයක් උගුරෙන් එලියට ආවේ නැහැ ..
මම බයිසිකල් එක පැත්තක දාලා ගේ ඇතුලට දුවගෙන ගියා … අම්මයි සදූව අල්ලාගෙන කොන්ඩේ පිරනවා …. මට ඕන උනේ දෙන්නාව මග ඇරලා කාමරේට යන්න උනත් …මගේ කාමරේට යන්න නම් එයාලා දෙන්නා පහු කරලා යන්නම ඕන …
‘මොකද හිරූ ඔතන ඉදන් කැරකි කැරකි ඉන්නේ ..මෙන්න මෙහෙ එන්න ඔයාගේ කොන්ඩෙත් පොඩ්ඩක් පිරලා බලන්න ..’ අම්මා මාව දැකලා ලගට අඩගැහුවා ….
‘මගේ ඔළුවේ තඩි නැහැ … ඔය උන්දැගේ තමා ඇත්තේ එයාගේ ඔළුවේ බලන්න …’ ශේප් එකේ එතැනින් මාරු වෙලා යන්න මාන බලන ගමන් මම එහෙම කියුවා
‘එනවා මෙන්න මෙහෙ මගෙන් ගුටි කන්නේ නැතිව .’ අම්මාව තරහා ගස්සන්න බැරි කමට එයා ලගට ගියේ මම උදේ ඉදලා අම්මාව ඕනැවටත් වඩා තරහා ගස්සලා තිබ්බ නිසා … අම්මා සදූගේ කොන්ඩේ අත ඇරලා මගේ කොන්ඩේ පීරන්න පටන් ගත්තා ..
‘හිරූ …ඔන්න අප්පච්චි එනවා කියුවා ලබන සතියේ …’ අම්මා මගේ කොන්ඩේ පීරන ගමන් කිව්වේ මම අහන්න ආසම ආරංචියක් …
‘ඔය ඇත්තමද මගේ අම්මා …’ මම අම්මා පැත්තට විදුලි වේගෙන් හැරිලා එයාගේ බෙල්ල වටේ අත් දෙක පටලවා ගත්තා
‘ඔව් ඇත්ත තමා …ඉන්නකෝ මම තාත්තා එනකන් ඉන්නේ ඔයාගේ නරක වැඩ ටික කියන්න … අම්මාට හැමවෙලේම වද දෙනවා සදූට ගුටි දෙනවා කියලා කියන්න ඕන ….. ‘’ අම්මා මගේ ඔළුව අස්සෙන් අත දාලා කොන්ඩේ පිරිමදින ගමන් එහෙම කියුවාම මම එයාට තුරුළු වෙලා හුරතල් වෙන්න ගත්තා …
‘ අනේ මගේ හොද අම්මානේ …. ඔයා අප්පච්චී අතින් ඔව්වා කිවොත් එයාගේ හිත රිදෙයි නේ …ඒක නිසා මගේ හොද අම්මා එයාට මොකුත්ම කියන්න එපා …’
‘හරි හරි අලි බබා දැන් ගිහින් මුහුණ කට හෝදාගෙන පාඩම් කරන්න ….ඔය නැටිල්ල පැත්තක තියලා..අප්පච්චිට කියනවාද නැද්ද කියලා මම තීරණය කරන්නම් ..’
අම්මා ඔය ව්දිහට කිව්වාට අපි ගැන නරක කියන්නේ නැහැ කියලා නම් මම හොදටම දන්නවා …
*****
දවස් ගානක් ගෙවිලා ගියේ දිනිතගේ මුහුණ දකින්නෙම නැතිව … බස් එකේ එයාගේ යාළුවො හිනාවෙවී හිටියත් දිනිතගේ මුහුණ ඒ මුහුණු අතරේ තිබ්බේ නැහැ … දිනිත ගැන එයාගේ යාළුවෙක්ගෙන් අහලා දැනගන්න ඕන කියලා හිතුනත් මගේ ආඩම්බර හිත ඒකට ඉඩ දුන්නේ නැහැ . ..
‘මොකද උබ මේ දවස් ටිකේ නිකං දාහට දීලා සීයට ගත්තා වගේ ඉන්නේ ..’ පුජනිට මගේ වෙනස හොදටම තේරිලා ..
‘ඒ මොකද උබ එහෙම කිව්වේ … අපි සන්තෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ හොදේ …’ මම විහිළුවෙන් එහෙම කිව්වාට පුජනිට මගේ හිත හංගන්න බැරිවුනා …. අවුරුදු දොළහක් මාත් එක්ක එකටම හිටිය පුජනි සමහර වෙලාවට මටත් වඩා මාව අදුරනවා කියලා දන්නවා
‘අනේ මේ උබ කාට බොරු කලත් මට බොරු කරන්න ලැහැස්ති වෙන්න එපා හරිය .. වෙනදා නම් උබ පන්තියේ බාල්දි කියක් පෙරලලාද ’ කොච්චර හංගන්න හැදුවත් මගේ හිතේ පුංචිම දුකක් උනත් පුජනිට දැනෙනවා … දිනිත එයා ආදරේ කරනවද නැද්ද කියලා දන්නේ නැතිව පුජනිට උනත් කියන්නේ කොහොමද මම කෙනෙක්ට ආදරේ කරනවා කියලා …
‘ මොකුත් නැහැ බුරිච්චියේ …. මේ උබ මාත් එක්ක ක්ලාස් එකට එනවා නේද සන්ඩේ …. ‘ මම කතාව වෙන පැත්තකට හැරෙව්වේ දිගටම මේ ගැන කතා කරොත් මට ඇත්ත කියන්න වෙයි කියලා හිතුන නිසා ….
‘හරි උබ කතාව වෙනස් කරපංකෝ …. මතක තියාගනින් හැංගි හැංගි වෙස් බැන්දාට නටන්න වෙන්නේ එළිපිට කියලා …’ කටුක විදිහට එහෙම කියපු පුජනී බුම්මගෙනම පැත්තකට හැරුනේ මාත් එක්ක තරහට වඩා දුකින් වෙන්න ඕන …
‘හරි දැන් කියපන් උබ මාත් එක්ක ඉරිදා ක්ලාස් එකට එනවාද නැද්ද කියලා …’ මම බොරු තරහක් අරන් එහෙම ඇහුවා
‘එන්නම් එන්නම් ….නැත්තම් ඉතින් මගේ කන් දෙකේ ඇගිලි ගහගෙන නේ ඉන්න වෙන්නේ …’
කොහොම හරි රොටරි එකේ ක්ලාස් යන්න කැමති කරගත්ත එකේ දැන් ඉතින් ඉරිදාට ක්ලාස් යෑමක් තමා තියෙන්නේ ….
*****
‘හිරූ ක්ලාස් යනවා කිව්වා නේද …. කෝ ඇහැරිලා ලැහැස්ති වෙන්න සදූ ලැහැස්ති වෙලත් ඉවරයි
ඉරිදා උදේ එලිවෙච්ච වෙලාවේ ඉදලා අම්මා සැරෙන් සැරේ කාමරේට ඇවිත් එෆ්එම් එක ඔන් කරනවා …. මම කන්දෙකේ ඇගිලි ගහගෙන මුහුණ කොට්ටෙට තද කරගෙන වෙනදා පුරුද්දට පස්සත් උඩ දාගෙන නිදාගත්තේ අම්මා කියුව කිසි දෙයක් ඇහුනේ නැති ශේප් එකට ….
‘මේ ගැහැණු දැරිවි නම් ..අම්මපා මොන තාලෙට හැදෙනවාද දන්නේ නැහැ හීන් මැණිකේ ඔය වතුර කෝප්පයක් ගේන්න මෙයාගේ ඇගට දාන්න …’ හීනෙන් වගේ අම්මා එහෙම කියලා වැඩි වෙලාවක් ගියේ නැහැ එකපාරම වහින්න ගත්තා …
‘අම්මේ මෙන්න වහිනෝ …. බලන්නකෝ අපේ වහලේ ෂිට් හිල් වෙලාද කියලා …මම කෑ ගහගෙන නැගිටලා බෙඩ් එකෙන් අහකට පැන්නා ….අම්මා ජෝග්ගුවකුත් අතේ තියාගෙන හිනාවෙවී මගේ දිහා බලාගෙන ඉද්දි තමා මට මීටර් උනේ මෙතන වෙලා තියෙන්නේ මොකක්ද කියලා
‘අම්මා ….ඔයා නම් …බලන්නකෝ මම හොදටම තෙමුනා … ’ රෑ ගවුම පසාරු කරගෙන වතුර වල ශීතල මගේ ඇගට දැනෙද්දී මම කෑ ගැහුවා …
‘ඊයේ රෑ නිදාගන්න යද්දී කි සැරයක් කිව්වද අම්මා මට උදේම ඇහැරෙන්න කියලා …. කොච්චර ඇහැරෙව්වාද මේයා පස්සත් උඩ දාගෙන නිදි …. දැන් ගිහින් ඇදගන්න ඉක්මනට සදුත් එක්කම යන්න පුළුවන් එතකොට ..’ අම්මා එහෙම කිව්වම තමා මට මතක් උනේ ක්ලාස් ගමන ගැන
‘මට අමතක උනානේ අම්මා ….වෙනදා පුරුද්දට මට හොදටම නින්ද ගියා …. මම යනවා වොෂ් එකක් දාගන්න .’ මම අඩියට දෙකට බාත්රූම් එකට රිංගලා වොෂ් එකක් දාගෙන අල්මාරිය අවුස්සලා අරගත්ත ඩෙනිම් කලිසමයි ටි ෂර්ට් එකයි ඇදගෙන කොන්ඩේ පිළිවෙලට පීරලා පෝනිටෙල් එකක් බැදගත්තා ..
‘කෝ අම්මේ සදු …’ ඇද පැළදගෙන ඉස්සරහට ඇවිත් මම සදුව හෙව්වත් පේන්න හිටියේ නැහැ ..
‘ඔය ගියේ පරක්කු වෙනවා කියලා ….’
‘මාත් යනවා එහෙනම් අම්මා ..’ මම අම්මාට වැදලා ගෙදරින් එළියට බැස්සේ ෂර්ලොක් හෝම්ස්ගේ රාජකාරිය කරන හැටි ප්ලෑන් කරන ගමන්මයි …
‘අප්පේ කොච්චර වෙලා මම බලාගෙන හිටියාද උබ එනකන් ….’ බෝ ගහ හංදියේ මම එනකන් බලාගෙන හිටපු පුජනී ඉස්සරහට ආවේ මුහුණත් පුළුටු කරගෙන …
‘සොරි මචෝ …. වෙනදා පුරුද්දට ටිකක් නින්ද ගියා ….’
‘සොරි තමා ….. උබත් එක්ක ගමන් යද්දී අපි එන්න ඕන උබ කියන වෙලාවට පැයක් පහුවෙලා …මොකද උබ ඒ තරම් ෂුවර් වේලාවට වැඩ කරනවා කියලා …’ පුජනිගේ කන්කරච්චලේ අහගෙන මම මොකුත් කියන්නේ නැතිව ක්ලාස් එක පැත්තට ඇවිදගෙන ගියා …

‘වයි දිස් ටියුෂන් ක්ලාසස් මට වැඩිවී
මයි ලයිෆින් බොරින් ගෙදරින් හිසරදදී – සෙල්ලම් කලේ හැමරින් ශිවරින්
අම්මා නිරතරම ෆයිරින් – පංති ගානේ ඩේලි වෝකින්
කකුල් දෙක මගේ හර්ටින් ….
සුරංගනාවීයෝ වගේ කෙල්ලෝ කමින් … උන් පස්සේ ගිහින් අපි චාටරින්….
ක්ලාස් එක ලග හිටියො කොල්ලෝ ටිකක් හයියෙන් සිංදුවක් කියනවා අතිනුත් කෑලි බෑලි දාගෙනම ..
‘අන්න අනුපයාගේ කෑල්ල එනවා …’ මාව දැක්ක ගමන් සෙට් එකේ හිටිය කොල්ලෙක් කෑ ගහලා අනිත් උන් දැනුවත් කළා …
‘මේ ටිකකට කලින් ඒකි මෙතැනින් ගියානේ බන් … මේ ඒකිගේ හොල්මනවත්ද …’ මාව දැක්ක පාර කොල්ලෝ ටික බයවෙලා වගේ කටවලුත් ඇරගෙන මගේ දිහා බලන්න පටන් ගත්තා
‘අඩේ අප්පා ..දැන් ටිකකට කලින් නේ කෙල්ල කොල්ලා එක්ක මෙතැනින් ගියේ …’ කට්ටිය කියන කතා අහගෙන ඉද්දි නම් මට හිතුනේ අපේ සදු අර අනුප එක්ක ලව් හුටපටයක් තියෙනවා කියලා …අම්මා මටත් වඩා විශ්වාස කරන්නේ සදුව … එහෙව් සදු කොල්ලෙක් එක්ක ලව් එෆෙයාර් එකක් පටන්ගත්තා කියලා හිතද්දීත් හිතට මොකක්දෝ වගේ ….
‘පුජා කෝ අපේ සදු ක්ලාස් එකේ නැහැනේ …’ මම ක්ලාස් එක පුරාම හෙව්වත් සදු පේන්න නැහැ ..ෂුවර් එකටම මෙයා අර අනුප කියන කොල්ලා එක්ක පැටලිලා කොහේ හරි රෝන්දයක් ගිහින් …. අනුප කියන්නේ පාතාලේ මැරයෙක්ගේ පුතෙක් කියන එක දවසක් දක්ෂි කිව්වා මට මතකයි …. දැන දැනම සදු මේ පැටලිලා තියෙන්නේ නම් මරාලයකට බව ෂුවර් … අප්පච්චි දැනගත්තොත් වෙන්නේ නම් හොදක් නෙවෙයි …දෙවියනේ අප්පච්චි තරහටම මේ දෙන්නාට වෙඩි තියලා දායි …
‘පොඩ්ඩක් ඉවසලා හිටපන් අපි ඉස්සරලාම හොයලා බලමු ..’ පුජනී මොනවා කිව්වත් මගේ හිත අවුල් වෙලා ගිහින් මට හිතාගන්න බැහැ මොනවා කරන්නද කියලා …. සදු එක්ක කොච්චර රණ්ඩු කලත් එයා මගේ අක්කා ..එයාට කිසිම විදිහක නරකක් වෙන්න නම් මට ඉඩ දෙන්න බැහැ …
මතු සම්බන්ධයි

~~~~සමනල වසන්තය~~~~
22 කොටස
ක්ලාස් එක පටන් අරන් ටික වේලාවක් ගෙවිලා ගියත් සදූ එන බවක් පේන්න නැති උනාම මගේ ඉහ මොළ රත්විගෙන ආවා …. සදූ හැමදාම අම්මාගේ කීකරුම දුව …. ඒ කීකරු දුව කොල්ලෙක් එක්ක පැටලිලා කියලා දැනගත්තොත් නම් අපේ අම්මාට ඒක ඉවසාගන්න ගොඩක් අමාරු වෙයි ….
‘මොකද හිරූ උබ අහස පොළව ගැටගහන්න වගේ ඔය හැටි කල්පනා කරන්නේ … ‘’
සර් පංතියේ උගන්වද්දී මම උඩ බලාගෙන ඉන්නවා දැකලා පුජනී මගෙන් හාරා හාරා අහන්න ගත්තා ..
‘පුජා අපේ සදූ තාම නැහැනේ …’ මම හෙමින් එහෙම කියලා ආයෙම පංතිය පුරාවටම බැලුවා .. ඒත් සදුගේ ජායාවක්වත් නැහැ …
‘පොඩ්ඩක් ඉවසලා හිටපන් අපි ඉන්ටර්වල් එකේ හොයලා බලමු .. දැන් සර් කියන දේ අහගෙන ඉදින් ’ පුජනී මගේ හිත හදන්න එහෙම කියලා ඉස්සරහා බලාගත්තත් මට නම් සර් කියුව මේලෝ දෙයක් කනට ඇහුනේ නැහැ
‘පුජා උබ ඔහොම හිටහන් මම දක්ෂි හම්බවෙලා එන්නම් …’ ඉන්ටර්වල් එක දුන්න ගමන් මම පුජාවත් දාලා දක්ෂි හොයාගෙන ගියා … මට ඕන උනේ සදූ ගැන තොරතුරු දැනගන්න …
‘උබ කලබල කරන්න නම් යන්න එපා ….’ පුජා එහෙම කියුවත් මම ඇහුනේ නැති ගානට තමා ගියේ ..
‘දක්ෂි …’ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් මැද්දට වෙලා කියව කියවා හිටිය දක්ෂි මාව දැකලා කටත් ඇරගෙන මගේ ලගට දුවගෙන ආවා
‘සදූවා මොකද උනේ …අනුප කෝ …’ දක්ෂි වට පිට බැලුවේ අනුප හොයන්න වගේ … මම මොකුත් කියන්නේ නැතිව දක්ෂිගේ මුහුණේ හැගීම් දිහාම බලාගෙන හිටියා එකම ඇහි පිල්ලමක්වත් ගහන්නේ නැතිවම
‘මොකද සදූ කතා නැත්තේ කියපන් මොකක් හරි අවුලක් උනාද …’ දක්ෂිට උත්තරයක් දෙන්නේ නැතිව මම දක්ෂිගේ අතක් තදට අල්ලාගෙන රිදෙන්න මිරිකුවා …
‘සදූ මොකක්ද උබට වෙලා තියෙන්නේ ඇයි මේ …’ දක්ෂිගේ මුහුණ අච්චාරුවක් වගේ වෙලා අඩන්න ඔන්න මෙන්න උනා …. මම කිසිම දෙයක් කියන්නේ නැතිව එයාගේ අත ඇගිලි වලින් තද කරා …දිගට වැවිලා තිබ්බ මගේ නියපොතු දක්ෂිගේ අත් ගොබය පසාරු කරගෙන යද්දී එයාගේ ඇස් වල කදුළු පිරුනා ….
‘මම සදු නෙවෙයි ….මම හිරු කියනවා මට සදු කොහෙද ගියේ ..’ බය වෙච්ච පාර දක්ෂිගේ කටත් ඇරිලා …හයියෙන් හයියෙන් හුස්ම ගන්නවා ..
‘මම දන්නේ නැහැ …’
‘දන්නේ නැහැ …. මට බොරු කියන්න එපා හරිද …’ මගේ කටහඩ ඕනෑවට වඩා උස් වෙද්දී දක්ෂිගේ යාළුවෝ ටික ඇවිත් අපි දෙන්නාව වට කරගත්තා …
‘මොකද මෙතැන වෙන්නේ ….’ හැමෝටම වෙන්න යන දේ හිතාගන්න බැරිවෙන්න ඇති ….. දක්ෂිවත් මමවත් කාටවත් උත්තර දෙන්නේ නැතිව අපි දෙන්නාගේ මුහුණු දිහා බලාගෙන හිටියා …
‘ඔයා සදුගෙන් අහගන්න …..’
‘මම ඒකිගෙන් අහගන්නම් …දැන් කියපන් උබ ඒකි ගියේ කොහෙද කියලා ..’ මට උවමනාවට වඩා ඒ වේලාවේ තරහා ගිහින් තිබ්බේ .. ඒ උනත් දක්ෂි යාළුවාගේ හොරේ එළියට දාන පාටක් නැහැ …ඉවසලා ඉවසලා ඉවසීමේ සීමාව පැන්නාට පස්සේ මගේ අත දක්ෂිගේ කම්මුල උඩ නැවතුනේ …
‘ ඔයා දන්නවාද ඔයා එයාගේ හොර වහලා ..සදුට මොකක් හරි කරදරයක් උනොත් ඔයාට මගෙන් කිසිම සමාවක් නැහැ …’ මම හයියෙන් කෑ ගහද්දි එතැන හිටිය කොල්ලෙක් මගේ ඉස්සරහට ආවා ..
‘ඔයා මේ ළමයාට කෑ ගහලා වැඩක් නැහැ …… මම කියන්නම් සදු ගියේ කොහෙද කියලා … එයා අනුප එක්ක එයාලාගේ ගෙදර ගියා … ගිහින් බලන්න …. මෙතැන බොරුවට කෑ ගහන්නේ නැතිව …’ කොල්ලා එහෙම කියද්දී මම අල්ලාගෙන හිටිය දක්ෂිගේ අත අත ඇරලා දැම්මා …..ඇයි සදූ එහෙම දෙයක් කලේ තනියම කොල්ලෙක් එක්ක ගෙදරකට යන්න තරම් එයාගේ හිතේ ශක්තියක් තියෙනවා කියලා හිතන්නත් අමාරුයි … මට අඩන්න තරම් දුකක් දැනුනේ … තවත් විනාඩියක්වත් මට ක්ලාස් එකේ ඉන්න ඕන උනේ නැහැ …
‘උබ කොහෙද ඔය යන්න හදන්නේ …..’ පුජනිට උත්තර දෙන්න ශක්තියක් මගේ හිතට තිබ්බේ නැහැ …මම කිසිම දෙයක් නොකියා බෑග් එකත් අරන් පාරට බැස්සා . ..
හිත පිච්චුනේ අප්පච්චිගේ අම්මාගේ හිතට දැනෙන ගින්දර මතක් වෙද්දියි …. අනුපගේ තාත්තා මුළු කොලඹම හොල්ලාගෙන ඉන්න මැරයෙක් ….එහෙව් පවුලකට අපේ සදූව දෙන්න අප්පච්චි කැමති වෙයිද .. මේ ප්‍රශ්න වලට මට උත්තර නැහැ ..
අවුල් වෙලා තිබ්බ හිත හදාගන්න ලේසි උනේ නැහැ …සදුව දකිනකන් හිතට නිවනකුත් නැහැ …. මම ටවුන් එක පුරාම සදුව හොයා හොයා ඇවිද්දා …. අනුපගේ ගෙදර තියෙන තැනක් දන්නවා නම් ඒ ගෙදරට යන්න මම දෙපාරක් හිතන්නේ නැහැ ….
ඇවිදලා ඇවිදලා අන්තිමට නුගේගොඩ සුපර්මාර්කට් එක ලගට මම යද්දී දැක්කා සුපර් මාර්කට් එක ඇතුලේ ඉදලා එලියට එන දිනිතව ..මෙච්චර දවස් අතුරුදහන් වෙලා හිටිය දිනිත එක පාරම මගේ ඉස්සරහා ….මෙච්චර වෙලා දුකින් පිරිලා තිබ්බ මගේ හිතට කොහේදෝ නැති සතුටක් එද්දී මම දිනිත ඉස්සරහා හිටගත්තා ….බිම බලාගෙන ආපු දිනිත එකපාරම ඔළුව උස්සලා බලද්දී ඉස්සරහා හිටිය මාව දැකලා ඇස් දෙක නළලට ගියා ….
‘දිනිත අයියා මෙච්චර දවස් කොහෙද අතුරුදහන් වෙලා හිටියේ …’ මම එයාගේ ඇස් දෙක දිහාම බලාගෙන එහෙම අහද්දී දිනිත කලේ මගේ ඇස් මග ඇරපු එකයි …
‘අතුරුදහන් උනේ නැහැ …වෙනදා යන බස් එක මිස් උනා විතරයි …’ එයා එහෙම කියන ගමන් සුපර් මාර්කට් එක දිහා බැලුවා ..හරියට කවුරු හරි බලාපොරොත්තුවෙන් වගේ
‘ඇයි ඔයා ඒ බස් එක මිස් කරේ ….’ මම එයාගේ මුහුණට උවමනාවට වඩා ලංවෙලා එහෙම ඇහුවේ .
‘සමහරු අපිව මිස් කරගන්නකොට … අපි ඒ අය මුණ නොගැහෙන එක හොදයි කියලා හිතුනා …ඒ නිසා ඒ බස් එක මිස් කරා … ‘’ දිනිත මුහුණේ ලොකු වේදනාවක් තිබ්බේ ….එයා ඒ තරම් දුක්වෙන්න තරම් සිද්ද වෙච්ච දේ මොකක්ද .. එයා කියන කතා මට නිකන් ප්‍රහේලිකා වගේ …
‘අයියා ඔයා මොකක්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ මට ..’ මම එහෙම අහද්දී එයා අඩියක් පස්සට ගියා
‘ඔයාට දවසක තේරෙයි හිරූ ….. ‘’ සීරියස් විදිහට එහෙම කියපු දිනිත මගේ දිහා බැලුවා ….. අපි දෙන්නාගේ ඇස් දෙක ටික වේලාවක් එක තැනක නතර වෙලා තිබ්බා .. ඒ වේලාවේ මට කියන්න ඕන උනා …අයියේ මාව මිස් කරන්න එපා කියන එකයි
‘පුතා අපි යමුද ….’ සුපර් මාර්කට් එක පැත්තේ ඉදලා අපි ලගට ආවේ වැදගත් පෙනුමක් තියෙන ගැහැණු කෙනෙක් …. දිනිතගේ ෆේස් කට් එක යාන්තමට වගේ තිබ්බ නිසා මට හිතුනේ මේ දිනිතගේ අම්මා වෙන්න ඕන කියලයි
‘යමු අම්මා …මම එන්නම් …’ දිනිත එහෙම කියද්දී අම්මා මගේ දිහා බලලා යාන්තමට හිනාවෙලා කාර් පාර්ක් එක පැත්තට යන්න ගියා …
‘එදා මම බලාගෙන හිටියා …ඔයා බයිසිකල් එකත් අරන් අපේ දිහා එයි කියලා ..’ මට ඕන උනේ තව විනාඩියක් හරි දිනිත මගේ ලග තියාගන්න ..
‘ මට වෙන වැඩක් ආවා …. ඔයා බලාගෙන ඉන්නවා ඇති කියලා හිතුන නිසා බයිසිකල් එක යාලුවෙක් අතේ එව්වා .. මට පරක්කු වෙනවා ….. අම්මා බලාගෙන ඇති ….මම යන්නම් ’ එක පෙළට කියාගෙන ගිය දිනිත හිත කඩාගෙන යන බැල්මකිනුයි මගේ දිහා බැලුවේ ..
‘පරිස්සමින් යන්න තෙරුවන් සරණයි ..’ මම යාන්තමට තොල් හෙල්ලුවත් දිනිතට මම කියන දේ ඇහෙන්න නැතිව ඇති …

******
ප්‍රශ්න පිට ප්‍රශ්න ආපු නිසා මගේ ඔළුව හොදටම අවුල් වෙලා තිබ්බේ …සදූ ආයේ ගෙදර එන්නේ නැති උනොත් කියන බය මගේ හිත පුරාම ඉහිරෙද්දී මම ගේට්ටුවෙන් ඇතුළට ගියා …
‘මොකද හිරූ මෙච්චර පරක්කු උනේ බලන්න හතටත් ලගයි වෙලාව …’ අම්මා එහෙම අහගෙන සාලෙට ආවා …මට අම්මාගේ මුහුණ බලන්න හිතට මොන මොනවදෝ වගේ ……
‘ඇයි මගේ කොටි දෙන අද මේ හොර පුසියක් වගේ අහිංක පාටට මොකුත් නොකියා යන්නේ ..’ මට අම්මාව මග ඇරලා යන්න ඕන උනත් අම්මාට පුදුමයි මම මොකුත් නොකියා හිටපු එක ගැන ..
‘මට මහන්සි අම්මා … කෝ සදූ ආවාද …’
‘එයා ඇවිත් කොයි වෙලේද ඔන්න දැන් පාඩම් කරනවා …’ මම අර තරම් සදු එනකන් බස් හෝල්ට් එකේ බලාගෙන ඉද්දි මෙයා ගෙදර ආවේ කොහොමද …
මම සද්දයක් ඇහෙන්නේ නැති විදිහට අඩි තියලා කාමරේට එබුනා ….. සදූ පොතට එබීගෙන පාඩම් කරනවා ….මම හෙමින් හෙමින් එයා ලගට ඇවිදගෙන ගියා ….එයාට කිසිම ගානක් නැහැ මම කාමරේට ආවා කියලා .. සදූට ලංවෙලා මම එයාගේ උරහිසට උඩින් එබිලා බැලුවා ….පොත අස්සේ ෆෝන් එකක් තියාගෙන කාට හරි මැසේජ් කරනවා …. මට හිතන්න ඕන උනේ නැහැ .. එයාගේ උරහිසට උඩින් අත දාලා එයා අතේ තිබ්බ ෆෝන් එක උදුරාගත්තා …සිද්ද උනේ මොනවද කියලා හිතාගන්න බැරිව ගැස්සිලා හැරිලා බලද්දී සදූ මාව දැකලා කට ඇරගෙන බලාගෙන හිටියේ හුස්මක් කටක් ගන්නේ නැතිවමයි ..

‘අනුප මගේ මුළු ආත්මයම දැන් ඔයාගේ ආදරේන් පිරිලා ..ආයේ නම් මට ඔයා නැති ලෝකයක් ගැන හිතන්න බැහැ ..ඔයා තමා මගේ මුළු ජීවිතේම ….මොන ප්‍රශ්න ආවත් මම ඔයා ලග ඉන්නවා ….හැමදාම ගොඩක් ආදරෙන් ..’ සදූ ටයිප් කරලා තිබ්බ මැසේජ් එක මම හයියෙන් කියෙව්වා …
‘හිරූ කෑ ගහන්න එපා අම්මාට ඇහෙයි …’ සදූ බයටම ගැහෙනවා …. ටක ටක ගාලා තව ටිකකින් මෙයා දත කට පුට්ටු වෙලාම මැරෙනවා මෙහෙම ගැහුනොත්
‘අම්මාට ඇහෙන්න තමයි කියෙව්වේ …. දැන් තමුසේ අද කොහෙද කියලා මට කියන්න ඕන ..තව අනුපයා එක්ක තියෙන සම්බන්දෙ මොකක්ද කියලත් කියන්න ඕන …. එහෙම නැති උනොත් මම අම්මා අතටම ෆෝන් එක ගිහින් දෙනවා ….’ මම තර්ජනය කරනවා වගේ එහෙම කියද්දී සදූ දුවලා ගිහින් කාමරේ දොර වහලා මගේ ලගට ආවේ ඇස් දෙකේ කදුළු ගොඩකුත් පුරවාගෙනයි .
‘හිරූ …මම ඇත්තටම අනුපට ආදරේ .. එයා නැතිව මට ජිවත් වෙන්න අමාරුයි …’ සදූ අඩනවා හෝ ගාලා … මේ විදිහට ඇඩුවෝත් නම් අපේ කාමරේ ගංවතුර වගේ කදුළු වලින් පිරෙනවා …
‘තමුසේ දන්නවාද අනුප කියන්නේ මැරයෙක්ගේ පුතෙක් කියලා …’
‘ඒ උනත් අනුප මැරයෙක් නෙවෙයි නේ …’
‘ගහේ කටු උල් කරන්න ඕන නැහැ ලු …’
‘ ප්ලීස් හිරූ මාව තේරුම් ගන්න … අනුපගේ තාත්තා මැරයෙක් තමා ….අනුප එයා දන්න කාලේ ඉදලා එයාගේ තාත්තාගේ මුහුණ බලලා කතා කරලා නැහැ …. එයා තාත්තාට වෛර කරනවා …. එයාගේ තාත්තා වැරදි කරන්න පටන් ගත්ත දවසේ තමා අනුප එයාගේ තාත්තා මැරුණා කියලා හිතලා තියෙන්නේ ….අනුප හොද කෙනෙක් … අපේ අප්පච්චි තරම්ම හොද කෙනෙක් …’ එයා අනුපට මෙච්චර ගැරන්ට් එකක් දෙන්න තරම් අනුපව විශ්වාස කරනවාද ..අපේ ලෝකේ අප්පච්චිට ඉහලින් පිරිමියෙක් නැහැ …එහෙව් අප්පච්චිට අනුපව සමාන කරන්න තරම් අනුප උසස් කෙනෙක්ද
‘එතකොට තමුසේ අද ඌ එක්ක කොහෙද රවුම් ගැහුවේ … ඔය තරම් හොද මිනිහෙක් නම් මිනිහා මොකටද ඔයාව ඉගෙන ගන්න නොදී එහෙ මෙහෙ එක්ක යන්නේ ..’ මගේ හිතේ තිබ්බ අන්තිම ප්‍රශ්නෙත් මම එයාගෙන් ඇහුවා
‘ අනුපගේ අම්මා හොදටම අසනීප වේලා …එයාට කැන්සර් එකක්ලු ….ඩොක්ටර්ස්ලා කියලා එයාව ගොඩ දාන්න බෑ කියලා ..අනුපගේ මුළු ලෝකෙම එයාගේ අම්මා …. එයා ගොඩක් දුකින් ඉන්නේ …. අම්මා මාව බලන්න ඕන කිව්වාලු ඒකයි මම ඔයා ක්ලාස් එකේ ඉද්දිත් ඒවාගේ ගමනක් ගියේ … මට සමාවෙන්න හිරු මම වැරද්දක් කරනවා නම් ..ඒ උනාට මට ඒ වැරැද්ද නොකර ඉන්න බැහැ …මට අනුපව අත අරින්න කියලා නම් කියන්න එපා ..’
සදු එහෙම කියලා මාව තුරුළු කරගෙන අඩන්න පටන්ගත්තාම …මට තවත් මොකුත් කියන්න ඕන උනේ නැහැ … එයාලා ඒ තරම් ආදරේ කරනවා නම් මම කොහොමද ඒ දෙන්නාට ආදරේ කරන්න එපා කියන්නේ .. මොන දේ උනත් මම සදුට උදව් කරනවා ….
මතු සම්බන්ධයි 

2 Comments

  1. You actually make it appear really easy with your presentation however
    I find this matter to be really something which I feel I’d never understand.
    It seems too complex and extremely extensive for me.
    I’m taking a look ahead in your subsequent publish, I’ll try to
    get the grasp of it! Escape room

Leave a Reply

Your email address will not be published. Required fields are marked *