32

~~~සමනල වසන්තය ~~~
32 කොටස
මම ඉස්කෝලෙට ගියා නෙවෙයි යැවුනා …. ඉස්කෝලෙට ගියත් මගේ හිත තිබ්බේ නම් අර මැරයාගේ කතාව ගැනමයි ….. මිස් මොනවා ඉගැන්වුවත් මට ඒ දේවල් මොළේට දාගන්න බැරිවුනා …. මේ මිනිස්සු සදුට කරදරයක්වත් කරයිද මන්දා … මට මොනවා උනත් ඉවසැතකි ඒ උනාට මගේ පවුලේ අයට කරදරයක් උනොත් නම් මට දරාගන්න අමාරු වෙයි …
‘හිරුෂි පොඩ්ඩක් ස්ටාෆ් රූම් එකට එන්න …’ ගීතිකා මිස් පන්තියෙන් ගියේ එහෙම කියාගෙන ….
‘මිස් …’ ටික වෙලාවකට පස්සේ මම ස්ටාෆ් රූම් එකට ගියේ මොකක්ද මේ එකපාරම පාත්වෙන්න යන මරාලේ කියලා හිතන ගමන්මයි ….
‘හිරුෂිට මොකක් හරි ප්‍රශ්නයක්ද මේ දවස් ටිකේ සයිලන්ට් වෙලා ඉන්නේ …’ දාගෙන හිටිය කන්නාඩිය ගලවලා ටේබල් එකේ තියෙන ගමන් මිස් මගේ දිහා බැලුවා
‘එහෙම ප්‍රශ්නයක් නැහැ මිස් …’
‘අප්පච්චී ගැන තාම කිසිම ආරංචියක් නැද්ද ..’
‘තාම නැහැ මිස් ….තාම හොයනවා කියලා තමා කියන්නේ …’’
‘හ්ම්ම්ම් …හිරුෂි ඒ ගැන හිතලා ඉගෙනීම අතපසු කරගන්න එපා … ඉස්සර ඔයා කොච්චර දැගලුවත් උගන්වන දේවල් හොදට ඉගෙනගන්නවා .. දැන් කිසිම උනන්දුවක් නැහැ ඉගෙන ගන්න .. ප්‍රශ්න ගැන හිත හිත ඉදලා ඔයාගේ අනාගතය අවුල් කරගන්න එපා … අප්පච්චි ආපහු එද්දී ඔයාලා ජිවිත නාස්ති කරගෙන කියලා දැනගත්තොත් ගොඩක් දුක්වෙයි …’ මිස් ගොඩක් දේවල් කියද්දී මම බිම බලාගෙන ඒ හැම දෙයක්ම අහගෙන හිටියා …. මිස් කිව්ව හැම කතාවක්ම ඇත්ත තමා .. ඒත් ඉතින් ජීවිතය සාමාන්‍ය අතට හැරෙද්දී තවත් ප්‍රශ්නයක් එද්දී කොහොමද හිත හදාගෙන ඉගෙන ගන්නේ මම …
‘මිනිස්සුන්ට ප්‍රශ්න එනවා .. ප්‍රශ්න එනවා කියලා ඒවාගෙන් පැනලා යන්නේ නැතිව ප්‍රශ්න වලට මුහුණ දෙන මනුස්සයා තමා ජිවිතේ දිනන්නේ ….’
මම ස්ටාෆ් රූම් එකෙන් එළියට බැස්සේ මිස් කිව්ව හැමදෙයක්ම හිතට දාගෙනමයි …
‘සදු මාත් එක්ක අද හවස පොඩි ගමනක් යන්න ලැහැස්ති වෙනවා ..’ පංතියට ගිය හැටියේ මම සදුව හොයාගෙන ගියා ..
‘ඒ කොහෙද …’ කවදාවත් එයා එක්ක එකට ගමනක් යන්න කැමති නැති මම එහෙම කියද්දී සදු පුදුමෙන් වගේ මගේ දිහා බැලුවේ ..
‘යද්දී කියන්නම් …’ තවත් වචනයක්වත් කියන්නේ නැතිව මම මගේ ඩෙස්ක් එකට යද්දී සදු කටත් ඇරගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා …
**
හවස ඉස්කෝලේ ඇරිලා යද්දී මම සදුවත් ඇදගෙන ගේට්ටුවෙන් එලියට දිව්වා …
‘කොහෙද හිරු මේ යන්නේ ’ සදුගේ මුහුණේ ප්‍රශ්න ගොඩයි
‘මාව එක්ක යනවා තමුසෙගෙ ප්‍රේමවන්තයා ලගට ..’ මම එයාගේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නාම බලාගෙනන ඉද්දීම කෙල්ලගේ මුහුණ වෙනස් වෙලා ගියා
‘මේ හදිස්සියේ ඇයි ඒ …’
‘ යමුකෝ ගියාම කියන්නම් ..’
වෙනදා සදුව හම්බවෙන්න එන තැනටම වෙලා අනුප මග බලාගෙන ඉන්නවා .. අපි දෙන්නා අනුප ඉස්සරහට එකටම තමා ගියේ …..
‘සදු … ‘ අනුප අපි දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බලනවා …. එයාට එකපාර අපි දෙන්නාගෙන් සදු කවුද හිරු කව්ද කියලා අදුරගන්න බැරිවෙන්න ඇති …
‘සදු කව්ද …’ එයා හරි අපහසුවෙන් වගේ එහෙම අහද්දී සදු ඉස්සරහට ගියා …
‘හිරුට ඔයාව හම්බවෙන්න ඕනිලු ..’ සදු එහෙම කියද්දී අනුප මගේ දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයක් මුහුණේ තියාගෙනමයි ..
‘ඇයි හිරූ ….. ‘’
‘ඔයාගේ තාත්තාගේ චක් ගෝලයෙක් අද උදේ මට පාර්ට් එකක් දැම්මා මම සදු කියලා හිතාගෙන …මතක තියාගන්න අපේ ෆැමිලි එකේ කාටහරි කරදරයක් උනොත් ඒකට වග කියන්න ඕන ඔයාගේ තාත්තා … ‘’ මම කියවාගෙන යද්දී සදු වගේම අනුපත් මගේ දිහා බැලුවේ බයවෙලා වගේ
‘ඔය ඇත්තමද හිරු කියන්නේ …’
‘ඇත්ත තමා කියන්නේ …බොරු කියන්න ඕන නැහැනේ මට …’
‘අනේ අනුප අපි දැන් මොනවාද කරන්නේ …’ ඒ ටිකට සදු අඩන්න පටන් අරන් …
‘මම තාත්තාට කතා කරන්නම් ..එයාට අයිතියක් නැහැ මගේ ජීවිතේට ඇගිලි ගහන්න ..’ අනුපට හොදටම තරහා ගියපාර මුහුණත් එක්ක රතුවෙලා ගියා …
‘ඔයා ඔයාගේ ප්‍රශ්න විසදගෙන ඉවරවෙලා සදු ලගට එන්න ….ප්ලීස් එතකන් මගේ අක්කාගෙන් ඈත්වෙලා ඉන්න …වදින්නම් අපිට තවත් පවු දෙන්න එපා ….’ අත්දෙක එකට කරලා මම අනුප ඉස්සරහා කෑ ගැහුවා අර ආවේගෙන්ම …
‘හිරු ….එයා පව් එයාට මොකුත් කියන්න එපා ..’ සදු හෝ ගාලා අඩනවා ..ඒත් ඒ වේලාවේ සදුගේ කදුළු වලට මගේ හිත මෙලෙක් කරන්න බැරිවුනා …. මගේ ඔළුව උඩ මුළු පවුලේම බර තිබ්බා …
‘ආයෙම සදුව හම්බවෙන්න හිතන්නවත් එපා ….ප්ලීස් එයාගෙන් ඈත්වෙන්න …. ‘’
‘මම කොහොමද හිරු එහෙම කරන්නේ …. සදු කියන්නේ මගේ මුළු ජීවිතේම …’ අනුප අඩන්න වගේ මුහුණ කළු කරගද්දී හිතට දුකක් ආවත් මම හිත දැඩි කරගත්තා ..
‘ මෙන්න මෙහෙ එනවා යන්න …’ මම තවත් මොහොතක්වත් එතැන ඉන්නේ නැතිව සදුවත් ඇදගෙන එතැනින් යන්න ආව බස් එකක එල්ලුනා ..
‘හිරු ඇයි ඔයා අනුපට කෑ ගැහුවේ ..පව් දෙවියනේ ඒ අහිංසකයා මොනවා කරන්නද ..’ සදු බස් එකේදී කදුළු පුරවාගෙන මගේ දිහා බැලුවත් මම හිත දැඩි කරගෙනම හිටියා ..
‘ආයේ ඔය අනුප හම්බවුනොත් මතක තියාගන්නවා මේ හිරු නැහැ කියලා …. මට බෑ මගේ පවුල විනාශ වෙනවා බලන්න …’
මගේ කටහඩ ඕනෑවට වඩා සද්දෙන් පිටවෙද්දී බස් එකේ හිටිය හැමෝම හැරී හැරී බලන්න ගත්තා ..
‘ මට මැරෙන්න හිතෙනවා හිරු …සත්තයි අනුප නැතිවුනොත් නම් මම මැරෙනවා ..’ සදු ගොරෝසු ව්දිහට එහෙම කියද්දී මම එයාගේ අත තද කරලා අල්ලාගත්තා ….
‘මැරෙනවා ….මතක තියාගන්නවා තමුසේ මැරුණ දවසට පහුවෙනිදා අම්මයි මේ හිරුයි මැරිලා ඉදි කියන එක .. අප්පච්චි නැතිවුනා ඉවසුවා …. තවත් නම් ඉවසන්න බැහැ අපේ එකෙකුට මොනවා හරි උනොත් නම් …එක එකා මැරිලා යන්නේ නැතිව තුන්දෙනාම එකටම මැරිලා යමු ..’ මම ස්ථිර හඩින් එහෙම කියද්දී සදු ගැස්සිලා මගේ දිහා බැලුවා
‘හිරු …ප්‍රොම්ස් මම ආයේ අනුප හම්බවෙන්නේ නැහැ … මැරෙන කතා කියන්නෙත් නැහැ …ඔය වගේ කතා කියන්න එපා … ’ බස් එක කියලා බලන්නේ නැතිව සදු අඩනවා හෝ ගාලා ..
‘හරි දැන් නාඩා ඉන්න ..මට ඔයාව විශ්වාසයි …ජිවත්වෙනවා නම් එකට ජීවත්වෙමු … මැරෙනවා නම් එකට මැරෙමු ….’ මම එහෙම කියද්දී කෙල්ල අසරණ ව්දිහට ඔළුව හෙලෙව්වා …
ඊට පස්සේ බස් එකෙන් බහිනකන්ම අපි දෙන්නා අතරේ කිසිම කතාවක් ඇතිවුනේ නැහැ … අපි දෙන්නාම හිටියේ අපි දෙන්නාගේ ලෝකවල තනිවෙලා ….දෙන්නෙකුගේ ආදරයක් කඩන එක ලොකු පවක් උනත් මට ඒ පව අද කරන්න වෙලා මගේම අය වෙනුවෙන් …
*******

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *