7

❤️❤️දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ❤️❤️

****හත්වෙනි දිගහැරුම****

පසුදා පාන්දර දැහැම් නිවසේ පිරිසත් භානුකත් සමගින් ඇගේ පියා බැලීමට මහනුවර රෝහල වෙත පිටත් වුනා…භානුකගේ හිතවත් වෛද්‍යවරයකු හමු වී ඔහු දැහැම්ගේ පියාගේ රෝගී තත්වය පිලිබද විමසා බැලුවා…දැහැම්ගේ පියාට තව දින කිහිපයකින් පසු නිවසට යෑමට හැකි බවත් ඔහුගේ රෝගය සුව අතට හැරෙමින් තිබෙන බවත් දැනගත් පසු දැහැම් එදිනම භානුක සහ අනූපමා සමගින් කොලඹ යෑමට සූදානමින් පසුවුනා…

ඒයි දැහැම් අපි යන ගමන් මාළිගාවටත් ගිහින්ම යමුද…?කාලෙකින් යන්නත් බැරි උන එකේ යමින් ගමන් ගොඩ වෙලා වැදලා යන්න පුලුවන්නේ.. භානුක අයියත් ගොඩක් ආසා වෙයි…
අනූපමා දැහැමිගෙන් විමසුවා…

ඒක නම් හොදයි අනූ…අපි එහෙනම් ටිකක් කල් ඇතුව යමු..මටත් ආසයි මාළිගාවෙ යන්න..දැහැම් එකගත්වය පලකලේ බොහෝ සතුටින්….

අනූපමා සිතා සිටියේ දැහැම් ටිකෙන් ටික භානුකට ළං වීමෙන් ඇය මෙලෙසින් සිටිනා බවයි…පෙරට වඩා දැහැමිගේ මුහුන ආලෝකවත් වී ඇගේ මුහුනේ සතුටක් රැදී තිබෙන බව අනූපමාට දැනුනා…ඇය භානුකසහ දැහැමි එක් වනු දැකීමට බොහෝ ආශා කලා…

***************************************

දැහැම් ඇගේ අල්මාරියේ තිබූ තනි සුදු පාටින් යුත් සල්වාර් ඇදුමක් එලියට ගෙන එය දෙස මද වේලාවක් බලා සිටියා…ඒ ඔස්සේ ඇගේ මතකය අශේන් වෙත දිව ගියේ යලිත් දෑසට කදුලක් නංවමින්…

මේ ඇදුම දැහැම්ට රැගෙන දුන්නේ අශේන්ය…මේ වගේම දිනක් ඇය ඔහුත් සමග මාළිගාවට යාමට සැරසුනේ තනි සුදු පැහැගත් මෙම සල්වාර් ඇදුමිනි…අශේන් ඇය දැකි ගමන්ම අදහාගත නොහැකි සේ බොහෝ වේලාවක් දැහැමිගේ සුන්දර රූ සපුව දෙස බලා සිටින්නට වුනා…ඔහු අසළටම පැමිණි දැහැම් ඒ බැල්මට කෝල බවින් සැලී දෑස් බිමට බරකරන් සිටියා..අශේන් ඇගේ නිකටින් ඔසවා මොහොතක් ඇගේ දෑස් පතුලට කිමිදී සිටියේ අපරිමාන සෙනෙහසින්.මගේ පුංචි සුරංගනාවි අද ගොඩාක් ලස්සනයි…යනුවෙන් පවසා අශේන් ඉමහත් සෙනෙහසින් ඇගේ නලලත හාදුවක් තැබුවා…

“දැහැම්”……

අනූපමාගේ හඩින් ඇය තිගැස්සී ගියා…

උඹ තවම ලෑස්ති වෙලා ඉවර නැද්ද…මං ගෙදර ගිහිල්ලත් ආවා…කොයි ලෝකෙද දැහැම් උඹ ඉන්නේ…

හරි හරි මං ඉක්මනින් ලෑස්ති වෙන්නම් අනූ..පොඩ්ඩක් හිටපන්..මං මේ අදින්නේ මොකක්ද කියලා බැලුවේ…දැහැම් ඉක්මනින් හැද පැලද ගන්නට විය…

ඇය යලිත් වරක් සල්වාර් ඇදුමින් සැරසී කොන්ඩය මුදා හැර කුඩා කටුවක් පමණක් ගැසුවා….කැඩපත තුලින් ඇගේ දිස් වන රුව දෙස බලා සිටි දැහැම්ගේ දෑසින් යලිත් කදුලක් වැටෙන්නට වූවේ අදත් පෙරදා මෙන්ම ඇය දිස් වූයේ සුන්දරවයි..එහෙත් ඒ සුන්දරත්වය දකින්න අශේන් ඇය අසළට යලි කවදාකවත් නොපැමිනෙන බව ඇය දන්නා නිසා…එක්වරම ඇයට ශශීල්ව මතකයට නැගුනා…එයා මොනවා කරනවද දන්නෙ නෑ…කොළඹ ගිහාම මං ශශීල්ව මීට් වෙනවා…..
දැහැම් කල්පනා කරන්නට වුනා…අනූපමා නැවත වරක් කාමරයට එන්නට පෙර ඇය එලියට පැමිණියා…

**********************************

ආලින්දයේ අයියා සහ දැහැමිගේ මව සමගින් කතා බහේ යෙදී සිටි භානුකගේ දෑස් දිව ගියේ ඔවුන් අසලට පැමිනෙමින් සිටි දැහැම් වෙතයි…
සුන්දර වරංගනාවක් සේ පාවී එන මේ අවිහිංසක යුවතිය වෙතින් භානුකට දෑස් අහකට ගන්නට නොහැකි වුනා…
ඔහුගේ හද ගැස්ම වේගවත් වන්නට වුනා…දිනෙන් දිනම ඇය කෙරේ නැගෙනා අපරිමිත සෙනෙහසත් ඇය මෙලෙසින් දකිනා විටදී ඔහුගේ සිත තුලටම ඈ තව තවත් ලංවෙන බව ඔහුට පසක් වුනා…

සදෙව් ගේ හඩින් භානුක පියව් සිහියට පත් වුනා…
නිවසියන්‍ට සමු දී භානුක සහ දැහැම්ත් අනූපමාත් කාරයට ගොඩවී කොළඹ බලා පිටත් වුනා…

ඔවුන් දෙදෙනා සමගින් මාලිගාවට යාමට භානුක බොහෝ සතුටු වුනා…පිවිසුම් දොරටුව අසළ රැදි කුටියකින් ඔවුන් මල් ,පහන්,මිලදී ගත් අතර දැහැම් තෝරා ගත්තේ සුදු නෙළුම් මල් වට්ටියක්…ඇය පෙර දා අශේන් සමගින්ද පූජා කලේ සුදු නෙළුම් වට්ටියක් නිසා ඇය නිරායාසයෙන්ම අදත් එලෙසෛන්ම සුදු නෙළුම් වට්ටියක් තෝරා ගත්තා…

මේ කිසි දෙයක් නොදැන හුන් භානුකද සුදු පැහැ ගත් නෙළුම් වට්ටියක් තෝරා ගත්තේ ඔවුන්ගේ ඉරණම කවදා කෙලෙසකින් විසදෙනවා දැයි නොදැන…භානුකගේ සිතේ නැවුම් බලාපොරොත්තු පොකුරක්ද සමගින් ඔහු මල් වට්ටිය අතැතිව බලා සිටියේ තමා පසුකර ඉදිරියට පිය මැන යන සුන්දර රුවැත්තිය දෙසයි…

දළදා වහන්සේ අභියස සුදු නෙළුම් මලින් පුදා දැහැම් දෑස් පියාගෙන බුදුන් වදින්නට වුනා…අවසානයේ ඇය අශේන්ට අන් කවර භවයකදිවත් මෙවන් අකල් මරණයක් නොලැබේවා කියා ප්‍රාර්ථනා කොට ඔහු වෙනුවෙන් පිං පැමිනුවා…සිත් සේ වැද පුදා ගත් දැහැම් දෑස් හරින විට ඇය ඉදිරියේ සිටියේ භානුක…

ඔහු මෙතෙක් වෙලාවක්ම බලා සිටියේ දැහැම්ගේ මුහුණේ වෙනස් වන ඉරියව් දෙසයි…
දැහැම් අපි යමුද…?

අයියේ…කෝ අනූ….

ඔයා ගොඩාක් වෙලා මෙතන හිටපු නිසා අනූ නංගි එලියට ගියා…මං හිටියේ ඔයා එක්ක යන්න…

සොරි අයියේ…මං හින්දා ඔයා බලාගෙන ඉදලා….මට වෙලා ගියා දැනුනෙවත් නෑ…අපි යමු එහෙනම්..දැහැම් ඒ අනුව නැගී සිටියා…

භානුකට ඒ මොහොතේ ඇගේ මේ මුහුණේ හැංගිලා තිබෙන වේදනාව කුමක් නිසාදැයි ඇගෙන් විමසන්නට සිත් විය…එහෙත් ඔහු නැවත එයින් ඇගේ සිතට දුකක් ගෙන ඒමට ඇති අකමැත්ත නිසාම නිහඩව සිටියා…

අනූපමා බලා සිටියේ ඈතින් ඇවිද එන භානුකත් දැහැමිත් දෙසයි…

මුන් දෙන්නා හොදට ගැලපෙනවා…භානුක අයියගේ ගතිගුණත් මාර හොදයි…ඒත් ඉතිං මට නැන්දා කිවුවා අයියා දේකට කැමති වෙනවා වගේම තමයිලු එයාට එපා උනොත්…එපාම තමයි කියලා…මට බය මේකි භානුක අයියගේ හිත කඩයි කියලා…එහෙම උනොත් මාත් වැරදිකාරයෙක් වෙනවා…ඇය සිතන්නට වුනා….

****************************

කොළඹට ආ විගසම දැහැම් අනූපමා නැති වේලාවක් බලා ශශීල්ට ඇමතුමක් ගත්තා…එහෙත් කීප සැරයක් උත්සාහ කලද ඔහු දුරකථනය විසන්ධි කොට තිබුනා….
දැහැම්ට සුසුමක් හෙලුනා …

රාත්‍රියේ නිවසින් එලියට පැමිණි ඇය නැවත වරක් ශශීල්ට ඇමතුමක් ලබා ගත්තා …මද වේලාවකින් ඔහු ඇමතුමට සම්බන්ධ වුනා…

ශශීල්…..ඇයි ෆෝන් එක ආන්ස්වර් කරන්නෙ නැත්තේ….මං හවසත් ගත්තා….

ආ….කෙල්ලේ…ඔයා ආවද….මං පොඩි වැඩක හිටියේ බබා…ඔයා ගිය දවසේ ඉදන් පාලුයි..කොහෙද ඔයා මට කෝල් කරන්නත් එපා කිවුවනේ….ශශී දැහැමිට මුසාවක් පැවසුවා….

අනේ….ශශීල් තරහ වෙන්න එපා..ඒකනේ ඔයාට ආපු ගමන් කෝල් කලේ….දැහැම් දුකින් පැවසුවා ..

හරි හරි ළමයෝ…දැන් ඒක අමතක කරන්නකෝ…ඒක නෙවෙයි හෙට මට විශේෂ දවසක්…

ආ…ඇයි ශශීල් හෙට මොකක්ද විශේෂ…?
ශශීල් පිලිබද කිසිදු තොරතුරක් නොදැන සිටි දැහැම් විමසුවා…

අයියෝ කෙල්ලේ…හෙට මගෙ බර්ත් ඩේ එකනේ…ඔන්න ඔයත් හවස පාටි එකට එන්නම ඕන හොදේ…ඔයාව මං අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා…එනවා නේද ආහ්…ඔහු කෙදිරිලි හඩින් විමසුවා…

අනේ ශශීල් එහෙම එන එක හරි නෑ නේද…අනික ඔයාගෙ ගෙදර අය…මං මං ආවොත් ප්‍රශ්නයක් වෙයි..දැහැම් බියෙන් උත්තර දුන්නා….

එවර එහා ඉම සිටි ශශීල් සිනා සෙන හඩ දැහැම්ට ඇසෙන්නට විය..

පිස්සුද ළමයෝ…හෙට මගේ යාලුවෝ හැමෝම එනවා…කෙල්ලො ,කොල්ලො සේරම…මගෙ පේරන්ට්ස්ලා එහෙම මේ ගොඩේ උන් වගේ හැසිරෙන්නෙ නෑ…බය නැතුව එන්න..හරිද…එහෙනම් මං තියෙනවා…මං ඔයා එනකල් හෙට බලන් ඉන්නවා…ශශීල් ඇමතුම විසන්දි කලේ දැහැම්ට පිළිතුරක් දීමට ඉඩ නොතබායී…

එවර දැහැම් කල්පනා කරන්නට විය …අයියෝ….මං දැන් හෙට මොකද කරන්නේ…මං කොහොමද ශශීල්ගෙ හිත රිදවන්නේ….අනූ දැනගත්තොත් මට කීයටවත් යන්න දෙන්නෑ…ඒත් හෙට කොහොම හරි මං යනවා…හෙට එයාගෙ උපන්දිනේ….මං දැන් මොකද කරන්නේ…දැහැම් එසේ කල්පනා කරමින් සිටින විට ඇය පිටු පසින් සිටියේ භානුක…

තමා ශශීල් හා කතා කරනවා ඔහුට ඇසෙන්නට ඇත්දැයි සිතා දැහැම් කලබල විය…

ඇය හනිකට නිවස තුලට දිව යාමට සිතා පියවරක් තබන විටම භානුක ඇගේ අතකින් අල්ලා ගත්තේ දැහැම් තවත් තිගස්සවමින්…

###නැවත හමුවෙනතුරාවට###

ආදරෙයි හැමෝටම 

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *