36

~~~සමනළ වසන්තය~~~
36 කොටස
අපි කෑගල්ලේ මහ ගෙදරට ලංවෙද්දි දවල් එක විතර උනා …මුළු ගමන පුරාම අපි කතා කරේ අතේ ඇගිලි ගානටත් අඩු වචන ගානක් … අම්මා මේ තීරණය ගන්න ඇත්තේ හොදට හිතලා බලලා එයා ගත්ත තීරණය වැරදි කියන්න බෑ ….අම්මාට ඕන වෙන්න ඇත්තේ අපේ ආරක්ෂාව තහවුරු කරන්න .. තාත්තත් නැතිව එයා කොහොමද අපිව තනියම බලාගන්නේ …. අනුපගේ තාත්තා ලකී මගේ ඇස් ඉස්සරහම මහා දවල් මිනිහෙක් මැරුවා කියන එකත් මට අමතක කරන්න බෑ….. ඔක්කොම කාරනා ගැන හිතලා බැලුවාම අම්මා අරන් තියෙන්න එයාට ගන්න පුළුවන් හොදම තීරණය …
‘අපි උදේ ඉදලා මග බලාගෙන හිටියේ ….’ වෑන් එක මිදුලේ නවත්තද්දී නිදුකයියා එහෙම කියාගෙන ඉස්සරහට ආවා … අම්මා මෙහෙ එන්න කලින් කෝල් කරලා විස්තර ඔක්කොම කියන්න ඇති …
‘ට්‍රැපික් එකට අහුවුනා පුතා .. කෝ පුතා අම්මා ’ අම්මා එහෙම කියන ගමන් වටපිට බැලුවා ..
‘අම්මා උයනවා ගේ ඇතුලට යමු පුංචි අම්මා ..’
සරමකුයි කමිසෙකුයි ඇදගෙන කොන්ඩේ පිළිවෙලට පීරාගෙන හරිම සංවර විදිහට තමා හිටියේ
‘නංගියේ කොච්චර කාලෙකට පස්සෙද ආවේ …’ එතකොටම අම්මාගේ අක්කා නිදුකයියාගේ අම්මා ඇවිත් අම්මාව තුරුළු කරගත්තේ ඇස් දෙකේ කදුළු පුරෝගෙනමයි …
‘හරියටම අවුරුදු පහළොවකට පස්සේ .. අම්මායි … තාත්තයි නැතිවුනාට පස්සේ මට ගමට එන්න හිතුනේ නැහැ …කොච්චර වෙනස් වෙලාද ගම ….’ නවීකරණය වෙමින් තියෙන ගම දිහා බලලා අම්මා දිග හුස්මක් ගත්තා …
‘හ්ම්ම්ම් … මම දන්නවා නංගියේ ….. දැන් යමු ගේ ඇතුලට .. යමු දරුවෝ ..’ අම්මාගේ අතින් අල්ලාගෙන ලොකු අම්මා ගේ දිහාවට යද්දී අපි වෑන් එකට ගිහින් බෑග් ටික එළියට ගත්තා ..
‘ඔයාලා යන්න මම මේ ටික ඇතුලට ගන්නම් …’ නිදුකයියා බලෙන්ම අපේ ගමන් මලු ගේ ඇතුලට ගෙනියන්න පටන්ගත්තා
‘මේ ගෙදර ඉන්නේ කව්ද අයියා ..’ කාලෙකින් අලුත්වැඩියා කරලා තිබ්බේ නැති ගේ දිහාව බලන ගමන් මම නිදුකයියාගෙන් ඇහුවා …
‘අම්මයි ,තාත්තයි , මායි විතරයි ඉන්නේ … අද ඉදලා ඔයාලා ඉන්න නිසා මට උනත් පාළුවක් නැහැ ..’ නිදුකයියා අපි ආව එක ගැන ලොකු සතුටකින් කතා කරේ ..
එච්චර විශාල නොවුණු අම්මාගේ මහා ගෙදර ඇතුලේ තිබුනේ පුදුමාකාර හිත නිවන ගතියක් …ගෙදර මිනිස්සුත් ගොඩක් කාරුණිකයි …. නිදුකයියා වගේම ලොකු අම්මා ලොකු තාත්තා ගොඩක් ආදරෙන් තමා අපිව පිළිගත්තේ …..
‘කෙල්ලෝ දෙන්නා නම් හරීම සීදේවි ….’ ලොකු තාත්තා අපිව ලගට අරන් ඔලුව අතගාද්දී මට මතක් උනේ අප්පච්චිව … එයා අපිට කොච්චර නම් ආදරේ කළාද …
‘මගේ කෙල්ලෝ දෙන්නාගේ අවාසනාවට තමා එයා අපිට නැතිවුනේ …’ අම්මා ආපහු අඩන්න ගත්තේ අප්පච්චි මතක් වෙලා ..
‘දැන් ඉතින් නාඩා ඉන්න නංගියේ … මල්ලි මොන ලෝකෙක හිටියත් ඔයාලා නැතිව ඉන්නේ නැහැ … ලගදීම එයා ආපහු එයි …’ ලොකු අම්මා අම්මාගේ හිත හැදුවේ එහෙම කියලා
‘මට දුක කෙල්ලෝ දෙන්නාගේ ඉගෙනීම ගැන …’
‘අපි ඒකට මොකක් හරි පිලියමක් යොදමු .. කවුරු නැතිවුනත් අපිට අපි ඉන්නවා ’
ලොකු අම්මාගේ වගේම ලොකු තාත්තාගේ වචන අම්මාගේ හිතට ලොකු ශක්තියක් වෙන්න ඇති ..
‘හිරූ ඉස්සර වගේ නැහැ ගොඩක් වෙනස් වෙලා ….මම ආස ඉස්සර හිටිය හිරූට ගොඩක් දග කරපු …කෑ ගහලා හිනාවුණු හිරූට …’’
නිදුකයියා හොර ගල් අහුලලා දවසක් මාව තනිකරගෙන මගේ මුහුණට එබුනා ..
‘ඒ හිරූ මැරුණා අයියා ….. ‘’ මම හිතක් පපුවක් නැති එකියක් වගේ කියවද්දී නිදුකයියාගේ මුහුණට අදුරු හෙවනැලි වැටුනා
‘හිරූ කට තලනවා ඔය වගේ කතා කිව්වොත් …. මාව විශ්වාස කරන්න මේ හැමදෙයක්ම ලගදීම හරියනවා …’ එයා ට්‍රයි කලේ මගේ හිතේ අනාගතය ගැන මගේ හිතේ සුභවාදී බලාපොරොත්තුවක් ඇති කරන්න උනත් මම බින්දුවටම වැටිලා හිටියේ ඒ වෙද්දීත්
‘ හරියනවා නම් හරි ගිහින් අයියා ….මම කොච්චර දවස් බලාගෙන හිටියාද අප්පච්චි එයි කියලා ..ඒ උනාට එයා ආවේ නැහැ … එයා ආවා නම් මේ හැම දෙයක්ම හරි යයි …. ඒත් එයා එන්නේ නැහැ … මම හිත රවට්ටා ගත්තා හොදටම ඇති ‘’ මට එයාගේ හිත හදන්න සුරංගනා කතා කියන්න ඕන උනේ නැහැ …මට ඕන උනේ ඇත්තට මුහුණ දෙන්න
‘ මේ ලග බෝධියක් තියෙනවා …එතන සත්තයි කියලා ගොඩක් අය කියනවා … අපි දවස් හතක් එක දිගට බෝධි පුජා තියමු …බලන්නකෝ බාප්පා ගැන ආරංචියක් එනවා හත්වෙනි දවස ඉවර වෙද්දී ’
නිදුකයියා මගේ කැමැත්ත ගන්න වගේ මගේ දිහා බලාගෙන ඉද්දි මම මොකුත් කියන්නේ නැතිව එයා කිව්ව දේට එකග උනා

******
කිසිම වෙනසක් නැතිව දවස් ගෙවිලා ගිහින් ඉස්කෝලේ නිවාඩුවත් ඉවර වෙන්න දවස් ලංවුනා … නිදාගන්න ඇදට ගියාම පපුව පිච්චුනේ නැහැ කිව්වොත් වැරදි .. උදේට අමතක කරලා ඉන්න දේවල් රෑට වැඩි වැඩියෙන් මතක් වෙන්න ගද්දි ගොඩක් දවස් වලට නින්ද ඇස් වලට ලන්වුනේ නැති තරම් …මම වගේම සදුත් ලොකු වේදනාවකින් හිටියේ …අම්මාට පේන්නේ නැති වෙන්න අපි දෙන්නා රෑ එළිවෙනකන් කොත්තේ දියබත් වෙනකන් ඇඩුවා බොරු නෙවෙයි …
දිනිත මට අමතක උනාද ….. නෑ කවදාවත් දිනිතව මතකෙන් පන්නන්න මට පුළුවන් උනේ නැහැ …. කොච්චර මතක නැති කරගන්න හැදුවත් දිනිත මගේ මතකේ ඇදෙනවා …. මට අඩනවා ඇරෙන්න කරන්න දෙයක් තිබ්බේ නැහැ …

‘සදූ පන්සල් යන්න ලැහැස්ති වෙලා එන්න …’
නිදුකයියා එහෙම කිව්වම කාමරේට ගිහින් දම් පාට මල් වැටුණු සුදු ගවුමක් ඇදගෙන මම ඉස්සරහට එද්දී නිදුකයියා මල් කඩාගෙන බලාගෙන ඉන්නවා …. බෝධි පුජාවට අදට හරියටම දවස් හතයි …. බුදුන්ගේ පිහිටෙන් හරි මගේ අප්පච්චි ආපහු අපි ලගට එනවා නම් ….
‘හිරූ ඇයි මේ ඇස් ඉදිමිලා … ඊයේ රෑත් ඇඩුවා නේද …’ නිදුකයියාට පුංචිම දෙයක්වත් මට හංගන්න පුළුවන් උනේ නැහැ ….
‘මට ඊයේ රෑ නින්ද ගියේ නැහැ ‘
‘විකාර හිතනවා නේ ඒකයි ඔය ..’
‘මගේ මුළු ඔළුවම අවුල් වෙලා අයියා … හෙට ඉස්කෝලේ පටන්ගන්නවා කියලා මට අද උදේ ඇහැරුන ගමන් මතක් උනා ….මම හීනෙන් වගේ ඇහැරිලා සුදු ගවුම හෙව්වා අයන් කරන්න ….සදූ ඇවිත් අහද්දී තමා මට මතක් උනේ අපිට ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ කියලා ..’ ගොඩක් අසරණ විදිහට මම එහෙම කියද්දී නිදුකයියා මගේ දිහා බැලුවේ අනුකම්පාවෙන්
‘අපි පන්සලට ආවා …. ‘’ නිදුකයියා එහෙම කියන්න ඇත්තේ කතාව වෙනස් කරන්න හිතාගෙන වෙන්න ඇති .. මම මොකුත් කියන්නේ නැතිව ටැප් එක ලගට ගිහින් පුංචි කලයකට වතුර පිරෙව්වා …
පුරාණ බෝධිය වතුර කල හතකින් නාවලා දන්න කියන ගාථා ඔක්කොම කියලා බෝධිය වන්දනා කරපු මම බෝ අත්තක පඩුරක් ගැට ගැහුවා ..
‘අනේ බුදු සාධු මගේ අප්පච්චි ආපහු අපේ ලගට ගෙන්නලා දෙන්න ….අපිට එයා විතරයි ඉන්නේ ..’
ගොඩක් වෙලා බුදු සාධුට දුක කියලා අපි ආපහු මගට බැස්සේ ගෙදර යන්නම ඕන නිසා ..
‘මට හිතෙනවා අයියා අපි තනිවෙලා කියලා ..’ කතාවක් නැතිවම ඉස්සරහට ඇවිදගෙන ගිය නිදුකයියා මම කියපු කතාවට ගැස්සිලා වගේ ආපහු හැරිලා බැලුවා …
‘ඔයාට මම ඉන්නවා හිරූ …..’ නිදුකයියා එක පාරම එහෙම කිව්වාම මම ගැස්සිලා එයා දිහා බැලුවේ …
‘හිරූට මම කියන දේ තේරෙනවා ද මන්දා ….දන්නවාද හිරූ මම දන්න දවසේ ඉදලා ඔයාට ආදරේ කළා …දන්නවා නෑ කමට ඔයා මගේ නංගි …. අපිට ආදරේ කරන්න අයිතියක් නැහැ …ඒ උනාට මට ආදරේ කරන්න පුළුවන් එකම එක කෙනා ඔයයි හිරූ ….’
නිදුකයියා ඈත පාර දිහා බලාගෙන ඔහේ කියවනවා ….මම පුංචිම සද්දයක්වත් කරන්නේ නැතිව එයා කියපු වචන අහගෙන හිටියා ….
‘ඔයා මට ආදරේ කරන්න එපා අයියා …ඔයා මගේ අයියා ….අපි දෙන්නා එහෙම හිතුවොත් පව් සිද්ද වෙයි ..’ මම ටිකක් තදට එහෙම කියද්දී නිදුකයියා තවත් මොනවාද කියන්න කට ඇරියත් එයාගේ කටට අත තියලා ඒ දේ කියන එක නතර කරා
‘අයියා දන්නවාද මම ආදරේ කරනවා කෙනෙක්ට ….. මගේ පණ තරමටම මම ආදරේ කරනවා … වෙන කාටවත් මට ආදරේ කරන්න බැහැ ….’
‘ ඔයා …කාටද ආදරේ කරන්නේ …’
‘ඔයා දන්න කෙනෙක් …’
‘කව්ද ඒ …’
‘දිනිත …දිනිත තමා එයා ….මම එයාටයි ආදරේ කරන්නේ …’ නිදුකයියා මගේ දිහා බැලුවේ විශ්වාස කරන්න බැහැ කියනවා වගේ …
‘දිනිත … ඔයාට ආදරෙයිද නංගි ..’ එයා ඒ ටික කියාගත්තේ ගොඩක් අමාරුවෙන්
‘ඔව් එයා මට ගොඩක් ආදරේ කරනවා …’
‘දිනිත කියන්නේ ගොඩක් හොද කොල්ලෙක් …. ඌට කොච්චර කෙල්ලෝ පිස්සු වැටිලා ආවාද …කවදාවත් කිසිම කෙල්ලක් එක්ක කිසිම සම්බන්ධයක් ඇති කරගත්තේ නැහැ දිනිත ….. ඌ කෙල්ලක් එක්ක යාලු උනා කියලා කෙල්ලක්ට කැමති උනා කියලා කවුරු හරි කිවොත් මම විශ්වාස කරන්නේ නැහැ … ඒත් ඔයා එහෙම කියනවා නම් ඒක බොරුවක් වෙන්න බෑ ..’ නිදුකයියා දිනිත ගැන ලොකු පැහැදීමකින් කතා කරේ …. වෙන කොල්ලෙක් නම් මේ වගේ අවස්තාවක කොච්චර පිස්සු නටයිද …ඒත් නිදුකයියා මම කිව්ව දේවල් පිලි අරන් හරිම සන්සුන් විදිහට කතා කරේ ….
‘මාත් එක්ක තරහද අයියා ..’
‘තරහයි …. ඒ ඔයා මෙච්චර දවස් මට ඒ ගැන කිව්වේ නැති නිසා ….මට දිනිත ගැන කිව්වා නම් මම තමා ඔයාට උදව් කරන්නේ …’ දිනිත අයියා වේදනාව යටකරලා හරි ලස්සනට හිනාවුනා …
ගෙදරට යනකන් අපි දෙන්නා කතා කලේ දිනිත ගැන …මම නොදන්නා ගොඩක් දේවල් දිනිත ගැන නිදුකයියා කියද්දී මට දිනිත ගැන තිබ්බ ආදරේ ගරුත්වය ගොඩක් වැඩිවුනා …..
‘නංගි කාගේද අර ජීප් එක …’ අපි ගෙදර මිදුලට අඩිය තියද්දී නිදුකයියා පුදුමෙන් වගේ කියද්දී මම ඒ දිහාව බැලුවා …. ඇවිල්ලා තිබ්බේ ආමි ජීප් එකක් … හුස්ම ගන්න එකත් අමතක කරලා තමා මම ගෙට දිව්වේ ….
සාලේ තිබ්බ පුටුවක වාඩිවෙලා හිටියේ හැමදාම එයි කියලා බලාගෙන හිටපු මගේ අප්පච්චී …
‘අප්පච්චි …’ මම කෑ ගැහුව හඩ මුළු ගමටම ඇහෙන්න ඇති … පිස්සුවෙන් වගේ දුවගෙන ගිහින් මම අප්පච්චිට තුරුළු උනා …
‘හිරූ මගේ මැණික ….’
‘ඇයි අප්පච්චි ඔයා මෙච්චර දවස් ආවේ නැත්තේ මම කොච්චර නම් බලාගෙන හිටියාද ඔයා එනකන් ….ඔයා දන්නවාද ඔයා නැතිව අපිට උන දේවල් …’ ගොඩක් හයියෙන් අඩන ගමන් මම එහෙම අහද්දී අප්පච්චි ආදරෙන් මගේ ඔළුව අතගෑවා
‘මට වෙච්ච හැමදෙයක්ම අම්මා කිව්වා ….ඒ දේවල් නපුරු හීනයක් කියලා අමතක කරලා දාන්න …දැන් අප්පච්චි ඉන්නවා හැම දෙයක්ම ඉස්සර තිබුනා වගේ ඔයාලට ලැබෙයි …’
‘අප්පච්චි ….ඔය ඇත්තමයි නේද …’ සදු අප්පච්චිගේ බෙල්ල වටේ අත්දෙක දාගද්දී මම අම්මා දිහා බැලුවා මාස ගානකට පස්සේ එයාගේ මුහුණේ ලස්සන හිනාවක් ඇදිලා ….
‘ඔයාලාට අප්පච්චි විශ්වාස නැද්ද …’
‘මුළු ලෝකෙටම වඩා විශ්වාසයි …’
අප්පච්චි ආව සතුට නිසා වෙච්ච හැමදෙයක්ම අපිට අමතක වෙලා ගියා …. අපේ හිනා හඩින් මුළු ගෙදරම පිරිලා ඉතිරිලා යද්දී මට දැනුනා අර ලස්සන කාලය ආපහු එනවා කියලා ….
‘අප්පච්චි ඇයි කියන්න මෙච්චර දවස් අපි බලන්න ආවේ නැත්තේ …’ මට අප්පච්චිගෙන් අහන්න දේවල් ගොඩාක් තිබ්බා
‘එදා රෑ මට මැසේජ් එකක් ආවා ත්‍රස්තවාදියෝ කීපදෙනෙක් බ්ලාස්ට් එකක් ප්ලෑන් කරනවා කියලා …. මැසේජ් එක දුන්න මිනිහා මට කිව්වේ වැඩි විස්තර කියන්න එළියේදී හම්බවෙන්න කියලා … මම තනියම ගියා මිනිහා හම්බවෙන්න ….. මේක ත්‍රස්තවාදින්ගේ ප්ලැන් එකක් කියලා මට තේරුනේ මම තනියම උන්ට කොටු උනාම ….උන් මාව ගෙනියලා පාළු ගෙදරක හිරකරා මාස ගානක් මාව එතන හිරකරලා තියලා මගෙන් අපේ රහස් තොරතුරු ගන්න උත්සහා කරා ….මම කිසිම දෙයක් කිව්වේ නැති උනාම උන් මාව උන්ගේ ලොක්කා ලගට ගෙනියන්න ලැහැස්ති උනා ….අපි මහා කැලේ මැදින් තමා උන්ගේ තිප්පොළට ගියේ .. අපි ගිය පාරේ මහා ගහක් වැටිලා තිබ්බ් නිසා අපේ ගමන නවත්තලා උන් ගහ අයින් කරන්න ගියා ….මම උන්ගේ අවධානය වෙනස් උනාම වාහනෙන් පැනලා ඔළුව හැරුන අතේ දිව්වා …. සති ගානක් මාස ගානක් කැලෑවේ අතරමන් වෙලා හිටපු මම අන්තිමේට ගම්මානයකට ගියා …ඒ ගමේ මිනිස්සු මාව ආමි කෑම්ප් එකට අරන් ගියා …. ඊට පස්සේ මම කතාව කිව්වාම අපේ හමුදා මුලස්ථානය මේ සම්බන්ධයෙන් දැනුවත් කළා .. මට පුළුවන් උන ගමන් මම ඔයාලාව හොයාගෙන ආවා … ඔන්න ඕකයි මගේ කතාවේ සාරාංශය …’
අප්පච්චි කෙටියෙන් සිද්ද උන දේවල් කියද්දී අපි හැමෝම ඒ කතාව අහගෙන හිටියේ පුංචිම ශබ්දයක්වත් කරන්නේ නැතිවයි …අප්පච්චි වීරයෙක් ….අර තරම් නපුරු මිනිස්සුන්ගෙන් මිදිලා එන්න පුළුවන් උනේ එයාගේ තිබ්බ එඩිතර කම නිසා ….
‘ඔයා ආයේ නම් අපිව දාලා යන්න එපා හොදද …’
අපි අප්පච්චිගෙන් ඒ ඉල්ලීම කලේ ආයේ එයාව නැති කරගන්න ඕන උනේ නැති නිසා ….
‘මම යන්නේ නැහැ …..කවදාවත් ඔයාලා තනිකරන්නේ නැහැ …’ අප්පච්චී ස්ථිර විදිහට ඒ පොරොන්දුව අපිට දුන්නා ….
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *